IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


මහරජ ගැමුණු චිත්‍රපටියේ විහාර මහා දේවිය - කුසුම් රේණු


“චිත්‍රපටිය නිෂ්පාදනය කරන්න තීරණය කරලා අවුරුදු පහක් ගත වෙනකම්ම රූගත කිරීම් ආරම්භ කරන්න බැරි වුණා.. ඒ මූල්‍යමය ප්‍රශ්නයක් නිසා.. මමත් ඒ ගැන බලාපොරොත්තු අත් ඇරලා දාලා හිටියේ.. ආයෙමත් නිර්මාණය පටන් ගන්නවා කියලා ආරංචි වුණාම මම හිතුවා මගේ චරිතය වෙන කෙනෙකුට දෙන්න ඇති කියලා.. ඒත් ඒක මටම ලැබුණම දැනුණ සතුට අසීමිතයි..”

එසේ පැවසුවේ මහරජ ගැමුණු චිත්‍රපටියේ විහාර මහා දේවී චරිතයට පණ දුන් කුසුම් රේණුය.

මහරජ ගැමුණු අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිය. නිෂ්පාදනය කළේ ගුණපාල රත්නසේකරය. උද්දික ප්‍රේමරත්න ගැමුණු රජු ලෙසත්, ශ්‍රියන්ත මෙන්ඩිස් කාවන්තිස්ස රජු ලෙසත්, ජැක්සන් ඇන්තනි එළාර රජු ලෙසත්, යශෝධා විමලධර්ම එළාර රජු ගේ බිරිඳ ලෙසත් බුද්ධදාස විතානාරච්චි  මහාසිව තෙරුන් ලෙසත්, සාරංග දිසාසේකර තිස්ස කුමරු ලෙසත් රඟ පෑ මෙය නොමඳ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගත්තේය. 

“රුවන් වැලි සෑයට යන හැම දවසකම මට හිතෙන්නෙ මේ ගැමුණු රජතුමාගේ විහාර මහා දේවියගේ ආත්ම තවමත් ඒ වටේ සැරිසරනවා කියන හැඟීම.. ඒ වගේම ඒ වීර චරිත එක්ක මොකක්දෝ සාංසාරික බැඳීමක් තියෙනවා කියලා හිතෙනවා.. ඒ හින්දම විහාර මහාදේවී චරිතය රඟ පාන්න ලැබුණම මට පුදුමෙකුත් දැනුණා..” කුසුම් රේණු පැවසුවාය. 

එම චරිතයට මොන තරම් ඇලු‍ම් කළේ ද යත් ඇය මාස කිහිපයක් තිස්සේම සිරුරේ බර අඩු කර ගනිමින්, භාවනා ආදියෙන් අධ්‍යාත්මික ශක්තිය වැඩිදියුණු කර ගනිමින් ඒ සඳහා සූදානම් වූවාය.

“මේ චිත්‍රපටියේ මුහුරත් උළෙල පවත්වන්න නියම වෙලා තිබුණේ ජනවාරි නව වෙනිදාවක.. ඒ වෙනකොට මගේ දුව ගැබිණියක්.. ඇය එංගලන්තෙ ඉඳලා ලංකාවට ආවේ දරුවා මෙහෙදී ලැබෙන්න හිතාගෙන.. එංගලන්තෙ වගේම ලංකාවේ වෛද්‍යවරුත් ප්‍රසූත දිනය ජනවාරි අට කියලා නියම කරලා තිබුණේ.. ඉතින් මට හිතුණා නව වෙනිදා මුහුරත් උළෙලට යන්න බැරි වෙයි කියලා.. මම ජයන්තගෙන් ඇහැව්වා මම ආවෙ නැතුවට කමක් නෑ නේද කියලා.. එහෙම වුණොත් මුහුරත් උළෙල මනමාලි නැති මඟු‍ල් ගෙදර වගේ වෙයි කියලා ජයන්ත කිව්වා.. ඒ වචන මගෙ හිතට තදින්ම වැදුණා..”

