මගගේ සැම්සන් ප්‍රනාන්දු නොහොත් බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු උපන්නේ 1931 මාර්තු හතරවැනිදාය. එහෙත් දන්නා හඳුනන කවුරුත් ඔහුට කීවේ ‘සනී’ කියාය. ඔහු සිංහල ගීත ක්‍ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් 1974 දී රන් නෙළුම් මලකින් පුදනු ලැබූයේ කොළඹ කලා කවය මගිනි.
භාෂා පහකින් ගීත දහසක් තැටිගත කිරීම වෙනුවෙන් එවක ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් එම්.එස්.ට ගෞරව පිණිස රජ ගෙදරට කැඳවා විශේෂ තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.
එම්.එස්. එකල මේ ගැන කතා කළේ දැඩි සතුටකිනි.
“මට මේ සිදුවීම් කවදාවත් අමතක වෙන්නෙ නෑ. මට අද මේ ආදර ගෞරව ලැබුණට මම ඉපදුණේ දුප්පත් පවුලක.
මම එදා වේදිකාවෙ ගී ගයද්දි වාදක මණ්ඩලය පිටවෙලා යනවා. මම විතරක් තනියම ගිටාර් එක වාදනය කරමින් ගී ගයනවා. විශාල අමාරුකමකින් ගීත ගායනයට පැමිණි මම එදත් අදත් මොන තරම් වෙනස් ද කියා හිතනවා.”
‘එම්.එස්. ඇයි පහුගිය දවස්වල වේදිකාවෙදි නොදැක්කෙ?’
“හේතු දෙකක් තියෙනවා. මා පහුගිය ටිකේ බලවත් ලෙස රෝගාතුර වී මහ රෝහලේ විශේෂ වාට්ටුවක දින 23ක් ප්‍රතිකාර ගත්තා. අනෙක මම වේදිකාවට එන්නේ ඉහළ ගාණක් අය කරලා. මගෙ ගාණ හරි හැටි ගෙව්වොත් තමා මම වේදිකාවට එන්නේ.
හැබැයි දැන්නම් මට හොඳටම සනීපයි. මම ඊට පස්සෙ ටයිටස් තොටවත්තගෙ ‘මරුවා සමග වාසේ’ චිත්‍රපටයෙත්, කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරාගේ ‘සසර’ චිත්‍රපටයෙත් ගීත ගායනා කළා.”
එදා සාකච්ඡාවේදී ඔහු පොරොන්දුවක් ද දුන්නේය. ඒ මධුවිත ආයෙමත් කටේ නොතියන බවය. ලෙඩේ බරපතළකම කොයි තරම්දැයි ඔහුගේ ඒ පොරොන්දුවෙන් පැහැදිලිය.
එහෙත් ඊට ටික කලකට පසුව ඔහු අපට හමු වූයේ මොරටුවේ සංගීත සංදර්ශනයකදීය. ඔහු එදා සිටියේ දැඩි සතුටකිනි. ඔහු නිරතුරුව අඳින දිලිසෙන කෝට් එක එදින ද ඇඳ සිටියේය. ඔහු අප සමඟ කතා කළේ ද මහත් ප්‍රබෝධයකිනි.
අනික එදා නම් ඔහු පුවත්පත් සාකච්ඡාවේදී දුන් පොරොන්දුව කැඩුවේය.
‘කෝ එම්.එස්. අයියාගේ පොරොන්දුව කඩකළානෙ’ යි අප පැවැසූ විට “මේ ජොබ් එක කරන්න බෑ මල්ලි මේක පොඩ්ඩක් නැතිව” ඔහු ඉන් පසුව මුළු වේදිකාවම එකම සැණකෙළියක් බවට පත් කළේය. රසික ඔල්වරසන් මැද ඔහුගේ සුපුරුදු රැඟුම් සමඟින් ගීත කිහිපයක්ම ගායනා කළේය.
එකල ගීතලෝලීන් එම්.එස්.ට වශී වූයේ ඔහුගේ වේග රිද්ම ගීයට පමණක් නොවේ. ඔහුගේ අපූරු රැඟුමටය. එය එතරම්ම විනෝදාස්වාදය සපයන්නකි.
