IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ගීත රචකයන්ගේ ආදරණීය රෝහණ


 “රෝහණ වීරසිංහ ගැන ගීත රචකයෙක් විදියට ඔබතුමාට දැනෙන දේවල් ටිකක් කියන්න පුළුවන් ද..?”

මම මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගෙන් විමසුවෙමි. 

“ටිකක් කොහොමද කියන්නෙ..? ඒ දැනෙන දේවල් ලියන්න මුළු පත්තරේමත් මදි වෙයි..” එතුමා කීවේය. 

රෝහණ වීරසිංහ නම් වන අද්විතීය ගී තනු රචකයා ගැන ඊට එහා විස්තර කරන්නට වුවමනාදැයි මට සිතිණි. 

“මුළු ලංකාවටම ඉන්නෙ එකම එක රෝහණ වීරසිංහ කෙනෙක් විතරයි.. තවත් කෙනෙක් අපේ ජීවිත කාලය තුළ බිහි වෙයි කියලා හිතන්න අමාරුයි.. රෝහණගෙ ගී තනු උල්පතෙන් මේ වෙනකොට ගීත හාරදාහක් විතර බිහි වෙලා ඇති.. රෝහණ විශිෂ්ට වෙන්නෙ මේ සංඛ්‍යාත්මක අගය හින්දා නෙමෙයි, ඔහු ස්වර රචනා කළ හැම ගීතයක්ම එක වගේ ජනප්‍රිය වුණ හින්දා..

සංගීතය දැන ගත් පමණින් ගී තනු නිර්මාණය කරන්න හැම දෙනාටම පුළුවන්කමක් නෑ.. ඒක වෙනම කලාවක්.. ඒ කලාව සහිත නිසා තමයි රෝහණ වීරසිංහ අසාමාන්‍ය සංගීතඥයෙක් වෙන්නෙ.. ඔහු එක්ක වැඩ කරන්න ලැබීම අපේ භාග්‍යයක්.. මගේ නවතම සිනමා නිර්මාණය ගෞතම බුද්ධමාතා චිත්‍රපටියේ ගීත හතරට තනු නිර්මාණය කළේත් ඔහුමයි.. ඒවත් අනෙක් ගීත වගේම ජනප්‍රිය වෙයි කියලා මම විශ්වාස කරනවා..”


මහාචාර්යතුමා තව දුරටත් කීවේය. 


 

සයුර ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරුසේ ගිලී බිම් අඳුරේ
තළා මා සිත 
පලාගිය ඔබ
දවයි මා.... අද
තනිවෙනවා මොහොතින්

 

කුමාරදාස සපුතන්ත්‍රී

 

 

 

 

 

 

 

 

 


එතුමා පමණක් නොව කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, රත්නශ්‍රී විජේසිංහ, අජන්තා රණසිංහ, අරීසෙන් අහුබුදු, කේ.ඩී. කේ ධර්මවර්ධන, ධර්මසිරි ගමගේ, උපාලි ධනවලවිතාන, කුලරත්න ආරියවංශ, ප්‍රණීත් අභයසුන්දර, සුනිල් ආර් ගමගේ, වසන්ත කුමාර කොබවක, බණ්ඩාර ඇහැලියගොඩ, යමුනා මාලනී පෙරේරා, රඹුකන සිද්ධාර්ථ හිමි, බන්ධුල නානායක්කාරවසම්, කුමාරදාස සපුතන්ත්‍රී, දයා ද අල්විස්, සෝමරත්න දිසානායක, ධම්මික බණ්ඩාර, නිලාර් එන් කාසිම්, මහින්ද දිසානායක, මහින්ද චන්ද්‍රසේකර ඇතුළු  ප්‍රවීණ, ජනප්‍රිය ගීත රචකයන් පමණක් නොව නව පරපුරේ ගීත රචකයෝ වැඩි දෙනෙක් ද සිය නිර්මාණයට රෝහණ වීරසිංහගේ ගී තනු උල්පතෙන් දෝතක් ගැනීමෙන් පමණක් සංසිඳෙන පිපාසයකින් පෙළුණාහු වෙති. පුදුමය වන්නේ බොහෝ රචකයන් ගේ ගීතවලින් සියයට හැත්තෑ පහකට පමණම සංගීත නිර්මාණය කර තිබෙන්නේ රෝහණ වීරසිංහයන් වීමය. 

