IMG-LOGO

2024 ඔක්තෝබර් මස 17 වන බ්‍රහස්පතින්දා


මරණීය අත්දැකීම් පොදියක් ලද මීමුරේ ලකේගල තරණය

ලංකාව කියන්නෙම සුන්දර පරිසර පද්ධතියක් උරුම වූ රටක්. මේ සුන්දරත්වය එකිනෙකට වෙනස්. මේ සුන්දර බව, මනස්කාන්ත බව, නරඹන්න බොහෝ දෙනා මේ පරිසර පද්ධති තුළ සංචාරය කරන්න දක්වන්නේ දැඩි කැමැත්තක්. ඒ අතරින් කඳු තරණය කරන්නන් අතර  සොබාදහම් සුන්දරත්වය විඳින වෙනස් විදිහේ සුවිශේෂී තරුණයෙකු සමඟ මෙවර ‘‘ට්‍රැවල්’’ තුළින්  කතාබහ කරන්න සිතුවා.  ඔහු නමින් ෂෙහාන් රොසයිරෝ. නමුත් ඔහු වැඩිදෙනා හඳුනන්නේ Travel Rosa නමින්. 

 ෂෙහාන් කඳු නැගීම ආරම්භ කරන්නේ කොයි කාලෙද ?

මුලින්ම කඳු නගින්න ආසාවක් ඇති වුණේ පාසලේ බාලදක්ෂ කණ්ඩායමේ ඉඳපු කාලේ. පාසල් කාලෙදි, ඒ කියන්නේ 2014 දි වගේ තමයි මම බාලදක්ෂ කණ්ඩායමට සම්බන්ධ වෙන්නේ. මම කොහොමත් සොබාදහමත් එක්ක ඉන්න හරිම කැමතියි. ඒ නිසාම තමයි සොබාදහම විඳින්න සහ කඳු නගින්න පුරුදු වුණේ. ඒ විදිහට තමයි මගේ  සංචාර ගමන ආරම්භය සිද්ධ වෙන්නේ. 


 පළමුවෙන්ම තරණය කළ කන්දේ මතකය? 

බාලදක්ෂ ක්‍රියාකාරකම්වලදි මුලින්ම තිබුණේ කඳු නැගීමේ තරගයක් . එතනදි මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ 31st JJP  කියලා කඳු නැගීමේ තරගයක් තිබුණා. එදා හන්තානෙ තමයි ගියේ. එතනදි කඳු නැගීමට සම්බන්ධ වෙන ගොඩක් ඉවෙන්ට් තිබුණා. ඒවගේම කඳු නැගීම්වලදී දැනගෙන ඉන්න ඕනැ ලණුවලින් යොදන ගැට වර්ග වගේ දේවල් ගැනත් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා.  කඳු නැගීමේ  මුලින්ම අත්දැකීම ගන්නේ හන්තානෙන්.  හැබැයි මම තනියම නැගපු පළවෙනි කන්ද තමයි අලගල්ල. එතනදි ඒ හයික් එක ගැනනම් ලොකු අදහසක් තිබුණෙ නැහැ. වීඩියෝස් එහෙම බලල තමයි ඒක යන්න හිතුවේ. 

ඉහළ කෝට්ට දුම්රිය ස්ථානයෙන් බැහැල, ගමේ අයගෙන් අහගෙන තමයි කන්ද නගින්න පටන්ගත්තේ. නමුත් එදා එද්දි මට පාර වැරදුනා. හැබැයි මට පොඩි දැනුමක් තිබුණා කැලේ ගැන, එවලූෂන් එක ගැන සහ යන්න ඕනැ ඩිරෙක්ෂන් එක කොහෙද තියෙන්නේ කියන දේවල් ගැන. ඒ නිසාම පීක් එක කොහෙද තියෙන්නේ කියලත් හොයා ගන්න පුළුවන් වුණා. මේ විදිහට කොහොමහරි මැනේජ් කරගෙන ඒ ගමන අවසන් කළා. ඒක තමයි පළවෙනි සෝලෝ අත්දැකීම. තනියම කන්දක් තරණය කළ පළමු අවස්ථාව නිසා පළවෙනි අවස්ථාවෙදි නම් ටිකක් පාර වැරදුනාම පොඩි චකිතයක් සහ භයක් හිතට දැනුණා. හැබැයි ඒත් එක්කම ගමේ අය කිහිපදෙනෙක් හමුවුණා. මට ඒ අය දැක්කම මාරම සතුටක් දැනුනා. මොකද, මට පාර අහගෙන පහළට බහින්න පුළුවන් කියන එක මට හැඟුණ නිසා. ඇත්තටම මම පහළට ආවේ ඒ අයගේ උපකාරයෙන්. 

