IMG-LOGO

2025 ජනවාරි මස 15 වන බදාදා


ධූරයෙන් ඉවත් කළ මැති ඇමතිවරු


ජනාධිපති ධුරයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමෙහිලා සහ ඉටු කිරීමෙහිලා තමාට සහය දීම පිණිස තම මතය අනුව අවශ්‍ය වන ලේකම්වරයන් පත් කිරීමට ද, අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධරයන් සහ කාර්ය මණ්ඩලය පත් කිරීමට ද, ඔවුන්ගේ සේවා නියාමනයන් සහ කොන්දේසි නිශ්චය කිරීමට ද, ජනාධිපතිවරයාට බලය ඇතැයි 1978 ව්‍යවස්ථාවේ 44 (1) වගන්තියේ සඳහන්ය.

අමාත්‍ය මණ්ඩලයේ යම්කිසි ආමාත්‍යවරයෙකුට හෝ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු නොවන අමාත්‍යවරයෙකුට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ ඔහුගේ ධුරයේ කාර්ය ඉටුකිරීමට නොහැකි වුවහොත් එවිට එකී අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ හෝ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුරයේ වැඩ බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යාවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තුවේ කවර හෝ මන්ත්‍රීවරයෙකු පත් කිරීම කළ හැකි වන්නේ යැයි 1978 ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තියේ සඳහන්ය. 

1978 ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තියේ සඳහන් වන ආකාරයට යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු, ඔහු එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ අවස්ථාවේ දී ඔහුගේ නම ඇතුළත් වූයේ යම් පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නාමයෝජනා පත්‍රයේ ද ඒ දේශපාලන පක්ෂයේ හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයකුව සිටීම, ඉල්ලා අස්වීමෙන් හෝ පහ කිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවක, ඔහු එසේ සාමාජිකයකුව සිටීම නතර වූ දින සිට එක් මාසයක කාල සීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස් වන බව දක්වා තිබේ.

එසේ වුව ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු පක්ෂයෙන් පහ කරනු ලැබූ අවස්ථාවක, ඉහත කී මාසයක කාල සීමාව ඉකුත් වීමට පෙර ඔහු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලියවිල්ලකින් වූ පෙත්සමක් මඟින් ඉල්ලීමක් කළහොත් සහ ඒ පහ කිරීම වලංගු නොවන බව ඒ ඉල්ලීම මත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළහොත් ඔහුගේ අසුන හිස් නොවන්නේ ය. ඒ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් තිදෙනෙකු විසින් විභාග කළ යුතු අතර, පෙත්සම ඉදිරිපත් කළ තැන් පටන් මාස දෙකක කාල සීමාවක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය දෙනු ලැබිය යුත්තේය. ඒ පහ කිරීම වලංගු බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලැබූ අවස්ථාවක ඒ තීරණයේ දින සිට එම අසුන හිස් වන බවද’’ තවදුරටත් එහි සඳහන් වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මන්ත්‍රීවරයකු ඉවත් කිරීමේ එකම ප්‍රතිපාදනය මෙය වන අතර අමාත්‍ය ධුර අහෝසි කිරීම නිසා අමාත්‍යංශ හිස් වීම, සිය කැමැත්තෙන් අමාත්‍ය ධුර, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරවලින් ඉවත් වීම සහ හදිසි අවස්ථාවන් යන හේතූන් පදනම්ව දේශපාලන ගමන් මගෙහි එදා සිට මේ දක්වා අමාත්‍යංශවල පුරප්පාඩු ඇතිවිය. එසේ හිස්වන පුරප්පාඩු සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් අමාත්‍යවරයෙකු පත් කරන අතර, ඒ ඒ පක්ෂ වල සභා මතයෙන් ඒ ඒ පක්ෂවල හිස්වන තනතුර පුරවනු ලැබේ. දේශපාලන ගමන් මග තුළ සිය අමාත්‍ය ධූර අහිමි වූ අවස්ථාවන් කිහිපයකි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේදී, විවිධ හේතු මත මන්ත්‍රී ධූර අහිමි වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සිටිති. එම සිද්ධීන්ගෙන් ප්‍රධාන කිහිපයක් පහත පරිදි වේ:

1988 වර්ෂයේ දී එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වූ මහින්ද යාපා අබේවර්ධන සහ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම නිසා පක්ෂ විනය කඩ කළේ යැයි චෝදනා ලැබීය. උතුරු - නැගෙනහිර යුද්ධයට විසඳුමක් වශයෙන් පළාත් සභා හඳුන්වා දෙමින් හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂ රජය විසින් 1988 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වන සංශෝධනය හඳුන්වා දුන්නේය.

