IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


පතලේ සිදු​ෙවන සටකපට වැඩ

මැණික් නිම්නයේ යකඩ මිනිස්සු -02

 

 

දින කිහිපයක් තිස්සේ වැසි ඇදහැළුණේ නැති නිසා දිවා කාලයේ දාහය ඉවසන්න බැරි තරම් ය. පාසල් ගමනට ආයුබෝවන් කී සුමනපාල පතල් රස්සාවට ආවේ කෙටිකාලයක් තුළ වැඩිපුර මුදලක් හම්බ කරගන්නටය. මව්පියන්ට තරමක් අකීකරු ඔහු බොහෝ වෙලාවට වැඩිහිටියන් කියන දේවල් නොරුස්සයි. පතල් රස්සාවට ආ පළමු දිනයේම තමන් වැඩට ආ පතලේ රැඳෙන්නට සිදුවූයේ හෝරා කිහිපයක් පමණි. දහවල් දොළහ ආසන්න වෙනවිටත් ඔහු පතල් කිහිපයකට ම ගොස් හමාරය. 

‘‘අර කීනගහ ලියැද්දේ පතලේ බාසුන්නැහැ කිව්වා ඒ පතලෙන් මෙහාට ගෙනා ‘‘මුලු හරවන අඬුව’’ අරගෙන යන්න කියලා. මඩෙන් පිරුණු දෙණිය හරහා දමා ඇති ලීකොටන් අතරින් මීටර් හාරසියයක් පමණ ඈතින් වූ අනෙක් පතල් පොළ වෙත ගිය සුමනපාල එහි සිටි අයෙකුට කාරණාව පැහැදිලි කළේ ය. 


‘‘ආ මුලු හරවන අඬුව’’ නේ ද? යැයි කී ඒ තැනැත්තා පතල් වළ අසලට ගොස් පහළ සිටින පතල් බාසුන්නැහැට ඒ කරුණ දැක්වූයේ උස් හඬිනි. 


’‘බාසුන්නැහැ....... කීනගහ ලියැද්දේ පතල් පොළෙන් ගෙනා ‘‘මුලුහරවන අඬුව’’ ගෙනියන්න ළමයෙක් එවලා. ඒක කොහේද තිබ්බේ. වාඩියේ දැයි විමසීය. 


’‘ඒක කිතං ලියැද්දේ පතලෙට ගෙනිච්චා... ඇයි කීනගහ ලියැද්දේ පතලේ බාසුන්නැහැමනේ කියලා එවලා තිබුණේ.’’ හොරගහ ලියැද්දේ පතලේ බාසුන්නැහැගේ උත්තරේ උඩසිටි සුමනපාලට ද ඇසුණේ දෝංකාර හඬත් සමගම ය. 


තවත් මීටර් පන්සියයක් පමණ ඈත පිහිටි කිතං ලියැද්දේ පතල පිහිටි තැන තොරතුරු අසා දැනගත් සුමනපාල කාශ්ඨක අව්වේ වෙල මැදින් එහි ගියේ ය. එතැනට සුමනපාල යනවිට පතලේ පිරිස කහට බොමින් සිටියහ. සුමනපාල තමන් ආ කාරණව පැහැදිලි කළේය. 


උඩුකය නිරාවරණය කරගෙන බුලත්විට කා මුව රතුකරගත් ලේන්සුවක් කරට දාගෙන අමුඩ කෙටියකින් සැරසී සිටි මැදිවියේ තැනැත්තෙක් පිළිතුරු දෙන්නට පෙර ‘‘ළමයෝ කහට වතුර ටිකක් බීලා හිටහංකෝ.’’ යැයි කළ ආරාධනාව සුමනපාලට අස්වැසිල්ලක් විය. විස්කිරිඤ්ඤයක් ද කෑ පසු හැඩිදැඩි මිනිහා සුමනපාලට පිළිතුරු දුන්නේ ඈත තවත් පතලක් අතින් පෙන්වමිනි. 


