පසුගිය සතියේ ඉතිරි කොටස |
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන් පසුවුව ද, ඔහුට ඉස්පාසුවකට ඉඩක් නොවීය. ඊට හේතුව වූයේ යුද හමුදාපති ඉලක්කකොට සිදුවූ එම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන කණ්ඩායම් රැසක් ඔහුගෙන් ද තොරතුරු ලබාගැනීම සඳහා ඇඳ වටා රොක්ව සිටීමයි. එසේම, ඒ වනවිට රට පුරා කොතරම් බෝම්බ ප්‍රහාර එල්ලවී තිබුණ ද, එම සිදුවීම තරම් අවධානයට ලක්වූ තවත් දෙයක් නොමැති තරම් විය. විශේෂයෙන්ම යුද හමුදාවේ හදවත බඳු ස්ථානයට එවන් ප්‍රහාරයක් එල්ලවීම බරපතළ කාරණයක් වූයෙන්, ලැබෙන සියුම් හෝඩුවාවල් ඔස්සේ පවා එම සිදුවීම පිළිබඳ පුළුල් ගවේෂණයක යෙදෙන්නට පරීක්ෂණ කණ්ඩායම් උත්සුකවනු පෙනිණ. එනිසාම කෙතරම් වේදනා අපහසුතා මධ්‍යයේ වුව යුද හමුදා පොලීසිය, රහස් පොලිසිය, ත්‍රස්ත විමර්ශන ඒකකය ඇතුළු සියලු අංශවලට තමන් මුහුණදුන් සිදුවීමට අදාළ විස්තර ලබාදෙන්නට මේජර් සමීරට මෙන්ම එම සිදුවීමෙන් තුවාල ලැබූ සෑම අයකුට ම ද සිදුවිය.
මේ අතර එහි තවත් අහඹුවක් සිදුවූයේය. එනම්, මඩකලපුවේ දී සිදුවූ ත්‍රස්ත වෙඩිතැබීමක් හේතුවෙන් එතෙක් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මේජර් සමන්කුමාර ද යුද හමුදා රෝහලට මාරුකර එවා තිබීමය. ඔහු එහිදී දුටුවේ තම ඇඳට යාබද ඇඳෙහි සිටින තුවාල ලත් අයකු පිළිබඳ වැඩිදෙනෙක් විමසිලිමත් වන අයුරුය. එබැවින් එහි සිටි හෙදියකගෙන් ඔහු එහි සිටින්නේ කවුරුන්දැයි විමසන්නට වූයේ බොහෝ කුතුහලයෙනි. එහිදී ඔහු දැනගත්තේ තම මිතුරු මේජර් සමීර යුද හමුදා මූලස්ථානයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා එහි සිටින බවය. තමන් බැලීමට පෙරදා ජාතික රෝහලට ද පැමිණ, එසේම ඊට පසුව ද නොවරදවාම එහි පැමිණෙන බවට පොරොන්දු දුන් මිතුරා, ඒ අයුරින් තුවාල ලබා ඇති බව ඇසීම මේජර් සමන් කුමාරට බෙහෙවින් හිත් පාරවන්නක් විය. එනිසාම තම මිතුරාගේ තත්ත්වය කෙබඳුදැයි දැනගන්නා තෙක් ඔහුට ඉස්පාසුවක් නොවීය. නමුත් සැත්කම් කිහිපයක්ම සිදුකොට තිබීම හේතුවෙන්, ඒ වනවිට ඔහු දැඩි අපහසුතා මධ්‍යයේ පසුවූ බැවින් - ඔහුට ඇඳෙන් බැසීමට තබා හිස එසවීමටවත් හැකියාවක් නොවීය.
නිදිවර්ජිත රැයක් ගෙවූ නෙලීකා පසුවූයේ ස්වාමියා තමා බැලීමට එහි පැමිණේවි යන බලාපොරොත්තුවෙනි. නමුත්, පෙර වේලාවට ඔහු එහි නොපැමිණි අතර, ඒ වෙනුවට ගුවන් හමුදාවේ සේවය කළ ස්වාමියාගේ සහෝදරයා වූ බලලත් නිලධාරී සුගත් රෝහණ එහි පැමිණියේය. එහිදී, ඔහු නෙලීකා හමුවේ කියාසිටියේ යුද හමුදා මූලස්ථානයේ සිදුව ඇති මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ එහි ආරක්ෂාව තරකර ඇති බවත්, කඳවුරෙන් පිටතට කිසිවකුට යා නොහැකි බවත් ය. එම තත්ත්වය හමුවේ මේජර් සමීරට ද හදිසි රාජකාරී පැවරී ඇති හෙයින්, දින කිහිපයක් යනතුරු ඔහුට පැමිණිය නොහැකිවනු ඇති බවය.
