Hadji Murath යනු රුසියානු මහා ලේඛක තෝල්තෝයි (1828 - 1910) විසින් රුසියානු බසින් රචිත Khadzhi-Murat නම් කෙටි නවකතාවේ ඉංග්‍රීසි පරිවර්තනයයි. ප‍්‍රමාණයෙන් කෙටි වුවත් මෙය රචනා කිරීම ලේඛකයා විසින් අරඹා ඇත්තේ 1896 දී වන අතර අවසන් කොට ඇත්තේ 1904 දී ය. කතුවරයාගේ අවසන් නිර්මාණය වන මෙය පළ වී ඇත්තේ 1912 දී ඔහුගේ අභාවයෙන් දෙවසරත් ඉක්ම ගිය පසු ය. මෙම නිර්මාණය නිම කරන්නට නොබෝ කලකට පෙර ඔහු ‘කලාව යනු කුමක් ද?’ නම් සිය දීර්ඝ නිබන්ධනය එළිදැක් වී ය.
තොල්ස්තෝයි මෙසේ අසයි: ‘...අදෘශ්‍ය වාසි අපේක්‍ෂාවෙන් තමා අනතුරේ හෙළීමට සහ තමා වැනි ම තවත් මිනිසුන් ඝාතනය කරන්නට මිනිසකු තීරණය කරන්නේ කුමන හැඟීම්වවලින් පොලඹවණු ලබීමෙන් ද? ආත්මාරක්ෂාව? යුතුකම් ඉටු කිරීම? කෝපය?..’
‘... යුද්ධය යනු කුමක්ද? මානව සංහතිය තුළ එය කෙතරම් නම් අනවබෝධිත සං සිද්ධියක් ද? යුද්ධය සාධාරණ ද? එය අවශ්‍ය ද? බුද්ධිය එලෙස අසන විට අභ්‍යන්තරය පිළිතුරු දෙන්නේ නැත, නැත යනුවෙනි. එතකුදු වුව මේ අස්වාභාවික සංසිද්ධිය යමකු විසින් නිරතුරුව පවත්වා ගෙන යන දැයක් බවට පත් කෙරෙයි....’
කතන්දරය ඇරඹෙන්නේ කථකයා කොහේදෝ සිට කුඹුරු මැදින් වැටී ඇති පාරක් දිගේ නිවෙස බලා එන සිද්ධියකිනි. ඒ ගමන් ම ඔහු මල් නෙළමින් එයි. ඔහු අතැති මල් පොකුරේ විවිධ මල් තිබේ. ඔහු මහ මග අද්දර ඇති කටු සහිත නටු ඇති තතාර් නම් පැලෑටියක පිපි ලස්සන මලක් ආයාසයෙන් නෙලා ගනියි. නටුවේ ඇති කටු නිසා මේ මල් සුරැකි වන නමුත් එහි කෙමිය රොනට ඇදෙන සමනලූන්ට ආකර්ෂණීය වෙයි. නෙළීමේ දී ම විනාශ වන මල ප‍්‍රයෝජනයක් ගත නොහැකි තරමට දුර්වර්ණ වී ඇති බව නොබෝ වේලාවකින් ඔහුට පෙනෙයි. එවිට ඔහු ඒ මල ඉවතලයි. ඒ සමග ම ඔහු අසා ඇති අතීත කතන්දරයක් සිහිපත් වෙයි. ‘හොඳයි දැන් අපි ඒක කියමුකො’ කියන ඔහු 1851 වසරේ සිදුවිණැයි පැවසෙන හජි මුරාත්ගේ කතන්දරය අප ඉදිරියේ සිතුවම් පටයක් සේ ප‍්‍රදර්ශනය කරන්නාක් මෙන් දිග හරියි.
කොකේසස් කඳුවැටියේ අතුරු බෑවුමේ පිහිටා තිබෙන චෙච්නියාව ඉස්ලාම් ලබ්ධිකයන් විසින් 14 වැනි සියවසේ දී පමණ නතු කැර ගන්නා ලදී. සුෆිවරුන් වූ එහි පාලකයෝ ෂාරියා නිතිය ක්‍රියාත්මක කරන්නට පියවර ගත්තෝ ය. එහෙත් විවිධ ආක‍්‍රමණ නිසා නොයෙක් සටන් ඇති වූ අතර ගෝත්‍රික නායකයන් සටන් කළේ සිය ස්වාධීනත්වය පතා පමණක් නොව ආගමේ ආධිපත්‍යය ද රැක ගැනීම සඳහා ය. චෙච්නියාව මේ කරුණු දෙක අරබයා අදත් රුසියාව සමග නොහොඳින් පසුවන අයුරු දැකිය හැකි ය.
