IMG-LOGO

2025 ජනවාරි මස 30 වන බ්‍රහස්පතින්දා


ගුන්තර් ග්‍රාස්ගේ පූසා සහ මීයා

පුස්තක මස්තක

 

ශතකයක් පුරා ජර්මනිය තුළත්, ඉන් පිටතත් නාසිවාදීන් විසින් ගෙන යන ලද උන්මත්තක දේශපාලනය ගැන සලකා බලන විට සාහිත්‍ය කලාව ලද සිත් කා වදින ජයග්‍රහණයක් ලෙස ගුන්තර් ග්‍රාස්ගේ කෘතිවලින් පළ වන නිර්මාණාත්මක ආවේග, මිනිස් ජීවිතයේ ට වේදනීය හැඟීම් පටිපාටිය, විමුක්තියේ උත්කර්ෂණය හා භාෂාවේ සංග්‍රාමික ස්වරය අතිශයින්ම අස්වාදනීය වේ. සිංහල පරිවර්තන සහිත්‍යය තුළ තව මත් නො දැල්වුණු මහ පහන් ගණනාවක් ජර්මානු සාහිත්‍යය සතු බව කිවමනා නො වේ. හර්මන් හෙස සහ ෆ්රාන්ස් කෆ්කා වටා, තියුණු ලෙස ධ්‍රැවාන්තගත වී ඇති අපගේ පරිවර්තන සාහිත්‍යය තෝමස් මාන් සහ ගුන්තර් ග්‍රාස් (1927- ) වෙනුවෙන් විවෘත කළ යුතුය.

සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදීන්ගේ සිට කාල් මාක්ස්, ෆෙඩ්රික් එංගල්ස් සහ රෝසා ලක්සෙම්බර්ග් දක්වාත්, නූතනවාදී හා පශ්චාත් නූතනවාදී දාර්ශනික කතිකාව තුළ ෆෙඩ්රික් නිට්ෂේ සහ හයිඩැගර්ගේ සිට වෝල්ටර් බෙන්ජමින් ඇතුළු ෆ්‍රැන්ක්ෆර්ට් ගුරු කුලය දක්වාත් පැතිරුණු පුළුල් ජර්මානු චින්තනය මඟින් සිංහල බුද්ධිමය ස්තරයන්ගේ විකල්ප මතධාරිත්වය පෝෂණය කර ඇති පසුබිමක. ගර්තේ, තෝමස් මාන්, ගුන්තර් ග්‍රාස් ආදීන්ගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යය අපගේ සාහිත්‍ය ක්ෂිතිජයෙන් මෙපිට විද්‍යමාන නො වීම කනගාටුවට කරණයකි. ඩබ්. එස්. විජේසිංහගේ පූසා සහ මියා නමැති කෙටි නවකතාවෙි පරිවර්තනය. සිංහල පරිවර්තන සාහිත්‍යයේ වැදගත් සිද්ධියක් වන්නේ එබැවිනි.

නූතන සාහිත්‍යය ඉන්ද්‍රජාලිකවාදී හා යථාර්ථ විරෝධී බලහත්කාරයට යටත් කිරීම සඳහාත්, ඊට ඇති විකල්පය ලෙස ජනතාවාදි දංගෙඩියට යොමු කර ගැනීම සඳහාත් දැරෙන වෑයම පරාජය කිරීම පිණිස ජර්මානු සාහිත්‍යයේ නූතනවාදී පිබිදීම් ගැන දැනුවත් වීම බෙහෙවින් ප්‍රයෝජනවත් ය. මින් හැඟෙන්නේ ජර්මානු සාහිත්‍යයේ සුවිශේෂ චරිත ලක්ෂණ තිබේ නම් ඒවා සොයා අහුල ගෙන පෙළ ගැස්වීම හෝ වේ. ජර්මානු සාහිත්‍යය ද, වෙනත් ඕනෑ; ම සාහිත්‍යයක් පරිද්දෙන් විචාරාත්මක ලෙස කියැවීම පි කොලොම්බියානු සාහිත්‍යය පිළිබඳ සිංහල කියැවීමයි. ව්‍යාජ සාහිත්‍ය විචාර මිනුම් දඬු බිහි කරන තරමේ විරාහිවාදනීය හිස්ටීරියානු කියැවීමක් බවට පත් වීම ද මෙහි දී සිහිපත් කිරීම වැදගත්ය.

ගැඹුරු දාර්ශනික කතිකාවන්ට සිය සංස්කෘතික අවකාශය විවෘත කර දුන් රටක සාහිත්‍යයක් ලෙස ජර්මානු සාහිත්‍යයේ බොහෝ තැන් ද බුද්ධි බලයකින් ස්ථුල වී ඇති බව පිළිගත යුතු ය. ජර්මානු කලාව තුළට නාසීවාදය ප්‍රවිෂ්ට කිරීම පහසු වන්නට එය ද හේතුවක් වන්නට ඇත. ජර්මානු දර්ශන වාදයේ පුළුල් විෂය පථය නිසා ජර්මානු සාහිත්‍යයේ සීමා මායිම් පුරා දිගට හරහට දර්ශනවාදයේ බුද්ධිවාදී අතුරු මාර්ග නිර්මාණය කෙරිණ. මේ නිසා සාහිත්‍ය පරිකල්පනය පැවතිය නොහැකි දෙයක් බවටත්, දාර්ශනික අරමුණකින් තොරව සාහිත්‍ය නිර්මාණය ඇතුළු සකල සියලු ලිවීම් කලා බිහි විය නො හැකි දෙයක් බවටත් පත් විය. ජර්මානු සාහිත්‍යයේ නොයෙකුත් පරිච්ඡේද නීරස කරනු ලබන ආකාරයේ බුද්ධි බහිෂ්කාරවාදය උපදින්නේ එතැනිනි. මෙය ග්‍රීක මහා කවි හෝමර්ගේ ලෝකය, ග්‍රීක මහා චින්තක ප්ලේටෝ විසින් ගිල දමනු ලැබීමකි.

