ඈත අතීතයේ ඕනෑ තරම් නාටිකාංගනාවන් සිටි බැව් ඇත්තකි. එහෙත් ටීටර්වල ගැහැනු චරිත රඟ පාන ලද්දේ පිරිමින් විසින්මය. පිරිමින් හා හරිහරියට රඟ පාන්නට එකල තිබූ සමාජ සංස්කෘතික වටපිටාවෙන් කාන්තාවට අවසර නොලැබීම එයට හේතු වෙන්නට ඇත. එහෙත් ඕනෑම ක්ෂේත්‍රයක දොරටු කාන්තාවන් වෙනුවෙන් පුළුල්ව විවර වී පවතින වර්තමානයේ නළුවෙකු කාන්තා වෙස් ගෙන චිත්‍රපටියක රඟ පෑම පුදුමයට හේතුවකි. ඒ නළුවා චිත්‍රපටි ගණනාවක ප්‍රධාන චරිත රඟ පෑ අයෙකු වීම පමණක් නොව පවතින රජයේ ඇමති ධුරයක් හොබවන තැනැත්තෙකු වුවහොත් ඒ පුදුමය වඩාත් වැඩි වී සමාජයේ කතිකාවක් ද නිර්මාණය වන්නේය.
මා මේ අටුවාටීකා කියන්නේ කා පිළිබඳවදැයි දැනටමත් ඔබ අනුමාන කර ඇති බැව් සහතිකය. ඔව්.. ඒ අනුමානය නිවැරදිය. ඒ ඔහුය.රන්ජන් රාමනායක..
හැමදාමත් විවාදයට තුඩු දුන් චරිතම රඟ පෑ, සැබෑ ජීවිතයේදීත් විවාදාත්මක ප්‍රකාශ කරන්නට, හැසිරෙන්නට නොපසුබට වෙන, ඒ වෙනුවෙන් හිරේ විලංගුවේ වැටෙන්නට සිදු වුණත් නොසැලී සිටින අපූරු පුද්ගලයා ඔහුය. මායා චිත්‍රපටියේ ගැහැනියකගේ චරිතය රඟ පා චිත්‍රපටි ක්ෂේත්‍රයම උඩුයටිකුරු කරන්නට ඔහු සමත් වූයේය.
“මම අභියෝගවලට බය කෙනෙක් නෙමෙයිනෙ.. ඒත් චිත්‍රපටියක ගැහැනියක් විදියට රඟ පාන්න ආරාධනාවක් ලැබුණම නම් මම ටිකක් මන්දෝත්සාහී වුණා.. මම චිත්‍රපටිවල ගැහැනු චරිත නිරූපණය කරලා තිබුණා තමයි.. ඒත් ඒවා දර්ශන දෙකතුනකට සීමා වුණ ඒවා.. මෙහෙම ප්‍රධාන චරිතයක් රඟ පාන එක ලේසිපාසු දෙයක් නෙමෙයිනෙ.. ඊටත් වඩා ඒ වෙනකොට මම රජයේ ඇමතිවරයෙක්.. මේ චරිතය මගේ දේශපාලන ජීවිතයට, සිනමා ජීවිතයට මොන විදියට බල පායි ද කියන චකිතය මට තිබුණා.. ඒ චරිතය මගේ දේශපාලන විරුද්ධවාදීන් මට එරෙහිව යොදා ගන්නටත් පුළුවන් නේද කියලා මට හිතුණා..”
මායා චිත්‍රපටිය වෙනුවෙන් ගැහැනියක වීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දුන් රන්ජන් රාමනායක ඒ පිළිබඳව පිළිසඳරකට එක් වෙමින් කියාගෙන ගියේය.
කාංචනා දෙමළ චිත්‍රපටිය ඇසුරු කරගෙන පුබුදු චතුරංග විසින් තිර රචනය කරන ලද මායා අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් ජයන්තය. කීර්තිමත් සහාය අධ්‍යක්ෂකයෙකුව සිටි ඩොනල්ඩ් අධ්‍යක්ෂණය කළ දෙවන චිත්‍රපටිය මායාය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද පළමු ත්‍රිමාණ චිත්‍රපටිය මායා වීමත් විශේෂත්වයකි. මෙහි රූගත කිරීම් ඉන්දියාවේත් සිදු විණි. එම නිසාම වැඩිම නිෂ්පාදන පිරිවැයක් සහිත චිත්‍රපටි අතරට මායාත් එක් වන්නේය. එහි අවසන් සටන් ජවනිකාව කෙරුණේ ඉන්දියාවේ කොචින්හිදීය. රාත්‍රී තුනක් පමණක් රූගත කළ ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ අසූවක් වැය වී තිබිණි. එහි මුළු වියදම මොන තරම්දැයි එයින්ම අනුමාන කර ගත හැකිය.