හජි මුරාත් (1795 - 1852) නම් ඉස්ලාම් ලබ්ධික සටන් කාමියයකුගේ සත්‍ය ජීවිතය ඇසුරින් මෙය නිර්මිත ය. මේ තැනැත්තා කොකේසියානු කඳුකර වැසියන්ගේ නිදහස සඳහා පළමුවන නිකොලස් සාර් රජුගේ සමයේ අරගලයක් ගෙන ගිය ෂමීල් නම් කැරලිකරුවාගේ හමුදාවේ ප‍්‍රමුඛ නිලයක් දැරූවෙකි. රුසියානු හමුදාවට එරෙහිව සටන් මෙහෙයැවූ අතිදක්ෂ රණ ශූරයකු වැ සිටි හේ පසුව සිය නායකයා වූ ෂමිල් සමග විරසක වී සටන පාවා දී රුසියානු හමුදාවට එක් වී ය. ඉන් කලකට පසුව චෙච්නියාව සමග පැවැති පළමුවන සංග‍්‍රාමයේ දී රුසියානු හමුදාවේ ලයිතන්වරයකුව සිටි තෝල්ස්තෝයි හජි මුරාත්ගේ මේ ක්‍රියාව දකින්නේ දීන කමක් ලෙස ය.
හජි මුරාත් රුසියානු හමුදාවට යටත් වනුයේ පෞරුෂයක් සහිත යුද සෙන්පතියකු ලෙසිනි. යටත් වීමෙන් පසුව වුව ද තමන්ගේ ආරක්‍ෂක සෙබළුන් තබා ගන්නට ඔහුට අවසරය ලැබෙතත් කල් ගෙවන්නට සිදු වනුයේ කිසියම් දුරකට නිවාස අඩස්සියක ය. ආගම අදහන්නටත් සිය ආරක්‍ෂකයන් සමග සාකච්ඡා කරන්නටත් ඔහුට ඉඩ ප‍්‍රස්තාව ලැබේ. පසුව ඔහු එකල රුසියානු අගනුවර වූ පීතර්ස්බර්ග් වෙත ගෙන යනු ලැබේ. පළමුවන නිකොලස් සාර් රජු හමුවට පමුණුවනු ලැබූ විට ඔහු මුලින්ම ඉල්ලා සිටින්නේ තම පවුල ෂමිල්ගේ ග‍්‍රහණයෙන් මුදවා දෙන මෙන් ය. තමා රජුට පක්‍ෂපාතීව සේවය කරන්නට බැඳී සිටින බව ද ඔහු රජුට දන්වා සිටියි. එදිනම රැයේ හජි මුරාත්ගේ පවුලේ අය රඳවා සිටිතැයි පැවසෙන ගමට රුසියානු හමුදා ප‍්‍රහාරයක් එල්ල වෙයි. පලා යා නොහැකිව සිටිනවුන් සියලු දෙනා ඝාතනය කොට ගම ගිනි ලැවෙයි.
මේ ප‍්‍රහාරයට හජි මුරාත්ගේ පවුලේ අය හසු නොවෙති. ඔවුන් සිටින්නේ ෂමීල් සිටින ගමේ වන හෙයිනි. ෂමීල් හජි මුරාත්ගේ ලොකු පුතා කැඳවා පියා ගෙන්වා නොගතහොත් පවුලටම මරණයට මුහුණ දෙන්නට සිදුවන බවත් ඒ අනුව පියාට ලිපියක් යවන ලෙසත් පවසයි. ලිපිය ලියා යවන තරුණයා සිරියකින් ඇන ගෙන සිය පණ හානි කැර ගනියි.
පෙර තරම් සැලකිල්ලක් රාජ්‍ය බලකොටුවේ දී හජි මුරාත්ට නොලැබෙයි. අවසානයේ දී ඔහු පලා යන්නට සැලසුම් කරයි. එහෙත් ඔහුගේ ඉරියව් ගැන අවධානයෙන් පසු වූ රුසියානුවෝ හඹා ගොස් ඔහු ඝාතනය කොට හිස රැගෙන අවුත් ඉතා පහත් අයුරින් එය ප‍්‍රදර්ශනය කරති.
තෝල්ස්තෝයි මේ කෘතියේ දී පළමුවන නිකොලස් සාර් යනු දුර්වල, අදක්‍ෂ, නෂ්ටව යමින් පවතින කාමය රඳවා ගන්නට තැත් කරන වෘද්ධ ස්ත්‍රී සොඬකු ලෙස නිර්දය ව හඳුන්වා දෙයි. බලවත් රුසියානු හමුදාවේ සේනා විධායකයා වන ඔහුගේ සංග‍්‍රාමෝපක‍්‍රම අති අසාර්ථක ය. එයින් පීඩා විඳින්නට සිදුවන්නේ අසරණ කොකේසියානු කඳුකර වැසියන්ට ය. සිය මළ පුතුන්ගේ සිරුරුවලට නැඹුරු වී දුක් වන පියවරුන්, මව්වරුන් සහ අවශේෂ ඥාතීන් ගැන ඔහු මෙහි සිනමානුරූපී විග‍්‍රහයක් ඉදිරිපත් කරයි. විනාශකාරී මානුෂීය ආවේග විසින් දුෂ්ඨකම, වෛරය සහ ක්‍රෝධය ජනිත කෙරන අයුරු එම විග‍්‍රහයට ඔහු ඇතුළත් කරයි.
මේ කෘතිය තෝල්ස්තෝයිගේ අනෙකුත් කෘතිවලට වඩා බෙහෙවින් වෙනස් ය. ඒ්වායේ අවධාරණය කෙරෙන මනුෂ්‍යාගේ සදාචාරාත්මක බැඳීම් මෙහි දක්නට නොලැබේ. සාමාන්‍යයෙන් තෝල්ස්තෝයි සිය ප්‍රධාන චරිත හෝ කථකයන් හෝ මගින් සමාජය "පවිත්‍ර කිරීමේ" කිසියම් පණිවුඩයක් දෙයි. එවැන්නක් සිදු නොවීම මේ කෘතියේ විශිෂ්ටත්වයට සාධකයක් බව ඇතැම් විචාරකයෙක් සිය මතය ලෙස දක්වයි. ඒ අයට අනුව මෙය තෝල්ස්තෝයිගේ කෘති අතර අද්විතීය ය. මේ කතාවේ ඇතිතේ ඍණාත්මක තේමාවක් වන අතර ඒය ඔහුට නුහුරු වුවකි. මිනිසා තුළ යහපත් ගුණ දම් ඇත්තේ ය යන්න ඔහු මෙහි දී සැකයට භාජනය කරයි. විචාරකයන් එලෙස මොනවා කීවත් තෝල්ස්තෝයිගේ පොත්වල ඒවා විරල නොවේ. යටත් පිරිසෙයින් ක්‍රොයිට්සාර් සොනාටා කෘතියේවත් දිසෙන්නේ ඒබන්දකි.
රිබෙකා රුත් ගූල්ඩ් නම් විචාරිකාවට අනුව මෙය "රුසියාවේ සතුරන්ගේ ඉතිහාසය, භාෂා සහ සිරිත් විරිත් පිළිබඳව පාඨකයා දැනුවත් කරන ජනවාර්ගික පාද සටහන් ය" (foot notes)
අවසානයේ රුසියානු හමුදාව විසින් කෘර හා ම්ලේච්ඡ ලෙස ඔහු ඝාතනය කරනු ලැබේ.
'කොසැකයා අසු පිටින් බටුයේ යමක් බහා තිබූ ගෝනියක් ඇද ගත්තේ ය.කොසැකයාගේ අතින් කාමනෙෆ් ගෝනිය ගත්තේ එතුළට අත පෙවී ය.
"එහෙනම් උඹලට ආරංචියක් පෙන්නන්නද? මාරියා ද්මිත්‍රියෙව්නා, ඔයා බය වෙන එකක් නැද්ද?"
"මොනවට බය වෙනවද?" මාරියා ද්මිත්‍රියෙව්නා කීවා ය.
"මේකයි ආරංචිය" කී කාමනෙෆ් ගෝනියෙන් මිනිස් හිසක් එළියට ගෙන එය සඳ එළිය වැටෙන සේ හරවා තබා ඇසී ය: " අඳුන ගන්න පුළුවන් ද?"
මාරියා ද්මිත්‍රියෙව්නා එදෙස බලා කිසිවක් නොකියා ආපසු හැරී පා ඉක්මන් කැර එතැනින් ඉවත් ව ගියා ය.
බිය උපදවන හිසෙන් සිය දෙනෙත් ඉවතට ගන්නට බුත්ලර් අසමත් විය. ඒ තමා සමග ඇතැම් සවස්කාල ගත කළ හජි මුරාත්ගේ හිස ම විය.
"කොහොමද මේක වුණේ? කවුද මෙයාව මැරුවෙ? කොහේදි ද?" හේ විචාළේ ය.
"පැනල යන්න හැදුව. අල්ල ගත්ත." කී කාමනෙෆ් හිස සහිත ගොනිය කොසෑකයාට දී බුත්ලර් සමග නිවෙස තුළට පිවිසියේ ය.
"වීරයෙක් හැටිවටමයි මළේ"යි කාමනෙෆ් කී ය.
"හැබෑට මේ ඔක්කොම කොහොම ද සිද්ධ වුණේ?"
"ඔහොම පොඩ්ඩක් හිටිල්ලා, ඉවාන් මත්යෙවිච් ආවාම මම ඔක්කොම කියන්නම්. මොකද ඒකටමයි මාව එව්වෙ. බලකොටුවක් ගානෙමත්, ගමක් ගානෙමත් අරගෙන ගිහිං පෙන්නනවා."
ඉවාන් මත්යේවිච් කැටුව එනු පිණිස යවන ලද්දේ ය. වෙරිමත් වූ ඔහු එපරිදි ම වෙරි පිට සිටි නිලධාරීන් දෙදෙනකු ද කැටුව ආයේ, කමනෙෆ් වැළැඳ ගත්තේ ය.
"මං ඔබතුමා වෙත හජිමුරාත්ගෙ හිස ඇරගෙනයි ආවෙ" කාමනෙෆ් කී ය.
"බොරූ.. මැරුවද?"
"ඔව් පැනල යන්න හැදුවා"
"ඌ අපිව රවට්ටයි කියල මං කිව්වනේ. කෝ ඒක කොහේද? "
කොසැකයාට අඬ ගසක ලද්දෙන් ඔහු ගෝනිය රැගෙන ආයේ ය. හිස එළියට ගනු ලැබූයෙන් ඉවාන් මත්වියේවිච් බීමත් දෑසින් බොහෝ වේලාවක් එදෙස බලා සිටියේ ය.
"කොහොම වුණත් හපනෙක් තමයි"
"ඔව් හැබෑටම නිර්භීත ඔළුවක් තමා තිබුණ" එක් නිලධාරියෙක් කී ය.
සැවොම පිරික්සා බැලූ පසු එය ආපසු කොසෑකයාට ම දුන්හ. කොසෑකයා ගෝනියට එය බහා ලූයේ මෘදු ලෙස බිම ගැටෙන පරිද්දෙනි.
බුත්ලර් උළුවස්ස මතින් වූ පියැස්ස යටට ආයේ ය. මාරියා ද්මිත්‍රියෙව්නා දෙවැනි පඩියෙහි වාඩි වී හුන්නා ය. බුත්ලර් දෙස බැලූ ඕ එසැණ කෝපය පළ කරමින් ඉවත හැරුණා ය.
" මාරියා ද්මිත්‍රියෙව්නා මොකද?"
"තොපි ඔක්කොම මිනීමරුවො. මට පේන්න බෑ තොපි. මිනීමරුවො. හැබෑම මිනීමරුවො"
" ඕනෙම කෙනකුට මේ දේ වෙන්න පුළුවන්." බුත්ලර් කී ය."යුද්ධයක්නෙ කෙරෙන්නෙ"
"යුද්ධයක්?" ඕ මහ හඬින් කෑ ගෑවා ය. "මේ මොන යුද්ධයක් ද? මිනීමරුවො. එච්චරයි. මළ මිනියක් නම් වළදාන එකයි. ඒත් මුං ඒකටත් නින්දා කරනව. මිනීමරුවො. මිනීමරුවො" කියමින් නැගීසිටි ඇය එළියට බැස පස්සා දොරෙන් ගෙට ඇතුළු වන්නට ගියා ය.'
තතාර් පුෂ්පය නටුවෙන් නෙළා ගැනීමේ දී අඩක් මිලින වැ ගිය අයුරුත් ඉන්පසු වියැකී ගොස් නිෂ්ප‍්‍රයෝජනවත් වූ නිසා විනාශ වු අයුරුත් නිශ්චිතව වැටහෙන්නේ කතාව සම්පූර්ණයෙන් ම කියවා පොත පසෙක තබා ඒ ගැන මදක් මෙනෙහි කරනා විට ය.
Khadzhi-Murat (එහි මුල් රුසියානු කෘතිය ඇසුරින්) රංජන දේවමිත‍්‍ර සේනාසිංහ විසින් සිංහලට පරිවර්තනය කරනු ලැබ හජි මුරාත් නමින් සූරිය ප‍්‍රකාශකයන් විසින් 2002 වසරේ දී ප‍්‍රකාශයට පත් කරන ලදී.
ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා
’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා
’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත
’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.
’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ
’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
හජි මුරාත්