ලංකාවේ හදපු කාර් රජය විසින් පසුගිය මාසයේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමත් සමග වාහන 9,012ක් ගෙන ඒම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවත්, එහි වටිනාකම ඩො.මි. 127ක් බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී පසුගිය දා අනාවරණය විය.
ඒ අනුව 2024.12.18 සිට 2025.01.31 දක්වා ඩොලර් මිලියන 15ක ණයවර ලිපි සහ මෙම වසරේ පෙබරවාරි මාසයෙහි පමණක් ඩොලර් මිලියන 112 ක ණයවර ලිපි විවෘත කර ඇති බව කමිටුව හමුවේ මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ. කේ. සෙනෙවිරත්න මහතා පැවසීය.
මුදල් අමාත්‍යාංශයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ. සෙනෙවිරත්න මහතා එම මුදල් පිළිබඳ කාරක සභාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙසේය.
මුදල් අමාත්‍යාංශයේ එල්.සී. ඕපන් වෙලා තියෙනවා. 2024.12.18 සිට 2025.01.31 වෙනකන් ඩොලර් මිලියන 15 ක විතරයි. පෙබරවාරි මාසයේ විතරක් ඩොලර් මිලියන 112 ක එල්.සී. ඕපන් වෙලා තියෙනවා. නම්බර්ස් විදියට ගත්තොත් 2126 යි එල්.සී. නම්බර්ස් වාහන විදියට 9,012 යි.
මෙහිදී අදහස් දැක් වූ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා අසා සිටියේ මම පුවත්පතක දැක්කා මර්සිඩිස් බෙන්ස් දාලා තිබුණා ෆුල් පේජ් ඇඩ් එකක් වැගන් එකක් තිබුණා මිලියන 215 යි. මිනිස්සු ගන්නවාද? යනුවෙන් ඇසීය.
ඊට පිළිතුරු දුන් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මෙසේ පැවසීය. “ගන්න අය ඉන්නවා. අර්බුදය අතරතුර රටේ එක් විශේෂ කොටසක් සුපිරි ධනවතුන් බවට පත්වෙලා.”
මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා නැවතත් අසා සිටියේ “කොහොමද ඒ ධනවත් වුණේ කියලා. කවුද වුණේ කියලා” හොයලා බලන්න වෙනවා, යනුවෙනි.
මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ඇසුවේ මිලියන 215 ක වාහන මිනිස්සු ගන්නවා ද යන පැනයයි.
මිලියන 215 ක් යනු තේරෙන භාෂාවෙන් පැවසුවහොත් රුපියල් කෝටි ගණනක වාහන ආනයනයට ඉඩදීම එක අතකින් දෛවෝපගත සිදුවීමකි. ඊට හේතු වන්නේ ඉන්දියාවටත් පෙර ලංකාවේ විශේෂයෙන් කාර් නිපදවා ඇති නිසාය. මුළුමනින්ම වාණිජමය වශයෙන් ලංකාවේ කාර් නිපදවීම ආරම්භ කරන ලද්දේ කෝටිපති ව්‍යාපාරික උපාලි විජේවර්ධන මහතාගේ Upali Moter Company විසිනි. සරල භාෂාවෙන් කොම්පැනිය හැඳින්වූයේ UMC යනුවෙනි.
උපාලි ෆියට් රථය
උපාලි විජේවර්ධන යනු කලාකාමී චරිතයකි. ලංකාවේ කාර් හදපු උපාලිගේ චරිතය අධ්‍යයනය කළ යුතුම චරිතයකි. කුඩා කල කඹුරුපිටියේ සිට කොළඹ පැමිණි උපාලි තම වැඩිමල් අක්කලා දෙන්නා වන අනෝජා සහ කල්‍යාණි සමග මුලින්ම පාසල් අධ්‍යාපනය ලැබීමට කොළඹ කාන්තා විද්‍යාලයට ඇතුළත් කරනලදී. එකල උපාලිගේ සිත් ගත් එකම පාඩම වූයේ මැහුම් ගුරුවරිය ගොතන්නට පුරුදු කරන අන්දම පසුකලෙක ඔහු පවසා ඇත. මේ කියන කාලයේදී දරුවන් තිදෙනාට සිංහල ඉගැන්වීම මැනවැයි සිතූ උපාලිගේ දෙමාපියන් සිංහල ඉගැන්වීමට ඩී.එස්. මුණසිංහ මහතාට භාර කරන ලදී. දඟකාරයෙකු වූ උපාලි දඟවැඩ සහ සිංහල ඉගෙනීම යන දෙකම අපූරුවට කරගෙන ගිය අතර සෑම දිනකම ඉගැන්වීමට එහි එන සිංහල ගුරුවරයාට උපාලිගේ මුවින් පිටවෙන කවියක් නොවරදවාම අසන්නට ලැබුණි. ඒ ගුරුවරයාම තනා ඉගැන්වූවක් වීම විශේෂත්වයකි.