සුනිල් ආර්. ගමගේ විසින් ලියන ලද ගීතවලින් වැඩිම ප්‍රතිශතයක් රෝහණ වීරසිංහගේ සංගීතයත් සමඟ මුසු වී කර්ණරසායන වූ ඒවාය. 


 

 

 

පද එකින් එක ලියවා සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා මං අසරණව උන්නා
යෞවනේ...
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඬුවා

 

සුනිල් ආර්. ගමගේ

 

 

 

 

 


“මට රෝහණ වීරසිංහ හමු  වෙන්නෙ ගුවන් විදුලියේ මියුරස වින්දන වැඩ සටහන හරහා.. මම ලියපු සමාවෙන්න ගුරුතුමාණනේ ගීතය ගායනා කළේ රෝහණ.. ඊට පස්සෙ අපි අතරේ ඇති වුණ හිතවත්කම  කවදාවත් නැති වුණේ නෑ..    අපේ කාලෙ රෝහණ වීරසිංහ ඉස්මතු වෙනකොට ගීත රචකයෝ සෑහෙන සංඛ්‍යාවක් ඔහු සමඟ ගොඩ නැඟුණා.. ඒ හැමෝම එකට එකතු වෙලා නිර්මාණ කරන්න පටන් ගත්තා.. මම, කුලරත්න ආරියවංශ බන්ධුල නානායක්කාරවසම්, වසන්ත කුමාර කොබවක, කුමාරදාස සපුතන්ත්‍රි  ඉන් කීප දෙනෙක්.. ලක්ෂමන් විජේසේකර, ආනන්ද වීරසිරි එකතු වුණේ සංගීතය පැත්තෙන්.. එක්කෙනෙකුගෙ නිර්මාණයක පුංචි වරදක් හරි තිබුණොත් අනික් අය ඒක නිවැරදි කරනවා.. ඒ හින්දා තමයි ඒ කාලේ විශිෂ්ට නිර්මාණ බිහි වුණේ.. සමහර ගීතවලට තනු නිර්මාණය වුණේ විනෝද ගමන් යන අතරේ.. දීපිකාගේ කැසට් පටියකට සංගීතය නිර්මාණය කළේ අකුරැස්සේ තේ වත්තකදී.. බන්ධුල තමයි ඒ ගමන සංවිධානය කළේ.. ඇත්තටම ඒ කාලය හරිම විනෝදයි..”

රෝහණ වීරසිංහ හා බැඳුණ අතීතය සිහිපත් කරමින් සුනිල් ආර්. ගමගේ පැවසුවේය. 

“රෝහණ හරි නිහඬ, නිහතමානී පුද්ගලයෙක්.. තරහ එනවා හරි අඩුයි.. සාමූහික වගකීම් දරන්න පුළුවන්.. දැන් අපේ මිත්‍රත්වයට අවුරුදු පනහකට කිට්ටුයි.. තවම සිත් රිදවීමක් ඇති වෙලා නෑ.. අපේ ගීත යූ ටියුබ්වලින් හොරකම් කරන විදිය බලාගෙන ඉන්න බැරි හින්දා රෝහණම යූ ටියුබ් චැනල් එකක් පටන් ගත්තා.. ඒකේ විකාශය වෙන ගීතවල කර්තෘ භාගය හැම මාසෙකම අපිට ලැබෙන්න සලස්වන්න තරම් මහත්මා ගුණයක් ඔහුට තියෙනවා.. ඒ තමයි අපේ ආදරණීය රෝහණ..” ඔහු කීවේ හැඟුම්බර ස්වරයෙනි. 

