IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


දළදා දැක්මට පෙර

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගැනීමට මේ වන විටත් දෙස් විදෙස් බෞද්ධ ජනතාව පෙළගැසී සිටින බව පැහැදිලිව දැක ගත හැක.

දළදා හිමි වැඩමවන ආකාරය 

ශ්‍රී දළදා දැක්මක් පැවැත්වෙන අවස්ථාවක දී බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුතුව පැය ගණන් පෝලිම්වල සිටිමින් තප්පර කීපයක් වැනි කෙටි අවස්ථාවකදී දළදා සමිඳුන් දැක වැඳ පුදා ගැනීමට අවස්ථාව උදාකරගත්ත ද - ශ්‍රී දළදා දැක්මක දී දළදා සමිඳුන් වැඩ හිඳුවා ඇති කරඬු හතෙන් එළියට වඩම්මන ආකාරය සම්බන්ධයෙන් දැනුවත්ව ඇත්තේ ශ්‍රී දළදා මාලිගාවට සම්බන්ධ ඉතාමත්  සුළු පිරිසක් පමණි.

එය වන්නේ මේ ආකාරයටයි.

ඉතාමත් අප්‍රකට අවස්ථාවක් වූ එම අවස්ථාව සහ එහි තොරතුරු මා හට ලියා තැබීමට අවස්ථාව උදා වූයේ - මීට වසර 25 කටත් පෙර සිරි දළදා දැක්මක දී මා ලැබූ අත්දැකීමක් පසුබිම් කර ගනිමිනි.

එවකට මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක හිමිපාණන් වහන්සේ වශයෙන් වැඩ සිටියේ අතිපූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී විපස්සි හිමියන් වන අතර, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ධූරය දරනු ලැබූයේ පලිපාන ශ්‍රී චන්දානන්ද මහා හිමිපාණන් වහන්සේය. එවකට දියවඩන නිලමේවරයා වශයෙන් කටයුතු කරනු ලැබූයේ නෙරංජන් දූල්ලවෙ විජයරත්න මහත්මාය.

එම කාලවකවානුවේ වසර දෙකකට පමණ වරක් දළදා දැක්මක් සංවිධානය කිරීම සිදු කරනු ලැබිණි. දළදා දැක්ම පැවැත්වෙන පළමු දිනයේ දී දහවල් තේවාව හමාර වීමෙන් පසු - මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් ඇතුළුව එම පාර්ශ්ව දෙකෙන් ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුන් පස් නම බැගින් දළදා වහන්සේ වැඩ සිටින මාළිගය තුළට පැමිණෙන අතර, දියවඩන නිලමේවරයා ද මුල් ඇඳුමෙන් සැරසී එම ස්ථානයට පැමිණීම සිදුකරයි.

ඉන් අනතුරුව මල්වතු අස්ගිරි මහා විහාර පාර්ශ්ව දෙකෙන් තේවාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ හිමිවරුන් දෙනමක් ශ්‍රී දළදා කරඬුව තැන්පත් කොට ඇති ස්ථානයට නගිනු ලබති. ඒ සඳහා එම හිමිවරුන් සතියක පමණ කාලයක් පේවී කිලිවලට හසු නොවී සිටීම ද සිදු කරනු ලබයි.

එසේ කරඬුව තැන්පත් කොට ඇති ස්ථානයට නගින හිමිවරුන්ට දළදා කරඬුව ඉදිරිපිට ඇති ජපානයෙන් පරිත්‍යාග කළ වෙඩි නොවදින වීදුරුවේ යතුර - දියවඩන නිලමේවරයා විසින් භාරදීම මෙවිට සිදුකරයි. එම හිමිවරුන් එය විවෘත කිරීමෙන් පසු  මහ කරඬුව අසලට ගොස් ඊට පලඳවා ඇති මාල පදක්කම් එකින් එක ගලවා මල් ආසනය මත තබා ඇති විශාල රිදී බන්දේසියක තැන්පත් කරනු ලබයි.

