IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


දේශබන්දු යවන්න සැමගේ සහාය

රනිල්ට චීනෙන් පාටියක් 

රනිල්ට ඉකුත් සතියේ ආන්දෝලනාත්මක තැනකින් සුහද ඇරැයුමක් ලැබුණේය. ඒ චීන තානාපති කාර්යාලයෙනි. ඒ ඇරැයුම රනිල්ගේ උපන් දිනය වෙනුවෙන්, චීනයෙන් උපන් දින පාටියකටය. ඒ සාදය තිබුණේ උපන් දිනයට පෙර යෙදුණු සෙනසුරාදා රාත්‍රියේය.

රනිල් - මෛත්‍රී යුවළ සහ චීන තානාපති යුවළ ඊට සහභාගී වූහ. සාදය අවස්ථාවේ ගත් ඡායාරූපයක්ද තානාපති කාර්යාලයෙන් මාධ්‍යයට නිකුත් කර තිබිණි. උපන් දිනයටත් කලින්ම චීනය රනිල්ට සාදයක් දීම ගැන දේශපාලන ලෝකයේ විවිධ කතාබහ ඇති විය.

රනිල්ගේ ජන්ම දිනය යෙදුණු ඉකුත් 24 වැනිදා කොළඹ මල් පාර, දේශපාලන කාර්යාලයේදී හිතවතුන්ගේ සහභාගීත්වයෙන් උදෑසන තේ මේසයක් පැවැත්විණි.එහිදී රනිල් උපන්දින කේක් ගෙඩියක් ද කැපුවේය. අනතුරුව, රනිල් සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ පිංකමකට සහභාගී විය.එහි මූලිකත්වය දැරුවේ ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝයි.

බන්දුලගේ පොතට රනිල් 

හිටපු ඇමති බන්දුල ලියූ ‘‘“ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුධය”‍ පොත ඉකුත් බදාදා ජනගත කෙරුණේ රාජගිරිය ‘බැංකු පියස’ ශ්‍රවණාගාරයේදීය.එහි ප්‍රධාන ආරාධිතයා  වූයේ හිටපු ජනපති රනිල්ය.

‘‘ලංකා ආර්ථිකය ඍණ වූ මෑත කාලීන අවස්ථා දෙකේදීම බන්දුල සහ මම එකට හිටියා. 2002 වසරේ ආර්ථිකය ඍණ වූ  අවස්ථාවේදීත් 2023 වසරේදීත් අපි එක්ව සිට ඊට විසැඳුම් සෙව්වා.ඒ ගැනත් තවත් පොතක් ලියන ලෙස මා බන්දුලට ආරාධනා කරනවා”‍යැයි රනිල් එහිදී කීය. හිටපු කථානායක මහින්ද යාපා, දයාසිරි, වජිර, තිස්ස අත්තනායක, කරූ, ආචාර්ය සමරතුංග ඇතුළු දේශපාලකයෝ රැසක් මීට එක් වූහ.

පොත එළිදැක්වීමේ උත්සවයෙන් අනතුරුව පැවැති තේ පැන් සංග්‍රහයේදී දේශපාලන නායකයෝ විවිධ මාතෘකා  ගැන කතා කළහ.

රණවිරුවන් කිහිප දෙනෙකුට බ්‍රිතාන්‍යයේ සම්බාධක පැනවීම විදේශපාලන ලෝකයේ ප්‍රධාන මාතෘකාවක් වී තිබෙයි. අදාළ බ්‍රිතාන්‍ය සම්බන්ධක පැනවීම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව රනිල් සහ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා අතර හමුවක් පැවැත්විණි.ඒ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදීය. එහිදී රනිල් අදාළ සම්බාධක පැනවීම  ගැන තම ස්ථාවරය දැනුම් දී තිබේ.

අල් ජසීරා සාකච්ඡාවේදී ද ශවේන්ද්‍ර සිල්වා ගැන ප්‍රශ්නයක් රනිල්ට යොමු විය.

”‍චෝදනා තිබේ නම් පරීක්ෂණයක් කරන ලෙසත්, ඊට මුහුණ දීමට සූදානම් බවත් ශවේන්ද්‍ර මට දැනුම් දුන්නා. නමුත් ඒ ගැන පරීක්ෂණයක් කරන්නට චෝදනා කිසිවක් තිබුණේ නැහැ”‍ යනුවෙන් රනිල් අල් ජසීරාවට පිළිතුරු දී තිබිණි.

