IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


දීකිරි කෑ පරපුරේ විරෝධතා මැද විමලවීර තැනූ සරදියෙල්

උතුවන්කන්ද කී පමණකින් අප සිහියට එන්නේ සරදියෙල්ය. ඉංග්‍රීසි පාලන සමයේ සරදියෙල් ඔවුන් හැඳින් වූයේ ‘ලංකාවේ රොබින් හුඩ්’ කියාය. එංගලන්තයේ ෂර්වුඩ් ෆොරස්ට් (Sherwood Forest) නම් මහා වනයේ ජීවත්වූ ‘රොබින් හුඩ්’ මෙන් උතුවන්කන්දේ සරදියෙල් ද සූර සොරදෙටුවකු ද ප්‍රචණ්ඩ ක්‍රියා කළ ජනහිතකාමියකු ද දුප්පතාගේ හිතවතකු ද විය. උතුවන්කන්ද ගැන සිංහල විශ්වකෝෂයේ සඳහන් වෙන්නේ උතුවන්කන්ද නාමය මාවනැල්ල අසල පිහිටි කඳුකුළකට ද එය වටා පිහිටි ග්‍රාමයට ද ව්‍යවහාර වන බවය. 
  

උතුවන්කන්ද කඳුකුළ කොළඹ මහනුවර පාරේ ඈතට දිස් වනුයේ පැරණි පර්වත බලකොටුවක ආකාරයෙනි. කොළඹ මහනුවර පාරේ 55 වැනි සැතපුම් කණුවට සැතපුමක් පමණ උතුරු දිගින් නොහොත් මාවනැල්ල නගරයට සැතපුම් දෙකක් පමණ වයඹ දිගින් පිහිටි උතුවන්කන්ද මුහුදු මට්ටමේ සිට අඩි 1410ක් පමණ උස් වූවකි. විශාල කළු ගල් කුට්ටිවලින් සැදුණු මෙහි ඉහළ කොටස ප්‍රපාතාකාරය. මුදුන වර්ග අඩි 50 කට නොවැඩි තරම්ය.   


දීකිරි කෑවගේ සරදියෙල් 1832 වසරේ උපන් බවත් ඔහුගේ පියා දීකිරි කෑවගේ අද‌ාසි අප්පු හලාවත හාල්දඬුවන උපන් අයෙකු බවත්, මව වූ පිචෝ හාමිගේ උතුවන්කන්දේ මොල්ලිගොඩ බවත් පැවසේ. කරත්ත රැකියාව හා දුම්කොළ හා කුළු බඩු වෙළඳාම කළ අද‌ාසි අප්පුට පිචෝහාමිව හමුවී ඇත්තේ මාවනැල්ලේ රථ ගාලේදීය. ඔවුන්ට ලැබුණු වැඩිමහල් දරුවා සරදියෙල් වන අතර ඉන් පසු පේදුරු, ගේබ්‍රියෙල්, මාර්තා හා ඇන්ටනී නමින් දරුවන් සතර දෙනෙක් ද වූහ. සරදියෙල්ගේ පියා ක්‍රිස්තියානි ආගමික වූ අතර මව බෞද්ධ කාන්තාවක් වූවාය. ඉහත කී තොරතුරු එන්නේ ජී.ටී. වික්‍රමසිංහ විසින් ලියූ ‘සරදියෙල් වතගොත’ (2000) ග්‍රන්ථයේය. සරදියෙල්ගේ මව මහනුවර රජ කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අන්තඃපුරයේ සිට නිදහස ලැබූ කාන්තාවන්​ෙග් පරපුරෙන් පැවත එන බව නුවරඑළියේ හේමපාල ලියූ පුවත්පත් ලිපියකින් පැවසේ.   


සරදි​ෙයල් බෙලිගම්මන පන්සලෙන් ද මාවනැල්ලේ ඉලුක්ගොඩ පන්සලෙන් ද ඉගෙනීම ලබා ඇත. සරදියෙල්ගේ පාසල් මිත්‍රයන්ව සිටියේ සිරිමලා, මහම්මදු මරික්කාර් (මම්මලේ මරික්කාර්), සාවන්, උක්කිඳු, හෙන්ද‌ා, නසර්දීන් ආදී සිංහල හා මුස්ලිම් මිතුරු පිරිසය. ඕනෑම හබයක දී සරදියෙල් ප්‍රමුඛ මේ මිතුරු කල්ලිය ජයගෙන ඇත. මොර කැඩීමට ගොස් ඇති වූ හබයක් නිසා ධනවත් මුදලාලි කෙනෙකුගේ පුතෙකු වූ රංබණ්ඩාට තුවාල කිරීම සරදියෙල්ගේ මුල්ම දඩබ්බර වැඩය විය. ​බොරු චෝදනා ඉදිරිපත් කිරීම නිසා සරදියෙල් දවස් දෙකක් පොලිස් කූඩුවේ සිටි අතර ඔහු මුදා ගන්නා ලද්දේ ප්‍රාණ සම මුස්ලිම් මිත්‍රයා වූ මම්මලේ මරික්කාර් විසිනි. මරික්කාර් සරදියෙල් සමග අවසානය දක්වා සිට ඔහු සමග පෝරකයට ගිය එකම හිත මිතුරා විය.   