ඉන් අනතුරුව එම මාල දැමූ රිදී බන්දේසිය සුදු රෙදිකඩකින් ඔතා මහනාහිමිවරුන් සහ දියවඩන නිලමේවරයා ඉදිරිපිට දී ලාකඩ යොදා සීල් කර කරඬුව පිටුපසින් තැන්පත් කරනු ලබයි. 

ඉන් අනතුරුව මහ කරඬුවට ඉහළින් ඇති රන් නෙළුම් මල ගලවනු ලබයි. එය ඉවත්කිරීමෙන් අනතුරුව දියවඩන නිලමේවරයා සන්තකයේ ඇති මහා කරඬුවේ යතුර ගෙන එය විවෘත කර ඉවත් කරනු ලබයි.

ඉන් අනතුරුව එම කරඬුව පිටුපස වීදුරු කරඬුවක තැන්පත් කොට ඇති රත්තරන් නෙළුම් මල සහ මුද්ද එළියට ගනු ලබයි. දාළදා වහන්සේ ප්‍රදර්ශනය කරනු ලබන්නේ එම නෙළුම් මල සහ මුද්ද මත වැඩ හිඳුවමිනි. 
එම වීදුරු කරඬුවත් නෙළුම් මල සහ මුද්ද වට්ටෝරු රාලට ලබාදීම සිදු කරනු ලබයි. 

රනින් කළ පිරිත් පොත් 

මහා කරඬුව විවෘත කළ පසු ඒ තුළ විශාල පිරිත් පොත් දෙකක් තිබේ. එම පිරිත් පොත් දෙක තනි රත්තරනින් නිමවා තිබෙන අතර, ඒවා  උඩරට රජ කෙනකු සහ තායිලන්තයෙන් පූජා කරන ලදැයි කියැවේ. ඉන් අනතුරුව ඇති කරඬුව ගෙන මල් මේසය මත තැන්පත් කරනු ලබයි. එම කරඬුවේ යතුර මල්වතු මහා නාහිමියන් භාරයේ පවතින අතර උන්වහන්සේ විසින් එම යතුරෙන් කරඬුව විවෘත කරනු ලබයි. ඊට පසු කරඬුවේ යතුර අස්ගිරි මහා නා හිමියන් භාරයේ පවතින අතර උන්වහන්සේ විසින් එය විවෘත කරනු ලබයි. ඉන් අනතුරුව බුරුමයෙන් පූජා කරන ලද මැණික් ගලකින් නිමවා ඇති කරඬුවක් ද ඉවත් කොට, සියලු‍ කරඬු විවෘත කළ පසු හේමමාලා කුමරිය විසින් මෙරටට දළදා වහන්සේ වඩම්මන අවස්ථාවේ දී වැඩ හිඳුවා ගෙන පැමිණි කරඬුව හමුවේ. 

ඉන් අනතුරුව අස්ගිරි මහා නා හිමියන් විසින් පට ලේන්සුවක දළදා වහන්සේ වැඩ හිඳුවා එළියට වඩම්මවනු ලබයි. එසේ දළදා වහන්සේ වඩම්මවා මල්වතු මහා නාහිමියන්ට දළදා වහන්සේ භාරදෙයි. 

ඉන් අනතුරුව වට්ටෝරු රාළ විසින් රන් නෙළුම් මල සහ කූර වීදුරු කරඬුවේ සවිකිරීමෙන් පසු මල් මේසය මත තැන්පත් කරනු ලබයි. ඉන් අනතුරුව මල්වතු මහා නා හිමියන් විසින් එම රන් මුද්ද මත දළදා වහන්සේ වැඩ හිඳවනු ලබයි. එසේ දළදා වහන්සේ ස්පර්ශ කිරීමේ හැකියාව ඇත්තේ මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන්ගේ පින්බර දෑතට පමණි. 