 මේ විදිහෙ ගමන්වලට ගෙද‍රින් කැමැත්ත ලැබුණ ද? 

මුලදි ලොකු  කැමැත්තක් දැක්වුවේ නැහැ. ඇත්තට මම ගමන යන්න ප්ලෑන් කරලා, බඩු ටිකත් ලෑස්තිකරගෙන තමයි ගෙදරට කියන්නේ. මොකද, ඉක්මනින් ගෙදරින් එළියට පැනගන්න ඕනැ නිසා.  බාලදක්ෂ කණ්ඩායමේ කාලෙ ඉඳන්ම මේ වගේ ගමන් ගිය නිසා ඉගෙනීම් කරයුතු මඟහැරෙයි කියල බය නිසා තමයි ගෙදරින් කැමති වුණේ නැත්තේ.  මම ඇවිදින්න, කඳු නගින්න හරිම ආසයි. පාසල් කාලේ  මම නිවාඩු දවසක් එනකම් බලාගෙන ඉන්නවා කොහේ හරි යන්න 

මං ජීවිතේ සතුටුම තත්පර ගණන්, පැය ගණන් 
ගෙවා දාන්න කැමතිම, 
මේ  මහ ගන වනාන්තර, දිය ඇලි අතර.....

 ඔබේ සංචාර ගමනේ සුවිශේෂි තැනක් තමයි මීමුරේ ලකේගල තරණය කිරීම. ලකේගල කන්ද තනිව තරණය ලංකාවේ පළමු කෙනා ඔබ. කොහොම ද ඒ  අත්දැකීම ?

මේ වෙනකොට මම දෙපාරක් ලකේගල තරණය කරලා තියෙනවා. මුල් වතාවේ යද්දි ලකේගල  දවසින් තනියම නැගලා බහින්න පුළුවන් වෙයිද කියන  ගැටලුව මට තිබුණා. මට දෙයක් හිතුනට පස්සෙ හරියන්න හරි වරදින්න හරි ඒ දේ කරලා බලනකන් ඉවසිල්ලක් නැති පුරුද්දක්  තියනවා. ඉතින් ඒ විදිහට හිතට ආව අදහස්වලින් එකක් තමා මීමුරේ ලකේගල තනියම නගින එක සහ තනියම කෑම්ප් කරන එක. වැඩේ නම් සාර්ථකයි.  මේ ගමන යන්න කලින්, මීමුරේ කියන ගම මම ඇහැටවත් දැකලා නොතිබුණ ආගන්තුක තැනක් වුණා. මීමුරේට යන්න  දින දෙක තුනකට කලින් මම ගම ගැන විස්තර හෙව්වා. පළමුවර ලකේ  ගල තරණය කරලා,  හරියටම අවුරුද්දකට පස්සෙ තමයි දෙවෙනි වරට ලකේගල තරණය කළේ. දෙවෙනි පාර ලකේ තරණය කරන්න යද්දි මීමුරේ ගම්මානයට වැස්ස වැටිලා තිබුණෙ නෑ.  ඉතින් තවත් කල් යවලා තේරුමක් නැති නිසා මහ රෑ 12ට දෙමාපියන්ගේ ආශීර්වාද අරගෙන පිටත් වුණා.  ගමන ආරම්භයට කලින්, ගමේ දේවාලෙට ගිහිල්ලා පඬුරු වෙන්කරලා භාරයක් වුණා. ඇතැමෙකුට මිත්‍යා විශ්වාසයක් වුණත් මම සංචාරකයෙක් විදිහට සොබා  දහමේ ආශීර්වාද ඉහළින්ම විශ්වාස කරන කෙනෙක්. කොහේ සංචාරය කරන්නත් කලින් භාර හාර වෙලා ආශීර්වාද ගන්න පුරුදු සිරිතක් මට තියෙනවා.  දින තුනකට සෑහෙන කළමනා ටිකත් ලෑස්ති කරගත්තු මල්ලත් කරපින්නාගෙන රෝද දෙකට ගොඩ වුණේ තරමක් හිතේ දෙගිඩියාවෙන්.  ඒ ගමනට මම මගේ අයියාවත් එකතුකර ගත්තා. මීමුරේ ගමට ආවට පස්සේ අයියගේ හිතවත් ගෙදරකට තමයි ගියේ. ඒ අය අපට ගොඩාක් උදව් කළා. ඒ අය පුදුමාකාර විදිහට ගතිගුණ අතින් ඉහළ මිනිස්සු. ගමේ මාමලා කිහිප දෙනෙකුගෙන් මම ගම ගැන, ලකේගල ගැන ගොඩාක් විස්තර අහගත්තා. ඒ ගම්මු කියන, ජනප්‍රවාදයේ එන සමහර කතා ඇහැව්වාම ඇඟ සීතල වෙලා ගියා.


