“සිහිනයක තරම් තටු නෑ මට නම්
පියඹන්න නුඹ අරන් අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තිබේවිද ලෝකේ”
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නාළිකාව ඔස්සේ මගේ හදවතට කිඳා බැහැලා ලැගුම් ගත්තා.
පුදුම වෙන්න දෙයක් නෑ. ඒ ගීතය ගොතා තිබුණේ ප්‍රතිභාපූර්ණ ගීත රචිකා යමුනා මාලනී පෙරේරා. සංගීත සංයෝජනය කළේ නව පරපුරෙන් ආ කසුන් කල්හාර සංගීතවේදියා. අගනා රූප රචනය තුළ තම රංග ප්‍රතිභාවක් දක්වමින් ගයන්නේ ප්‍රතිභා ප්‍රභා පෙරේරා. ඇය කවුද?
ඇය අන් කවරකුත් නොවෙයි. මෙරට වේදිකාවත් පුංචි තිරයත් සිනමාවත් තරණය කළ රංගධර දිවංගත සේනක පෙරේරාගෙත් යමුනා මාලනියගේත් දෙටු දියණියයි.
යූ ටියුබ් නාළිකාව තුළින් ඇගේ ප්‍රතිභාව විහිදෙන ගීත රැසක් විකාශය වෙනවා.
“වසා යන්නකො හද දොර සෙමින්
මගෙ හැඟුම් තව නොරිදවා”
(ඊළඟ වස්සානෙ)
මේ ගීයත් යමුනාගේම නිර්මාණයක්. සංගීතවේදී සුරේෂ් මාලියද්දගේ සංගීතයට ප්‍රතිභා සමඟ අපේ තීක්ෂණ අනුරාධයන් තමා හඬ මුසු කරන්නේ. මා සිත් උදුරාගත් තුන්වැනි ගීතය තමයි යමුනා මාලනිය විසින්ම රචිත සංගීතවේදී ධනුෂ්ක වික්‍රමනායකයන්ගේ නාද රටාවලින් පරිමිත වූ චන්දන ලියනාරච්චි සමඟ ප්‍රතිභා ප්‍රභා රඟමින් ගයන ගීතය.
“සිහිනයක ගැලී
අපි ඉඳිමු වෙළී
මේ සිහිනය හරි මිහිරී
එහෙම නේද සොඳුරී”
ඒ සුන්දර ගායිකාව සමඟ සඳැල්ල වෙනුවෙන් පිළිසඳරක යෙදෙන්න මට වාසනාව ලැබුණා.
බොහොම හොඳ ප්‍රතිචාර මැද නිරහංකාරව ගෙවීගෙන යනවා. අම්මාගෙයි තාත්තාගෙයි කුසලතාවන් තමා මටත් පිහිටලා තියෙන්නෙ කියලා හිතෙනවා. අම්මා පළපුරුදු ගීත රචිකාවියක්. “සුළඟ නුඹ වගෙයි”, “දුර ඈත වුවද ගතිනා”, “ගහක මල් පිපිලා”, “බැබළීම බැස යාම අයිති සඳටයි” වගේ ගී රැසක රචිකාවිය ඇයයි.
මේඝ, පරාස්ස වැනි උසස් ගණයේ වේදිකා නාට්‍ය ගණනාවක් රඟපා සම්මාන දිනූ මගේ තාත්තා සේනක පෙරේරා සිනමාව හා ටෙලි තිරයත් අතික්‍රමණය කළා. එතුමා ජීවතුන් අතර නැතත් මට ආශීර්වාද කරන බව නම් නිසැකයි.
දෙන්නාටම ඕනෑ කළේ මාව ගායිකාවක් මෙන්ම සංගීත ගුරුවරියක් කරන්න. ඒ සිහින දෙකම මං ඉටු කළා. ගායිකා සිහිනය සැබෑ කර ගත්තා. නමුත් සංගීත ගුරුවරියක් වීමට නම් බැරි වුණා. අනිකුත් විෂයයන් ඉගැන්වීමට මට වරම් ලැබුණා.
මම මුලින්ම ගියේ පුංචි බොරැල්ල සංඝමිත්තා බාලිකාවට. උසස් අධ්‍යාපනය සඳහා බොරැල්ල ගෝතමී බාලිකාවට ඇතුළත් වුණා. ඒක ඉතා සුන්දර මිහිරි කාලයක් වගේම කලා කුසලතා ඉස්මතු වුණු වකවානුවක්.
අම්මා තමයි මගෙත් නංගිගෙත් සෙවණැල්ල වගේ පස්සෙන් ආවෙ.