කුමාරදාස සපුතන්ත්‍රීට රෝහණ හමු වන්නේ 1975 තරම් ඈත කාලයක සුදර්ශියේදීය. රැකියාවක් කරමින් සිටි සපුතන්ත්‍රී විවේක වේලාවල සුදර්ශියට යන්නට පුරුදු වී සිටියේය. ඒ වන විට සංගීත විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වූත්, ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහන්වලට වාදනයෙන් හා අත්වැල් ගායනයෙන් සහභාගි වෙන්නා වූත් රෝහණ ද එහි එන්නට පුරුදුව සිටියේය. ඔවුහු කතාබහ කර දැනැහැඳුනුම්කම් වගා කර ගත්හ. 


 

 

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණු මොහොතක
හදවතින් 
තෙපලූ කතා
කිසිදු දිනයක ගොළු නොවේවා

 

කුලරත්න ආරියවංශ

 

 

 


“රෝහණගෙ පළවෙනි සරල ගී වැඩ සටහනට මම  අරාජිකයි මගෙ මුළු රජදහනම ගීතය ලිව්වා.. රෝහණ අම්මා නැති වෙලා ගමට යනකොට මතක වස්ත්‍රයක් විතරයි අරන් ගියෙ.. ඒක නිමිති කරගෙන තමයි මම ගීතය ලිව්වෙ.. ඊට පස්සෙ ඔහු දිගින්දිගටම ඔහුගෙ වැඩසටහන්වලට මාව සම්බන්ධ කර ගත්තා.. අනෙක් අය වෙනුවෙනුත් තනු හදලා සංගීත නිර්මාණය කරලා දුන්නා.. ඇත්තටම මම ගීත රචකයෙක් විදියට ඉස්මතු වුණේ රෝහණ හින්දා..” 

කුමාරදාස සපුතන්ත්‍රි පැවසුවේ කෘතවේදිත්වය පෙරදැරි කර ගත් හඬිනි. 

තනුවලට ගීත ලිවීමට සපුතන්ත්‍රී පොලඹවන ලද්දේ රෝහණ වීරසිංහ විසිනි. චන්ද්‍ර මඬල බැද්ද වටින් මෝදු වෙලා ඔහු එලෙස ලියූ පළමු ගීතයයි ඉනික්බිතිව රෝහණ නිර්මාණය කළ තනු හැට හැත්තෑවකට පමණම ඔහු ගීත ලිව්වේය. ඔහු විසින් ලියන ලද ගීතවලටත් තනු නිර්මාණය කරමින් රෝහණ ලබා දුන්නේ අනගි සහායකි. 

“කලාභූමි ආයතනය පටන් ගත්තට පස්සෙ අපි එක්රැස් වුණේ එතෙන්ට.. එහි අධ්‍යක්ෂ විදියට කටයුතු කළේ රෝහණ වීරසිංහ. අපි සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් හුඟක් දේවල්  කළා.. රෝහණ අසාමාන්‍ය හැකියාවන් සහිත කෙනෙක්.. හොඳ ගායකයෙක් වුණත් ඔහු ඒ ගායකයා ඉස්මතු කරන්න වෑයම් කළේ නෑ.. තමන්ගෙ සංගීතයත් එක්ක අනිත් අය ඉස්මතු වෙන ආකාරය දැකලා සතුටු වුණා විතරයි..” ඔහු කීවේය.  

බණ්ඩාර ඇහැලියගොඩ සහ රෝහණ වීරසිංහගේ මිතුරුදමටත් මේ වන විට හතළිස් පස් වසක් සම්පූර්ණ වී තිබේ. ඔවුන් දෙදෙනා හමු වූයේ බණ්ඩාරගේ ජනප්‍රියත්වයට පත් පළමු ගීතය තිරය ඇරෙනවා තිරය වැහෙනවා තුළිනි. ඔහු එම ගීතය යැව්වේ සුනිල් එදිරිසිංහටය. එය සංගීතවත් කළේ රෝහණ වීරසිංහය. එහෙත් එම ගීතය සුනිල් එදිරිසිංහගේ සරල ගී වැඩ සටහනක් තුළින් ප්‍රචාරය වන තුරුම ඔහු ඔවුන් දෙදෙනා දැන හැඳින සිටියේ නැත. 

