IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අතුරුදන් සැමියා ගැන වසරකට පසු තොරතුරක්


  පසුගිය සතියේ ඉතිරිය කුමුදුගේ කතාව  (3 කොටස)

මොරවැව ක්‍රියාන්විත පරිසරයේ දිවි ගෙවීම වඩා පීඩාකාරී වූයේ කුමුදුට වඩා ඇගේ දියණියට ය. රට වෙනුවෙන් තම සැමියා සදාකාලිකවම ජීවිතය පූජා කොට තිබූ තත්ත්වයක් තුළ, ඇයට ද එම යුද්ධයේම වින්දිතයෙකු වී තවදුරටත් එම පරිසරයේම ජීවත්වන්නට සිදුවීම කොතරම් අභාග්‍යයක් හා අසාධාරණයක් දැයි ඇයට සිතිණ. මේ අතර කුමුදුගේ වැඩිමහල් සහෝදරියගෙන් ඇයට පණිවිඩයක් ලැබිණ. ඒ වනවිට ඇය පදිංචිව සිටියේ රත්නපුර රක්වානේය. සිය නැඟණිය පත්ව සිටි තත්ත්වය පිළිබඳ හොඳින් තේරුම්ගෙන සිටි ඈ දන්වා සිටියේ, දියණිය සමග එහි පැමිණ පදිංචි වන ලෙසය. කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව දෙමාපියන් ඇතුළු නිවැසියන් හැරදමා යා නොහැකි වුවද, දියණිය පිළිබඳ සලකා අවසානයේ ඈ තම සොයුරියගේ නිවසට යාමට තීරණය කළාය. ඒ අනුව තවත් දින කිහිපයක ඇවෑමෙන් ඇය මොරවැව මහගෙදරින් සමුගත්තේ, එම පරිසරයේ ගෙවූ වසර ගණනාවක මතක සමුදායක් ද ඉතිරි කරමිනි.

කලවානට පැමිණි කුමුදුට එහි සාමාන්‍ය ජීවිතයක් ගෙවමින් සිටි සිය සොයුරියගේ නිවසේ පිටිපස කුඩා කාමරයක් නවාතැන් සඳහා වෙන් කෙරුණි . එහි මොරවැව තරම් දුෂ්කර හෝ ජීවිත අවදානමක් නොවූවද, අලු‍ත් පරිසරයට හුරුවන්නට ඈට මෙන්ම දියණියට ද සැලකිය යුතු දවසක් ගත විය. මෙලෙස එහි සිට වැඩි කලක් යාමට මත්තෙන්ම එම ප්‍රදේශයෙන් පර්චස් 20 ක බිම් කොටසක් මිලට ගත් කුමුදු, එහි හැකි පමණින් නිවාස කොටසක් ඉදිකරගන්නට පෙලඹුණේ - තම සොයුරියට වූව අනවශ්‍ය බරක් දිය නොහැකි නිසාමය. කුමුදුගේ එම කුඩා නිවස සාදාගැනීම පිණිස ද ඇය කැප වූ තරම දන්නේ ඇයම පමණි. එහි සියලු‍ වැඩ කුලියටම කර ගැනීමට තරම් ආර්ථික ශක්තියක් නොවූ තැන නිවසට අවශ්‍ය වැලි, ගල්, ඇදීම, බදාම ඇනීම ආදී බොහෝ අත්උදව් කටයුතු සිදුකෙරුණේ ද කුමුදුගේම දෑතිනි. නිවස සාදන තැන දක්වා එවක නිසි මාර්ගයක් ද නොවූ තැන කලු‍ගල්, වැලි, සිමෙන්ති ආදිය එහි පැමිණි වාහන මගින් ගොඩබාන ලද්දේ ඊට මීටර් 100 ක පමණ දුරිනි. එහිදී, එකී සියලු‍ ගොඩනැගිලි ද්‍රව්‍ය එහි සිට නිවස වෙත රැගෙන එන ලද්දේ කුමුදුගේම ශ්‍රමයෙනි. තම සැමියා නැති වූ දා පටන් තනිව ජීවිතයට මුහුණ දෙන්නට හුරුව සිටි ඇය - කුමන දුෂ්කරතා අත්වින්දද, තම අපහසුතා පවුලේ සාමාජිකයකුට හෝ සමීපතමයකුට නොපවසන්ට වගබලා ගත්තාය.

අඩක් නිමකරන ලද කුමුදුගේ එම නිවස පිහිටා තිබුණේ සිය සහෝදරියගේ නිවසට තරමක් එපිටින් හුදෙකලා වූ තැනකය. මුල් අදියරට එහි ඉදිවූයේ කුස්සියක් හා කාමරයක් පමණි. නිසි පරිදි දොර ජනේල හෝ සවිකර නොතිබූ එහි යාන්තම් වැස්සට පින්නට සෙවණ දුන්නා පමණි. ඒ අවට වෙනත් කිසිදු නිවාසයක් ද නොවූ අතර, පෙනෙන පෙනෙන අත දිස්වූයේ ලඳු කැලෑ සහිත භූමියකි . නිසි ආරක්‍ෂාවක් හෝ නොමැති එහි ඇය තම දියණිය ද සමග ගතකළ සෑම රාත්‍රියක්ම ගතකළේ දෙගිඩියාවෙනි. විශේෂයෙන්ම මොරවැව මෙන් එහි ත්‍රස්තවාදී තර්ජන නොවූවද, ඇයව පෙළන්නට වූයේ සොර සතුරු බිය හේතුවෙනි. ඇතැම් දිනවල රාත්‍රී කාලයේ නිවස අවටින් ඇසුණු සැක සහිත ශබ්ද හමුවේ ඕ සිය දියණිය ද සමග එහි වූ එකම ඇඳ යට රිංගා රැය පහන්කළ වාර පවා තිබිණ. මේ සියල්ල මගින් ගම්‍ය වූයේ තනිකම බිය සැකය හා දුෂ්කරතා කුමුදුගේ ජීවිතයට උපතින්ම උරුම වූ සෙයකි. 

මෙලෙස සැරයන් උපාලි අතුරුදන්ව වසරක් පමණ ගතවිය. ඒ අතරතුර දිනෙක කුමුදුගේ නමට විශේෂ ලිපියක් ලැබුණේ ලියාපදිංචි තැපෑලෙනි. දෙගිඩියාවෙන් යුතුව ඕ එය විවරකර බලන්නට වූයේ තම දියණිය ද අසල හිඳුවාගෙනය. එහි වූයේ තම සැමියාගේ මරණ සහතිකයයි. මුලතිව් ප්‍රහාරය සිදුව වසරක පමණ කාලය තුළම තම සැමියා අතුරුදන්ව ඇති බවට සලකා කටයුතු කෙරුණු බැවින්, ඔහු පිළිබඳ වූ සියුම් බලාපොරොත්තුවක් කුමුදුගේ හදවතේ කොනක තැන්පත්ව තිබුණි. නමුත්, එලෙස මරණ සහතිකයක් ලැබීම මගින් කියවුණේ ඇයගේ ස්වාමියා නිසැකවම මියගොස් ඇති බවට නිල පිළිගැනීමකි. එබැවින් ඇය කඳුළු පිරි දෙනෙතින් යුතුව එම මරණ සහතිකය අල්මාරියේ කොනක පරිස්සමට තැබුවේ හද දවාලන සුසුමක් ද පිටකර හරිමිනි. 

කුමුදු කුමාරි (වම) තම දියණිය 
කසුනි තරුශිකා සමග


 

සැරයන් උපාලි ජයතිස්ස


 

මෙලෙස තව දුරටත් කාලය ගෙවෙද්දී බොහෝ හැලහැප්පීම් මැද වුව කුමුදුගේ දියණිය ක්‍රමක්‍රමයෙන් උස්මහත් වන්නට වූවාය. ඒ වනවිට දැඩි දරිද්‍රතාවයෙන් පෙළෙමින් සිටිය ද, සැමියාගේ නාමයෙන් කෙසේ හෝ දියණිය සමාජයේ උසස් තැනකට ගෙන ඒම කුමුදුගේ ඒකායන අධිෂ්ඨානය විය. ඒ අනුව ඇය එහි පළමු පියවර ලෙස තම දියණිය රත්නපුර ඇඹිලිපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පළමු වසරට ඇතුළත් කරන්නට කටයුතු කළාය. එහිදී, ඇය පන්තියේ කැපී පෙනෙන සිසුවියක ලෙස සැමගේ ආදරය ලබමින් සාර්ථකව අධ්‍යාපන කටයුතුවල නිරත වන්නට වූයේ - මවගේ අභිලාෂයන් හඳුනාගන්නාක් මෙනි. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය ද ඉහළින්ම සමත් වන ඇයට, එහි ප්‍රතිඵලයක් ලෙස රත්නපුර පර්ගියුසන් උසස් බාලිකා විද්‍යාලයට ඇතුළත්වීමට වරම් ලැබෙනුයේ සිය මවගේද ආශීර්වාදයෙනි. විශේෂයෙන්ම තම දියණියගේ හැකියාවන් හොඳින් හඳුනාගෙන සිටි කුමුදු ඈ පිළිබඳව සොයා බලමින් ඇගේ අධ්‍යාපන දිවියට නිරන්තර සවියක් වන්නට අමතක නොකළේ එය තමා හමුවේ වූ අභියෝගයක් ලෙස සලකමිනි.

මෙලෙස තවදුරටත් කාලය ගතවිය. එය කුමුදුගේ දියණිය වූ කසුනිගේ ස්වර්ණමය යුගය විය. ඊට හේතුව නම් ඇය සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්වීමය. එහිදී ඇය ඒ සාමාර්ථ 9 ක් ලබාගනිමින් අතිවිශිෂ්ට ලෙස සමත් වූයේ සිය මවගේ ද බලාපොරොත්තු ඒ අයුරින්ම සපුරාලමිනි. තවද, ඇය රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු 38 දෙනා අතරට ද එක්ව තිබීම විශේෂත්වයකි. ඒ සමගම එම  විද්‍යාලයේම උසස් පෙළ විද්‍යා විෂය ධාරාව තෝරාගත් කසුනි - ඊට ද මුහුණ දුන්නේ යෝධ සෙවණැල්ලක්ව හිඳිමින් තම මව ලබාදුන් අසීමිත ශක්තිය ද සමගිනි. එහිදී “ඒ” සාමාර්ථයක් හා “බී” සාමාර්ථ දෙකක් ලබාගත් ඇයට - වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට දොරගුළු විවර වූ අතර, එහිදී ඇය එහි උපාධිය සම්පූර්ණ කරනුයේ, පාඨමාලාවේ දක්ෂතමයින්ට ලබාදෙන රන් පදක්කම් ද්විත්වයෙන් එකකට හිමිකම් කීමෙනි. තවද සිය දක්ෂතා හා සුදුසුකම් මත කසුනිට එම විශ්ව විද්‍යාලයේම ඉගැන්වීම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව ද ලැබුණු අතර, ඇය වසරකට වැඩි කාලයක් එම කටයුත්තේ නියැළිණ. ඒ අතරතුර වැඩිදුර අධ්‍යාපනය සඳහා ඇය විදේශීය රටකට ශිෂ්‍යත්වයක් සඳහා අයදුම් කරන ලද අතර, ඒ අනුව ඇමරිකා එක්සත් ජනපදයෙන් ඇයට ඒ සඳහා අවස්ථාවක් ලැබිණ. නමුත්, එය වසර පහක ශිෂ්‍යත්වයක් වූ බැවින් ඇය එහි යාමට අකමැති වූවාය. ඒ සමගම කැනඩාවේ දෑ අවුරුදු ශිෂ්‍යත්වයක් සඳහා ඇයට අවස්ථාවක් ලැබුණු අතර එය ඈගේ දිගුකාලීන සිහින සැබෑවීමකි.

සිය කැනඩා ගමන සංවිධානය වෙද්දී කසුනිට අයිති ආදරයක්ද මෝදුවී තිබුණේ නොදැනීම වාගේය. ඒ වනවිට ඇය වසර කිහිපයක පටන් පෙම්වතියක්ව සිටි බව මව කුමුදු ද දැනගෙන තිබුණේ යාන්තමිනි. අවසානයේ කැනඩාවට යාම සඳහා වූ ලියකියවිලි සූදානම් කරන අතරේ කසුනි සිය පෙම්වතා සමග අතිනත ගන්නේ තමාගේ ගමනට ඔහුද රුකුලක් වන බව දන්නා හෙයිනි. ඒ අනුව සිය මවගේ ද ආශීර්වාදය මැද අදාළ සියලු‍ කටයුතු ඉතා චාම් ලෙස සිදුකෙරුණු අතර, එක්තරා දිනයක ඇය තම දෑ අවුරුදු ශිෂ්‍යත්වය සඳහා සිය සැමියා ද සමග කැනඩාවට පිටත්වනුයේ මව සමග සිය ආදරය නොඅඩුව ඉතිරි කරමිනි. මෙලෙස තවදුරටත් කාලය ගෙවෙද්දී කසුනි  කැනඩාවේදී සිය පශ්චාත් උපාධි අධ්‍යාපනය ද සාර්ථකව නිමකරන්නට වූවාය. සිය ඉගෙනීමේ  කටයුතු අතර ඕ එහි විශ්වවිද්‍යාලයක තාවකාලික ඉගැන්වීමේ කටයුතු ද සිදුකරමින්, සිය මෑණියන්ට බරක් නොදී යම් ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ද වගබලා ගත්තාය.

අද වනවිට කසුනිගේ කැනඩා ජීවිතය වසර දෙකක් ඉක්මවා ඇත්තේ ඇයගේ සියලු‍ උත්සාහයන්වල සාර්ථක ප්‍රතිඵල භුක්ති විඳිමිනි .  පශ්චාත් උපාධිය ද සාර්ථකව සම්පූර්ණ කරන ඇය, එහි නව රැකියාවක නියැලෙන්නට ප්‍රමාණවත්  සුදුසුකම් ද සපුරා ගත්තාය. තමා සමග නොසිටිය ද -  සිය මවගේ දුක සැප බලන්නට ද, ඇය වෙනුවෙන් සිය උපරිමය ඉටුකරන්නට ද, ඇය කිසිවිට පැහැර නොහැර ඇත්තේ , එය ඈ වෙත පැවරුණු අනිවාර්ය යුතුකමක් හා වගකීමක් බැව් තරයේ සිතට ගෙන ක්‍රියාකරන්නියක හෙයිනි. ඇරඹුම කෙසේ වුවද, ජීවිතයේ මැද - අග ඇය අත්කරගෙන ඇති සාර්ථකත්වය උත්සාහය, අසීමිත කැපකිරීම මතම සිදුව ඇති බව ඈ දනී. එහෙත්- පෙනෙන දුරක හිඳ සිය මව ඈ වෙනුවෙන් දැරූ අත්නොහළ වීර්යය ද, නොපෙනෙන තැනක හිඳ සිය පියා ලැබදෙන ආශීර්වාදය ද තමා වටා නිරන්තර මහා බලයක්ව තමා සුරක්ෂාකරන බව  ඈට විශ්වාසය. 

අසුරු සැණින් කාලය ගෙවී ගොස් ඇත. කලවාන නිවසේ හුදකලාව ගෙවන කුමුදු අදට ද සිය ජීවිතය දෙස ආපසු හැරී බලනුයේ, මැදහත් සිතිනි. දැන හඳුනාගත් දා සිට අකල් වියෝව දක්වා සිය සැමියා පිළිබඳ වූ මතක ද, කැබිතිගොල්ලෑවේ ගෙවූ කටුක දිවියේ නීරස සැමරුම් ද, නටබුන් ලෙස අදට ද ඇයගේ මනසේ උස්පහත් වෙමින් පවතී. එහෙත්, මහාමෙරක් සේ නොසැලී ප්‍රශ්නවලට මුහුණදීම තුළින් ලද පන්නරය නිසාම ඈ තුළ සවිමත් ගැහැනියක් ගොඩනැගී ඇත්තේය. එනිසාම වැර වෑයමෙන් ජීවිතය දිනූ ඇය දැන් ගෙවනුයේ එතෙර සිටින තම දියණිය පිළිබඳ  නිහතමානී ආඩම්බරය ද තුරුලු‍ කරගනිමිනි. 

ජීවිතය හරි පුදුමාකාරය. වියෝග විස්සෝප හමුවේ සුසුම්ලමින් ළතැවෙන්නෝ සදා එතැනමය. සියලු‍ දුක්ඛ දෝමනස්සයන් නරක කලට එළැඹි කුණාටුවක් සේ සිතා එය පහව යනතෙක් නොසෙල්වී හිඳ යළි ජීවිතය ජයගැනීමට වෙර දරන්නෝ නිසැකවම ජය ලබති. කුමුදුගේ කතාව හමුවේ ඇය සෙසු රණවිරු බිරින්දෑවරුන්ට ද, සමස්ත සමාජයට ද ලබාදෙන පණිවුඩය ඉතා අගනේය.  එසේම එය ඇගේ කතාව පමණක් නොවේ. ඇය නියෝජනය කරන සමස්ත වැන්දඹු විරු බිරින්දෑවරුන්ගේ ද කතාවකි. තිස් වසක් පුරා මෙරට පැවති ත්‍රස්තවාදය හමුවේ අවි රැගෙන පෙරමුණේ සිදුවූ සටන සේම, අවි රහිතව නොපෙනෙන තැන්වලද යුද්ධ තිබුණි. කුමුදු මුහුණදුන්නේ ද එවැනි සටනකටය. යුද්ධය නිමවී වසර 15ක් ගෙවුණි. පශ්චාත් යුද සමය තුළ ඇතමෙකුට රණවිරුවන් ද අමතක කාලවකවානුවක, ඊටත් වඩා විරු බිරින්දෑවරු අමතක වීම අරුමයක් නොවේ. එහෙත් පුරා සති තුනක් තිස්සේ ගැළපූ කුමුදුගේ මෙම කතාව හමුවේ ඈ ලද අස්වැසිල්ලක් වේ නම්, එය මා ද ලද නිහතමානී සතුටක් බැව් මෙහිලා අවසන් වශයෙන් සඳහන් කරමි.

- නිමි -



අදහස් (0)

අතුරුදන් සැමියා ගැන වසරකට පසු තොරතුරක්

ඔබේ අදහස් එවන්න

Recommended News

ලොව ප්‍රථම ආසියානු බොදු සමුළුව
2024 නොවැම්බර් මස 27 7 0

පසුගිය නොවැම්බර් 5 සහ 6 යන දෙදින නව දිල්ලියට මෙන්ම නව දිල්ලියේ ඇති අශෝක් හෝටලයට සුවිශේෂී දිනයන් වූයේ ලොව පළමු වතාවට ආසියානු බොදු සමුළුව පැවැති නිසාය. දි


අතුරුදන් සැමියා ගැන වසරකට පසු තොරතුරක්
2024 නොවැම්බර් මස 27 14 0

මොරවැව ක්‍රියාන්විත පරිසරයේ දිවි ගෙවීම වඩා පීඩාකාරී වූයේ කුමුදුට වඩා ඇගේ දියණියට ය. රට වෙනුවෙන් තම සැමියා සදාකාලිකවම ජීවිතය පූජා කොට තිබූ තත්ත්වයක් ත


කෝටි 200 ක වියදම් මැද ක්‍රීඩා ධවල මන්දිරයට පැමිණි ආගන්තුකයා
2024 නොවැම්බර් මස 27 11 0

ජාතික ජන බලවේගය රජයේ ක්‍රීඩා ඇමැතිවරයෙකු නිදහසින් පසුව වසර 70 කට පසුව වැඩ බාර ගෙන තිබේ. ඔහු මීට පෙර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවධානයකට ලක් නොවුණු පුද්ගලයෙ


සුදු පන්දුවෙන් රතු පන්දුවට
2024 නොවැම්බර් මස 27 10 0

ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්තය හමුවේ තරගාවලි ජයක් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ දී හෝ ඉන් පිටතදී නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් ශ්


යුරේනස් අයිස් යෝධයා විද්‍යාඥයන් මුළා කළ හැටි
2024 නොවැම්බර් මස 27 16 0

පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබාගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙ


අලුත් වාරයක් ඇරඹෙයි
2024 නොවැම්බර් මස 26 83 0

රටම ඉතා උනන්දුවෙන් බලා සිටි මහ මැතිවරණය ඉකුත් සති අන්තයේ අවසන් විය. ඒ කිසිවකුත් අපේක්ෂා නොකළ, විශේෂයෙන් ජාතික ජන බලවේගයවත් අපේක්ෂා නොකළ, අතිවිශාල ජයග්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site