IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


රෝහණයන් ගැන තරු කියන කතා


ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත දිවියේ ස්වර්ණමය අවස්ථාව උදා වන්නේ  70  දශකයේය. ඒ  ඔහු ගුවන් විදුලියේ සරල ගීයක් ලෙස නිර්මාණය කළ රෝහණ  සිරිවර්ධන ගායනා කරන "ඔබේ අත ගෙන පෙර සැඳෑවක" ගීතය හරහායි. ඔහු කළ තනු නිර්මාණ අතුරින් අතිශය ජනප්‍රිය වූ පළමු තනු නිර්මාණය එයයි. 

එතැන් පටන් නිරංජලා සරෝජනී, නිර්මලා රණතුංග, මල්කාන්ති නන්දසිරි ඇතුළු ගුවන් විදුලි ගායක ගායිකාවන් රැසකට තනු නිර්මාණය  කිරීමට රෝහණට අවස්ථාව ලැබුණි. ඒ රෝහණ වීරසිංහගේ තනු නිර්මාණයේ කුසුම විකසිත වූ අවදියයි. ඔහු මුල් තැන දුන්නේ ගීතය හදවතට දැනෙන අයුරින් තනු නිර්මාණය කිරීමටය. ඔහු විසින්  නිර්මාණය කරන ගී තනු තුළ ඇත්තේ හදවත් වැලඳ ගැනීමේ ප්‍රාණයයි.

ඔහුගේ නිර්මාණවල රසය හඳුනාගත් නන්දා මාලනි, වික්ටර් රත්නායක,  සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වැනි හැත්තෑව සහ අසූව දශකයේ මුල් සමයේ බිහිවූ ගායක ගායිකාවන්  නිර්මාණයක් එළිදැක්වීමට ඔහු සොයා ආවේ  ඒ ඒ කටහඬේ ගායන පරාසය සහ ගායන හැඩතල හඳුනාගෙන තනු නිර්මාණය කිරීමට රෝහණට තිබූ   සංගීත අධ්‍යාපනය අබිබවා ගිය සංගීතමය පරිණත බව නිසාමය.  ගීතයෙන් මතු කරන භාවය  එක් එක් හඩට අනුව මතු කරන්නට රෝහණ රුසියෙකු විය. පණ්ඩිත් අමරදේව ගයන "ආරාධනා" නන්දා මාලනිය ගයන "සුළං කපොල්ලේ",   සුනිල් එදිරිසිංහ ගේ "හදේ කොතැනක හෝ", ටී.එම් ජයරත්න ගයන "රාත්‍රිය උදාවෙලා", දීපිකා ප්‍රියදර්ශනී ගයන "කවිය ඔබ", ප්‍රදීපා ධර්මදාස හා ලක්‍ෂ්මන් විජේසේකර  ගයන "සුපෙම් හැඟුම්  " වැනි ගීත මේ බව මානව පිළිබිඹු කරන සාක්ෂි කිහිපයක් පමණි. 

දීපිකා ප්‍රියදර්ශනී, ප්‍රදීපා ධර්මදාස, දයාන් විතාරණ, උරේෂා රවිහාරි, නිරෝෂා විරාජිනී, චන්දන ලියනාරච්චි ඇතුළු මෙකි නොකී ගායක ගායිකාවන් රැසකට  තරු ලෙස බබලන්ට එළිය දුන් දිනිඳු ඔහු විය.  "සුවඳ දැනී දැනී" ගීතය හරහා ඔහු රූකාන්ත ගුණතිලකගේ සංගීත ගමන් මග වෙනස් කළ අයුරු අදටත් සිංහල ගීතයේ සුවිශේෂ ඉතිහාස කතාවකි.

ශ්‍රි ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුළ තනු නිර්මාණයේ නොසිඳෙන උල්පතක් වූ ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ ගී තනු නිර්මාණයන් දහස් ගණනින් ගායක ගායිකාවන් වෙනුවෙන් නිර්මාණය කොට ඒ තුළින් ගායන ලෝකයට පිවිස මෙරට රසික ආදරය වගේම අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගත් ගායක ගායිකාවන් රැසකි.