”‍මම මගේ ස්ථාවරයන් ගැන හැම වෙලේම කෑ ගහලා නොකිව්වට රණවිරුවන් කිසිවෙකුත් දං ගෙඩියට යැවීම වෙනුවෙන් පෙනී සිටියේ නෑ. එල්.ටී.ටී.ඊ හිතවාදියා වගේ හිතලු‍ කතන්දර ගෙතුවට, ඉතිහාසයේ කිසි දවසක රටට අහිතකර තීරණයක් අරගෙන නෑ”‍ රනිල් තම දේශපාලන හිතවාදියකු සමඟ එසේ පවසා තිබිණි.

හරි විපක්ෂයක් නැහැ 

‘‘හරි විපක්ෂ නායකත්වයක් නැති නිසා විපක්ෂය අද අතරමං වෙලා”‍ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වජිර කීවේ වර්තමානයේ ආණ්ඩුව පැත්තෙන් නැගෙන ප්‍රශ්න වලට විපක්ෂයේ ගොළුවත ගැන විස්තර කරමිනි.

ඊට පිළිතුරක් දෙමින් රනිල් අතීතයේ විපක්ෂවල ස්වරූපය විස්තර කළේය.

‘‘ජේ.ආර් ජයවර්ධන එදා විපක්ෂ නායකව සිටියදී විපක්ෂයට තද නායකත්වයක් ලබා දුන්නා. ආණ්ඩුව කොතරම් ප්‍රබල වුණත් විපක්ෂයේ බලය ශක්තිමත් කරන්නට ඔහු කාර්ය ශූර වුණා. මමත් විපක්ෂ නායක ලෙස කටයුතු කරද්දී ආණ්ඩුවල ජනපීඩක හමුවේ එම ආණ්ඩුවලට ලොකු පීඩනයක් ලබාදුන්නා. ඒත් දැන් විපක්ෂ නායක ඉන්නවද නැද්ද නෑ”‍

“මෝදිගේ ලංකා ගමන ගැනත් ආණ්ඩුව හරි උදාසීනයි නේද? හරියට ඒ ගමන ගැන ආණ්ඩුවේ හැසිරීම ‘එපා වාහෙට හොදි බෙදන්නා’ වගේ”‍තලතා කීවාය.

“උදාසීන නොවී තියෙයිද?අනුර ඉන්දියාවට ගිහිල්ල පොරොන්දු වෙච්ච එක දෙයක්වත් කරල නෑ.මෝදිගේ ගමනින් වෙන්නේ ආණ්ඩුව තවත් හිර වෙන එක’’ වජිර ඊට උත්තර දුන්නේය.

ජුලී චන්ග් සිරිකොතට 

ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග්, 27 වැනිදා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණ එජාප නිලධාරීන් හමුවූවාය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන, මහ ලේකම් තලතා අතුකෝරල ඇතුළු එජාප නිලධාරීහු මීට සහභාගී වූහ.එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙළ සහ රටේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව ඇමෙරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීහු මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

ඇමෙරිකා තානාපතිනිය සහ එජාප නිලධාරීන් අතර සිරිකොත දී පැවති සාකච්ඡාවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද දුරකථනය ඔස්සේ සම්බන්ධ විය. එජාප  නිලධාරීන් සහ ඇමෙරිකා තානාපතිනිය අතර සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැතිණි.

සාකච්ඡාවෙන් අනතුරුව ජුලී චන්ග්, සිරිකොත මූලස්ථාන පරිශ්‍රයේ ඇවිද එහි අතීත සිහිවටන දැක බලා ගත්තාය.

අපේක්ෂකයන් හමුවන්න සජිත් දිස්ත්‍රික්ක පුරා යයි

සමගි ජන බලවේගය පළාත් පාලන මැතිවරණ සටන අරඹමින් දිස්ත්‍රික්ක මට්ටමින් අපේක්ෂකයන් මුණගැසීමේ කටයුතු ආරම්භ කළේය. ඒ අනුව පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජාතික සංවිධායක තිස්ස අත්තනායක සහ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගොස් අපේක්ෂකයන් හමු වී ඔවුන්ට උපදෙස් දෙමින් ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළහ.

