IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


නෙළුම් බණ්ඩාර වලව්වේ කුමාරිහාමි අනුලා කරුණාතිලක

ජීවිතවල අතිශයින් විශ්මිත පෙරළි ඇති වන්නේ සිහිනෙකින්වත් අනුමාන නොකරන ආකාරයටය. සුරූපී යුවතියක වූ අනුලා කරුණාතිලකගේ ජීවිතයත් පාසැල් වියේදීම වෙනස් මඟකට හැරුණේ එලෙසිනි. 1962 දී දවස පුවත්පතේ අනුග්‍රහයෙන් පවත්වනු ලැබූ රූ රැජින තරඟයට ඇය ඉදිරිපත් වූයේ  සහෝදරියගේ බල  කිරීම නිසා මිස ජයග්‍රහණය බලාපොරොත්තුවකින් නොවේ. එහෙත් අවසන් පස් දෙනා අතරට එන්නට අනුලා කරුණාතිලකට හැකි වූයේය. පුවත්පතේ පළ කරන ලද ඒ ඡායාරූප ගන්නා ලද්දේ දවස පුවත්පතේ ඡායාරූප ශිල්පී දයා රණවීර විසිනි. විනිශ්චය මණ්ඩලයේ සිටි සුමිත්‍රා පීරිස් සහ තිස්ස අබේසේකර ඇයට ගම් පෙරළිය චිත්‍රපටිය සඳහා ඇරයුම් කිරීමෙන් ද,  දයා රණවීර ඇගේ පෙම්වතා බවට පත් වීමෙන් ද අනතුරුව ජීවිත පොතේ ඒ පරිච්ඡේදය නිමා වූයේය.

“එතකොට මගෙ වයස අවුරුදු දාසයයි.. ගම් පෙරළියේ නන්දාගේ චරිතයට මම ලාබාල වැඩියි කියා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කිව්වා.. ඉතින් මට ලයිසගෙ චරිතය ලැබුණා..”
තමා සිනමා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ අයුරු සිහිපත් කරමින් අනුලා කරුණාතිලක පැවසුවාය. එතැනින් පටන් ගත් ඇගේ සිනමා ගමන චණ්ඩියා, සොඳුරු යුවළ, සීතල වතුර, පරසතු මල්, දරු දුක, සැඩොල් කඳුළු, පුංචි බබා, ගොළු හදවත, බක්මහ දීගේ, යකඩයා, රන් දිය දහර, රෂ්  ඇතුළු චිත්‍රපටි විසි හතක් හරහා ඇදී ගියේය. ගොළු හදවතේ දම්මි ලෙස ඇය මොන තරම් ජනප්‍රිය වී ද යත් අදටත් දම්මි ලෙසින් ඇය හඳුන්වන්නෝ අනන්තවත් සිටිති. 