‘‘අපේ වැඩ ඉවර වෙලා අපි ‘මුලුහරවන අඬුව’ කීනගහ ලියැද්දේ පතලට යවන්න හදන කොට හීන්නාරංගහ ඇළේ පතල් පොළෙන් ඇවිත් ගෙනිච්චා. ඇයි කීනගහ ලියැද්දේ බාසුන්නැමනේ ඒක දෙන්න කියලා එවලා තිබුණේ. ඉතිං ළමයෝ ඒක හීන්නාරංගහ ඇළේ පතල් පොළේ ඇත්තේ. ඔය ළමයා ඒ පතලට යන්න දන්නවාද?’’ පෙනුමෙන් රෞද්‍ර වුවත් කතාවෙන් කාරුණික වූ තැනැත්තා සුමනපාලගෙන් විමසුවේ ය. 
‘‘නෑ.... නෑ.. මං දන්නේ නෑ... මම අදමයි පතලක වැඩට ආවේ....’’ තරමක් නොරුස්සනා ස්වරූපයෙන් සුමනපාල පිළිතුරු දුන්නේ ය. කහට බොමින් පතල් වාඩියේ සිටි අනෙක් පිරිස ද මේ දෙදෙනාගේ දෙබස් හොඳින් අසා සිටියහ. 


වැඩිහිටියා පෙන්වූ මග ඔස්සේ සුමනපාල දැන් තවත් පතලක් කරා යන්නේ ‘‘මුලුහරවන අඬුව’’ ගේන්නට ය. වෙනත් අඬු දැක තිබුණ ද සුමනපාල ‘‘මුලුහරවන අඬුව’’ දැක තිබුණේ නැත. එය ලොකු එකක් නොවුණොත් හොඳ යැයි සිතමින් තුන්වන පතල් පොළට ළඟවන විට පස්වරු එකත් පසුවී තිබුණි. 


දැන් සුමනපාල ඉන්නේ හීන්නාරංගහ ඇළ පතලේ ය. එහි සිටි මැදිවියේ පුද්ගලයෙකුට සුමනපාල කාරණාව පැහැදිලි කළේ ය. 


’‘අනේ ළමයෝ ඔය ළමයා පතල් පොළෙන් මෙහාට ආවේ කීයට ’’දැයි ඒ තැනැත්තා විමසුවේ ය. 


‘‘දැන් පැය දෙක තුනක් ඇති.’’ සුමනපාලගේ පිළිතුර විය. 


‘‘ඕ... ඕ... ඒක තමා... දැන් පැයකට විතර කලින් ඒක කීනගහ පතල් පොළට යැව්වා. ඔය දරුව මේ පැත්තෙන් එන කොට අරපැත්තෙ කනත්ත ළඟ පාරෙන් ඒක ගෙනිච්චා. දැන් ඒකෙන් වැඩත් කරනවා ඇති.’’ මැදිවියේ තැනැත්තාගේ පිළිතුර විය. 

 

 

ඒ පිළිතුරත් සමග ආපසු යන්නට සුමනපාල හැරුණේ ය. 


‘‘දරුවෝ ඔය ආපු පාර දුරයි. අමාරුයි. මඩේ බැහැ බැහැ යන්න එපායැ. මේ පාරෙන් ගිහිං කනත්ත ළඟ තුන්මං හංදියෙන් වමට හැරිලා ඒ පාර දිගේ ගියානං ගොඩක් ළඟයි.’’ මැදිවියේ තැනැත්තාගේ යෝජනාව විය. 
ඒ පාර ළඟ වුවත් කනත්තක් ළඟින් යායුතු නිසා සුමනපාලට ඒක ඇල්ලුවේ නැත. බය පෙන්වීමද ලැජ්ජාවට කරුණකි. 


‘‘එහා පතල් පොළෙන් අායුධයක් තියනවා ගෙනියන්න. ඒකත් අරං මේ පාරෙන්ම යනවා’’ කී සුමනපාල දිග සුසුමක් හෙළා ආපසු කීනගහ පතල් පොළට එන්නට පිටත්විය. 


සුමනපාල හිස් අතින් පතල් පොළට එනවා දුටු පතලේ උඩසිටි තැනැත්තා ‘‘කෝ මුලුහරවන අඬුව’’ යැයි විමසුවේ ය. 