“ඒ වැඩ සටහනේදීම තමයි මගේ ලෝකයක් නසන්නට ගීතය ප්‍රචාරය වුණෙත්.. ඒවා හිතුවටත් වඩා ජනප්‍රිය වුණා.. මම ඊට පස්සෙ කළුබෝවිල සිංග් ලංකා ආයතනයට ගිහින් රෝහණ වීරසිංහ හමු වුණා.. ඒ හමු වීමෙන් ඇති වුණ හිතවත්කම අදටත් නොනැසී තියෙනවා.. මගේ ගීත විශාල සංඛ්‍යාවක තනු රචනා කළේ රෝහණ.. ඔහු මම නවත්තපු තැනින් මගේ ගීතය ඉස්සරහට අරගෙන යන්න පුළුවන් ආකාරයේ  අසාමාන්‍ය හැකියාවක් තියෙන කෙනෙක්.. උදාහරණයක් විදියට මගෙ අමල් බිසෝ ගීතයේ සංගීත සංයෝජනය හිතා ගන්නවත් බැරි තරමට විශිෂ්ටයි.. අන්න බලන් බෙර හඬින් උදම් වී ගීතය මම ලියලා තිබ්බේ තිරය ඇරෙනවා ගීතයේ තාලයටමයි.. ඒත් රෝහණ ඒක නර්තන ශිල්පියෙකුගේ රටාවට ගැළපෙන විදියට බෙර යොදාගෙන අපූරු සංගීත නිර්මාණයකින් හැඩ කරලා තිබ්බා.. විශිෂ්ට ශ්‍රේණියේ ගායකයෙකු වුණත් ඔහුට ගායකයෙක් විදියට ඉදිරියට යන්න ලෝබකමක් තිබුණෙම නෑ.. රෝහණ තරම් රහට තනු රචනා කරන්නට, සංගීත සංයෝජනය, සංගීත සැපයුම කරන්නට හැකි වෙනත් අයෙක් නෑ.. වික්ටර් රත්නායකගෙන් පස්සෙ බැටන් එක අරගෙන ඉදිරියට දුවන්න ගත්තෙ රෝහණ තමයි..”

බණ්ඩාර ඇහැලියගොඩ පැවසුවේය. 

කුලරත්න ආරියවංශගේ ගීත රචක භූමිකාවේදීත් පෞද්ගලික ජීවිතයේදීත් වඩාත් සමීප බැඳීමක් තිබූ සංගීතඥයා රෝහණ වීරසිංහය. සිංග් ලංකා සමාගම ඔවුන්ගේ සාමූහික ප්‍රයත්නයකි. එහිදී ගීත නිර්මාණ ක්‍රියාවලියට රෝහණගෙන් ලැබුණ දායකත්වය පිළිබඳව කුලරත්න ආරියවංශ කතා කළේ ප්‍රශංසාත්මකවය. 


 

 

වෙණ තතක් හැඩවෙන 
තැනක් ඔබ
මධුවිතක් උතුරන තැනක් ඔබ
තෙළිතුඩක් දැවටෙන තැනක් ඔබ
පන්හිඳක් ගැවසෙන තැනක් ඔබ

 

මහාචාර්ය සුනිල් ආරියරත්න 

 

 

 

 

 


“රජයේ සංගීත ගුරුවරයෙක් විදියට සේවය කළ රෝහණ 1983 දී එයින් ඉවත් වෙලා සිංග් ලංකා සමාගමේ ස්ථිර සේවයට බැඳුණා.. එයින් නිර්මාණය වුණ කැසට් පටි අතිශයින් ජනප්‍රිය වෙන්න ඔහුගේ සුමධුර සංගීත රටාව හේතුවක් වුණා..  අති නවීන උපකරණවලින් යුතු සිංග් ලංකා ශබ්දාගාරයේ මෙහෙයුම් කටයුතු බාර වුණේ ඔහුට.. මෙරට ජනප්‍රිය වුණ, අදටත් ජනප්‍රිය තලයේ පවතින බොහෝ සුභාවිත ගීත නිර්මාණය වුණේ සිංග් ලංකා ශබ්දාගාරයේ..  ඒ ඓතිහාසික මෙහෙවරට රෝහණ ලබා දුන්න දායකත්වය වචනයෙන් විස්තර කරන්න බෑ..”