ගමින් ගමට මැතිවරණ සටන ආරම්භ වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඉන්පසු ගම්පහ, කළුතර, අනුරාධපුර, පොලොන්නරුව, මහනුවර, මාතලේ, නුවරඑළිය  යන දිස්ත්‍රික්කවල අපේක්ෂක හමු පවත්වා අවසන් කෙරිණි. බ්‍රහස්පතින්දා දවස වෙන්ව තිබුණේ මාතර හා හම්බන්​තොට දිස්ත්‍රික්කයේ    අපේක්ෂකයන් හමුවීම සඳහා ය. පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ හම්බන්තොට සහ මාතර සියලු අපේක්ෂකයන්ට මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන ආකාරය ගැන උපදෙස් ලබාදීමට සජබ​ නායක​යෝ එදින පියවර ගත්හ.

‘‘ජාතික ජනබලවේගය මහජනතාවට බොරු විශාල ප්‍රමාණයක් කියලයි බලය ලබා ගත්තෙ. මේ බොරුවට තිත තැබීම සඳහා මහජනතාව පෞද්ගලිකව මුණ ගැසී දැනුවත් කරන ව්‍යාපාරයකට ඔබ පිවිසෙන්න ඕනෑ. හැම ගමකම හැම ගෙදරකටම ගොඩවෙලා මේ බව පැහැදිලි කරලා දෙන්න.’’ සජබ නායක සජිත්  ප්‍රේමදාස එහි දී අපේක්ෂකයන්ට දැනුම් දුන්නේය.

සජබ සංවිධායකයෝ සූම් තාක්ෂණයෙන් අමතති

දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී අපේක්ෂකයන් හමුවෙන අතරතුර සියලු ආසන සංවිධායකයන් ‘සූම්’ තාක්ෂණයෙන් ඇමතීමට ද සජබය කටයුතු යොදා ති​බේ. ඒ අනුව සෑම දිනකම සවස ආසන සංවිධායකයන්ට ඇමතීමට ද සජබ නායකයෝ පියවර ගත්හ.

සජබ ජාතික සම්මේලනය 3 වැනිදා හයිඩ්පිටියේ

සජබ ජාතික මහා සම්මේලනය අප්‍රේල් මස 3 වැනිදා සවස එකට කොළඹ හයිඩ්පිටියේ දී පැවැත් වේ. එම සමුළුව ඉකුත් වසරේ දී පැවැත්වීමට නොහැකි වූ අතර පක්ෂය පිහිට වූ පසු පැවැත්වෙන හතරවැනි සමුළුව මෙයයි.

ජාතික සංවිධායක තිස්ස ඉමිටියාස් හමුවෙයි.

සජබයේ සභාපති ධුරය පිළිබඳ ප්‍රශ්නය තවමත් නිසියාකාර විසඳී නැත. සජබ සභාපති ධුරයෙන් ඉවත් වූ ඉමිටියාස් බාකිර් මාකර්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස පිළිනොගත්තත් ඉමිටියාස්ගේ තීන්දුව වෙනස් වූයේ නැත. සජබයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක ඉකුත් බදාදා සැඳෑවේ ඉමිටියාස්  හමුවීමට ඔහුගේ බුලර්ස් පාර නිවසට ගියේ ඉමිටියාස්ගේ ප්‍රශ්නය සාකච්ඡා කර විසඳාගැනීමට පක්ෂ නායකයාගේ අවසරය ද ඇතිවය.

ප්‍රශ්නය සමථයකට පත්කර ගැනීම සඳහා විකල්පය ගැන තිස්ස සහ ඉමිටියාස් දෙදෙනා දිගු වේලාවක් අදහස් හුවමාරු කර ගත්හ. ‘‘මම කිසි විටෙක සමගිජන බලවේගයෙන් ඉවත් වෙන්නෙ නෑ. මම දිගටම පක්ෂය සමග ඉන්නවා. ඒත් මට දරා ගන්න බැරි ප්‍රශ්නෙ තමයි පක්ෂය යන මාර්ගය. පක්ෂය යම් නිශ්චිත මාර්ගයක යා යුතුයි. කියන මතයේ මම ඉන්නවා. පක්ෂය ටාගට් එකකට යන්න ඕනෑ...’’ ඉමිටියාස් මෙහි දී සඳහන් කළේ ය.