‘‘ඇයි ඒක මෙහාට එව්වා කිව්වානේ. අර කෙළවරේ ඇළ ළඟ පතලෙට ගිය වෙලාවේ ඒකේ එක්කෙනෙක් කිව්වේ. සුමනපාල හිස් අතින් ආවාට හේතු පැහැදිලි කළේ ය. 


මේ දෙබස පතලේ ඇතුළේ සිටි බාසුන්නැහැට ද කනවැකුණි. ‘‘ආ.. අඬුව එවලා තිබුණා. හරි ... හරි.. ඔය ළමයට කහට ටිකක් බීලා ඉල්ලං කමත හදන්න කිව්වා නං... ’’ බාසුන්නැහැගේ පිළිතුර විය. 


පතල් පොළවල් වල ‘‘මුලුහරවන අඬුවක්’’ කියා එකක් නැති බවත් අලුතින්ම පතලට එන නවකයන්ව රවට්ටන්නට එසේ කරන බවත් සුමනපාල දැනගත්තේ දින කිහිපයකට පසුවය. ‘‘මුලුහරවන අඬුවක්’’ සොයා කෙනෙක් ආවොත් ඔහු පතල් රස්සාවට ආධුනිකයෙක් බව හැම පතල්කරුවෙක්ම දනී. මෙහෙ නෑ අරෙහෙ යැයි හරවා යවන්නේ ඒ නිසාය. කලක් යනවිට සුමනපාලට ද හොඳ පතල් බාස් කෙනෙක් වෙන්නට හැකිවිය. 
මැණික් පතල් පොළවල්වල සිදුවන සටකපටකම් සමහරුන්ට හෙළිදරව්වන විට වෙන්න ඕනෑ හරිය වෙලා හමාරය. 


ඉස්සර මැණික් ගැරුවේ වට්ටියෙනි. එයට කිව්වේ ගැරුම් වට්ටිය කියාය. හැම දෙනාටම වට්ටියෙන් මැණික් ගැරිල්ල කරන්නට බැරිය. එයට හොඳ පුරුද්දක් තිබිය යුතුය. 


මැණික් පතලේ ඉල්ලම් ගොඩ අසල කපාගන්නා වළක ඉල්ලම් ගැරීම සිදුකිරීම සිරිතකි. ළඟපාතක වතුර නැත්නම් පමණක් අතීතයේ දී වතුර ඇති තැනකට ඉල්ලම් ගෙන ගොස් සේදීම නැත්නම් ගැරීම සිදුකරයි. 
දශක හතර පහකට පෙර වෙළෙඳපොළට පැමිණි පිරිමි ‘යට‘ ඇඳුමක් හැඳින්වූයේ ‘‘ට‍්‍රන්ක්’’ යන නමිනි. විශේෂත්වය වූයේ එහි පිත්තල සිලිපරයක් සමග කුඩා සාක්කුවක් තිබීමයි. මේ පිරිමි යට ඇඳුම මැණික් පතල්වල වැඩ කරන පිරිමින් බොහෝ දෙනා භාවිතයට ගත්තේ ය. 


කලක් මැණික් පතල් කර්මාන්තයේ ද නියැළුනු එමෙන් ම මැණික් පතල්වල මැනේජර්වරයෙකු ලෙස ද කටයුතු කර ඇති දැන් ඉඩම්හිමි වැවිලිකරුවෙකු වන කුරුවිට එක්නැළිගොඩ පදිංචි ජේ.ඒ.සී.එච්. ජයතුංග මහතා ඔහු ඇසූ අපුරු සිද්ධියක් හෙළි කළේ ය. 


බලපත‍්‍ර ඇතිව කපන ගැඹුරු පතල් වල සේවය කරන වැඩිදෙනෙක් හැන්දෑවට ගෙදර යනු ලබයි. වැඩට අඳින වැඩ ඇඳුම බොහෝ වෙලාවට වාඩියේ වැලේ දමා යාම වැඩි දෙනාගේ සිරිතයි. සමහරු ඒ රෙදි සෝදා එළියේ වැළක හෝ පතලට ගෙනා කොටං ටික උඩ වේ​ෙළන්නට වනා තබා වාඩිය මුර කරන කෙනාට බලා ගන්නට කියා පිටත්ව යති. 