සිංහල චිත්‍රපට සංගීතයේ සැබෑ වෙනසක් කළ ප්‍රේමසිරි කේමදාසයන් අප සමඟ වරක් පැවැසුවේ ‘ලංකාවේ ගීතයක් ගායනා කිරීමේදී හැඟීම් දනවන ආකාරයෙන් ඉදිරිපත් කරන්නේ ජෝති හා එම්.එස්. පමණක්’ බවය. තවත් වරෙක පණ්ඩිත් අමරදේවයන්ගෙන් බයිලා හා වේග රිද්ම සංගීතය ගැන කුමක් කියන්නේදැයි අප ඇසූ විට පිළිතුරු දුන්නේ ‘කිසිම සංගීතාංගයක් අපට හොඳ නෑ කියලා පහළට දාලා කතා කරන්න බෑ. බයිලා ගත්තත් වේග රිද්මය ගත්තත් ඒවා සංගීතාංග’ ඒ පණ්ඩිත් අමරදේවයන්ගේ පිළිතුරයි.
එම්.එස්. කීවේ ‘බයිලා‘ කියන්නේ පෘතුගීසි භාෂාවෙන් ‘නටන්න’ යන අර්ථය බවය.
එක් කාලයක ගුවන්විදුලියෙන් එම්.එස්. ගේ ගීත ප්‍රචාරය නතර කළේ ඒවා බයිලා නිසාය. ඔහු ඒ දිනවල අප සමඟ කතා කළේ එතරම් ප්‍රසාදයකින් නොවේ.
“මම කියන්නෙ බයිලා නෙමෙයි. ඒවා එක්තරා විදියක සරල ගීත.” ඔහු එකල ගුවන්විදුලියට ගොස් ඒ ශ්‍රේණියේ සරල ගී ගායකයකු ලෙස ගීත 6ක් පටිගත කළේය.
“ඔන්න බලන්න,
‘මාලෙ හදාගෙන ඕලු මලෙන්
ගෙලේ දමාගෙන සුදට සුදෙන්’ ඔහු අප ඉදිරියේ ගායනා කර පෙන්වයි.
‘දැන් බලන්න බෝල බෝල මැටි බයිලාවක් ද?’ ඔහු ගැයූ සරල ගීත ද ඉමහත් ජනප්‍රියත්වයට ලක්විය.
“ඒත් ගුවන්විදුලියේ ප්‍රචාරය වෙන වර්තමාන ගීත නෙමෙයි මගෙන් බලාපොරොත්තු වෙන්නෙ. සමහරු මම සරල ගීත ගායනා කරනකොට බය වුණා මමත් සරල ගී පැත්තට ගියා ද කියලා. මම මින් පස්සෙ සරල ගීත කියන්නෙ නෑ.”
එම්.එස්. ගායනා කළ සරල ගීත ද වේදිකාවේදී වේග රිද්ම ගීත බවට පත්වෙයි. ඒවා අනුව ඔහු රඟයි.
“වර්තමාන වේගවත් ලෝකයකට අවශ්‍ය වෙන්නෙ වේගවත් සංගීතයක්. ඉතින් ඔය ගුවන්විදුලියේ නිදිමත සංගීත ක්‍රමය නම් කවදාවත් සාර්ථක වෙන්නෙ නෑ. මම කියන්නෙ බයිලාම දාන්න කියන එක නෙමෙයි. දැන් බලන්න මිල්ටන් මල්ලවාරච්චිගෙ සිංදු ‘ස්ලෝ’ විදියට ගායනා කළාට නිදිමත ගතියක් නෑ නේද?
මම බයිලාව ඉහළ තැනකට ගෙනාවා. මගේ නිහඬතාවය නිසා දැන් ඒක ආපහු තුට්ටු දෙකේ තත්ත්වයට ගිහින්. මම ඒකයි සරල ගීත නවත්තලා ආයෙමත් පොප් ගීත ගයන්න හිතුවෙ.
මං දවසක් වෙරළේ ඉන්නකොට නැවක් දැක්කා. එවෙලේ තමයි මරීනාත් ලංකාවේ පෙම්වතාත් මට මැවිලා පෙනුණෙ.
