IMG-LOGO

2024 දෙසැම්බර් මස 27 වන සිකුරාදා


ඇමෙරිකාව කලඹන අබිරහස් ඩ්‍රෝන යානා


ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා නොගත් ආකාශ වස්තූන් සැරිසරයි. සාමාන්‍යයෙන් ඇමෙරිකාවට වැඩියෙන් ආකර්ෂණය වන්නේ පියාඹන පීරිසි, එසේත් නැතිනම්, පිටසක්වළ යානා ය. ඊට හේතුව, පිටසක්වළ යානා දුටු බවට වැඩිම වාර්තා ලැබෙන්නේත්, පියාඹන පීරිසි සහ පිටසක්වළයන් ගැන චිත්‍රපට බිහිවන්නේත් ඇමෙරිකාවෙන් වීමය. සමහරවිට, ඇමෙරිකාව ලෝකයේ බලවතා බැවින්, පිටසක්වළයන් කෙළින්ම ඇමෙරිකාව සොයා පැමිණෙනවා වෙන්නට බැරි නැත. 

කෙසේ හෝ වේවා, මේ වන විට ඇමෙරිකාවේ නිව්ජර්සි ජනපදය ද ඇතුළු ජනපද කීපයකම වැසියන් පමණක් නොව - ආරක්ෂක අංශ පවා තැතිගන්වා ඇත්තේ පියාඹන පීරිසි නොව, ඩ්‍රෝන යානාය. ඩ්‍රෝන යනු දැන් ලොකු කුඩා කවුරුත් දන්නා දෙයකි. නියමුවන් රහිත, දූරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක වන පියසැරි යානා ඩ්‍රෝන ලෙස හැඳින්වෙයි. ඔත්තු බැලීමට, සතුරු ප්‍රහාර විනාශ කිරීමට ප්‍රබල ඩ්‍රෝන යානා යොදා ගැනෙයි. ඇමෙරිකන් ආරක්ෂක අංශ සතුව ඇත්තේ අතිනවීන තාක්ෂණයෙන් නිපදවූ ඩ්‍රෝන යානා ය. පසුගිය කාලයේ ඉස්ලාමීය ත්‍රස්ත නායකයන් බොහෝ දෙනකුට ගුවන් ප්‍රහාර එල්ලකර මරාදැම්මේ ඇමෙරිකන් හමුදාවේ ඇති අතිප්‍රබල ඩ්‍රෝනයානා මගිනි. නිව්ජර්සි ජනපදයට ඉහළ අහසේ ඩ්‍රෝනයානා සැරිසරන බවට තොරතුරු වාර්තාවීමට පටන්ගත්තේ, මීට මාසයකට පමණ පෙරය. ජනතාව පමණක් නොව , ඇමෙරිකන් දේශපාලනය ද කලබලයට පත් කිරීමට මෙම අබිරහස් ඩ්‍රෝනයානා සමත්වී තිබේ.

මෙය ආරම්භ වූයේ - පසුගිය නොවැම්බර් 18 වැනිදාය. නිව්ජර්සි ජනපදයට ඉහළ අහසේ පළමුවරට ඩ්‍රෝනයානා දකින්න ලැබුණේ එදාය. එදා පටන් සෑම දිනෙකම රාත්‍රියේ ඩ්‍රෝනයානා දකින්නට ලැබුණි. හය, අට දහය බැගින් රතු කොළ සහ සුදු දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් ඩ්‍රෝන පොකුරු දකින්න ලැබුණු බව නිව්ජර්සි වැසියෝ කියති. 

තමන්ට ඩ්‍රෝන යානා දකින්න ලැබුණැයි එෆ්.බී.අයි. කාර්යාංශයට ලැබුණු පැමිණිලි ගණන 3,000 කට වැඩිය. නිව්ජර්සි ජනපදයේ ප්‍රාන්ත දොළහෙන්ම ඩ්‍රෝන දුටු බවට තොරතුරු ලැබී ඇත. නිව්ජර්සි ජනපදයට අමතරව මේ වන විට පෙන්සිල්වේනියා ජනපදයෙන් සහ ඔරේන්ජ්කවුන්ට් ප්‍රාන්තයෙන් මෙන්ම නිව්‌යෝක් ජනපදයෙන් ද ඩ්‍රෝනයානා සැරිසරන බවට ආරක්ෂක අංශ වෙත පැමිණිලි ලැබී ඇත. ඩ්‍රෝනයානා රාත්‍රියේත් අලු‍යම් කාලයේත් දකින්න ලැබුණු බවත්, ඇතැම් ඩ්‍රෝනයානා තනිතනිව මෙන්ම - පොකුරු වශයෙන් ද පියාසර කළ බවත්, එම පැමිණිලිවල සඳහන් වෙයි. ඇතැම් ඩ්‍රෝනයානා කුඩාය. ඇතැම් ඒවා මෝටර් රථ තරමට විශාල යැයි ද පැවැසෙයි.