 

 


                                                     

 

රෝහණට 
සහජ හැකියාවක් තියෙනවා

ප්‍රවීණ ගායන ශිල්පී 
ටී.එම්. ජයරත්න

මට මුලින්ම රෝහණ වීරසිංහ මුණගැහෙන්නෙ ප්‍රේමසිරි කේමදාස මහත්මයාගේ සංගීත වැඩ සටහන්වලදි සහ වාද්‍ය වෘන්දවලදී. ඒ කාලේ රෝහණ වීරසිංහ හොඳ ගිටාර් වාදකයෙක්. මම ගායකයෙක් වෙන්නට පෙර වයලීන් වාදකයෙක්. ඉතින් වාද්‍ය වෘන්දවල වැඩ කටයුතුවලදි අපි මුණගැහුණා. ඒ මුණගැහීම් එක්ක ටිකින් ටික මේ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන ගියා. නාට්‍යවල, චිත්‍රපටවල පසුබිම් සංගීතයන් එහෙම කළා. 

ඉතින් එදා සිට අද දක්වාම මම ළඟින්ම ආශ්‍රය කරපු හිතවතෙක් තමයි රෝහණ . ඔහු කොහොමත් සැමවිටම ඉතාම සතුටින් සිනහමුසු මුහුණින් තමයි විහිළු තහළු කරගෙන ඉන්නෙ.

විශේෂයෙන්ම කියන්න ඕනෑ ඔහුට අපි ආදරය කළේ ඔහු තුළින් බිහිවුණු තනු නිර්මාණවලට. ගොඩක් දෙනෙක් ගායක ගායිකාවෝ පෙලඹුණු දෙයක් තමයි රෝහණ වීරසිංහයන් හොයාගෙන ගිහින් ඔහු ලවා තනු නිර්මාණයන් කරවා ගැනීම.  

මොකද ඔහුට සහජ හැකියාවක් තිබුණෙ තනු නිර්මාණ කරන්න. තනු නිර්මාණකරුවන්  බොහෝ දෙනෙක් හිටියත් රෝහණ වීරසිංහයන්ගේ ගී තනුවල තිබුණා අන් අයට වඩා  සුවිශේෂී බවක්. ඔහු නිර්මාණය කරපු තනුවක් ක්ෂණයෙන් හොයාගන්න පුළුවන්  හැකියාවක් තිබුණා. ඒ තනුවක් අහන පමාවට කියන්න පුළුවන්. ඊට හේතුව ඔහුගේ තනු නිර්මාණය කිරීමේ රටාව  ඒතරම් සුවිශේෂයි. ඒ සුවිශේෂි බවට තමයි ගොඩක් දෙනෙක් ඇලුම් කළේ.  


                                                           

රෝහණ කියන්නෙ 
තනු උල්පතක්

විශාරද නන්දා මාලනී

රෝහණ වීරසිංහ කියන්නෙ තනු  උල්පතක්. කෙටිම වචනයෙන් ගත්තොත් ඔහු ගැන කියන්න තියෙන්නෙ එච්චරයි. රෝහණගේ ගී තනුවක් ගායනා නොකළ මේ රටේ සංගීත ශිල්පියෙක්, ශිල්පිනියක් නැති තරම්. මම ගත්තොත් මගේ ගීත ගොන්නෙ 75% තියෙන්නෙ රෝහණ වීරසිංහගෙ තනු නිර්මාණ. මම හිතන්නෙ ඒකට ඒක හේතුවක් තමයි ඔහු තනුවක් නිර්මාණය කරද්දී ගීතය ගායනා කරන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ පරාසය හොඳින් තෝරාගෙන තමයි ඒ නිර්මාණය කරන්නෙ. 

