IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


හෘද සාක්ෂියක අඳෝනාව

පොතක මතක

 

ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ 'ලයින් එක' නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සාමාජිකයන් සඳහා පන්ති පහක් පැවැත්වීය. තුන්වන පන්තියෙන් ඔබ්බට ගියේ තෝරා ගැනුණ සීමීත කණ්ඩායමකි. පස් වන පන්තිය දක්වා යා හැකි වූයේ සාරවත් ම අල්පයකට පමණි. ඔවුන්ගේ කාඩරයට ඇතුළත් කර ගනු ලැ‍බුවේ තවදුරටත් විශ්වාසවන්තභාවය පිළිබඳව බොහෝ පරීක්ෂාවලින් පසුව ය. එකල සමසමාජ කොමියුනිස්ට් ආදී වාමාංශික පක්ෂවල ද තත්ත්වය එසේ විය. සාමාජිකත්වය ලබා ගන්නට පෙර අපේක්ෂක සාමාජිකත්වය නමින් හැඳින්වුණු මට්ටමේ බොහෝකල් පෙරුම් පුරමින් සිටිය යුතු විය.

සංවිධානය තුළ ම සිට කමිටුව හැකි ඔත්තුකාරයන්ට, පාවා දෙන්නන්ට වැට බැඳීම එහි අරමුණ යි.

හැටේ දශකයේ අගභාගයේ පැවැති කිසියම් පන්තියක දී (ඒ 2 ද 3ද කියා මට හරියට මතක නැත.) විජේවීර සහෝදරයා සිය දේශනයේ දී ඇතුළත සිටිය හැකි උගුල් අටවන්නන්, ඔත්තුකාරයන්, පාවා දෙන්නන් සහ කඩාකප්පල්කාරීන් පිළිබඳ දීර්ඝවශයෙන් සාධක සහිතව කරුණු ඉදිරිපත් කළේ ය. ඔහු කියූ ඒවායේ ඇතැම් කරුණු අදත් මට මතක තිබේ. තම සංවිධානය ගැන මේ වනවිට සීඅයිඒ නොදන්නවා ය කියා කිව නොහැකි බවත්, ඔවුන්ගේ ඔත්තුකරුවන් තමන් අතර සිටිය හැකි බැවින් පරෙස්සම්  විය යුතු බවත් ඔහු එහි දී අවධාරණය කළේ ය.

68 අග හෝ 69 මුල සංවිධානයේ ප්‍රමුඛයකු වූ ධර්මසේකර සංවිධානයෙන් වෙන් විය. ඔහු පලවා හැරියා විය හැකි ය. කෙසේවෙතත් ඔහු වෙනම කල්ලියක් පිහිටුවා ගෙන කළුතර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක විය.

එවක පැවැති ආණ්ඩුව මේ සංවිධාන/කල්ලි/ලයින් ගැන එතරම්අවධානයෙන් සිටිය යුතු මට්ටමේ ලෙස දැන සිටියේ නැත. රටේ වැඩ වර්ජන, හිෂ්‍ය පෙළපාළි වැනි දේවලින් ඔබ්බට ගිය පුපුරන ද්‍රව්‍ය, ගිනි අවි යනාදිය භාවිත වූ බරපතළ කඩාකප්පල්කාරී ක්‍රියා වුණේ නැති බැවින් රජයට හඹා යන්නට තරම් දෙයක් තිබුණේ ද නැත.

1970 මාර්තු මාසයේ දවසක ධර්මසේකර කල්ලිය බම්බලපිටියේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට කිසියම් විරෝධතාවක් ඉදිරිපත් කළේ ය. එය විසුරුවා හරින්නට පොලිසිය පැමිණියේ  ය. අවුරුදු හතරකට පෙර ඒ කියන්නේ 1966 දී විරෝධතා පෙළපාළියකට වෙඩි තබා ඊට සහභාගි වූ දඹරාවේ රතනසාර නමැති භික්ෂුවක් ඝාතනය විම නිසා ආණ්ඩුව බලවත් අසීරුතාවලට මුහුණ දි සිටියේ ය. ඒ නිසාදෝ පොලීසිය මේ පෙළපාළියට වෙඩි තැබුවෙි නැත. පොලිස් පරීක්ෂකවරයෙක් පැමිණ ඒ සන්දියේ පොලිසිය භාවිත කළ සඟිස්කුරුත බසින් විසිර යන්නට අණ දුන්නා පමණි. කවුදෝ කෙනෙක් ඒ නිලධාරියාට කිණිස්සකින් ඇන්නේ ය. ඔහු මළේ ය.