1999 වසරේ ජී.ටී. වික්‍රමසිංහ සරදියෙල්ගේ වතගොත සෙවීමට සිසිර කුමාර වන්නිආරච්චි සමඟ සරදියෙල් ළමා කාලය ගත කළ ඉගෙන ගත් මාවනැල්ලේ ඉලුක්ගොඩ විහාරයට ද ගම්මානයට ගොස් ගැමියන් හමුවී තොරතුරු සොයාගෙන ඇත. මේ සඳහා රාජ්‍ය ලේඛනාගාරයේ පැරණි ලියවිලි ද සරදියෙල් නඩුව ඇසූ කොමිසන් විනිසුරුගේ හා වෙනත් නඩු කොපි, සමකාලීන පත්‍ර වාර්තා ඇසුරුකොට ඇත. ඒ අතරම ඔහු ඩබ්ලිව්. මර්තේලිස් අප්පුහාමි 1902 ලියූ ‘උතුවන්කන්දේ සරදියෙල් අප්පු’, නන්දදේව විජේසේකර හා කේ.ඩී. ද ලැනරෝල් ලියූ ‘සරදියෙල්’ ද, Rev. Fr. P.A.J.B. Antonius ලියූ ‘Sardiel Story’ නම් සන්ඩේ ටයිම්ස් පත්‍රයට ලියූ ලිපියක් ද දයා(නන්ද) විමලවීර ලියූ ‘සරදියෙල්’ චිත්‍රපට කතාව හා සින්දු පොත ද සරදියෙල් චිත්‍රපටය ද නුවරඑළියේ හේමපාල හා නීල් මොරායස් ලියූ ලිපි ද මූලාශ්‍රකොට ගනී.   


සරදියෙල් සූදුකාරයෙක් ලෙස ප්‍රකටව සිටි අතර රැකියාවක් නොකොට මිතුරන් සමඟ සොරකම්කොට මුදල් රැස්කොට මුළු කෑගලු පළාතම දෙවනත් කරමින් සිටියහ. ඔවුන් ඇල්ලීමට ගිය පොලිස් නිලධාරීන් ජීවිතක්ෂයට පත් විය. 1864 ජනවාරි 16 දා ඔහු අල්ලා දෙන අයකුට පවුම් 100ක් දෙන බව ආණ්ඩුවෙන් නිවේදනයක් ද නිකුත් කර ඇත.   


“සරදියෙල් දුප්පතාගේ හිතවතෙක් පොහොසතාගේ දේ කොල්ල කාගෙන දුප්පතුන් අතර බෙදා දෙනවා” මෙසේ ඔහු වීරත්වයේ ප්‍රතිමූර්තියක් කොට ගෙතුණු කතා වරින් වර පැතිර යද්දී ඇතැමෙක් ඔහු ‘ලංකාවේ රොබින් හුඩ්’ යනුවෙන් හැඳින් වූ බව නුවරඑළියේ හේමපාල සඳහන් කර ඇත.


1864 මැයි 07 වැනිදා සරදියෙල් මහනුවර දී එල්ලා මැරූ හැටි ගැන 1864 මැයි 11 වැනිදා ද එක්සැමිනර් පත්‍රයේ පළ වූ පුවතක් රියෙන්සි කෲස් විසින් ලියු ‘Lord Of The Mountain: The Sardiel’ කෘතියේ එයි. සරදියෙල් නමින් මේ කෘතිය 2002 වසරේ සිංහලෙන් පරිවර්තනය කර ඇත. (පරිවර්තනය ආචාර්ය ලක්ෂ්මි ද සිල්වා, සීතා කුලතුංග හා තිස්ස ජයතිලකගෙනි)   


මරණීය දණ්ඩනය   


සුදු හිස් වැසුම් ඔවුන්ගේ මුහුණු වැසී යන සේ පහත් කෙරිණි. එලෙස සදාකාලික නිද්‍රාවට පිවිසෙන මාර්ගයට පමුණු වන ලද දෙදෙනාත්, සරදියෙල් වෙනුවෙන් තවමත් යාඥා කරන කතෝලික පූජකයාත් එසේ සිටියදී මරක්කල පූජකයා පහතට බැස්සේය.   