නිව්ජර්සි ප්‍රාන්තයේ නිවාසවලට ඉහළින්, ගුවන්තොටුපොළවලට ඉහළින් මෙන්ම - ඇමෙරිකන් හමුදාවට අයත් හමුදා කඳවුරකට සහ අවි ගබඩාවකට ඉහළින් ද එම ඩ්‍රෝනයානා පියාසර කර ඇත. ඩ්‍රෝනයානා හමුදා කඳවුරට ළං වෙද්දී අනතුරු නළා නාද විය. මේ ඩ්‍රෝනයානා ගැන නොයෙක් නොයෙක් අදහස් කරළියට පැමිණි අතර, ඩ්‍රෝනයානා ඉරානයට අයත් ඒවා යැයි කොංග්‍රස් (පාර්ලිමේන්තු) සභිකයන් අතරේ ද කසුකුසුවක් පැතිර යෑමට පටන් ගෙන තිබේ. ඊට හොඳ සාධාරණ හේතුවක් ද ඇත. 

මේ වනවිට චීනයත්, ඉරානයත් ඩ්‍රෝන තාක්ෂණය ප්‍රගුණ කර ඇත. ඔවුන් හමුදා කටයුතු සඳහා ප්‍රහාරක ඩ්‍රෝනයානා මෙන්ම, ඔත්තු බැලීමේ ඩ්‍රෝනයානා ද නිපදවීම කරයි. ඇමෙරිකාවට පැමි‍ණෙන ඩ්‍රෝනයානා චීන ඩ්‍රෝනයානා ලෙසට චෝදනා එල්ල වන නමුත්, වැඩිපුර ඇඟිල්ල දිගුවන්නේ ඉරානයටය. ඊට සාධාරණ හේතුවක් තිබේ.

ඉරාන නාවික හමුදාව සතුව සුවිශේෂී යුද නැවක් ඇත. මෙය ඩ්‍රෝන යානා රැගෙන යන යුද නැවකි. මෙම නැවේ සිට ඉරාන හමුදාව සහ බුද්ධි අංශ ‌ඩ්‍රෝනයානා මෙහෙයවීම සිදුකරයි. ඇමෙරිකන් බුද්ධි අංශ සැමවිටම මෙම නැව ගැන සෝදිසියෙන් පසුවෙයි. “ෂාහිද් බැගේරි” නමැති මෙම ඩ්‍රෝන ප්‍රවාහන නැව ’මවුනෞකාව’ යන නමින් ද හැඳින්වෙයි. මෙය පසුගිය 12 වැනිදා වනතුරු ඉරානයේ වරායක නැංගුරම් ලා තිබුණි. ඇමෙරිකන් බුද්ධි අංශ මේ බව දැනගත්තේ, ඔත්තු බැලීමේ චන්ද්‍රිකා ඇසුරිනි. කෙසේ නමුත් ඉන්පසු නැව අතුරුදන් විය. එය ගියේ කොහෙටදැයි සොයාගැනීමට හැකියාවක් ලැබුණේ නැත. බොහෝ දෙනා අනුමාන කරන්නේ, ෂාහිද් බැගේරි නෞකාව ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරයට සමීප වී ඇති බවත්, ඇමෙරිකානුවන්ට දකින්න ලැබෙන්නේ එම නැවේ සිට ආ ඩ්‍රෝනයානා බවත්ය.

ඇමෙරිකාවේ  මීළඟ ජනාධිපති වීමට තේරී පත්වී සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. ඉරානය සහ ට්‍රම්ප් අතරේ විරසකයක් පවතී. ඒ ට්‍රම්ප් පළමුවරට ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී, ඉරාන විප්ලවීය හමුදාවේ අතිරේක බලඇණි ප්‍රධානියකු වන කසීම් සුලෙයිමාන් ඝාතනය කිරීමට අණදීම ය. පසුගිය මැතිවරණ සමයේ දී ට්‍රම්ප් ඝාතනය කිරීමට ඉරානය සැලැසුම් කළ බවට ද තොරතුරු අනාවරණය වී ඇත. ඇමෙරිකාවුන් අන්දමන්ද කළ අබිරහස් ඩ්‍රෝනයානා ගැන ට්‍රම්ප් ද කලබල වී සිටී. නිව්ජර්සි හි ට්‍රම්ප්ගේ ගොල්ෆ් ක්‍රීඩා පිටියක් ඇත. මෙම ක්‍රීඩා පිටියට ඉහළින් ද ඩ්‍රෝනයානා සැරිසරා ඇත. මෙම ඩ්‍රෝන සම්බන්ධයෙන්, මාධ්‍යවේදීන් ට්‍රම්ප්ගෙන් ප්‍රශ්න කළ විට ට්‍රම්ප් මෙසේ පැවැසීය.

