IMG-LOGO

2024 ඔක්තෝබර් මස 27 වන ඉරිදා


දමිත් ෆොන්සේකාගෙන් සිනමාවට ‘බෆලෝ ට්‍රැවල් ’



"ශ්‍රී ලංකා බියුටිෆුල් ගුඩ් කන්ට්‍රි ගමේ ගොඩේ ඉන්න තමයි අපි කැමති..."

හාස්‍යය රැගත් රංගනයෙන් අප පිනවන ප්‍රවීණ රංග ශිල්පි බන්ධු සමරසිංහ මේ විදිහට ගීතයක් ගයමින්, රංගනයෙන් දායක වන්නේ දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය කළ ‘බෆලෝ ට්‍රැවල්’ චිත්‍රපටයේ චරිතයක් වෙනුවෙනි. හාස්‍ය රංගනයට එහා ගිය රංගනයක් දැකගත හැකි මෙන්ම මෙම චිත්‍රපටය වෙනුවෙන් ගායනයට ද බන්දු එක්ව සිටීම විශේෂත්වයකි. එහෙත්, අද මේ කතාබහ ඔහු සමග නෙවෙයි. මෙහි අධ්‍යක්ෂ සහ නිෂ්පාදක දමිත් ෆොන්සේකා සමගයි. ‘බෆලෝ ට්‍රැවල්’ තැනූ විදිහ වගේම තවත් විස්තර අපි ඔහු සමග කතා කරමු.

  • දමිත් මුලින්ම අපට කියන්නකෝ කොහොම ද මේ දිනවල ජීවිතයේ හැටි?

“අනෙක් සෑම ශ්‍රී ලාංකිකයකු වගේම මාත් වරින් වර මේ රටේ ඇති වූ කරදර කැලඹිලි ආදි ඒ සියල්ලට මුහුණ දෙමින් ජීවිතය ගත කරන තවත් ලාංකිකයෙක්. ඉතින් එහිදී සතුටින් ජීවත් වීමට උත්සාහ දැරීම එකිනෙකාගෙ ජීවිතවලට සාපේක්ෂ දෙයක්. අපිත් අපේ ජීවිතවල සතුට රඳවා ගන්න, උපරිමය ජීවිතය වෙනුවෙන් කරන්න උත්සාහ ගන්නවා.”

  • දමිත් ජීවිතයෙ ඔට්ටු වෙන්නෙ, ව්‍යපාරික කටයුතු එක්ක ද? නැත්නම් මොනවා ද කරන්නෙ?

“2020 අග දක්වා විතර ව්‍යාපාර කටයුතු කරගෙන ආවත් ඉන් පසුව මම කල්පනා කළේ මේ රටේ ව්‍යාපාර කිරීම තාවකාලිකව නතර කළ යුතුයි කියලා. ඒ අනුව ඒ වේලාවෙ මම ගත්ත තීරණය නිවැරැදියි කියලා හිතුණෙ පසුව රටේ ඇති වූ ස්වභාවයන් දිහා බලද්දියි. හැබැයි එහෙමයි කියලා නිකම් හිටියෙ නැහැ. එක්තරා කාලයක ව්‍යාපාරික කටයුතු නිසා කලා කටයුතුවලට තාවකාලිකව සමු දී තිබුණේ. පසුව ව්‍යාපාරික කටයුතුවලට තාවකාලිකව සමු දීලා කලා කටයුතුවලට වැඩිපුර දායක වෙන්න පටන්ගත්තා. එහිදී මුලින්ම කළේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න මුල් වීමයි. ඒත් එහි ප්‍රධාන චරිතයක් රඟපෑ බන්දු සමරසිංහ මහතාගේ ඉල්ලීම පරිදි එහි අධ්‍යක්ෂණ කටයුතුවලටත් දායක වෙන්න තීරණය කළා. ඒ විදිහට තමයි ‘බෆලෝ ට්‍රැවල්’ නිර්මාණය කළේ. කොහොම වුණත් මේ කතාව ලියාගෙන යද්දි රාජ් රණසිංහත් මමත් සාකච්ඡා කරමින් සිටියදී තමයි අපි අධ්‍යක්ෂණයට වෙන කෙනෙක් තෝරා ගෙන සිටියදී මටම අධ්‍යක්ෂණය කරන්න කියන යෝජනාව ආවේ. සාමාන්‍යයෙන් චිත්‍රපටයක ප්‍රධාන චරිතයට නළුවාව තෝරන්නෙ අධ්‍යක්ෂවරයා. ඒත් මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයාව තෝරා ගත්තේ ප්‍රධාන නළුවා විසින්. ඒ විදිහට තමයි මම ‘බෆලෝ ට්‍රැවල්’ ෆිල්ම් එකේ අධ්‍යක්ෂවරයා වුණේ.”