 

දෙසිත් යා කර බැඳි - ප්‍රේමයට 
ඉඩ නොදී
යන මොහොත 
ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යළිදු මුණ ගැහෙමු ස්වාමී

 

බණ්ඩාර ඇහැළියගොඩ

 

 

 

 

 


කුලරත්න ආරියවංශ හැඟුම්බර ස්වරයෙන් කීවේය. බන්ධුල නානායක්කාරවසම් විසින් රචනා කරන ලද ගීතවලින් සියයට අසූවක් පමණ සංඛ්‍යාවක  තනු රචකයා වූයේ ද රෝහණ වීරසිංහය. 

“ඇත්තටම අපි රෝහණ වීරසිංහ දැනගෙන හිටියෙ වාදකයෙක් විදියට නෙමෙයි ගායකයෙක් විදියට.. ඔහු ගුවන් විදුලියේ සරල ගී වැඩ සටහන්වල ගීත ගායනා කළා.. අමරදේව මාස්ටර් වගේ අයට අත්වැල් ගායනයෙන් සහාය වුණා.. ඒ වගේම තමන්ගෙ වැඩ සටහන්වලට ආධුනික රචකයන්ගේ ගීතත් යොදා ගත්තා.. එහෙම නොවෙන්න මම ගීත රචකයෙක් විදියට ඉස්සරහට නොඑන්න ඉඩ තිබ්බා..” බන්ධුල කීවේය. 

ඔහු සදාහරිත සංගීතඥයෙක් ලෙස රෝහණ වීරසිංහ දකින්නේ ඔහුගේ නොසිඳෙන ගී තනු උල්පත නිසාය. ඔහු වයසට යන්නේ කැලැන්ඩරයෙන් මිස සිතින් නොවේ.  ඔහුගේ සාහිත්‍යමය ප්‍රඥාව නිසාම තනු රචනා මධුර මනෝහර වන බව බන්ධුල විශ්වාස කරන්නේය. ඒවායේ ඇති නුසුන් රසය මෙන්ම පිළිවෙල ද රෝහණ වීරසිංහටම අනන්‍ය වූවකි. ඔහු හැම විටම වාද්‍ය භාණ්ඩ තෝරා ගන්නේ ගීතයට අදාළ ආකාරයට පමණකි. එවන් සංගීතඥයෙකුගේ ඇසුර ලැබීම ගීත රචකයෙකුට වාසනාවක් නොවන්නේ ද..?


 

 

බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනමි කොහි සිටියා 
දැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් 
මල් පරවී
නොපිදූ මල තවමත් ඇඳ ඔබ ගැන බැති බර වී...

 

බන්දුල නානායක්කාරවසම්

 

 

 

 

 


රෝහණ වීරසිංහ මිතුරන්ට දක්වන සෙනෙහසත් ඔහුගේ සංගීතය මෙන්ම සුන්දරය. එහෙත් මිතුරන්ගෙන් සාධාරණ වරදක් සිදු වූ කල  ඔහු ඔවුන්ට කිසිවක්ම නොකියා ඔවුන්ගෙන් ඉවත් වන්නේය. එවිට රිදෙන්නේ මිතුරන්ගේ සිත්ය. එහෙත් 1981 වැනි ඈත කාලයක හමු වී මේ දක්වාම පැවත එන ඔහුගේත් රෝහණගේත් නොවෙනස් ඇසුර ගැන බන්ධුල සඳහන් කළේ  නිහතමානී ආඩම්බරයකිනි. 


 චන්දි කොඩිකාර


 



අදහස් (0)

ගීත රචකයන්ගේ ආදරණීය රෝහණ

ඔබේ අදහස් එවන්න

Recommended News

රට හදන තැන වැඩ කෙරෙන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 18 22 0

ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම


සජබ ගමන් මග
2024 දෙසැම්බර් මස 18 33 0

ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව


කොයි පක්ෂයෙන් අර්බුදයට ගිය ජාතික ලැයිස්තුව
2024 දෙසැම්බර් මස 18 22 0

පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.


මැතිසබෙන් රස කතා
2024 දෙසැම්බර් මස 18 47 0

චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.


ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 12 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 15 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21398 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13861 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 64 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 331 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 287 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site