“මහත්තයා.. මේ තුවක්කුවෙන් වෙඩි තියලා මාව මරලා දාන්න.. හමුදාවෙන් හරි අපේම අය අතින් හරි මට මැරුම් කන්න සිද්ද වෙනවා.. එහෙම නොවුණත් මේ තුවාලෙ වැඩි වෙලා හරි බඩගින්නෙ ඉඳලා හරි මං මැරේවි.. ඒ හින්දා මට වෙඩි තිබ්බා කියලා මහත්තයට පවක් සිද්ද වෙන්නෙ නෑ..”
ත්‍රස්තවාදියා කියන්නේ ඉස්කෝලේ මහත්තයා අතට සිය ගිනි අවිය දෙමිනි. එය අතට ගන්නා ඔහු තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරුම අහසට වෙඩි තියා ඉනික්බිතිව ගස් කඳක ගසා තුවක්කුව කැබලිවලට කඩා දමන්නේය. එය ප්‍රේක්ෂකයන්ගේ සිත්වල භීතිය මෙන්ම කුතුහලය ද ජනිත කළ දර්ශනයකි. එහෙත් පුංචි බණ්ඩා ඉස්කෝලේ මහත්තයා ලෙස රඟ පෑ ජනක කුඹුකගේ භීතියෙන් සසල වූයේ එම දර්ශනය රඟ පා අවසන් වූ මොහොතේය.
“මම ඒ තුවක්කුවේ බඳ පැත්ත ගහේ ගහන්නෙ තුවක්කු බටේ මගෙ පැත්තට හරවාගෙන.. දෙතුන් සැරයක් ගහනකොට තුවක්කුව කැඩුණා වගේම දර්ශනයත් රූගත කරලා ඉවර වුණා.. තුවක්කුවක් නළුවෙක් අතට දෙන්නෙ ඒක කඩලා බලලා උණ්ඩ නැති බව සහතික කර ගත්තට පස්සෙ.. ඒත් දර්ශනය ඉවර වුණාට පස්සෙ තුවක්කුව බාරව හිටිය තැනැත්තා කිව්වා කොච්චර හොඳට බැලුවත් සමහර වෙලාවට උණ්ඩයක් හිර වෙලා තියෙන්න පුළුවන්.. පූර්ව පරීක්ෂාවේදී ඒ හිර වුණ උණ්ඩ පෙනෙන්නෙ නෑ, හැබැයි ඔය විදියට ගහක ගහනකොට ඒ විදියට උණ්ඩයක් හිර වෙලා තිබුණා නම් ඒක බටය දිගේ පිට වෙලා වදින්න තිබ්බා කියලා.. මට තරු පෙනුණා.. හැබැයි ඉතින් ඒ වෙලාවේ දර්ශනය රඟ පාලා ඉවරයිනෙ.. සෝමේ අයියටත් ඒකේ බරපතළකම තේරුණේ අරයා එහෙම කිව්වට පස්සෙ තමයි..”
සරෝජා චිත්‍රපටියේ කවදාවත් අමතක නොවන දර්ශනයක් සිහිපත් කරමින් ජනක කුඹුකගේ පැවසුවේය. එදා ඒ අවියේ සිර වුණ උණ්ඩයක් තිබුණේ නම් සිදු වෙන්නට තිබූ හානිය මොන තරම් බරපතළදැයි මම කල්පනා කළෙමි. චිත්‍රපටි රූගත කිරීම්වලදී ගිනි අවිවලින් සිදු වූ එවන් හානි පිළිබඳ පුවත් කිහිපයක්ම මට සිහිපත් විණි.
මා විමසුවේ සරෝජා චිත්‍රපටියේ ඒ ජවනිකාව නොමැකෙන ලෙස තවමත් සිතේ ඇඳී ඇති නිසාය.
“ඒ වෙඩි තිබ්බේ පුහු උණ්ඩ යොදාගෙන.. අර හමුදාවේ පුහුණු වීම්වලදී ගන්නෙ ඒවනෙ.. හැබැයි ඉතින් ඒ අත්දැකීමනම් කවදාවත් අමතක වෙන්නෙ නෑ..” ඔහු සිනාසෙමින් කීවේය.