සියල්ල සූදානම් බව දැනුම් දෙන ලදුව මෙතෙක් මෙම දර්ශනයට පිටුපා සිටි ටෙම්පලර් මහතා මොහොතකට පිටුපස හැරී බැලුවේ ඒ බව සැක හැර දැන ගැනීමටය. ඔහු සංඥාවක් දුන් වහාම දෙදෙනාම බිම පතිත වූහ. තදින් යකඩ වැට අල්ලා ගෙන සිටි රෝමානු කතෝලික පූජකයා උඩ තට්ටුවේ තනි විය.   


දුප්පත් කාලකණ්ණි දෙදෙනා දැඟලුවේවත් නැත. දෑත් පමණක් එකවරම ඉහළ ගොස් පහත වැටුණේය.   


මස් පිඬුවල නිරායාසයෙන් ඇති වූ ගැස්සීමකින් විය යුතුය. මිනිත්තු කිහිපයකින් සියල්ල නිශ්චල විය. සරදියෙල් අවසන් හුස්ම හෙලුවේ සිංහල භාෂාවෙන් (දෙව් පියාණනි) යාඥාව ආරම්භ කරද්දීය. ඩෙෆෝ පියතුමා කීවේ සරදියෙල්ගේ ආත්මය මේ උතුම් යාදින්න ස්වර්ගයේදී අවසන් කරන්නට ඇති බවය. 

 
නවය පසු වී අඩ පැයක් ගත වනවිට මළ සිරුරු දෙක රැහැනින් කපා වෙන් කර මිනී පෙට්ටිවල දමන ලදී. අනතුරුව සිරකරුවන් විසින් ඇදගෙන යන කරත්තයක තැන්පත් කරන ලදුව ඒවා කටුගස්තොට පාර අසල තිබූ සොහොන් බිමක ගෙන ගොස් එහි ඇතුළත නොව පිටත වළලනු ලැබීය. දහයේ කණිසම වෙන විට එල්ලුම් ගස ද ඉවත් කර දමන ලදුව මිනීමරුවන් දෙදෙනාගේ සලකුණක්වත් තවදුරටත් දක්නට නොලැබිණි.   
සරදියෙල්ගේ අවසන් මොහොත ගැන රියෙන්සි කෲස් කාව්‍ය රචනයක් මෙසේ තම කෘතියේ ලියා තිබිණි.   


ඇසුණා පෝරකේ කඹ   
ලිස්සා නැගූ කස පහර නද   
නුඹේ මළ කඳ වැටෙන වර   
ආ බර බොල් හඬ   
නුඹ මරණයට ගොඳුරු නෑ සරදියෙල්   
මේ රළු උතුවම්කන්ද මුදුනේ   
දිළෙනා මැටි පහන්   
තවද ඔබේ අනගි ගීය ගයයි   
අදිටහනේ අර්ථයේ  
කම්පල සිහි කරයි   


සරදියෙල් කතා පුවත මුලින්ම සිනමාවට නැගීමට උත්සාහ කර ඇත්තේ ඉන්දියාවේ ව්‍යාපාරික කටයුතුවල නියැලි ශ්‍රී ලාංකිකයෙකු විසිනි. ඔහු සිනමාව ගැන උනන්දු වූ ඩී.පී. සේනාරත්නය. ශ්‍රීපානි චිත්‍රපට සමාගම මගින් බොම්බායේ ප්‍රකට චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වූ හේමන් ගුප්තා අධ්‍යක්ෂණය කිරීමට සැලසුම් කර තිබූ බවත් එහි රඟ පෑමට ගීතා බාලිවත් සංගීත අධ්‍යක්ෂණයට හේමන්ත් කුමාර් ද ගායනයට ලතා ම​ංගෙෂ්කාර් ද යොදා ගැනීමට අදහස් කළ බව 1953 ජනවාරි 03 වෙනි සිකුරාදා ‘සිනමා’ නම් චිත්‍රපට පත්‍රයේ පළ වී තිබුණි.   


එහෙත් ඒ චිත්‍රපටය නිපදවූයේ නැත.   


සිරිසේන විමලවීර විසින් 1953 අග භාගයේ සරදියෙල්ගේ ජීවිත කතාව ඇසුරෙන් චිත්‍රපටයක් නිපදවීමට සැලසුම් කළේය.   