ඔහුගෙන් එක තනුවක් හෝ නිර්මාණය කරගත් ගායක, ගායිකාවක් පවා අද ක්ෂේත්‍රයේ ජනප්‍රිය බවට පත්වෙලා තියෙනවා. නවකයින්ටත් බෙහෙවින් උපකාර කරනවා. නිර්මාණකරුවෙක් විදියට ඔහුගේ ඒ දක්ෂතාව වගේම මනුෂ්‍යයෙක් විදියට ගත්තම රෝහණ වීරසිංහ කියන්නෙ බොහොම සුන්දර, නිහතමානි පුද්ගලයෙක්. 


                                                           

 මගේ සංගීත දිවිය ආලෝකමත් කළේ රෝහණයි

ප්‍රවීණ ගායන ශිල්පි 
කරුණාරත්න දිවුල්ගනේ

"මගේ ගීත ගොඩ ඇතුළේ වැඩිපුරම ගී තනු රචනය කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහත්තයා. අපි මුලින්ම මුණ ගැහෙන්නේ 1990 වර්ෂයේදි. එතුමා ඒ කාලේ වැඩ කළේ සිරිලංකා ආයතනයේ.  ඒ වෙනකොට ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙමින් ඉන්න කාලේ .  මම ගයපු ගීත දෙකක් තුනක් ගුවන් විදුලියේ ප්‍රචාරය වුණා. ඒ ගීත අහලා තමයි මට රෝහණ මහත්මයා කතා කළේ අපි කැසට් එකක් කරමුද කියලා. පස්සේ කුලරත්න ආරියවංශ මහත්තයායි රෝහණ මහත්තයායි එකතු වෙලා තමයි මගේ  "ඇසට අසුවන මායිමේ" කැසට්පටය කළේ.

මගේ දුවේ , ප්‍රේමය මන්දහාසනි, කොණ්ඩ කිරිල්ලියේ , පිවිතුරුය පළමු පෙම , ගජමන් නෝනා වගේ   එදා පටන් අද දක්වා මට එතුමා ගීත 40-50  කට වැඩිය ගීතනු නිර්මාණ කරලා තියෙනවා.  රෝහණ වීරසිංහයන් කියන්නේ මගේ ජීවිතේට අති දැවැන්ත බලපෑමක් කළ කෙනෙක්.

මගේ  සංගීත ජීවිතේ මුල්ම ගුරුවරයා වෙන්නේ ගුණදාස කපුගේ සූරින් එතුමාගේ වියෝවෙන් පස්සේ මගේ සංගීත ගමනට ලොකුම ශක්තිය වෙලා ආලෝකමත් කළේ රෝහණ වීරසිංහ මහත්මයා. “


 

                                                              

රෝහණ නිසා 1994දී මගේ සංගීත දිවිය වෙනස් වුණා

ප්‍රවීණ ගායන ශිල්පි 
රූකාන්ත ගුණතිලක

“ප්‍රවීණ ශබ්ද පරිපාලක මර්වින් රුද්‍රිගෝ මහත්මයාගේ බොරැල්ලේ තිබුණා ස්ටූඩියෝ එකක් මම දවසක් මර්වින් මහත්මයාගේ ස්ටූඩියෝ එකේ සින්දුවක් රෙකෝඩ් කරන වෙලාවක රෝහණ වීරසිහ මහත්මයා ආවා. ඒ තමයි එතුමාව දැකපු පළමු දවස. එදා කතා කරන්න ලැබුණේ නැහැ. ඊට පස්සේ දවසක සිරිලංකා ස්ටූඩියෝ එකේදි පටිගත කිරිමක් යන අතරතුර මට එතුමා එක්ක කතා කරන්න ලැබුණා.

ඊට පස්සේ 1981 නත්තලට ගී කියලා කැසට් එකක් කරා .ඒකේ ගීත සංගීතවත් කළේ රෝහණ මහත්මායි මමයි. ඒ ගීත ටික අතරින් රෝහණ මහත්තයා මට හැදුවා ගීතයක්  "ගොපලු දරුවනේ ඇයි හිනැහෙන්නේ "කියලා. රෝහණ මහත්තයා තනු නිර්මාණය කළ ගීයක් විදිහට මම මුලින්ම ගැයුවේ ඒ ගීතය.

ඊට පස්සේ 1983 දි මුල් භාගයේදි මට දායක වෙන්න ලැබුණා චන්ද්‍රලේඛාගේ රෙකෝඩින් එකකට ‘සුදු රෝස’ කියන කැසට් එකේ . ඒ ගීත 12ම ගීත තනු නිර්මාණ කළේ රෝහණ වීරසිංහයන්. "මට මුළු ලොවම ඔබයි " ගීතය තිබුණෙත් ඒ ගීත 12 ඇතුළේ. මම එදා ඒ රෙකෝඩින් එකේදි චන්ද්‍රලේඛාගේ ගීතවල වාදකයෙක් ලෙස උපරිම සහයෝගය දුන්නා. ඊට පස්සේ රෝහණ මහත්මාගේ තවත් රෙකෝඩින් කිහිපයකටත් කීබෝඩ් වාදක ශිල්පියෙකු ලෙස දායක වෙන්න අවස්ථාව ලැබුණා.

රෝහණ මහත්මාගේ මම දැකපු ලස්සනම දේ තමයි ඔහුගේ සුහද ශීලිබව සහ කරුණාවන්ත කම, ඒ අතර  තිබුණා හරිම අහිංසක විනෝදකාමි කමක්.

රෝහණ මහත්මයා නිසා මගේ සංගීත දිවිය වෙනස් වෙන්නේ 1994 දි. රෝහණ අයියා මට කලින් දවසේ කතා කරලා කිව්වා රුකා හෙට එන්න රෙකෝඩින්  එකක් කියලා. එදා හොඳටම උණ , චන්ද්‍රලේකා මාව ඒ රෙකෝඩින් එකට අරගෙන ගියේ කොත්තමල්ලි පොව පොව.  එදා උණ පිටින් ගැයුවේ ප්‍රේමරත්නගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වුණ සප්ත කන්‍යා  චිත්‍රපටයේ ගායනා කරපු සුවඳ දැනී ගීතය. ඒ ගීතය ප්‍රේක්ෂකයෝ පුදුම විදිහට වැළඳගත්තා. ඒක මගේ සංගීත දිවියේ ලොකු සංධිස්ථානයක්.


  


මගේ ගීතවලින් 80%  පමණ සංගීතවත් කළා
විශාරද එඩ්වඩ් ජයකොඩි

70 දශකයේ මුල් භාගයේ තමයි මම කොළඹට එන්නෙ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ඇතුළුවෙන්න. එවකට එය රජයේ සංගීත විද්‍යාලය. මේ වෙනුවෙන් සංගීතය හදාරන සිසුන් සම්මුඛ පරීක්ෂණයක් තියලා තමයි තෝරාගත්තේ. ඒ කාලේ එහි ප්‍රධානියා විදියට වැඩ කළේ අමරදේව සර්. ඒ වගේම ලයනල් එදිරිසිංහ, සනත් නන්දසිරි, බී.එන්. විජේරත්න, අයිවෝ ඩෙනිස්, අමරා රණතුංග වැනි දැවැන්තයො පිරිසක් තමයි  ඉගැන්වීම් කටයුතු කළේ. 

කොහොම හරි මම  ඒ විද්‍යාලයට ඇතුළු වෙද්දි එහි ඉන්නවා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් කල්ලියක්ම. ඒ තමයි රෝහණ වීරසිංහ, ලක්ෂ්මන්  විජේසේකර, බන්දුල විජේවීර, මාලනී බුලත්සිංහල, ආනන්ද වීරසිරි ඇතුළු පිරිසක්ම. ඉතින් එකල සංගීත වැඩවලට මේ පිරිස තමයි නිතරම සම්බන්ධ කරගත්තෙ. ඒ ගුවන් විදුලියට චිත්‍රපටවල ගීත ගායනයට, වේදිකා නාට්‍යවල ගීත ගයන්න, අත්වැල් ගායනයට, රංගනයට ඒ හැමදේටම. ඉතින් මම එතකොට නවකයෙක්නෙ. ඒ කට්ටිය යන එන ඒවා දිහා බලාගෙන ඉන්නෙ මටත් ඒවාට සම්බන්ධ වෙන්න ආස නිසා. අපි හීන මව මවා ඉන්නවා කවදාද ඒවට යන්නේ කියලා හිතලා. එහෙම ටික කාලයක් ගතවුණාම කොහොම හරි අමරදේව සර්ට මගේ ගැන ආරංචි වෙලා තිබුණා. ෆස්ට් ඉයර් එකට කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් මට එක දවසක් පණිවිඩයක් එවලා තිබුණා සර්ව මුණගැහෙන්න. ඒ මුණගැසීමත් එක්ක තමයි මුලින්ම මට ගුවන්විදුලියට ගිහින් අමරදේව සර්ගේ ‘‘වැසි වසිනා අහස අපි’’ ගීතයට අත්වැල් ගායනා කරන්න ලැබුණෙ. 

එතැනින් තමයි මගේ ගමන ආරම්භ වුණේ. ඉතින්  වැඩිකල් යන්න මත්තෙන් මම නාට්‍ය පාඨමාලාවක්  එහෙමත් කළා. ඒ ධම්ම ජාගොඩ  මහත්මයා යටතේ ලයනල් වෙන්ටඩ් රඟහලේ. ඉතින් මම ඒ නාට්‍යවලත් පොඩි පොඩි ගායනාවලට, චරිතවලට සම්බන්ධ වුණා. එතකොට රෝහණ තමයි ඒ කල්ලියේ ඉදිරියෙන්ම ඉන්නෙ. පසුකාලෙක ඔහු අපේ ශිෂ්‍ය සංගමයේ සභාපතිත් වුණා. ඔහුට හොඳ සංවිධාන ශක්තියක් තිබුණා. ඔවුන් ඒ කාලෙ වික්ටර් රත්නායක මහත්මයාගේ ‘ස’ ප්‍රසංගයෙත් මුල් කාලේ අත්වැල් ගායනා කළා. පස්සේ කාලෙක මටත් ඒ වෙනුවෙන් සම්බන්ධ වෙන්න ලැබුණා.

ඒ මුණගැහීම් එක්ක තමයි අපේ එකමුතුව වැඩිවුණේ. කොහොම හරි ටික කාලයක් ගියාම සෞන්දර්යය කලා විද්‍යාලයේ අපේ ඒ කණ්ඩායම්වල අයගේ ගම්වල පොඩි පොඩි බජව්වලටත් අපි සෙට්වෙලා යනවා. මඟුල් ගෙවල්වල යනවා. ඒ යන්නෙත් බස්වල, කෝච්චිවල, සංගීත භාණ්ඩත් උස්සගෙන යන්නෙත්. මොකද ඒ කාලේ දැන් වගේ ට්‍රාන්ස්පෝට් පහසුකම් එහෙම නැහැනෙ. ඉතින් අපි කට්ටියම යනවා. හරිම විනෝදත්මකයි. ඒ ගමන් බිමන්වලින් අපේ බැඳීම් ගොඩක් වැඩිවුණා. 

ගුවන් විදුලියටත් අපි නිතර ආවා, ගියා. එහිදී ජී.එස්.බී. රාණි පෙරේරා මහත්මියගේ වැඩසටහන්වලට අපි අත්වැල් ගායනාවලට සහභාගි වෙනවා. අපි අත්වැල් ගායනාවලට කොතරම් සම්බන්ධ වුණත් මම ගොඩක් වැඩ කළේ රාණි මහත්මියගේ වැඩසටහන්වලට. ඉතින් කොහොමහරි එක දවසක ඇය කිව්වා මට තනියෙන් ගීතයක් කියන්න කියලා. එතුමිය රෝහණටත් කතා කරලා කිව්වා ලස්සන නිර්මාණයක් කරලා දෙන්න  කියලා. එදා විනාඩි 10, 15ක් වගේ කාලයක් ඇතුළත ක්ෂණිකවම රෝහණ මට නිර්මාණයක් කරලා දුන්නා.