පතලක වැඩකළ කිහිප දෙනෙක් එසේ තමන් වැඩට ඇන්ද රෙදි ලීගොඩේ උනා තබා ගියහ. හැන්දෑ වැටුණු පසු තරුණ හාදයෙක් ඇවිත් ඔහු වුණා තැබූ රෙදි අතර තිබූ සිපරය සහිත වූ යට ඇඳුම ගෙන ගියේ ය. එය සාමාන්‍ය සිද්ධියක් විය. 


එහෙත් දින කිහිපයකට පසු පතල් පොළේ මැණික් ගලක් පිල්ලි ගිය කතාවක් පැතිර ගියේ ය. ඒ ගල පතල් පොළෙන් පිටකර තිබුණේ සිපරය සහිත යට ඇඳුමේ සාක්කුවේ දමා බව දැනගන්නට ලැබුණි. පතල් පොළේ මැණික් ගරන කූඩයට ඉල්ලම් ගෙන යද්දී ඉල්ලම් කූඩෙ තිබූ මැණික එය රැගෙන ගිය තැනැත්තාට දිස්විය. ඔහු එය සඟවාගෙන පසුව යට ඇඳුමේ සිපරය සහිත සාක්කුවේ දමා වැඩ අවසන් වූ පසු මැණික් ගල සහිත යට ඇඳුම පතල් පොළේ ලී කොටන් උඩ දමාගියේ අමතක වීමෙනිි. 


පසුව ඇවිත් අනෙක් රෙදි කිහිපයකුත් සමග මැණික් ගල ද තිබූ යට ඇඳුමත් රැගෙන ගියේ කිසිවෙකුටත් සැකයක් ඇති නොවන අයුරිනි. එය ඔහු හොරෙන් විකුණා තිබුණි. එකම පතල් පොළේ එක්කෙනෙකු අත වැඩිපුර මුදල් ගැවසීම ගැන සැකකර මේ සිද්ධිය අනාවරණය කර ගත්ත ද එය ඔප්පු කිරීමට කිසිවෙකුටත් නොහැකි විය. 
 

මේ සිද්ධියෙන් පසු ඒ ආකාරයේ සාක්කු ඇති යට ඇඳුම් ඇඳගෙන එන පිරිමින් දෙස වැඩිපුර අවධානයෙන් ඉන්නට සැම දෙනාම පුරුදු වූහ. 


ගිය සතියේ අපිට පතල් ගැන තොරතුරු කී කුරුවිට කොස්ගොඩ බී.එම්. සිරිමානිස් මහතා මේ පතල් කර්මාන්තයේ දශක පහ හයකට එහා සැඟවුණ රහස් රැසක් සමග රසමුසු තැන් ගණනාවක් හෙළි කළේ ය. 
සිරිමානිස් බාසුන්නැහැ කියන ආකාරයට පනහේ හැටේ දශකයේ ගම්වල මිනිස්සු අරක්කු වෙනුවෙට බිව්වේ කිතුල් රා ය. එහෙමත් නැත්නම් රා මණ්ඩි යොදා කිතුල් හකුරු, සීනි සහ වතුර යොදා බිමදී පස්සවා ගන්නා ඇමරේජන්ය. පැණි රා කිව්වේ ද ඇමරේජන් වලට ය. අදමෙන් එදා ගමක් ගමක් ගානේ කසිප්පු තිබී නැත. 


උදේ සිට පතලේ වැඩකර හවස වැඩ අවසන් කර දිය නාගන්නා පතල් කට්ටිය ඇඟපත අමාරුව යන්නට බොන්නේ පැණි රා ය. මුට්ටියක පැහෙන්නට හරින මේ පැණි රා පොල්කට්ටක් දෙකක් බිව් පසු පදමට වෙරි වෙන බව සිරිමානිස් බාසුන්නැහැ කියයි. 


අද මෙන් ජනාකීර්ණ නොවූ නිසා පතල් පොළේ කතා කරන දේවල් ඇහෙන්න නම් ඒ අසලට ම යායුතුය. ඒ නිසා පිටස්තර කෙනෙකුට නොඇසෙන ලෙස හයියෙන් කතා කරන්නට පතල් වාඩිය හොඳම තැනක් විය. 
‘‘වැඩ ඉවර වෙලා හැන්දෑවට පතල් පොළේ වාඩියට වැඩකරන හැම දෙනාම එනවා. පිටස්තර අය එනවා අඩුයි. කොටින් ම කිව්වොත් පිටස්තර කෙනෙක් පතල් පොළකට එන්​ෙනම නෑ. ඒකට හේතුත් තියනවා. එහෙම කෙනෙක් යන එන්න වුණ වෙලාවක පතල් පොළේ මොනවා හරි දෙයක් නැති වුණොත් මැණික් ගලක හොරකමක් වුණොත් මුලින් ම සැක කරන්නේ අර ආගිය කෙනා. ඒ හින්දා පිටස්තර ඈයෝ පතල් පොළකට ඇතුළුවෙන්න කැමති නෑ.’’ සිරිමානිස් බාසුන්නැහැ යමක් හෙළි කළේ ය. 


‘‘පැණි රා ටිකක් බීලා වෙරි වෙන්න ඉස්සර වෙලා වාඩියේ කට්ටිය කාඩ් සෙල්ලම් කරනවා. ඔය අතරෙ කෙනෙක් සීපදයක් කියන්න පටන් ගන්නවා. තව කෙනෙක් ඒ සීපදය ඉවර වෙනවත් එක්කම ජන කවියක් පතල් කවියක් කියනවා. ඒ සද්දේ ගමට ඇ​ෙහනවා. ඇයි අද වගේ පිටස්තර සද්ද බද්ද මොකුත් නෑ. ගෙවල්වලත් වයර්ලස් එකක් හැරුනාම වෙන මොකවත් නෑ නොවැ.’’ 

 

 

සිරිමානිස් බාසුන්නැහැ කියන විදියට එදා සින්දු කියා බජව් දැමීමක් දකින්නට ලැබී ඇත්තේ කතාතුරකිනි. 


‘‘ඔව්... ඔව්... වාඩියේ සීපද, ජනකවි, පතල් කවි ආදිය කියන්නෙත් පුංචි තරගයකට වගෙයි. ඒවා හොඳ තාලෙට කියන්නේ. අපි හිතමුකෝ මුලින් කෙනා කිව්ව සීපදේ තාලේ වැරදියි කියලා. ඒක හරි තාලෙට දන්න කෙනා උස් හඬින් කියනවා. එහෙම කිව්වා කියලා ඒ දෙන්නා ගැටෙන්නේ නෑ. හරිම විනෝදයි. හැබැයි ඒ මොනවා කළත් කිව්වාත් උදේ පාන්දරම පතලේ වැඩට එන එක නම් එනවා. අද වගේ කම්මැළි නෑ.’’ පතල් පොළක ඉතිහාසය හෙළිකරමින් සිරිමානිස් බාසුන්නැහැ පැහැදිලි කළේ ය. 


‘‘ලංකාවේ මැණික් පතල් කර්මාන්තය ටිකක් වැඩි වුණේ සමගි පෙරමුණු ආණ්ඩුවෙන් සංස්ථාව පිහිටෙව්වාට පස්සේ. ඊට ඉස්සර පතලක් කපන්න බලපත‍්‍ර කඩදාසියක් ගත්තේ ගම් සභාවෙන් වෙන්න ඕනෑ මට හරියටම මතක නෑ. ඒ කාලේ අද වගේ මැණික් ගරන අය අල්ලන්න පොලෝසියෙන් පනින්නේ නෑ. හැබැයි මට මතකයි අපේ තාත්තා කොහෙන් හරි බලපත‍්‍ර කරදහියක් හදාගෙන තියනවා. හැබැයි මැණික් වලට ඉල්ලුමක් ඇති වුණත් ජාති ගල් වලට විතරක් නෙවෙයි පජාති ගල් වලටත් මිලක් නම් ආවේ තායි බයර්ලා ලංකාවට ආවාමයි. ඒ ආවේ 77 ජේආර් මහත්තයාගේ ආණ්ඩුව කාලෙදි වගෙයි මට මතක ’’ 


‘‘අද නම් මැණික් විකුණගන්න වෙළෙන්දෝ ඕනෑ තරම් ඉන්නවා. ඒ වුණාට ඒ කාලේ මැණික් මුදලාලිලා එක්කෙනයි දෙන්නයි රත්නපුරේට ම හිටියේ. අපේ තාත්තාගේ කාලේ හිටියා පොඩිමහත්තයා කියලා මුදලාලි කෙනෙක්. හිදැල්ලන සීවලිය ඉස්සරහ ගෙවල් තිබුණේ. අපේ තාත්තලා ගල් ගෙනිහිං දුන්නේ පොඩිමහත්තයා මුදලාලිට. එයා දෙන ගාණ අපි ගන්නවා. මිල තීන්දු කරන්නේ මුදලාලි තමා.’’ සිරිමානිස් බාසුන්නැහැ යටගියාව හෙළි කළේ ය. 


‘‘දැන් තට්ටු පතල්, ගොඩ පතල්, වරු පතල් මොකවත් නෑනොවැ. දැන් තියෙන්නේ බැකෝ පතල්. ඒවායේ මේ කියන සිද්ධියක් වෙන්නේ නෑ. බැකෝ දාලා පතල් කපන්න පටන් ගත්තාට පස්සේ රත්නපුරේ මැණික් පතල් කර්මාන්තයටත් හෙනහුරා පාත් වුණා.’’ දිගු සුසුමක් හෙළමින් සිරිමානිස් බාසුන්නැහැ කීවේ ය. 


සිරිමානිස් බාසුන්නැහැ කියන්නේ ඇත්තකි. අතීතයේ මැණික් කර්මාන්තය යනු තවත් එක් උප සංස්කෘතියකි. ඇවතුම් පැවතුම්, භාෂාව, සිරිත් විරිත්, ආහාරපාන, ජනශ‍්‍රැතිය, මේ හැමදෙයක්ම පතල් කර්මාන්තයට ම අාවේණිකය. පතල් කර්මාන්තයේ නියැළුන සියලු දෙනාම ඒ චාරිත‍්‍ර වාරිත‍්‍ර කඩ නොකළහ. 


‘‘ඔය තට්ටු පතල් කපන කොට බාසුන්නැහැ තමයි පතලෙ අඩියෙම ඉන්නේ. දෝනාවක් ගියොත් ඒ දෝනාව ඇතුළේ ඉන්නෙත් පතලේ බාසුන්නැහැ. ඒ හින්දා පතලේ වැඩකරන අය ගැන හොඳ දැනුමක් බාසුන්නැහැට තියෙන්න ඕනෑ.’’ 


‘‘උඩ තට්ටු​ෙවදී ගැටලුවක් නෑ. ඒ වුණාට යටට යද්දී පතලක යට ඉන්න කොට දොළොස් රියනේ ඉඩකඩ මිසක් වෙන ඉඩක් නෑ. උඩ ඉන්න කෙනෙක් අතේ තියන යමක් අතෑරුනොත් යට ඉන්න කෙනාගේ ඇඟට වැටෙන්න පුළුවන්. ඒ හින්දා පතල් රස්සාව කරන හැම කෙනෙකුටම සංයමයක්, හික්මීමක් තියෙන්න ඕනෑ. කලබලකාරයොත් එක්ක කරන්න පුළුවන් රස්සාවක් නෙවෙයි මේක.’’ 


‘‘දවසක් අපේ පතලකට ආව හාදයෙකුට දුන්නා කුලු ගෙඩියෙන් ගහලා පතලේ බිත්ති හයිකරන පුවක් රීප්ප බස්සන්න කියලා. මේ හාදයා පතලෙට බර වෙලා කුලු ගෙඩියෙන් පුවක් රීප්පේට ගහන්නේ. එහෙම වෙලාවකදී අත අතහැරුණොත්  වළ ඇතුලේ. වළේ කෙනෙක් හිටියොත් ඉවරයි. කුලු ගෙඩියෙන් රීප්පෙට ගහන්න ඕනෑ පිටට වෙන්නයි. ඒ හාදයට කිව්වා කිහිප වතාවක්. ගණන් ගත්තේ නෑ.’’ 


