IMG-LOGO

2025 පෙබරවාරි මස 04 වන අඟහරුවාදා


අලුත්කඩේ උසාවියේ රේස් පදින පාපැදි සම්මේලනය


ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය මෙරට නිමක් නොමැති පරිපාලන අර්බුද වලින් හෙම්බත්වී සිටින තවත් මෙරට ජාතික ක්‍රීඩා සංගමයකි. ඒ හේතුවෙන් දැනට වසර ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර තරග සහභාගිත්වය ද අහිමිවී තිබේ.

නලින් අධිකාරිආරච්චිගේ


 

 

එන්. කරුණාරත්න


 

පාපැදි සම්මේලනය මේ වන විට ක්‍රියාත්මක නොවන්නේ ද ඒ වෙනුවට දැනට එහි නිසි බලධාරියා ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා කටයුතු කරන්නේ ද නිලධාරීන්ගේ නිමක් නොමැති මෙම පරිපාලන අර්බුද හේතුවෙනි. ඒ නිසා මෙරට දුප්පත් පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හෙට දවස අඳුරුවී තිබේ.

ප්‍රධාන දෙපාර්ශවයකට බෙදී මේ වන විට අලුත්කඩේ උසාවියේ නඩු කියමින් සිටින පාපැදි සම්මේලනයේ හිටපු නිලධාරීන් සම්බන්ධයෙන් අලුත්ම ආරංචිය වූයේ එහි හිටපු සභාපතිවරයෙකු වන අන්තර් ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න, එහි හිටපු ලේකම් නිහාල් කුලසේකර හා භාංඩාගාරික සේනක රණසිංහ යන මහත්වරුන්ට ජීවිතාන්තය දක්වා කිසිදු ජාතික  ක්‍රීඩා සංගමයක තනතුරු දැරීම තහනම් කරමින් පනවා තිබූ තහනම වත්මන් ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ විසින් පසුගිය ජනවාරි 06 වැනිදා සිට ඉවත් කිරීමයි.  

එහිදී ඔවුන්ට ඊට පාදක වූ චෝදනා සියල්ලෙන්  නිදොස් කොට නිදහස් කර ඇතැයි ද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ අවසන් වරට නිලවරණයක් (2024 - 25) කැඳවීමට පසුගිය ජූලි 25 වැනිදා ගත් උත්සාහය ද අත්හැර දැමීමට සිදු වූයේ නිලධාරීන්ගේ නොවිසඳුණු ආරවුල්ය.

මෙම ආරවුල් කෙතෙක් ද යත් 2024 නිලවරණය සාර්ථක කර ගැනීම සඳහා විශේෂ මහ සභා රැස්වීම් වාර කීපයක්ම කැඳවූවත් ඒවා නිලධාරීන්ගේ වාග් ප්‍රහාර ගාලගෝට්ටි මැද තීරණ තහවුරු කිරීමකින් තොරව අවසන් විය. එහි ප්‍රතිඵලය මේ මොහොත වන විටත් පාපැදි සම්මේලනය අකර්මණ්‍යවී තිබීමය.

එයින් නිලධාරීන්ට හානියක් නොවුණත් රටේ සමස්ත පාපැදි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්ව තිබෙන හානියට ඔවුන් කුමන අපායක පව් ගෙව්වත් එය ගෙවා අවසන් කළ නොහැකි වනු ඇතැයි පැවැසුවේ මේ රටේ නමගිය පාපැදි ශූරියෙකි. 

නොබෝදා තහනමෙන් මිදුණු එන්. කරුණාරත්න මෙරට පමණක් නොව දකුණු ආසියාවේම දැනට සිටින එකම ජාත්‍යන්තර පාපැදි විනිසුරුවරයායි. ඔහුගේ ජාත්‍යන්තර පාපැදි විනිසුරු පදවිය මුළු ආසියාවේම දරන්නේ 12 දෙනෙක් පමණි. නමුත් කරුණාරත්නට ජීවිතාන්තය දක්වා පනවා තිබූ තහනමට හේතුව ඔහුගේ විනිසුරු පදවියේ ප්‍රශ්නයක් නොව පරිපාලනයේ දී උද්ගත වූ ප්‍රශ්නයකි.