එම අභියෝගය කලාත්මක ලෙස ජයගත් අවස්ථාවල දී ජර්මානු සාහිත්‍යය ඉන් ලබන දීප්තිය, ගම්භීරත්වය හා පෘථුලත්වය ද අපට අමතක කළ නො හැකිය. එවිට ජර්මානු සාහිත්‍යය ආත්මීය චිර කාව්‍යයක් හා රොමැන්තික ලෝක දර්ශනයක් ලෙස තුලානාත්මත පරිසමාප්තියට පත් වේ. ආත්මීයත්වය (Subjectivity) හා රොමෑන්තිකත්වය. යථාර්ථවාදය වෙතට යොමු වූ නව්‍ය ප්‍රවේශයක් ලෙස ජර්මානු නූතනවාදය තුළ ස්ථාපිත වී ඇත. ගර්තේගේ සිට කෆ්කා දක්වා ජර්මානු ගත්කරුවන් පිළිබඳ අගනා විවරණයක් කළ රෝයි පැස්කල්. සිය විමංසාවෙහි ලා යථාර්ථවාදය සහ රොමැන්තිකවාදය පිළිබඳ ජර්මානු සංකල්ප පරිහරණය කරනු ලබන ආකාරය ඉංග්‍රීසි පාඨක ලෝකයට පැහැදිලි කර දෙන්නේ මෙලෙසිනි:

"රොමැන්ටික් (Romantic) හා යථාර්ථවාදී (Realistic) යන වචන දෙක සම්බන්ධයෙන් සංඥාපනීය සඳහනක් කළ යුතු ය. රොමෑන්තිකවාදය සංකීර්ණ ප්‍රපංචයක් වෙතත්, මේ විවරණයේදී මා ඉන් අදහස් කරන්නේ ජර්මනිය තුළට කා වැදී ඇති අංශය පමණි.

" එනම්, සදාචාර හැඟීමට පටහැනි ව පාරභෞතික වටිනාකම් හඹායෑම ප්‍රායෝගික සමාජ යථාර්ථය  (practical social real- ity) අභිබවා සිහිනවලට මුල් තැන දීම යි. ග්‍රිල්පාසර් මෙය හැඳින්වූයේ අනියත ස්වප්න දැක්ම (inconstant dreaming) වශයෙනි. පැහැදිලි සංකල්ප රූපයකින් හෝ අදහසකින් හෝ තොර ව පෙරදැක්මේ හැකියාව ස්වප්න කරණයට (toreboding without clear image or idea) තිබේ.

යථාර්ථවාදය යනුවෙන් මා අදහස් කරන්නේ කිසිම දාර්ශනික ධර්මයක් හෝ කිසිම සාහිත්‍ය ගුරු කුලයක් හෝ කිසි ම කලාත්මක තාක්ෂණයක් හෝ නොවේ. විවිධ ආකෘතික රූපාකාරයන් අත්කර ගන්නා පොදු මිනිස් ආකල්පයකි. (a general attitude which takes various forms). යථාර්ථය නමැති දාර්ශනික වලංගුතාව පිළිගැනීම, එනම් මිනිස් ක්‍රියාකාරකම් සිදු වන ලෝකය පවතින බව පිළිගැනීමත්, සෑම දෙයක ම වැදගත්කම සහ නිරවද්‍යතාව පිළිබඳ ගෞරවනීය සැලකිල්ලත් ඊට ඇතුළත් ය. තවත් දේවල් ද ඒ සමඟ ගමන් කරයි. පළමුවැන්න. ප්‍රජාවකගේ සෑම සාමාජිකයකු වෙතට ම යොමු වූ සමාජ සදාචාර වගකීම ය. දෙවැන්න ආනන්දයේ හෙවත් සන්තෘෂ්ටියේ සුවිශාල ක්ෂේත්‍රය පිළිබඳ ගැඹුරු උනන්දුව යි. මේ ආර්ශනික සහ සදාචාර ආකල්පය තවත් වැදගත් කාරණයක් සමඟ සම්බන්ධ වී ඇත. එනම්, අප විසින් නිරීක්ෂණය කරනු ලබන ලෝකයෙන් ලැබෙන්නා වූ සෞන්දර්යාත්මක ආනන්දය (aesthetic delight in the observed world) පිළිබඳ ලැදියාවයි.

' ඒ අනුව රොමැන්ටික් හා රියලිස්ටික් යන වචන දෙක මා නිතර නිතර භාවිත කරන්නේ මගේ පුද්ගලික අගතිගාමී හැඟීමත් මතා නො වේ. ජර්මානු නවකතාව හැඩ ගැසුණේ මේ වචන යුගලය මගින් හඟවනු ලබන ප්‍රතිවිරුද්ධ ප්‍රවණතා අත‌රේ ප්‍රකට ව හා අප්‍රකටව යළි යළිත් අලුත් වෙමින් මතු වූ අඛණ්ඩ අරගලයක ප්‍රතිඵලයක් වශයෙනි .” (German Novel; Roy Pascal, University of Toronto Press)

ජර්මානු සාහිත්‍යයේ මේ ගමන් මඟ පරික්ෂා කරන්නකු විසින් දකිනු ඇත්තේ සම්භාව්‍යවාදී (Classic) සාහිත්‍යකට පසු එය බිඳ විසුරුවමින් දියුණු වූ දීර්ඝ රොමෑන්තික සම්ප්‍රදායකි. ඉන් අනතුරු ව බල්සැක්. ෆ්ලෝබෙයා, මෝපසාං, එමීර් සෝලා, තුර්ගිනිෆ්. තොල්ස්තෝයි. ඩොස් ටොයෙව්ස්කි. ඉබ්සන්, ස්ට්‍රීන්බර්ග්, හෙමිංවේ ආදීන්ගේ ආභාසය ලබමින් බිහි වූ යථාර්ථවාදයකි. එනමුත් මේ තාත්විකවාදී යථාර්ථවාදය තුළ පවා රොමැන්තික ආත්මීයත්වය හා පුද්ගල ආත්මයේ අධිෂ්ඨානය සනිටුහන් විය. පැරණි සම්භාව්‍ය සම්ප්‍රදාය සහ රොමෑන්තික සම්ප්‍රදාය තාත්විකවාදය විසින් අතික්‍රමණය කරන ලද සැටිත්, ඒ සෑම සාහිත්‍ය සංක්‍රමණයක දී ම දර්ශනවාදය එහි ගමන් සගයා වූ සැටිත්, ජර්මානු සාහිත්‍ය පිළිබඳ සිංහල පෙළ පොතක් බවට පත් වූ සංක්ෂිප්ත ජර්මන් සාහිත්‍ය ඉතිහාසය කෘතිය රචනා කළ ජේ.ජී. රොබට්සන් මෙලෙස විස්තර කරයි:

අලුත් තාත්විකවාදය විසින් සාහිත්‍යය එකල ජීවිතයේ සිතුම් පැතුම් කෙළින් ප්‍රකාශ කිරීමේ මාර්ගය ලෙස ද යොදා ගන්නා ලදී. මෙහි නොවැළැක්විය හැකි ප්‍රතිඵලය වුයේ 18 වැනි ශතවර්ෂයේ වැඩි කාලයක් මුළුල්ලේ ජාතික කවියා වශයෙන් පිළිගත් ෂිලර්ට හිමිව තිබු ජාතික ගෞරවය ගර්තේට හිමි වීම යි. මේ සමඟම දර්ශනවාදයේ ද නොවැළැක් විය හැකි වෙනසක් ඇති විය. ජර්මන් ජාතිකයන්ගේ සිතුම් පැතුම් මෙතෙක් කල් පෝෂණය කළ හේගල් දර්ශනය අභාවයට ගියේ ය. 18 වැනි ශත වර්ෂයේ මහා බුද්ධිමතා වූ කාන්ට්ගේ දර්ශනයෙන් හේගල් දර්ශනය වැසී ගියේ ය. එලෙසින් ම යුද්ධයට පෙර ජර්මන් සිතුම් පැතුම් කෙරෙහි බලපැවැත් වූ ෂොපැන්හුවර් පිළිබඳ උද්යෝගය වෙනුවට අලුත් සොම්නස්වාදයකට මං පැදුණේය. මේ සොම්නස්වාදය පදනම් කොට ගත්තේ
අධිෂ්ඨානය හා සියත් බව යි. මේ අලුත් පුද්ගලාර්ථවාදය පසුගිය ශතවර්ෂය තුළ ජර්මනියේ ඉතා විශිෂ්ට ලේඛකය වූ නීට්ෂේගේ මුහුකුරා ගිය බුද්ධියට පාත්‍ර විය. (සංක්ෂිප්ත ජර්මන් සාහිත්‍ය ඉතිහාසය, ජේ.ජී. රොබට්සන්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව)

රොමැන්ටික් යුගයෙහි මෙන් ම තාත්විතවාදී පශ්චාත් තාත්විකවාදි යුගයෙහිදී ද ආත්මීය සුඛපරමවාදය, එනම් පුද්ගල ආත්මීයත්වයේ චරිතාපදානමය විභවයන් පරීක්ෂා කිරීම. ප්‍රපංච ලෝකය පවා සත්‍ය වූ ආත්මීය ලෝකයේ යථාර්ථයක් ලෙස මනෝභාවික ආක්‍රමණයකට භාජනය කිරීම, සූක්ෂම චින්තනාත්මක පර්යාවලෝකයක් ලෙස යථාර්ථය ප්‍රතිනිර්මාණය කිරීම, වාක්‍ය යෝජනයේ දී වාර්තාකරණ ශෛලිය වෙනුවට ප්‍රකාශනවාදයට මුල්තැන දීම, අනන්‍යතාව තුළ ම පරස්පරවිරෝධිතාව දැකීම හා කාව්‍යමය භාවය සාහිත්‍යමය ලක්ෂණයක් ලෙස පමණක් නොව චරිතයක නිජ ශක්තිය හෙළි කරන ආත්මීය කෞශල්‍යයක් ලෙස ද සැලකීම සුවිශේෂ තත්වයක් බව පෙනුණේ නැත.

නීට්ෂේ වැනි ජර්මානු දාර්ශනිකයන් වාක්‍ය යෝජනයෙහි ලා කලාකරුවන් වූ පරිද්දෙන්ම ජර්මානු ලේඛකයෝ ද වාක්‍ය යෝජනයෙහි ලා බෙහෙවින් දාර්ශනික වූහ. යථාර්ථය නිරූපණය කිරීමෙහි ලා ජර්මානු ලේඛකයන් තුළ දක්නා ලැබෙන දාර්ශනික පරමකාමය හුදෙක් ජිවිතයෙහි සොම්නසෙහි ලා පමණක් නොව පරම දොම්නසෙහි දී ද මැනවින් ප්‍රකාශ වූ බව පෙනේ. තෝමස් මාන්ගේ වැනීසියේ මරණයක්" (Death in Venice) නැමැති අගතා කෙටි නව කතාවෙහි නිරූපිත සම්භාව්‍ය සංගීතඥයාගේ වැනීසි සංචාරයෙහි ලා දක්නා ලැබෙන පුද්ගලාර්ථවාදී සුඛපරමවාදය තරම් සරාගී මානසිකත්වයක් කෆ්කාගේ අඳුරු බියකරු කෘති තුළ දක්නා ලැබේ. එහි දී පරමකාමය පරම පීඩනය බවට පත් වන නමුත් ගුණධර්මයක් ලෙස ජීවිතය විශාල කොට දැකීම හා එවැනි සුවිශාල මිනිස් අවකාශයක් තුළ අත දිගහැර ජිවත් වීමේ වුවමනාව පැහැදිලි වි දැක ගත හැකි ය. ගුන්තර් ග්‍රාස්ගේ නවකතා සම්බන්ධයෙන් ද මෙය අදාළ වේ. " පූසා සහ මීයා නව කතාවේ නිරූපිත ලෝකය තුළ කිමිදුම් ජීවිතය, නාවික අධ්‍යාපනය, මීයකු තරම් විශාල උගුරු දණ්ඩ, සුවිසල් පුරිස්කය. උමතු වචන පේළි, මල පහවීම, හස්ත
මෝචනය, නැව් ගිල්වීම වැනි විපුල හැඟීම් පටිපාටියක් එළි දකියි. මින් පෙනී යන්නේ දර්ශනවාදී නිට්ගේ සහ සංගීතවේදී වාග්නර් ජර්මානු නූතනවාදය තුළ පවා ජිවත් වූ බවයි. පුසා සහ මියා නව කථාවේ ප්‍රධාන චරිතය වන ජෝකිම් මාල්ක පවා සමහර අවස්ථාවල දී සාමාන්‍ය මානුෂික රූපයක හැඩරුව ඉක්ම වූ විකාතාකාර ගොතික් රූපයකි:

මෙන්න මෙහෙමයි මුල්ම දවසේ මං මිනිහව දැක්කේ. කොණ්ඩේ මෙන්න මේ වගේ පල්ලෙහාට කඩා වැටිලා. ඉතින් මිනිහාව යැව්වා බාබර් ළඟට. මාව හිනස්සන්නෙ නැතිව කථාව අහගෙන ඉන්න. එයාට ඕන උනේ බාබර්ටත් උඩින් යන්න. කන් පෙති දෙක බිත්තර ගහන බීටරයක් වගේ. ඉතින් බෙල්ල ඒක මාර බෙල්ලක්. බෙල්ල ගැන පස්සේ කථා කරමු. එයාට තිබුණ නව මාර බඩුවක්.

" ඔන්න ඔය මාකම තමයි - ඒ වෙලාවේ මම එතන - මිත්‍ර පාක්ෂික හමුදාවේ පුපුරන ආයුධ තනි අතින් ගොඩට ගෙනාවේ. හරියටම ග්‍රොස් බිස්ලෝ කිට්ටුව. ඒක ඇඟේ මයිල් කෙළින් වෙන කතාව.

" මුල ඉඳලම දැන ගන්න ඕන නම් උඹට යන්න වෙනවා හයිරිච් ඒ හලර්ස් ප්ලග්බෝල් පිට්ටනියට. මෙහෙමයි වුණේ. අපි හිටියා පිට්ටනියේ ඇලවෙලා. එතකොට මාල්කට නින්ද ගිහින් ඔන්න එතකොට අළුපාට පුසියෙක් පිට්ටනිය හරහා ඇදී යනවා. කෙළින්ම මාල්ක දිහාට.එතකොට මාල්කගේ උගුරු ඇටේ අඩ යට යන හැටි පූසි දැක්කාම ඌට කියවෙනවා මගේ කට. මාර මීයෙක් නෙ කියලා. ඉතින් ඒකි ඒකට පනිනවා.

ලෝක යුද්ධ දෙකේදීම ජර්මනියේ කාර්ය භාරය සුවිශාල විය. ඒ යුද්ධ දෙකේ සමන්‍තතාවරයකු වශයෙන් ජර්මානු පොදු ජන ජීවිතය තුළට පොම්ප කරන ලද මිලිටරි විඥානය මඟින් ජර්මනිය තුළ ඇති කරන ලද්දේ ඉමහත් සංස්කෘතික අන්තරායකි. යුදවාදය හා ජාතික සමාජවාදී දේශප්‍රේමය හමුදා ජීවිතයේ සිට දේශපාලනය. පවුල් ජීවිතය, ලිංගිකත්වය , අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර කරා ද ව්‍යාප්ත වූයේ සංස්කෘතික මහේ ශාක්‍ය භාවියේ, දේශප්‍රේමයේ හා
නම්බුකාරකමේ මතවාදයන් සහ ජාතික මිථ්‍යා ප්‍රබන්ධ ලෙසිනි. රුසියානු පෞරුෂ පරමාදර්ශ ද, නාසිවාදය ද, ජර්මානු මිලිටරිවාදයේ ප්‍රකාශන වූ අතර ඒවා මහජන දේශපාලනය හා කලාත්මක සෞන්දර්යය බවට පත් වීමෙන් පරිසමාප්තියට පත් විය.

විශේෂයෙන් දෙවැනි ලෝක යුද්ධයේ දී ජර්මන් සංස්කෘතිය ම්ලේච්ඡත්වය කරා පිරිහීමට එරෙහි ව සාහිත්‍යමය ඉදිරි දර්ශනයක් වර්ධනය කළ යුතු විය. මෙය ජර්මානු නූතනවාදය සම්බන්ධයෙන් කොයිතරම් වැදගත් කර්තව්‍යයක් වීද යත් මර්දනය, නාශනය, වාරණය. නිලධාරිවාදය, මිලිටරි සම්ප්‍රදායේ ශික්ෂණය ආදියට අභියෝග කළ හැකි ප්‍රබුද්ධතාවාදයක් මෙන්න්ම රොමෑන්තික ක්‍රමයේ වියරු පරිකල්පනයක්ද අවදි කිරීමට වුවමනා වී තිබිණි. ගුන්තර් ග්‍රාස් පවා ලේඛකයකු ලෙස තමන්ගේ චරිත පෞරුෂය විස්තර කළේ හේතු බුද්ධිය (Reason) ගැන කලකිරුණු යුගයක ප්‍රමාද වී පැමිණ ප්‍රබුද්ධතාවාදී ධර්ම දූතයකු " වශයෙනි. මානව වර්ගයා නො මැරී ජීවත් කරවීම සඳහා ලේඛකයෝ මිනිසාගේ කනට මුව තබා කෘත්‍රිම ශ්වසනය දෙතියි (mouth-to-ear artificial respiration) ඔහු වරක් ප්‍රකාශ කළේය.