බොරැල්ල කැම්බල් පාක් එකේ රථ ගාලේ ස්කූල් වෑන් අතර කාලය ගෙවමින් රුපියල් දෙක අඹ විකුණන වෙළෙන්දා ළඟ තැක්ගැහෙමින්, යාළුවොත් එක්ක අයිස්ක්‍රීම් උර උර, දඟ කතා කියමින් හැසිරුණා. ඉතුරු කරගත් සල්ලිවලින් සුපිරි හෝටලයක කෑම කාපු හැටිත් මතක් වෙනවා. දැන් හරියට හීනයක් වගේ.
වරමක් ලැබුණොත් මං ඉල්ලන්නෙ පාසල් කාලෙට ආයිත් යන්නයි. අපේ හැඟුම්, රහස් කතා, ආදර සෙනෙහස, කුතුහලය රැඳී තිබුණේ ඒ පරිසරයෙයි.
මං මරදාන ඇක්වයිනස් විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවා. 2015 දි ලයිසියම් ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ පූර්ව ළමා සංවර්ධන ඩිප්ලෝමාව හැදෑරුවා. පෙර පාසල් ගුරු පත්වීමක් ලැබුණා. ඒත් දෛවයේ සරදමට වගේ උගන්වන්න ලැබුණෙ සංගීතය නෙවෙයි, සිංහල සහ බුද්ධාගම.
දැන්නම් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පදනම ආයතනයේ මධ්‍යම කාර්යංශයේ School lvens කළමනාකාරියක ලෙස වැඩ කරනවා.
තව දෙයක් කියන්නම ඕනෑ. මම ගායනය වාදනය (වයලින්) ඇතුළු සංගීත විෂය ධාරාවේ පළමු කොටස නිමා කරලයි ඉන්නෙ.
අම්මට ඕනෑ වුණේ එයාගෙ මඟපෙන්වීම මත එයාගෙ අඩි පාරේම ගමන් කරමින් ක්ෂේත්‍රයට අවතීර්ණ කිරීමටයි. කල් යද්දි මමම තීරණය කළා මගේම උත්සාහයෙන් නිර්මාණාත්මකව සැලසුම් සහගතව ක්ෂේත්‍රයේ නව මාවතක යන්න.
මං අම්මාට තේරුම් කර දුන්නා මටත් පියවරෙන් පියවර මගේම නමක් හදාගෙන යන්න අවසර දෙන්න කියා. එවැනි ගෞරවයක් ලැබුණොත් එය අම්මාටත් ගෞරවයක් බව. හරියටම කිව්වොත් එතකොට තමයි “ජෙනුයින්” වෙන්නෙ කියලා. අම්මා මට ඊට අවසර දුන්නා.
කසුන් අයියලගෙ මව මාලිනී බුලත්සිංහල නැන්දයි අපේ අම්මලයි සමීප මිතුරෝ. පුංචි කාලෙ ඉඳන්ම කසුන් අයියාගේ හැකියාව මා දැක තිබෙනවා. විඳ තිබෙනවා. මගෙ හිතේ ලොකු හීනයක් තිබුණා අම්මා ලියපු ගීයක් කසුන් අයියාගෙ සංගීතයට ගයන්න. ඒක 2011 දි සැබෑ වුණා. “සිහිනයක තරම්” ගීය එහි ප්‍රතිඵලයක්.
ඒ වගේම නිවේදන කටයුතුවලට පාසල් සමයේ සිටම ලොකු උනන්දුවක් මට තිබුණා. මම පාසලේ මාධ්‍ය කවයේ සභාපති තනතුර ඉසිලුවා. ඉතින් ‘භාරතී අයියා’ ඇතුළු මාධ්‍ය කණ්ඩායම යූ ටියුබ් එකේ නිවේදන කටයුතු කිරීමට මට අවස්ථාව දුන්නා.
ඒ වගේම මගේ නිර්මාණ පණ පොවන්න ශක්තිය හා සහය දුන්න සියලුම සමකාලීන සංගීතවේදීන්ට මගේ ප්‍රණාමය පිරිනමන්න කැමතියි.
ඇත්තෙන්ම, මට එම සුන්දර රැකියාව ලබාදුන් ලයිසියම් ආයතනයට, මගේ ප්‍රධානීන්ට හා සහෝදර කාර්ය මණ්ඩලයට හද පත්ලෙන්ම ස්තූතිය පිරිනමනවා. මා උගත් නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පදනම් ආයතනයේ මධ්‍යම කාර්යාංශයේ School lvens කළමනාකාරියක ලෙස සේවය කරනවා.