එම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් එවක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වශයෙන් තේරී පත්ව සිටි මහින්ද යාපා අබේවර්ධන සහ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන යන මහත්වරුන්ට එරෙහිව පක්ෂයේ විනය කඩ කිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලදී.

එම විනය පරීක්ෂණය අවසානයේදී මහින්ද යාපා අබේවර්ධන සහ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන විසින් පක්ෂ විනය කඩ කර තිබෙන බවත් ඒ අනුව ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමටත් එක්සත් ජාතික පක්ෂය තීරණය කළේය. 

ඉන් අනතුරුව තමන්ව පක්ෂයෙන් නෙරපීම නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අදාළ මන්ත්‍රීවරු දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ. එම පෙත්සම් විභාග කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් එක්සත් ජාතික පක්ෂය විසින් මහින්ද යාපා අබේවර්ධන සහ චන්ද්‍ර කුමාර විජේගුණවර්ධන යන මන්ත්‍රීවරුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බවට තීන්දු කළහ. ඒ අනුව අදාළ මන්ත්‍රීවරු දෙදෙනාගේ මන්ත්‍රීධුර අහිමි විය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසට එරෙහිව 1991 වර්ෂයේ දී දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීමට උත්සාහ කළ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි ඇතුළු මන්ත්‍රීවරුන් අට දෙනෙකුට පක්ෂ විනය කඩ කළේ යැයි චෝදනා එල්ල විය. 

එම සිද්ධිය තුළින් පක්ෂයේ විනය කඩ කළේ යැයි චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ගාමිණී දිසානායක, ලලිත් ඇතුළත්මුදලි, ජී. එම්. ප්‍රේමචන්ද්‍ර, ලක්ෂ්මන් සෙනෙවිරත්න, සමරවීර වීරවන්නි, චන්ද්‍රා ගංකන්ද, ප්‍රේමරත්න ගුණසේකර, වින්සන්ට් පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අට දෙනෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් කරන ලදී.

එම විනය පරීක්ෂණයේදී අදාළ මන්ත්‍රීවරු පක්ෂ විනය කඩ කර ඇති බවට තීන්දු කෙරුණු අතර ඉන් අනතුරුව ඔවුන් පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කළේය. ඉන් අනතුරුව තමන්ගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීතියට පටහැණි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගාමිණී දිසානායක, ලලිත් අතුළත් මුදලි ඇතුළු මන්ත්‍රීවරු පිරිස ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කළහ.

එම පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ගාමිණී දිසානායක ඇතුළු මන්ත්‍රීවරු අට දෙනා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බවත් ඒ අනුව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වී යන බවත් 1991 වසරේ තීන්දු කළේය. 

1992 වර්ෂයේ දී ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයට සහය දැක්වීම නිසා පක්ෂ විනය කඩ කළේ යැයි චෝදනා ලැබූ ආරියරත්න ජයතිලක සහ ඒ. එස්. මුතුබණ්ඩා යන මන්ත්‍රීවරු දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන ලදී. 

1994 වර්ෂයේ දී ඊ.පී.ඩී.පී. සංවිධානයේ මන්ත්‍රීවරුන් වූ ආර්. රාමේශ්වරන් සහ ආර්. රාම මූර්ති යන මන්ත්‍රීවරුන් දෙදෙනා පක්ෂ විනය කඩ කළේ යැයි චෝදනා ලැබීමෙන් පසු පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීය. සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ඊ.පී.ඩී.පී සංවිධානය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා රාමේශ්වරන් සහ රාම මූර්ති යන මන්ත්‍රීවරු දෙදෙනා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ.

ඒ පිළිබඳව විභාගයක් කළ ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ මන්ත්‍රීවරු දෙදෙනාගේ පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට ඊ.පී.ඩී.පී සංවිධානය ගනු ලැබූ තීරණය නීත්‍යනුකූල බව තීන්දු කළේය. ඒ අනුව අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනාගේ මන්ත්‍රීධුර අහෝසි විය. 

