“මුඩුක්කුවක ගෑනියෙකුගෙ චරිතය රඟ පාන්න සනෝජා බිබිලෙට පුළුවන් ද..? බලන්නකො එයාගෙ පෙනුම.. එයා හරියන්නෙ කොළඹ හතේ නෝනලගෙ චරිතවලට.. ඕකට ස්වර්ණා මල්ලවාරච්චි වගේ කෙනෙක් ගත්තොත් මිසක් නැත්නම් ෆිල්ම් එක දුවවන්න හම්බ වෙන්නෙ නෑ..”
සුදු අක්කා චරිතයට සනෝජා බිබිලේ තෝරා ගත් බව දැන ගත් විට බොහෝ චිත්‍රපටි අධ්‍යක්ෂවරු සුදු අක්කා අධ්‍යක්ෂ මිල්ටන් ජයවර්ධනට අනතුරු ඇඟවූහ. ඇය චිත්‍රපටියට යොදා ගන්නට එකහිත් දරාගෙන සිටි මිල්ටන් දෙගිඩියාවකට පත් වූයේය. ඔහු හිසේ අත ගසාගෙන කල්පනා කරමින් සිටියදී විසඳුමක් ගෙනාවේ සංජය ලීලාරත්නය. චිත්‍රපටියේ ඇගේ පෙම්වතාගේ චරිතය රඟ පාන්නට නියමිතව සිටියේ ඔහුය.
“සනෝජට මේ චරිතේ හොඳටම රඟ පාන්න පුළුවන්.. බෑ කියලා හිතෙනවා නම් එයාව අයින් කරන්න.. හැබැයි මාත් ෆිල්ම් එකෙන් අයින් වෙනවා..” ඔහු තිර හඬින් කීවේය.
මිල්ටන් ජයවර්ධනගේ දෙගිඩියාව තුරන් කරන්නට ඒ වචන පෙළට හැකි වූයේය. සනෝජාට ප්‍රධාන චරිතය ලැබිණි.
“ඇත්තටම අපේ සිනමා ක්ෂේත්‍රයේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි පෙනුමයි හැකියාවයි සන්සන්දනය කරන එක.. ඒ හින්දම හුඟාක් දක්ෂතා තියෙන අය එකම චරිතවලට කොටු වෙනවා.. මුඩුක්කුවල පැහැපත් කාන්තාවෝ ඉන්න බැරි ද..? මහත කාන්තාවන්ට රඟ පාන්න බැරි ද..? අනිත් එක මේකප් කියලා ජාතියක් තියෙන්නෙ නළුනිළියන්ගෙ පෙනුම චරිතයට ගැළපෙන විදියට වෙනස් කරන්න තමයි.. ඒ ටික තේරුම් ගන්න බැරි තරම් පටු හිත් තියෙන අය මේ ක්ෂේත්‍රයේ ඉන්නවා.. අපේ සිනමාව මේ තරමට කඩා වැටෙන්නත් ඔය වගේ පටු ආකල්ප බලපාන්න ඇති කියලා මට හිතෙනවා..” සුදු අක්කා චරිතය ගැන කතා කරන්නට පටන් ගනිමින් සනෝජා පැවසුවාය.
සුදු අක්කා මුඩුක්කු පරිසරයක ජීවත් වෙන රූමත් ගැහැනියකි. ඇගේ සැමියා ජෝ අබේවික්‍රමය. සංජය ලීලාරත්න බොහෝ උත්සාහ කර ඇය සිය වසඟයට ගන්නේය. ඔවුන්ගේ සම්බන්ධය සෑහෙන තරම් දුරදිග ගියත් ටික කලකදී ඔහුට ඇය එපා වී ඒ පෙදෙසේම වෙනත් කාන්තාවක හා හාද වෙයි. ඒ පිළිබඳව දැන ගත් විට සුදු අක්කා බොහෝ සෙයින් කිපෙන්නීය. ඇය මඟ රැක සිට මන්නයකින් කොටා ඔහු මරා දමයි.
“ඇත්තටම පුදුමාකාර කැප වීමකින් කරපු චිත්‍රපටියක් තමයි සුදු අක්කා.. ඒ වගේම මිල්ටන් ජයවර්ධන කියන්නෙ මොන තරම් විශිෂ්ට අධ්‍යක්ෂවරයෙක් ද කියලා මම තේරුම් ගත්තෙ ඒ චිත්‍රපටියෙන්.. ඔහු මට දීපු මුල්ම උපදෙස තමයි ඉස්සර වෙලා චරිතෙ අධ්‍යයනය කරන්න කියන එක.. ඉතින් මම නාරාහේන්පිට තිබුණ පැල්පත් නිවසක නැවතිලා ඒවයෙ කාන්තාවෝ හැසිරෙන විදිය අධ්‍යයනය කෙරුවා.. ඊට පස්සෙ තමයි චිත්‍රපටියෙ ෂූටින්වලට ගියෙ.. එයා මගෙ පෙනුම ගැන සෑහීමකට පත් වෙනකම් දහ සැරයක් විතර මේකප් කළා..” සනෝජා පැවසුවාය.