‘‘නායකතුමාත් දැනුම් දුන්නෙ. ඔබතුමාගේ ඉල්ලා අස්වීමේ ලිපිය භාර ගන්නේ නෑ කියලා. මමත් ඉල්ලීමක් කරනවා මේ ගැන නැවත හිතන්න කියලා. ‘‘තිස්ස අත්තනායක කීවේ ය.

‘‘මේ උපවාස කාලෙනෙ... උපවාසය ඉවර වෙලා මගේ තීරණය මම නැවත කියන්නම්...’’ ඉමිටියාස් සඳහන් කළේය. තිස්ස ඉමිටියාස් ගෙන් සමුගත්තේ පෙර පරිදිම එකට වැඩ කිරීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමිනි.

සිලින්ඩර නායක රැස්වීමේ තොරතුරු පිටට ගිය හැටි සොයයි.

ඉකුත් මහ මැතිවරණයේ දී සිලින්ඩරයෙන් තරග වැදුණු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා සවස පැවැත්විණි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කථානායක යාපා අබේවර්ධන, දොස්තර රාජිත සේනාරත්න, එජාප සභාපති වජිර  අබේවර්ධන, හිටපු මන්ත්‍රී සාගල රත්නායක යන අය එම රැස්වීමට සහභාගී වූහ.

මෙහිදී පළමුවෙන්ම කතා බහට ලක්වූයේ එයට පෙර පැවැති රැස්වීමේ සියලු කතාබහ පුවත්පත්වල පළවී තිබීම පිළිබඳවය. වෙනදා එම රැස්වීමේ කතා බහ කළ දේ මේ තරම් විස්තර සහිතව පුවත්පත්වල පළවී නැති බවත් මෙවර එම සියලු තොරතුරු පුවත්පත්වල පළ වූයේ කෙසේදැයි සාකච්ඡාවලට ලක්විය. එම රැස්වීමට අලුතෙන් පැමිණි අය කවුදැයි සොයා බැලීමෙන් තොරතුරු ලබාදුන් කෙනා සොයා ගත හැකි බව සාකච්ඡාවට ලක්විය.

පළාත් පාලන මැතිවරණයට වෙන් වෙන්ව තරග කළත් එකිනෙකා අතර අවබෝධයෙන් කටයුතු කළ යුතු බව එජාප නායකයා පෙන්වා දුන්නේ ය.

‘‘අපි එකිනෙකා විවේචනය කරන්න හොඳ නෑ.... රජයට එරෙහිව සියලු දෙනා එක මතයක ඉඳගෙන කටයුතු කළ යුතුයි...’’ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කීවේය.

‘‘ඔබතුමාට මතකද අපි දෙදාස් පහළොව දහනවය ආණ්ඩු කාලෙ කොයිතරම් හොඳට ආර්ථිකය ගොඩ නැංවුවද කියලා. අවුරුදු දෙකක්ම ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ආවා. එහෙම දියුණුවක් අපි ලබාගෙන තියෙද්දී අපට නරකට හිටියේ සහරාන්ගෙ ප්‍රහාරය. එතකම්ම අපිට හොඳයි.’’ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිහිපත් කළේය.

‘‘ඔව්... ඒ වෙලාවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාම මට කීවා අපිට සියයට හැත්තෑවක විතර ජන ප්‍රසාදයක් රටේ තියෙනව කියල. ඔය දෙදහස් දහනවේ මුල. සියල්ලම වෙනස් වුණේ. පාස්කු ප්‍රහාරයෙන්’’ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරි​සේන කීවේය.

‘‘ජී හත රැස්වීමට ගියාම ඔබතුමාට විශාල පිළිගැනීමක් ලැබුණා...’’ රනිල් වික්‍රමසිංහ සඳහන් කළේය.

‘‘ආරාධනා කළා විතරක් නෙවෙයි. මතකද ඔබතුමාට සියලු ලෝක නායකයෝ ඔබතුමාගෙ පුටුව ළඟට ඇවිත් ඔබතුමාට කතා කළා.’’ දොස්තර රාජිත සේනාරත්න මෛත්‍රීගෙන් විමසුවේය.

‘‘අපිට එතරම් විශාල පිළිගැනීමක් තිබුණා...’’‘ මෛත්‍රී සඳහන් කළේය.

‘‘වෙන්ව තරග කිරීමයි විපක්ෂයට මේ පාර තියෙන අවාසිය.’’ දොස්තර රාජිත කීවේ ය.