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වූ රාජිත සේනාරත්න රජයට දන්ත වෛද්‍ය උපකරණ සපයමින් රජය සමඟ ව්‍යාපාරික කටයුතුවල යෙදීම මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද බවට චෝදනා කරමින් පොදුජන පෙරමුණේ ඩිලාන් පෙරේරා 1999 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ගොනු කෙරිණ. එහිදී විජය‍දාස රාජපක්ෂ සහ එස්. විමලසේකර නීතිඥවරු පෙත්සම්කාර ඩිලාන් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ කේ. එන්. චොක්සි සහ දයා පැල්පොල යන නීතිඥවරු විත්තිකාර රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වෙනුවෙන් කරුණු දැක්වූහ.

මෙම පෙත්සමට අදාළව 1999 වර්ෂයේ දෙසැම්බර් 10 වන දා පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කළ ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධූරය අහිමි කරමින් ක්වෝ වොරන්ටෝ රිට් ආඥාවක් නිකුත් කළේය. ඒත් සමඟම පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා වෙත මන්දාමුස් ආඥාවක් නිකුත්කළ අධිකරණය රාජිත සේනාරත්නගේ මන්ත්‍රී ධුරය අහිමි කිරීම සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා මෙන් නියෝග කෙරිණ.

2022 වර්ෂයේ දී ඩයනා ගමගේ සහ මන්ත්‍රීවරු හත් දෙනා පක්ෂ විනය කඩ කිරීමේ චෝදනා මත මන්ත්‍රී ධූර අහිමි විය. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 99 (13) වගන්තිය ප්‍රකාර පක්ෂ විනය කඩ කළ මන්ත්‍රීවරුන්ට අසුන් අහිමි කිරීමට දේශපාලන පක්ෂ සමත් වූ බව සඳහන් වේ. 

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපා හැරීම සමඟ ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි විය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස පක්ෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රණය කර මන්ත්‍රීවරයකු වූ ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමෙන් පසුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මගින් ඔහු පක්ෂ ප්‍රතිපත්ති සහ තීන්දුවලට පටහැණිව කටයුතු කළා යැයි පක්ෂයෙන් 2021 වර්ෂයේ දී නෙරපා හැරිණ. තමන් නෙරපා හැරීමට පක්ෂය ගත් තීරණයට එරෙහිව පරිසර අමාත්‍යවරයා ද වන අහමඩ් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය. එහෙත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විනය පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරැදිව සිදු කරමින් නසීර් අහමඩ් පක්ෂයෙන් නෙරපීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුකර ඇති අතර අධිකරණය එයට මැදිහත් නොවිය යුතු බවත් පිටු 62ක තීන්දුවක් හරහා ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය. 

2022 වසරේ අප්‍රේල් මාසයේ දී, එවකට පරිසර අමාත්‍ය ධුරය දැරූ නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් කෙරිණි. හිටපු පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ පරිසර අමාත්‍ය ධුරය වෙනුවට අලී සහීර් මවුලානා දිවුරුම් දෙනු ලැබීය.

පසුව එම තනතුරෙහි කෙහෙලිය රඹුක්වැල්ල මහතා පිහිට වූ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් වූ චෝදනාව මත කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2024 පෙබරවාරි මස 02 වැනි දින අත්අඩංගුවට ගැනිණ. අත්අඩංගුවට ගත් ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024 පෙබරවාරි මස 15 වැනි දින රක්ෂිත බන්ධනාගාර  ගත කෙරිණ.

කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව නැවත වරක් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන වැඩිදුරටත් කියා සිටියේ ඔහුට ජනතා බදු මුදලින් නඩත්තු වීමට කිසිදු අයිතියක් නොමැති බවයි.  කෙහෙළියට විරුද්ධව එල්ල වූ චෝදනාවන් සමඟ සමාජයේ ප්‍රබල විරෝධත්වයක් ද සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු බොහෝ පිරිස් කෙහෙළිය රඹුක්වැල්ල කැබිනට් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකර සිටියහ. 

එකී හේතූන් මත පදනම්ව කෙහෙළිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් කාර්යාලයට භාරදීමෙන් අනතුරුව ඒ සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලබාදී තිබේ. කෙහෙලිය රඹුක්වැල්ලගේ ඉල්ලා අස්වීමෙන් හිස් වූ පරිසර අමාත්‍ය ධූරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තබා ගැනීමට පියවර ගැනිණ. 

තවද රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යනුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ නීත්‍යනුකූල හිමිකමක් නොමැති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඔෂල හේරත් මුලින්ම අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබිණ. එම පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ විභාග කෙරිණ. 