මායා නිෂ්පාදක සදේශ් කුමාර් ගේ සිතේ ඇඳී තිබුණේම රන්ජන් රාමනායකගේ රුවය. ඔහු චරිතය බාර නොගන්නේ නම් චිත්‍රපටිය නිෂ්පාදනය නොකරන ස්ථාවරයක සදේශ් සිටියේය. එම නිසාත් තිර පිටපත කියවද්දී දැනුණ ආස්වාදය නිසාත් අවසානයේ චරිතය බාර ගන්නට රන්ජන් එකඟ වූයේය.
“පිරිමියෙක් ගැහැනු වෙස් ගන්වන එක ලේසි දෙයක් නෙමෙයිනෙ.. ඉස්සර වෙලා තීරණය කරගෙන හිටියෙ ඒ වෙනුවෙන් ඉන්දියානු ශිල්පියෙක් ගෙන්වන්න.. ඒත් නලීන් ප්‍රේමතිලක ඒ අභියෝගය බාර ගත්තා... කාන්තා පෙනුම එන ආකාරයට කෘත්‍රිම උකුළක්, පපුවක් පැලඳගෙන, සාරි, හැට්ට ඇඳගෙන, රූපාලංකරණය කරගෙන රඟ පාන එක කොයි තරම් අමාරු ද කියලා දන්නෙ ඒ වගේ අවස්ථාවකට මූණ දුන්න කෙනෙක් විතරයි... ඊටත් වැඩිය අසීරු දේ තමයි කාන්තා ඉරියව් අනුගමනය කිරීම.. මේ වෙලාවේ මං කාන්තාවක් කියන එක තදින්ම හිතට කාවද්දා ගත්තෙ නැත්නම් දන්නෙම නැතුව පිරිමි හැසිරීම් ප්‍රදර්ශනය වෙනවා..” රන්ජන් පැවසුවේ සිනාසෙමිනි.
සටන් ජවනිකාවලදී නම් තමා ගැහැනියගේ චරිතයකට පණ පොවන බැව් රන්ජන්ට අමතක වෙන්නේය. ඔහු තමාට හුරුපුරුදු ආක්‍රමණශීලී සටන් විලාසයට එළඹෙද්දි ඉන්දියානු ජාතික සටන් අධ්‍යක්ෂවරයා ද අපහසුවට පත් වූ අවස්ථා තිබිණි. ඔහු ගැහැනියක බැව් රන්ජන්ට ඒත්තු ගන්වන්නට ලොකු වෙහෙසක් ගන්නට සටන් අධ්‍යක්ෂවරයාට සිදු විණි.
ගැහැනු වෙස් ගත් රන්ජන් සැබෑම යක්ෂණියක ලෙස සිතා බියෙන් ත්‍රස්ත වූ මිනිසුන් පිළිබඳ මතක ද ඔහු අවදි කළේය.
“දවසක් පාන්දර හතරට වැල්ලවත්තේ ෂූටින් තිබුණා.. මම යක්ෂණියක් විදියට මේක් අප් එකත් දාගෙන හිටියෙ.. කම්මැළිකමට ඔහේ ඇවිදගෙන යනකොට මම දැක්කා ෆයිල් එකකුත් අතේ තියා ගත්ත පිරිමි කෙනෙක් මුහුද දිහා බලාගෙන ඉන්නවා.. මං හිතන්නෙ පාන්දර වැඩට යන්න එහෙම නැත්නම් ඉන්ටර්වීව් එකකට යන්න ආව කෙනෙක්.. මම හෙමිහිට එතෙන්ට ගියා.. මාව දැක්කා විතරයි මිනිහා ෆයිල් එකත් විසි කරලා දාලා බුදු අම්මෝ කියලා කෑ ගහගෙන දුවගෙන ගියා.. මට එතකොටයි කරපු වැඩේ බරපතළකම තේරුණේ.. මම ෆයිල් එක දෙන්න හිතාගෙන පිටිපස්සෙන් දුවනකොට මිනිහා තව ටිකක් හයියෙන් දිව්වා.. ටික වෙලාවකට පස්සෙ තව කීප දෙනෙක් එක්ක ආපහු ආවා.. එයා හිතලා තියෙන්නෙ ලේ බොන්න ආව යක්ෂණියක් කියලා. එතන සුනාමියෙන් මැරුණ කෙනෙකුගේ හොල්මන තියනවා කියලා කවුරු හරි මිනිහව තවත් ටිකක් බය කරලා.. කොහොම හරි ඒ හොල්මනක් නෙමෙයි රන්ජන් රාමනායක කියලා මිනිහට ඒත්තු ගන්වන්න වෙනම මෙහෙයුමක් කරන්න ඩොනල්ඩ් ජයන්තට සිද්ද වුණා..”
