බොරැල්ල කනත්ත අසලින් යන වාරයක් වාරයක් පාසා හදවතට සියුම් රිදවීමක් ගෙනදෙන අහඹුවක් අදටත් මසිතට වද දෙයි. දශක කිහිපයක් ගෙවී යටපත් වෙමින් තිබුණද, මේ කතාව තවදුරටත් එසේ සැඟවිය යුතුදැයි මම මවෙතින්ම ප්‍රශ්න කළෙමි. අවසානයේ එය මෙසේ අකුරු බවට පෙරළනුයේ, සිතිවිල්ලක් වුව ආයාසයෙන් සිරකර තබා ගැනීමට වඩා නිදහස්කර හැරීමේ සැහැල්ලුව අත්දකිමිනි. එහෙත්, මේ කතාව කොතැනින් පටන්ගත යුතුදැයි සිතමින්ම ගෙවුණු දවස් බොහෝය. කෙසේ හෝ මතක්වුණු තැනකින් එය අරඹන්නට තීරණය කළේ ජීවිතයේ සෑම දෙයක්ම අපට අනුපිළිවෙළින් මුණ නොගැසෙන බැවිනි.
ඒ 2006 වසර මුල් භාගයයි. මෙරට පැවති ත්‍රස්තවාදය උපරිම සීමාවට ළඟාවෙමින් පැවති අවධියකි. විශේෂයෙන්ම, එහි වැඩි වාසි ඔවුනගේ පැත්තට බරව යන සෙයක් ද පෙන්නුම් කරන ලද්දේ, උතුර හැරුණුවිට දකුණට ද එම ත්‍රස්තවාදයේ සෙවණැලි වැටෙන්නට වීම නිසාය. මේජර් සමීර එදිරිසූරිය මෙවර මෙම කතාවේ කථානායකයාය. එවක ඔහු සේවය කරන ලද්දේ කොළඹ යුද හමුදා මූලස්ථානයේය. විවාහකයකු වූ ඔහුට වසර එකහමාරක දියණියක් ද සිටි අතර, පදිංචිව සිටියේ ගම්පහ ප්‍රදේශයේය. එහි සිට ඔහු දිනපතා යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි සඳහා පැමිණි අතර ඒ වනවිට ඔහුගේ බිරිඳ සත්මසක ගැබිනියක්ව සිටියාය. මහනුවර මුල්ගම කොටගත් ඇය, නමින් නෙලීකා වූවාය.
සමීර හා නෙලීකා ගේ කැදැල්ල බොහෝ සුන්දර එකක්ව පැවතියේ, දියණියගේ සුරතල් කතාබස් ද පවුලට අලුතින් එකතුවීමට යන අලුත් සාමාජිකයා වෙනුවෙන් ඔවුන් තුළ වූ සුන්දර බලාපොරොත්තු සමුදාය ද නිසාමය. විශේෂයෙන්ම 2003 වසරේ සිය දියණිය මෙලොව එළිය දුටු දා පටන්ම දෙවැනි සාමාජිකයා ලෙස පුත් රුවනක් උරුම කරගැනීම දෙපෙළගේම ඒකායන ප්‍රාර්ථනය වී තිබිණ. එනිසාම ඒ වෙනුවෙන් සිදුකළ අසීමිත ප්‍රාර්ථනාවන් ද, භාරහාර, පුදපූජා හා කන්නලව් ද ඔවුනගේ ජීවිතවල අඩුනොවීය. කල්යත්ම සායනයේ වෛද්‍යවරයාගේ මාර්ගයෙන් ඔවුනගේ ඒ අහිංසක ප්‍රාර්ථනා මල්ඵල ගැන්වී ඇති බවට දැන ගත්දා පටන් ඔවුන් තුළ වූ සතුට දෝරෙ ගලා යන්නට වූයේ, දහසක් අනාගත ප්‍රාර්ථනා සමගිනි.
මේජර් සමන් කුමාර
|
මෙලෙස දින සති ගෙවෙන්නට විය. එම කාලය තුළ රට තුළ භීෂණය ඔඩුදුවන්නට වූ අතර උතුරු නැගෙනහිර සටන්බිමෙහි ආරක්‍ෂක හමුදා සහ ත්‍රස්තවාදීන් අතර නිරන්තර ගැටුම් ඇවිළිණ. ඊට සමගාමීව දකුණේ තැන තැන පොදු ස්ථානවල ද, විශේෂිත පුද්ගලයන් ඉලක්ක කරගනිමින් සිදුවූ බෝම්බ පිපිරීම් ද, පිස්තෝල වෙඩි තැබීම් ද සුලබ විය. එම තත්වය තුළ සාමාන්‍ය ජනජීවිතයට එල්ල වූ සෘජු බලපෑම සුළු පටු නොවීය. මේ අතර මේජර් සමීරගේ රාජකාරී දිවිය ද අතිශය කාර්ය බහුල විය. කඳවුරේ සිට පැය දෙකකින් පමණ නිවසට යා හැකිව තිබුණ ද, රට තුළ උත්සන්නව තිබූ උණුසුම් වටපිටාව හමුවේ ඔහුට රාජකාරි අවශ්‍යතාව මත කඳවුරේ රැඳෙන්නට සිදු වූ වාර බොහෝය. කෙසේ නමුත්, බිරිඳ පසුවූ තත්ත්වය හමුවේ ඔහු ඇය වෙනුවෙන් උපරිම අවධානයක් යොමු කරන්නට ද වගබලා ගත්තේය.
මේ අතර දිනක් උදෑසන එනම්, 2006 මාර්තු මස 18 වන දින සමීර කඳවුරේ රැඳී සිටි අවස්ථාවේ ඔහුට නිවසින් හදිසි ඇමතුමක් ලැබිණ. ඉන් කියවුණේ තම බිරිඳට හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට ඇතුළත් කළ බවයි. ලද එම පණිවුඩයෙන් ඔහු මහත් සේ නොසන්සුන් වුවද, පැවති රාජකාරී ස්වභාවය මත ඒ මොහොතේ ඔහුට ඇය බැලීමට යා නොහැකි විය. ඒ සමගම පසුදින උදෑසන ඔහුට දැනගන්නට ලැබුණේ තම බිරියගේ අසනීප තත්ත්වය උත්සන්නවීම හේතුවෙන්, ඇයව යුද්ධ හමුදා රෝහල වෙත මාරුකර යවා ඇති බවකි. ඒ අනුව ඔහු එදින පෙරවරුවේ කඩිනමින් යුද්ධ හමුදා රෝහල කරා යන්නට වූයේ, තම බිරිඳ දැකගැනීමේ නොතිත් ආසාවෙනි. මේ අතර දියණියගේ තත්ත්වය සැලවීමත් සමගම අලුයමින් ඇගේ මව ද නුවර සිට කොළඹ බලා පැමිණ තිබුණි. ඒ අනුව මේජර් සමීර ඇය ද සමග 2006 මාර්තු මස 19 වන දින දහවල් වෙද්දී යුද්ධ හමුදා රෝහල කරා පැමිණියේ, ආදරණීය බිරිඳගේ තත්ත්වය පිළිබඳ සැකහැර බලා ගැනීමටය. නමුත්, එහිදී ඔවුනට දැනගැනීමට ලැබුණේ ප්‍රශ්නාර්ථයක් ගෙනදෙන්නකි. එනම්, බිරිඳ නෙලීකාගේ තත්ත්වය තවදුරටත් අවදානම් වූයෙන්, ඊට අවශ්‍ය පහසුකම් යුද්ධ හමුදා රෝහලෙහි හිඟවීම නිසා ඇයව වහා සොයිසා කාන්තා රෝහලට මාරුකර යවා ඇති බවකි. එම පණිවුඩයෙන් සමීර මෙන්ම ඔහුගේ නැන්දම්මා ද බෙහෙවින් කලබලයට පත්වූහ. ඒ අනුව ඔවුන් වහා සොයිසා රෝහල කරා පිටත් වූයේ දෙගිඩියාවෙන් යුතුවය.
රෝගීන් බලන වේලාව ආසන්න වෙද්දීම සොයිසා කාන්තා රෝහලේ ගේට්ටුව අසලට පැමිණි සමීර හා බිරිඳගේ මව එහි සිටි සිය ගණනක් අතර පෙරමුණේම රැඳී සිටියේ, ඉඩ ලද පළමු අවස්ථාවේම වාට්ටුවට යාමේ අදහසිනි. ඒ අනුව නිසි වේලාව එළඹෙත්ම මේජර් සමීර රෝහල් වාට්ටුවේ සිටින තම බිරිඳ සොයා ආවේ, මොහොතකුදු පමාවකට ඉඩක් නොතබාය. නමුත්, එහිදී බිරිඳගේ තත්ත්වය දුටුවනම ඔහුට ඉහිලුම් නොදුන්නේය. ඒ වනවිටත් නෙලීකා තම දරු ප්‍රසූතිය සිදුකර තිබූ අතර, එය හදිසි තත්ත්වයක් යටතේ සිදුවූවක් බැවින් දරුවා නොමේරු ළදරු ඒකකයේ දැඩි සත්කාරයකට ද යොමුකොට තිබුණි. තම බිරිඳ යන්තම් මාස හතක් ගත වූ තැන එලෙස අනපේක්ෂිත ලෙස දරුවා බිහි කිරීම පිළිබඳව සමීර තුළ මෙන්ම, මව තුළ ද හටගෙන තිබුණේ තිගැස්මකි. දරුවාගේ වර්ධනය ද සාමාන්‍ය පරිදි සිදුව නොතිබූ පසුබිමක් තුළ, ඔහු එහි පසු වූයේ බොහෝ ජීවිත අවදානමක් සමගය. නමුත්, බිරිඳ නෙලීකාගේ තත්ත්වය සාමාන්‍ය පරිදිවීම මේජර් සමීරගේ මෙන්ම ඇයගේ මවගේ ද යම් අස්වැසිල්ලට හේතුවිය.
මේ අතර අලුත උපන් දරුවා උපතේ සිටම ශ්වසන අපහසුතාවකින් පෙළෙන්නට වූයේ, අවාසනාවන්ත ලෙසය. ඔහු අඩුවයසින් ඉපදීම හේතුවෙන් එවන් ගැටලුවක් හටගෙන ඇති බැව් වෛද්‍යවරුන්ගේ මතය විය. කෙසේ නමුත්, තම පවුලට පුතකුගේ සම්ප්‍රාප්තිය පිළිබඳ අහස උසට බලාපොරොත්තු පොදිබැඳ සිටි සමීරට හා නෙලීකාට කුමන තත්ත්වයක් යටතේ වුව, දරුවා සුවපත් කරගැනීම වෙනුවෙන් පැවතියේ අසීමිත වුවමනාවකි. එනිසාම ඔහුගේ නීරෝගී බව උදෙසා ඔවුනගේ ප්‍රාර්ථනා ද බලවත් වූ අතර, පුතු වෙනුවෙන් කඳුළක් හෙළනවාට වඩා ඔහු වෙනුවෙන් බලාපොරොත්තු දල්වා ගන්නට දෙදෙනාම උත්සාහ දැරූහ. මේ අතර වෛද්‍ය නිර්දේශ අනුව දරුවාගේ ශ්වසන අපහසුතා මගහරවා ගැනීම පිණිස කඩිනමින් ඔහුට විශේෂිත ඖෂධයක් ලබාදිය යුතු විය. නමුත්, අවාසනාවකට එම ඔසුව ඒ මොහොතේ රෝහලෙහි නොතිබිණ. කෙසේ නමුත්, එම ඖෂධය මගින් දරුවාගේ ශ්වසන අපහසුතාවය ස්ථිරවම මගහරවාගැනීමට හැකි වේදැයි වෛද්‍යවරු තුළ තිබුණේ දෙගිඩියාවකි. “මිස්ට සමීර, මේ බෙහෙත ගොඩක් මිලයි. ඔයාට එළියෙන් තමයි ගේන්න වෙන්නේ. නමුත්, මෙතන පොඩි ගැටලුවක් තියෙනවා. මේ බෙහෙත දුන්නොත් සමහරවිට දරුවගෙ තත්ත්වය යහපත් අතට හැරෙන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට මේ ගැන ඔයාට බලකරන්න බැහැ. ඔයා හොඳට හිතල තීරණයක් ගන්න” වෛද්‍යවරයාගේ උපදේශය එය විය.
කෙසේ නමුත්, තම දරුවා වෙනුවෙන් තවදුරටත් අවදානමක් ගැනීමට සමීර නොකැමැති විය. එබැවින් ඔහු තීරණය කළේ කෙසේ හෝ එම ඖෂධය මිලදී ගන්නා බවය. ඒ අනුව අදාළ බෙහෙත සොයා ඔහු එම ප්‍රදේශයේ ඔසුසල් කිහිපයකට ගොඩවැදුණ ද, ඒ කිසිවෙකත් එම බෙහෙත නොතිබිණි. අවසානයේ ඔහුගේ වාසනාවට මෙන් ඇස් වාට්ටුවේ ආසන්නයේ වූ ෆාමසියක තිබී අදාළ ඖෂධය ඔහුට සොයාගත හැකිවිය. නමුත්, ඒ සඳහා ඔහුට රු:46,000.00 ක මුදලක් ගෙවිය යුතුවිය. එම අවස්ථාවේ ඔහු සතුව එතරම් මුදලක් නොතිබූ නමුත්, සිය නැන්දම්මා ඉදිරිපත්ව වහා එම මුදල ගෙවා දැමීමට කටයුතු කළාය. එලෙස ෆාමසියෙන් මිලදීගත් බෙහෙත කෙටිකාලයක් තුළ ශීතකරණයක බහා තැබිය යුතු බවට එහි දී උපදෙස් ලැබිණ. නමුත්, ඒ සඳහා මේජර් සමීර පෙර සූදානමකින් නොපැමිණ තිබූ හෙයින්, බෙහෙත සුරතට ගත් සැණින් ඔහු වහා එය සොයිසා රෝහල කරා රැගෙන යන්නට වූයේ, ඇතැම් විට ත්‍රීවිල් රථ මගින් ද, මාර්ග තදබද ඇති තැන්වල පා ගමනින් ද දුවමිනි. කෙසේ හෝ නියමිත කාලය තුළදී ඔහු එම බෙහෙත රෝහල් වෛද්‍යවරු අතට පත්කරන ලද්දේ, දහසක් බලාපොරොත්තු මැදය.
සියල්ල එසේ සිදුවෙද් දී රාජකාරි අවශ්‍යතාව මත මේජර් සමීරට කඳවුරේ රැඳීසිටීමට සිදුවීමත්, බිරිඳට ද රෝහලේ නතරවීමට සිදුවීමත්, නිසා නිවසේ සිටින දියණිය බලාගැනීම ගැටලුවක් විය. දෙමාපියන් කිසිවකු නොමැති තැන ඇය පසුවන්නට වූයේ හැඬූ කඳුළිනි. විශේෂයෙන්ම සිය පුතු දැඩි සත්කාරයේ පසුවන බැවින් බිරිඳට ද රෝහලේම නතරව සිටීම අනිවාර්ය විය. අවසානයේ සමීරගේ තීරණය වූයේ තම දියණිය නැන්දම්මා භාරයේ බිරිඳගේ නුවර පිහිටි මහගෙදරට යැවීමය. ඒ අනුව බිරිඳගේ දෙමාපියන් විසින් දියණියව බස් රථයක නංවාගෙන එහි රැගෙන යන ලද්දේ, ඇයගේ බලවත් විරෝධය හා විලාපය අතරේය. ඇතැම්විට එම අවස්ථාව දකින අයකුට කිසිවකු විසින් දරුවකු පැහැරගෙන යාමක් ලෙස දැනෙන තරමට දියණියගේ කෑගැසීම් ප්‍රබල විය.
