රවි සිරිවර්ධනයන්ගේ සුගේය පද සුසංයෝජනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ සුස්වර සුසංකලනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ කර්ණරසායන හඬ මාධුර්යයෙන් ද සුවිභූෂිත වූ මෙි මධුර මනෝහර ගීමිණිරුවන මානව බන්ධුත්වයත් ලෞකික ජීවිතයේ යථාර්ථයත් මොනවට පැහැදිලි කරයි.
සුභාවිත ගීතයේ රන්අස්වනු නෙළන ප්‍රතිභාපූර්ණ තරුණ ගේය පද රචකයෝ කිහිපදෙනෙක් අප අතර සිටිති. ඔවුහු පෙරපරපුරේ අනුහසින්, ආභාසයෙන් තම සුදුර්ලභ කවි ශක්තිය ද සුවිශද කරමින් විසල් ගමනක් යති. අප සන්මිතු රවි සිරිවර්ධනයෝ සුභාවිත ගී පෙදෙහි රසහව් සොය යමින් වෙසෙස් කව් ගී නිමැවුම් රැසක් ලාංකික කලා කෙත සුපෝෂණයට දායාද කළ බුහුටි ගේය පද රචකයකයෙක් වෙති. ඔවුහු දශක ගණනාවක් පුරා කවිය, ගීතය වෙනුවෙන් තම අනන්‍යතාව පළ කරමින් සිටිති. "මල් පිපිලා එදා වගෙම" නමැති ගීතය රවිගේ ගීත ලැයිස්තුවෙි අග්‍රඵලය යි. සාහිත්‍ය වචනවලට සහ ප්‍රබල කාව්‍යෝක්තිවලට වැඩි බරක් නොදුන්න ද සිරිවර්ධනයෝ මෙි ගීතය ඔස්සේ ධ්වනිතාර්ථපූර්ණ පද පෙළෙක් චිත්ත රූපයට නගති. එයින් විද්‍යමාන වන දිසි අරුතට වඩා වැසි අරුත ප්‍රබලය.
වසත් සමය යනු මිනිස් ජීවිතයේ සොඳුරුත ම අවදිය නොවෙිද? වසත් සමය ගත නොකළෝ කවරහුද? එවැන්නෝ මෙි මිහිපිට නොවෙත්. වසත් සමය නම් ජීවිතයේ භද්‍ර යෞවනය යි. සොබාදහමෙි ද වසත් සමයක් ඇත. වසන්ත කාලය උදා වෙත් ම අවට පරිසරයේ බොහෝ දෑ සිදුවෙයි. ගහකොළ මල් අතුඉති දළුලා වැඩෙයි. නිල්ල නෙළන කෙත්වතුවලින් ගොඩමඩ සරුසාර වෙයි. නේක වර්ණයෙන් සුගන්ධිත කුසුම් දසත පිපී බඹරුන්ට අත වනයි. මිහිලොල් මල් මී බී මියුරු නදින් ගුම්නද දෙයි. කුරුලු කූජනයෙන් සවන් පිරෙයි. මෙි වූකලි මුළු පරිසරයම සුන්දරත්වයෙන් ඇළලී යන වකවානුවක් නොවෙිද? මිනිසාගේ යොවුන්විය ද එසේය. ප්‍රේමයෙන්, නුරාවෙන් රැඩිකල් තුරුණු ජවයෙන් ගත සිත වෙළී යයි. එහෙත් සකල ශ්‍රී සෞභාග්‍යය හා සෞන්දර්ය කැටි වූ යෞවනය සදාකාලික නොවෙි.