‘‘සජබෙ අය කැමති නෑ ආණ්ඩුවට එරෙහිව විපක්ෂය එකතු වෙනවට. ඒ නිසා සජබ නායකයන්ට එරෙහිව කිසිම පියවරක් මේ ආණ්ඩුව ගන්නෙත් නෑ... විපක්ෂය එක්සත් කිරීම වැළැක්වීමයි ඒ අයගෙ අරමුණ..’’ එහි සිටි තවත් මන්ත්‍රීවරයෙක් කීවේය.

මේ වසර අවසන් වීමට පෙර ආර්ථිකය ඉතාම නරක තත්ත්වයකට පත්වන බව එහිදී සාකච්ඡාවට ලක් විය. මීළඟ වාරිකය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස මෙරටට එන දිනයක් තවමත් රටට දැනුම් දී නැති බවත් එය ගැටලු සහගත බවත් සාකච්ඡාවට බඳුන් විය. පළාත් පාලන මැතිවරණය සඳහා ශක්තිමත් ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද එහිදී තීරණය කෙරිණි.

‘‘ගම්වලට යනකොට මාලිමාවට හිටිය අය දැඩි කලකිරීමකින් ඉන්නෙ කියල පේනවා. මම කීප තැනකදීම දැක්කා. අපි කරපු වාර්තාවක් එක තියෙනවා. මාලිමාවට එදා දුන්න අය මේ පාර යූඇන්පී එකට දෙන්න කැමැතියි. අපි එතෙන්ට හැඩ ගස්සාගන්න ඕනෑ. ජවිපෙ දාල තියෙන අපේක්ෂකයොත් ගමේ මිනිස්සු හඳුනන අය නෙවෙයි. ගමේ මගුලට මරණයට උදව් කරපු අය නෙවෙයි. මේ පාර දාල තියෙන්නෙ එයාලගෙ කාඩර් එකේ අය. අපි ඒ වාසිය ගන්න ඕනෑ’’ දොස්තර රාජිත සේනාරත්න මහතා එහිදී කළ ප්‍රකාශයට කාගේත් අනුමැතිය පළ විය.

යුද්ධයේ වගකීම මහින්ද බාර ගනී

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන්ද බ්‍රිතාන්‍යයෙන් පැනවූ සම්බාධක පිළිබඳව නිරතුරුවම සාකච්ඡා කළහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යුද්ධයට අණදීමේ සම්පූර්ණ වගකීම භාර ගනිමින් නිවේදනයක් නිකුත් කළේය. ඒ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් පිරිසක් ඉකුත් බදාදා සවස නෙළුම් මාවත කාර්යාලයට රැස්වූයේ ඉදිරි මැතිවරණ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

‘‘එංගලන්තෙ ආණ්ඩුව අපේ  රණවිරුවන් පිරිසකට සම්බාධක පනවපු සිද්ධිය සුළු සිද්ධියක් නොවෙයි.

මෙතන තියෙන්නෙ රට බෙදන වැඩ පිළිවෙළේ ම කොටසක් තමයි. එහෙම අවස්ථාවක ආණ්ඩුව ඉතාම දියාරු වැඩ පිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන බව පේන්නෙ’’ හිටපු මන්ත්‍රී විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර පැවසීය.

‘‘හිටපු ජනාධිපතිතුමා යුද්ධයේ සම්පූර්ණ වගකීම භාරගෙන නිවේදනයක් නිකුත් කළා. රණවිරුවො ක්‍රියාත්මක් කළේ මා ලබා දුන් දේශපාලන නියෝග කියලා එතුමා කීවා. ඒ මත තමයි අපේ ඉදිරි දේශපාලන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ඕනෑ...’ පොහොට්ටුවේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කළේය.