ඒ සඳහා නළු නිළියන් 400ක් යොදා ගන්නා බව (1953 අගෝස්තු දෙසතිය) ධර්ම ශ්‍රී කල්දේරාගේ සංස්කරණය කළ චිත්‍රපටි පුවත්පතේ මුල් පිටුවෙන් වාර්තා කර තිබුණි. ඉරිදා ලංකාදීප කර්තෘ ඩී.බී. ධනපාල මහතා සරදියෙල් චිත්‍රපටයට වැඩි තැනක් දී තිබුණි. චිත්‍රපටය රූගත කරන ඡායාරූප නිළියන්ට වෙස් ගැන්වෙන හැටි චිත්‍රපටයේ ශබ්ද පරිපාලනය කරන හැටි චිත්‍රපටය සංස්කරණය කරන හැටි දැක්වෙන ඡායාරූප පිටුවක්ම පළ කරමින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට උපරිම සහාය ලබා දී ඇත.   


සරදියෙල් චිත්‍රපටයේ කතාව, තිර නාටකය හා දෙබස් ලියා අධ්‍යක්ෂණය කළේ සිරිසේන විමලවීරයන් විසිනි. ඔහු සරදියෙල් කතාවට අලුත් චරිත ද සිද්ධි ද ඇතුළත් කර තිබූ බව ආරංචියෙන් දැන ගත් සරදියෙල්ගේ මුණුබුරන් කණ්ඩායමක් තම විරෝධය පළ කළ පුවතක් 1953 සැප්තැම්බර් 20 වෙනි ඉරිදා ලංකාදීපයේ පළ වී තිබුණි. එහි ශීර්ෂපාඨය මෙසේය.   


“පමුණුගම දීකිරි කෑ පරපුරේ නොසන්සුන්කමකි.”   


“සාදන චිත්‍රපටි ගැන සරදියෙල් පෙළපත කැළඹේ.”   


“විරෝධය දක්වා ලියුම් යවති.”   

 

වාර්තාව ලියා තිබුණේ ඉරිදා ලංකාදීප පමුණුගම වාර්තාකරු විසිනි. එය අරඹා තිබුණේ මෙසේය.   


උතුවන්කන්දේ සරදියෙල් අප්පුගේ ජීවිත කතාව සිරිසේන විමලවීර මහතා විසින් චිත්‍රපටයට නැඟීමේ ප්‍රවෘත්තිය දැන ගත් සරදියෙල්ගේ මුණුබුරන් කණ්ඩායමක් බලවත් සේ කුලප්පුව සිටිති.   


මේ පිරිස කුලප්පු වී සිටියේ සරදියෙල්ගේ ජීවිත කතාව ඔවුන්ගෙන් හැර අන් කිසිදු තැනකින් ලබා ගත නොහැකි යැයි සලකා මේ නිෂ්පාදනය කරනු ලබන චිත්‍රපටයේ අසත්‍ය කරුණු ඇතුළත් වී ඔවුන්ගේ පරම්පරාවට අපකීර්තියක් අත්විය හැකි යැයි අදහස් කිරීමෙනි.   


ජාඇල පමුණුගම මහවත්තේ පදිංචිව සිටින මේ මුණුබුරු කණ්ඩායමෙන් කිහිප දෙනෙකු විසින් සරදියෙල් චිත්‍රපටිය නිෂ්පාදක සිරිසේන විමලවීර මහතාට ලිපියක් ලියමින්, ඔබ නිපදවන සරදියෙල් චිත්‍රපටිය මගින් සරදියෙල්ටත් ඔහුගේ ලේ උරුමක්කරුවන් වන අපටත් නිගාවක් හෝ කැළලක් හෝ වූයේ නම් ඒ පිළිබඳ විරෝධය පළ කිරීමට නීතියෙන් අවස්ථාව හා අයිතිවාසිකම් ඇති බව විශේෂයෙන් මතක් කර සිටිමුයි දන්වා තිබුණි.   
සරදියෙල් නිෂ්පාදක සිරිසේන විමලවීර මහතා මේ පිළිබඳව ඉරිදා ලංකාදීපයට ප්‍රකාශයක් කරමින් සරදියෙල් චිත්‍රපටය චිත්‍රයට නැඟීමට සඳහා කතා ප්‍රවෘත්තිය පදනම් කර ගත්තේ 1951 නොවැම්බර් 11 වෙනිදා ඉරිදා ලංකාදීප පත්‍රයේ පළ වූ සරදියෙල්ගේ නඩු විභාගය යන ලිපිය හා පොලිස් වාර්තාව බව කියා තිබුණි.   