පුංචි ඇටේ පැළ වෙති
පුංචි පැළේ ගස වෙති
පුංචි පුංචි නුවණැති
පුංචි ළමෝ පඬි වෙති
කාන්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීමෙන් පසු උපාලි රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. රාජකීය විද්‍යාලයේ ජනප්‍රිය මෙන්ම කැපී පෙනෙන සිසුවෙකු ලෙස ඔහු ප්‍රසිද්ධියට පත් විය. ධනවත් පවුලක දරුවකු වුවත් ඔහු ජීවත් වූයේ ඉතා යථාර්ථවාදී ලෙසය. රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසු උපාලි වැඩිදුර ඉගෙනීම සඳහා එංගලන්තයට පය තැබීය. මේ වන විට උපාලිගේ පියා ජීවිතයෙන් සමුගෙන තිබුණෙන් මව් සහ සොහොයුරියන් ඔහුගේ මේ එංගලන්ත ගමනට එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. 1953 වසරේදී උපාලි එංගලන්තයට යන විට වයස අවුරුදු දහසයකි.
එංගලන්තයේ අධ්‍යයනය සාර්ථකව අවසන් කළ උපාලි ලංකාවට ආපසු “ලිවර්” සමාගමේ සේවයට එක් විය. එයින් අයින් වීමට හේතුව හා පසුව ලංකාවේ වාහන හදන තරම් දැවැන්ත ව්‍යාපාරයක් වූ උපාලි ව්‍යාපාරය ආරම්භ කළ අන්දම උපාලි ජීවන චරිතයේ සටහන් කොට ඇත්තේ මෙසේය. උපාලි ලිවර් සමාගමේ වැඩට ගොස් ඇත්තේ ඔහුට ඉහළ පරිපාලන නිලධාරියා භාවිත කරන වාහනයටත් වඩා වටිනා වාහනයකිනි. “කාර් එකකින් මම එතැනට ඇවිත් කඩිසරව වැඩ කටයුතු කරන විත්තිය එයා දැනගත්තා. ඒ මනුස්සයා හිතුවේ මම කවදාහරි එයාට අභියෝගයක් වේවි කියලා.
මම කනස්සල්ලෙන් ඉන්න විත්තිය දැනගත්ත මගේ සේවකයෙක් වෙලා හිටිය රාජාරාම් දවසක් මං ළඟට ඇවිත් මහ පුදුම කතාවක් කිව්වා. “මගේ තාත්තාට මඩකලපුවේ සීනි බෝල මැෂිමක් තියෙනවා. තාත්තා මේ දවස්වල ඉන්නේ බිස්නස් සවුත්තු වෙලා. මැෂිම විකුණනවයි කිව්වා. මට පුළුවන් නම් ඒක අරගෙන දෙන්න. ඒ කතාවෙන් මම එක තීරණයක් ගත්තා. කෙනෙහිලිකම් මට අල්ලන්නෙ නෑ. මම එදාම ලිවර් සමාගමෙන් අස්වෙලා ගෙදර ආවේ ලැබිච්ච මාසික පඩියත් මේසේ උඩට දාලා.
මඩකලපුවෙන් ගෙනා සීනි බෝල මැෂිම මහා කසිකබල් එකක්. අතින් සීනි බෝල හදන්න ගියොත් කාලය මහන්සිය හැරුණාම ඉතුරුවෙන දෙයක් නෑ. මේකට විදුලි බලය එක්කාහු කළොත් කියලා මට හිතුණා. හොඳට විපරම් කරලා බැලුවා. 505 ගැරේජ් එකේ හිටිය අප්පුහාමි බාස් උන්නැහේ හම්බවුණේ එතැනදී. අලුතින් මෝටරයක් මැෂිමට එක්කහු කළාම විසිතිස් ගුණයකින් වැඩේ කෙරෙනවා. අපි ඒක පටන් ගත්තේ සේදවත්ත වලව්වේ.
