IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


බලකොටුව - The Castle

පොතක මතක - 15

 

ෆ්රාන්ස් කෆ්කා (1883 - 1924) නමැති යුදෙව් ලේඛකයා විසින් ජර්මානු බසින් රචිත das Schloss නමැති  නවකතාව ඔහුගේ සමකාලීන මිතුරකු  වූ මැක්ස් බ්‍රොඩ් විසින් සංස්කරණය කරනු ලැබ පරිවර්තකයන් කිහිප දෙනකු විසින් ම ඉංග‍්‍රීසි බසට පෙරළනු ලැබ පවතී. පසුව 1962 වසරේ දී මැල්කම් පාස්ලී ප‍්‍රමුඛ සාහිත්‍යධරයන් කණ්ඩායමක් විසින් ද කෆ්කාගේ සියලූ කෘති (the Trial හැර ) ඉංගිරිසියට පරිවර්තනය කිරීම අරඹන ලද්දේ මුල දී කැරණු පරිවර්තනවල යම් යම් දුර්වලතා ප‍්‍රකට වූ හෙයිනි. පාස්ලීගේ මග පෙන්වීමෙන් ඉන්පසුව ද das Schloss හි පරිවර්තන දෙකක්  එළිි දක්වනු ලැබ තිබේ.  කෙසේවෙතත්  das Schloss සෑම ඉංගිරිසි පරිවර්තනයක ම කෘති නාමය The Castle  (බලකොටුව) ය. ඇතැම් විද්වතකුට අනුව das Schloss යනු බලකොටුව ම නොවේ. ‘යතුරු ලා වසා ඇති ස්ථානය’ නැත්නම් ‘අවසානය’ යන අරුත් ද ඊට ඇති බව ඔවුන්ගේ මතයයි. පොත කියවන අයෙකුට එය සත්‍යයක් බව වැටහී යනු ඇත.

ශීත ඍතුවේ පමා සන්ධ්‍යාවෙක හිමෙන් වැසුණු කුඩා ගම් පියසකට 'කේ' නම් මිනින්දෝරුවෙක් එන්නේ ඒ පෙදෙස පාලනය කරන බලකොටු මාලිගාවේ ඇණවුමෙනි. එහෙත් කේ එන විට ඔහු ගැන බලකොටුවට නිනව්වක් නැත. ඔහු එනවිට ගමේ තානායම විවෘත කැර තිබේ. එහි කාමරයක් ගන්නට ඔහුට අවස්ථාවක් නොලැබෙන අතර ඇතුළු සාලයේ මුල්ලක නිදා ගන්නට ඉඩ ලැබේ. පිටස්තරයකු වන ඔහුට ගමේ තානායමේ නවාතැන් ගන්නට නම් බලකොටුවේ අවසරය අත්‍යවශ්‍ය ය. ගැමියෝ කිහිප දෙනෙක් ඒ වනවිටත් එහි බොමින් සිටිති. ඔහු තමාට දුන් තැන බිම වැතිර නිදීම අරඹයි. තානායම් පාලක දුරකතනයෙන් ඒ ගැන විමසන විට මුලින් එවැන්නක් නැත’යි කියන බලකොටුව නැවත කේ විමසන විට එය පිළිගනී. මෙලෙස ඔහුට තානායමේ නවාතැන් ගන්නට අවසර ලැබෙතත් බලකොටුවට ඇතුළු වන්නට නොලැබේ. පසුදින බලකොටුව කේට සහායකය්න් දෙදෙනෙකු ද එවයි. එහෙත් රාජකාරියක් නොපැවරේ. බලකොටුවට ඇතුළු වනු රිසි වුව ද කේට ඊට අවස්ථාවක් ලැබෙන්නේ නැත. අඩු තරමින් බලකොටුවේ ලේකම් ලෙස පොතේ සඳහන් ක්ලම් මුණ ගැසෙන්නට පවා ඔහුට අවස්ථාවක් නොලැබේ. කේට පැවරෙන රාජකාරිය වන්නේ ඉඩම් මැනීමේ කටයුතු නොව පාසල බලා කියා ගැනීම ය. පාසලේ සිටින්නේ ගුරුවරුන් දෙදෙනෙකු පමණි. පුරුෂයයකු සහ ස්ත්‍රියක වන ඔවුන් දෙදෙනාගේ ම කේ ගැන මනාපයක් නැත. පුරුෂයා සිය නොමනාපය බලකොටුවට දන්වන්නට ද නොපසුබට වෙයි. කේට අත් උදව්කාරයෝ දෙදෙනෙක් සිටිත්. කෝලම්කාරයන් ලෙස පෙනෙන ඔවුහු සැමවිටම කේගේ සෑම කාරියක දී ම මැදට පනිති. බලකොටුවේ නිලධාරීන්ගේ නියම රාජකාරිය නිශ්චිතව සඳහන් නොවේ. එසේම කිසිවකු බලකොටුවේ පාලන විවේචනය කරන්නට ඉදිරිපත් වන්නේ හෝ එහි යන්නට උත්සාහ ගන්නේ හෝ නැත. එහි අරුත නම් බලකොටුවේ පාලනය එකම අවුලක් වන නමුත් ඒ ගැන විමසීම උදෙසා  ගම්මුන් විසින් ම ස්වයං වාරණයක් පනවා ගෙන සිටින බවයි. මෙහි ස්වභාවය හෙළිවන්නේ දීර්ඝ සංවාද මගිනි.

කේගේ පත්වීම ගැන නගර පාලකගේ මේ ප‍්‍රකාශයෙන් වුව ද බලකොටුවේ පරිපාලනය ගැන අදහසක් ඇති කැර ගත හැකි ය. ඇත්තටම නම් ඔහුගේ මේ කියමනම අවුලකි.

'කඩදාසි නැතුව වුණත් මට ඔහේට සිද්ධිය කියන්න පුළුවන්. මං දැනටමත් කියල තියෙන අර නියෝගෙට ස්තුති කරල යැව්වා. මං කියල යැව්වා අපට මිනින්දෝරුවෙක් අවශ්‍ය නැත කියලා. නමුත් මගේ මේ පිළිතුර මුල් දෙපාර්තමේන්තුවට ලැබුණු බවක් පේන්න නෑ. ඒක 'ඒ' කියන දෙපාර්තමේන්තුවයි කියල අපි කියමු. ඉතින් මේ පිළිතුර වැරදිමකින් 'බී' කියන වෙනත් දෙපාර්තමේන්තුවකට ගියා. ඉතින් සිද්ධ  වුණේ  ඒ කියන දෙපාර්තමේන්තුවට පිළිතුරක් නොලැබීමයි. අවාසනාවකට වගේ බී කියන දෙපාර්තමේන්තුවට අපේ සම්පූර්ණ පිළිතුර ම ගියෙත් නෑ. නියෝගයයි පිළිතුරයි දෙක ම එක ම ලියුම් කවරයේ දමල යවල නැද්ද, නැතිනම් ඒක අතරමගදි නැති වුණා ද කියන්න බෑ. ඒක මගේ දෙපාර්තමේන්තුවෙදි නැති නූන බව නම් සහතිකයි. ඒකට මට සහතික වෙන්න පුළුවනි. අන්තිමේ දි බී දෙපාර්තමේන්තුවට ලැබුණෙ ආවරණ ලිපිය විතරයි. මේ ආවරණ ලිපියෙ කියල තිබුණේ  මිනින්දෝරුවකු සේවයට පත්කිරීමක් ගැන සුළු සඳහනක් පමණයි. ඉතින් ඒ ලිපිය ඇත්තට ම ක්‍රියාත්මක කළ නොහැකි එකක් . මේ අතර ඒ දෙපාර්තමේන්තුව අපේ පිළිතුර බලාගෙන උන්නා. ඇත්තටම ඒ අය අපට සිහි කැඳවිමක් පවා එවුවා. ඒත් බොහෝවිට සිදුවනවා වාගේ සැබැවින්ම ඒක සමාව දිය යුතු කාරණයක්. ඉතාමත්ම කාර්යක්‍ෂමව ක්‍රියා කිරීමේ දී වුණත් බොහෝවිට සිදුවිය හැකි පරිදි අපේ ලිපිකරු අපි එයාට පිළිතුරු එවාවි කියල විශ්වාස කළා. එයා එහෙම කළේ එක්කෝ මිනින්දෝරු තැන කැඳවීමට, නැත්නම් අවශ්‍යතාවක් වුණොත් යළිත් අපට ඒ කාරණේ ගැන ලියුමක් එවන්නටයි. මේ නිසා එයාගේ සිහි කැඳවීමේ සටහන බලන්න එයා කිසි විටෙකත් සිතුවේ නෑ. මේ නිසා මුළුමනින්ම මුළු ප‍්‍රශ්නෙම අමතක වී ගියා. .......’

කෙටිකතා සහ වෙනත් ලේඛන තිහ හතළිහක් ලියා පළ කොට ඇති ෆ්රාන්ස් කෆ්කා විසින් නිමවනු ලැබ ඇත්තේ නවකතා තුනත් පමණි. The Trial  (නඩු විභාගය), The Castle (බලකොටුව) සහ Amerika යනුවෙන් ද හඳුන්වනු ලබන The Man Who Dissapeared  යනු ඒවායේ ඉංගිරිසි පරිවර්තනවල කෘති නාමයි. ඒවා මුද්‍රණයෙන් නිකුත් වී ඇත්තේ කෆ්කාගේ අභාවයෙන් වසර කිහිපයකට පසු මැක්ස් බ්‍රොඩ් විසින් සංස්කරණය කරනු ලැබීමෙන් පසුව ය. ඒ කෆ්කාගේ අවසන් ඉල්ලීමට පටහැනිව බව පැවසේ. තමාගේ අභාවයෙන් පසු සියලු ලිපි ලේඛන පුළුස්සා දැමිය යුතු යයි ඔහු ඉල්ලා සිටි බව සඳහන් ය. 

1917 වසරේ ඔහුට ක්ෂය රෝගය වැළඳිණ. ඒ් නිසා හරිහැටි රැකියවට යන්නට පවා නොහැකි වී ඇත. ලේඛනයේ යෙදීම පවා අඩපණ විය. තමාට මේ දරුණු ප්‍රතිකාර උගහට රෝගය වැළඳුණේ සිය අභ්‍යන්තරයේ පවත්නා විසඳිය නොහැකි, දැරිය නොහැකි ගැටුම්වල අවසානයක් කිරීම පිණිස හිස හා සිරුර අතර පැවැති කුමණ්ත්‍රණයක ප්‍රතිඵලයක් වශයෙනි'යි ඔහු සිතී ය. රෝගි වීම නිසා ඔහුට සිය ජිවිතයෙන් වැඩි කාලයක් මානසික රෝහල්වල සහ අනෙකුත් රෝහල්වල ගෙවන්නට සිදු විය. සිය දිවියේ අවසන් දවස් ගමෙන් පිටව බර්ලිනයේ ගත කළ ඔහු 1924 ජුනි 03 දින මිය ගිය අතර දේහය ප්‍රාග් නුවර පුරාණ යුදෙව් සොහොන් ගැබක තැන්පත් කරන ලදී.

පසුගිය ජුනි 03 දින ඔහු  ෆ්රාන්ස් කෆ්කාගේ අභාව ශත සංවත්සරය යෙදි තිබිණි. මිය ගොස් වසර සියයක් ඉක්ම ගොස් ඇතත් අදත් ඔහුගේ කෘති හැදෑරීමට ලක්වේ. පසුගිය මැයි 24දා ගාඩියන් වෙබ් අඩවියේ කෆ්කාගේ කෘති ගැන විචාරයක් පළ විය. එය නිබන්ධනය කැර තිබුණේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඕල් සෝල්ස් විද්‍යාලයේ ජර්මානු බස සහ සාාහිත්‍යය පිලිබඳ ආචාර්යවරියක් ද පර්යේෂණ පාර්ෂදිකයකු මෙන් ම කෆ්කා පිළිබඳ විශේෂඥවරියක ද වන ආචාර්ය කැරොලිනා වට්‍රෝබා විසිනි. මේ උධෘතය ඒ ලිපියෙනි:

'කෆ්කාගේ නවකතා තුනෙන්, බලකොටුව කියවා නිම කිරීමට අපහසුම පොත වන්නේ එහි දිග නිසා ම නොවේ. පීඩාකාරී හිමෙන් වැසුණු ආවෘත භූ දර්ශනයක එහි ප්‍රධාන චරිතය - ඔහු හැඳින් වෙන්නේ තනි K අකුරකිනි - අවිශද, අරූප ආයතනයක් වන නාමමාත්‍ර බලකොටුවට ප්‍රවේශය සොයයි. නවකතාව වටකුරු සහ හෙම්බත් කරවනසුලුයි (circular and exhausting); එහෙත් මුඛ්‍ය කාරණය ද  එයමැයි. ඔබේ මේ ආවරණ භීතිකාවට හෙවත් ආවෘත තැන්වල හිඳින්නට ඇති බිය (claustrophobia) සාධු සම්මතයන්ට යටත් වේ ය'යි සිතමු. ඒ අවස්ථාවේ, සිය පදිංචිකරුවන් අවුල් සහගත නිලධාරිවාදී යන්ත්‍රයක සෙවණේ ජීවිතයට අනුගත වූ අඳුරු ගම්මානයක ඔබට අසීමිත ශීත කාලයක් අත්විඳිය හැකිය.'

මේ කෘතියේ ප්‍රධාන චරිතය වන කේ අහිංසක පුද්ගලයෙක් නොවේ. මාලිගාවට මේ මිනිසා ගැන නිච්චියක් නැත. තමා මිනින්දෝරුවෙක් බව ඔහු බලකොටුවෙන් ඒන නිලධාරීන්ට කියයි. මිනින්දෝරුවකුගේ අවශ්‍යතාව ගමට තිබේ ඒ් නිසා ඔහු කියන්නේ ඇත්ත ය'යි මිනිස්සූ සිතති. සංවාද කිහිපයකින් අනතුරුව කේ මිනින්දෝරුවකු බව බලකොටුව සනාථ කළ බව දැන ගන්නට ලැබේ.

මේ නවකතාව කෆ්කා විසින් අවසන් නොකරන ලද'යි මැක්ස් බ්‍රොඩ්ගේ සටහන්වල දැක්වේ.

 ඔහුගේ රචනා විලාසය හැඳින්විමට ඉංගිරිසියේ Kafkaesque නම් පදයක් ඇත. මෙය ‘කෆ්කානු ආර’ ලෙසින් සිංහලට නැගිය හැකිය. අනවබෝධී, මංමුලා වූ, කරදරකාරී ලෙස සංකීර්ණ, භයානක විය හැකි, විකාරරූපී, විකෘති යන සංකීර්ණ අරුතක් ඊට ඇත. කෆ්කාගේ කෘති ගැන මනා අවබෝධයක් ලබා ගැනිමට කේ.ජී.කරුණාතිලක සූරීන් විසින් සිංහලට නගන ලද කෆ්කාගේ කෙටිකතා එකතුවක් වන 'රූප විපර්යාසය' නමැති කෘතියේ දීර්ඝ පෙර වදන කියැවීම ප‍්‍රයෝජනවත් වනු ඇත. 

ඒ පෙරවදනින් ගත් උධෘතයකි මේ:

'කුමන අර්ථයකින් හෝ කේ වංචාකාරයෙක් නම් ඔහු සාමාන්‍ය තැනැත්තෙක් නොවේ. එහෙත් ඔහුගේ අනන්‍යතාවය ප්‍රශ්න කළ යුතුය. ඇතැම්විට ඔහුගේ මේ ශීත ඍතුවේ ගමන අනන්‍යතාව සොයා යන ගමනක් විය හැකිය. තමා ඉඩම් මිනින්දෝරුවෙක් ය'යි ඔහුගේ කියා සිටීම බලකොටු මාලිගාව පිළිගත් විට ඔහුට අමුත්තක් දැනුනේ මන්ද? මේ වෘත්තාන්තයේ අවුල් ජාලය මැදින් ගමන් කිරීමේ දී කේගේ නිරර්ථක ගවේෂණය ගැන අප තුළ අනුකම්පාවක් පහළ වෙතත් මුලින් ඔහු ගැන අප තුළ තිබූ සැක සංඛා අමතක නොකළ යුතුය. "බලකොටු මාලිගාව" යනු අනෙකුත් අර්ථකථන කෙතරම් තිබුණද කේවල පුද්ගලයා හා සමාජය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයකි;  අහං හා තත්ත්තාව (Ego සහ Id) අතර ඇති සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයකි; අදහස හා ක්‍රියාව අතර ඇති සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයකි; සෞඛ්‍ය හා රෝගී භාවය අතර ඇති සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයකි; ඇතැම් විටෙක යුදෙව්වන් හා යුදෙව්වන් නොවන ජාතිකයන් අතර ඇති සම්බන්ධතාව පිළිබඳ අධ්‍යයනයකි.'

 'රූප විපර්යාසය' (The Metamorphosis)යනු කෆ්කාගේ වඩාත් ම කතාබහට ලක් වූ කෙටිකතාව ය'යි කිවහොත් නිවැරදි වනු ඇත. එය කෙතරම් ප‍්‍රකට ද'යි කිවහොත් ඇතැම් තැනක කෆ්කා The Author The Metamorphosis ලෙස හැඳින්වෙනු දැකිය හැකි ය.  A Hunger Artist නමින් ඉංගිරිසියට පරිවර්තනය වී ඇති Ein Hungerkünstler ඔහුගේ අනෙක් ප්‍රබලතම නිර්මාණයයි. එය ඔහුගේ අවසන් නිර්මාණය ද වෙයි. මෙය ද කරුණාතිලක මහතාගේ යථෝක්ත කෙටිකතා ඒකතුවේ අන්තර්ගත ය.