ඔහු විවිධාකාරයේ චරිත රඟ පා ඇති බැව් දන්නා නිසාම මම ඇසීමි. ඒ චරිත අතර ගිනි අවි භාවිතා කළ දර්ශන ද තිබිය හැකි නොවේද..?
“නෑ.. ඊට ඉස්සර පාවිච්චි කරලා තිබ්බෙ නෑ.. ඒත් හමුදාවේ අයගෙන් ටිකක් පුහුණු වුණා..” ජනක කීවේය.
2000 වසරේදී තිරගත වූ සරෝජා චිත්‍රපටිය සෝමරත්න දිසානායකගේ අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි. එහි ප්‍රධාන චරිත රඟ පෑවේ ප්‍රමුදි කරුණාරත්න සහ නිත්‍යවානි කන්දසාමි දැරියන් දෙදෙනාය. රවීන්ද්‍ර රන්දෙනිය හමුදා නිලධාරියෙකුගේ චරිතයට පණ පෙව්වේය. ඉස්කෝලේ මහත්තයාගේ බිරිඳ ලෙස නීටා ප්‍රනාන්දු රඟ පෑවාය. ඇය කැනඩාවේ සිට පැමිණියේම චිත්‍රපටියේ රඟපෑම සඳහාය. අමානුෂීය යුද්ධයක් මැද්දේදී වුවත් මානුෂීය ගතිගුණ ඉස්මතු වී සතුරාට පවා පිහිට වෙන්නට දෙවරක් නොසිතන මිනිසුන්ගේ කතාවක් සරෝජා තුළින් කියැවිණි. සිවිල් යුද්ධය දරුණු ආකාරයට පැවති සමයේ යුද බිය එබිකම් කරන අනුරාධපුර, මැදවච්චිය ආදී ප්‍රදේශවල රූගත කිරීම් පැවතිණි. ඒවා අපූරු අත්දැකීම් වූ බැව් ජනක පවසන්නේය.
නළුනිළියන් තමා ගේ චරිත පිළිබඳව මනා අවබෝධයකින් යුතු වූ නිසාත්, ඔවුන්ගේ රඟපෑම් තාත්වික වූ නිසාත් රසිකයෝ බොහෝ ආශාවෙන් චිත්‍රපටිය වැලඳ ගත්හ. එය ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වූයේය. චිත්‍රපටි ශාලා ඉදිරිපිට දිගු පෝලිම් දකින්නට ලැබිණි. ඉස්කෝලේ මහත්තයාගේ චරිතය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය ජනක කුඹුකගේට ලැබිණි.
“සෝමේ අයියගෙ ආරාධනාව නිසා තමයි සම්බන්ධ වෙන්නෙ.. අපි 1999 එච්. ඩී. ප්‍රේමරත්නගේ මන්දාකිණී චිත්‍රපටියේ රූගත කිරීම්වලට ඕස් ට්‍රේලියාවේ ගියා.. එතකොට සෝමේ අයියා පදිංචි වෙලා හිටියෙ
ඕස් ට්‍රේලියාවේ.. අපි නළුනිළි කණ්ඩායම නැවතිලා හිටියෙ එයාගෙ ගෙදර.. මගේ වේදිකා නාට්‍ය එයා බලලා තිබුණා.. ඒ ගැන අපි අතරේ දීර්ඝ කතිකාවත් ඇති වුණා.. මගේ හැකියාවන් ගැන සෝමේ අයියා හරි ප්‍රශංසාත්මකව කතා කළා.. මට හොඳට මතකයි ටයිටැනික් චිත්‍රපටිය තිරගත කරන්න පටන් ගත්තෙ අපි ඕස්ෙ ට්‍ර්ලියාවේ ඉන්නකොට.. ඒක බලන්න මම ගියේ සෝමේ අයියා එක්ක.. ඒ ආකාරයෙන් ඇති වුණ සම්බන්ධකම හින්දා එයා මට සරෝජා චිත්‍රපටියට ඇරයුම් කරන්න ඇති.. ඔහු මා කෙරෙහි තිබ්බ විශ්වාසය රකින්න ඕන කියන හැඟීම තදබල විදියට මගේ හිතේ ඇති වුණා.. සාර්ථකව චරිතය තුළ ජීවත් වෙන්න ඒ හැඟීමත් හේතු වෙන්න ඇති..” ජනක කුඹුකගේ පැවසුවේය.