පමුණුගම මහවත්තේ (1953) පදිංචිව සිටි සරදියෙල් පරම්පරාවෙන් පැවත එන්නේ සරදියෙල්ගේ සහෝදරයකු වන පේදුරුගෙනි. ඔහු තම ග්‍රාමය වූ හාල්දඬුවනින් පැමිණ පමුණුගම මහවත්තේ පදිංචි වී තිබේ. එදා මහවත්තේ මේ පරම්පරාවෙන් පැවතෙන්නෝ හැට දෙනෙක් ජීවත්ව සිටියෝය. ඔවුන්ගේ ප්‍රධාන රැකියාව සුරුවම් කැපීමය. සරදියෙල්ගේ සහෝදරයා වූ පේදුරුගේ වාසස්ථානය පිහිටි ස්ථානයේ සරදියෙල් සැඟවී සිටි හෙයින් ඒ නිවාසය කැඩී ගොස් ඇති නමුත් ඒ පරම්පරාවේ වැදගත් ස්ථානයක් ලෙස ආරක්ෂා කර ගෙන තිබුණි.   


සරදියෙල් පිළිබඳ ඔවුහු ගෞරවයෙන් කතා කර තිබේ. ඔහුගේ චරිතය මංකොල්ලකාරයකු සේ හැඳින්වීම පැතිර පවත්නා අසත්‍ය කරුණු නිසා සිදු වන්නක් හෙයින් කිසිසේත් එසේ නොසිදු විය යුත්තේ යැයි පරම්පරාව වෙනුවෙන් කතා කළ දීකිරි කෑවගේ පේදුරු කළ ප්‍රකාශයක් ද ඉරිදා ලංකාදීපය පත්‍රයේ පළ වී තිබුණි. මේ නොසන්සුන් තත්ත්වය යටතේ සිරිසේන විමලවීර මහතා විසින් සරදියෙල් චිත්‍රපටියේ කටයුතු අඩක් පමණ නිම කර තිබුණි.   


සරදියෙල් චිත්‍රපටයේ කතාව සිරිසේන විමලවීරයන් ලියා තිබුණේ මේ ආකාරයටය.   


වරින් වර ගමෙන් පැන යන සරදියෙල් වරක් පිටිසර ගමක ගඟින් මිනිසුන් එතෙර කරන තොටි​ෙයකි. දිනක් රටේ මහත්තයා අඟුලෙන් එගොඩ වීමට ආවේය. කවදත් දුප්පතුන් තලා පෙළන ධනවතුන් මාන්නක්කාරයන්, නුරුස්සන සරදියෙල් ඔහු අල්ලා ගඟට දැමීය. එගොඩට පැමිණි සරදියෙල් ගසකට නැගී ගමේ පැවති උත්සවයක් බලමින් සිටින අතර මරලතෝනියක් ඇසෙයි. කිඹුලා කෑවෝ යි හඬ ඇසී කිරිච්චියත් ගෙන දියට පැන පීනන විට රූමත් තරුණියක් කිඹුලකු විසින් ඇදගෙන යනු පෙනෙයි. කිඹුලා සමඟ සටන් කොට ඌ මරා ඇය බේරාගත් පසු ඇගේ පියා ඔහුට ප්‍රසංශා කරයි. මේ තරුණියගේ නම සිරිමලීය. ඇය හා සරදියෙල් අතර ප්‍රේමයක් හට ගනී.   


මේ අතර රටේ මහතා ගඟට තල්ලු කිරීම නිසා පොලීසිය සරදියෙල් ඇල්ලීමට සිරිමලීගේ ගෙදරට එති.   


පොලිසිය පළවා හරින සරදියෙල් ආරක්ෂාව පතා උතුවන්කන්දට යන්ට ලැහැස්ති වෙන විට සිරිමලී ඔහුට වෙඩි නොවදින හෙණරාජ තෙල දෙන්නීය. තංගා රූමතියකි. ධනවත් තරුණයන් දැලේ දමා සූදු පොළකට ගෙන ගොස් මැරවර මුදලාලි කෙනෙකුට බාර දෙන්නී තංගා ය. තංගාගේ මායමට හසු වූ සරදියෙල්ට ඇය ඇත්තටම ආදරය කළාය. සූදුවෙන් දිනන රහස් ඇය ඔහුට කියා දෙයි. සල්ලි වැඩි වැඩියෙන් දිනූ සරදියෙල් හා මැරවර මුදලාලි අතර ඇති වූ මාරක සටනින් මුදලාලි මිය යයි. තංගා ගැන බලාපොරොත්තුවෙන් සිටින සිරිමලා නම් තරුණයා සරදියෙල් අතර ද මාරක සටනක් ඇති වෙයි. ඔහු පරාජය කළ සරදියෙල් උතුවන්කන්දට යයි.   
සරදියෙල්ගේ අතුරුදන් වීමෙන් ප්‍රේම වියෝගය ඉවසාගත නොහැකි නිසා සිරිමලී තම පියා ද සමග උතුවන්කන්දට ගිය විට දක්නට ලැබුණේ ඔහු හා තංගා ප්‍රේමයෙන් පසු වන බවය. කලකිරීමෙන් සිටි සිරිමලී, පියා සැඟවී සිටි අතර සිරිමලී සරදියෙල් හා තංගා වෙත යයි. සිරිමලී හඬා වැළපෙන අතර ඇගේ පියා සරදියෙල් වෙත යැවූ හී පාර වදින්නේ සිරිමලීටය. ඇය සරදියෙල්ගේ උකුල මත අවසන් හුස්ම හෙළුවාය.   