නාරාහේන්පිට පැල්පත් සංකීර්ණයේම චිත්‍රපටිය රූගත කෙරිණි. එම චිත්‍රපටියේ වූ ලිංගික දර්ශනය රඟ පාන්නට නොහැකි බැව් කියමින් සනෝජා හැඬුවාය. එහෙත් එය චිත්‍රපටියට අත්‍යවශ්‍යම දර්ශනයක් බැවින් කිසිදු ප්‍රේක්ෂක, විචාරක දෝෂාරෝපණයකට ඉඩ නොතබා එම දර්ශනය රූගත කරන්නට අධ්‍යක්ෂවරයා පොරොන්දු වූයේය. එම දර්ශනයේ තිබුණේ මහ රෑක සංජය ලීලාරත්න ඇය ඇදගෙන කෙසෙල් පඳුරක් යටට ගොස් එතැන අඹුසැමි සම්බන්ධයක් පවත්වන ආකාරයයි. ඔහු ඇගේ සිරුර මත වැතිරී හැට්ටය ගලවා දැමුවත් ඇගේ සිරුරේ වැසිය යුතු කිසිදු කොටසක් පිටතට නිරාවරණය නොවන ආකාරයට චරිත හසුරුවන්නට අධ්‍යක්ෂවරයා සමත් වූයේය. එසේ වුවත් බොහෝ චකිතයට පත්ව සිටි සනෝජා දර්ශනය අවසන් වූ වහාම සිය සිරුර මත සිටි සංජය ඉවතට තල්ලු කර දමද්දීම ක්ලාන්ත වූවාය.
“ඇත්තටම අද ඒ දර්ශනය බලනකොට මට හිතෙනවා මම කොහොමද ඒක රඟ පෑවේ කියලා.. නළුනිළියො ඒ වගේ හසුරුවන්න පුළුවන් අධ්‍යක්ෂවරු ගැන පුදුමත් හිතෙනවා..” සනෝජා කීවාය.
සිය කටහඬ මේ චරිතයට නොගැළපෙන බැව් සිතූ නිසා එයට දෙබස් කවන්නට නොහැකියයි සනෝජා අධ්‍යක්ෂවරයාට පැවසුවාය. ඔහු ඇයට කිසිදු බලපෑමක් කළේ නැත.
“හරි.. ඔයාට බැරි නම් නිකම් ඉන්න.. මම වෙන කෙනෙක් ලවා දෙබස් කියවන්නම්..” ඔහු කීවේය.
ඒ අනුව ඔහු ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ හඬ කැවීම් ශිල්පිනියක් කැඳවා ගත්තේය. ඇය දක්ෂ ශිල්පිනියක් වුවත් දෙබස් කීවේ වැරදියටය.
“අනේ.. මිල්ටන් අයියා එයා දෙබස් කියන්නෙ වැරදියටනෙ.. මම ඕක ඔහොම නෙමෙයිනෙ කිව්වෙ..”
ආදී වශයෙන් සනෝජා ඔහුට පැමිණිලි කළාය.
“එහෙනම් ඉතින් ඔයාම කියන්න..” ඔහු අභියෝග කළේය.
දෙගිඩියාවෙන් වුවත් ඇය ඒ අභියෝගය බාර ගත්තාය. නිවැරදිව දෙබස් කියන්නට ඇයට හැකි වූයේය. ඒ ගුවන් විදුලි ශිල්පිනිය වැරදියට දෙබස් කීවේ මිල්ටන් ජයවර්ධනගේ උපදෙස් අනුව බැව් සනෝජා දැන ගත්තේ පසුවය.
“මාව පුහුණු කරන්න තමයි මිල්ටන් අයියා ඒ උපක්‍රමය යොදාගෙන තියෙන්නෙ..” ඇය කීවේ කෘතඥතාපූර්වකවය.
සරසවි සම්මාන උළෙලේදී සුදු අක්කා චිත්‍රපටිය වෙනුවෙන් හොඳම නළුවා සම්මානය ජෝ අබේවික්‍රම ලබා ගත්තේය. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූයේ සනෝජාට හොඳම නිළිය සම්මානය ලැබෙනු ඇති බවය. එහෙත් ඒ වසරේ හොඳම නිළිය වූයේ ස්වර්ණා මල්ලවාරච්චිය. සනෝජාට හොඳම රංගනය සඳහා හිමි වෙන ජූරියේ විශේෂ සම්මානය ලැබුණේය.
“මාව ඒ චරිතෙට ගන්න එපා කියලා හුඟක් දෙනෙක් කියද්දී ජෝ අයියා අහලා තියෙන්නෙ එයාට ඒ වගේ චරිතයක් රඟ පාන්න පුළුවන් ද කියලා විතරයි.. මම එයත් එක්ක කරටකර රඟ පාද්දී එයා සතුටු වෙන්න ඇති.. සම්මානය ලැබුණම එයා පුදුම වුණා වගේම සතුටු වුණා.. එයාට පුදුමයි කියලා වචනවලිනුත් කිව්වා..” ඇය පැවසුවාය.