උපාලි මැස්ඩා රථය
ඒකත් හරි ගියේ නෑ. සීනි බෝල දියවෙනවා. ඒත් රාජාරාම් නිෂ්පාදනයක් කිව්වම බොහෝමයක් කඩකාරයෝ ඒවා මිලයට ගන්නවා. මම විඳින අපහසුතාව අපේ අත්තම්මා දැනගත්තා. මාත් එක්ක පැය ගණනක් කතා කරලා අන්තිමට තීන්දුවක් ගත්තා. මාතර තිබුණ පෙට්‍රල් ෂෙඩ් එක ඉඩම් කෑලි ටිකක් විකුණලා මට සල්ලි දුන්නා. බ්ලූ මැන්ඩල් පාරේ ටොෆි හදන්න පටන් ගන්නේ ඊට පස්සේ.
උපාලි මේ කියන බ්ලූ මැන්ඩල් ඉඩම පසු කලෙක සබන් ව්‍යාපාරය සඳහා ප්‍රධාන කාර්යාලය ද විය. ක්‍රිස්ටල්, ටින්ගල්, මෙට්‍රෝ සබන්වල නම්ය. උපාලි පුවත්පත් සමාගම ආරම්භ කරන ලද්දේ ද මෙම ඉඩමේමය. කලක් මේ ඉඩමේ උපාලි තම අශ්වයා ගැටගැසූ ගාණ්චුව තිබුණි.
1973 මැතිනියගේ ආණ්ඩු යුගයේ උපාලි ප්‍රධාන මැණික් අපනයනකරුවකු විය. ඒ වන විට ලංකාවේ ට්‍රාන්සිස්ටර් රේඩියෝ නිෂ්පාදනය ආරම්භ කොට තිබුණි. මේ අතර මැතිනියගේ ආණ්ඩුව විදේශ විනිමය තහංචි දමා වාහන ආනයනය තහනම් කරන ලදී.
මේ අතර රජය මගින් පනවා තිබූ විදේශ විනිමය තහංචි මත මෝටර් රථ විදේශයන්ගෙන් ගෙන්වීම තහනම් කරනලදී. මෙය වාසියක් වෙතැයි උපාලිගේ අදහස් විය. ඒ අනුව අලුත් මෝටර් රථ තවත් මාස තුනකින් නිපදවෙන බවත් ඒ සඳහා කලින් ඉල්ලුම් කළ හැකි බවත් දක්වමින් පුවත්පත්වල දැන්වීම් පළකරන ලදී.
සත්‍ය තත්ත්වය නම් ඒ වන විටත් ඒ සඳහා කිසිම සැලැස්මක් නොතිබුණි. අඩුම තරමේ කර්මාන්ත ශාලාවක්වත් මාස තුනකින් මේ හා විශාල කාර්යයක් කළ හැකි දැයි මිතුරන් නැඟූ පැනයට උපාලිගේ පිළිතුර වූයේ කලබල නොවී සිටිනා ලෙසය. හෝමාගම ගලවිලවත්තේ ඉඩම් යායක් මිලට ගන්නා ලදී.
එය වෙල්යායකි. උපාලි එය පස්වලින් ගොඩ කිරීමට සැපයුම්කරු කැඳවන ලදී. සැපයුම්කරු ඉඩම ගොඩකිරීමට මාස හයක කාලයක් ඉල්ලා තමන්ගේ ගාස්තුව ඉල්ලන ලදී.
“එහෙම බැහැ. මම මාස තුනෙන් ඉඩම ගොඩකරලා ඕන. මම ගාස්තුව ඩබල් ගෙවනවා” උපාලි සැපයුම්කරුට පැවසීය.
ඉන්පසු වහා උපාලි මෝටර් සමාගමේ ගොඩනැගිලි බොහෝමයක් ඉදිකරන ලද්දේ H බාර් භාවිතයෙනි. සාමාන්‍යයෙන් ගඩොලින් ගොඩනැගිලි තනන එදා ලංකාවේ ජනතාවට එය අලුත් අත්දැකීමක් විය. එදා සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩුවෙන් උපාලිට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලැබුණි.
ලංකාවේ වාහන එකලස් කිරීමට උපාලි මෝටර් සමාගම ගිවිසුම් ගත වී තිබුණේ ඉතාලියේ ෆියට් කොම්පැණිය හා ජපානයේ මැස්ඩා කොම්පැණිය සමගය. එම ආයතනයේ නිශ්පාදිත මැස්ඩා කාරය නම් කරන ලද්දේ ‘උපාලි මැස්ඩා’ යන නමිනි. ෆියට් කාරය නම් කරන ලද්දේ ‘උපාලි ෆියට්’ නමින්ය. එය උපාලි ෆියට් 127, සහ උපාලි ෆියට් 128 නමින් මාදිලි දෙකකින් යුතු විය.