හතර කෝරළයෙන්ම හාර දහසක් පමණ වැසියන් එකතු කරගෙන පොලිසිය සරදියෙල් ඇල්ලීමට එන බව ඔහුටත් ප්‍රාණ සම මිතුරු මම්මලේ මරික්කාර්ටත් අසන්නට ලැබේ. මේ දෙදෙනා ​සොල්දර ගෙදරක සිටින බව තංගාට පෙම් කළ සිරිමලා පොලිසියට ඔත්තුවක් දෙයි. පොලිසිය හා වෙඩි හුවමාරු කර ගන්නා අතර වෙඩි පහරකින් සරදියෙල් අත බැඳ තිබූ හෙණරාජ තෛලය සහිත සුරය කැඩී වැටෙයි. ඒ බව සරදියෙල් දැන නොසිටියේය. සරදියෙල්ට වෙඩි තැබීමට ඉදිරියට ආ පොලිස් නිලධාරී සභාන්, මම්මලේ තැබූ වෙඩි පහරින් මිය යයි. පොලිසියෙන් තැබූ තව වෙඩි පහරකින් සරදියෙල්ගේ අතක් තුවාල වෙයි. තුවක්කු බිම තැබීමට දුන් නියෝගය පිළිපැදීමෙන් පසු උතුවන්කන්දේ දරුණු සහාසිකයන් දෙදෙනා නීතියේ රැහැනට හසු වූහ. නඩු විභාග කිහිපයකින් ජූරි සභාවේ තීරණය අනුව ඔවුන් එල්ලා මැරීමට තීන්දු වෙයි.   


“​ෙමච්චර කල් අපි හිතාගෙන හිටියේ තමුසේ හොරෙක්, අපරාධකාරයෙක්, නීචයෙක්, මංකොල්ලකාරයෙක්, මීනිමරුවෙක් කියලායි. නමුත් දැන් අපට තේරුණා තමුසෙ අපේ හිත මිතුරෙක්, ගැලවුම්කාරයෙක්, දුප්තාට පිහිට වන දෙවියෙක්.”   


​ෙම් චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට දුන්නේ සරදියෙල් ගැන දුප්පතුන් කළේ ඔහුගේ ගුණවැනීමක් වැනි පණිවුඩයකි. සරදියෙල් මංකොල්ලකෑවේ ධනවතුන්ගෙන්ය. ඔහු දාමරිකයකු වූයේ ඔවුන්ටයි. ඔහු කෙරේ පිහිටි මහඟු ගුණධර්ම රාශියක් තිබූ අතර ආලය හමුවේ උණුවන හදවතක් ද ඔහුට තිබූ බව නිරූපණය කිරීමට සිරිසේන විමලවීර අධ්‍යක්ෂවරයා උත්සාහ ගෙන ඇත.   


සරදියෙල් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ මතායස් ප්‍රනාන්දුය. ඔහු 1953 සිරිසේන විමලවීර අධ්‍යක්ෂණය කළ ‘පිටිසර කෙල්ල’ චිත්‍රපටයේ ද රඟපෑවේය.   


එම චිත්‍රපටයේ රඟපෑ තෙරේසා වීරසිංහ මේ චිත්‍රපටයේ සිරිමලී ලෙස රඟ පෑ අතර තංගා ලෙස රඟපෑවේ ගර්ලි ගුණවර්ධනය. ඇය ජනප්‍රිය චිත්‍රපට නළු ස්ටැන්ලි පෙරේරාගේ බිරිඳය. ප්‍රවීණ චිත්‍රපට නිළි සබීතා පෙරේරාගේ මවය. මම්මලේ මරික්කාර් ලෙස ඇන්.ආර්. ඩයස් ද සිරිමලා ලෙස එච්.එස්. ජෝතිපාල ද රඟ පෑ අතර මාෂල් පෙරේරා, චන්ද්‍රදාස ද සරදියෙල් පවුලේ මුණුබුරන් කිහිප දෙනෙකුට රඟපා ඇත. හියුගෝ ප්‍රනාන්දු සංගීතය අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය 1954 අගෝස්තු 05 වෙනිදා තිරගත වී ඇත.   