‘‘ආණ්ඩුව වැඩ කරපු ආකාරය සම්පූර්ණයෙන්ම වැරදියි. ආණ්ඩුව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගෙන්වල කෙළින්ම කියන්න ඕනෑ ඔයලා කරපු දේ වැරදියි. මේ රණවිරුවන්ට විරුද්ධ කිසිම පරීක්ෂණයක් නොකරයි මෙහෙම සම්බාධක දාල  තියෙන්නෙ.. මහකොමසාරිස්ගෙන් ප්‍රශ්න කරන්න ඕනෑ. එයාව ගෙන්වලා’’ සරත් වීරසේකර පැවසීය. රටේ දේශපාලන තත්ත්වය ගැන ද එහි රැස්ව සිටි අයගේ අවධානය යොමුවිය’’ මේ ආණ්ඩුව තමයි බලයට පත්වෙලා ඉතාම කෙටි කාලයකින් අප්‍රසාදයට ලක්වෙච්චි රජය. ඒ අප්‍රසාදය හැම තැනම තියෙනවා. ඒත් ආණ්ඩුවට තියෙන අප්‍රසාදය අපට ප්‍රසාදයක් බවට තවම පත්වෙලා නෑ...ඒක අපි ඇති කරගන්න ඕනෑ. මේ මාස ටිකට ට්‍රිලියන දෙකකට වඩා ණය අරගෙන මේ තත්ත්වය ගැන  ගෙයින් ගෙට ගිහිල්ලා ජනතාව දැනුවත් කරන්න ඕනෑ’’ නාමල් රාජපක්ෂ කියා සිටියේය. කොළඹ නගර සභා නගරාධිපති ​අපේක්ෂක අජන්ත ඇතුළු මන්ත්‍රී කණ්ඩායම ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පාර්ලිමේන්තුවෙන් ආ පොලිස්පති පාර්ලිමේන්තුවෙන්ම යයි?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම තනතුරින් ඉවත් කිරීම සඳහා ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුවට ගෙන එන යෝජනාවට සහාය පළ කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය තීන්දු කර තිබේ. සජබය කියන්නේ පොලිස්පතිවරයා අනීතිකව පත්වීම් ගත් අවස්ථාවේ සිටම තම පක්ෂය ඔහුට එරෙහිව කටයුතු කළ බවය.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත් වූයේ විවාදාපන්න අවස්ථාවක් පසු කරමිනි. ඔහුගේ පත්වීම පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයට වැඩි බලය හිමි ව්‍යවස්ථාදායක සභාවෙන් කළ තනතුරකි. මේ පිළිබඳව ගොනුකළ නඩුවක දී එම පත්වීම නීත්‍යනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ අතර පාර්ලිමේන්තුවේ කටයුතුවලට අත දැමීමේ හැකියාවක් අධිකරණයට නොමැති නිසා අධිකරණ නියෝගය භාර නොගන්නා බව එවකට කතානායකවරයා තීන්දු කළේ ය. දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති තනතුරට පත්වූයේ ඒ ආකාරයෙනි. ඔහුගේ පත්වීම සිදුවූ ආකාරයටම ඔහු තනතුරෙන් ඉවත් කිරීමටත් වත්මන් රජය තීන්දු කළේ පොලිස්පතිට එරෙහි විෂමාධාර චෝදනා නගමිනි. ඒ අනුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සනින් යුතුව පොලිස්පතිට එරෙහි චෝදනා මාලාව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න භාර දී ඇත. ඉදිරි සතියේ පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව මේ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු ඉදිරි පියවර ගැනීමට නියමිතය. රාජ්‍ය සේවයේ ඉහළම තනතුරුවල සේවයේ නිරතව සිටින නිලධාරීන් පාර්ලිමේන්තු යෝජනා සම්මතයකින් පසු සේවයෙන් නෙරපා හැරීමට පාර්ලිමේන්තුවට බලය තිබේ. 1985 වසරේදී එවකට අගවිනිසුරුවරයාට ද මෙවැනි ම මන්ත්‍රී කණ්ඩායමක් විශ්වාසභංග ලිපියක් අත්සන් කිරීමෙන් පසු අගවිනිසුරුවරයා එම ලිපිය විවාදයට ගැනීමට පෙර තනතුරෙන් ඉල්ලා අස්විය. වත්මන් පොලිස්පතිවරයා ද එවැනි තීන්දුවකට එලඹේද නැද්ද යන්න ඉදිරි කාලයේ බලාගත හැකි වනු ඇත.

මන්ත්‍රී රක්ෂණය අහෝසි කරන යෝජනාවක් රවිගෙන්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනට ලබාදෙන රුපියල් ලක්ෂ දහයක රක්ෂණ ආවරණය රුපියල් ලක්ෂ දෙක හමාර දක්වා අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අවසන් කරමින් පැවසුවේය. ජනාධිපතිවරයා පැවසුවේ එතරම් විශාල මුදලක් දරා ගැනීමට රජයට නොහැකි බවය.