තාරුණ්‍ය ගිලිහී යන්නේ සදාතනික මතක රස මංජරියක අප හදවත් ගිල්වමිනි. මෙනයින් තුරුණු වියත් මැදි වියත් භග්නාශාවෙන්, ශෝකසන්තාපයෙන් ගෙවී ගොස් ජීවිතයේ පශ්චිමයාමයට එළැඹෙයි. මෙි වූකලි ජීවිතයේ යථාර්ථය, සත්‍ය, බොරුව වැඩිපුරම පෙනෙන දකින හෝරවයි. එකල්හි මිනිසාගේ ඇතුළාන්තයේ ගොජ දමමින් කැකෑරෙන වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකත්වය, ලිංගික මාත්සර්යාදී ජුගුප්සිත නූගුණ මතුවෙයි. එහෙත් ඉඳුරන් ක්ෂයවී ගිය මහල්ලකුට පණනල ගැටගසා ගැනීමට ඇවැසි දෑ විනා කුමන ආස්වාද ද? තතු එසේ වූව ද ඇතමෙක් ඊර්ෂ්‍යා පරවශභාවයෙන් මඬින ලද පරවම්භනයෙන් තාරුණ්‍යයට පරිභව කරති. ඇතැම් මවුපියෝ තම දරුවන්ගේ තරුණ ජීවිත දෙස වපරැසින් බලති. මෙකී මහල්ලෝ තමන් කලකට පෙර තරුණ අවදිය පසුකළ බව නොසිතති. එකල තම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ සඳපහන යට තුරුළු වී පෙම්බස් දෙඩු හැටි ඔවුහු අමතක කරති. කල වයස එළැඹි තම තරුණ දූ පුතුන් ආදර අන්දරයක පැටලීම ඔවුහු පිළිකුල් කරති. ඒ සියල්ලට අකුල් හෙළති. මෙි නම් කුමන උන්මත්තක හැසිරීමක්ද? මොන විලම්භීතයක්ද? නිසිකලට තරුණ ජීවිතය නොවිඳි පිරිසක් ද මෙි අතර සිටිති. ඔවුහු අසහනයෙන් පෙළෙන්නෝය. අකලට මහලුවී පාරාජිත ජීවිත ගතකරකන්නෝ තරුණ පරපුර දෙස නිතර වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් බලති.
මෙලොව වාසය කරන කිසිවෙක් ලද දෙයින් සතුටු නොවෙයි. තමාට ලැබී තිබෙන කිසිදු දෙයකින් ඔවුහු සෑහීමකට පත්නොවෙති. ගේදොර, ඇඳුම් පැළඳුම්, ඉඩඩම්, කෑම්බීම් යානවාහන කෙතරම් තිබුණ ද කිසිවකුටත් තෘප්තිය ගෙන නොදෙයි. ඇතමෙක් අතීතකාමයෙන් (Nostalgia) පසුවෙති. ඇතැමුන්ගේ සිතුවිලි භූලෝකය පටුවීම ද මෙකි ගැටලු පැන නැගීමට හේතුභූත වී තිබෙි. මෙි ගීතයට පාදක වී ඇත්තේ එබඳු පටු අදහස් දරන වියපත් බිරියක ගැනයි. එහෙත් මෙි ගීතයේ එන වියපත් සැමියා ජීවිතය අවබෝධ කරගත් ලෝකෝත්තර සමාධියට පැමිණි බෝසත් ගතිගුණ ඇති පියෙකි. ඔහු තම වියපත් බිරියට නොවැටහෙන ජීවන යථාර්ථය උගන්වන අපූරුව බලන්න.
මල් පිපිලා එදා වගෙම බලන්න මැණිකේ බඹරු ඇදෙනවා සුවඳට සතර දිගන්තේ තරහ නොගෙන සාදු සාදු කියන්න මැණිකේ |
ලොව වෙනස් නොවන එකම දහම සොබාදහමයි. සොබාදහමෙි සුන්දරත්වය, අසිරිය විඳින්නෝ ඊට නොවලහා පෙම් කරති. ගහකොළ අතුඉති දළුලා මල් පිපෙයි. මෙකී මල් එකල් මෙකල්, කිකල් යනුවෙන් වෙනසක් නැත. සොබාදහමෙි සියල්ල මනකල්ය. කාලයාගේ ඇවෑමෙන් අලුතින් පූදින මලක වූව ද හැඩ, පැහැ, සුවඳ වෙනස් නොවෙි. ලොව නිය දහම එයයි. රුවැති සුවඳ කුසුම් දුටු මතින් ඊට බඹරු ඇදෙති. මිහිලොල් මල් මී බී මත්වෙති. නිසි කලට පෙම් හැඟුම් පිබිදීම කුමන වරදක්ද? මෙි කථකයා තම වියපත් බිරියට පවසන්නේ මෙි ජීවන යථාර්ථය නොවේද? ඔවුන් දෙපළ මෙි පැමිණ සිටින්නේ සැදැහැවතුන්ගෙන් පිරි පන්සල් භූමියකටය. සාන්ත පරිසරයක සමාධි සුවය විඳීමට සපැමිණිය ද ඇගේ සිත නොසන්සුන්ය. ඊර්ෂ්‍යාවෙන්, කුහකත්වයෙන් ඇගේ මනස කිලිටිවී ඇත. කෙලෙස් මලින් පිරුණු සිත අපිරිසුදුය. ආගමික සිද්ධස්ථායකට ඇවැසි වන්නේ නොකිලිටි මනසින් එන සැදැහැවතුන්ය. එහෙත් මෙි වියපත් ස්ත්‍රිය අවුල් මනසින් බුදුසරණ පතන්නීය. එහෙත් බෝසත් ගතිගුණ ඇති මහලු සැමියා තම බිරියට මැණිකේ නමින් ආදරණීය ආමන්ත්‍රණයක් ද කරයි. මැණිකේ මෙි මොහොතේ මුහුණ දී සිටින මානසික විසංවාදය තේරුම් ගෙන ඔහු ඇයට ආදරයෙන් කතා කරයි. මායාවක පැටලී සිටින තම වියපත් බිරියට යථාර්ථය පෙන්වා දෙයි. මල් පහන් රැගෙන තරුණ පෙම්වතුන් පන්සලේ පියගැට පෙළ නගිද්දී ඇගේ සිත ඉසි, කෝ, මානයෙන් පිරිණි. මෙි කථකාව පරල වූයේ මිනිසා උපතින් ම රැගෙන එන ජාගර ගති පැවැතුම් නිසා නොවෙිද? සියලු සංස්කාරකයන් නැසෙනසුලුය.
