වේදිකාව, පුංචි තිරය, රිදී තිරය එක ලෙසම ජය ගත් නළුවන් සිටින්නේ අතළොස්සකි. පාලිත සිල්වා ඒ අතළොස්සේ ඉදිරියෙන්ම හිඳින විශිෂ්ටයෙකි. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියමන බොරු කරමින් ඔහු බොහෝ අංශවලින් සිය කුසලතා පිළිබිඹු කරන්නේය. ඔහු අධ්‍යක්ෂවරයෙකි. නිෂ්පාදකයෙකි. පිටපත් රචකයෙකි. පොත් කතුවරයෙකි. අසූව, අනූව දශකවලදී බොහෝ යුවතියන්ගේ සිහින කුමරා වී සිටියේත් පාලිත සිල්වාය. ඔහු රඟපාන ටෙලි නාට්‍යයක්, චිත්‍රපටියක්, වේදිකා නාට්‍යයක් නරඹන්නට ඔවුහු පුලපුලා බලා සිටියහ. මේ වන විට ඔහු සාජන්ට් නල්ලතම්බි, ඒකා අධිපති, සිකුරිටි සින්නතම්බි, කැළණි පාලම ඇතුළු වේදිකා නාට්‍ය රැසක ද, ටෙලි නාට්‍ය හයසීයකට ආසන්න සංඛ්‍යාවකද, චිත්‍රපටි සියයකට අධික සංඛ්‍යාවකද රඟ පා තිබීම විස්මය දනවන්නකි. එමෙන්ම ඔහුට රඟ පාන්නට නොහැකි චරිතයක් නැත.
“දැන් මගෙ රංගන ජීවිතයට අවුරුදු 42 ක්.. මම ධර්මපාල තුමාගෙ චරිතෙත් රඟ පෑවා.. දේවදත්තගේ චරිතෙත් රඟ පෑවා.. තව ඉස්සරහට මොන මොන චරිතවල රඟ පායි ද දන්නෙ නෑ..”
ඔහු කියන්නේ එම නිසාය.
1995 ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ වැද්දන් මූලික කරගත් වන වදුලේ වසන්තය ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ට පමණක් නොව එහි පොරමොලා ලෙසින් රඟ පෑ පාලිත සිල්වාටත් අපූරු අත්දැකීම් ලබා දුන්නේය. ප්‍රවීණ ලේඛක පියසේන කහඳගමගේ ගේ කතාවක් ඇසුරු කරගෙන ටෙලි නාට්‍යය නිර්මාණය කරන ලද්දේ සුදත් රෝහණ විසිනි. තිර පිටපත උපාලි රංජිත්ගේය. පොරමොලාගේ පෙම්වතිය ලෙස චම්පා ශ්‍රියානි රඟ පෑවාය.
“වන වදුලේ වසන්තය ටෙලි නාට්‍යයට ආරාධනා ලැබෙනකොට මම ටෙලි නාට්‍ය සීයකට ආසන්න ප්‍රමාණයක් රඟ පාලා තිබුණේ.. පොරමොලා චරිතය හැම එකකටම වඩා වෙනස් හින්දා මම බොහොම ආසාවෙන් ඒක බාර ගත්තා.. රූගත කිරීම් තිබුණේ බලංගොඩ ඉඳලා කිලෝ මීටර් තිහක් විතර දුර කල්තොට පැත්තේ.. ඒ දවස්වල ඒක බොහොම නොදියුණු, දුෂ්කර ගම්මානයක්.. එහෙ ඉඳන් බලන්ගොඩට එක බස් එකයි වැඩ කළේ.. ඉතින් කෝල් එකක් ගන්න ඕන වුණාම අපි ඒ බස් එකේ නැඟලා බලංගොඩ හන්දියට යනවා.. ඊට පස්සෙ ඒ බස් එකේම ආපහු එනවා.. සමහර දවස්වලට බස් එක කැඩෙනවා.. එතකොට කිලෝ මීටර් විස්සක් විතර පයින්ම එන්න සිද්ද වෙනවා..”