දළදා වහන්සේ වීදුරු කරඬුවේ වැඩ හිඳුවීමෙන් අනතුරුව අනෙකුත් සියලු‍ දෑ ඇතුළට දමා වීදුරු දොර වසා අගුලු‍ දමයි. ඉන් අනතුරුව වීදුරු කරඬුවේ වැඩ හිඳුවන ලද දළදා වහන්සේ සහිත කරඬුව මල්වතු හෝ අස්ගිරි මහා නා හිමියන් විසින් දියවඩන නිලමේ ගේ දෑතේ තැන්පත් කරනු ලබයි. 

ඉන් අනතුරුව පිරිත් මණ්ඩපයට දියවඩන නිලමේවරයා විසින් දළදා වහන්සේ සහිත වීදුරු කරඬුව වඩම්මවනු ලබයි. පිරිත් මණ්ඩපයේ තැන්පත් කොට ඇති රන්සිවිගේ අසලට දියවඩන නිලමේවරයා පැමිණි පසු මහ නායක හිමියන් විසින් රන්සිවි ගේ තුළ එම කරඬුව තැන්පත් කරනු ලබයි. එසේ තැන්පත් කිරීමෙන් අනතුරුව සාමාන්‍ය ජනතාවට දළදා දැක්ම විවෘත කිරීම සිදුකරයි.

දළදා දැක්ම පැවැත්වෙන කාලය තුළ එය හමාර වූ පසු නැවතත් දළදා වහන්සේ වැඩ සිටින මාළිගය තුළට වඩම්මා නැවත කරඬුව තුළ තැන්පත් කොට කරඬු හත වසනු ලබයි. නමුත් ඊට පලඳවා ඇති මාල පදක්කම් පැලඳවීම සිදු නොකරයි. ඒවා නැවත පලඳවනු ලබන්නේ දළදා දැක්ම හමාරවීමෙන් පසුවයි.

ෂේන් සෙනෙවිරත්න



අදහස් (0)

දළදා දැක්මට පෙර

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommended News

දළදා මාලිගාවේ කාර්යමණ්ඩලය
2025 අප්‍රේල් මස 24 107 0

දළදා මාලිගාවේ පාලනය පවතින්නේ ‘දියවඩන නිලමේ’ නමැති ගිහි භාරකාරයකු යටතේය. බ්‍රිතාන්‍යයන් මෙරට ඈඳා ගන්නට පෙර සිංහල රජවරු දළදා තේවාවට ගියහ. එකල රජ්ජුරුව


දළදා මැදුරේ වතගොත
2025 අප්‍රේල් මස 20 73 0

වත්මන් සෙංකඩගල මාළිගා පරිශ්‍රය නිරීක්ෂණය කිරීමේ දී 1815 වසරේ දී උඩරට ගිවිසුම අත්සන් කොට අධිරාජ්‍යවාදීන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගන්නා විට තිබූ බ


දළදා දැක්මට පෙර
2025 අප්‍රේල් මස 20 45 0

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ ගේ මහජන දැක්ම දැන් පැවැත්වේ. වසර 16ක් තරම් වූ දීර්ඝ කාලයකට පසු උදාවුණ එම අසිරිමත් මොහොතේ


ට්‍රම්ප් ට TIK TOK ප්‍රහාරයක්
2025 අප්‍රේල් මස 20 53 0

චීනය ප්‍රහාරක මාවතට අවතීර්ණ වී තිබේ. වෙළෙඳ යුද්ධය හරහා ලෝකයට ලැබෙන ප්‍රධාන පණිවුඩය එයයි. මෙතෙක් චීනය ඇමෙරිකානු හා බටහිර රාජ්‍යතාන්ත්‍රික ප්‍රහාර හමු


පුංචි ජන්දයෙන් ඔබේ නියෝජකයා තෝරන හැටි
2025 අප්‍රේල් මස 20 103 0

මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ සති කිහිපයක් පමණී. මේ වනවිට නාමයෝජනා භාර දුන් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සිය ප්‍රචාරණ කටයුතු සිදුකරමින් පවතී.


ශ්‍රී දළදා පූජා - ප්‍රදර්ශන ඉතිහාසය
2025 අප්‍රේල් මස 20 84 0

දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රි.ව. 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1042 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 445 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 590 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site