මංගල තෑග්ග, මධුරි, කිණිහිරියා මල් වැනි චිත්‍රපටිවලත් සනෝජා රඟ පෑවේ විවාදයට තුඩු දෙන චරිතය. එහෙත් ඒවා ද ඇයට සම්මාන හිමි කර දෙන්නට සමත් වූයේය. මේ වන විට ඇය චිත්‍රපටි හැත්තෑ පහකට වැඩි සංඛ්‍යාවක හා ටෙලි නාට්‍ය හතළිස් ගණනක රඟ පා තිබේ. ඊට අමතරව ඇය වේදිකා නාට්‍යවල ද රඟ පා සම්මාන හිමි කර ගත්තාය.
ඇය රංගනය සිය වෘත්තීය බවට පත් කර ගත් නිළියක නොවේ. ඇය මහවැලි අධිකාරියේ වග කිව යුතු රැකියාවක නිරත වූවාය. එමෙන්ම ඇය නෙට් බෝල් ක්‍රීඩිකාවකි. මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේදී පමණක් නොව මහවැලි අධිකාරියේ සේවය කරන කාලයේ ද ඇය නෙට්බෝල් ක්‍රීඩා කර ජයග්‍රහණ ලබා රටට කීර්තිය අත් කර දුන්නාය. එමෙන්ම ඇය ආචාර්ය උපාධියකට ද හිමිකම් කියන්නීය.
ඇගේ අප්පච්චි සුමිත් බිබිලේ ඒ යුගයේ ජනප්‍රිය නළුවෙකි. පසුකාලීනව සිනමාව බිඳ වැටීම පිළිබඳව ඔහු තුළ බලවත් කනස්සල්ලක් පැවතිණි.
“ඔයා දැන් රඟ පෑවා ඇති.. සිනමාවට මොකක් හරි සේවයක් කරන්න..” ඔහු ඇයට කියන්නට පුරුදුව සිටියේය.
ඒ අනුව සනෝජා අළු යට ගිනි චිත්‍රපටිය ද, ටෙලි නාට්‍යයක් ද නිෂ්පාදනය කළාය. එහෙත් ඔහු අදහස් කරන සේවය එය නොවන බැව් ඇයට වැටහුණේ ඔහු 2017 මරණ මංචකයේදීත් ඒ ඉල්ලීම කළ නිසාය. ඒ අනුව ඇය තවත් කිහිප දෙනෙක් සමඟ එකතුව පැරණි සිනමා ශිල්පීන් සිල්වර් ස්ක්‍රීන් එවෝර්ඩ් සෙරමනි නමින් ඇගයීමේ උළෙලක් සංවිධානය කළාය. එහි ප්‍රථම උළෙල පැවැත්වුණේ 2021 දීය.
“ඒ අවුරුද්දේ පනහ දශකයේ ශිල්පීන් ඇගයීමට ලක් වුණා.. මේ අවුරුද්දේ මාර්තු මාසෙදී 60 දශකයේ ශිල්පීන් ඇගයීමේ උත්සවය පැවැත්වෙනවා.. ඒ ඇගයීමෙන් ඔවුන් සතුටු වෙන හැටි දකිද්දී දැනෙන සොම්නස වචනවලින් කියන්න බෑ.. ”
ඇය කියන්නේ තෘප්තිමත් හඬිනි. ඇගේ අප්පච්චිත් කොහේ හෝ සිට ඇයට ආශීර්වාද කරනවා ඇතැයි මට සිතෙයි.
චන්දි කොඩිකාර
“මුඩුක්කුවක ගෑනියෙකුගෙ චරිතය රඟ පාන්න සනෝජා බිබිලෙට පුළුවන් ද..?
නිරූපණ ක්ෂේත්‍රයේ සිට පියවරෙන් පියවර රංගන ක්ෂේත්‍රයට පිවිසි ඇය දැන් ලොවක් හඳුනන රංගන ශිල්පිනියකි. එක් රැයකින් ජනප්‍රිය වී ඉතා ඉක්මනින් බැස යන කලා තරු
රංගන ක්ෂේත්‍රයේ නියැළී සිටින මේ අක්කයි නංගියි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ හැමෝම වගේ මේ ශිල්පිනියන් දෙදෙනා ගැන දන්නා හඳුනන නිසයි.
ඇයගේ සම්පූර්ණ නම වන්නේ අංජලී වත්සලා ජයසිංහය. අද බොහෝ දෙනා ඇය අමතන්නේ අංජලී ජයසිංහ නමින්ය. සුන්දර මහනුවර ඇයගේ උපන් ගමය.
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සම්මානනීය සුදු අක්කා - සනෝජා බිබිලේ