එදා අපට පෙම්වත් සඳ අද දරුවන්ටයි ගලා හැලෙන නිල් ඇළදොළ පෙම් කවියක් වෙයි එදා අප වෙලී ගිය මග මෙදා උන් බැඳී යන සඳ තරහ නොගන්ටයි |
පෙම්වතුන්ගේ ලෝකයේ සදාතනික රමණීය සංකේතය එසේත් නැත්නම් සොඳුරුත ම වස්තුව සඳ නොවෙිද? මෙි ගීතයේ ද පෙම්වත් සඳක් ගැන කියැවෙයි. එහෙත් සඳ වැනි පාෂාණමය ආකාශ වස්තුවකට මිනිසා මෙි තරම් ඇලුම් කරන්නේ ඇයි දැයි ප්‍රහේලිකාවකි. සඳ වරූණ ගැන ලියැවුණු කවි ගී ලොව කෙතරම් ද? තතු එසේ වූව ද සඳ පිළිබඳ තවත් නැවුම් කවි, ගී අද මෙන් හෙටත් ලියැවෙණු ඇත. පුරෝගාමී ජ්‍යෙෂ්ඨ කිවියර ගුණදාස අමරසේකරයෝ සිය "භාව ගීත" නමැති කාව්‍ය සංග්‍රහයට සඳ ගැන මෙසේ ලියති.
රෑ හඳපානේ ගහකොළ සිහිසන් නැති කලක් ලෙසට බලා ඉන්නවා ගිලිහී මත්වීලා හඳපානට හඳපානේ මගෙ ඇඟපත නලියනවා රහ බලන්නට එන්න අනේ සඳවතියේ හඳපානේ හඳ උරන්ට ( උඳුවප් ඇවිල්ලා -58 පිට ) |
මෙි කථකයා තම වියපත් බිරියට අතීත දිවිය මතක් කර දෙයි. එදා දෙදෙනා ආදරයෙන් වැළඳ ගත් පෙම්වත් සඳ අද දරුවන්ට අයිති බවත් ඔහු සිහිපත් කරයි. එකල සඳපහන යට ප්‍රේමයෙන් වෙළුණු ආකාරයට අද දරුවන්ට පෙම්සුව විඳිමට අකැප දැයි ඔහු අසයි. ගලා හැළෙන ඇළදොළ පවා ඔහුට පෙනෙන්නේ පෙම් කවියක් මෙනි. මහලු වියට එළැඹිය ද ජීවිතයේ සුන්දරත්වය දකින මෙි කථකයා ඊට කිසියම් විදර්ශනාවක් ද එක් කරයි. පෙම්වතුන් එකට වැතිර තුරුළු වී පෙම් තෙපුල් තෙපලන නිමෙිෂය කෙතරම් නම් සොඳුරු ද? ජීවන ලාලසාවෙන් ප්‍රේමයේ ප්‍රහර්ෂය, අධ්‍යාත්මික සුඛාස්වාදය, පරමානන්දය ප්‍රේමවන්තයෝ රිසි සේ බුක්ති විඳිති. එදා අප දෙදෙන ද මෙකී අමොද රස විඳි බවත් අද ඒ මාවතේ ගමන් කරන දරුවන්ට ඊර්ෂ්‍යා නොකරන ලෙසත් මෙි බෝසත් පියා තම මහලු බිරියට ආදරයෙන් පවසයි.