එනම් ඔහු ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ (2018 -19) සභාපති ධූරය දරන සමයේ දී එහි විගණන වාර්තා නියමිත කාලයේ දී ඉදිරිපත් කිරීමට අපොහොසත් වීමේ චෝදනාවන්ට වැරදිකරු කිරීමෙනි. මෙම චෝදනාවන්ටම නිහාල් කුලසේකර හා සේනක රණසිංහ යන දෙදෙනාද වැරදිකරුවන් වූහ.

මේ සම්බන්ධයෙන් කැඳවූ විමර්ෂණයට නීති උපදෙස් ලබමින් කරුණාරත්න මහතා ඇතුළු චෝදනාලාභී නිලධාරීන් තිදෙනා සහභාගි නොවීමෙන් පසුව ඉහත දඬුවම නිර්දේශ විය. ඒ 2020 වසරේදීය.

මේ සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්වය කියා සිටියේ පැවැති කොවිඩ් වසංගතය හමුවේ ප්‍රමාද වූ විගණන වාර්තා රජයේ විගණකාධිපතිවරයාට 2021 මාර්තු 12 වැනිදා භාරදී තිබිය දී සම්මේලනය ද අර්බුදයට යවමින් දිගින් දිගටම විසඳුමක් නොමැතිව කල් මරමින් ඉඳ ක්‍රීඩා අමාත්‍යාංශය තමන්ට සාධාරණ නොවන තීන්දුවක් ලබාදී තිබෙන බවයි.

මේ අතර පාපැදි සම්මේලනයේ නිලධාරීන්ගේ නිමක් නොමැති මෙම අර්බුදය තවත් ඔඩු දුවන සිදුවීමක් වූයේ ශ්‍රී ලංකාවට ප්‍රදානය වුණු වොට් (wattbick) පාපැදි දෙකක් (මෙම පාපැදි තරගකරුවන් එක තැන ඉදිමින් පුහුණුවීම් සඳහා උපයෝගී කර ගනියි)  අල්ලස් ලෙස ලබාගත් බවට හා 2019 සාග් ක්‍රීඩා උළෙලේ දී තරග පාවාදීමේ සිදුවීමකට ශ්‍රී ලංකාව සම්බන්ධ වූ බවට ක්‍රීඩා අමාත්‍යාංශයේ පාපැදි ක්‍රීඩා සම්බන්ධිකරණ නිලධාරී ගාමිණි කොස්තා පොලිස් පැමිණිල්ලක් ගොනු කිරීමයි.

එහෙත් එහිදී ශ්‍රී ලංකාවේ මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් නිවේදනයක් නිකුත් කළ අන්තර්ජාතික පාපැදි සම්මේලනය එම ප්‍රදානයට මැදිහත් වූයේ තමන් බවත් එහි දී කිසිදු අල්ලස් ලබා ගැනීමක් හෝ තරග පාවාදීමේ සිදුවීමක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් සිදුවී නැති බවත්ය. ශ්‍රී ලංකාව ඒ ගැන ඔය තරම් වග වන්නේ නම් වහාම එම පුහුණු පාපැදි දෙක ආසියානු පාපැදි සමුළුවට නැවැත බාර දෙන ලෙසත් එහිදී අන්තර් ජාතික පාපැදි සම්මේලනය මෙරටට දැනුම් දීමෙන් පසුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම සිදුවීම සම්බන්ධයෙන් කරබාගත් බවක් එතැන් සිට පෙන්වීය.

කෙසේ වූවත් අදටත් අන්තර් ජාතික සම්මේලනය හා ආසියානු සම්මේලනය සිය නිල වෙබ් අඩවිවල ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස දක්වා ඇත්තේ එන්. කරුණාරත්නය. ජාතික ඔලිම්පික් කමිටුව ද මේ දක්වා එම මතයෙන් බැහැරවී නැත. ඒ අතර ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපැදි තරග සම්බන්ධිකරණය අන්තර් ජාතික සම්මේලනය විසින් තවදුරටත් පවරා ඇත්තේ ද ජාත්‍යන්තර පාපැදි විනිසුරු එන්. කරුණාරත්නටය.

