ලිංගික ඊර්ෂ්‍යාව නිසා සිය කලත‍්‍රයා මරා අපරාධ චෝදනාවලට හසුව දඬුවම් නියම කරනු ලබන කතා මෙකල මාධ්‍යයේ දුලබ නොවේ. වර්තමානයේ පමණක් නොවේ, මනුෂ්‍ය ඉතිහාසයේ සැමදා එවැනි සිදුවිම් ගැන වාර්තා තිබේ.
මේ මතකය එවැනි සිදුවීමක් පදනම් කැර ගනිමින් නිර්මිත නවකතාවක් ගැන ය. නවකතාවේ නම Kreutzer Sonata. මෙය රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි (1828 - 1910) විසින් 1889 දී රචිත කෙටි නවකතාවකි. ටෝල්ස්ටෝයි යනු ලොව මෙතෙක් පහළ වූ ලේඛකයන් අතුරින් විශිෂ්ටතමයා ලෙස සැලකෙන නිර්මාණකරුවා ය.
මේ කෘතියේ දී පොඩ්ස්නශෙව් නම් පුද්ගලයෙක් තමාට දුම්රියේ දී හමුවන නන්නාඳුනන අයකු සමග තමා සිය බිරිඳ ඝාතනය කළ බව සහ එය කළ ආකාරයත් එයට හේතුත් කියයි.
පොඩ්ස්නශෙව් එකල රුසියාවේ ‘පාන් වරුන්’ නමින් හැඳින්වුණු වැදගතුන්ගේ ගණයට අයත් වූවෙකිි. ඉඩම් හිමි වැවිලිකරුවකු වන ඔහු උපාධිධාරියෙකි. සිර දඬුවමට යටත් වන්ට පෙර රජයේ මුලාදෑනියකුව සිටියෙකි. ඔහු කියන පරිදි එකල ඉහළ සමාජයේ ගණිකා සේවනය බහුල වූවකි. මුලින් ම ඔහු ගණිකාවක් කරා එළැඹ ඇත්තේ සොලොස් හැවිරිදි වියේ දී ය. එකල අම්මලා එය තරුණයන්ගේ නිරෝගීභාවයට හේතු වන බව විශ්වාස කළහ.
‘මගේ ඒ සිද්ධියට තුඩු දුන් දේ පටන් ගන්න කොට, ඕව් පටන් ගන්නකොට මං භාෂා පාසලක ශිෂ්‍යයෙක්. මගේ අයියා විශ්ව විද්‍යාලෙ පළමුවන අවුරුද්දෙ. එතෙක් කිසිම ගෑනියක් මං දැනං හිටියෙ නෑ. ඒ කියන්නේ මගේ වයසේ ළමයින් එක්ක සසඳන කොට මං අහිංසක තොත්ත බබෙක් කියන එක නෙවෙයි. ගැහැනු කියන්නේ පැතිය යුතු වස්තුවක් බව මා සිතුවා. ගැහැනුන්ගේ සෙලුව ගැන සිතමින් මා එතකොටත් පීඩා විඳිමින් සිටියා. ඒ ගැන තනියම කල්පනා කිරීමෙන් මගේ සිත කිලිටි වුණා. අපේ තරුණයන් සීයට අනූ නමයක් වාගේ ම මාත් සිතින් පීඩා වින්දා. මා හරියට බය වුණා. දුක් වින්දා. දෙවියන්ට යාඥා කළා. අන්තිමේ දී පරාජය වුණා. ඇත්ත වශයෙන් සිතින් නම් මා එතකොටත් දුරාචාරයේ හැසිරිලා හමාරයි. ඒත් මං අන්තිම පියවර එතෙක් අරන් තිබුණේ නෑ. මා විනාශවෙමින් සිටියා. එතෙක් මා කොල්ලකුගේ හෝ කෙල්ලකගේ ඇඟට අත තියලා තිබුණේ නෑ. එක දවසක් මගේ අයියාගේ මිතුරෙක්, මිනිහ හොඳ සෙල්ලක්කාරයා, හොඳ යයි ගණන් ගත්තු කෙනෙක්, අපට