වේදිකාව, රිදී තිරය, පුංචි තිරය පුරා උඩ පිනුම්, බඩ පිනුම් ගසා ප්‍රේක්ෂකයන්ගේ සිත් තුළ සදානුස්මරණීය මතකයන් රඳවන්නට සමත් නළුනිළියන් සිටින්නේ අතළොස්සකි. ඒ අතළොස්ස අතරේ ජනක කුඹුකගේ ඉදිරියෙන්ම සිටින්නේය. ඔහු චරිත තෝරාගැනීමේදී යොදා ගන්නා එකම නිර්ණායකය ඒ චරිතය තුළ තමාට යමක් කරන්නට හැකියාව ඇද්ද යන්න පමණකි. එය ප්‍රධාන චරිතයක් ද, උප ප්‍රධාන චරිතයක් ද, දුෂ්ට චරිතයක් ද, අභියෝගාත්මක චරිතයක් ද යන්න ඔහුට අදාළ නැත. වසුදා ටෙලි නාට්‍යයේ ඔහු රඟ පෑවේ එහෙම පිටින්ම දුෂ්ට චරිතයකි. ප්‍රවීණ නළුවන් කිහිප දෙනෙක්ම එම චරිතය ප්‍රතික්ෂේප කර තිබිණි. ඒ එම චරිතය රඟ පෑම තුළින් සිය ප්‍රතිරූපයට හානියක් වෙනු ඇතැයි හැඟීම නිසාය. එහෙත් ජනක ඒ අභියෝගය බාර ගත්තේය. රසිකයෝ ඔහුගේ චරිතයට වෛර කරමින්ම ආදරය කළහ. ඉසිවර අසපුව චිත්‍රපටියේ වෛද්‍යවරයා තවමත් රසික සිත් තුළ රැඳී සිටින්නේය.
ගණනය කළ නොහැකි තරම් වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපටි රැසක විවිධාකාර චරිත නිරූපණය කළ ඔහු ඊ ළඟට දකින්නට ලැබෙන්නේ ආදර අන්තය චිත්‍රපටියෙනි. අවුරුදු හැත්තෑවක් පමණ වයසැති විශ්‍රාමික රජයේ සේවකයෙකුගේ චරිතය ඔහු එහි රඟ පාන්නේය. අශෝක අතාවුදහෙට්ටිගේ නිර්මාණයක් වන ආදර අන්තය ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී තිරගත වෙන්නට නියමිතය. තවත් චිත්‍රපටියක රූ ගත කිරීම් ද ලබන වසරේ ඇරඹෙන්නට නියමිතය.
ඔහු මේ දිනවල ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දකින්නට නැත.
“දැන් ටෙලි නාට්‍ය ඒකාකාරී වෙලා.. ඒ හින්දා හොඳ නිර්මාණයකට දායක වෙන්න අවස්ථාව ලැබෙනකම් මම පොඩි විරාමයක් ගන්නවා..” මා එයට හේතු අසද්දී ඔහු සිනාසී කීවේය.
චන්දි කොඩිකාර
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කලා ක්ෂේත්‍රයේ සිටින බොහොම නිහතමානී මෙන්ම හැමෝටම ගරු කරන ශිල්පිනියක ලෙස නිරංජනී ෂන්මුගරාජා හැඳින්විය හැකියි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
විටෙක ඈ ’’පාරාදීසේ’’ ටෙලි නිර්මාණයේ චංචලා හෙවත් චංචිය. තවත් විටෙක ’’පිරිමි ළමයි’’ ටෙලි නිර්මාණයේ කෙසෙල් කැනක් උස්සන් දුවන නෝරාය. මෙසේ එකිනෙකට වෙනස් ච
මේ සංගීත කණ්ඩායමේ නම වෙයාර් හවුස් ප්‍රොජෙක්ට්. එයාලා ලෙහෙසියට එය හඳුන්වන්නේ ‘‘wp නමින්. ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට අලුත් මුහුණු නම් නෙවෙයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සරෝජා චිත්‍රපටියේ ඉස්කෝලේ මහත්තයා - ජනක කුඹුකගේ