ටිකිරි ලියා මම දැක්කෙ වෙනස් විදියකට. කොළඹ කාක්කත් ඒ වගේ. මගෙ ගීත කෙටි කතාවක් වගේ.”
මෙසේ කියූ එම්.එස්. අසූව දශකයේ එක් දිනෙක අප හමුවෙන්නට ආවේ ඔහුගේ ‘ශ්‍රී ගී’ ප්‍රසංගය ගැන කියන්නටය. එහි සංවිධායක වූයේ ජෝති ගීත ප්‍රසංගය සංවිධානය කළ ප්‍රැන්සිස් වන්නිආරච්චිමය.
ඔහුට වුවමනා වූයේ ශ්‍රී ප්‍රසංගයත් රැඟුමෙන් තොරව ඉදිරිපත් කරන්නටය.
‘කෝ එම්.එස්. අයියට කිව්වට අහන්නෙ නෑනෙ. දැන් බලන්න ‘ඉන්ඩෝ ෂෝස්’ හුඟක්ම කරන්නෙ ඒ විදියට. මිනිස්සු දැන් කැමැති ඒ විදියට.’
ප්‍රැන්සිස් කීවේ එම්.එස්. ඉදිරියේදීමය. එම්.එස්. ඊට පිළිතුරු නොදුන්නේය. එහෙත් ඊට තරමක එකඟතාවක් පළ කරන බවක් ද පෙනිණ.
ටවර් රඟහලේ පැවැති ශ්‍රී ප්‍රසංගයට සෙනඟ අතුරු සිදුරු නැතිව පිරී තිබිණ. ප්‍රසංගය ආරම්භ විය.
එම්.එස්. කුර්තාවකින් සැරැසී ජාතිකාභිමානී ගීතයක් මුලින්ම ගායනා කළේය. පිටුපසින් තිරයේ දිස් වූයේ ශ්‍රී ලංකා සිතියමයි. එය එම්.එස්. ගෙන් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ ඉදිරිපත් කිරීමකි.
තවත් එවැනිම ගීත කිහිපයක් එම්.එස්. ගායනා කළේ සුපුරුදු වේග රිද්මයෙන් බැහැරවය. ප්‍රසංගය නැරැඹීඹට ගොස් සිටි අපට සිතුණේ ප්‍රැන්සිස්ගේ අදහස බොහෝ දුරට එම්.එස්. පිළිගෙන ඇති බවකි. වඩාත්ම විශේෂත්වය වූයේ එම්.එස්. මුල් ගීත ගායනා කළේ වේදිකාවේ අසුනක සිටය.
ගීත කිහිපයකින් පසු එම්.එස්. අසුනින් නැගිට වේදිකාව මැදට පැමිණ මඳ චලනයකින් යුතුව ගී ගැයුවේය.
‘බෝල බෝල මැටි’ වැනි හිත ගිය එහෙත් හෙමිහිට ගැයෙන ගීත මේ ගීත කිහිපයට ඇතුළත් විය.
එහෙත් මයික්‍රෆෝනය අතට ගෙන වේදිකාවේ හිටගෙන ගායනා කිරීමේදී එම්.එස්. ගේ ගායන ලතාව ටිකෙන් ටික වෙනස් වන්නට විය.
මඳ විරාමයකින් පසුව එම්.එස්. වේදිකාවට ආවේ කුර්තාව ඉවත් කර ඔහු වඩාත් කැමැති යුරෝපීය ඇඳුම් කට්ටලයකිනි.
විවේකය එළැඹෙන තුරුම එම්.එස්. ගේ අංග චලනය එතරම් වේගවත් නොවීය.
විවේකය එළැඹිණි.
විවේකයෙන් පසුව එම්.එස්. ආවේ රතු පැහැයට හුරු යුරෝපීය ඇඳුම් කට්ටලයකිනි. ඔහු මහත් ප්‍රබෝධයකින් සිටිනු පෙනිණ.
විවේකයෙන් පසුව වේදිකාව සුපුරුදු ලෙස සැණකෙළියක සිරි ගත්තේය. ඔහුගේ සුපුරුදු රැඟුම් ආරම්භ විය.