‘‘මිනිහාට අපි කියන දේ තේරුණේ නැතුවද මන්දා මිනිහා පුවක් කීරි වලට කුලු ගෙඩියෙන් ගහන්නෙම වළ ඇතුළට බර කරලා. එකපාරට කුලු ගෙඩිය අතෑරිලා වළ ඇතුළට වැටුණා. වළ ඇතුළේ වැඩට උදව්වට හිටිය කෙනාගේ ඔලුවටමයි කුලු ගෙඩිය වැටුණේ. ඒ පතලේ තට්ටු දහයක් විතර ඇති. හොඳ වෙලාවට කුලු ගෙඩිය එකපාරටම පහළට වැටුණේ නැතුව දිගන් ලීවල වැදි වැදි වේගේ අඩුවෙලා වැටුණේ. ඒ වුණාට රාත්තල් දාහතරේ කුලු ගෙඩියක් ඔලුවට වැටුණම වෙන දේ ආය කියන්න දෙයක් යැ. මිනිහා මැරෙන්නැතුව බේරාගන්න පුළුවන් වුණා. ඔය වගේ අතුරු ආන්ත‍්‍රා එමටයි.’’ පතල් රස්සාවේ අමාරුකම පැහැදිලි කරමින් සිරිමානිස් බාසුන්නැහැ කීවේ ය. 

 


තවත් කොටසක් ලබන සතියට.... 

 

 


සටහන - ඡායාරූප 
අජිත්ලාල් ශාන්තඋදය



අදහස් (0)

පතලේ සිදු​ෙවන සටකපට වැඩ

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

තමන්ට ගැළපෙන විදිහට ’Fashion’ කරන්න ඕනැ - ශ්‍රේෂාද්‍රි ප්‍රියසාද්
2024 නොවැම්බර් මස 25 15 0

කුඩා වියේදීම රිදී තිරයට පැයූ තාරකාවියක් වන ඇය, තරුණ දක්ෂ රංගන ශිල්පිනියක් ලෙසින් කල එළි බැස්සේ ‘චැලෙන්ජර්ස්’ චිත්‍රපටිය ඔස්සේය.


රූපනයෙන් නිරූපණයට පිවිසෙන - අශාන් ෆොන්සේකා
2024 නොවැම්බර් මස 25 11 0

ලංකා බැංකු පරිශ්‍රයකට පිවිසෙන විට එක්වරම නෙත් යොමු වෙන්නෙ එහි විවිධ ඉරියව්වලින් ගනුදෙනු කටයුතුවල නියැළෙන තරුණයකුගේ සේයාරුව. නිරූපණ හැඩරුවට අමතරව නළ


තීරණ ගද්දි ගොඩක් හිතනවා - යොහානි හෙට්ටිආරච්චි
2024 නොවැම්බර් මස 25 12 0

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ අක්කා නගෝ ආදරේ ගැන ගොඩක් අය කතා වෙනවා.


මාව ප්‍රසිද්ධ GK නමින්. - රෙජිනෝල්ඩ් ඉරෝෂන්
2024 නොවැම්බර් මස 25 18 0

දක්ෂතාවයට ජාති ආගම් නැති බව පසක් කරමින් සිංහල හා දමිළ සිනමාවේත්, ටෙලිතිරයේත්, තම හැකියාවන් පෙන්වමින් - එම ජනවර්ග දෙකටම අයත් ප්‍රේක්ෂක සිත්සතන් තුළ ලැඟ


‘‘අම්මා මාව හැදුවේ චූටි බබෙක් හදනවා වගෙයි’’ - අනුරාධා නන්දසිරි
2024 නොවැම්බර් මස 25 38 0

‘‘සනත්-මාල්කාන්ති’’ යුවළ ගැන කතා කරද්දී ඊළඟට කියැවෙන්නේ ඒ දෙපළගේ එකම දියණිය ‘දූ- අනුරාධා’’ ගැනය.


කටු ඉඹුලේ ජේමිස් - ජනක් ප්‍රේමලාල්
2024 නොවැම්බර් මස 25 32 0

ඩී එස් සේනානායක මහතාගේ සංකල්පයකට අනුව රාජාංගණයෙන් ගොඩින් අක්කර දහයක් සහ මඩින් අක්කර දහයක් වශයෙන් ලැබෙන ගොවීන් අතරට සිය නමත් එක් වී තිබීම පිළිබඳව ජේමි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site