මේ සිද්ධියෙන් පසු ආණ්ඩුවේ ඇස් ඇරුණේ ය. පොලීසිය චේ කල්ලියේ සාමාජිකයන් සොයමින් රට පීරන්නට විය. චේගුවේරාකාරයන්ට දැඩි පීඩනයක් එල්ල විය. ප්‍රමුඛ පෙළේ ක්‍රියාධරයන්ට ජීවිතාරක්ෂාව පතා සැඟවෙන්නට සිදුවිය. විජේවීර අත්අඩංගුවට ගැනිණි.

ජනතා විමුක්ති පෙරමුණ නමින් අද හැදින්වෙන තරුණ වාමාංශික කණ්ඩායම මුහුණ දුන් මුල් ම පාවා දීම එයයි. එතැන් සිට අද දක්වාත් ජනතා විමුක්ති පෙරමුණ ඒ තත්වයන්ට මුහුණ දෙමින් සිටියි. තමන් ත්‍රස්ත ක්‍රියාවල යෙදී වර්තමාන නායකයන් පිට ඒවා පටවන පාවා දෙන්නෝ අද බහුල වෙති.

මේ දීර්ඝ විස්තරය ලියන්නට යෙදුණේ ජෝෂෆ් කොන්රඩ් විසින් රචනා කරන ලදුව 1911 වසරේ එළි දක්වන ලද Under the Western Eyes නම් නවකතාවේ සිංහල පරිවර්තනය වන 'හෘද සාක්ෂියක අඳෝනාව' නම් කෘතියේ මතකය අවදි කරන්නට ය.

මේ පරිවර්තනය පළමුවරට පළ වි ඇත්තේ 2003 වසරේ ය.

මේ පොතේ අඥාත කතන්දර කියන්නෙක් සිටියි. ඔහු සැමවිට ම කියන්නේ මේ සිද්ධි තමා දකින්නේ බටහිර කෙනෙකු ලෙස ය කියා ය. Under the Western Eyes ලෙස මෙය නම් කොට ඇත්‍තේ එනිසා ය. එසමයේ රුසියාව පෙරදිග රටක් විය. ඒ පෙර දිග රටේ පාලනය වෙනස් කැර ගන්නට තරුණයන් ජීවිත පරිත්‍යාගයෙන් කරන කැපවීම, පාවාදීම, ඔත්තු බැලිම සහ ද්විත්ව ඒජන්ත (double agent) වැනි ස්වරූප මෙහි කියැවෙයි. පරිවර්තක මෙයට 'හෘද සාක්ෂියක අඳෝනාව' ලෙස නම් දී‍ම වඩාත් අර්ථාන්විත ය. මන්ද මෙහි එන්නේ හෘද සාක්ෂිය පිළිබඳ පසුතැවිල්ල වන හෙයිනි.

මේ කෘතියේ පරිවර්තක ගාමිණී වියන්ගොඩ ටික දොහකට පෙර මට හමු විය. ඒ වෙලාවේ අප දෙදෙනා අතර කෙටි පිළිසඳරක් විය. ඒ වනවිට මෙය කියවා අවසන් කර තිබූ හෙයින් මම ඔහුගෙන් ඒ ගැන විමසුවෙමි. ඔහු ඊට දුන් පිළිතුර සම්පූර්ණයෙන් ම මෙහි සටහන් කළ නොහැකි නමුත් ඉතාම ලුහුඬු සාරාංශයක් ලෙස සඳහන් කළොත් ඔහු කීවේ ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් සිද්ධි මෙය පරිවර්තනය කරන්නට තමා පෙළැඹ වූ බවයි.

"Under Western Eyes" මුල්වරට ප්‍රකාශට පත් කැරුණේ 1905 රුසියානු විප්ලවයෙන් වසර හයකට පසුව ඒ කියන්නේ 1911 දී ය.

1905 විප්ලවය (ඇත්ත වශයෙන් ම කැරැල්ල) ප්‍රධාන වශයෙන් සාර්, වංශාධිපතියන් සහ පාලක පන්තියට එරෙහිව යොමු කරන ලද මහජන දේශපාලන හා සමාජීය නොසන්සුන්තා රැල්ලක් වූ කැලඹිලි සහිත කාල පරිච්ඡේදයකි. එයින් දෙවන නිකලස් සාර් සහ රාජාණ්ඩුව යන්තම් දිවි ගලවා ගත් අතර, වැඩ වර්ජන, ගොවි නැගිටීම් සහ හමුදා කැරලි අන්තර්ගත වූ එය 1917 රුසියානු විප්ලවයේ පෙරසේයාවක් විය.

1905 කැරැල්ල අසාර්ථක වුව ද රුසියානුවන් විශේෂයෙන් ම තරුණ හා උගත් පිරිස සාර් පාලනය පෙරළා දැමීමේ අදහස අතහැර දැම්මේ නැත.

 

මේ පොතේ ප්‍රවිශ්ව විද්‍යාල ශිෂ්‍යයකු වන රසුමොව් සිය කණ්ඩායම් සගයා වන හාල්දින් පාවා දුන්නත් එය ඔහුගේ හෘද සාක්ෂියට බලපෑමක ඇති කරයි. ඔහු සිය සගයා පාවා දෙන්නේ ඇයි?

මෙසමයේ රුසියාව පාලනය කළේ දෙවන නිකොලස් සාර් අධිරාජයා ය. ඔහුගේ ඇතැම් ප්‍රතිපත්ති හා තීරණ නිසා ජනතාව තුළ ඔහුට එරෙහි විරෝධයක් ගොඩ නැගුණු අතර ඔහුගේ පාලනයට එරෙහි කැරලිකාර කණ්ඩායම් ක්‍රියාත්මක විණි. තරුණ කණ්ඩායම්, විශේෂයෙන් ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ එහි පෙරමුණු ගත්හ. එවැනි කණ්ඩායම් රුසියාවේ මතු නොව ස්විට්සර්ලන්ත‍යේ පවා ක්‍රියාත්මක විය. නිකොලස් සාර් අධිරාජයාගේ  බලගතු අමාත්‍යවරයකු වූ 'ද පී' අධිරාජයාට එරෙහිව මහ ජන කෝපය දල්වන්නට වඩාත්ම බල පෑ පුද්ගලයා විය.

හාල්දින් කැරලිකාර  කණ්ඩායමක සමාජිකයෙකි. ඔහු සහ තවත් අයෙක් දැඩි හිම පතනයක් ඇති දවසක දවාලේ ද පී ඝාතනය කරති. ඝාතකයෝ විසිර යති. ඔවුන් නැවත හමු වන්නේ නැත. යන එන මං නැති හාල්දින්, රසුමොව් නවාතැන් ගෙන සිටින කාමරයට අවුත් රසුමොව් එනතුරු සැඟව සිටී.

කාමරයට ඇතුළු වන රසුමොව්, හාල්දින් දැක විස්මයට පත්වේ. හාල්දින් සහ රසුමොව් අතර එතරම් ලොකු ළෙන්ගතුතමක් නැත. එහෙත් හාල්දීන් නම් සැමවිට ම රසුමොව් ගැන කථා කරන්නේ වර්ණනා මුඛයෙනි. හාල්දින්, රසුමොව් ගැන ලොකු විශ්වාසයකින් යුතුව සිටින්නෙකි.

ඉතින් හාල්දින් ඉදිරියේ රසුමොව් තමා කළ අපරාධය හෙලිදරව් කරයි.

මේවිට රසුමොව් කෝපයට පත්වෙයි. ඒ, මේ ක්‍රියාව දැන ගැනීම නිසා සිය විජිගීෂාවලට විය හැකි හානිය මෙනෙහි වීමෙනි.  හාල්දීන් රසුමොව්ගෙන් උදව්වක් ඉල්ලයි. සිමියොනිවිච් නමැති කරත්තකරුට තමා ගෙන කැටුව යන්නට එන ලෙස දන්වන ලෙසයි ඒ.

මේ සිමියොනිවිච්, හාල්දීන්ලාගේ කල්ලියේම කෙනකු බව අප වටහා ගත යුතු ය.  රසුමොනොව් සිමියොනොවිච්ගේ තිප්පලට ගියත් අවදි කරවා ගැනීම අපහසු වෙයි. ආපසු එන ගමනේ දී රසුමොනොව්ට කේ නම් කුමාරයා හමුවෙයි. මේ කේ රසුමොනොව්ට අනුග්‍රහය දක්වන්නෙකි. ඔහු කුමාරයා හා කතාව කියයි. කුමාරයා ඔහු ජනරාල් ටී හමුවට ගෙන යයි. රසුමොව් මෙසේ අනාවරණය කරයි: 'එහෙමනම් මට පුළුවන්කමක් නෑ ඔබතුමාට මේක පැහැදිලි කරන්න. ඌ මොකක් හිතුවාද මං දන්නෙ නෑ. ඌව මරලා දාන්නත් එක්ක මොහොතක මට හිතිච්ච බව විතරක් මං දන්නවා. මාත් මැරිලා යනවා නම් හොඳයි කියලත් තව මොහොතක හිතුණා. මං කිසි දෙයක් කිව්වේ නැහැ. කොටින්ම මේකේ අගක් මුලක් මට තේරුනේ නෑ. මං ගැන කිසි විශ්වාසයක් ඇති කරන්න පුළුවන් විදියේ මොනම දෙයක්වත් මම ඌට කිව්වෙත් නැහැ වෙච්ච දේ ගැන ඇහුවෙත් නෑ.'