මේ අතර එදින දහවල් නෙලීකා බැලීමට ඇයගේ පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙක්ම එකවර රෝහලට පැමිණියහ. ගෙවුණු දිනවල තම සැමියා හැරුණුවිට එලෙස තමන් බැලීමට කෙනකු ආවේ කලාතුරකිනි. එහෙත්, එලෙස එකවර ඥාතීන් කිහිපදෙනකුම පැමිණීම ඇයගේ විමතියට හා කුතුහලයට හේතුවිය . එසේම, එම පැමිණි අයවලුන් එහි සිටින වෛද්‍යවරුන් හා යමක් මහත් ඕනෑකමින් කතාබස් කරන සෙයක් ඇයට පෙනිණ. ඒ සමගම වෛද්‍යවරයෙක් පැමිණ නෙලීකා හමුවේ පවසා සිටියේ, පසුදින ඇයගේ ටිකට් කපන බැවින් නිවසට යාමට ඉඩ ලැබෙන බවය. වෛද්‍යවරයාගේ එම වදන් නෙලීකා තුළ ඇතිකළේ පුදුමයකි. ගතවූ සති ගණන මුළුල්ලේම දිනකට දෙකකට හෝ නිවසට ගොස් පැමිණීම සඳහා තමා සේම තම ස්වාමියා ද එහි වෛද්‍යවරුන්ගේ විමසූ වාර බොහෝ තිබිණ. නමුත්, ඒ කිසිදු අවස්ථාවක ඒ සඳහා අවසරයක් ලබා නොදුන් තත්ත්වයක් තුළ එක්වරම එලෙස රෝහලෙන් පිටවෙන්නට හැකිබව පැවසීම ඇයට ප්‍රහේලිකාවක්ම විය. තමා බැලීමට පැමිණි ඥාතීන් පිරිස එම දහවලේ රෝහලෙන් පිටව යද්දීත්, නෙලීකා ඔවුනට සමුදුන්නේ කිසියම් කුතුහලයකින් යුතුවය. එදින සවස් වනවිට හෝ තම සැමියා තමා බැලීමට රෝහලට පැමිණේවි යැයි නෙලීකා තුළ වූයේ තදබල විශ්වාසයකි. නමුත්, වෙනදා වේලාවට කිසිවකුත් එහි නොපැමිණි අතර, ඇඳිරි වැටෙන්නට ආසන්න වත්ම ගුවන් හමුදා මූලස්ථානයේ සේවයේ නිරත ස්වාමියාගේ සහෝදරයා යළි එහි පැමිණියේය. එහිදී, නෙලීකාට ඔහු තුළ වූ වෙනස අවබෝධ කරගැනීමට අපහසු නොවූ අතර, ඈ තම සැමියා පිළිබඳ ඔහුගෙන් විමසන්නට වූවාය. ඇගේ බලවත් ඇවිටිල්ල හමුවේ තවදුරටත් කිසිවක් සඟවන්නට උත්සාහ නොගත් බලලත් නිලධාරී සුගත් රෝහණ - යුද හමුදා මූලස්ථානයේ සිදුවූ ප්‍රහාරය හමුවේ මේජර් සමීර තුවාල ලබා ඇති බවත්, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බවත්, නෙලීකාට පවසා සිටියේය. එම අනපේක්ෂිත තොරතුර ඇසූ සැණින් නෙලීකා කෑ ගසන්නට වූවාය. එහිදී, ඈ පත්වූ කම්පනය කොතෙක් ද යත් ඇයගේ හැඬුම වාට්ටුව පුරා ඇසෙන තරම් විය. තම ස්වාමියා තුවාල ලබා දින දෙකක් ගතවනතුරුත් - ඒ පිළිබඳ දැන නොසිටීම ගැන ඕ මහත් සේ කම්පා වූවාය. ඒ සමගම උද්ගතව ඇති වතාවරණය තුළ නෙලීකා පත්ව ඇති මානසික ව්‍යාකූලත්වය පිළිබඳ අවබෝධයෙන් පසුවූ වෛද්‍යවරු ඒ මොහොතේ ඇයව සන්සුන් කිරීමට උපරිම ලෙස උත්සාහ ගත්හ.