ඇය ටෙලි නාට්‍ය ද දහයක පමණ රඟ පෑවාය. ඇය ටෙලි නාට්‍ය නිළියක ලෙස දොරට වැඩියේ 1989 නිර්මාණය වූ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයෙනි. එම නිසා පමණක් නොව තවත් හේතු ගණනාවක් නිසාම එය ඇයට අමතක වන්නේ නැත. 
“මට ඉන්නෙ පුත්තු දෙන්නෙක්.. යකඩයා චිත්‍රපටිය ඉවර වුණත් එක්කම වගේ තමයි මට පොඩි පුතා ලැබුණේ.. ඒ දෙන්නා වෙනුවෙන් කැප වෙන්න ඕන හින්දා මම අවුරුදු දහයක් ගත වෙනකම්ම කිසිම නිර්මාණයකට දායක වුණේ නෑ.. සුදත් දේවප්‍රිය අඹ යහළුවෝ ටෙලි නාට්‍යයට ආරාධනා කරනකොට මගෙ පුත්තු දෙන්නා ලොකුයි.. ලොකු පුතා සාමාන්‍ය පෙළ විභාගය කරලා ගෙදර හිටියෙ.. පොඩි පුතාට අවුරුදු නවයයි.. ඒ කාලෙ අපිට ස්ටුඩියෝ එකක් තිබුණා.. ඒක බලා ගත්තෙත් ලොකු පුතා.. එයාට මල්ලී බලා ගන්න අමාරුවක් නැති හින්දා මම අඹ යහළුවෝ ටෙලි නාට්‍යයේ නෙළුම් කුමාරිහාමිගේ චරිතය රඟ පාන්න එකඟ වුණා.... අනිත් එක අඹ යහළුවෝ කතාවට මම හරි ආසයි.. ඒ පොතෙන් අපිත් නිර්මාණයක් කරමු කියලා දයයි මායි කතා වෙලා හිටියෙ.. ඒත් ඒ වෙනකොට වෙන කෙනෙක් ඒ අයිතිය අරන් තිබුණා.. කොහොම වුණත් මට දැනුණේ අවුරුදු දහයකට පස්සේ මට වටිනා තෑග්ගක් හම්බ වුණා වගේ හැඟීමක්..”
ඇය කීවේ රසිකයන්ගේ සිත් වශී කළ සන්සුන්, සුන්දර සිනාව පාමිනි. 


අඹ යහළුවෝ ටී. බී.  ඉලංගරත්නයන්ගේ ජනප්‍රිය යොවුන් නවකතාව පසුබිම් කරගෙන නිෂ්පාදනය වූ ටෙලි නාට්‍යයකි. එය අධ්‍යක්ෂණය කරන ලද්දේ සුදත් දේවප්‍රිය විසිනි. මෙහි සුනිල් හා නිමල් ලෙස රඟ පෑවේ රසික පෙරේරා සහ අශේන් මංජුලය. සුනිල් හෙවත් සුදු අප්පෝ චරිතය සඳහා රසික පෙරේරා සොයා ගැනීමත් අපූරු කතාන්දරයකි. 
“සුදු අප්පෝ චරිතයට ගැලපෙන නළුවෙක් ගැන විමසිල්ලෙන් ඉන්න කියලා අපි හැමෝටම දැනුම් දීලා තිබුණේ.. දවසක් මමයි දයයි බෙල්ලන්විල පන්සලට ගියා.. අපි කාරෙකෙන් බහිනකොටම රසික පෙරේරත් එයාලගෙ කාරෙකෙන් බැස්සා.. ඒ හුරුබුහුටි කොලු‍ පැංචා දැක්ක ගමන්ම මට හිතුණා සුදු අප්පොට ගැලපෙන්නෙ එයාම තමයි කියලා.. මම ගිහින් එයාගෙන් ඇහැව්වම එයා කිව්වා අම්මගෙන් අහන්න කියලා.. අම්මයි තාත්තයි කීවේ හාමුදුරුවන්ගෙනුත් අහලා උත්තරයක් දෙන්නම් කියලා.. බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ එයාලගෙ ළඟම ඥාතියෙක්..  ඒ වගේ චරිතයක් රඟ පාන්න තියෙනවා නම් කොච්චර වාසනාවක් ද කියලා හාමුදුරුවෝ කිව්වට පස්සෙ එයාලා කැමති වුණා..”
ඔවුන් රූගත කිරීම්වලට ගියේ සෑහෙන දිනක් පෙර පුහුණු වීම් කිරීමෙන් අනතුරුවය.   රූගත කෙරුණේ මීරිගම තලකොළයාය වත්තේ සහ මහනුවරය. 
“ඒ කාලෙ හරිම සුන්දරයි.. අපි බොහොම විනෝදෙන් රඟ පෑවේ.. අනිත් අය එහෙ ගෙවල් අරන් නතර වෙලා හිටියත් මම හැමදාම උදේ ගිහින් හවස ආවා.. එහෙම කළේ දරුවෝ ලොකු වුණත් එයාලව තනියෙන් තියන්න චකිතයක් දැනුණ හින්දා.. ඒ කාලේ පොඩි පුතාට මාව නැතුවම බෑ..” අනුලා කරුණාතිලක කීවාය. 
නෙළුම් කුමාරිහාමි නැන්දම්මාගේ සිත රිදවන්නට අකැමැති. ඇය කරනකියන ඕනෑම දෙයක් ඉවසා සිටින ලේලියකි. 
“අනේ ඔයා කොච්චර හොඳ ලේලියක් ද..? නැන්දම්මා එක්ක අපූරුවට ඉන්නවා..” 