සරදියෙල් චිත්‍රපටයේ ළමා සරදියෙල් ලෙස රඟ පෑ උපසේන විමලවීර හා කුඩා සරදියෙල්ගේ මිතුරකු ලෙස රඟ පෑ දයා(නන්ද) විමලවීර ද එදා රඟ පෑ හැටි අපට විස්තර කළේය. මේ දෙදෙනාම චිත්‍රපටයේ අධ්‍යක්ෂ සිරිසේන විමලවීරයන්ගේ පුතුන් දෙදෙනකි. චිත්‍රපට අධ්‍යක්ෂවරයකු හා කැමරා අධ්‍යක්ෂවරයකු වූ දයා විමලවීර ද චිත්‍රපට නිෂ්පාදකවරයකු හා චිත්‍රපට සංස්කරණ ශිල්පියකු වූ උපසේන විමලවීර ද සරදියෙල් චිත්‍රපටයට සම්බන්ධ අද ජීවතුන් අතර සිටින කලාකරුවන් දෙදෙනෙකි. දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචිව සිටින දයා අතීතය සිහිපත් කළේ මෙසේය.   


“මම සරදියෙල් චිත්‍රපටයේ රඟපාන කොට වයස අවුරුදු 12 පමණ ඇති. කොළොන්නාවේ ටෙරන්ස් ඇන්.ද. සිල්වා විද්‍යාලයේ ඉගෙන ගෙන සිටි මා මරදානේ ශාන්ත ​ෙජා්ෂප් විද්‍යාලයට පැමිණ එහි උගනිමින් හිටියෙ. ඒ කාලේ තාත්තා අසීරුතා මැද මේ චිත්‍රපටය කළේ. 1953 වසරේ තාත්තා කිරිබත්ගොඩ නව ජීවන චිත්‍රාගාරයේ ගම්බද දර්ශන රූගත කළේ. තාත්තා කැමරා ශිල්පී පෝල් මතායස් ප්‍රමුඛ කාර්මික පිරිස සමග උතුවන්කන්දට ගිය හැටි මට මැවිලා පේනවා. ඒ කාලේ චිත්‍රාගාරයේ තිබුණ වින්ටර් එවරට් කැමරාව ඔසවා ගෙන යාමට හය දෙනෙක් වත් ඕනෑ. ඒකට හරියන බැටරියත් බරයි. ත්‍රීෆේස් ජෙනරේටරයත් බරයි. මේවා උස්සාගෙන දිනපතා කන්ද නගින්න ඕනෑ.   

 

 

ඒ කාලේ ශබ්දය පටිගත කිරීමේදී තාත්තා ලොකු අභියෝගයකට මුහුණ දුන්නේ. චිත්‍රාගාර දර්ශනවලදී ශබ්දය පටිගත කළේ රෑට. රෑට කිරිබත්ගොඩ නගරයේ කරත්ත නඩ පේලි යනවා කවි කිය කියා. ඒවා ඈතට යනකන් ඇහෙනවා. ඒනිසා කවි හඬ නැති වෙනකන් තාත්තා බලා හිටියා. චිත්‍රපටයේ දර්ශන රැසක් උතුවන්කන්දේ හා මාවනැල්ලේ රූපගත වුණේ. අනින් ගම්බද දර්ශන ගත්තේ කෘතිම ගෙවල් චිත්‍රාගාරයේ හදලා. ඒ කාලේ හැටියට (1953) චිත්‍රපටයට ගිය මුළු වියදම රුපියල් හැට පන්දාහයි.”   


දයාගේ සොහොයුරු උපසේන විමලවීර ඒ අතීතය සිහිපත් කළේ මෙසේය.   


“කොළොන්නාවේ ටෙරන්ස් ඇන්.ද. සිල්වා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි මට තාත්තාගේ චිත්‍රපටයේ සරදියෙල්ගේ ළමා කාලය රඟපෑවේ බයටමයි. මට එතකොට වයස අවුරුදු 10ක් විතර ඇති. සරදියෙල්ගේ කුඩා චරිතය නව ජීවන චිත්‍රාගාරයේ ඉදි කළ පාසලක මම අනික් දඟ ළමයි එක්ක රඟපෑවා.   


හාමුදුරුවන් ඉගැන් වූ ‘ගණ දෙවියෝ නුවණ දෙන්න’ කවිය මම වැරදියට කියලා දඬුවම් ලබනවා. කඩල කාරයට ගහල කඩල අරන් යාළුවොත් එක්ක බෙදා ගෙන කන අවස්ථාව මට දැන් මතක් කර ගන්න පුළුවන්. මගේ ළමා කාලය ඉවර වෙන්නේ පාරේ දුවන දර්ශනයකින්. මේ දර්ශනය තාත්තා ගත්තේ කළු රෙද්දක් බිමට දාලා ඒ මත එක තැන දුවන්න පුරුදු කිරීමෙන්. ඊට පස්සේ එතැනම සරදියෙල්ට රඟපාන මතායෙස් ප්‍රනාන්දුව එක තැන දුවලා රූපගත කරලා එතැනින් රේස් කරත්තයක යන දර්ශනයකට සංස්කරණය වෙනවා.”   