රසුමොව්ට තමා පාලනය කර ගැනීත් අසීරු විය. ඒත් ඔහුගේ මතය පැහැදිලි විය. එය සැබැවින්ම කල්තියා ආරූඪ කරගත් කෝපයක් විය.

'අපරාදේ ඒ ගැන කිසි දෙයක් අහපු නැති එක.' ජනරාල් කීය. 'මිනිහා මොකක් කරන්නද යන්නේ කියන එක තමුං කොහෙත්ම දන්නැද්ද?'

රසුමොව්ගෙ හිස සන්සුන් විය. දැන් කිසියම් හිදැසක් විවර විණි'යි ඔහුට හැඟිණ.

'මිනිහා කිව්වා කරබල්නයා වීදියේ උඩ හතේ ලයිට් කනුව ළඟදි රෑ දොළහමාරට කවුද කෙනෙක් කරත්තකින් ඇවිල්ලා මිනිහාව ගන්නවා කියලා. ඒ වෙලාවට එයා එතන ඉන්න ඕනේ කියලා තමයි කිව්වේ. අඩු ගානේ ඇඳුම් මාරු කරගන්නවත් වෙලාවක් ගත්තේ නෑ'

'අන්න හරි' සෑහීමට පත් ජනරාල් කේ කුමාරයා දෙසට හැරෙමින් කීය. 'තමුන්නාන්සේගේ ගෝලයා මේ රසුමෝ මහත්මය මේකට අත්අඩංගුවට නොගෙන ඉන්න අන්න ඒක හොඳ හෝඩුවාවක්. අර මහත්තය වෙනුවෙන් අපි ඒ වෙලාවට එතන ඉන්නවා......රෑ දොළහමාරට. ඒ වෙනකන් අපිට තමුං ගැන විශ්වාසේ තියන්න වෙනවා රසුමෝ මහත්මයා. හැබැයි මේ කාලෙ අතරතුර මිනිහගේ අරමුණ වෙනස් වෙන්න එහෙම ඉඩක් තියෙයි කියලා හිතෙන්නේ නැද්ද?'

'මං කොහොමද ඒක කියන්නේ?' රසුමෝව් කීය. 'ඔය මිනිස්සු ඒ වගේ අරමුණු වෙනස් වෙන ජාතියේ උන් නම් නෙමෙයි'

'ඒ කියන්නේ? ඔය මිනිස්සු කිව්වෙ?'

'නිදහස ගැන පිස්සු වැටිච්ච හැත්ත. ආතක් පාතක් නැති නිදහස. සහගහන අපරාධ කරන්න කඩතුරාවක් විදියට පාවිච්චි කරන නිදහස.'

එවිට ජනරාල් වරයා මිමිණී ය. 'උන්ව අතුගාලා දාන්න ඕනේ'

"උං කල්තියාම තමුන්ගේ ජීවිත කැප කරලයි ඉන්නේ' කුරිරු සතුටක් පෙරදැරිව ජනරාල්ගේ මුහුණ දෙස කෙළින් බලාගෙන රසුමෝව් කීය. 'හාල්දින් අද රෑ මිනිහගේ අරමුණ වෙනස් කළොත් එහෙම කරන්නේ තමුන්ගේ ජීවිතය බේරං පැනලා යන්න නෙවෙයි. තව මොකක් හරි දෙයක් කරන්න. ඒත් මං හිතන්නේ නෑ එහෙම වෙයි කියලා."
 

හාල්දීන් ග්‍රහණයට ගැනුණු බවත් පසුදාම මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද බවත් දැන ගන්නට ලබේ.