කෝඩුකාර පෙම්බස් දැන් ඉතින් ඔවුන්ටයි රෑට පිපෙන තරු මල්වල රේණු ගණින්ටයි එදා අපේ හීන මාලිග මෙදා උන් තනා ගත් සඳ කඩා නොලන්ටයි |
කෝඩුකාර, නොඉඳුල් පෙම්බස් දොඩමින් නුගිනුරා ප්‍රේමයේ පරම සුව විඳීමෙි අවස්ථාව අද අපට අහිමි බවත් ඒ සියල්ලේ හිමිකරුවන් තරුණ දූ පුතුන් බවත් කථකයා තම වියපත් බිරියට කියයි. එදා මෙන් අදත් ප්‍රේමවන්තයෝ සිහින මාලිගා තනති. කාල්පනික ලෝකයේ ආදරයෙන් හැදු ඒ සිහින විමන්වල ඔවුහු ජීවත් වෙති. එහෙත් අසුරු සැණින්, තත්ක්ෂණයෙන් මෙි සියලු සිහින මැඳුරු සුනුවිසිනු වී යයි. ප්‍රේමයට පරහට සිටින සතුරෝ පෙම්වතුන්ගේ සිහින මාලිගා කඩා බිඳ දමති. මෙි කථකයා තම බිරියට පවසන්නේ එබඳු අපරාධයක් නම් නොකරන ලෙසයි. එකල අප දෙදෙනාත් එබඳු සිහින මාලිගා තැනු බව ඔහු ඇයට සිහිපත් කර දෙයි. ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගත් මිනිසාට ප්‍රශ්න නැත. ලෝකෝත්තර ජීවිතයට සමවැදුණු මිනිසුන් සියලු බැඳීම් අත්හරිති. දරුවන් හදා වඩා උගන්වා යහමගට ගෙන ආපසු ඔවුනගේ ලෝකයට අකුල් හෙළීම ප්‍රඥාගෝචර නොවෙි. මවුපියන් දරුවන්ට තමන්ගේ ලෝකය ගොඩනගා ගෑනීමට නිදිහස දිය යුතුය. පරණ ඇරියස් දරුවන්ගේ කරපිටින් යැවීම පාප කර්මයකි. මෙි මහලු පියා දාරක ප්‍රේමය උපරිමයෙන් ම සුවිශද කරයි. තම බිරිය නුවුවමනා ලෙස දරුවන් ගැන වදවන බව ඔහුට වැටහෙයි. එහෙයින් ඔහු මෙි ගැටලුවට මැදිහත් වී ඇයට සත්‍ය පහදා දෙයි. ගීතයකින් කළ හැකි දේ අතිසීමිතය. එහෙත් දක්ෂ ගේය පද රචකයකුට එක් තනි හැඟීමක් සංකේන්ද්‍රණය කොට තීව්‍ර ලෙස ප්‍රකාශයට පත්කළ හැකිය. මෙි ගීතයෙන් යටකී කාර්ය මැනවින් ඉටුකර ඇත. මෙි වූකලි මිනිසුන් වෙනුවෙන් මිනිස්කම ලියූ අපූරු ගීමිණක් නොවෙිද?
විවරණය : ශෂී ප්‍රභාත් රණසිංහ
යොවුන් විය එළැඹෙනවාත් සමඟම හිතේ උපදින ආදරය පිළිබඳව බොහෝ දෙනා විවිධ කතා කියුවත්,මත පළකරත් ඒ ආදරය තමයි ජීවිතය ජීවත් කරවන ආදරය වන්නේ.
මෙලොව එළිය දකින සෑම මිනිසකුම තම ජීවිතය අරඹන්නේ සොබාදහම සමඟින්.මේ විශ්වයේ අපූරු දායදයක් වන ගහකොළ,ඇළ දොළ,නිල් අහස, මහ පොළොව මේ සියල්ල සෑම මිනිසකුගේම ජීවි
සුභාවිත ගීතයේ අක්මුල් සොයා යද්දි ජනකතා,ජනප්‍රවාද,ජනශ්‍රැති,ථෙතිහාසික මූලාශ්‍ර,ඉතිහාසය මත පදනම් වූ ගීත රාශියක් හමුවෙනවා.ඒ ගීත අතරේ එදා මෙදාතුර සාහිත
ඩෝල්ටන් අල්විසුන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේය පද සංහිතාවෙන් ද ශෙල්ටන් පෙරේරාගේ භාවානුරාගී හඬ මාධුර්යයෙන් සහ ස්වරසංරචනයෙන් ද සමලංකෘත වූ මෙි ගීමිණ සසර සය
වසන්ත කුමාර කොබවකයන්ගේ ව්‍යංග්‍යාර්ථපූර්ණ සුගේය පද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන හඬ සහ සුස්වර මාධූර්යයෙන් ද සුරංජිත මෙි සුදුර්ලභ ගීමිණ ම
සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙ ලංකාගමනයත් සමඟ පැමිණි අටළොස්කුළයක කලා ශිල්පීන් අපේ ජන සමාජය වැළඳගත්තේ ඔවුන් සතු වූ හැකියාවන් තව තවත් ප්‍රගුණ කරමින්. ඒ ආ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මල් පිපිලා එදා වගෙම