චිත්‍රපටියේ මතක අවදි කරමින් කුසුම් රේණු පැවසුවාය.  

දියණියට අට වෙනිදාට කලින් දරුවා ලැබෙන බැව් සවැනි ඥානයකින් මෙන් ඇයට දැනිණි. 

“පුතේ.. ඔයාට දරුවා ලැබෙන්නෙ ජනවාරි හත් වෙනි දා..”

ඇය අවධාරණයෙන් කියද්දී දියණිය සිනාසුණේ වෛද්‍යවරුන්ට වඩා අම්මා දන්නවාදැයි සිතමින් විය යුතුය. එහෙත් කුසුම් රේණු සිය සිතට කා වැදුණ අදහස තදින්ම පෝෂණය කළා මිස  මොහොතකටවත් බැහැර යන්නට ඉඩ දුන්නේ නැත. 

හය වෙනිදා ඇය බැබිල මුල් ටිකක් සොයා ගෙනවිත් අංගුලිමාල පිරිත සජ්ජායනා කරමින් ඒවා සෝදා සුදුළුෑණු ටිකක් ද සමඟින් තැම්බුවාය. එයින් ටිකක් දියණියට පානය කරන්නට දුන්නේත් පිරිත සජ්ජායනා කරමින්මය. පුදුමයකි. එදා සවස් වන විට ඇයට ප්‍රසූත වේදනා දැනෙන්නට පටන් ගත්තේය. 

“ඉතුරු බැබිල මුල් වතුර ටිකත් බොන්න දීලා අපි ඇයව රෝහල්ගත කළා.. විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න.. හත් වෙනිදා හවස දරුවා ලැබුණා.. අට වෙනිදා එයාලව ගෙදර එක්කන් ආවා.. නව වෙනිදා මම මහරජ ගැමුණු මුහුරත් උළෙලට ගියා..”

ඇය කියාගෙන ගියේ හපන්කමක් කළ කුඩා දැරියකගේ කටහඬිනි. 

ඓතිහාසික චරිතයකට පණ පෙවීම සැබැවින්ම අභියෝගයකි.  එහෙත් කුසුම් ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දුන්නාය. 

“වර්තමානයේ ජිවත් වෙමින් අනාගතය දකින චරිතයක් විදියට තමයි මට මේ චරිතය දැනුණේ.. මම චරිතයට ආරූඪ වුණේ කිසිම කෙනෙක් එක්ක කතා නොකර දුරකථනයෙන් පවා මිදිලා හිත එක්තැන් කරගෙනයි..  චරිතය වෙනුවෙන් නිර්මාණය වුණ ගාම්භීරත්වය මුසු වුණ වටපිටාව හරිම සුන්දරයි.. ඕනම කෙනෙකුගේ දක්ෂතාවන් ඉස්මතු කර ගන්න හැකියාවක් ඇති තියුණු ඇහැක් තියෙන අධ්‍යක්ෂවරයෙක් ජයන්ත චන්ද්‍රසිරි කියන්නෙ.. ඉතින් මට චරිතයට සාධාරණය ඉෂ්ට කරන්න අසීරු වුණේ නෑ..” ඇය කීවාය. 

කාවන්තිස්ස රජු සිය පුතු දඟ ගෙයට දමන්නට නියම කළ විට විහාරමහා දේවිය හඬමින් දිව යන දර්ශනය අදටත් සිය දෑසට කඳුළු නංවන තරමට හැඟීම්බර බැව් කුසුම් රේණු පවසන්නීය. දරුවන් වෙනුවෙන් හදවතින් හඬා වැටුණ මව්වරුන්ගේ කතාන්දරය ඒ තුළ නොමඳව සටහන් වී තිබිණි. 

කාවන්තිස්ස රජු මිය යන දර්ශනය ද ඇයට කවදාවත් අමතක වන්නේ නැත. 