දිවයින පුරා විහිදී යන ලයිසියම් සංකීර්ණ මගින් විවිධ වයස් ප්‍රමාණවල දරුවන්ගේ අධ්‍යාපනික, විනෝදාස්වාද, කලා කුසලතා හා දැනුම වර්ධනයට මහත් සේවයක් කරනවා. මවුපියන්ගේ ද සුබසෙත සඳහා කැප වෙනවා.
මට පැවරී ඇත්තේ ස්කූල් ඉවෙන්ස් අංශය මගින් සිංහල පාසල් දරුවන්ගේ සංගීත, ගායනා, නර්තන, චිත්‍ර තරග හා විවිධ ප්‍රසංග කළමනාකරණය කිරීමටයි. එය ඉතා වගකීම් සහිත රසාස්වාදනය විහිදී යන ව්‍යාපෘතියක්.
මා ICCR in Sri Lanka හිදී හින්දි බසත් මැනවින් හැදෑරුවා. හෙළ බස හා ඉංග්‍රීසි බසත් හොඳින් හදාරා ලැබූ දැනුම නිර්මාණ කාර්යයන්හිදී මතු වෙනකොට ඇතිවෙන්නේ ලොකු තෘප්තියක්.
ඇයි නැත්තේ? මට තිබුණු ලොකුම ආසාව අම්මා තරමට දක්ෂ ලේඛිකාවක් වෙන්න ඇත්නම් කියලා. ඒ හීනයත් සැබෑ වෙමින් පවතිනවා. ඒ තමයි මගේ කුළුඳුල් පොත වන “කමටහන් නැති පෙම් සටන්” දොරට වැඩීම. ඉතින් මෙම පොතේ අන්තර්ගතය දොරට වැඩීමෙන් පසුව දන්වන්නම්.
මේ සිහිනය සැබෑ කරගන්න උදව් වුණු පිරිසක් ඉන්නවා. මුලින්ම මා දිරිමත් කළ නිහාල් වික්‍රම එදිරිසූරිය ප්‍රවීණ මාධ්‍යකරුවා. ඒ වගේම සුරස ප්‍රකාශක ප්‍රේම් දිසානායක මාමා, අම්මා නංගි සහ ඇයගේ සැමියා සහ නෑනා.
ඇත්තෙන්ම ඔව්. ඇය ප්‍රමුදි සෝබා පෙරේරා. ඇයටත් මට වගේම ගයන්න, වයන්න, ලියන්න, රඟන්න සහ රසවින්දන හැඟීම් හැකියා තියෙනවා. ඇයටම හරියන්න ස්වාමියකු හමුවීම වාසනාවක්. එයා මිහිරාජ් ගමගේ. එයාගෙ සොයුරිය ඒ කියන්නෙ මගේ නෑනා ඉමානි රන්දුලි ගමගේත් කුසලතා පූර්ණ කෙනෙක්. ඔවුන් මගේ කලාවට බොහොම අත දෙනවා.
ඉස්කෝලෙ කාලෙ අම්මා මටත් නංගිටත් එක වගේ සැලකුවෙ. කුසලතා දියුණු කරගන්න එයාල ඇයටත් උදව් වුණා. අපි දෙන්නටම එක මෝස්තරයේ ඇඳුම් අන්දවලා සතුටු වුණා.
අපි බොහොම උත්සාහයෙන් පෙරට ආව කුඩා පවුලක්. තාත්තා තමා මගේ වීරයා. කලා ක්ෂේත්‍රයේ වගේම සමාජයේ හොඳ නරක කියල දුන්නෙ එයා. “අප වගේම හිතලා උදව් ඉල්ලන්න එන අයට උපකාර කරන්න. අපි ගත කරන කෙටි කාලය තුළ ජීවිතය ආදර්ශමත් හා අර්ථවත් කරගෙන ඉන්න.” තාත්තා තමන් ගැන නොබලා අනුන්ට උපකාර කරන අයුරු දැකලාම මගේ අධ්‍යාත්මයත් ඊට නැඹුරු වුණා.
“හොඳ මිනිසකුය කියා අහගෙන මැරෙන්න. ඇත්නම් ඒ ඇති” තාත්තා එහෙම කිව්වෙ හරියට නාට්‍යයක දෙබසක් කියනවා වගේ.
ආදරය ගැන කොහොමද හිතෙන්නෙ?
ඒ පැනයට පිළිතුරු දෙන්නට නම් ප්‍රතිභා බොහෝ කල්මැරුවා. අන්තිමට මෙහෙම කිව්වා. “ආදරය කියන්නේ සුන්දර බලාපොරොත්තුවක්. ඒ වුණාට ආදරය මුළු ජීවිතයම නම් නොවෙයි.”
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.
‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.
සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය