IMG-LOGO

2025 මාර්තු මස 12 වන බදාදා


අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ

කපිතාන් සමරරත්නගේ දේහය ඔහුගේ රාගිරියේ පිහිටි නිවස අසලදී හමුදා භටපිරිස් විසින් බාරගත් අවස්ථාව


සෙබළ මිතුරා ගැන නොමියෙන මතකය-2

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය. ලද තොරතුරට අනුව ලුතිනන් සමරරත්න ඒ තුළ නිරුපද්‍රිතව සිටිනු ඇති බවට වූ තදබල විස්වාසයෙන් යුතුව මාද එහි දිවගියේ උතුරායන සතුටකිනි. ඒ සමගම ලුතිනන් සනත් ප්‍රියන්ත, ලුතිනන් සමන් කුමාර ද කඩිනමින් එහි පැමිණියේ, තම පාඨමාලා සගයා යහතින් දැකගනු රිසියෙනි. නමුත් එහිදී දක්නට වූයේ කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ ඇස් අදහාගත නොහැකි සිදුවීමකි. එම වළ තුළ තිබුණේ ලුතිනන් සමරරත්න ගේ නිසල සිරුර යි. වෙඩි පහරක් හේතුවෙන් ඔහුගේ නළලෙහි ගැඹුරු පැල්මක් තිබූ අතර, දැඩි සමීප සටනක් එහි පැවති බවක් ද පෙනෙන්නට තිබිණ. 

කිසිවක් යළි ආපසු හැරවිය නොහැකි ලෙස - එහි අවාසනාව පමණක් ඉස්මතුව තිබූ අතර, එහිදී සමරේ දුටු මා තුළ මෙන්ම ලුතිනන් ප්‍රියන්ත හා සමන් කුමාර තුළ ද ඇති වූ කම්පනය විස්තර කළ නොහැකි තරම් විය. එසේම එය අප හට කිසිසේත් දරාගත නොහැකි අවස්ථාවකි. එහිදී සෙසු භට පිරිස් ඉදිරියේ සංවේදී නොවීමට මා කෙතරම් වගබලා ගත්ත ද ඇසින් නොගිලිහුණු කඳුළු හදවත දෝරෙ ගලායාම පාලනය කරගත නොහැකි විය. බලාපොරොත්තු පොදි බැඳි සමීපතමයින් ගේ නිහඬ නික්මයාම් එම යුධ බිම තුළ සාමාන්‍ය කරුණක් වී තිබුණේ එතරම්ම අවාසනාවන්ත ලෙසිනි. සිද්ධිය සැලවීමෙන් මඳ වේලාවකට පසු ප්‍රදේශය භාර බළසේනාධිපති වූ කර්නල් අක්මීමන එහි පැමිණියේය. එහිදී උද්ගත තත්ත්වය පිළිබඳ සොයා බැලීමෙන් පසු ඔහුගේ නියමයෙන් එහි සිටි මීළඟ ජ්‍යෙෂ්ඨයා ලෙස ඒ මොහොතේම ලුතිනන් සමරරත්න සිටි කඳවුරට මා අනුයුක්ත කරනු ලැබීය. ඒ වන විට සිද්ධියෙන් මියගිය හා තුවාල ලැබූවන් පොළොන්නරුව රෝහල කරා පිටත්කර යවා තිබූ අතර, ප්‍රදේශයේ ආරක්ෂාවද තහවුරුකොට තිබිණ.  

ලුතිතන් නිශාන්ත සමරරත්න

එදින රාත්‍රිය ලුතිනන් සමරරත්න සිටි කඳවුරෙහි මාහට ගෙවන්නට වූවේ නිදිවර්ජිතව ය. එතෙක් කලක පටන් මා සිටි හුරුපුරුදු නවාතැන අතහැර එලෙස අනපේක්ෂිත ලෙස අලුත් තැනකට මාරුවීමට සිදුවීම ද මා සිත රිදුම් දෙන්නක් විය. මම ඔහුගේ කඳවුර තුළ වූ කුටියට එබුණෙමි. තල් හා පොල් කොට අතුරා ටකරන් තහඩු වලින් වටවූ එම කුඩා කාමරය තුළ යකඩ ඇඳක් හා ලී පෙට්ටි දෙකක් හැරුණු විට අන් යමක් නොවීය. එහෙත් ඒ සියල්ල අතරේ ඉහළ තැනක තැබූ කුඩා බුදු කුටියක් ද ඊට යාබද කණුවක එල්ලූ ඔහු හා පෙම්වතිය හා එකට හිඳ ගත් ඡායාරූප කිහිපයක් ද විය. එසේම කපිතාන් විභාගයට අදාළ පොත්පත් හා සටහන් රැසක් ද පසෙකය. බලාපොරොත්තු ප්‍රාර්ථනා සැලසුම් පිරි තාරුණ්‍යයේ සුසුම් පමණක් ඉතිරිවූ එම කුඩා කුටිය තුළ සමරෙගේ සුවඳ නාස්පුඩු සිසාරා යන්නට විය. අඳුරු කුටියේ කවුළුවෙන් මම පිටත බැලීමි. යාබද බංකරයෙහි සෙබළකුගේ කළු පැහැති ඡායාව යාන්තමින් දිස්වේ. තිත්ත කළුවර තුළ දීප්තිමත් යමක් එහි වූයේ නම් ඒ කණමැදිරියකුගේ එළිය පමණි.

දින දෙකක ඇවෑමෙන් සමරෙගේ භූමදාන කටයුතු බොරැල්ල කනත්තේ දී පූර්ණ හමුදා ගෞරව සහිතව සිදුකිරීමට නියමිත විය. රාජගිරියේ  “ඉම්පාලා” සිනමාහලට යාබදව පිහිටා තිබූ නිවසේ ඔහුගේ දේහය තැන්පත් කොට තිබූ අතර, එහි විශේෂයක් ද විය. එනම් ඒ වනවිට ඔහු කපිතාන් නිලයට ද උසස්කොට තිබීමය. නමුත් එය ඔහුගේ සැබෑ ජීවිතයේ සැබෑ නොවූ කපිතාන් සිහිනයයි. අවමඟුල් අවස්ථාවට එක්වූ හමුදා භටපිරිස අතර ලුතිනන් සමන් කුමාර සහ ලුතිනන් සනත් ප්‍රියන්ත ද වූහ. ලුතිනන් සමරරත්නට ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ සහායක භට පිරිස් සමග පැමිණියේ ඔවුන් දෙදෙනායි. එවක අප ඒකකය තුළ එකම පාඨමාලාවට අයත් සහෝදර නිලධාරීහු 07 දෙනෙක් වූහ. එවන් එකතුවක් එකම ඒකකයක එකටම රාජකාරි කිරීම තරමක් විරලය. විශේෂයෙන්ම ක්‍රියාන්විත බිමෙහි උරෙනුර ගැටෙමින් බොහෝ තීරණාත්මක තැන්වල දී අත්නොහැරි සහෝදරත්වයෙන් කටයුතු කළ එම පිරිසේ අයෙකු එලෙස හදිසියේ අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගැනීම එම සෙසු සගයන්ට කියා නිම කළ නොහැකි වේදනාවක් විය.

නිවසේ සිට සමරෙගේ දේහය බොරැල්ල කනත්ත දක්වා රැගෙන යන අවස්ථාවේ එහි හමුදා පෙළපාළියේ පෙර ගමන් රථයෙහි ගමන් ගැනීමට ද මාහට සිදුවූ අතර, එය දෛවෝපගත සිදුවීමක් වැන්න. මියගිය සෑම රණවිරුවකු ගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේ දී දේහය මිහිදන් කරන ස්ථානයේ සිට ඔහුගේ සමස්ත යුද හමුදා චරිතය පිළිබඳ සවිස්තරාත්මක ලියවිල්ලක් කියවනු ලබයි. (යුද හමුදාව තුළ එම ලියවිල්ල Part 1 ලෙස හඳුන්වයි) නිලධාරියකු විසින් කියවන එම ලියවිල්ල කපිතාන් සමරරත්න ගේ දේහය ඉදිරියේ කියවීමේ වගකීම පැවරුණේද මා හටය.  

ලුතිතන් නිශාන්ත (වම්පස) 1996 වසරේ මඩකලපුව කල්කුඩාහිදී


කපිතාන් සමරරත්නගේ දේහය බොරැල්ල කනත්තට 
රැගෙන ගිය අයුරු


එකම දිනක යුද හමුදාවට බැඳී, එකම භූමියක සටන් වැද දෑස් ඉදිරිපිටදීම අවසන් ගමන් ගිය සහෝදර සගයාගේ ජීවන තොරතුරු කියවද්දී ඔහු පිළිබඳවූ අප්‍රමාණ මතක දෑස් අබිමුව සිතුවම් වන්නට වූයේ නිරායාසයෙනි. කෙසේ හෝ අවසානයේ බොහෝ පීඩනයක් සිත්හි දරාගෙන මා විසින් එම කටයුත්ත මහත් ආයාසයෙන් නිමකරන ලද්දේ, නෙතු අග පොදිකමින් සිටි එකදු කඳුළු බිඳුවකට හෝ ගිලිහෙන්නට ඉඩක් නොදෙමිණි. එම සටහන කියවා අවසන කිසිවකු මාගේ කනට යමක් කොඳුරන සෙයක් දැනුණි.  “මචං උඹ තමයි මගේ බෙස්ට්මන්” නිසැකවම එය සමරෙගේ හඬය. මම තිගැස්සී අවට බැලීමි. ආචාර වෙඩිමුර අවසානයේ පසෙකින් ඇසෙන පාළු මූසල බියුගල් නළා හඬ අතරේ කපිතාන් සමරරත්න ගේ දේහය සෙමෙන් සෙමෙන් වළ තුළට පහත් වෙමින් තිබිණි. ඇනිකට් හන්දියේ අවට පරිසරයේ තේක්ක සුවඳ රැදි සිසිල් සුළං පොදක් ඒ මොහොතේ කනත්ත සිසාරා හමායන්නට විය. මේ අතර සිය ගණනකගේ සෝ සුසුම් මැද එක් ඉකිබිඳුමක් පමණක් ඒ සුළඟට මුසුව තිබිණ. ඒ සමරෙගේ පෙම්වතියගේ හඬය. 

සමරරත්න ගේ මතක ඔස්සේ මා බොහෝ දුර ගොස් තිබූ බැව් දැනුණේ එම ඇනිකට් හන්දියෙන් පිටවන මොහොතේය. එතැන් සිට මඩකලපු දෙසට සැලකියයුතු දුරක් පසුවන තෙක්ම ඔහු පිළිබඳ යළි අවදිවූ එම පණ ගැහෙන මතකය මා වෙතින් දුරස්ව නොගියේය. එලෙසින්ම අපගේ ගමනාන්තය වූ මඩකලපුව වාලච්චේන ප්‍රදේශයේ නවාතැන කරා ළඟාවන තෙක්ම පසුකළ මගදිගට තවත් හද දවන එවැනිම වූ බොහෝ මතක මා සතුව පැවතියද, තවදුරටත් හිත් රිදුමක් ගන්නට අවැසි නොවූයෙන් මා ඒ මතක බලහත්කාරයෙන් යටපත් කරගන්නට පරෙස්සම් විය. 

එලෙසින් දින දෙකක් එහි ගතකොට තෙවන දිනයේ සවස පවුලේ සාමාජිකයින් ද සමග යළි  මා නිවසට පැමිණෙද් දී බොහෝ රෑ බෝ වී තිබිණ. නමුත් වෙහෙස බව මධ්‍යයේ වුවද, නිවසට ඇතුළු වූ මොහොතේම මා පොත් රාක්කයේ තැනක තබා තිබූ දශක තුනක් ඉක්මවූ මතක රැඳි ඇල්බමයක් පෙරළන්නට වූයේ හදිසියේ යමක් මතක් වීමෙනි. එහිදී සියුම් පරීක්‍ෂාවකින් අනතුරුව එහි තිබී දුර්වර්ණ වී ගිය ඇතැම් තැන් පුස් බැඳුණු දුලබ ඡායාරූප කිහිපයක් මාහට සොයාගත හැකිවිය. ඒ අන් කිසිවක් නොව මඩකලපු ගමනේ අතරමගදී මතක දිගහැරුණු ලුතිනන් සමරරත්න සමග ගත් ඒවාය. එවක  නැගෙනහිර ප්‍රදේශයේ ක්‍රියාන්විත බිමෙහි ඔහු හා ගතකළ මතක එම ඡායාරූපවල ඒ මොහොතේද සජීවීව මා හට පෙනෙන්නට විය. ඒ අතර විශේෂ වූ තවත් ඡායාරූප කිහිපයක් ද විය. ඒවා ඔහුගේ අවමඟුල් දින ලබාගත් ඡායාරූපයි. කළණ මිතුරකු ලෙස ඔහු සමග ගතකළ අතීත සැමරුම් මසිතට ගෙනදුන්නේ ආශ්වාදජනක රිදවුමකි. එය වූ කලී වචනවලින් විස්තර කළ නොහැකි තරමේ හැඟීමකි. යුද්ධය කුරිරුය එනිසාම එය අවසන් විය යුතුමය. නැවත ඇතිවිය යුතු ද නැත. නමුත් ඒ මතක සොඳුරුය. ඒවා ආවර්ජනය කිරීමෙන් පශ්චාත්තාපය ද සොඳුරු බව ද අඩු වැඩි ලෙස පවතී. එහෙත් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අප ඒවා ස්මරණය කළ යුත්තේ සමරේ වැනි මේ මව්බිම සිපගත් දහස් ගණනක් විරුවන්ටද ඒවා දැනෙන නිසාවෙනි. අපට රිදවුම් ගෙනාව ද ඒ මතක ඔස්සේ එකී විරුවන් සිහිපත් කිරීම ඔවුනට ආශ්වාදයක් ලැබෙනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.

ඉහත සිදුවීමට මේ වන විට වසර 29 ක් ගෙවී අවසන්ය. මා දන්නා තරමට මේ වන විට කපිතාන් සමරරත්නගේ ඥාතීන් රාජගිරියේ නොමැත. රණවිරු පෙම්වතකු නිසාම ජීවිතයේ බොහෝ දුක් පීඩාවන් විඳි සමරෙගේ පෙම්වතිය ඒ සියල්ල දරාගනිමින් තම ජීවිතයට මුහුණ දුන්නාය. ඇය මේ වෙද්දී කොහේ දැයි මම නොදනිමි. ඇතැම්විට ඇය පසුකාලීනව වෙනත් විවාහයක් කරගත්තා විය හැක. කපිතාන් සමරරත්න ගේ කතාව අපට පසක් කරනුයේ තිස් වසක් යුද්ධයේ එක් පැතිකඩක් පමණි. සමරෙලා වැනි අය කොතෙකුත් මේ බිමෙහි වැළලී ඇත්ද? එම විරුවන්ගේ සිරුරු දිරාගියද සොහොන්කොත් ගරාවැටුණ ද ඔවුන්ගේ තාරුණ්‍යයේ අසීමිත බලාපොරොත්තු අදට ද ජීවමානව ඇත. ඔවුන් වෙනුවෙන් සුසුමක් පිට කරන්නට හැකි ළතෙත් හදවතක් ඔබට වේ නම් එහි උණුසුම නිසැකවම ඔවුන්ටද දැනෙනු ඇත.

- නිමි -



අදහස් (0)

අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ

ඔබේ අදහස් එවන්න

 

Recommended News

ආණ්ඩු මට්ටු කළ ආහාර තහනම
2025 මාර්තු මස 12 23 0

යම් යම් යුගවල ඇතිවුණු ආහාර හිඟය නිසා නොයෙක් අණපනත් පනවා ආහාර පාරිභෝජනය ප්‍රවාහනය සහ සංග්‍රහයට සීමා නීති පැන වූ අවස්ථා රැසක් මෙරට දේශපාලනයෙහි විය.


කටට බ්‍රේක් නැති දේශපාලකයෝ
2025 මාර්තු මස 12 19 0

රෝහිණී කවිරත්න නමැත්තියක රෝහිණී ළමාරත්න ලෙස නම වෙනස් කිරීමේ කතාවක් මුල් කර ගෙන ජාතික ජන බලවේග රජයේ නියෝජ්‍ය ඇමැතිවරයකු කළ කතාවක් ඉකුත් දිනවල දේශපාලන


ගැහැනිය සවිබල ගන්වන ජාත්‍යන්තර කාන්තා දිනය
2025 මාර්තු මස 12 12 0

කාන්තාව යනු පෘථිවි ලෝකය නමැති නෞකාව පදවන නැව් පතිනිය යි. ඇය විටෙක ආදරයෙන් පිපෙයි, ආදරයෙන් සුවඳවත් වෙයි, ආදරයෙන් පැහැගැන්වෙයි, අවසානයේ ආදරේ නාමයෙන්ම පර


අතුරුදහන් ලුතිනන්වරයා වළක් තුළ හිඳ සොයා ගැනේ
2025 මාර්තු මස 12 22 0

ප්‍රහාරය සිදුවූ මහාමාර්ගයට යාබද තැනක සෙබළු කිහිප දෙනකු රැස්ව සිටි අතර, ඔවුන් සියලු දෙනාගේ දෙනෙත් එක එල්ලේ යොමුවී තිබුණේ එහි වූ වළක් තුළටය.


ක්‍රීඩා ඇමතිගේ අමුතු තීරණ
2025 මාර්තු මස 12 10 0

‘වැටත් නියරත් ගොයම් කා නම්, කාට කියන්නද ඒ අමාරුව’ ලෙස කියමනක් මෙරට ගැමි වහරේ තිබේ.


පෘථීවිය එක්ක සෙල්ෆි ගත් නිල් භූතයා
2025 මාර්තු මස 12 18 0

සඳේ භූතයෙක් සිටී. මේ භූතයා, “බ්ලූ ගෝස්ට්” නමැති රොබෝ ගවේෂණ යානයයි. බ්ලූ ගෝස්ට් යනු ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ ඔස්ටින් නගරය කේන්ද්‍රකොට ගත් “ෆයර්ෆ්ලයි ඒ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 143 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 361 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 221 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site