  • ‘බෆලෝ ට්‍රැවල්’ ෆිල්ම් එක ගැන අපි කතා කරමු. කොහොමද මේ නම දාන්න හේතු වුණේ?

“මේ ගැන සාකච්ඡා කරලා අපි නම දාගත්තෙ. ඒ වෙනුවෙන් මගේ ආදරණීය බිරිඳගේ ලොකු කැපවීමක් තිබුණා. එයා අපේ සිංහල සිනමාවේ ස්වභාවය මීට වඩා වෙනස් විය යුතුය කියලා හිතන කෙනෙක්. විශේෂයෙන්ම ඉදිරිපත් කිරීම යන කාරණයේදී ඒ ස්වභාවය තිබිය යුතුය යන විශ්වාසය. ඉතින් ඒ විශ්වාසය අපි මේ චිත්‍රපටය පුරාවට ඉදිරිපත් කරලා තියෙනවා. මේ නමත් ඒ විදිහට හිතලා කළ දෙයක්. මේ නම දාන්න මට වඩා මගේ නෝනාගෙ දායකත්වයක් ලැබුණා.”

  • ‘බෆලෝ ට්‍රැවල්’ කොයි කාලයේදී ද රූගත කිරීම් කළේ?

“2018 අවසානයේදී වගේ රූගත කිරීම් කළේ. ඒ අතරේ චිත්‍රපට සංස්ථාවේ කමිටු කිහිපයක මම වැඩ කරමින් සිටියේ. අපේ සිනමාව සහ කර්මාන්තය වෙනස් විය යුතු සහ මුහුණ පාලා සිටින කාරණා හමුවේ වෙනස් කළ යුතු දේ වෙනුවෙන් වැඩපිළිවෙළක් අරඹන්න. ඒ විදිහට සිටියදී නොදැනුවත්ව වගේ චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ ධුරයකට මාව පත් කළා. අවුරුදු තුනක් විතර සක්‍රියව ස්වේච්ඡාවෙන් ඒ වෙනුවෙන් කටයුතු කළා, මගේ ප්‍රතිපත්තියේ හැටියට චිත්‍රපට සංස්ථාවට සම්බන්ධව සිටින නිසා. ඒ වේලාවෙ මගේ ෆිල්ම් එක මුදාහරින්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒක මට පුද්ගලිකව පාඩුවක් වුණත්, මට පැවැරී තිබුණු වගකීම ඉටු කිරීම පරමාර්ථය කරගෙන ඒ වේලාවෙ කටයුතු කළා. පසුව කෝවිඩ් නිසා කල් ගියා. ඒ ඔක්කෝම ඉවර වුණාට පස්සෙ දැන් අපට මෙය තිරගත කරන්න අවස්ථාව ලැබී තිබෙනවා.”

  • ‘බෆලෝ ට්‍රැවල්’ මොන වගේ පළාත්වලදී ද රූගත කිරීම් කළේ?

“සීගිරිය, දඹුල්ල, නකල්ස්, රත්තොට සහ කොළඹ.”

  • මේ ෆිල්ම් එක හාස්‍ය තේමාවක් රැගත් නිර්මාණයක් ද?

“හාස්‍යය තියෙනවා. නමුත් දෙපැත්ත කැපෙන වචන නැහැ. පොඩි ළමුන් ගැන හිතලා ප්‍රවේශමෙන් කළ චිත්‍රපටයක්. විශේෂයෙන්ම දරුවන් එක්ක පවුලකට එක්වී නැරැඹිය හැකි නිර්මාණයක්.

කතා තේමාව ගත්තොත්, මතුපිටින් බැලුවාම ගැළපෙන්නෙ නැති මිනිස්සු එකතු වුණාම, කිට්ටු වුණාම භාෂාව කතා නොකරන, සංස්කෘතිය, දේශපාලනයෙන් වෙනස් වෙච්ච නමුත් ඒ ඇති වන මිතුදම එක්ක පාට භේද කිසිවක් නොමැතිව හිතින් බැඳුණාම ඒ යාළුකම මොනතරම් ශක්තිමත් ද යන්න ප්‍රකාශ වෙනවා. සරලවම කිව්වොත්, මිත්‍රත්වය - යාළුකම ගැන කතා වෙන, මනුස්සකම ගැන කතා වෙන තේමාවක්.”

  • බන්දු සමරසිංහ, සුපුරුදු පරිදි හාස්‍යය රැගත් චරිතයක් ද රඟපාන්නෙ?