විවේකයෙන් පසුව එම්.එස්.ට ප්‍රැන්සිස්ගේ උපදෙස් අමතක වුණා විය හැකිය. ඔහු ප්‍රසංගය අවසන් වෙනතුරුම වේග රිද්ම ගීත ගායනා කරමින් ඇති තරම් නැටුවේය. ගී ප්‍රසංගය අවසන් වූයේ රසික ඔල්වරසන් මැදය.
මධුවිත වෙත යළි නැඹුරු නොවන්නට ගත් පොරොන්දුව මෙන්ම ශ්‍රී ප්‍රසංගයේ ගීත ගැයීමේ ස්වරූපය ද ඔහුට අමතක වෙන්නට ඇත.
කොහොම ගැයුවත් එම්.එස්. ගේ ගීත අද ද ජනප්‍රියය. යූටියුබයෙන් හෝ ඔහුගේ පැරැණි ගීතයක් දකින විට ඔහුගේ රැඟුම නැතිනම් ඒ ගීතයේ රහක් නැත.
‘එන්ටර්ටේනර්’ නොහොත් ‘ජනතාව විනෝදයට පත්කරන්නා’ යන අරුතට නියම අරුත එක් කළ ශ්‍රී ලාංකේය ගායකයන් අතර එම්.එස්. තවමත් පෙරමුණේය.
ප්‍රසංගයක ගීතයක් ගායනා කිරීමේදී එහිදී දක්වන අංග චලනය කෙතරම් ජනප්‍රිය දැයි දැකගන්නට අද රූපවාහිනී රියැලිටි ෂෝ කදිම උදාහරණයකි.
එක්තරා යුගයක වේග රිද්ම ගීත හා ගීතයකට අංග චලනය දක්වමින් ගයන කලාකරුවන් අවර ගණයට දමමින් කතා කළ ඊනියා ප්‍රබුද්ධයන් හා විචාරකයන්ට කාලය විසින් දැන් පිළිතුරක් දී තිබේ. ඊට හේතුව එදා මෙන් නොව අද අන්තර්ජාලය ඔස්සේ ලෝකය දැක ගැනීමට රසිකයාට අවස්ථාව ඇැති බැවිනි.
එදා එම්.එස්. වේදිකාවේදී හැඳින්වූයේ ‘භාෂා පහකින් ගී ගයන බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු’ නමිනි. එම්.එස්. ගේ විරුදාවලිය ‘බයිලා චක්‍රවර්ති’ය.
දේශපාලන වේදිකාවට එම්.එස්.ලා, ජෝතිලා නැතිවම බැරි එක් යුගයක් විය. ඊට හේතුව වූයේ දේශපාලන කතා අහන්නට රසිකයන් ගෙන්වා ගැනීමට නොහැකි තරමට එවක ඇතැම් ආණ්ඩු ජනප්‍රියත්වයෙන් ගිලිහී තිබීමය.
ඒ නිසා දේශපාලන කතා අතරට ජෝතිලාගේ, එම්.එස්.ලාගේ ගීත ඇතුළත් කරන්නට සිදුවිය. පක්ෂ පාට නොබලා මේ දේශපාලන සංගීත සන්දර්ශනවලට ජනතාව එදා සහභාගි වූහ.
කොළඹට කිට්ටුව පැවැති එවැනි දේශපාලන රැස්වීමකදී අපූරු සිදුවීමක් විය. එක්තරා ප්‍රබල දේශපාලකයකුගේ කතාවකට පසු තිබුණේ එම්.එස්. ගේ ගායනා කිරීමේ අවස්ථාවයි.
දේශපාලකයාගේ නම පටන් ගන්නේ ද අකුරු දෙකකිනි. එහි මුල අකුර ද ‘එම්’ය. දේශපාලකයාගේ කතාව අවසන් විය. නිවේදකයා දේශපාලකයාට නරඹන්නන්ගෙන් ඔල්වරසන් හඬ ගෙන දීමට කිහිප වරක්ම ඒ නම කීවේය.