මෙලෙස දින කිහිපයක් ගෙවී ගෙවී ගියේය. ඒ අතර සෑම දිනකම දහවල් හා සවස මේජර් සමීර යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරී අතරතුර වුව, තම බිරිඳ බැලීමට සොයිසා කාන්තා රෝහලට යාම අනිවාර්යයෙන් සිදු කළේය. ඒ සෑම දිනකම තම දරුවා යහපත් අතට පත්වනු ඇති බවට වූ බලාපොරොත්තු හෙතෙම අත් නොහළේය. එසේම, බිරිඳ නෙලීකා ද රෝහලේ සිට මහත් සිත්තැවුලෙන් පසුවන්නට වූයේ - අවදානමක පසුවන තම පුතු මෙන්ම, නුවර මහගෙදර සිට හැඬූ කඳුළින් පසුවන දියණිය ද සිහිවීමෙනි. මේ අතර නැගෙනහිර පළාතේ ත්‍රස්තවාදී ගැටුමකට මැදිව මේජර් සමීරගේ පාඨමාලා සගයකු වූ මේජර් සමන්කුමාර යන අය වාලච්චේන මිරාඕඩේ යන ප්‍රදේශයේ දී මියගොස් ඇති බවට වූ ආරංචියක් ලැබී තිබිණ. වෘත්තිය තුළ මෙන්ම ඉන් බාහිරව ද තම සමීපතම මිතුරකු වූ ඔහු එලෙස ත්‍රස්ත ප්‍රහාරයක් හමුවේ මියයාමේ පුවත - සමීරගේ හද තවදුරටත් සසල කරවන්නක් විය. එහිදී, ත්‍රස්තවාදීන් විසින් පිස්තෝලයකින් එල්ල කළ වෙඩිප්‍රහාර නවයක් ඔහුගේ සිරුර පුරා වැදී තිබූණේ උදරය, පපුව ඇතුළු සිරුරේ තැන් ගණනාවක් සිදුරු කරමිනි. මේජර් සමන්කුමාරගේ සිරුර මඩකලපුවේ සිට ගුවන් මගින් කොළඹ ජාතික රෝහලට රැගෙන එන ආරංචිය මේජර් සමීරට ලැබුණේ, ඔහු සිය බිරිඳ බැලීමට පැමිණි අවස්ථාවකදීය. ඒ අනුව ඔහු වහා ජාතික රෝහලට පිටත් වූයේ, තම මිතුරා පිළිබඳ හදදවන බොහෝ මතක මෙනෙහි කරමිනි. නමුත්, එහිදී ඔහු දැනගත්තේ වෙඩිපහර වැදීම හේතුවෙන් මේජර් සමන්කුමාර බරපතළ ලෙස තුවාල ලබා ඇතත්, ඔහු මිය නොගොස් ඇති බවකි. එසේම, ඔහු දැඩි සත්කාරයේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටින බව ද සමීරට දැන ගන්නට ලැබිණ.
ඉතිරි කොටස ලබන සතියේ
ටැස්මේනියා යනු ඕස්ට්‍රේලියාවට අයත් ඕස්ට්‍රේලියා මහාද්වීපය පහළ කෙළවරේ ඇති දූපතකි. ලොව අන් කිසිම තැනක දකින්න නොලැබෙන විදියේ ජීවීහු ඕස්ට්‍රේලියාවේත්,
බොරැල්ල කනත්ත අසලින් යන වාරයක් වාරයක් පාසා හදවතට සියුම් රිදවීමක් ගෙනදෙන අහඹුවක් අදටත් මසිතට වද දෙයි.
ඔබ මේ ලිපිය කියවන මොහොත වෙද්දී ඇමෙරිකානුවන් සිටින්නේ කලබල වෙමින් බියෙන් සහ චකිතයෙනි. ඇමෙරිකාවේ නැගෙනහිර වෙරළ තීරය අයත් වන ජනපද කීපයක ඉහළ අහසේ - හඳුනා න
නත්තල යනු දෙවියන් වහන්සේ මනුෂ්‍යා වෙත දක්වන්නාවූ ඒ උත්තරීතර ප්‍රේමය පිළිබිඹු කරන ආලෝකයේ මංගල්‍යයයි.
කොළඹ නගරය දැන් හරිම ලස්සනයි. ගාලු මුවදොරට ගියාම ඒ ලස්සන රිසි සේ විඳගන්න පුළුවනි. ගාලු මුවදොර හෙවත් ගෝල්ෆේස් පිට්ටනිය මැද සිට සතර වට බලන විට දැක ගන්නට ලැ
මම ආසම මාසය තමයි දෙසැම්බර් මාසය. පොඩි Cool ගතියත් එක්ක එකතුවුණු නත්තලට මම ගොඩක් කැමතියි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
දෙලොවක් අතර තනිවුණු රණවිරුවා