මී මුරේ ගමට යන්න මා එක්ක අයියා ආවට, ලකේගල තරණය කරන්න ගමන ආරම්භ කළේ මම තනියම. කොහොම වුනත්, දෙවියෝ බුදුන් සිහිකරගෙන මගේ ගමන මං ආරම්භ කළා. මීමුරේ ගම්මානයත් නාරංගමුවත් යා කරන වනගත මාර්ගය දිගේ මම  ලකේ ඇළ පාමුලට ගලට කිට්ටු කළා. උඩට යාගන්න බැරි වුණත් පුළුවන් උපරිමයක් කරන්න හිතාගෙන තමයි වැඩේට බැස්සෙ. ලකේ ඇළ අසලින්  ගමන පටන් ගෙන ලබුලැස්ස පතන හරහා ලකේගල ගල්කානුව අභිමුවට පැමිණීම තමයි මගේ පළවෙනි අභියෝගය වුණේ.  එතැනින් පස්සේ තියෙන්නේ මාරයාගේ අඩවිය.  ගමනේ බැරෑරුම්ම කොටස. එක් අඩියක් හෝ ඉවත ගියහොත් සිදුවෙන විනාශය සිතාගත නොහැකි තරම්‍.  ගමනට ලොකුම බාධාව වුණේ දැඩි සුළඟ. සමහර තැන්වලදි මාගේ කකුලේ  මස් පිඬු පෙරළුනා. ඒ වේදනාව  දරාගත්තේ හරිම අමාරුවෙන්.   ගමන් මල්ලත් කූඩාරම් මල්ලත් එල්ලා ගත්තාම  ගලේ සමතුලිතව ගමන් කරන්න අමාරුයි.  බඩගාගෙන තමයි මම  ගල් කණුව කොටසට ගියේ.  ගලේ බොහෝ තැන්  තරණය කළේ කඹයක් ආධාරයෙන්. මුදුනට ගියාට පස්සේ මට ඇති වුණේ දරාගන්න බැරි සතුටක්. මම දන්න තරමට, කලින් ලකේගල තනියම තරණය කරලා ළඟකදි කවුරුවත් යාවත්කාලීන කරලා නැති නිසා මම ගල මුදුනටම ගිහින් ජාතික කොඩිය රැඳෙව්වා. ඒ රාත්‍රියම මම නිදා ගත්තේ නැහැ. සුළං සැරයි. මට කරදරයක් වුණත් මාව බේරගන්න ඒ තැනට කිසි කෙනෙකුට එන්නත් බැහැ. හිතේ පුංචි චකිතයක් තිබුණා.  මාගේ ෆෝන් එකෙන් පිරිත්  දැම්මා. කොහොම වුණත්  සංචාරකයන් අතර ජනප්‍රිය වගේම සිහිනයක් වූ ගමනක් වන මීමුරේ ලකේගල තරණය කරනු ලැබූ සංචාරකයන් පවා අතළොස්සක් පමණක් ලබාගත් අත්දැකීමක් මාහට ලබාගැනීමට හැකිවීම ගැන ගොඩාක් සතුටුයි. මේක අංශක 75 ක 80ක බෑවුමක්. මාරාන්තිකම අභියෝග වුණේ ලකේගල බහිද්දි. සමහර තැන්වලදි  මගේ එකම ශක්තිය වුණේ ග්ලූකෝස් ආහුරක් කටේ දම වතුර බීපු එක.  වැඩිපුරම කෑවේ චොකලට්. නොකියවුණු කාරණා බොහොමයක් තියෙනවා. මාරාන්තික අත්දැකීම් රාශියක් වුණා. කෙනෙකුට ආස හිතෙන්න පුළුවන් මේ සංචාරයේ යන්න. නමුත් මම ඉල්ලා සිටිනවා සුළුවට සිතා ලකේගල තරණය කිරීමට නොයන ලෙස 


 හුදකලා කඳු තරණයේ දී ඔබ මුහුණ දුන් ත්‍රාසජනකම අත්දැකීම මොකද්ද? 

ගමන පටන් ගන්නකොටම මගෙ කකුලෙ මසල්වල වේදනාවක් ආවා. කන්ද නැගල  බැහැල එද්දි ගමට ළංවෙනකොටම වගේ මම ඩ්‍රීහයිට්‍රේට් වුණා.  මීමුරේ පාරේ මඟ පොඩි හුළං කපොල්ලක් තියනවා. එතනදි හුළඟක් ඇවිත් මගෙ ඇඟම ෆ්‍රීස්වෙලා ගියා. මම පහළට බැහැලා ඇඟට මාරම අමාරුවක් දැනුණා. ඊට පස්සේ මම බයික් එකත් එක්කම පාරෙ හරහට දාලා නිදාගත්තා. ඒත් එක්කම මගෙ අත් කකුල් හොලවගන්නත් බැරුව ගිහින් ලොකු අපහසුතාවකට පත් වුණා. හරියට මට දැනුණෙ මම විජලනය වුණා වගේ.  ලකේගල නගිනකොට වඩා බහින එක තමයි අමාරු. මොකද ඒකට ගොඩක් කඹ ඕන.  ඒ අත්දැකීමත් ත්‍රාසජනකයි.

 ඔබට  සොබාදහමත් එක්ක තියෙන්නෙ  බැඳීම කොයි වගේද ? 

ගොඩක් අය දැන් හයික් කරන්නේ තරගයට වගේ. තව කෙනෙක් ගියාම මමත් ඒක කවර් කරන්න ඕන කියන තැන ඉඳලා. කඳු නගිනවා කියන්නේ තරගයට කරන්න ඕන දෙයක් නෙමෙයි. අමාරුවෙන් වෙහෙසිලා කන්දක් නැග්ගාම  පුළුවන් තරම් ස්වභාදහම විදින්න. පොඩි පොඩි සත්තු හමුවෙනවා, දුර්ලභ ශාක හමුවෙනවා, ලස්සන දිය පහරවල් හමුවෙනවා. මේ දේවල්වල සුන්දරත්වය අත්විඳින්න ඕන. මම ආසම ගස් කොළවල හෙළවෙනකොට එන සද්දෙ විඳින්න, සත්තුන්ගෙ සද්ද  විඳින්න. 

  ඔබ දැනට සංචාරය කර තිබෙන ස්ථානවලින් හිතට දැනුනම තැනක් තියෙනවාද?

අපි එක වතාවක් ලොකු රූට් එකක් කවර් කළා නකල්ස්වල. අපිට පාරත් වැරදුණා. ඒ  කොහොම  වුණත් ඒ  ගමන හරිම සුන්දරයි හරිම ලස්සනයි. මම හිතන්නෙ මම දැකපු ලස්සනම තැන්වලින්  සහ මම සංචාරය කරපු ලස්සනම ගමන තමයි නකල්ස් ගමන. ඊට පසසේ මම දැකපු  ලස්සනම තැනක් තමයි හාවාගල. 

 මේ සංචාර චාරිකාවේ අරමුණ මොකක් ද?  

මුලදිනම් ලොකු අරමුණක් තිබුණෙ නැහැ. පරිසරය ආස නිසා තමයි මුලින් ඇවිද්දේ. මීදුමට එහෙම මම හරිම ආසයි.  පසු කාලීනව මම කැලෑවක යන විදිහ, ගහකොළ ගැන, ජ්න්ගල් ඩිසිප්ලීන් වගේ දේවල් ඉගෙන ගත්තා. ඊට පස්සෙ මට ඕන වුණේ මේ දන්න දේවල් අනිත් අයටත් කියල දෙන්න. ඒක නිසා මම ට්‍රැවල් චැනල් එකක් පටන් ගත්තා.  මම ගොඩක් ඇවිදින්න යන්නේ ස්ට්‍රෙස් වුණ වෙලාවන් වලදි.

 ඔබ ගොඩාක් තනිව ට්‍රැවල් කරන අවස්ථා තියෙනවා.  හුදෙකලා ගමන්වලදි ආරක්ෂාව වෙනුවෙන් ඔබ මොනවද කරන්නේ?

සෝලෝ හයිකින්වලටත් මම ගොඩාක් ආසයි. තනියම ට්‍රැවල් කරන්න යද්දි වටපිටාවෙ ඉන්න සත්තු, ඒ ඒ පරිසර පද්ධති, කොයි වගේද කියල හොයල බලනවා. ඒවගේම ගොඩක් අය කියනව සත්තු ඉන්නකොට සද්ද කර කර යන්න ඕන කියලා. හැබැයි මේ හැසිරීමුත් පරිසර පද්ධතිය හා සත්ව විශේෂ අනුව වෙනස් වෙනවා. ඒ විදිහට හැසිරීම් ගැන දැනුවත්භාවයක් සහ අවබෝධයක් තියාගෙන තමයි මේ ගමන් යන්නේ. ඒ වගේම මම අඳින පලඳින විදිහත් ආරක්ෂාවට වැදගත්. මම හැම ගමනකටම වගේ බූට් දානවා, දිගට අඳිනවා, තොප්පි දානවා. ඒ වගේම කෑම්පින් යනවනම් ටෙන්ට් එකට ගැළපෙන විදිගට රේන් කවර් එකක් අනිවාර්යයෙන් අරන් යනවා.  තව දෙයක් තමයි කඳු නගිද්දි ඝන වනාන්තරවල යද්දි ඒ ප්‍රදේශ ආශ්‍රිත මිතුරන් දැනුවත් කිරීමත් මම කරනවා. මේ දේවල් තමයි ආරක්ෂාව වෙනුවෙන් කරන්නේ.

  තවම යන්න බැරි වුණ, නමුත් යන්න ආසාවෙන් ඉන්න තැනක් තියනව ද?

මේ වෙනකොට ලංකාවේ නම් ගොඩක් තැන් මම ගිහින් තියනවා. මගේ ඊළඟ ලොකුම ආශාව තමයි එවරස්ට් බේස් කෑම්ප් යන්න සහ කන්ද මුදුනට යන්න. ඒකට මගේ මට්ටමින් දැනට පොඩි ප්ලෑන් එකකුත් තියනවා. ඒ හීනෙට යන්න තව අවුරුදු කිහිපයක් යාවි. ඒ වෙනකම් ලංකාවේ යන්න පුළුවන් හැම තැනකටම යන්න බලාපොරොත්තු වෙනවා. මේක මගේ රට, මට මේකේ ඕන තැනකට යන්න පුළුවන්. ඉතින් නීත්‍යනුකූලව මේ විදිහට යන්න පුළුවන් හැම තැනකටම යන්න බලාපොරොත්තු වෙනවා.


 සොබාදහමට ආදරය කරන කෙනෙක් විදිහට සොබාදහමේ ලස්සන බලන්න යන අයගෙන් ඔබට කරන්න තියන ඉල්ලීම් මොනව ද? 

ඇත්තටම මේ රටේ නීත්‍යනුකූල අවසරය අරන් යන්න පුළුවන් තැන් ගොඩක් තියෙනවා. නමුත් සමහර ස්ථාන දැනටමත් තහනම් වෙලා තියෙන්නේ අපේ මිනිස්සුන්ගේ තියෙන වැරදි ක්‍රියා කලාප නිසා. රැල්ලට කඳු නැගීම තමයි ඒකට ප්‍රධාන හේතුව. එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි ක්‍රියාවන් නිසා ඇත්තටම පරිසරයට ආදර කරන කෙනෙකුට ඒ දේවල් අත්විඳින්න තියෙන අවස්ථා නැතිවෙලා තියෙනවා. ඒ වගේම තවත් බොහෝ පිරිසක් අපහසුතාවට පත් වෙනවා. අපි අපේ දේවල් රැකගන්න පුරුදුවෙමු. ඒ විදිහට මේ දේවල් ආරක්ෂා කරගන්න උනන්දු වෙමු. එතකොට අපිට මේ ‍රටේ අස්සක් මුල්ලක් නෑරම ඇවිදින්න සහ බලන්න පුළුවන් වෙයි.

  ජීවිතේ සතුටුම තත්පර වෙන් කරන්න  කැමති කවුරු එක්කද ?

මං ජීවිතේ සතුටුම තත්පර ගණන්, පැය ගණන් ගෙවා දාන්න කැමති මේ  මහ ගන වනාන්තර, දිය ඇලි අතර.....


දුලක්ෂි ලියනගේ


 



අදහස් (0)

මරණීය අත්දැකීම් පොදියක් ලද මීමුරේ ලකේගල තරණය

ඔබේ අදහස් එවන්න

Recommended News

හරි වෙලාවට තනතුරුවලින් යන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 16 28 0

ජ්‍යෙෂ්‍ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (SLADA) සේවයෙන් ඉකුත්දා සමු ගත්තේය.


මරණීය අත්දැකීම් පොදියක් ලද මීමුරේ ලකේගල තරණය
2024 ඔක්තෝබර් මස 15 39 0

ලංකාව කියන්නෙම සුන්දර පරිසර පද්ධතියක් උරුම වූ රටක්. මේ සුන්දරත්වය එකිනෙකට වෙනස්.


සබරගමුවේ උසම කන්දේ කඳවුරු රාත්‍රියක්
2024 ඔක්තෝබර් මස 15 35 0

ආදර කන්ද, නන්පේරියල් වතුයාය සහ හෝර්ටන් තැන්න, බඹරකන්ද යකාගේ පඩිපෙළ ,දෙතනගල ඇතුළු ජනප්‍රිය බිම් සලකුණු වලින් වටවී තිබෙන සුන්දර බෙලිහුල්ඔය දිශාවට - මේ සු


පොල් මිල වැඩි වෙන්නේ ඇයි ?
2024 ඔක්තෝබර් මස 14 44 0

ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග මොනවාදැයි විමසූ සැනින් තේ, පොල්, රබර් යැයි කීමට කාගෙත් කටට ආ පිළිතුරු ගිල ගැනීමට කාලය උදාවෙමින් තිබේ.


ග්‍රහක අල්ලන් කන්නයි හදන්නේ
2024 ඔක්තෝබර් මස 14 37 0

ඇමෙරිකාවේ නාසා ආයතනය 2025 වසරෙන් පසු ‘ආටිමිස්’ චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යටතේ සඳහා යළි සඳට යෑමට බලාපොරොත්තු වෙයි.


අජීවී කොළයක සජීවී දසුන් මවන හුරුබුහුටි සිත්තරාවී - සෙනුති අයෝද්‍යා
2024 ඔක්තෝබර් මස 09 96 0

සිතුවමක් එහෙම නැත්තම් චිත්‍රයක් කියන්නේ අපේ ඇස් ඉදිරිපිටම මැවෙන හරි අපූරු මායාවක්. ඒ මායාව හරි අපූරුවට පාට කරන සෙනුති අයෝද්‍යා අද ලංකාවේ ගොඩක් අය දන්න


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 599 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 492 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1540 5
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site