ගුන්තර් ග්‍රාස්ගේ ලේඛක ආත්මය විකසිත වූ තරුණ කාලය පුරා ජර්මනිය පැවතුණේ යුරෝපය ඉතා කෲර ලෙස යටපත් කර ගැනීමට අරමුණු කර ගත් මහා ජාතිකවාදයේ අහංකාර ධජය යටතේ විවෘත ලෙස ම ප්‍රසාරණවාදී හා මිලිටරිවාදී වූ රාජ්‍ය තන්ත්‍රයක් ලෙසට ය. දැඩි ජාතික හැඟීමෙන් මතු නො ව දක්ෂිණාංශික අරමුණු වෙතට යොමු වූ දර්ශනවාදයන්ගෙන් හා ආගම් භක්තික සම්ප්‍රදායන්ගෙන් ද සන්නද්ධ වූ කාර්මිකවාදී ධනේශ්වර ස්තර මඟින් ශක්තිමත් කරන ලද ජර්මනිය, මාරාන්තික මිලිටරි පරාජයකින් හා දේශපාලන පෙරළියකින් විනා අන් කවර විකල්පයකින් හෝ ගොඩ ඒමට නොහැකි අගාධයක වැටී සිටියේ ය. ගුන්තර් ග්‍රාස්ගේ ප්‍රථම නවකතාව වූ "ටින් බෙරය " (Tin Drum) කෘතියේ ප්‍රධාන චරිතය වූ මස්කා මැට්සෙරාත්, ජර්මනියේ කෲරකම්වලට විරෝධය පාමින් වයස අවුරුදු තුනේ දීම සිය කායික වර්ධනය නතර කර දමන අතර බෙලෙක්ක බෙරයක් වයමින් විරෝධාත්මක ජීවිතයක් ගත කරයි.
ජාතික ජීවිතය විකෘති කළ මේ බරපතළ  ගැටලුව වෙත කලාත්මක ආකාරයට ප්‍රවිෂ්ට වන කවරකු වුව  වරදකාරී හැඟීමට හා හෘදය සාක්ෂියට මුහුණ දිය යුතුවිය. සාහිත්‍යය සම්බන්ධයෙන් ඉතා මුලික  වන්නේ මේ කාරණය යි. කලින් ජර්මනියට අයත් වී තිබුණු වර්තමාන පෝලන්ත නගරයක් වූ ඩැන්සි හි උපත ලද ගුන්තර් ග්‍රාස් ද ළාබාල තරුණ  වියේ දී පාසල් සිසුවකු ලෙස තරුණ හිට්ලර් ව්‍යාපාරයට Hitler Youth සම්බන්ධ වූ අතර දහසය වැනි වියේ දී ජර්මන් හමුදාවට බැඳි චෙකොස්ලොවැකියාවේ සටන් කළේය.

1956 සිට රචනා කරන ලද නාට්‍ය,බැලේ පිටපත්, නවකතා, කවි ආදී නිර්මාණ මඟින් ගුන්තර් ග්‍රාස් අරමුණු කර ගත්තේ මුළුමහත් ජර්මන්  ජාතිය හා සංස්කෘතිය වෙළාගත් මේ ඛේදවාචකය හා ප්‍රහසනය විනිවිද දැකීමටය.නාසි ජර්මනියත්, ෆැසිස්ට්වාදයට සිය ජන හදවත් විවෘත  කළ ජර්මන්  ජනතාවත් නිරූපණය කරමින් ද, ජර්මානු මිනිසාගේ ඛේදය හා ප්‍රභසනය තම පිටු මත සටහන් කරමින් ද මස ඩැනිසිග් ත්‍රිත්ව පුරාණය (Danzig triolog) රචනා කළේය. ටින් බෙරය එහි ප්‍රථම නවකතාව වූ අතර පූසා සහ මීයා දෙවැන්නද, සුනඛ වර්ෂ (Dog Years) තෙවැන්න ද විය.

ෆැසිස්ට්වාදය සෞන්දර්යවත් කිරීමේ හෝ එළැඹිය යුතු පරාජය  ඉදිරියේ පලායනවාදි (escapist) කලාවක නිරත නොවී හෝ ජර්මානු විකෘතිය, ඛේදවාචකය හා ප්‍රහසනය සවිඥානක ලෙස විනිවිද දැකිය හැකි සාහිත්‍යයක්, නිරූපිත මානව ජීවිතය ඇතුළතින් මෙන් හි පිටතින් ද හෘද සාක්ෂියේ හා කර්කශ උපහාස සිනාවේ හඬ ඇසෙන සාහිත්‍යයක් ගුත්තර් ග්‍රාස් අතින් බිහි වූ අතර එය රොමෑන්තික වූ ද ආත්ම කේන්ද්‍රිය වූ ද, ආධ්‍යාත්මික වූ ද, බෙලෙක්ක බෙරයක් මෙන් ඝෝෂා කරන්නා වූ ද සාහිත්‍යයකි.

ඩැන්සිග්  ත්‍රි‍ත්වයට පසුබිම් වන්නේ නාසි රාජ්‍ය තන්ත්‍රයට වූ ඩැන්සිග් නගර ප්‍රදේශයයි. ඩැන්සිග් වු කලී පෝලන්තයේ නාවික තටාකාංගන ප්‍රදේශයක් වන අතර පූසා සහ මීයා නවකතාවෙන් වැඩි කොටසක වරාය ආශ්‍රිත ප්‍රදේශය හා මුහුදේ ගිලී ඇති පෝලන්ත නෞකාවක් ගැන විස්තර වෙි.මෙය යුද සමයේ මුහුදු බෝම්බ ඉවත් කිරීම සඳහා යොදවා ගත් නෞකාවකි.ඒ අනුව නවකතාවේ කියැවෙන කරුණ මිතුරන්ගේ පිහිනුම්. කිමිදුම් හා සතුටු සාමීචි ආදියට පසුබිමෙන් ඇත්තේ ජර්මන් ආක්‍රමණ යටතේ මැවුණු නාවික යුද පරිසරයක් බව සිහි තබා ගැනීම වැදගත් ය. එම විෂම පරිසරයට අනුරූප වූ හිස්ටීරියානු සිනා හඬක් හා උච්ච ස්වර උත්තම පුරුෂ වෘත්තාන්ත භාෂාවක් මෙහි දක්නට ලැබේ. පුසා සහ මීයා යන නවකතා නාමය පවා බිහි කරනු ලබන්නේ එම විෂම පරිසරය පිළිබඳ හැඟීම,හාස්‍ය රසය හා හිස්ටීරියානු හාස්‍යය මගිනි. විශාල උගුරු ඇටයක් (Adam's ap ple) ඇති ප්‍රධාන චරිතය මීයා බවටත්, ඔහුගේ ඇඟට පූසකු විසි කළ කථකයා පුසා බවටත් පත් වේ. දරුණු යුද සමයක දී ප්‍රහාරක යානා, බෝම්බ, සතුරු සේනා, යුද උපායන් ආදියට පොදුජන නම්ගම් පට බැඳෙන්නේ ද මේ හා සමාන ආකාරයකට නො වේ ද?

එනමුත් මේ නවකතාව තුළ ඇත්තේ සවිමත් ජර්මානු ජීවිතවලට ගැළපෙන ආකාරයේ ප්‍රගාඪ පසුබිමකි. සාගරය සහ ගොඩබිම, කිමිදීම සහ ඇවිදීම, ආගමික ජිවිතය සහ ලිංගික ලෞකිකත්වය, ශික්ෂණය සහ තහංචි බිඳුම. භාෂාව සහ නිශ්ශබ්දතාව (Language and Silence) යනාදි ප්‍රතිවිරුද්ධ යථාවන් අතුරින් එහි කතාව දිග හැරෙයි. එම ප්‍රබන්ධමය ප්‍රතිපාර්ශ්වයන් නිසා මැවෙන්නේ සංකීර්ණ වියමනකි. මිනිසා ඔහු ජිවත්වන සන්දර්භය තුළ තැබීම සඳහා ගොතනු ලබන මේ වියමන, සිය සමාජයේ අර්බුදයට මොන යම් හෝ විසඳුමක් සොයා ගැනීමට නො හැකි වූ අවමංගත ජනකායකගේ ව්‍යාකූල සමාජ විඥානය ප්‍රකට කරයි.

නවකතාවේ කථකයා වූ පිලෙන්ට්ස් මෙන් ම ප්‍රධාන චරිතය වූ ජෝ කිම් මාල්ක ද ද්විතිය අධ්‍යාපනය ලබන ළාබාල තරුණයෝ වෙති. උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් චිත්‍රණය වන්නේ අනෙකාගේ ජීවිතය යි. කතාවට ඇත්තේ රේඛීය නො වූ (non- linear) විකාශනයකි. විටෙක ජෝකිම් මාල්ක පිළිබඳව ප්‍රත්‍යක්ෂ දැනුමක් ප්‍රදර්ශනය කරන කථකයා තවත් විටෙක ඔහු පිළිබඳ ව අස්ථානගත වූ මතකය අවදි කිරීමටත්. එකම කතා පුවත හෝ අතුරු පුවත් හෝ පිළිබඳව එකිනෙකට වෙනස් අර්ථකථන ගොනු කිරීමටත්, කථාවේ ඊනියා කර්තෘතුමා වශයෙන් සිය ප්‍රබන්ධකරණය ගැන ම පෙරළා ප්‍රශ්න කිරීමටත් වෙහෙසෙයි. සමහර විට නුඹ යනුවෙන් පාඨකයාට හා මිතුරාට එකවර ආමන්ත්‍රණය කරන කථකයා, යුධකාලීන වාතාවරණයක් තුළ පැතිරෙන නොගැළපෙන ප්‍රවෘත්ති අතරින් තම කථා පුවත රැක ගැනීමට උත්සාහ කරන සැටි අපට පෙනේ:

මෙතැන දී මා පැවසීමට සුදානම් වන්නේ හුදෙක් ම නුඹ ගැන පමණි. ජෝකිම් මාල්ක කවර කලකවත් ගුවන් හමුදා සහායකයෙක් වූයේ නැත. බ්‍රොයිසන් ග්ලෙටකවු වෙරළේ පිහිටි කාලතුවක්කු බලකායේ පුහුණුවීම් කටයුතු වලට සහභාගි වූ හෝස්ට් වෙස්ලි විදුහලේ ඇතැම් සිසුහු නිකමටවත් පූසාගෙයි. මියාගෙයි අපූරු කථාන්තරය පැවසීමට වීරිය නොකොට නව පන්නයේ අලුත් කතාවක් ඉදිරිපත් කිරීමට දායක වූහ.

එනයින් කථාව තුළ ම කථාකලාව හා කතුවරයා නිරූපණය වන අන්දමේ ස්ව - විවේචන කථන ක්‍රමයක් ද, කෘතියේ ඇතුළත් ජීවන පුවත හා අන්තර්ගතය විසින් කර්තෘ සංස්ථාවේ යුක්ති ගරුක භාවය අභියෝගයට ලක් කිරීමක් මෙහි දක්නා ලැබේ. කථාව ඇණහිට, භාෂාව නිහඬ වී කථකයා තුෂ්ණිම්භූත වී. ප්‍රධාන චරිතය පිරමිඩයක් මෙන් නිහඬ ස්මාරකීය ගම්භීරත්වයක් අත්කර ගැනීමක් ද නවකතාව අවසාන භාගයේ දී විද්‍යමාන වේ. මෙබඳු කථන විරාම මැදින් අපට කන වැකෙන්නේ යුද්ධයේ ඉදිරි ගමන මැද ඇද වැටුණු මිනිසුන්ගේ සිහින් කෙඳිරිය නො වේද?

කථකයා සිය මිතුරා දෙස බැලීමට පෙලඹෙන්නේ ව්‍යාකූල යුදකාමී පරිසරයක් තුළ මිනිස් විෂයේ අනුස්මරණීය විජයග්‍රහණයක් ලෙස නැඟී සිටින සද්දන්තයකු දෙස බලන අරමුණින් යුතු ව බව අපට පෙනේ. මතකයේ ප්‍රමුඛ ප්‍රතිපදානයක් ලෙස දිගුකල් පවතින මිතුරු සමරුව ගද්‍ය වියමනක් ලෙස සකස් වේ. ප්‍රධාන චරිතය මතු වන්නේ සාමාන්‍ය ශිෂ්ට බව හා සංස්කෘතික පරාමිතීන් පසෙකලන අන්දමේ අරුම පුදුම සංස්කෘතික ප්‍රපංචයක් ලෙසිනි. ගැහැනියකට පෙම් නො කරන ඔහු ආගමික සංකේත චරිතයක් වූ මාතාවන් සමඟ පාර භෞතික ප්‍රේමයකින් පසු වේ.ඒ අතර මිතුරියකගේ සරදම් ඉදිරියේ කෝපවන හෙතෙම  සැහැසි ලිංගිකයකුගේ හැකියා ප්‍රදර්ශනය කරන්නේ සර්කස්කරුවකුගේ රංගෙනයක් ලෙසිනි. අන්තිමේ දී ඔහු නොපෙනී  යන්නේ සිය හිත මිතුරු කථකයා විසින් රචනා කරනු ලබන ප්‍රබන්ධයට පවා විධිමත් පරිසමාප්ත අවසානයක් ලබා නො දෙමිනි.

මේ කථාවට යහපත් අවසානයක් මට ලබාදෙන්නේ කව්ද ?" කථකයා අසයි. යුද්ධයේ දී වීරකම් පෙන්වා නයිට් කුරුසිය පවා දිනා ගන්නා හෙතෙම ආගිය තැනක් නැති වෙයි. අණදෙන මූලස්ථානය භාර ලුතිනන්වරයා උත්සව වේදිකාවක සිට ඔහු අමතයි. සාජන්ට මාල්ක මෙහි පැමිණ සිටි නම් ඇතුළුවන දොරටුව අසල දී මා හමුවන්න.එනමුත් ගුන්තර් ග්‍රාස් අතින් නිර්මාණය වන්නේ සරල මිලිටරිවාදී චරිතයක් නො වේ. සාමාන්‍ය පාසල් ශිෂ්‍යයන් අතරේ සුවිශේෂ මිනිස් හැඟීම් ද, අදීන චින්තන දහරක් ද හිමි චරිතයකි. කතාව ආරම්භයේ දී පාසල් ක්‍රීඩා තරගයක විරාමයක් තුළ ඉංජිනේරු ශිෂ්‍යයෝ ක්‍රීඩා පිටියේ තණපත් මත වාඩි වී සිටිති. කථකයා වූ පිලෙන්ට්ස් දත් කැක්කුමකින් පෙළෙයි. ප්‍රධාන චරිතය වූ මාල්ක ක්‍රීඩා පිටියේ බිම වැතිර නිදා සිටියි. ක්‍රීඩාංගණය භාරකරුගේ කළු බැළලිය මාල්කගේ උගුරු දණ්ඩ වෙතට කඩා පනින්නේ එය මීයකු බව කල්පනා කරමිනි. එවිට මාල්ක මරහඬ තළමින් අවදි වේ. මෙය තරුණ මිතුරන්ගේ කර්කශ සරදමක් වුව ද බියකරු විහිළුවකි. ප්‍රධාන චරිතයේ රූපකය වෙනුවෙන් වෙළඳ ලකුණක් නිර්මාණය කරනු ලබන එම අවස්ථාවෙන් පසු දර්ශන පථය මාරුවෙයි. එය පළමු වැනි ලෝක යුද්ධයේ දී බෝල්ටික් මුහුදේ බෝම්බ ඉවත් කිරීම සඳහා භාවිත කරන ලද යාත්‍රාවක් මුහුදුබත් වී රැඳුණු වරායකි. කථකයාගේ හා වීරයාගේ කිමිදුම් පුවරුව සහ යුතෝපියාව වන්නේ මළකඩ මත මුහුදු ලිහිණි වසුරු එකතු වී කබොලු සෑදුණ මේ පැරණි නෞකාව යි. පළමු වැනි ලෝක යුද්ධයේ අබලන් ස්මාරක අතර විකසිත වන තරුණ ජීවිතවල අනාගත ඉරණම වූ දෙවැනි ලෝක යුද්ධය පිළිබඳ පෙර දැකීමකි. මෙහි ඇත්තේ නව කථාව ආරම්භයේ සිට ම මේ තරුණයෝ යුරෝපීය තරුණ පරපුරට හිමි නිදහස්, කායික, ලිංගික හා ආගමික ජීවිතයක් ගෙවති. එනමුත් ඔවුන්ගේ අධ්‍යාපනය යොමු වී ඇත්තේ දේශප්‍රේම් හමුදා සේවය හා අවදානම් සහගත විරක්‍රියා වෙතට ය.

පිහිනීම හා කිමිදුම් සිය තාරුණ්‍යයේ පරම අභ්‍යාසය බවට පත් කර ගත් ඔවුහු තම තරුණ මනස් ප්‍රහාරක යාත්‍රා සංස්කෘතියේ අසංඛ්‍ය තොරතුරුවලින් පුරවා ගෙන සිටිත්. ඔවුන්ගේ පුද්ගලික කුටීර තුළට ආගමික රූප සමඟ හරි හරියට රිදී පදක්කම් සහ රණවිරු රූප විද්‍යමාන වේ. සමනලයන්, රෆායෙල් මයිකලාංජිලෝ ආදීන් විසින් රෝමයේ සිස්ටයින් දෙව් මැඳුරේ සිතුවම් කළ මැඩෝනා මවිතුමිය, චිත්‍රපටි නළුනිළියන් අතර ලෝභ නැතුව වියදම් කර මිලට ගත් ප්‍රහාරක ගුවන් නියමුවන්ගේ හා ජෙනරාල්වරුන්ගේ පින්තූර ද මාල්කගේ කාමරයේ තිබුණු බව කථකයා පවසයි.

ඊළඟ යුද්ධය ඔහුගේ විභවතාවන් ඉල්ලා සිටින සේවාදායකයා බවට පත් වන අතර කථකයා අතීතාසක්ත කාංසාවකින් ඔහුගේ චරිතය පසුපසින් ගමන් කරයි. යුද නැව් ගිල්වා දැමූ වීරයකු ලෙස ආපසු පැමිණෙන සාජන්ට් මාල්කට සිය පාඨශාලාවේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු ලෙස පාසල් ශිෂ්‍යයන් ඇමතීමට අවසර නොලැබේ. ශිෂ්‍යයෙකුව සිටිය දී යුද වීරයකුගේ වීර පදක්කම සොරා ගැනීම නිසා පැන වූ දඬුවම සිහිපත් කරන පාසල් බලධාරියා නිසා ඔහුට එම අවස්ථාව අහිමි වේ. අන්තිමේ දී හමුදා සේවයට ද පිටුපා යන ඔහු සුපුරුදු කිමිදුම් විනෝදාංශයේ නිමග්න වීමට සූදානමින් මෙන් ගිලුණු නැවේ විවරයෙන් දිය යටට පිනා ගොස් අතුරුදන් වේ. ඒ ඔහුගේ අවසානය යි.

කථකයා විසින් සොයා ගන්නා පරිදි මාල්ක විසින් සිය හමුද ජීවතය තුළ මිනිස් පැවැත්ම සටහන් කරන්නේ හමුදා වැසිකිළියක පයින් ලෑල්ලේ හරස් අතට සිය ප්‍රියතම බයිබල් පාඨ හා නම් සඳහන් කිරීමෙනි. එනයින් ඔහුගේ මිනිස් විෂය නිවී පහන් වී ගූඨාර්ථයක්  බවට පත් වන්නේ ය. ජරා කැලෑ වැසිකිළියක ලෑලි පූරුවේ ජර්මාණු අක්ෂරයෙන් ලතින් පාඨයක් සටහන් වී ඇති අයුරු කථකයා දකී.සැබෑ මිනිස්සු එක වූ මාල්ක හමුදා සේවයෙන් ඉවත්වී අමු තිත්ත කුණුහරුපු වලින් ඉවත් වී වැසිකිළි ලෑල්ලේ ලියන ලද කුරුටු වැකියක් නිසා එම ලෑල්ලට කතා කරන්නට සැලැස්වූ බව කථකයා සඳහන් කරයි කරයි. ඔහු අජරාමර කරනු ලබන්නේ එම ජරා වැසිකිළි ලෑල්ල මගිනි. මෙය පුරාතන පුරවැසියෙකු වෙනුවෙන් පුරාවිද්‍යාවේ භාෂාවෙන් කතා කරන පුරාණ වළං කෑල්ලකට සමාන කිරීම වැරදි නැත.
වැසිකිළියේ සටහන් වී ඇති ඒ කුරුටු වැකිය සැබැවින් ම මේ නවකතාවේ උච්චස්ථානයේ වැජඹෙන ප්‍රබල ආධ්‍යාත්මික සංකේතයකි. එය කථකයා තුළ විපර්යාසාත්මක බලපෑමක් ජනිත කරයි. උද්ධෘතයේ නිරවද්‍යතාව හා ඒ පරිසරයේ පවත්නා බියකරු ගුප්ත භාවය නිසා තමා තුළ ඇති වූ ආධ්‍යාත්මික විපර්යාසය විස්තර කරන ඔහු හඟවන්නේ එය තම ලේඛන ජීවිතයට පවා හේතුවක් වූ බවයි. එනමුත් ඒ මතක වස්තුවට පවා ලැබෙන්නේ මෙවැනි සත්කාරයකි:

එනමුදු දිනක් මම බලකායට අයත් මුළුතැන් ගෙයි ගිනි මෙලවීමට අවශ්‍ය දර පලමින් සිටිය දි හෙමින් සීරුවේ පොරෝ කෙටිය අතට අර ගෙන වැසිකිළි ලෑලි පෝරුවේ කොටන ලද මාල්කගේ ප්‍රියතම ලතින් පාඨය දෙපලු කොට නුඹේ නාමයත් අතුරුදන් කළෙමි. එය වූ කලී පාරිභෝගිකයන් නැති වෙළෙඳපොළක පරණ කථාන්දරයයි.

එනයින් පුසා විසින් මියා ගිල දමන ලබන අතර මියා පුසා තුළ ජීවත් වේ.

- එරික් ඉලයප්ආරච්චි



අදහස් (0)

ගුන්තර් ග්‍රාස්ගේ පූසා සහ මීයා

ඔබේ අදහස් එවන්න

 

 

පුස්තක මස්තක

ගැහැනු සිතක පිරිමි කව
2024 දෙසැම්බර් මස 24 27 0

සිංහල කවියට විශාල ඉල්ලුමක් දැන් නැත. එය රටක සාහිත්‍යය ගැන සැලකිමේදි දැඩි අවාසනාවන්ත තත්වයකි. මන්ද කිවහොත් නිර්මාණකරණයේ හා පරිකල්පනයේ තිඹිරිගෙය වන්නේ


ගුන්තර් ග්‍රාස්ගේ පූසා සහ මීයා
2024 දෙසැම්බර් මස 17 342 0

ශතකයක් පුරා ජර්මනිය තුළත්, ඉන් පිටතත් නාසිවාදීන් විසින් ගෙන යන ලද උන්මත්තක දේශපාලනය ගැන සලකා බලන විට සාහිත්‍ය කලාව ලද සිත් කා වදින ජයග්‍රහණයක් ලෙස ගුන


බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ රංග කලා සංකථනය
2024 දෙසැම්බර් මස 03 127 1

’’රංගකලාව (theatre) යන්නෙහි අඩංගු වන්නේ මිනිසුන් අතර සිදු වන්නා වූ වාර්තාගත හෝ ප්‍රබන්ධිත ව පවතින්නා වූ සිදුවීම්වල නිරූපණ, විනෝද සම්පාදනයේ අරමුණින් නිර්ම


ස්වර්ණ පුස්තක⁣ සම්මාන දිනූ නවකතා කියවන්න බැරි ඇයි?
2024 ඔක්තෝබර් මස 22 126 0

මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. නෝන්ඩි කරන්නෙ නැතුව වටිනා පිළිතුරක් දෙයි කියල බලාපොරොත්තු වෙනවා.


නිහාල් පීරිස්ගේ ’’ මහ රෑ ’’ ශානරීය නවකතාවක්
2024 සැප්තැම්බර් මස 17 149 0

අපේ රටේ නවකතාවේ ශානරීය විවිධත්වය අඩුයි. ඒ කියන්නෙ අපරාධ නවකතා, රහස් පරීක්ෂක නවකතා වැනි උපශානර හරි අඩුයි.


’’සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොතක්
2024 අගෝස්තු මස 27 79 0

“සංසාර ප්‍රේමි“ සුන්දර කවි පොත 2023 දෙසැම්බර් මස කර්තෘ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ කවි 47කින් යුතු කැනඩාවේ එඩ්මන්ටන් හි පදිංචි තමාරා ජයතිලක මහත්මියගේ පුළු


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 53 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 664 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 696 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site