දිවා රෑ නොබලා වැඩ කළ කාර්මික ශිල්පීන්ගේ හා උපාලිගේ කැපවීමෙන් මාස තුනක් ඉක්ම යත්ම මෝටර් රථයක් මුල්ම කල එළි බැස්සේය. ඒ ‘උපාලි මැස්ඩා’ ය. ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත ප්‍රථම මෝටර් රථය ලෙස ඉතිහාසගත විය.
පළමු මෝටර් රථයේ නැගුණු උපාලි කැලණිය රජමහා විහාරයට ගොස් කැලණි රජමහා විහාරස්ථාන අධිපතිට වැඩ සිටි තලේවිල විජිත ධම්ම රක්ඛිත හිමියන් වෙත එය පූජා කළේය. උපාලි මැස්ඩා ඉතා සුළු කලකින්ම මහත් සේ ජනප්‍රිය විය.
උපාලි ෆියට් රථයේ ප්‍රධාන ගැනුම්කරුවකු වූයේ මහජන බැංකුව ඇතුළු රාජ්‍ය බැංකු පද්ධතියයි. 1984 වන විටත් මහජන බැංකුව සතු කාර් රථ අතරින් වැඩිම ප්‍රමාණයක් තිබුණේ උපාලි ෆියට් සහ උපාලි මැස්ඩාය.
දැන් හැමෝම විස්සෝප වන්නේ ආනයනික වාහන අඩුම එක මිලියන හතට එහා බව කම්මුලට අත තබා ගනි මිනි.
කනගාටුවට කරුණ ලංකාව අංග සම්පූර්ණ මෝටර් රථයක් එකලස් කළේ ඉන්දියාවටත් පළමුව බව අද බොහෝ දෙනාට අමතකව තිබේ. ලංකාවේ උපාලි විජේවර්ධන හෝමාගම නිපද වූ “උපාලි ෆියට්” උපාලි මැස්ඩා රථ දුටු එවකට ඉන්දියන් අගමැතිනිය වූ ඉන්දිරා ගාන්ධිගේ පුත් සංජේ ගාන්ධි ඉන්දියාවේද මතු දිනෙක ලංකාවේ මෙන් සුවපහසු මෝටර් රථයක් නිෂ්පාදනය කළ යුතු බව කියා ඇත. සංජේ ගාන්ධි එසේ කියා නිකං හිටියේ නැත.
ආණ්ඩුවෙන් ආධාර ඉල්ලන්න ගියෙත් නැත.
ජපානයේ සුසුකි සමාගම සමඟ එක් වී “මරුති” නමින් කුඩා මෝටර් රථයක් එකලස් කරන්නට පියවර ගත්තේ තම වෘත්තිය වූ ගුවන් නියමු රැකියාවෙන් පහළට බසිමිනි.
මරුති යනු මරුතය නමැති අරුතයි. වරක් “මරුටි උඩෙයාන්ග්” කොම්පැනිය ඉන්දිරා ගාන්ධි අගමැතිනිය එය රජයට පවරාගෙන පුනරුත්ථාපනය කළේය. ඒ මරුටි කොම්පැනිය අද වන විට මුළු ආසියාවේම කුඩා වාහන වෙළෙඳ ඒකාධිකාරයක් බිහි කරගෙන ඇත්තේය.
එම වාහන පාකිස්ථානය බංගලිදේශය, මාලදිවයින ආදි රටවල වෙළෙඳපොළ ජයගෙන හමාරය. අන්තිමට ඉන්දියාවටත් පෙර කාර් හදපු ලංකාවේ වෙළෙඳපොළ ජයගන්නට ද මෙම මෝටර් රථ සමත් විය. අපේ රටේ දේශීය වාහන නිෂ්පාදනය වළපල්ලට යැවීමට “විවෘත ආර්ථිකය” හඳුන්වා දුන් ආණ්ඩුව පියවර ගන්නා ලදී.
1973 ත් 1975 අතර සිංහල පුවත්පත් නිරීක්‍ෂණයේ දී උපාලි ෆියට් සහ උපාලි මැස්ඩා රථ අලෙවියට පළකළ දැන්වීම් දැකගත හැකිය. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති දත්ත වර්තාවක ඇත්තේ උපාලි විජේවර්ධන නිපදවූ කාර් රථවල ඉංග්‍රීසි දැන්වීමය. ජපානයේ මැස්ඩා සමාගම සමග උපාලි සමාගම නිපදවා ඇති රථය මැස්ඩා 1500 ය නම් වේ. මේ රථයක් තවම කොළඹ ගංගාරාම විහාරස්ථානයේ ඇත. මෙහි මුල්ම රථය පූජා කර ඇත්තේ කැලණිය පන්සලටය. උපාලි සමාගම මැස්ඩා රථයේ දැන්වීම පළකොට ඇත්තේ In the making your UMC Mazda 1500.