ටෙලි නාට්‍යය රූගත කළ කාලයේදී ලැබුණ කටුක අත්දැකීම් සිහිපත් කරමින් පාලිත සිල්වා පැවසුවේය.
පාලිතත් තවත් කිහිප දෙනෙකුත් වලවේ ගඟෙන් නිර්මාණය වන දූවිලි ඇල්ල ආසන්න කැලයේ දෙසතියක් නැවතී සිටියහ. ඒ කාලය දුෂ්කර වුවත් ඉතා සුන්දර වූයේය.
“ඒ කාලේ කල්තොට ගමේ අය අපිට හුඟාක් උදව් කළා.. විජේ කියලා කෙනෙක් තමයි කෑමබීම හදලා දීලා අපිව රැක බලා ගත්තෙ.. දඹානේ ගුණවර්ධන මහත්තයා ඇසුරු කරන්න ලැබීමත් ලොකු භාග්‍යයක්.. වැදි භාෂාව කතා කරන හැටි, පැරණි වැදි ජනතාවගෙ නෑ යකුන් පිදීම වැනි චාරිත්‍ර, ගායනා වගේ දේවල් ඔහු තමයි කියලා දුන්නෙ.. මේ චාරිත්‍රවල විද්‍යාත්මක පැත්ත හරි ප්‍රබලයි කියලා මම ඒ කාලේ තේරුම් ගත්තා.. ඇත්තටම ගුණවර්ධන මහත්තයා නොහිටියා නම් මට මේ චරිතයට අනුගත වෙන්න ලේසි වෙන එකක් නෑ.. ...ඒ වගේම පියසේන කහඳගමගේ මහත්තයා හමු වෙන්නත් මට අවස්ථාව ලැබුණා..” පාලිත පැවසුවේය.
කැලෑ ජීවිතයට හුරුපුරුදු වීම මුලින් මුලින් බොහෝ අසීරු වූයේය. වියළි වනාන්තරයක් වූ එහි කූඩැල්ලන් අඩු වුවත්, කිනිතුල්ලන් මැක්කන්, සර්පයන් බහුල වූයේය. ගස් ගල් මැද්දෙන් ඇවිද යද්දී පය හැප්පීමෙන්, ඇද වැටීමෙන් ඔවුහු තුවාල ලදහ. ගල් කුළකින් ලිස්සා පහළට ඇද වැටීම නිසා වරක් පාලිතගේ කකුලක ද ලොකු පැලුම් තුවාලයක් ඇති වූයේය.
“දවස් අසූවක් මහ කැලයක් මැද්දෙ ටෙලි නාට්‍යයක් රූගත කරනකොට ඒ වගේ අනතුරු සාමාන්‍යයි.. එක සැරයක් අපි ගං වතුරකට අහු වෙලා අනූනවයෙන් ජීවිත බේරුණේ.. එදා කැලේට වැස්ස තිබුණේ නෑ.. අපි යනකොට වේලි ඔයේ තිබුණේ අඩි හතරක් විතර වතුර මට්ටමක්.. ආපහු එනකොට එක පාරටම ලොකු ජල කඳක් ආවා.. ගඟ ඉහළට වැහැලා කියලා කවුදෝ කියනවා ඇහුණා.. අපිට පිටි පස්සෙන් කට්ටිය කතා කරනවා ඇහෙනවා.. ඒත් පෙනෙන්නෙ නෑ.. රුක්මන් නිරෝෂනුයි මමයි පොඩි වැලි දුපතක් වගේ තැනකට කොටු වුණා.. අමාරුවෙන් එතනින් බේරිලා කැලේ මැද්දෙන් ගිහින් ගෙයක් ළඟට ආවා.. බඩගිනි ඉන්න හිටින්න බැරිව.. ඒ ගෙදර හිටිය අය අපිට කන්න උයලා දුන්නා.. වතුර බහිනකම් සෑහෙන වෙලාවක් ඉඳලා කට්ටිය එකතු කරගෙන වෑන් එකට ඇවිත් යන්න පිටත් වෙනකොට වලවේ ගඟ උතුරනවා.. ආයෙමත් මඟ නවතින්න වුණා.. සැරින් සැරේ නැවතිනැවතී බොහෝම අමාරුවෙන් තමයි නවාතැනට ගියේ.. තව දවසක් අපේ රෙකෝඩිස්ට් කළ්‍යානන්ද හෙළකට ඇද වැටිලා තුවාල වුණා.. දැන් මතක් කරනකොට හිතා ගන්නත් බෑ. අපි ඒ වගේ භයානක දේවල්වලට මූණ දුන්නෙ කොහොමද කියලා.. හැබැයි අපි ඒ අඩවිය භාර මංගර දෙයියන්ට, කතරගම දෙයියන්ට භාරහාර වෙලා පුදපූජා පවත්තලා තමයි රූගත කිරීම් පටන් ගත්තෙ.. ඒ හින්ද ද මන්දා අපිට ලොකු උවදුරුවලට මූණ දෙන්න සිද්ද වුණේ නෑ.. අඩුම ගාණෙ සර්පයෙක් දෂ්ට කළේවත් නෑ..”