ඔහු කියාගෙන යද්දී ඒ ජවනිකාව ඇස් ඉදිරිපිට මැවී මගේ සිරුරත් ලොමුදැහැ ගැන්වුණේය.
මේ දිනවල අලුත් චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කරන්නට සූදානමින් සිටින බැව් රන්ජන් පැවසුවේය. පාර්ලිමන්ට් ජෝක්ස්, වන් ෂොට්, ඩොක්ටර් නවරියන්, ලීඩර් ඔහු විසින් මීට පෙර ලියා අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපටිය.
“මම අවුරුද්දයි මාස අටයි දින දාහතරක් හිරේ ඉඳලා ආවේ.. අවාසනාවකට ඒ කාලේ කොවිඩ් වසංගතෙත් සෙට් වුණා.. අගුණකොළපැලැස්සේ හිර ගෙදරකට වෙලා මහා පාළුවෙන්, මදුරුවන්ගෙන් පීඩා විඳවිඳ හිටිය කාලෙ අත්දැකීම් ඔක්කොම මම ලියලා තියෙනවා.. කවදා හරි ඒක පොතක් විදියට නිකුත් වෙයි.. හඬක් නැති මිනිසුන් වෙනුවෙන් හඬක් නඟලා හිරේ ගියාට මම පසුතැවිලි වෙන්නෙ නෑ... අලුත් පක්ෂෙකින් ආයෙමත් සක්‍රිය දේශපාලනේට එකතු වෙලා අලුත් විදියෙ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම තමයි මගේ අනාගත බළාපොරොත්තුව..” ඔහු කියන්නේය.
චන්දි කොඩිකාර
ඉතින් එදා එහෙම කිව්ව සෙව්වන්දි යනු, ගහේ කටු උල් කරන්න ඕනෑ නැහැ වගේ ශිල්පිනියකි. ඇයගේ මව විශාරද නිර්මලා රණතුංගය. පියා නැසීගිය විශාරද දර්ශනපති විජේරත්න ර
ඈත අතීතයේ ඕනෑ තරම් නාටිකාංගනාවන් සිටි බැව් ඇත්තකි. එහෙත් ටීටර්වල ගැහැනු චරිත රඟ පාන ලද්දේ පිරිමින් විසින්මය.
ඇය මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනා සිටින්නේ මිලා නිසයි. මිලා නමින් ඇය ප්‍රේක්ෂකයන් අතරට එන්නේ සුපුන් රත්නායකගෙ ලලයි-ලිලයි-ලයි ටෙලි මාලාව සමගයි.
මෙවර Youth Peak විශේෂාංගය හැඩ වෙන්නේ - මේ දිනවල බොහෝ පාඨකයන්ගේ ආකර්ෂණය දිනාගත් තම කවි තුළ පාඨක සිත් සතන් අතරමං කළ තරුණ කවියෙක්.
තාරුණ්‍යයේ සිත් වශී කරවන කඩවසම් පෙනුමත්, ඊටම ආවේණික මනා හඬ පෞරුෂයකිනුත් සමන්විත ඔහු - නමින්, නිසල නිපුන් රසාංජන හෙට්ටිආරච්චි යි.
2009 වර්ෂයේ නිර්මාණය වූ උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ’’පායා එන්න හිරුසේ’’ සිනමා පටය හරහා ශ්‍රී ලාංකීය සිනමාවට පෑයු වර්ණවත් තාරකාවිය උදාරි වර්ණකු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රන්ජන් රාමනායකගේ ගැහැනු මායාව