ආචාර්ය කැරොලිනා වට්‍රෝබා මෙසේ ද පවසයි: 

'කෆ්කා කෙතරම් සංස්කෘතික නිරූපකයක් බවට පත් වී ඇත්ද යත්, ඔහුගේ ලේඛනවල වඩාත්ම පුද්ගලික, අපැහැදිලි මෙන් ම කොටස් කොටස් වශයෙන් කෑලි කෑලිවලට වෙන් වී ඇති ඒවා පවා විශාල වශයෙන් ප්‍රේක්ෂකයන් වෙත ළඟා වී තිබේ- දිනපොත්, ලිපි, ප්‍රකාශිත සටහන්, අද්භූත පුරාවෘත්ත මෙන්ම මරණ මංචකයේ සිටිය දී කළ සංවාදවල තුණ්ඩු කෑලි පවා, වෙනකක් තබා ඔහු සේවය කළ රක්ෂණ ආායතනයේ ඔහුගේ රැකියාවේ දී භාවිත ලිපි පවා - මේවා බොහෝමයක් පාඨකයන්ට ලබා ගත හැකි නිසා ඔබට ඔහුගේ කාර්යය ගැන අධ්‍යයනය කරන්නට  අවශ්‍ය නම් ආරම්භ කළ යුත්තේ කොතැනින්ද යන්න දැන ගැනීම පසුබෑමක් ඇති කරවන සුලු විය හැකිය.'

මැක්ස් බ්‍රොඩ් විසින් සංස්කරණය කරන ලද das Schloss  ඇසුරින් විලා සහ එඩ්වින් මුඅර් විසින් පරිවර්තනය කරන ලද   The Castle  ජී.ඩබ්.නන්දිසේනයන් විසින් බලකොටුව නමින් සිංහලට පරිවර්තනය කරන ලදුව 1994 වසරේ ගොඩගේ ප‍්‍රකාශනයක් ලෙසින් එළි දිටී ය. ඉහත උධාතය ගත්තේ එයිනි.



අදහස් (0)

බලකොටුව - The Castle

ඔබේ අදහස් එවන්න

පොතක මතක

රෑ මාතා Mother Night
2024 සැප්තැම්බර් මස 03 118 0

‘මා හොඳින් දන්නා හඳුනන සදාචාරයක් ගැන කියැවෙන මගේ එකම කතාන්තරය මෙයයි. එය ආශ්චර්යවත් සදාචාරයකියි මම නොසිතමි.


වෙිලාසන කොක්කු ඇවිත් The Early Cranes
2024 අගෝස්තු මස 27 214 0

ගමේ සියලු වැඩිහිටි පිරිමින් යුද සේවයට කැඳවලා ය. ඉතිරිවී සිටින්නේ යෞවනයන් පමණි. ඔවුන් තවමත් පාසල් සිසුන් ය.


හතරවන තට්ටුව DEATH IS PART OF THE PROCESS
2024 අගෝස්තු මස 20 115 0

හතරවන තට්ටුව - මෙය අසන දකින ඕනෑම ලාංකිකයෙක් ඒ කවරක්ද කියා දනී. ලංකාවේ රහස් පොලීසියේ පටබැඳි නාමයයි ඒ.


අර්ජුන්
2024 අගෝස්තු මස 13 221 0

අර්ජුන් සිය මිතුරාගේ නැගණිය මෙන් ම තමාගේත් මිතුරිය වූ ශුක්ලාට පෙම් කරයි. එහෙත් සුනිල් ගංගෝපාධ්‍යාය එය එතරම් උත්කර්ෂයට නංවන්නේ නැත.


හිරු උදාවෙයි The Sun Also Rises
2024 අගෝස්තු මස 06 225 0

’ඉන්න පරපුර නැති වෙලා වෙනත් පරපුරක් ඒවි. ඒත් මහ පොළොව සදාකාලිකයි. ඉරත් පායයි. බැහැල යයි ආයෙත් හිටපු තැනට ම. සුළඟ දකුණට හමයි. හැරිල උතුරට හමයි. සුළි කුණාටු


බරවැලි Heavy Sand අනතෝලි රිබාකොව්
2024 ජුලි මස 30 120 0

දෙවැනි ලෝක මහා යුද්ධයේ දී සෝවියට් දේශය විශාල කාර්යභාරයක් ඉටු කරන ලද බවත්, ඇත්තටම නාසින්ගේ පරාජය ඇරැඹුණේ එරට දී බවත් පතළ කරුණකි. ඒ සඳහා මිලියන 11ක් පමණ සෝව


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site