“මැරෙන්නෙ කාවන්තිස්ස රජ්ජුරුවෝ බව ඇත්ත.. ඒත් ඒ  චරිතය රඟ පෑවේ ශ්‍රීයන්තනෙ.. ඒ හින්දා හිත ටිකක් සසල වුණා.. පෙරහුරුවේදී මම හිත හදා ගත්තා.. ඒ ඉන්නෙ ශ්‍රියන්තවත් මම කුසුම් රේණුවත් නෙමෙයි කියලා කීප සැරයක්ම හිතට කියා ගත්තට පස්සෙ මට ඒ දර්ශනය තාත්විකව රඟ පාන්න හැකියාව ලැබුණා..” ඇය පැවසුවාය. 

චිත්‍රපටියේ තමා වඩාත්ම කැමති අවසාන දර්ශනයට බැව් ඇය කියන්නීය. සැබැවින්ම එහි ඇය දිස් වන්නේ දේවාත්මයක් බඳුවය. තෙරුන් වහන්සේට වැඳ සාමනේරවරුන් දෙස ද දයාන්විත බැල්මක් හෙළා ඇය බෝධිය දෙසට ඇවිද යන්නේ ඒ ශාන්ත පරිසරය සමඟ ඒකාත්මික වූවාක් මෙනි. විහාර මහා දේවී වෙනුවෙන් ඇයට හොඳම සහාය නිළිය සම්මානය ද ලැබුණි. 

“මගේ අම්මා මිය ගිහින් අවුරුදු දෙකක් පිරුණ දවසේ තමයි මට ඒ සම්මානය ලැබුණේ.. ඒකත් විශේෂත්වයක්.. ” ඇය පැවසුවාය. 


චන්දි කොඩිකාර


 



අදහස් (0)

මහරජ ගැමුණු චිත්‍රපටියේ විහාර මහා දේවිය - කුසුම් රේණු

ඔබේ අදහස් එවන්න

සඳැල්ල

මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ දුවත් එක්ක - දිනුෂා සිරිවර්ධන
2024 සැප්තැම්බර් මස 05 21 0

විවාහයෙන් පසුව දිනුෂා සිරිවර්ධන රඟපෑමෙන් දකින්නට නැති වුණාට, සමාජ මාධ්‍ය ඔස්සේ නම් නිතර හමුවෙනවා.


’’ලියෝ ’’ එක්ක ගත කරන කාලය හිතට සැනසීමක් - යශ් වීරසිංහ
2024 සැප්තැම්බර් මස 05 19 0

යෂ් කියන විදියට සුරතල් සතෙක් ඇතිකරනවා කියන්නේ, ලොකු වගකීමක්. එයා වෙනුවෙන් වෙනම කාලයක් වෙන් කරන්නවීමයි ඊට හේතුව. ඒ සතාට අවශ්‍ය ආදරය ලබා දෙන්න පුළුවන් න


වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා
2024 අගෝස්තු මස 23 105 0

වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි.


මම පුතාට හොඳ යාළුවෙක් - තුමිඳු දොඩන්තැන්න
2024 අගෝස්තු මස 23 194 0

ඔබ බෙහෙවින් ආදරය කරන අමෙ ආදරණීය රංග ශිල්පියා වසර දෙකකට විතර ආසන්න කාලයක් ලංකාවේ හිටියේ නැහැ.


හැඩට දුවන DINARA
2024 අගෝස්තු මස 23 76 0

සමාජ මාධ්‍යයේ වගේම මලල ක්‍රීඩාව කෙරෙහි උනන්දුවක් ඇති බොහෝ දෙනා අතර මේ තුරුණු ක්‍රීඩිකාව ජනප්‍රියව සිටින්නේ මෙරට මලල ක්‍රීඩා පිටියේ සිටින ලස්සනම ක්‍ර


වඩාත් වැදගත් වන්නේ සවිඥානිකව වැඩ කිරීමයි - ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු විශ්‍රාමික නාවික රියර් අද්මිරාල් නිශාන්ත ද සිල්වා
2024 අගෝස්තු මස 07 81 0

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන්නේ ආරක්ෂක සේවා අංශයේ හිටපු ක්‍රිකට් සභාපති සහ විශ්‍රාමික හමුදා නිලධාරියකු වන නාවික රියර් අද්මිරාල


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site