බොන්නටත්, කාඩ් ගහන්නටත් ඉගැන්නුවා. එක දවසක් අපි හොඳටම බිව්වා. බීල අහවර වුණාම මිනිහා අරෙහෙට යන්නට අපව උනන්දු කෙරෙව්වා. අපි ගියා. මගේ අයියාත් අහිංසක කොල්ලෙක්. මිනිහත් එදා මම ආත්මය නසා ගත්තා. ඉතින් මට යාන්තම් අවුරුදු පාළොහයි. මාත් දූෂණය වුණා. කරන්නේ මොකක්ද නොදැනම ගෑනියක් දූෂණය කිරීමේ ව්‍යාපාරයට සහභාගි වුණා. මා කරන දේ වැරදි යයි වැඩිහිටියන් කිසිදා කියනු මා අසා නෑ. ඔබට තේරෙනවනෙ. මේ ගැන දස පනතේ සඳහන් වන බව ඇත්ත. ඒත් දස පනත අවශ්‍ය ධර්ම විභාගෙදි පාදිලි උන්නාන්සෙ ඉස්සරහ උත්තර දෙන්න විතරයි. දස පනත ඊට වඩා අවශ්‍ය ලතින් වාක්‍යයක භාව ක්‍රියාව යෙදෙන හැටි පෙන්වන්නටයි.
‘ එක්තරා වයසකදි ස්වභාවයෙන් ම ඇතිවන වුවමනාව පිරිමහ ගන්නටත් අනෙක් අතට සතුට ලබා ගන්නටත් මා ඒ වැඬේ යෙදුණා. ඒ වුනත් ඉස්සෙල්ලම දවස නම් විශේෂ ශෝකජනක දිනයක්. මට ඒක එක පාරට ම මතක් වෙනවා. කාමරයෙන් පිට වෙන්නටත් ඉස්සර, ඒ සථානයෙදි ම මට බොහොම කනගාටුවක් ඇති වුණා. ඒ කනගාටුවෙන් මට ආවා. මගේ අහිංසකත්වය නැසුණු නිසාත්, ස්ත්‍රීන් සමග මගේ ඇති සම්බන්ධයේ සදාකාලික කැළලක් ඇති වීම නිසාත් මට ඇඬෙන්න ආවා. ඔව්, ස්ත්‍රීන් සමග මගේ තිබුණු ස්වාභාවික අවංක සම්බන්ධය සදාකාලයට ම කෙලෙසුණා එතැන් පටන් ස්ත්‍රීන් සමග අකලංක සම්බන්ධයක් ඇති වුණෙත් නෑ. ඇති කර ගන්නටත් බැරි වුණා. මං කාමුකයෙක්, සල්ලාලයෙක් බවට පත් වුණා’
ඉන්පසු ඔහු - ඒ කියන්නේ පොඩ්ස්නශෙව් මහත්මයා - ආවාහ කැර ගැනීම සඳහා කාන්තාවක් සොයමින් පසු විය. ඔහුට හමු වූ බොහෝ කෙල්ලන් ඔහු ප‍්‍රතික්‍ෂෙප කළේ තමා සමග විිවාහ වන්නට තරම් ඔවුන් පිවිතුරු නැති නිසා බව ඔහු කී ය. පසුව ඔහුට ‘පිවිතුරු’ කෙල්ලක් හමුවිය. ධනය අතින් පිරිී සිටි පවුලක දුවකි ඇය. සංගීතයෙහි දක්ෂ එකියකි ඕ. කෙටි ඇසුරකින් පසු ඔහු ඇය ආවාහ කැර ගත්තේ ය. විිවාහයෙන් පසු පොඩ්ස්නශෙව් අන් ස්ත්‍රීන් කරා එලැඹීම සපුරා අත් හළේ ය.
දවසෙක ඔහු ඇයට සිය දිනපොත් පෙන්වී ය. එයින් ඇය කිසිවක් වටහා ගන්නට ඇත.
මුල් මාස කිහිපය තුළ ඔවුන්ගේ ලිංගික ජීවිතය අති උත්කර්ෂවත් අයුරින් පැවැතිණි. පසුව එය කෙමෙන් පිරිහුණි. ඔහු ඇයට ඇති තරම් මුදල් දුන්නේ ය. ඔවුන්ට දරුවෝ සිව් දෙනෙක් උපන්නෝ ය.
බීතෝවන් විසින් නිර්මිත, ක්‍රොයිට්සර් නම් ජ්‍යෙෂ්ඨ සංගීතවේදියාට උපහාර පිණිස ඔහුගේ නමින් නම් කරන ලද සොනාටාව ක්‍රොයිට්සර් සොනාටා නමි. වයලීනය මූලික කැරගත් ඊට පිළිමල් ලෙස පියානෝව වාදනය වන අංග තුනකින් සමන්විත මෙය මිනිත්තු 40 පමණ දිගකින් යුක්ත ය. පොඩ්ස්නශෙව් ඒ ගැන දක්වන අදහස මෙ පරිදිය : ‘ඔවුන් වාදනය කළේ බීතොවන්ගේ ක්‍රොයිට්සර් සොනාටාව, ඔබ දන්නවා ද එහි මුල් ප්‍රෙස්ටෝව, ඔව් ඔබ දන්නවා, ඕ, ඕ, ඒක මහා භයානකයි. ..’ තවත් වරෙක ඔහු මෙසේ කියයි.:‘අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගන්නා කෙනෙකුට එය භයංකර ආයුධයක්. උදාහරණ වශයෙන් ඒ ක්‍රොයිට්සර් සොනාටාව ගන්න. විශාලෙට කර ඇරපු හැට්ට ඇඳගත් ගෑනු ඉන්න සාලෙක එය වාදනය කරන්නේ කොහොම ද? එවැනි වාදන පවත්වන්නට ඕනෑ තේරුමක් ඇති වැදගත් අවස්ථාවල, ඒ වාගේ ම යම් යම් ක්‍රියා සිදු වෙන්න පුළුවන්. ඒ සංගීතය නිසා ඒ වේලාවේ දී වාදනය කරල සංගීතයෙන් කුල්මත් වූ විට ඒ අනුව ක්‍රියා කළ හැකියි. එසේ නැතිව වෙලාවක් තැනක් නොබලා ශක්තියත් හැඟීම් ඇවිස්සුණා ම එයින් පිට වන්නට මාර්ගයක් නැති වුණාම නරකට ක්‍රියා කරනවා. ඒ කෙසේවෙතත් ඒ වාදනය නිසා මා තුළ බියකරු වේගයක් ඇති වුණ.’
ඔහු බිරිඳ මරන්නේ ඔවුන් දෙදෙන එක්ව එය වාදනය කරනු ඇසීමෙන් උපන් ක්‍රෝධය නිසා ය.
අප කතාවේ මුලට යනවා නම්, මේ කතන්දරය ඇරඹෙන්නේ දුම්රිය මැදිරියක ගමන් ගන්නා මගීන් කිහිප දෙනෙකු අතර ඇතිවන සංවාදයකිනි. විවාහය ගැනත් ප්‍රේමය ගැනත් ඔවුහ සිය මත ඉදිරිපත් කරති. ඔවුනතර සිටින එකම කාන්තාව ගෙනෙන මත කේන්ද්‍ර කැර ගනිමින් අනෙක්හු සංවාදයට එක්වෙති. ඇය කියන්නේ විවාහයට පෙර ඔවුනොවුන් දැන හැඳින පෙම් කිරීමෙන් පසු විවාහ වීමෙන් සාර්ථක පවුල් ජිවිතයක් ගත කළ හැකි බවයි. ආලය බලෙන් ඇති කළ හැකි දෙයක් නොවේ ය යනු ඇගේ මූලික අදහසයි. දුම්රිය මැදිරියේ සිටින තලතුනා වැදගත් පෙනුමැති අයෙක් මේ සියල්ල අසා සිට සංවාදයේ යෙදෙන පිරිස අසලට පැමිණි එයට මැදිහත් වෙයි. පොඩ්ස්නශෙව් ලෙස අප මේ වනවිට දන්නා තැනැත්තා ය ඒ. ඔය කියන්නේ මොන විදිහේ විවාහය පවිත‍්‍ර කරවන ආලයක් දැයි ඔහු ඇගෙන් විමසයි. ‘නියම සැබෑ ආලය ය’යි ඇයි පිළිතුරු දුන්න ද එය පැහැදිලි කිරීම ඇයට අපහසු වෙයි. ඔහු ම පසුව ඇයට එය පැහැදිලි කැර දෙයි. ‘ඔයාලා කතා කරන්නේ තියෙන්න ඕනෑ යි කියා හිතන දෙයක් ගැන. නමුත් මා කතා කරන්නේ තියෙන දෙයක් ගැන. ඔය කියන ආලය හැම පිරිමියෙක් ම හැම ලස්සන ගැහැනියකටම දක්වනවා’
පසුව ඔහු තමා හඳුන්වා දෙමින්, තමා බිරිඳ ඝාතනය කළ නිසා හිරේට නියම වූ පොඩ්ස්නශෙව් බව කියයි.
දුම්රිය මැදිරියේ සිටියෝ ඊළඟ දුම්රිය පොළකින් බැසයති. මේ කතාව අපට කියන අය සහ පොඞ්ස්නශෙව් පමණක් දිගට ම දුම්රියේ ගමන් ගනිති.
අප කියවන මේ පොතේ ඒන්නේ පොඩ්ස්නශෙව් අනෙක් මගියා සමග පැවසූ ඔහුගේ කතාව ය.
දරුවන් කිහිප දෙනෙකු ලැබීමෙන් පසුව සෞඛ්‍ය හේතු නිසා වෛද්‍යවරු බිරිඳට නැවත ගැබ් ගැනීම තහනම් කරති. මේ නිසා ඔහුට අවශ්‍ය ම දැය වන ලිංගික ඇසුර නැතිව යයි. විවාහයෙන් පසු ඔහු වෙනත් ස්ත්‍රීන් කරා නොයන බැවින් මෙම ලිංගික විරමණය ඔහුගේ සිතේ නුරුස්නා කමක් වඩවයි. තෘහවෙස්කි නම් සංගීත ශිල්පියා ඔවුන් අතරට එන්නේ මෙසමයේ ය. මේ කාමුකයකු බව දැනදැනත් ඔහු සිය බිරිඳ තෘහවෙස්කිගේ ඇසුරෙන් මිදැවීමට පියවර නොගනියි. පසු දා තමා මේ නුවරින් පිටත්ව යන බව ඔහු පොඩ්ස්නශෙව් සමග කියයි. පොඩ්ස්නශෙව් පසු දින සිය ව්‍යාපාරික කටයුතු සඳහා දින කිහිපයකට බැහැර යයි. මේ වන විට ඔහු සිය බිරිඳ හා තෘහවෙස්කි අතර රමණය සිදුවන්නේ ය’යි සිතා බලවත් ලෙස ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් සිටියි. දින තුනකට පසු බිරිඳ ඔහුට ලිපියක් එවයි. තෘහවෙස්කි සංගීත ප‍්‍රස්තාර කිහිපයක් රැගෙන ඇය හමුවට ආ බව එහි සඳහන් වෙයි. එදින ම කිසිවකුට නොදන්වා ඔහු ආපසු එයි. ඔහු එනවිට රෑ බෝ වී ඇති නමුත් තෘහවෙස්කි සහ බිරිඳ පියානෝවෙන් ක්‍රොයිට්සර් සොනාටාව වාදනය කරනු ඔහුට ඇසෙයි. හඬ නොනැගෙන සේ පිහියක් රැගෙන එතැනට යන ඔහු එයින් ඇන බිරිඳ ඝාතනය කරයි. සංගීතකාරයා පැන යයි. නඩුවෙන් ඔහුට හිරේට නියම වෙයි. දැන් සිර දඬුවම් අවසන් ය. තමා මේ යන්නේ ගම්බද පෙදෙසක පිහිටි තමාට අයත් කුඩා නිවෙසක පදිංචියට ය. දරුවෝ බිරිඳගේ පාර්ශ්වයේ නෑයින් භාරයට බලෙන්ම පවරා ගෙන ඇත.
මිනිසුන් සහ ගැහැනුන් අතර පවතින මෘගමය දුරාචාරය සහ ඌරන්ගේ වැනි සබඳතා මෙවැනි සිදුවීම්වලට හේතුව බව පොඩ්ස්නශෙව් කියයි.
එකල සමාජ ප‍්‍රතිසංස්කාරකයන් මේ කෘතිය දුටුයේ විවාහ ජිවිතයට ගර්හා කරන කෘතියක් ලෙසිනි. ඒ අනුව මෙය සාර් පාලනය විසින් රුසියාවේ සහ තියඩෝර් රූස්වෙල්ට්ගේ පාලනය විසින් අමෙරිකා එක්සත් ජනපදයේ ද එසමයේ තහනම් කැරිණි. ටෝල්ස්ටෝයි යනු කාම විකෘතයෙකැයි රූස්වෙල්ට් පවසා ඇත. මෙහි කිසිදු අසභ්‍ය හෝ කාමුක කිසිවක් අඩංගු නොවන්නේ ය’යි එක්සත් ජනපදයේ අධිකරණයක් විසින් පසුව තින්දු කරන ලදී.
මේ කුඩා කෘතිය ලොව මෙතෙක් බිහිවූ ලිංගික ඊර්ෂ්‍යාව පදනම් කැර ලියැවුණු නවකතා අතුරින් වඩාත් නිර්මාණාත්මක කෘතිය ලෙස සැලකේ.
Kreutzer Sonata ඇස්.ජී.සමරසිංහ විසින් සිංහලට පරිවර්තනය කරන ලදුව ‘ගැහැනු කවුරුද වරද නොබැඳෙන’ නමින් සමන් ප‍්‍රකාශනයක් ලෙස 1963 දි මුද්‍රණයෙන් නිකුත් විය. එයම පසුව ක්‍රොයිට්සර් සොනාටා නමින් 2003 වසරේ සංස්කෘති ප‍්‍රකාශනයක් ලෙස එළි දැක්විණි. මේ කංචුකය ඒ පොතේ ය. කළුබෝවිල සිරිල් සී. පෙරේරා විසින් පේමතෝ ජායතී සෝකෝ නමින් කළ එහි පරිවර්තනයක් ගොඩගේ සමාගම විසින් 2003 දී ප‍්‍රකාශයට පත් කරන ලද බව ද සඳහන් ය.
’’අල්තිනායි, අපි දෙන්නා එකතුවෙලා කරන්න ඕන වැඩක් තියෙනවා’’ ඔහු රහසක් අනාවරණය කරන්නාක් මෙන් කීවා. ’’ මං මේ පොප්ලර් පැළ දෙක ගෙනාවෙ ඔයා වෙනුවෙන්. අපි දෙන්න
‘තව ශත වර්ෂයක් ඇතුළත දී අප ඇත්ත වශයෙන් ම සෞරග‍්‍රහ මණ්ඩලයෙන් පිටතට යන්නට පුළුවන්. වැඩිකල් යන්නට කලින් අපට වඩා උසස්, අපට වඩා ගතින් සිතින් වෙනස් සත්ත්වයන
‘සැබැවින් ම මගේ භාෂාව වෙනස් වෙයි. මා කිසිදා එරෙහිව වාද නොකරන දෙයකි එය. හරියට ගසක් සෑම වසරකට ම වරක් සිය පැරැණි පත් සලා ඒ වෙනුවට අලුත් දලු ලමින් වෙනස් වන්නා
’එක්දහස් නමසිය අසූහතර’ නම් මේ පොත කියවා අවසන් කළ මට සිතුණේ මේ නම් පෑනෙන් පෙළහර පෑමක් ම තමා කියා ය. මේ පොත කියවන කෙනකු අමුතුම ලොවක අමුතුම පරිසරයකට පිවිසෙ
Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි.
වංග දේශයේ මතු නොව සමස්ත ඉන්දීය අර්ධද්වීපයේම මහා ලේඛකයා ලෙස සැලකෙන නොබෙල් ත්‍යාගලාභී - සිංහල පාඨකයන් අතර තාගෝර්තුමා ලෙසින් වඩා ප‍්‍රකට - රබින්ද්‍රනාථ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලියෝ ටෝල්ස්ටෝයි ගේ ක්‍රොයිට්සර් සොනාටා