උපාලි ෆියට් රථයේ දැන්වීමේ අමුතුම වාක්‍යයක් ඇත. එම දැන්වීම අනුව සඳහන්ව ඇත්තේ උපාලි ෆියට් කාරය මිලදීගැනීමට ‘පර්මිට්’ අවශ්‍ය නැති බවය. එයින් කියවන්නේ එකී වකවානුවේ කාර් රථයක් ආනයනයට බලපත්‍රයක් තිබිය යුතු බවත් එය සුවිශේෂ වරප්‍රසාද ලත් පුද්ගලයින් පමණක් සතුවූ බවත්ය.
ලංකාවේ වාහන දේශීය නිෂ්පාදනය අප ආරක්‍ෂා කරගත්තා නම් එම රථ දකුණු ආසියාවේම වෙළෙඳපොළ ජයගෙන හමාරය. උපාලි මෝටර් සමාගම තම රථවලට අවශ්‍ය අමතර කොටස් 40%ක් දේශීයව නිෂ්පාදනය කළ අතර වසර 5ක් තුළ එය 70% ක් දක්වා වැඩිකිරීමට සැලසුම් කොට තිබූ බව උපාලි විජේවර්ධන අතුරුදන් වූ අවස්ථාවේ ජාත්‍යන්තර Newsweek සඟරාව සඳහන් කොට තිබුණි.
1977 එජාප ආණ්ඩුව පරණ කෑලි හැලෙන වාහන ආනයනයට අවසර දීමත් සමඟ දේශීය වාහන කර්මාන්තය බලවත් අර්බුදයකට පත්ව පසුව වසා දමන ලදී. එහෙත් අද වන තුරු එම දේශීය කර්මාන්තය අප රැකගෙන සිටියේ නම් ආනයනික වාහන එනතුරු අපට නන්නත්තාර වීමට සිදුවන්නේ නැත. ඊටත් වඩා දේශීයව වාහනයක් ලැබෙන බැවින් එය මෙරට රැකියා හිඟයට ද පිළියමකි. දැන් අලුත් වෙළෙඳපොළ ප්‍රවණතාව වන Electric Vehicle Concept එක අතට යමින් දේශීය වාහන කර්මාන්තය රැකගෙන සිටියා නම් අපට ඉන්දියාවටත් ප්‍රථමව ආසියාවේ ප්‍රථම ඉලෙක්ට්‍රික් කාර්රථය නිෂ්පාදනය කළ රට ලෙස ශ්‍රී ලංකාව ඉතිහාසයට එක් කිරීමට හැකියාව තිබුණි.
මහින්ද රණවීර
ලංකාවේ හදපු කාර් රජය විසින් පසුගිය මාසයේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමත් සමග වාහන 9,012ක් ගෙන ඒම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවත්, එහි
වසර 30ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී යුද්ධය යුදමය වශයෙන් පරාජය කර දැනට වසර 16කි. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන්
රනිල්ට ඉකුත් සතියේ ආන්දෝලනාත්මක තැනකින් සුහද ඇරැයුමක් ලැබුණේය. ඒ චීන තානාපති කාර්යාලයෙනි. ඒ ඇරැයුම රනිල්ගේ උපන් දිනය වෙනුවෙන්, චීනයෙන් උපන් දින පාටිය
ආණ්ඩුවේ ගමන් මග වෙනස් වෙමින් තිබේ ද? ඉකුත් සතියේ ඇතැම් සිදුවීම් සමග එවැනි ප්‍රශ්නයක් ඉස්මතු විය.
පිංවත් කරන්දෙණිය ප්‍රඥාදීප යතිවරයාණන් වහන්සේ වනාහි නූතනයේ පහළ වී වදාළ අභිඤ්ඤාවෙන් දකින ලද සුවිශේෂි ස්ථානයක් පිළිබඳව අපි මෙලෙස සටහන් තබන්නෙමු. පිංවත
1987 – 89 භීෂණ සමයේ දී රජයේ ආරක්ෂක අංශ පවත්වාගෙන ගිය වදකාගාරයක් බටලන් ද නිවාස සංකීර්ණයේ තිබූ බව කියැවෙයි. 1998 වසරේ දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුං
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
එදා ඉන්දියාවත් මවිත කළ උපාලි ෆියට් හා මැස්ඩා කාර්