නමුත්, තම දරුවා එක් පසෙක ජීවිතය වෙනුවෙන් දැඩිසත්කාර මත පසුවෙද්දී - තම ස්වාමියා ද එලෙස ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වීම දරාගැනීමට තරම් ඇයට ශක්තියක් නොවීය. ඒ නිසාම දිගින් දිගටම වූ ඇගේ ඉකිබිඳුම සමනය කිරීමට එහි කිසිවකුටත් නොහැකි විය. යුද හමුදා මූලස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හමුවේ තම බෑනා ද තුවාල ලබා ඇති බව නෙලීකාගේ දෙමාපියන් දැනගත්තේ ඊට පසුදිනය. එලෙස බෝම්බ පිපිරීමක් සිදුව ඇති බවට මාධ්‍ය ඔස්සේ ඒ වනවිටත් ඔවුන් දැනසිටිය ද, තම දියණියගේ ස්වාමියා ද එම ප්‍රහාරය හමුවේ තුවාල ලබා ඇති බව ඔවුන් කිසිවිටෙකත් නොසිතුවේය. ඒ වනවිට මේජර් සමීර පෙරදින සවස දැනුම් දී තිබූ පරිදි ඔහුගේ දියණිය ද රැගෙන නෙලීකාගේ දෙමාපියන් සූදානමින් සිටියේ ගම්පහ ඈගේ මහගෙදරට පැමිණීමටය. නමුත්, එම අනපේක්ෂිත තොරතුර හමුවේ කලබල වූ නෙලීකාගේ පියා මිනිබිරිය සිය බිරිඳ සමග ගම්පහ මහගෙදරට පිටත් කොට, ඔහු ඒ මොහොතේම කඩිනමින් සොයිසා රෝහල වෙත පැමිණෙන්නට විය. ඒ අනුව දහවල් වෙද්දී සොයිසා රෝහලට පැමිණි පියා ඒ වනවිටත් එහි සූදානමින් සිටි දියණිය නෙලීකා ද සමඟ ඉන් පිටත් වූහ. ඒ 2006 අප්‍රේල් මස 28 වන දිනය. ඒ වනවිට ඇය රෝහලේ ගතකොට තිබූ කාලය දින 40ක් ඉක්මගොස් තිබිණ. එලෙස පැය කිහිපයකින් අනතුරුව නිවසට පැමිණි නෙලීකාට තම හුරුපුරුදු පරිසරය වුව දැනුණේ වෙනදා නොමැති හුදෙකලා බවකි. එසේම, දිගුකලක් තිස්සේ නිවසට පැමිණීමට නොහැකිව ඕ නොඉවසිල්ලෙන් පසු වුවද එහි පැමිණි පසු ඇයට එය අස්වැසිල්ලට කාරණයක් නොවූයේ සැමියාගේ හදිසි අනතුර ද, දරුවාගේ තත්ත්වය ද හමුවේ පත්ව සිටි පීඩනය නිසාමය. ඒ වනවිට නෙලීකාගේ දියණිය සමග ඇගේ මව ද මහනුවර සිට එහි පැමිණ සිටියහ. එහිදී, සති ගණනාවකට පසු තම දියණිය දැකීම නෙලීකාට වාවාගත නොහැකි අවස්ථාවක් විය. ඕ දෙනෙතින් කඳුළු කඩාහැලෙද්දී ඈ තුරුලුකරගන්නට වූයේ එතෙක් දැවෙමින් තිබූ ඇගේ හදවතට යම් සිසිලසක් ලැබුණු නිසාමය.
මෙලෙස සියලු හැලහැප්පීම් මධ්‍යයේ කාලය ගතවන්නට විය. ඒ වනවිට නෙලීකා නිවසට පැමිණ දින පහක් ගතව තිබිණ. එම කාලසීමාවේ බොහෝ සීමා මැදවුව සැමියාට දුරකතන ඇමතුමක් ලබාගැනීමේ ඉඩක් ඉඳහිට හෝ පැවතීම ඈට සැනසීමක් ගෙන දුන්නේය. ඒ අතරම වෛද්‍ය උපදෙස් අනුව පුතු පිළිබඳව ද නිරන්තරයෙන් සොයා බලන්නට ඈ කටයුතු කළාය. ඒ කෙසේ වුවද ස්වාමියාගේ සහ දරුවාගේ තත්ත්වය හේතුවෙන් තම ජීවිතයම කඩාවැටී ඇති සෙයක් ඇයට දැනිණ. එබැවින් දවසේ වැඩිහරියක්ම ඈ ගෙවන ලද්දේ ගමේ පන්සලේ හෝ වෙනත් පූජනීය තැන්වල ම ය. මේ අතර 1996 මැයි මස 02 වන දිනට පහන්වෙද්දී නෙලීකාගේ නිවසේ දුරකතනය නාද වන්නට විය. ඇය කඩිනමින් ඊට ප්‍රතිචාර දැක්වූවාය. ඒ සමගම ඇය තුළින් නැඟුණේ විලාපයකි. එම පණිවුඩය හරහා කියවුණේ සොයිසා රෝහලේ දැඩිසත්කාර මත පසුවූ ඇයගේ දරුවා හදිසියේ මියගොස් ඇති බවයි.