පාලිත කියාගෙන යද්දී මම අතරමැදින් ඔහුගේ කතාවට පැන බාධා කළෙමි.
“එච්චර දුෂ්කර ක්‍රියා කරලා නිර්මාණය කරපු ටෙලි නාට්‍යයක් හින්දා සම්මාන එහෙම හුඟක් හම්බ වෙන්නත් ඇති නේද..?”
මා ඇසූ විට ඔහු උපහාසාත්මක සිනාවක් පෑවේය.
“කිසිම සම්මාන උත්සවයකින් එකම සම්මානයක්වත් ලැබුණෙ නැති ටෙලි නාට්‍යය තමයි වන වදුලේ වසන්තය..”
හැම සම්මාන උත්සවයකම තත්ත්වය එය නොවන්නේදැයි මට සිතිණි. එහෙත් මම ඒ පිළිබඳව කතා නොකර පොරමොලා දඩයමේ ගොස් කර ගසාගෙන ආ සතුන් පිළිබඳව ඇසීමි.
“මම කර තියාගෙන ආවේ ඌරු පැටියෙක්.. ගමේ කෙනෙක් තමයි ඒ ඌරු පැටියව ගෙනත් දුන්නෙ.. මුල් දවස්වල ඌට බෙහෙත් දීලා මත් කරලා තමයි කරට ගත්තෙ.. ඒත් පස්සෙ මම බිම තියලා මැරුණා වගේ ඉන්න කිව්වම නොහෙල්ලී ඉන්න තරමට හීලෑ වුණා.. අපිත් එක්කම සෑහෙන කාලයක් හිටියනෙ.. සත්තු බලා ගන්න තැනකට හදා ගන්න දීලා අපි ආපහු ආවේ.. දාලා එනකොට දුකත් හිතුණා..” පාලිත පැවසුවේය.
මේ දිනවල ඔහු පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ රඟ පාන්නේය. නැවතත් පොතක් ලිවීමේ ආශාව ඇතත්, ඒ සඳහා වුවමනා විවේක බුද්ධිය තවමත් ලැබී නැති බැව් ඔහු කියයි.
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී
ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම චිත්‍රපටි ක්ෂේත්‍රයේත් සිහින කුමරා ලෙසින් වැජඹුණ චන්න පෙරේරාට සෙනසුරු මාරුව චිත්‍රපටියේ නිසල් අභියෝගයක් වූයේය.
‘අයියයි-මල්ලියි’ යන සහෝදර බැඳීම ගැන මැනීමට මිනුම් දඬු අවැසි නොවේ. සහෝදර බැඳීම යනු අන් කවර බැඳීමකට වඩා අරුත් බර වූවකි.
සිරස වොයිස් ටීන් රියැලටිය හරහා ගායන ක්ෂේත්‍රය තුළ වාඩාත් ජනාදරයක් දිනා ගන්නා ඇය එක රැයකින් තමන්ගේ ජීවිතය වෙනස් මාවතකට රැගෙන ගිය ගායන තරුවකි. ගායිකාව
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
වන වදුලට වසන්තය උදා කළ පොරමොලා - පාලිත සිල්වා