පවුල යනු බා ජින් යන ආරූඪ නාමයෙන් සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු චීන ලේඛක ලී යැටොයෑං (1904 - 2005) විසින් 1933 වසරේ එළිදක්වන ලද චීන බසින් 家 (ජ්යා) නම් නවකතාවේ ඉංග‍්‍රීසි පරිවර්තනය ඇසුරෙන් කරන ලද සිංහල පරිවර්තනයයි. මෙය හැඳින්වෙනුයේ ‘අර්ධ ස්වීය චරිතාපදාන’ නවකතාවක් ලෙසිනි.
ලී යැටොයෑං 1904 දී චීනයේ සිචුවාන් පළාතේ චෙංතු නුවර විශාල රදල පවුලක උපත ලද්දේ ය. පිය පාර්ශ්වයේ ඔහුගේ මුත්තා පරම්පරා පහක මේ විශාල පවුලේ ප‍්‍රධානියා ය. ‘පවුල’ කෘතියේ එන පරිදි ම පැටිවියේ දී ලී හුස්ම ගන්නටත් අපහසු තරමේ නීති රීති සහ සාරධර්මවලින් මිරිකුණේ ය. මෙයට එරෙහි වූ නමුත් නැගී සිටින්නට තරම් ශක්තියක් නොවූයෙන් ඔහු කළේ ශිල්ප හැදෑරීම ය. නිවසේ දී සිය මවගෙන් අකුරු උගත් හේ 1920 වසරේ දී චෙංතු විදේශ භාෂා අධ්‍යයන ආයතනයට ඇතුළත් ව ඉංගිරිසි උගත්තේ ය. කවි ලියන්නට ඔහු පෙළඹුණේ එහි දී ය. තුන් වසරක් ඇවෑමෙන් ඔහු ෂැංහයි නුවර ඩොංග්නෑං සරසවියට ඇතුළත් ව සිය මූලික උපාධිය දිනා ගත්තේ ය. 1927 වසරේ ප‍්‍රංශය බලා පිටත්ව ගිය ඔහු එහි සරසවියකින් බටහිර සාහිත්‍ය හැදෑරී ය. මෙසමයේ ඔහු ප්‍රංශය ඉතාලිය වැනි රටවල ස්වාභාවික සුන්දරත්වයෙන් අනූන පෙදෙස්වල සැරසරමින් කල් ගෙවී ය. 1928 දී ආපසු ෂැංහයි නුවරට පැමිණි ඔහු එතැන් සිට පූර්ණකාලීනව ලේඛන වෘත්තියේ නිරත විය. ඉවාන් තුර්ගිනියෙව්, ඇන්ටන් චෙකෝව්, එමිල් සෝලා වැනි නිර්මාණාත්මක සහ අලෙක්සාන්දර් හෙරසින්, එමා ගෝල්ඞ්මන් වැනි දේශපාලනික ලේඛකයන්ගේ කෘතිවලින් තමා ආභාසය ලැබූ බව පසු කලෙක ලී පැවසී ය.
ඔහුගේ කෘති අතර කෙටිකතා එකතු දහසයක්, නවකතා දහ අටක්, ළමා කතා පොත් දෙකක් සහ නිර්ප‍්‍රබන්ධ කෘති පනහක් වෙති.
‘පවුල’ තුන් ඈඳුත්තක මුල් කෘතියයි. ප‍්‍රවාහය නම් ඒ ත්‍රිකයේ අනෙක් සංඝටක දෙක වනුයේ ‘වසන්තය’ සහ ‘ශරතය’යි.
මෙහි එන්නේ විසි වැනි සියවසේ මුල් භාගයේ වැඩවසම් චීනයේ රදල පවුලක තරුණයන් තිදෙනකු පිළිබඳ කතාන්තරයකි. ඔවුන්ගේ පියා මිය ගොසිනි. පියාගේ පියා වන කා ඕ විසින් පවුල පාලනය කරනු ලැබේ. එය පවුල් පහක පණහක් දෙනා ජිවත් වන එක් තනි කුටුම්බයකි ඔවුන්ගේ ගෙඋයන අක්කර සිය ගණනකින් යුත් අතර නින්දගම අක්කර දහස් ගණනකි. කා ඕ කුල දෙටුවාගේ පුතුන් පස් දෙනකු සහ ඔවුන්ගේ පවුල්වල අය යැපෙන්නේ තනිකරම මේ නින්දගමෙනි. ඔවුන්ගේ දැසි දස්සන්ගේ සංඛ්‍යාව ද පණහක් පමණ වෙයි.
කා ඕ මහයාගේ පෙර සඳහන් මියගිය පුතාගේ පුතුන් වන චුවේශින්, චුවේමින් සහ චුවේහුයි යන තිදෙනා තවමත් යොවුන් වියේ පසුවන්නෝ වෙති. ඔවුන් අතුරින් වැඩිමලා වන විසි දෙහැවිරිදි චුවේශින් සිය ප්‍රේමය අත්හැර දමා සීයා කියන තරුණියක් කරකාර බැඳ ගන්නේ කිසිදු විරෝධයක් නොපාමිනි. මෙයි නමැති ඔහුගේ පෙම්වතිය වෙනත් පුරුෂයකු හා දිග යන්නී දෙවසරකින් පසු කන්වැන්දුමියක වී පෙරළා මව වෙත එයි. චුවේමින් නමැති දෙවැන්නා තවත් ඇවැස්ස නෑනා කෙනකු වන චින් නමැති යව්වනිය හා පෙමින් වෙළී සිටියි. චුවේහුයි නමැති බාල සහෝදරයා පෙමින් බැඳෙන්නේ මී පෙං නමැති ළාබාල දැස්සක් සමග ය. චුවේමින් සහ චුවේහුයි යන බාල සහෝදරයෝ දෙදෙනා උසස් පාසලක අධ්‍යාපනය ලබති. චුවේශින් රැකියාවක් කරමින් සිය පවුල නඩත්තු කරයි.
චුවේහුයි විප්ලවවාදී තරුණ කල්ලියකට සම්බන්ධ වෙයි. මෙය දැන ගන්නා සීයා ඔහු නිවාස අඩස්සි ගත කරයි. චුවේහුයි සිටින්නේ පවුලේ ක්‍රියාකාරකම් ගැන දැඩි නොසතුටකිනි. කිසි දිනක පල්ලැක්කියකින් ගමන් නොයන ඔහු ‘සමාජවාදී’ අදහස් ඇත්තෙකි. (මේ වනවිට චීනය සමාජවාදය ගැන දන්නේ නැත.) මි පෙං නමැති සතලොස් වියැති දැස්ස හා ඔහු අතර විරාගික ප්‍රේමයක් වෙයි. සිය පෙම්වතිය ලොව පවිත‍්‍රභාවයේ ප‍්‍රතිමූර්තිය ලෙස ඔහු සලකයි. මේ ප්‍රේමය දැඩි රහසක් ව පවතී.
ඔවුන්ගේ කාලය ඉතා සාමකාමී ලෙස සුන්දර ව ගෙවී යයි. මේ වනවිට මෙයි ද කා ඕ ගෙඋයනේ සිය ඥාති සමාගමයේ සිටියි. චුවේමින් සිය බිරිඳ වන ජුවේවුයි සමග ආදරයෙන් වෙළී සිටියත් මෙයි ගැන සිතමින් පශ්චාත්තාප වෙයි. ජුවේවුයි ද ඔහුගේ එම අතීත පෙම් පුවත දැන ගන්නා නමුත් මෙයිට අතිශයින් ඇලූම් කරයි.
වෙනත් නින්දගමක වයසක කුල දෙටුවකුගේ අනියම් බිරිඳ ලෙස මී පෙං විකුණා දමන්නට කා ඕ තීරණය කරයි. මෙය නතර කරවන ලෙස කුඩම්මා මගින් සීයාට කෙතරම් යාඥා කළත් අසරණ දැස්සට පිළිසරණක් නැති වෙයි. විප්ලවවාදි සංවිධානයේ වැඩටම සිය සිත ගත යොදවා සිටිනි චුවේහුයිට මෙය දැන ගන්නට නොලැබෙයි. විකිණෙන්නට නියමිත දිනට පෙරදා රැයේ මී පෙං ගෙඋයනේ ගැඹුරු විලට පැන සිය දිවි හානි කැර ගනියි.
‘මි පෙං ඇගේ හිත හදා ගත්තා ය.
ඈ කෙළින්ම ගියේ උයනට ය. අඳුර තුළ මහත් වෑයමෙන් මග සොයා ගත් ඕ සිය අරමුණ වූ විල්තෙර කරා එළැඹෙන තෙක් නොනැවතුණා ය. විල් දිය කළුවරේ දිලිහිණි. ඉඳහිට ගොදුරක් ගසා කන මසෙක් නිසල වැව් දිය සසල කළේ ය. ඕ අතීතයට අයත් සියල්ල සිහි කරමින් ඔහේ බලා සිටියා ය. තමාත් ඔහුත් රහසේ හමු වූ විට කළ කී දෑ සියල්ල ඕ සිහියට කැඳෙව්වා ය. එතරම් සුන්දර වූ, හුරුපුරුදු වූ සැම ගහක් ම සැම පඳුරක් ම ඇයට දැන් පෙනෙයි. තමා යන්නේ ඒ සියල්ල හැර යන්නට ය.
ලොවම නිසසල ය. සියල්ලන් ම නිදි ය. එහෙත් ඒ සියල්ලන් ම සජීව ය. ඔවුන් දිගට ම ජීවත් වනවා ඇත. මැරෙන්නට යන්නේ තමා පමණ ය.
ඇගේ දිවියේ සතලොස් වස පුරා අනුන්ට අත්පා මෙහෙවර කරමින්, ලත් ගුටි බැට, විඳි වෙහෙස, ඇසූ දෙස්දෙවොල්, හෙළූ කඳුළු විනා අන් කිසිවක් ඕ නොදත්තී ය. ඒ සියල්ල සමග ආලයක් ද විය. ඒ ආලය නිසා තමා දැන් විනාශ විය යුතු ය. ජීවිතය තමා වෙත ප්‍රීතිය ආවේ අන් ඕනෑම අයකුට වඩා බොහෝ අඩුවෙනි. ඉතින් දැන් යොවුන් වියේ මුවදොර සිටින තමාට මෙලොව හැර යන්නට සිදුව ඇත්තේ ය.
හෙට- අනෙක් අයට ඔවුන්ගේ හෙටක් තිබුණේ ය. ඇයට තිබුණේ අඳුරින් පිරි රික්තයක් පමණි. හෙට කුරුල්ලන් තුරු අතු අතර ගී ගයනවා ඇත. උදා හිරු ඒ තුරු හිස් ඔපවත් කරනවා ඇත. ගණන් නැති මුතුකැට වැනි බුබුළු දිය මතු පිටට එනු ඇත. එහෙත් තමා කිසිවක් නොදකිනු ඇත. මන්ද තමාගේ ඇස් සදහට ම පිය වී ඇති නිසා ය.’
සීයා චුවේමින්ට ද තරුණියක් යෝජනා කරයි. සීයාගේ තීරණය අවසන් තීරණය වෙයි. එහෙත් එයට එරෙහි වන චුවේමින් බාල සහෝදරයාගේ සහාය ද ඇතිව නිවසින් පැන යයි.
මේ අතර රෝගයක් උත්සන්න වීමෙන් මෙයි මරු දකින්නේ සියල්ලන් තුළ දැඩි ශෝකයක් ශේෂ කරවමිනි.
තරුණයන්ගේ බාප්පා කෙනකුගේ දුරාචාරයක් ගැන ආරංචි පැතිර යයි. කේතිං නමැති ඒ පුද්ගලයා ගෙන්වා කා ඕ දැඩිව තරවටු කරයි. එහෙත් පලක් නැත. මේ සිද්ධියෙන් පසුව කා ඕ දැඩි සේ ගිලන් වෙයි.
මහල්ලා බැහැ දකින්ට ගිය විටෙක චුවේහුයයි පුදුමයට පත් කරවමින් ඔහු පවසන්නේ තරුණයා හොඳ ළමයකු බවයි. තමා දැන් මරණයට පත්වෙමින් සිටිනා බව පවසන ඔහු කියන්නේ චුවේමින්ට ගෙනා මංගල යෝජනාව අවලංගු කරන බවත් තමා බැහැ දකින්නට ඔහු කැටුව එන ලෙසත් ය. ඒ අනුව තරුණයා සිය සහෝදරයා සීයා වෙත කැඳවා ගෙන එයි. සීයා ඔහුට සමාව දී මංගල යෝජනාව අවලංගු කළ බවත් ඔවුන් හොඳ ළමයින් බවත් සියල්ලන් ඉදිරියේ කියයි. ඒ සමගම මහල්ලා මිය යයි.
ජුවේවුයි දරු ප‍්‍රසූතියකට ආසන්නව සිටියි. මේ නිවසේ දී ඇය දරුවා ප‍්‍රසූත කළහොත් බරපතළ කිල්ලකට හසුවන බව කියන වැඩිහිටියෝ ඇය නිවසෙන් පිටමං කරන ලෙස චුවේශින්ට කියති. චුවේශින් එයට එකඟ වී ඇය නගරයෙන් පිට නිවසක නවත්වයි. හව්හරණක් නැති දරු ප‍්‍රසුතියේ දී ඇය මිය යයි.
මේ සියලූ සිදුවීම් චුවේහුයි කෝපයට පත් කරවයි. ඔහු සිටින්නේ පවුල ගැන අප‍්‍රමාණ පිළිකුළෙන් හා තරහිනි. පවුලේ අත්තනෝමතික තීරණ නිසා මේ වන විටත් තරුණ ජීවිත තුනක් අකාලයේ නැසී ගොසිනි. තමන් මෙයින් පලා යා යුතු ය’යි ඔහු තීරණය කරයි. වැඩිමහල් සහෝදරයන්ට මේ ගැන දැනුම් දෙන හේ සිය මිතුරන්ගේ සහායයෙන් ෂැංහයි වෙත යන්නට සියලූ කටයුතු සම්පාදනය කරයි. චුවේශින් කියන්නේ සීයාගේ අවමංගල්‍යය අවසන් වනතුරු වත් නවතින්නට ය කියා ය. එහෙත් සිය තීරණය වෙනස් නොකරන ඔහු සියල්ල හැරදා පිටත්ව යයි.
මෙහි සිය ජීවිත කතාවට මුළුමනින්ම සමාන පුවත් බොහොමයක් අන්තර්ගත බව පසුව යැටොයෑං විසින් පවසනු ලැබ තිබේ.
රදලවාදයේ අමානුෂික කෲරත්වය,සහ නිශ්ඵල බව හෙළි කරමින් රචිත මේ නවකතාව විශ්ව සාහිත්‍යයේ ඉහළින් අගය කරනු ලැබෙන ප‍්‍රබන්ධ අතරින් එකකි. ඒ අතරම මෙය සංවේගදායී නිමා සනිටුහන් කරන පෙම් පුවත් තුනක් ද ගෙන එයි. ඒ අතරින් චුවේහුයි සහ මී පෙං නමැති දැස්ස අතර ඇති ආලය සහ එහි ඛෙදජනක අවසානය විශේෂ ය.
නිතිපතා ඇගැයෙන මේ කෘතියට අදත් විශාල පාඨක ඉල්ලූමක් තිබේ.
මුල් යුගයේ චීන සාහිත්‍යයේ අති උත්කෘෂ්ට නවකතාවක් ලෙස සැලකෙන Family ආනන්ද කුමාර විසින් පවුල නමින් සිංහලට පරිවර්තනය කරනු ලැබ ඇස්.ගොඩගේ සහෝදරයන් විසින් ප‍්‍රකාශයට පත් කරනු ලැබී ය.
පැරිස් පියතුමා: සෑම අහිංසක ක්‍රිස්තියානි මිනිහෙක්ම සෑම අහිංසක ක්‍රිස්තියානි ගෑනියක්ම සතුටුයි සලෙම් ගමේ උසාවියක් ඇතිකරපු එකට! මේ මිනිස්සු විතරයි ඒකෙ
නිසල කඳු ලෙස සිංහලෙන් නම් කරනු ලැබ ඇති මේ පොතේ මුල් නම A Pale View of Hills ය. එහි නියම අරුත ’කඳුවල අඳුරු දසුනක්’ නොඑසේ නම් ’කඳුවල අදීප්ත දසුනක්’ යන්නයි. ඒ කියන්නේ කඳ
‘පිත්තල ගිනි උදුන මත වූ යකඩ කේතලය ගෙන ඇය තේ හැදුවා ය. තේකොළ මෙන් ම ඉස්තරම් ලෙස එය පැසෙන ආකාරය තැනට සහ අවස්ථාවට විස්මය ජනක ලෙස ඉස්තරම් විය.
“කිසිම සමාවක් නෑ මට සිතුණා. සීමාවක් නැති යුද්ධයක්. සීිමා පවුරු නැති මග අරින්න බැරි තරමේ හොඳ යුද්ධයක්.
අසාර්ථක ගැටවර ප්‍රේමයක සහ මෙන් ම අසාර්ථක පොලිස් විමර්ශනයක කතාවකි මේ.
මේ පොත මට විශේෂයෙන් මතක හිටින්නේ මෙහි පර්වර්තක යොදන පැරණි ගත් වහරට හුරු බස නිසා ය.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
පවුල