මැති ඇමති මන්ත්‍රීන් ඉල්ලා අස්වීම යනු ලෝක දේශපාලනයේ නවමු පුවතක් නොව නිතර ඇසෙන පුවතකි. යම් වරදක් අඩුපාඩු සිදුවූ විට එහි වගකීම බාරගනිමින් තමන් දැරූ ධූරයෙන් ඉල්ලා අස්වෙන චරිත ලෝකයේ සුලභය. නමුත් ලංකාවේ නම් මෙවන් චරිත විරලය. එහෙත් මැති ඇමැති ධූරවලින් ඉල්ලා අස්වන බවට කටමැද දොඩවන චරිත රැසක් සිටිති. ඔවුන් සියල්ලෝම වැඩ වැරදුණු පසුව නිදහසට කරුණු කියන්නෝය. කෙසේ නමුත් මෙරට දේශපාලන ඉතිහාසයේ ඉල්ලා අස්වීම් කිහිපයක් වෙයි. ඇතැම් ඉල්ලා අස්වීම් පක්ෂ දේශපාලන අර්බුදය මත සිදුව ඇති අතර තවත් කිහිපයක් ප්‍රතිපත්තිමය කාරණා මත සිදුවී ඇත. එම මැති ඇමති මන්ත්‍රීන් ඉල්ලා අස්වීමේ ඉතිහාසය අලුත් කරමින් මේ දිනවල කාගේත් කතාබහට ලක් වන්නේ කථානායක අශෝක රංවලගේ ඉල්ලා අස්වීමයි. එය පසුගිය දිනවල පුවත් මැවූ රසවත් කතාවක් බවට පත් විය.
1953 දී අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක ද ධුරයෙන් ඉල්ලා විය. 1953 දී එජාප ආණ්ඩුව සහල් මිල ඉහළ දැමීම ඇතුළු සහනාධාර කපා හැරීම ආදිය හේතු කොටගෙන වසරක් ඇතුළත අපකීර්තියට පත්වීම මීට ප්‍රමුඛ හේතු විය. ඒ අනුව 1953 හර්තාලයේ දී අගමැතිවරයා ඉල්ලා අස්වීම ප්‍රකාශ කළේය.
1962 මැතිනියගේ ආණ්ඩුවේ ද ඉල්ලා අස්වීම් කිහිපයක් වාර්තා විය. ඊට හේතුව වූයේ සලාක සහල් සේරු දෙකකින් භාගයක් අඩුකිරීමේ යෝජනාවයි. ඊට විරෝධය පෑ එවක උප මුදල් ඇමැති මුල්කිරිගල මන්ත්‍රී ජෝර්ජ් රාජපක්ෂ සිය තනතුරෙන් ඉල්ලා අස්විය. ජෝර්ජ් රාජපක්ෂ යනු ඩී. ඒ. රාජපක්‍ෂගේ ඥාති පුත්‍රයෙකි. මෙම අර්බුදය තවත් දික් ගැසුණු අතර අවසානයේ එම යෝජනාව ගෙන ආ එවක මුදල් ඇමති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකට ද ඉල්ලා අස්වීමට සිදුවිය.
ජේ. ආර්. ජයවර්ධනගේ පාලන සමයේ 1987 දී ඉන්දු - ලංකා ගිවිසුමට විරෝධය දක්වමින් එවකට කෘෂිකර්ම අමාත්‍යවරයා වූ ගාමණී ජයසූරිය ඉල්ලා අස් වූයේය. ඒ සමඟම සිරිල් මැතිව් ද ඉල්ලා අස්විය. ජයවර්ධන රජය ඉල්ලා අස්වීම් සම්බන්ධව ප්‍රසිද්ධව සිටියේය. ඊට හේතුව වූයේ අමාත්‍යවරුන්ගෙන් දින නොමැති ඉල්ලා අස්වීම් ලිපි කල් ඇතිව ලබා ගැනීමට ජේ.ආර්. ජයවර්ධන කටයුතු කළ බවට පළ වූ මාධ්‍ය වාර්තාය.
1988 දී පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් එවකට කැබිනට් අමාත්‍යවරයකු වූ රොනී ද මැල් සිය තනතුරෙන් ඉල්ලා අස් විය. මෙම සිදුවීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම පිළිබඳ මෙරට දේශපාලන පිළිබිඹුවකි. කෙසේ වෙතත් 1977 දී හයෙන් පහක බහුතරය බලයෙන් බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා වූයේ රොනී ද මැල්ය. හෙතෙම දාහත් වසරක් පැවති එජාප ආණ්ඩුවේ අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කිරීමෙන් අනතුරූව මේ අස්වීම සිදුවිය.
මෙරට මෑත කාලීන ඉල්ලා අස්වීම් අතර අමාත්‍ය තිලක් මාරපන ඉල්ලා අස්වීම සුවිශේෂී කොට දැක්විය හැකිය. ඇමැති මාරපන ඉල්ලා අස් වූයේ 2015 ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයක් මූලික කරගෙනය. මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ විශාල විරෝධයක් නැඟිණි. සිවිල් සංවිධාන හා පුරවැසි සමාජ මාරපන ඉල්ලා අස්විය යුතු යැයි කෙළින්ම කියා සිටියහ. අවසානයේ ඔහු ඉල්ලා අස්විය.
යහපාලන ආණ්ඩු සමයේම 2017 දී එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉල්ලා අස්වීම සිදුවිය. එයට හේතු වූයේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සිදුවීමයි. මෙහිදී එල්ල වූ චෝදනාව වූයේ කරුණානායක සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් මාස නවයක කාලයක් මහබැංකු බැඳුම්කර මිල දී ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් අැලෝසියස්ගේ සමාගමකින් මුදල් ගෙවා ලබාගත් නිවසක පදිංචිව සිටීමයි. ආණ්ඩුව අභ්‍යන්තරයෙන් එල්ල වූ විරෝධය සහ බාහිරෙන් එල්ල වූ විරෝධය කළමනාකරණය කරගැනීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදුවිය.
මීට අමතර 2018 ඔක්තෝබර් බල පෙරළිය අවසානයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඉල්ලා අස්වීම ද මෙම ගොන්නට එකතු කළ හැකිය. කෙසේ නමුත් නීතිමය ගැටලු රැසක්ද මෙම බල පෙරළියේ දී පැන නැගුණි. ප්‍රධාන වශයෙන්ම පොදුජන පෙරමුණට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාර්ලිමේන්තුවේ සරල බහුතරය නොලැබීම මෙම ඉල්ලා අස්වීමට හේතුව විය. කෙසේ නමුත් ඉල්ලා අස් වූ අගමැතිවරුන් අතරට මහින්ද රාජපක්ෂ නාමය ද මේ සමඟ එකතු විය.
පසුගිය වසරේ පාස්කු ප්‍රහාරයෙන් පසු එනම් 2019 ජුනි 03 මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම ඉල්ලා අස්වීම වාර්තා විය. ඒ අනුව, අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන් වූයේ රවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, අබ්දුල් හලීම්, කබීර් හෂීම්, කාසිම් මොහමඩ් ෆෛසාල්, මොහමඩ් හරීස්, අමීර් අලි සහ අලි සහීර් මවුලානා යන පිරිසයි. ඊට අමතරව අබ්දුල්ලා මහරුෆ් නියෝජ්‍ය ඇමතිවරයා ද සිය පදවිවලින් ඉල්ලා අස් විය. මෙම පිරිසේ ඉල්ලීම වූයේ සියලුම මුස්ලිම් මැති, ඇමැතිවරුන්ට එරෙහිව එල්ල වන චෝදනා පිළිබඳව කඩිනම් පරීක්ෂණ පවත්වා මාසයක් ඇතුළත එම පරීක්ෂණවල නිගමන ප්‍රකාශයට පත් කිරීමයි. රට තුළ ජාතීන් අතර පවතින සමගිය ආරක්ෂා කර ගැනීම සඳහා තමන් මෙම තීරණය ගත් බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අරලියගහ මන්දිරයේදී පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමින් පවසා ඉල්ලා අස්වීම සිදු කරන ලදි. කෙසේ නමුත් මෙම පිරිස ටික කලකින් ක්‍රමයෙන් නැවතත් තනතුරු බාර ගත්හ.
පාඨලී චම්පික රණවක මහතා ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා අස්වීම සිදු කළ අයෙකි. ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වුණි. මීට අමතරව මංගල සමරවීර, කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, රුවන් විජයවර්ධන, හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී. පෙරේරා යන අය ද සිය අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස් වූහ.
2024 වර්ෂය තුළ ද මෙලෙස මැති ඇමති මන්ත්‍රීන් ඉල්ලා අස්වීම් සිදුවිය. සමගි ජනබලවේගය නියෝජනය කරන බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ජනවාරි මස 9 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය. මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවට විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විජේසිරි ඉල්ලා අස්වීමේ ලිපිය මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය වෙත භාර දී ඉල්ලා අස්වීම සිදුවිය. පාර්ලිමේන්තුව පිළිබඳ ජනතාව තුළ පවතින විශ්වාසය බිඳ වැටීම ද තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට බලපෑ හේතුවක් බව ඔහු ප්‍රකාශ කර සිටියේය.
කෙහෙළිය රඹුල්වැල්ල ද පෙබරවාරි මස 6 වන දා තම පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුවිය. ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක් වංචා කිරීම සහ රෝගී ජීවිත අනාරක්ෂිත තත්ත්වයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබුණි. කෙහෙලිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස මීට පෙර සිවිල් සමාජයෙන් හා දේශපාලන පක්ෂ රැසකින් රජයට දැඩි බලපෑම් එල්ල වූ අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය ධූරයෙන් ඔහු ඉවත් කර සෞඛ්‍ය අමාත්‍ය ධූරය රමේෂ් පතිරණට ලබා දී කෙහෙළිය රඹුක්වැල්ලට පරිසර අමාත්‍ය ධූරය ලබාදීමට ආණ්ඩුව කටයුතු කළේය. නමුත් ඔහු එම පරිසර අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් විය.
ජනප්‍රිය රංගන ශිල්පියකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ පෙබරවාරි 26 වන දා සිදුවිය. විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු ලෙස මහ මැතිවරණයේ දී අනුරාධපුරය දිස්ත්‍රික්කයෙන් පොහොට්ටුව පක්ෂය යටතේ තරගකර පාර්ලිමේන්තුවට තේරීපත්වූ උද්දික ප්‍රේමරත්න මෙරට දේශපාලනය කෙරෙහි ඇති වූ අප්‍රාසාදය හේතුවෙන් ඉල්ලා අස් වූ බව ඔහු විසින්ම ප්‍රකාශ කරන ලදි.
‘’අප සියලු දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලය තුළ සිදු වූ සිදුවීම් ජාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස රාජ්‍ය යාන්ත්‍රණය තුළ රැඳී සිටියදීත්, සක්‍රීය කාර්යක නියැළීමේ අවස්ථාවක් කිසිදු විටෙක තරුණ නායකයෙක් ලෙස නොලදිමි.
එසේම පෞද්ගලිකවමම මාගේ දේශපාලන සිතුම් පැතුම් මෙම වාතාවරණය තුළ යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා දුෂ්කර එකක් බව පසක්කර ගෙන සිටින්නෙමි. එසේ හෙයින් තාවකාලිකව මෙම යාන්ත්‍රණයෙන් ඉවත්වීමට මම තීරණය කළෙමි.’’ යනුවෙන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් විය.
ශ්රී ලංකා ජනරජයේ අගමැති ධූරය දැරූ දිනේෂ් ගුණවර්ධන ද සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇත. ඔහු ජනපති රනිල් වික්‍රමසිංහට ලිපියකින් දන්වා ඇත්තේ නව ජනාධිපතිවරයෙක් පත් වූ බැවින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව 47 (2)අ වගන්තිය ප්‍රකාරව මෙම ඉල්ලා අස්වීම සිදු කරන බවයි.
සැප්තැම්බර් 21 වනදා පැවති ජනාධිපතිවරණයෙන් මෙරට 9 වන විධායක ජනාධිපතිවරයා තේරී පත්ව ඇති බැවින් ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන අදාළ ලිපියේ සඳහන් කර තිබුණි.
ඉල්ලා අස්වීමේ ඉතිහාසය තුළ ආසන්නතම සිදුවීම වන්නේ කථානායක අශෝක රංවලගේ ඉල්ලා අස්වීමයි. ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ මතු වූ ආන්දෝලනය හේතුවෙන් කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම සිදුවිය. දෙසැම්බර් 13 වන දා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා ඉතිහාසයේ අඩුම කාලයක් කථානායක ධුරය දැරූ කථානායකවරයා බවට අශෝක රංවල පත්විය. නොවැම්බර් 21 වැනි දා ඔහු කථානායක ධුරයට පත් වූ දා පටන්ම ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව විවිධ පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රශ්න කරන්නට විය. ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාර ගැනීමත් සමග ඔහුගේ ධූර කාලය දින 22 කට සීමා වුණි.
”පසුගිය දින කිහිපය තුළ මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ගැටලුවක් සමාජය තුළ මතු කරනු ලැබ තිබේ. මාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ කිසිදු සාවද්‍ය ප්‍රකාශයක් මා විසින් ප්‍රකාශ කර නැත. එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.
මා හට ආචාර්ය උපාධිය ලබා දුන් ජපානයේ වසීදා විශ්ව විද්‍යාලයට අනුබද්ධ පර්‌යේෂණ ආයතනයෙන් ඊට අදාළ අධ්‍යාපන ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින අතර ඒවා හැකි ඉක්මනින් ඉදිරිපත් කිරීමට අදහස් කරමි. කෙසේ වෙතත් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන ආණ්ඩුවත් අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාවත් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා මා දැනට දරන කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව මෙයින් දැනුම් දෙමි” යනුවෙන් ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපියෙහි සඳහන් විය.
කෙසේ නමුත් ප්‍රතිපත්තිමය කාරණා මත ඉල්ලා අස්වීම දියුණු දේශපාලන සංස්කෘතියක ලක්ෂණයකි. එසේම චෝදනාවක් එල්ල වූ විට එය විමර්ශන කොට අවසන් වනතුරු ඉල්ලා අස්වීමට පරිපාලකයකුගේ යුතුකමකි. එකී මෙකී නොකී හේතුන් මත මෙරට දේශපාලන ඉතිහාසය තුළත් මැති ඇමති මන්ත්‍රීන්ගේ ඉල්ලා අස්වීම සිදු වී තිබේ.
ශෂිකා අබේරත්න
දකුණුලක අගනගරය යන විරුදාවලිය ලත් ගාලු පුරවරය ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාව සෞන්දර්යයෙන් පරිපූර්ණ වූ පුරවරයකි.
අප රටේ ඇති සුන්දර දිය ඇලිවලින් වෙනස්ම හැඩයක් ගන්න, නෙත් සිත් සනහනා, පහන්තුඩාව බලන්න යමු ද? ස්වාභාවික පරිසරයක පහනක හැඩයට ස්වාභාවිකවම නිර්මාණය වුණු දිය ඇ
ශල්‍යකර්මයෙන් අනතුරුව යුද හමුදා රෝහලේ නිලධාරී වාට්ටුවට ඇතුළු කළ මේජර් සමීරට ප්‍රකෘති සිහිය ලැබෙද්දී රාත්‍රිය උදාවී තිබිණ. ඒ වනවිට ඔහු බොහෝ වේදනාවෙන්
ක් ෂුද්‍ර ජීව විද්‍යාඥයෝ, මිනිස් සිරුර තුළ සැඟවී ජීවත්වන අමුතු ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සොයාගැනීමට සමත් වී සිටිති. වයිරසවලට සමාන මේ ජීවියා, මීට පෙර කිසි
තිරගත වන ‘‘රෝස ආදරේ’’ සමඟින් ප්‍රේක්ෂකයා හමුවට එන පැතුම් රුක්ෂාන් සමඟින් මෙවර සඳැල්ලෙන් කතාබහක් කරන්න හිතුවා.
නූල අත ඇරුණු සරුංගලයක් වගේ ප්‍රාර්ථනා ගිලිහුණු යොවුන් හදවත් දෙකක් හුදෙකලාව ගයන සංවේදී පද මාලාවත් ඊටම උචිත මනරම් තනුවත් හා මියුරු ගායනයත් යූ ටියුබ් නා
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මැති ඇමති ඉල්ලා අස්වීම් පුරාණයෙන්