මෙම රක්ෂණ මුදල ඉහළ දැමුවේ ඉකුත් රජයේ නිලකාලය අතරතුරය. මන්ත්‍රී රක්ෂණයට ප්‍රතිපාදන ලබාදෙන්නේ ශ්‍රී ලංකා රජයයි. සියලු මන්ත්‍රීවරුන් ආවරණය වන පරිදි හා සමාජ ආරක්ෂණ බද්දේ අයබදුද එකතු වීමෙන් මෙම රක්ෂණය සඳහා වසරකට රුපියල් මිලියන හැටක මුදලක් වැය කිරීමට රජයට සිදුවී ඇතැයි එකල අගමැති දිනේෂ් ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය. ජනාධිපතිවරයා විසින් යළිත් අඩු කරනු ලැබුවේ එම රක්ෂණ වන්දි සීමාවය. ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කතාව අවසන් වූ පසු විපක්ෂ මන්ත්‍රී චාමර සම්පත් දිසානායක පැවසුවේ ජනාධිපති එසේ කීවද එදින උදෑසන රුපියල් ලක්ෂ දහයක රක්ෂණය අඩංගු කාඩ්පත තමාට ලැබුණු බවය.
මෙම තත්ත්වය මන්ත්‍රීවරුන්ට ලජ්ජාවට කරුණක් බවත් මන්ත්‍රීවරයා අනුන්ගෙන් යැපෙන තැනැත්තකු බවට මතයක් රජය ජනතාව වෙත කාවද්දමින් ඇතැයි විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක සඳහන් කරයි. ඒ නිසා මන්ත්‍රී රක්ෂණ ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමේ යෝජනාවක් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ විවාදය සඳහා භාර දීමට රවි කරුණානායක පියවර ගත්තේය.

රාජ දූත



අදහස් (0)

දේශබන්දු යවන්න සැමගේ සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

Recommended News

එදා ඉන්දියාවත් මවිත කළ උපාලි ෆියට් හා මැස්ඩා කාර්
2025 මාර්තු මස 31 97 0

ලංකාවේ හදපු කාර් රජය විසින් පසුගිය මාසයේ වාහන ආනයනය කිරීමට අවසර ලබා දීමත් සමග වාහන 9,012ක් ගෙන ඒම සඳහා ණයවර ලිපි විවෘත කර ඇති බවත්, එහි


බ්‍රිතාන්‍යය සම්බාධක දැමු රහස කුමක්ද?
2025 මාර්තු මස 30 152 0

වසර 30ක කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පැවති බෙදුම්වාදී යුද්ධය යුදමය වශයෙන් පරාජය කර දැනට වසර 16කි. එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන්


දේශබන්දු යවන්න සැමගේ සහාය
2025 මාර්තු මස 30 69 0

රනිල්ට ඉකුත් සතියේ ආන්දෝලනාත්මක තැනකින් සුහද ඇරැයුමක් ලැබුණේය. ඒ චීන තානාපති කාර්යාලයෙනි. ඒ ඇරැයුම රනිල්ගේ උපන් දිනය වෙනුවෙන්, චීනයෙන් උපන් දින පාටිය


මැති ඇමැතිවරු අසතුටෙන් ද?
2025 මාර්තු මස 30 48 0

ආණ්ඩුවේ ගමන් මග වෙනස් වෙමින් තිබේ ද? ඉකුත් සතියේ ඇතැම් සිදුවීම් සමග එවැනි ප්‍රශ්නයක් ඉස්මතු විය.


වසර දහස් ගණනට පෙර ඉන්දියාව සහ ලංකාව
2025 මාර්තු මස 25 143 0

පිංවත් කරන්දෙණිය ප්‍රඥාදීප යතිවරයාණන් වහන්සේ වනාහි නූතනයේ පහළ වී වදාළ අභිඤ්ඤාවෙන් දකින ලද සුවිශේෂි ස්ථානයක් පිළිබඳව අපි මෙලෙස සටහන් තබන්නෙමු. පිංවත


මොනවද මේ ජනාධිපති කොමිෂන් සභා
2025 මාර්තු මස 22 106 0

1987 – 89 භීෂණ සමයේ දී රජයේ ආරක්ෂක අංශ පවත්වාගෙන ගිය වදකාගාරයක් බටලන් ද නිවාස සංකීර්ණයේ තිබූ බව කියැවෙයි. 1998 වසරේ දී එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුං


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site