එදිනම රසුමොව් නැති අවසරයේ ඔහුගේ කාමරය පොලිසිය විසින් පරීක්ෂා කරන ලද බව දැන ගන්නට ලැබේ. ඔහුගේ පොත්පත් සියල්ල අවුස්සා දමා තිබිණි. ඔහු ලියා තිබුණු එක්තරා විශේෂ ලියැවිල්ලක්   පොලිසිය ආවාට පසුව පැමිණිි ඉහළ නිලධරයකු විසින් දැඩි අවධානයෙන් යුතුව කියැවූ බව ගෙහිමි කත එහෙත් ඒ ලියැවිල්ල ඒ නිලධාරියා ගෙන ගොස් තිබුණේ නැත. පසුව අප දැන ගන්නා පරිදි ඒ ලියැවිල්ල අරගලයට ප්‍රතිපක්ෂ ඔහුගේ අදහස් වේ.

මේ සන්දියේ රුසියානු කැරලි කරුවන්/අරගලකරුවන්/ විප්ලවවාදීන් බොහෝ දෙනා ක්‍රියාත්මක වන්නේ ස්විට්සර්ලන්තයේ සිට ය. රුසියාවේ ස්ථානගත වනුයේ ද පී ඝාතනය සහ රසුමොව්ගේ පාවාදීම යන සිද්ධි ගැන සඳහන් පළමුවන පරිචෙඡදය පමණි. ඉන්පසු සියල්ල ස්විට්සර්ලන්තයේ ය.

ද පී ඝාතන සිද්ධිය වනවිට හාල්දින්ගේ මව සහ සහෝදරිය වෙසෙන්නේ එහි ය. ඒ හාල්දීන් විසින් කලින්ම ඔවුන් එහි පිටත්කොට යවන ලද හෙයිනි. හාල්දින් යනු වංශවත් පවුලක සාමාජිකයෙකි. ඔහුගේ මව සහ සොහොයුරිය ඒ වංශවත්කමට ඔබින විනීත බව මැනැවින් ආරක්ෂා කැර ගෙන එහි වෙසෙති. ඔවුන් වෙසෙන පෙසේ රුසියානුවන් බොහෝ වෙසෙන බැවින් එය රුසියන් කොලනිය අරුත් ඇති නාමයකින් හැඳින්වෙයි. එහි වෙසෙන්නෝ එකිනෙකා දන්නෝ. හදුනන්නෝ වෙති. මේ පොතේ එන වැදගත් චරිත කිහිපයක් ම එසමයේ එහි වෙසෙති. පීතර් ඉවානොවිච්, සොෆියා අන්තනෝවා, එලියනෝරා මැක්සිමොව්නා ආර්යාව (මැඩම් ද එස්.), නිිකිතා නැකේටර් ඔවුහු වෙති.

ස්විට්සර්ලන්තයට එන රසුමොව් ආයාසයකින් හාල්දින්ගේ නැගෙනිය වන නතාලියා හඳුනා ගනී. සිය සහෝදරයා ඝාතනය වන්නට පෙර අවසන් වරට හමුවූ මිතුරා රසුමොව් බව දැන ගන්නා ඇය ඒ අවසන් මොහොතේ සිය සොහොයුරාගේ පුවත් කියන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටින්නී ය.

මේ අතරේ හාල්දින් පාවා දුන්නේ තමා විසින් ය යන චෝදනාව කැරලිකරුවන් විසින් නගන ලදුව සිමියොනිවිච් සිය පණ හානි කැර ගනියි. මෙයින් ද රසුමොව්ගේ හෘදය සාක්ෂියට බලවත් පහරක් වැදේ. අවසානයේ ඔහු නතාලියාට දිගු සටහනක් ලියයි. එය අවසන් කරන්නේ මෙසේ ය.

'හිටිහැටියේ ඔබ මා ඉදිරියේ ප්‍රාදුර්භූත විය. මුළු ලෝකයෙන්ම මගේ පාපොච්චාරණය ඇසිය යුතු එකම පුද්ගලයා වන ඔබ ම, මා ඉදිරියේ පෙනී සිටියේය. මම ඔබට වශී වීමි. ඔබ තුළ දිස්න දෙන සත්‍යය,  මගේ අභ්‍යන්තර ශක්තිය උගුල්ලා එළියට ගත්තේය. දැන්, මගෙන් එය සිදුව ඇත. මෙසේ ලියන විට මා ඉන්නේ රුදුරු වේදනාවක බියකරු අගාධයකයි. එහෙත් දැන් අඩුම වශයෙන් හුස්ම ගන්නට සුළං පොදක් ඇත. මා සිටින්නේ ආගාධ සන්තාපයක ය. එහෙත් බලාපොරොත්තු සුන්කරගෙන නැත. මට කරන්නට තව එක දෙයක් තිබේ. ඉන්පසු - ඔවුන් මට ඉඩ හරින්නේ නම්- හිස හැරුණු අතක තොලොංජි වී, කාලකණ්ණි අප්‍රකට ජීවිතයක් ගෙවමි. වික්ටර් හාල්දින් පාවාදීමෙන් , අන්තිමේ දී වඩාත් තුච්ච ආකාරයෙන් පාවා දී ඇත්තේ මාම ය.