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අහිමි අයකු මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් විනිසුරුවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ඩයනා ගමගේට ශ්‍රී ලාංකික පුරවැසි භාවයක් පවතින බවට කරුණු තහවුරු වී නොමැති හෙයින් ඇයට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට සුදුසුකමක් නොමැති බව දන්වමින් ”‍කෝ වොරන්ටෝ”‍ රිට් ආඥාවක් නිකුත් කරන බවත් විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර ඇත. ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින් ඇයගේ මන්ත්‍රී ධුරය අහෝසි විය.

ඩයනා ගමගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහලේකම්වරයාට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින්ම මැතිවරණ කොමිසමට දැනුම් දෙනු ලැබීය. එහිදී කොමිෂන් සභාව මගින් පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට කවරෙකු යෝජනා කරන්නේ දැයි විමසීමෙන් පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් පත් කරනු ලැබේ. මෙලෙස පුරප්පාඩු වූ සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පත් කෙරිණ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ධුරයේ කටයුතු කළ මනූෂ නානායක්කාර මහතා සහ ක්‍රීඩා හා තරුණ කටයුතු, සංචාරක හා ඉඩම් අමාත්‍ය ධුරයේ කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහත්වරුන්ගේ පක්ෂ සාමාජිකත්වට අහිමි කිරීමට සමගි ජන බලවේග පක්ෂය ගනු ලැබූ තීරණය නීතියට පටහැනි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය 2024 අගෝස්තු 09 වැනි දින තීන්දු කිරීමත් සමඟ ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි විය. මෙම තීන්දුව ලබා දෙනු ලැබූවේ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසිනි. මනූෂ නානායක්කාර ඉවත් කිරීමෙන් පුරපුපාඩු වූ සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් කෙරිණ. 

1978 වර්ෂයේ වර්තමාන ආණුඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දීමෙන් පසුව දේශපාලන පක්ෂවල විනය කඩ කිරීමේ චෝදනා මත අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවකගේ මන්ත්‍රී ධුර අහිමි කර ඇති බව පැහැදිලි වේ. සමාජයක් ගොඩනැගීමේ කාර්යයේ බල නියමුවන්ව සිටින පිරිස් හී යම් විනයක් නොවන්නේ නම් රටත් ජනතාවත් ඉබාගාතේ යෑමට ඇති ඉඩ වැඩිය. පක්ෂයක් තුළ, යම් අමාත්‍යංශයක් තුළ යම් විනයක් රැකගැනීම වෙනුවෙන් දීර්ඝ කාලයක් මුළුල්ලේ යම් විනයක් නඩත්තු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු තීරණ මත දේශපාලන මඩගොහුර පිවිතුරු තැනක් බවට පත්කිරීමට ක්‍රියා කර ඇතැයි පසක් වේ.


මනීෂා වීරසිංහ


 



අදහස් (0)

ධූරයෙන් ඉවත් කළ මැති ඇමතිවරු

ඔබේ අදහස් එවන්න

 

 

Recommended News

පතුලක් නැති දිය ඇල්ල බලන්න යමුද ?
2025 ජනවාරි මස 15 3 0

අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ


දරුවා දැඩිසත්කාරයේ පසුවෙද්දී ස්වාමියාට ත්‍රස්තවාදී ප්‍රහාරයක්
2025 ජනවාරි මස 15 10 0

ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්


අපට හොරෙන් අපේ සිරුරේ ඉන්න අමුතු සතෙක් හමුවෙලා
2025 ජනවාරි මස 15 8 0

ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි


රෝස ආදරේ අරන් එන පැතුම් රුක්ෂාන්
2025 ජනවාරි මස 08 44 0

තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.


ප්‍රතිභා ප්‍රභාගේ තටු ලැබූ සිහිනය
2025 ජනවාරි මස 08 68 0

නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා


අහම්බෙන් ලැබුණු මේ අවස්ථාවට දැන් මම හරිම ලෝබයි ඒ වගේම ආදරෙයි
2025 ජනවාරි මස 08 87 0

පිරිමි ළමයි නාට්‍යයේ දිල්හාරා යනු කතාවේ හැටියට අහිංසක තරුණියකි. අඩු කුලේ යැයි ගම්මු විසින් නම් කළ පවුලකට අයත් ඇය හාමු කෙනෙකුට ආදරය කිරීම නිසා චිත්ත පී


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 229 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 556 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 307 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site