“බන්දුව‌, හාස්‍යය කියන රාමුවට කොටු කරලා තිබුණත්, ඊට වඩා වෙනස් චරිත රංගනයක් ඔහුගෙන් ගත හැකියි. අපි ඒ වෙනස කරලා තියෙනවා. ඉතින් ඒක මොන වගේ ද කියලා ප්‍රේක්ෂකාගාරයට නරඹා තීරණය කරන්න පුළුවනි. බන්දු සහ විදෙස් නළුවකු මෙහි ප්‍රධාන චරිත ද්විත්වයට දායක වෙනවා. ඊට අමතරව මහේන්ද්‍ර පෙරේරා, ප්‍රියංකර පෙරේරා, වීණා ජයකොඩි, සිනමාවට හඳුන්වා දුන් ඩිලුක්ෂි වීරපෙරුම, නවීන් සෞම්‍ය ඇතුළු පිරිසක් දායක වෙනවා.”

  • කොහොම ද අධ්‍යක්ෂවරයාගේ භූමිකාව කරද්දි ඔබ මුහුණ දුන් අත්දැකීම්?

“ලංකාවේ සිනමා අධ්‍යක්ෂවරයකු හට මුහුණ දීමට සිදුවන සිදුවීම් බොහොමයි. ඉතින් අඩු වැඩි වශයෙන් මාත් ඒවාට මුහුණ දුන්නා. නමුත් සුන්දර මතකයන් බොහොමයි.” 

  • ඒ ගැන කියමු?

“අපි රොනී ලීච් කලාකරුවා ගත්තොත්, ඔහු මෙහි චරිතයක් රඟපානවා. ඔහුට තිබුණෙ පොලිස් නිලධාරියකුගේ චරිතයක් රඟපාන්න. හැබැයි තවත් සීන් කිහිපයක් තිබියදී ඔහුට රඟපෑමට සිදු වුණේ කොටසක් විතරයි. හේතුව, පොලීසියෙන් ඇවිත් අවශ්‍ය සීමාවක සිට විතරයි රඟපාන්න අවසර දුන්නේ. මීට පෙර චිත්‍රපටයකදී පොලිස් චරිතයක් රඟපෑ ශිල්පියකුගේ චරිතය මගින් පොලිස් දෙපාර්තමේන්තුව හෑල්ලුවට ලක්වී තිබීම ඊට හේතුවයි. ඉතින් ඊට ගරු කරමින්, අවශ්‍ය සීමාවේ සිට පමණක් රොනීට ඒ චරිතය රඟපාන්න සිද්ධ වුණා. කොහොම වුණත් පොලීසියට නිග්‍රහ වන විදිහට අපි කිසිවක් කළේ නැහැ. 

ඒක එක් සිදුවීමක්. ඒ හැර ගත්තොත්, රූගත කිරීම් අවසන අපි හැන්දෑව ගත කරද්දි මහේන්ද්‍ර, වීණා, රොනී, බන්ධු ඇතුළු පිරිස සමග කළ කී කතාබහ බොහොම රසවත් වුණා. සෑම රාත්‍රී භෝජන අවස්ථාවක්ම ගෙවී ගියේ හරබර රසබර කතා එක්ක. රොනී ලීච් ගැන මම නොදැන සිටි දක්ෂතාවන් දැකගන්න පුළුවන් වුණා. ඔහුට, ලංකාවේ ඕනෑම ෆිල්ම් එකක් රඟපෑ අය ගැන දින වකවානු සහිතව අධ්‍යක්ෂවරයාගේ සිට සියලු විස්තර මතකයෙන් කියන්න පුළුවන්. 

එයා එහෙම මතක් කරද්දි අපේ කැමරා ශිල්පියා ලෙස ඉන්දියාවෙන් පැමිණ සිටි ශිල්පියා, ඉන්දීය චිත්‍රපට ගැන ඒ විදිහටම මතකයෙන් කියන්න කියලා, රොනීට ඒ ගැනත් දින වකවානු සියල්ල කියන්න කියලා ඇහුවාම, රොනී පැකිළීමකින් තොරව හරියටම ඒ දින‌, නළු නිළියන්‌, අධ්‍යක්ෂවරු ගැන කිව්වා. ඒක ඇත්තටම පුදුම මතකයක්.

තවත් හැන්දෑවක අපි සිංහල චිත්‍රපට ගීත ගයන්න පටන් ගත්තා. මේ වැඩේට බන්දු සහ රොනී එක් පැත්තකත්, අනෙක් පැත්තෙන් ඉන්දියානු කැමරා අධ්‍යක්ෂවරයාත් එක්වුණා. රොනී බන්දු සිංහල චිත්‍රපට ගීතය ගයද්දී, එයා එහි හින්දු ගීතය ගායනා කළා. ඊට පස්සේ ඔයාට මේ ගීතය නම් ගයන්න බැහැ කියලා රොනී ඉන්දීය කැමරා අධ්‍යක්ෂවරයාට අභියෝග කළාම. වැඩේ කියන්නෙ එයා ඒ සිංහල ගීතයේ හින්දි තනුව ඇති ගීතයන් ගයලා පෙන්නුවා. 