මේ අතර යුද හමුදා රෝහලෙහි පසුවූ මේජර් සමීර සිය අපහසුතා මධ්‍යයේ වුව නිරන්තරව සිතන්නට වූයේ පුතුගේ තත්ත්වය හා නිවසේ පසුවන බිරිඳ හා දියණිය පිළිබඳවය. එවකට පැවති ආරක්ෂක තත්ත්වය හමුවේ පිටස්තර අයවළුන්ට යුද හමුදා රෝහලට පැමිණීම සීමා කොට තිබූ හෙයින්, බිරිඳට පවා තමා බලන්නට අවස්ථාවක් නොවීම ඔහුගේ කනස්සල්ලට හේතුවූයේය. කෙසේ වුව, තමාගේ තත්ත්වය කල්ගතවී හෝ සුව අතට පත්වන බැව් දැනසිටි ඔහුගේ ඒකායන ප්‍රාර්ථනය වූයේ තම පුතු ද ක්‍රමානුකූලව ප්‍රකෘති තත්ත්වයට පත්ව පවුලක් ලෙස යළි ඔවුන් සියලු දෙනාටම එකට විසීමේ අවස්ථාව කඩිනමින් ලැබෙනු ඇති බවය. එසේම, යාබද ඇඳේ සිටින තම මිතුරු මේජර් සමන් කුමාර ද ක්‍රමානුකූලව සුවය ලබමින් තිබීම ඔහුට අස්වැසිල්ලක් විය.
1996 මැයි මස 02 වන දින පෙරවරුවේ වෛද්‍යවරයකු සමීරගේ ඇඳ අසලට පැමිණියේ, තවත් හෙද කාර්ය මණ්ඩලයේ කිහිපදෙනකු ද සමඟය. වෙනදා තමාගේ ගුණදොස් බැලීමට පැමිණෙන සුපුරුදු ආකාරයට වඩා වෙනසක් ඔහුගේ හැසිරීම තුළ ඇති බව - ඇඳේ වැතිරී සිටි මේජර් සමීරට තේරුම් ගියේය. එහිදී, එම වෛද්‍යවරයා සැලකියයුතු වේලාවක් සමීර හා කතාබස් කරමින් සිට ඔහුව අස්වසන්නට වූයේ, තවත් යමක් කියන්නට අරඅදිමිනි.
“සමීර මම මේ කියනදේ ගැන කලබල වෙන්න එපා. ඔයා හමුදා නිලධාරියෙක් හැටියට මේ ඕනෑම දේකට ඔරොත්තු දෙන්න තරම් ශක්තිමත් කියල මම හිතනවා. අපිට හදිසි පණිවිඩයක් ලැබුණා සොයිසා රෝහලේ ඉන්න ඔයාගේ දරුවා හදිසියේ නැතිවෙලා කියලා”
තම දරුවා පිළිබඳ දහසක් හීන අතරේ පසුවූ මේජර් සමීරට වෛද්‍යවරයාගේ එවදන් හිස මතට එල්ල වූ දරුණු කුළුගෙඩි පහරක් වැන්න. මේ අවස්ථාවේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ලෙස තම දරුවා හදිසියේ මෙලොව හැරයාම - මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් අත්විඳීමට සිදුවූ වේදනාවට වඩා ප්‍රබලව සමීරට දැනිණ. හමුදා නිලධාරියකු වුවද, පියකු ලෙස තවදුරටත් එය දරාගන්නට තරම් ශක්තියක් ඔහුට නොවීය. කඳුලු හා සුසුම් සමග මුසුවූ ඔහුගේ ඉකිබිඳුම් සෙස්සන්ට නෑසෙන්නට සැලැස්වීමට ඔහු අසාර්ථක උත්සාහයක් ගත්තේය.
ඉතිරි කොටස ලබන සතියේ
මධ්‍යම කඳුකරය යනු ශ්‍රී ලංකාවේ සොබාව සෞන්දර්යයේ අපූරු පරාදීසයකි. මහනුවර නගරයට කිලෝමීටර 19ක දුරින් හරිත වර්ණයෙන් අනූන සෞම්‍ය පරිසරයක පිහිටා ඇති පුංචි
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
දරුවා දැඩිසත්කාරයේ පසුවෙද්දී ස්වාමියාට ත්‍රස්තවාදී ප්‍රහාරයක්