 මා කියන දේ ඔබ දැන් ඇදහිය යුතුය. මා විශ්වාස නොකොට බැහැර කරන්නට ඔබට දැන් අයිතියක් නැත. වඩාත් තුච්ඡාකාරයෙන් මෙතරම් තීව්‍ර ලෙසින් එය දැනෙන්නට පටන් ගත්තේ ඔබගෙනි.'

මේ කතාව කියවාගෙන යනවිට - එහි පළමුවන පරිච්ඡෙදයේ  I, II කොටස් දෙක කියවා අවසන් වූ ඉක්බිති - මට කල්පනා වුණේ රසුමොව්, කුමාරයා සමග ගොස් ජනරාල්වරයා හමුවී ඔත්තුව සපයා, පාවාදීම සම්පූර්ණ කොට ආාපසු එන විට හාල්දීන් කාමරයේ නොසිටියා නම් කුමක් වනු ඇති ද කියායි.



අදහස් (0)

හෘද සාක්ෂියක අඳෝනාව

ඔබේ අදහස් එවන්න

 

 
 

පොතක මතක

හෘද සාක්ෂියක අඳෝනාව
2025 අප්‍රේල් මස 01 17 0

ජනතා විමුක්ති පෙරමුණ ලෙස පසුව නාමකරණය වූු දේශපාලන කණ්ඩායම මුල දී හඳුන්වා ගනු ලැබුවේ ’ලයින් එක’ නමිනි. ජනතාවට එය චේ කල්ලිය විය. චේ කල්ලිය ඒ දවස්වල නවක සා


සියක් වසක හුදෙකලාව
2025 මාර්තු මස 25 59 0

’වසර ගණනාවකට පසු තමාට වෙඩි තැබීමට සූදානමින් සිටි භට පිරිසකට මුහුණලා සිටියදී කර්නල් අවුරෙලියානෝ බුඑන්ඩියාට තම පියා මුල්වතාවට අයිස් දැක බලා ගැනීමට තමා


රැහැනක සමබරව
2025 මාර්තු මස 18 89 0

’ඒ දැනට තිස් වසරකට පෙරය. දෙදෙනාම එල්ලයක් සහිතව සිටි තරුණ වියේය. ඊයේ මත්සුදා වෙනස් ම කෙනෙක් ලෙසිනි මා දුටුයේ. ඔහුගේ කය අයහපත් සෞඛ්‍ය තත්වය නිසා බිඳ වැටී ත


පිඹිත් නළා සුරා මතින්
2025 මාර්තු මස 11 106 0

’සෑම විටම තමාගේ තත්වය හා නම්බුව ගැන තොම්සන් කල්පනා කළේය. මේ අනුව තමන් අතින් කරන්නට සුදුසු ඉස්තරම් කටයුතු කිහිපයක් පමණක් ඔහු තමා වෙත තබා ගත්තේය.


ගෙවෙන තුරා රැය මහ වැසි ඇද හැළුණි
2025 මාර්තු මස 04 154 0

’ඒක අහවරයි. - ඒක වුණා - කියන්න දෙයක් නෑ. මම, මලෝති මුඛර්ජි, කාගෙ හරි බිරිඳක්, කාගෙ හරි අම්මා - මම ඒක කළා. ජයන්තෝ එක්ක ඒක කළේ. ජයන්තෝට මාව ඕන වුණා, මට එයාව... ඒක කොහ


වොල්ගා සිට ගංගා තෙක් රාහුල් සාංකෘත්‍යායන
2025 පෙබරවාරි මස 25 117 0

’’මම ජී කෙනෙක් නෙවෙයි. ඕජාජී, මම සපත්තු මහන චමාර් කුලේ දුප්පත් කොල්ලෙක්. මට කියලා ඉඩම් අඟලක්වත් නෑ. ඉස්සර පොඩි ඉඩම් කෑල්ලක් තිබුණා. ඒත් ඉඩම් හිමියා බලෙන්


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 189 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 780 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 777 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site