සරදියෙල් චිත්‍රපටයට විචාරක ප්‍රසංශා හිමිව ඇත. ජයවිලාල් විලේගොඩ පවසා තිබුණේ සරදියෙල් දේශීය ඇසකින් බලා සැනසුම් සුසුමක් හෙළිය හැකි බිය නැතිව සිංහල යැයි කිවහැකි චිත්‍රපටයක් බවය. ‘සංස්කෘති’ සඟරාවට විචාරයක් ලියූ අමරදාස වීරසිංහ පවසා තිබුණේ සරදියෙල් ග්‍රාම්‍ය ඇඳුම් මෝස්තර ප්‍රදර්ශන, බජව්, බයිලා, චූන්, කොමිට්, ඝෝර භීෂණ සිද්ධි ආදියෙන් තොරව ජීවිතය විකෘති කොට නොදක්වා නරඹන්නන් තුළ ස්වස්ථ විනෝදයක් ඇති කළ චිත්‍රපටයක් බවය. 


සරදියෙල් චරිතය ඇසුරෙන් ඇන්ටන් ග්‍රෙගරි විසින්ද චිත්‍රපටයක් නිපදවා ඇත. 1986දී තිරගත වූ සූර සරදියෙල් නැමැති එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපා ඇත්තේ රවීන්ද්‍ර රන්දෙණිය විසිනි.

 

 

 

 


ඒ.ඩී. රන්ජිත් කුමාර   
ඡායාරූපය පිටපත් කිරීම ලාල් සෙනෙවිරත්න



අදහස් (0)

දීකිරි කෑ පරපුරේ විරෝධතා මැද විමලවීර තැනූ සරදියෙල්

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

චාතුර්යා තුළින් රසික සිත් දිනා ගත් - නයනා කුමාරි
2024 නොවැම්බර් මස 28 22 0

රොජර් සෙනෛවිරත්න කී විට නයනා කුමාරි මඳක් පසුබා සිටියේ ඒ වන විට ඇය කාර්යබහුලව සිටි නිසාය. ටෙලි නාට්‍ය දෙකතුනකම රඟ පාමින් සිටියා පමණක් නොව ඇගේ විවාහයට ද


මම දැන් ගුරුවරියක් වෙන්න බලන් ඉන්නේ - ෂයිනි නෙත්තිකුමාර
2024 නොවැම්බර් මස 28 21 0

ළමා රංගන ශිල්පිනියක් ලෙස වේදිකාවට ගොඩ වදිමින් රංගනයේ දොරගුළු විවර කරගත් ඇය දැන් පුංචි තිරයේ බබළන අලු‍ත් තරුවකි. වෙනස් වෙනස් චරිත තුළින් විවිධ කාලයන්හ


පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයක් තියෙන්නේ - අමිල කරුණානායක
2024 නොවැම්බර් මස 28 15 0

මේ දිනවල ඉතා ඉහළ ප්‍රතිචාර ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයක් තමයි ‘විසේකාරි’ කියන්නෙ. ඒ තුළ වැඩිම කතාබහට ලක්වන චරිතයක් මෙවර සඳැල්ල කතාබහකට එකතු කරගන්න


මගේ ජීවිතයේ අංක එක පුතා - හරීන්ද්‍ර ජයලාල්
2024 නොවැම්බර් මස 28 27 0

විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ නිවේදන ශිල්පියකු ලෙස පටන් ගෙන ඉනික්බිතිව, පියවරෙන් පියවර අත්දැකීම් සමග ඉදිරියට යමින් තනතුරු දරමින් හර-බර සන්නිවේදකයකු ල


ගොඩක් දෙනෙක් ඉල්ලන්නේ සිංහල ගීත - ප්‍රනීර්ෂා ත්‍යාගරාජා
2024 නොවැම්බර් මස 28 14 0

ලාංකීය කලා ක්ෂේත්‍රයේ ගායන අංශයෙන් රටක් වසඟයට පත් කළ පුංචි ගායන තරුවක් මෙවර සඳැල්ල කතාබහකට එක් කරගත්තා.


තමන්ට ගැළපෙන විදිහට ’Fashion’ කරන්න ඕනැ - ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්
2024 නොවැම්බර් මස 25 24 0

කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2209 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site