මෙම කාරණා තුළින් ශ්‍රී ලංකාවේ පාපැදි ක්‍රීඩා පරිපාලනයේ පැන නැගී තිබෙන අර්බුදයේ දිග පළල පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිය. 

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය අත් හිටුවන විට එහි සභාපති ධූරය දැරුවේ වෛද්‍ය  අමල් හර්ෂ ද සිල්වා මහතාය. ඔහුද  විගණන වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත්වීමේ චෝදනා ලබා වැරදිකරුවීමෙන්  පාපැදි පරිපාලනය තහනම් වූවෙකි. එහෙත් පසුව ඔහුගේ තහනම ඉවත් කරමින් 2024 කැඳවා තිබූ නිලවරණයට තරග වැදීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඔහුට අවසර ලබා දුන්නේය. 

එහිදී කරුණාරත්න පාර්ශවයේ චෝදනාව වූයේ එක සමාන සිදුවීම් දෙකකට ක්‍රීඩා අමාත්‍යාංශය හැඳි දෙකක් පාවිච්චි කර ඇති බවයි. පසුගිය පාපැදි සම්මේලනයේ ප්‍රබල ලෙස ඉස්මතු වූ චරිතය වූයේ ප්‍රධාන ලේකම් ධූරයේ කටයුතු කළ නලින් අධිකාරිආරච්ච්ගේය. පසුගිය පාලන සමයේ දී (2023-24) එහි නිල ( නොලත්) බලධාරියා වූයේ ඔහුය.

ගම්පහ දිස්ත්‍රික් පාපැදි සංගමයේ බලය අල්ලා ගත් ඔහු නැවැතුනේ අමල් හර්ෂ ද සිල්වාගේ විශ්වාසවන්තම සේවකයා බවට පත්ව පාපැදි සම්මේලනයේ ප්‍රධාන ලේකම් ධූරයට පත්වීමෙණි. ඔහු උසාවි නියෝග ප්‍රයෝජනයට ගනිමින් ජාතික ඔලිම්පික් කමිටුවේ රැස්වීම්වල පාපැදි සම්මේලනයේ නියෝජිතයා ලෙස අසුන් ගැනීමට ද සමත් විය.

මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ තහනමට ලක්ව සිටින ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ෂ්වෙල් ද සිල්වාට එරෙහිව එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් සමග එක්ව සිටින නලින් අධිකාරිආරච්චිගේ දිගින් දිගටම කියා සිටියේ ජාතික ඔලිම්පික් කමිටුවේ පාපැදි සම්මේලනයේ අසුන නිල වශයෙන් 2023 -24 එහි  විධායක සභාවට හිමි විය යුතු  බවයි. එහිදී ඔහුගේ තර්කය වූයේ  සිය විධායක සභාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ පිළිගැනීම ලැබීම තුළ මෙරට පාපැදි පරිපාලනයේ නීත්‍යානුකූල පාර්ශ්වය තමන් විසින් නියෝජනය කරන බවයි.

මෙම කරුණු  මෙසේ වෙන අතර ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය සතු රුපියල් ලක්ෂ 56 ක් වන පාපැදි ක්‍රීඩා උපකරණ කොටස් සාවද්‍යය ලෙස පරිහරණය කරන ළැදැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන්  තහනමෙන් නිදොස් වූ ඉහත නිලධාරීන් තිදෙනාට එරෙහිව පවරා තිබෙන නඩුවට අදාළ විමර්ෂණය කඩිනම් කරන්නැයි කොළඹ දිසා අධිකරණය කුරුඳුවත්ත පොලීසියට නියෝග කළේ පසුගිය සඳුදාය.

එදින වගඋත්තරුවන් අධිකරණයේ පෙනී සිටියහ. ක්‍රීඩා අමාත්‍යාංශය විසින් 2022 දෙසැම්බර් 12 වැනිදා කුරුඳුවත්ත පොලීසියට කළ පැමිණිල්ලක් අනුව පොදු දේපළ පනත යටතේ මෙම නඩුව පවරා තිබේ. ඒ අනුව නැවැත නඩුව විභාගයට ගැනීම අප්‍රේල් 28 වැනිදාට කල් තැබීය.