“ඇත්තම කියනවා නම්, ඩ්‍රෝන සම්බන්ධයෙන් හැමදේම වත්මන් ජනාධිපති ජෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය දන්නවා. අපේ ආරක්ෂක අංශ දන්නවා. ඩ්‍රෝන එන්නේ කොහේ සිටද? ඒවා ආපසු යන්නේ කොහේටද? කියා ආරක්ෂක අංශ දන්නවා. ඒත් ඔවුන් ඒ කිසිවක් ජනතාවට හෙළි කරන්නේ නැහැ. මගේ බෙඩ්මින්ස්ටර් ගොල්ෆ් ක්‍රීඩා පිටියට ඉහළින් ඩ්‍රෝන යානා ගැවසුණා. මම ඉක්මනින් ඒ පළාතෙන් ඉවත් වීමට පියවර ගත්තා. සියල්ල දන්නවා වුණත් - බයිඩන් පරිපාලනය කිසිවක් හෙළි කරන්නේ නැහැ. හේතුව ඔවුන් කැමතියි ජනතාව කුතුහලයෙන් තබන්න. මම නම් පොලිසියට උපදෙස් දෙන්නේ, ජනතාවට උපදෙස් දෙන්නේ සැක ඩ්‍රෝනයානාවක් දැක්කොත් පහර දී ඒක බිම දාන්න කියලයි.”

ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ඇමෙරිකන් ආරක්ෂක අංශ කරුණු පැහැදිලි කිරීමක් කළේය. ඇමෙරිකාවේ නීතියට අනුව, කිසිදු ආකාරයක පියාසර වස්තුවකට හිතුමතේ වෙඩිතැබීම කළ නොහැකිය. ඇමෙරිකාවේ නීත්‍යානුකූලව ඩ්‍රෝනයානා භාවිතය සිදුවෙයි. හඳුනා නොගත් යානා මොනවාද? එම නීත්‍යනුකූල යානා මොනවාද යන්න නිවැරදිව හඳුනාගැනීම ජනතාවට හෝ පොලිස් නිලධාරීන්ට හෝ කළ නොහැකි දෙයකි. කිසිම අවස්ථාවක, ඩ්‍රෝනයානාවලට වෙඩි තැබීම නොකරන ලෙස එෆ්.බී.අයි. කාර්යාංශය ජනතාවට දැනුම් දී ඇත. හේතුව, එසේ වෙඩි ප්‍රහාරයකට ලක්වන යානයක් කඩාවැටීමෙන් ජනතාවට අනතුරු සිදුවීමට ඉඩ ඇති බැවිනි.


ලු‍සිත ජයමාන්න
      ඩේලිමේල් ඇසුරිනි


 



අදහස් (0)

ඇමෙරිකාව කලඹන අබිරහස් ඩ්‍රෝන යානා

ඔබේ අදහස් එවන්න

Recommended News

යළි පණ ලබන තයිලසයින්
2024 දෙසැම්බර් මස 26 9 0

ටැස්මේනියා යනු ඕස්ට්‍රේලියාවට අයත් ඕස්ට්‍රේලියා මහාද්වීපය පහළ කෙළවරේ ඇති දූපතකි. ලොව අන් කිසිම තැනක දකින්න නොලැබෙන විදියේ ජීවීහු ඕස්ට්‍රේලියාවේත්,


දෙලොවක් අතර තනිවුණු රණවිරුවා
2024 දෙසැම්බර් මස 26 9 0

බොරැල්ල කනත්ත අසලින් යන වාරයක් වාරයක් පාසා හදවතට සියුම් රිදවීමක් ගෙනදෙන අහඹුවක් අදටත් මසිතට වද දෙයි.


ඇමෙරිකාව කලඹන අබිරහස් ඩ්‍රෝන යානා
2024 දෙසැම්බර් මස 26 10 0

ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා න


මේ නත්තල දයාවන්තව ගතකරමු
2024 දෙසැම්බර් මස 24 11 0

නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.


යුරෝපයේ අසිරියටත් එහා ගිය කොළඹ සුපිරි තරු හෝටල මවන නත්තල් අසිරිය
2024 දෙසැම්බර් මස 24 33 0

කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ


තරු නත්තලේ
2024 දෙසැම්බර් මස 24 25 0

මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 135 0
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 115 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 84 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site