පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි. පසුගිය මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පිළිබඳ සමාජය තුළ ආන්දෝලනයට ලක්වූ සිදුවීම බවට පත්වූයේ සිලින්ඩරයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර දෙකෙන් එකක් සඳහා රවී කරුණානායකගේ නම මැතිවරණ කොමිසමට යොමු කිරීමයි.
එහි ආන්දෝලනයට ලක්වූ කාරණාව වූයේ සිලින්ඩරයට නිල නොලත් නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ මහතා සිලින්ඩරයේ නායක කාරකාදීන් කිසිවකුගේ අනුමැතියකින් තොරව රවීගේ නම පක්ෂ ලේකම්වරිය විසින් යැවුවා යන චෝදනාවයි. ඊට පිළිතුරු ලෙස රවී කරුණානායක පැවසුවේ ඡන්දයට පෙර සිටම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදෙන බවට සිලින්ඩරය තමන්ට පොරොන්දු වී තිබූ බවයි.
රවීගේ පත්වීමත් සමග ඒ උණුසුම කෙමෙන් මැකී යද්දී බොහෝ දෙනාගේ අවධානය තිබුණේ සිලින්ඩරයේ ඊළඟ මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්නයි. ඒ සඳහා නම් ගණනාවක් යෝජනා වූ බව දේශපාලන රහස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ලැබුණු අතර, සංධාන අභ්‍යන්තරයේ බහුතරයකගේ මතය වී තිබුණේ පසුගිය කාලයේ ආණ්ඩුවට ලබා දුන් නායකත්වය මත මේ සඳහා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මේ සඳහා පත්කළ යුතු බවයි.
එහෙත් තවත් සමහරුන්ගේ මතය වූයේ ශ්‍රිලනිප පාර්ශ්වය නියෝජනය කරමින් මේ සඳහා ෆයිසර් මුස්තාපා හිටපු ඇමැතිවරයා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්කළ යුතු බවයි. දෙපැත්තේ සංවාද ඒ ආකාරයට සිදුවෙමින් තිබියදී අපට හදිස්සියේම ආරංචි වූයේ සිලින්ඩරයේ ඉතිරි මන්ත්‍රී ධුරයට ෆයිසර් මුස්තාපාගේ නම යෝජනා කර මැතිවරණ කොමිසමට යවා තිබෙන බවයි.
එසේ යවා තිබෙන්නේ රවී කරුණානායකගේ නම මීට පෙර යැවූ පක්ෂයේ ලේකම් ෂර්මිලා පෙරේරා විසිනි. දැන් දැන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ හවුල්කාර පක්ෂවල නායකයන් සඳහන් කරන්නේ හිටපු ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපාගේ නම යවා තිබෙන්නේද හවුල්කාර පක්ෂ නායකයන්ගේ අනුමැතියෙන් තොරව බවයි. රවී කරුණානායකගේ සිදුවීමත් සමග එය සොයා බැලීමට රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිව් පුද්ගල කමිටුවක්ද පසුගියදා පත්කෙරිණි.
ඒ කටයුතු එසේ තිබියදී කංචන විජේසේකර හා දිනේෂ් ගුණවර්ධනලාගේ නම් සිලින්ඩරයේ ඉතිරි මන්ත්‍රී ධුරය සඳහා යෝජනා වෙමින් තිබියදී ෆයිසර් මුස්තාපාගේ නම මැතිවරණ කොමිසමට යැවීම දේශපාලන හොරකමක් බවට එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන ප්‍රකාශ කරයි. ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර පිරවීම සම්බන්ධයෙන් තීරණයක් ගත යුත්තේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පක්ෂ නායකයන් බවයි. නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම්වරියට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර සම්පූර්ණ කිරීමට කිසිදු බලයක් පවරා නැති බව එම නිවේදනයේ දක්වා තිබිණි.
මෙයින් පැහැදිලි වන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් යනු කොතරම් වටිනා එකක්ද යන්නයි. එහි වටිනාකම අසීමිත වන්නේ ඕනම දේශපාලන පක්ෂයකට අවුරුදු 05 ක් යනතෙක් පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවන බැවිනි.
මෙවර පැවැති මහ මැතිවරණය ගතහොත් දේශපාලන පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව වැඩිම ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර ප්‍රමාණයකට හිමිකම් කීවේ ජාතික ජනබලවේගයයි. ඒ අනුව ඔවුන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 16 කට හිමිකම් කීමට ලැබිණි. මේ වන විට ඒ සියලු දෙනාම පාර්ලිමේන්තුවේ දිව්රුම් දී හමාරය.
දෙවැනියට වැඩිම ජාතික ලැයිස්තු ලබාගත් පක්ෂය සමගි ජනබලවේගය වන අතර ඔවුන් ලබාගත් මන්ත්‍රීධුර පහෙන් එකකට රංජිත් මද්දුමබණ්ඩාර පත් කෙරිණි. දැනට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙන්නේද දිනෙන් දින කල් යමින් තිබෙන සමගි ජනබලවේග ජාතික ලැයිස්තුවයි. සමහරු සඳහන් කරන්නේ සමගි ජනබලවේග ජාතික ලැයිස්තුවට බාලගිරි දෝෂය කියාය. එහෙත් සුජීව සේනසිංහ, මනෝ ගනේෂන්, නිෂාන් කාරියප්පන්, මොහොමඩ් ස්මයිල් යන හතර දෙනා පත්කර ඇත.
පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් පමණි. එහෙත් ඒ පත්කිරීම ලෙස රනිල් වික්‍රමසිංහ නම් කිරීමට එම පක්ෂය අවුරුද්දක පමණ කාලයක් ලබාගත්තේය. සිලින්ඩරයේ සේම ලොකු තරගකාරිත්වයක් සමගි ජනබලවේගයේද ඇති වී තිබුණි. මෙවර මැතිවරණයෙන් පොදුජන පෙරමුණට ලැබුණු එකම මන්ත්‍රී ධුරයට තේරී පත්වූයේ නාමල් රාජපක්ෂය.
ඊට අමතරව සර්ව ජන බලයටත් එක මන්ත්‍රී ධුරයක් හිමි වූ අතර දිලිත් ජයවීර එයට තේරී පත්විය. මීට අමතරව මුස්ලිම් කොංග්‍රසය, ඉලංකෙයි තමිල් අරසු කච්චි යන පක්ෂවලටද එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය. ජාතික ලැයිස්තු ක්රමයක අවශ්‍යතාව පැනනැගුණේ ඇයිද යන්න පිළිබඳව මෙහිදී විමසා බැලීම වැදගත්ය. 1947 – 1977 කාලසමය තුළ මෙරට ක්‍රියාත්මක වූයේ සරල බහුතර නියෝජන ක්රමයකි. එම නියෝජන ක්‍රමය යටතේද පත්කළ මන්ත්‍රීවරුන් නමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුට ද පාර්ලිමේන්තු වරම් හිමිවිය.
එහෙත් එම ක්‍රමවේදය යටතේ පාර්ලිමේන්තු වරම් හිමිවූයේ දේශපාලනයත් සමග සමීප සබඳතා ගොඩ නගා ගෙන සිටි අයට පමණය. එහි ප්‍රතිඵලයක් වශයෙන් මැතිවරණයට තරග කිරීමට අකමැති බුද්ධිමත් පුද්ගලයන්ට පාර්ලිමේන්තුවට පිවිසීමට තිබුණු අවස්ථාව ඇහිරී තිබුණි. ඒ අනුව විවිධ ක්ෂේත්රයන්හි විශාරදයන්ට මැතිසබයට පිවිසීම සඳහා ක්රමවේදයක අවශ්‍යතාව මතුවිය.
1978 වසරේ දී සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දුන්නත් මුල්ම වරට සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ මහා මැතිවරණයක් පවත්වනු ලැබුවේ 1989 වසරේදීය. එහෙත් එම මැතිවරණය පැවැත්වීමට මාස 09 කට පෙර එනම් 1988 වසරේ මැයි 24 වැනිදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනය සිදුකරනු ලැබිණි.
එම සංශෝධනය මගින් පාර්ලිමේන්තුව සඳහා පත්කර ගන්නා මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 225 දක්වා වැඩි විණි. එහිදී හඳුන්වා දුන් ජාතික ලැයිස්තුව නම් ක්‍රමවේදය තුළින් තවත් මන්ත්‍රීවරුන් 29 දෙනකුට පාර්ලිමේන්තු වරම් හිමිවිය. ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වා දුන්නේ උගත්, බුද්ධිමත් පුද්ගලයන්ගේ සහාය පාර්ලිමේන්තුව සඳහා විධිමත් අර්ථවත් හා රටට වැඩදායි ආකාරයෙන් ලබා ගැනීමය. එහෙත් අද වන විට ජාතික ලැයිස්තුවට පත්වන්නේ එවැනි අයද යන්න තර්ක මතු කළ හැකිය.
අද බොහෝ විට පත් වන්නේ ඒ ඒ අදාළ පක්ෂවලට වැඩියෙන්ම කත් අදින අය විනා ජාතික ලැයිස්තුවේ අර්ථය මතුකරන ආකාරයේ ජනතා නියෝජිතයන් නොවේ. සුළු ජාතීන්ට වැඩි නියෝජනයක් ලබාදීම ද ජාතික ලැයිස්තුවේ තවත් අරමුණක් වුවත් එයත් ඉටුවන ආකාරයක් පෙනෙන්නට නැත.
1988 වසරේ මහත් බලාපොරොත්තු තබාගෙන ජාතික ලැයිස්තු ක්‍රමය හඳුන්වා දුන්නත් 1989 සිට අද දක්වා සමානුපාතික ක්‍රමය යටතේ ජාතික ලැයිස්තුවෙන් බලාපොරොත්තු වුණු වෙනස ඉටු වී නැති බව කනගාටුවෙන් වුවද පැවසිය යුතුය. ජාතික ලැයිස්තු ඉතිහාසයේ පිළිකුල්ම සහගත සිදුවීමක් වාර්තා වන්නේ 2015 දී මහා මැතිවරණයෙන් පරාජය වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකුට යළි පාර්ලිමේන්තු වරම් හිමිකර දීමයි. මෙවරත් එවැනි දෙයක් සිදුවිය.
එනම් ජාතික ජනබල වේගයේ ජාතික ලැයිස්තුව මගින් ද පරාජිත අපේක්ෂකයන් දෙදෙනෙකුට පාර්ලිමේන්තු වරම් හිමිකර දී තිබේ. ඒ අනුව බලන විට ජාතික ලැයිස්තුවෙන් ජනතාව පතන වෙනස ඇති කරගැනීමට තව ගව් ගණන් දුර යා යුතුව තිබෙන බව පැහැදිලිය.
අමිල චින්තක ගමගේ
ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම
ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව
පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.
චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
කොයි පක්ෂයෙන් අර්බුදයට ගිය ජාතික ලැයිස්තුව