කෙසේ වූවත් මෙම කිසිදු කාරණාවක් මෙරට දුප්පත් පාපැදි ක්‍රීඩකයන්ට හා පාපැදි ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට වැදගත් නොවන අතර ඒ තුළින් ප්‍රකාශ වන්නේ නිලධාරීන්ගේ බලලෝභිත්වය තුළින් දිනෙන් දින පරිහානිය කරා ගමන් ගන්නා රටේ පාපැදි ක්‍රීඩාවයි. වසර 2019 න් පසුව මේ දක්වා  ජාත්‍යන්තර තරගයකට සහභාගි වීමට ශ්‍රී ලංකාව අපොහොසත්වී සිටීම තුළින්ම පාපැදි සම්මේලනයේ පසුගිය කාලයේ කෙරුවාව පැහැදිළි වේ.

එයින් දේශීය තරග සංවිධානයට එල්ලවී තිබෙන බලපෑම ද සුළුපටු නොවේ. පාපැදි සම්මේලනයේ නාමයෙන් බලලෝභී නිලධාරීන් පිරිසක් විසින් ක්‍රීඩාව හා ක්‍රීඩකයන් ප්‍රාණ ඇපයට ගෙන සිටින තත්වයක් ඉහත කථා පුවතෙන් පෙන්වයි.


 නාමල් පතිරගේ


 



අදහස් (0)

අලුත්කඩේ උසාවියේ රේස් පදින පාපැදි සම්මේලනය

ඔබේ අදහස් එවන්න

 

 

Recommended News

අලුත් බෝතල් පරණ වයින් ඡන්ද 87 ක් කප්පාදු කළ ක්‍රිකට් ඡන්දය
2025 පෙබරවාරි මස 03 20 0

රුපියල් බිලියන 22 කට ආසන්න ආදායමක් පසුගිය 2024 වසරට ඉපයූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය (2025 - 27) ලබන මාර්තු 31 වැනිදා පෙරවරු 10 ට මේට්ලන්ඩ් පෙදෙසේ එහි මූලස්ථ


ජ්‍යෙෂ්ඨයනි , ඉදිරියට එන්න
2025 පෙබරවාරි මස 03 16 0

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය අවසානයේ දී මේ සටහන ලියැවෙයි.


එවරස්ට් කන්දටත් වඩා උස කඳු දෙකක්
2025 ජනවාරි මස 31 39 0

එඩ්මන්ඩ් හිලරි සහ ටෙං සිං නෝ ගේ 1953 දී ලෝකයේ උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ වික්‍රමය එසේ මෙසේ එකක් නොවෙයි.


කුසුම් නම් වූ ගැහැනු ළමයා - වසන්ති චතුරානි
2025 ජනවාරි මස 30 90 0

ගම්පහ හෝලික්‍රොස් කන්‍යාරාමය පුරාම වසන්ති චතුරානි ප්‍රචලිතව සිටියේ ෆිල්ම් ස්ටාර් වශයෙනි.


මේ වසරේ විවාහ වෙන්න අදහසක් තියෙනවා - සුරාජ් මාපා
2025 ජනවාරි මස 30 66 0

දිනෙන් දින අලුත්වන කලා ලෝකය තුළ තම ජනප්‍රියතාව එකලෙසින්ම පවත්වාගෙන යෑම සෑම කලා තරුවකටම පහසු නැත. ’’ඕලූ’’ ටෙලි නාට්‍යයෙන් දිනාගත් ප්‍රේක්ෂක ආදරය තවමත


මුලින්ම මම හිතුවෙ මල්ලි ක්‍රිකට් වලින් ඉදිරියට යාවි කියලයි - ජනිත් වික්‍රමගේ මල්ලි සංකේත ගැන කියූ කතාව
2025 ජනවාරි මස 30 54 0

මව සහ පියාගෙන් ලැබූ ආභාසය උපතින්ම උරුම කරගෙන කලා විෂයෙහි නිරතවන මේ අයියා සහ මල්ලි ගැන අමුතුවෙන් හැඳින්වීම් කළ යුතු නොවන්නේ, ලංකාවේ බොහෝ දෙනා ඒ කලා පවුල


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 84 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 752 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 732 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site