දවසක් ඔවුන්ගේ ස්ටුඩියෝවට පැමිණි තැනැත්තෙකු කීවේ අනුලා ඒ චරිතය තුළ මොන තරම් අපූරුවට ජීවත් වූයේ ද යන්න ඇයටම පසක් කරමිනි. 
මේ ටෙලි නාට්‍යයේ ඇයට අමතක නොවන බොහෝ සිද්ධීන් තිබේ. ඇගේ සැමියා ලෙස රඟ පෑ අශෝක පීරිස් ඇගේ ගෙල මිරිකන දර්ශනයක්  එහි ඇත. 
“එහෙම දර්ශනයක් තියෙනවා කියලා මට කියලා තිබුණේ නෑ.. එහෙම කියලා තිබ්බානම් මගේ මූණේ හැඟීම් තාත්වික වෙන්නෙ නෑනෙ.. අශෝක පීරිස් කාමරේට වෙලා දොර වහගෙන පුහුණු වීම් කරනවා දැකපු කණ්ඩායමේ සමහර අය අධ්‍යක්ෂට කියලා තිබුණා ඒ පුහුණු වෙන විදියට නම් ඇත්තටම බෙල්ල මිරිකයි ද දන්නෙත් නෑ කියලා.. හැබැයි අශෝක බොහෝම හෙමිහිට තමයි බෙල්ල ඇල්ලු‍වේ..  සුද අප්පෝ ගුටි කාලා අඬඅඬා ඉන්නකොට මමත් අඬඅඬා තෙල් ගෑව හැටි, පුතා නැති වෙලා හොයන්න ඉස්කෝලෙට ගිය හැටි, සෙනඟ මැද්දෙ නුවර කච්චේරියේ රඟ පෑව හැටි අමතක වෙන්නෙ නෑ.. අම්මා කෙනෙක් විදියට මගේම අත්දැකීම් ඒ චරිතය තාත්විකව කරන්න මට උදව් වුණා..”  ඇය කියන්නීය. 
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති වැඩ සටහනකදී ඇය වේදිකාවේ සිටියදී දුව ආ තරුණයන් පිරිසක් ඇය ඔසවා ගත්තේ මේ අපේ සුදු අප්පොගේ අම්මා  කියමිනි. 


අඹ යහළුවෝ අපේ සිත්වලින් කවදාවත් දුරස් වී නොයන නිර්මාණයකි. අනුලා කරුණාතිලක ද එසේමය. මේ දිනවල නිර්මාණවලට දායක නොවී විවේක සුවයෙන් කාලය ගත කළත් ඇය පුරාවෘත්තයක් ලෙස සදාකාලිකවම අපේ සිත් තුළ වැජඹෙන්නීය. 

චන්දි කොඩිකාර



අදහස් (0)

නෙළුම් බණ්ඩාර වලව්වේ කුමාරිහාමි අනුලා කරුණාතිලක

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 21 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
2024 සැප්තැම්බර් මස 05 19 0

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් න


වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
2024 අගෝස්තු මස 23 105 0

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි.


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
2024 අගෝස්තු මස 23 194 0

ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


හැඩට දුවන DINARA
2024 අගෝස්තු මස 23 76 0

සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍ර


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
2024 අගෝස්තු මස 07 81 0

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site