අපේ සිංහල සිනමාවේ ඉස්සර මොන තරම් නම් හින්දි තනු ගීතවලට යොදාගෙන තිබුණා ද කියන දේ එදා අපට හොඳට වැටහුණා. එයා ඇත්තටම සුන්දර මතකයක්. සාමාන්‍යයෙන් චිත්‍රපටයක් රූගත කිරීම් කෙරෙන අතරතුර සිනමාව ගැන ඒ විදිහට කතා වෙන්නෙ හරි අඩුවෙන්. බන්දු තබ්ලා වැයුවා. එයාගෙ පුතා ඇවිත් හිටපු දිනවල ගිටාරය වාදනය කළා. අනෙක් අයත් පුළු පුළුවන් විදිහට ගයමින් වයමින් ඒ හැන්දෑව රසබර හැන්දෑවක් බවට පත් කරගත්තා. බන්දු සමරසිංහ මහතාට ගායනය වාදනය දෙකම හොඳට පුළුවනි.”

  • මේ විදිහට නිර්මාණය වූ ‘බෆලෝ ට්‍රැවල්’ කවදා ද හරියටම තිරගත වෙන්නෙ? 

“මෙම 25 වැනිදා සිට ලංකාවේ හැමෝටම මේ ‘බෆලෝ ට්‍රැවල්’ නරඹන්න පුළුවනි.


  සඳුන් ගමගේ


 



අදහස් (0)

දමිත් ෆොන්සේකාගෙන් සිනමාවට ‘බෆලෝ ට්‍රැවල් ’

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

හිත හොඳ චණ්ඩියා ජීවන් කුමාරණතුංග
2024 ඔක්තෝබර් මස 25 18 0

සිය බාප්පා විජය කුමාරණතුංග මෙන්ම සිනමාවේ වීරයෙක් වෙන්නට ජීවන් කුමාරණතුංගට වුවමනා වී තිබිණි. ඒ සඳහා සුදුසුකම් ඇති කර ගැනීම පිණිස ඔහු බොහෝ වෙහෙස මහන්සි


දමිත් ෆොන්සේකාගෙන් සිනමාවට ‘බෆලෝ ට්‍රැවල් ’
2024 ඔක්තෝබර් මස 25 14 0

හාස්‍යය රැගත් රංගනයෙන් අප පිනවන ප්‍රවීණ රංග ශිල්පි බන්ධු සමරසිංහ මේ විදිහට ගීතයක් ගයමින්, රංගනයෙන් දායක වන්නේ දමිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය


ප්‍රේක්ෂකයා තමයි අපිට වැදගත්ම පිරිස - රංගන ශිල්පී කුසල් මධුරංග
2024 ඔක්තෝබර් මස 24 17 0

විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයාගේ ආදරයටත්, මිත්‍රත්වයටත් පාත්‍ර වන අයුරින් අව්‍යාජ ලෙසින් චරිත පණ පොවන ඔහු - තාරුණ්‍යයේ සිත් දිනාගත් කලාකරුවෙකි.


දස්කම් රැසක් ඇති දුලීකා මාරපන
2024 ඔක්තෝබර් මස 24 16 0

දුලීකා මාරපන කියූ විගසම අපට මතක් වන්නේ වේදිකාවේ සිට රූපවාහිනිය, සිනමාව දක්වා පියවරෙන් පියවර පැමිණ පුංචි තිරය ජනකාන්ත රංග පෞරුෂයෙන් හැඩ කළ නිළියකි.


හීනයක් කරා යනවනම් ඒක අතාරින්න හොඳ නැහැ - අශේන් සිරිවර්ධන
2024 ඔක්තෝබර් මස 24 11 0

මෙවර සඳැල්ල Youth Peak විශේෂාංගයෙන් ඉඩක් වෙන් කළේ යෞවනයේ සිත් බැඳගත් රංගන ශිල්පියෙක් වෙනුවෙන්. ඔහු නමින්, අශේන් සිරිවර්ධන


නිරූපණය ඔස්සේ තමයි රංගනයට ආවෙ - දෙව්මිණි තත්සරණි
2024 ඔක්තෝබර් මස 24 18 0

මේ ඈ වෙනුවෙන්, මෙවර සැඳැල්ලෙන් වෙන් කළ ඉඩකඩයි.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 926 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 582 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site