‘ගරු මහජන මන්ත්‍රී .... මැතිතුමාට’ යි කී විට නරඹන්නෝ ‘ජය වේවායි’ හඬ නැගූහ. මේ අයුරින් දේශපාලකයාගේ නම්බු නාම ටයිටල් ආදිය කියමින් කිහිප වරක්ම නරඹන්නන්ගෙන් ‘ජය වේවා’යි ‘චියර්’ එක ගන්නට නිවේදකයා කටයුතු කළේය. මේ වනවිට නිවේදකයා දේශපාලකයාගේ නම දහ වරක් පමණ කියන්නට ඇත.
මේ අයුරින් ‘චියර්’ එක අරන් දුන් නිවේදකයා ඊළඟට පටන් ගත්තේ එම්.එස්. ගැන හඳුන්වා දෙන්නටය. ‘භාෂා පහකින් ගී ගැයූ....’ ආදී වශයෙන් දීර්ඝ විස්තරයක් කළ නිවේදකයා අවසානයේදී ‘මෙන්න පිළිගන්න නෝනාවරුනි, මහත්වරුනි බයිලා චක්‍රවර්ති’.... යි කියමින් අර ප්‍රබල දේශපාලකයාගේ නම කීවේය.
බයිලා චක්‍රවර්ති අහවල් දේශපාලකයා යයි කියූ සැණින් ජනතාව අතරින් මතු වූයේ සිනාවකි. එහෙත් එම්.එස්. සුපුරුදු සිනාවෙන් යුතුව වේදිකාවට ගොඩනැගුණේය.
“මම ඒ මැතිතුමා නෙමෙයි. මම එම්.එස්. ප්‍රනාන්දු” යයි කියමින් ඔහු ගී ගයන්නට පටන් ගත්තේය.
එකල එම්.එස්. ගීත ගායනයට පෙර තම රසිකයන් වචන කිහිපයකින් වේදිකාවේදී අමතන්නට අමතක නොකළේය. එකල බොහෝ ගායක ගායිකාවන් තම නම නිවේදනය කළ පසු වේදිකාවේ ගායනය ආරම්භ කළ ද එම්.එස්. හැම විටම රසිකයන්ට කිසිවක් කීවේය. ගායනය අතරතුරදී ඔවුන් කැමැති ගීය ඉල්ලන්න යැයි කීවේය. ඔහු හැමවිටම ප්‍රේක්‍ෂකාගාරය හා සම්බන්ධ විය.
අද එය සෑම ගායක ගායිකාවක්ම පාහේ ඉදිරිපත් කරන්නකි. බයිලාවටත්, වේග රිද්ම ගීතයටත් අමුතු ජවයක්, අමුතු හැඩයක් එක් කළ එම්.එස්. 1994 අප්‍රේල් 9 වැනිදා මෙලොවින් සමුගත්තේය. ඒ වයස අවුරුදු 63දීය. ඔහු අපෙන් සමුගෙන වසර 26ක් ගත වුව ද අදටත් ඔහු ගැන කතා කරන්නට යමක් ඔහු අපට ඉතිරි කර ඇත්තේය.
රොඩ්නි විදානපතිරණ
රොජර් සෙනෛවිරත්න කී විට නයනා කුමාරි මඳක් පසුබා සිටියේ ඒ වන විට ඇය කාර්යබහුලව සිටි නිසාය. ටෙලි නාට්‍ය දෙකතුනකම රඟ පාමින් සිටියා පමණක් නොව ඇගේ විවාහයට ද
ළමා රංගන ශිල්පිනියක් ලෙස වේදිකාවට ගොඩ වදිමින් රංගනයේ දොරගුළු විවර කරගත් ඇය දැන් පුංචි තිරයේ බබළන අලුත් තරුවකි. වෙනස් වෙනස් චරිත තුළින් විවිධ කාලයන්හ
මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘විසේකාරි’ කියන්නෙ. ඒ තුළ වැඩිම කතාබහට ලක්වන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න
විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදන ශිල්පියකු ලෙස පටන් ගෙන ඉනික්බිතිව, පියවරෙන් පියවර අත්දැකීම් සමග ඉදිරියට යමින් තනතුරු දරමින් හර-බර සන්නිවේදකයකු ල
ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් රටක් වසඟයට පත් කළ පුංචි ගායන තරුවක් මෙවර සඳැල්ල කතාබහකට එක් කරගත්තා.
කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
එම්.එස්.ගේ කඩවුණු පොරොන්දු