‘‘කිරිකැටි පුතුනේ’’ කියන මගේ මුල්ම ගුවන්විදුලි ගීතය බිහිවුණේ  ඒ විදියට එදා  තමයි  රෝහණගේ දක්ෂතාව මට වැඩිපුරම දැනුණ දවස. ක්ෂණිකවම මම ඉගෙන ගෙන ගයපු ගීතයක් තමයි ඒ. ඉතින් ඒ ආරම්භ කරපු එදා ගමනෙ එදා මෙදා තුර අද දක්වා මගේ ගීතවලින් 80% පමණ සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ. මට වගේම චරිතාටත් ඔහු වරින් වර නිර්මාණ කළා. මමත් චරිතාත් විවාහ වෙන්නට පෙර තමයි ඔහු විසින් ‘‘අහස් ගැබේ තරු කැට ගානේ’’  ගීතය නිර්මාණය කරලා දුන්නෙ. චරිතාගේ ගායන ගමනෙදි ඒ ගීතයත් ඇත්තටම ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් කියන්න පුළුවන්. 

ඒ හැමදේම වගේම රෝහණ එක්ක මමත් චරිතාත් පසු කලෙක එතෙර මෙතෙර ප්‍රසංග රැසකට සහභාගිවෙලා තියෙනවා. ඔහු මුල්කරගෙන විවිධ රටවල ප්‍රසංග පවත්වලා තියෙනවා. ඉතින් ඒවටත් මටත් චරිතාටත් ගීත ගායනයෙන් සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණො. 

ඒ වගේම ‘‘මාරම්බරි ’’ ඒක පුද්ගල  ප්‍රසංගය පටන් ගද්දිත්  එ​ෙහත් මුල්ම සංගීත අධ්‍යක්ෂවරයා විදියට සහයෝගය දුන්නෙ ඔහු තමයි.

ඇත්තටම රෝහණ කියන්නෙ ඉතාම දක්ෂ මනුෂ්‍යයෙක්. සංගීතය පැත්තෙනුත්, සංවිධාන පැත්තෙනුත්, මනුෂ්‍යත්වයෙනුත් සම්පූර්ණයි. මේ සියලු දේ එක්තැන් වෙලා තමයි ආදරණීය රෝහණ කියන වචනයත් අපේ සමාජයේ හැදුණෙ. 


                                                        

ඔහු තනු දුන්නෙ නිර්ලෝභීව
ප්‍රවීණ ගායන ශිල්පී 
බන්දුල විජේවීර

මම අලව්ව මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගෙන එතැනින් පස්සේ සංගීත  විද්‍යාලයට යන්න වරම් ලැබුණා. 1969 අවුරුද්දෙ තමයි එහි අධ්‍යාපනය පටන් ගත්තෙ. එතැනදි තමයි මට මුලින්ම රෝහණ වීරසිංහ මුණගැහෙන්නේ. ඒ කාලෙ අපි අත්වැල් ගායකයො විදියට ගුවන්විදුලියට සම්බන්ධ වුණේ. මුල් කාලෙ  වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයේ අත්වැල් ගායකයො විදියට මම, රෝහණ, ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද  වීරසිරි වගේ අය සම්බන්ධ වුණා. 

ඒ කාලෙ තමයි මට ‘‘කුල ගෙදරින්’’ කියන ගීතය හුලවාලි චිත්‍රපටයට ගායනා කරන්න ලැබුණෙ. ඒ ගීතයේ සහය ගායකයන් විදියටත් රෝහණ වීරසිංහ සහ ලින්ටන් ප්‍රේමසිරි සම්බන්ධ වුණා. ඒ දෙපළ ගීතයට  සහයෝගය ලබා දුන්නා. ඒ විදියට අපි බොහොම කාලයක් තිස්සේ ඉතාම විනෝදෙන් කටයුතු කළේ.

ඇත්තටම රෝහණ වීරසිංහ කියන්නේ තනු නිර්මාණය කිරීමට බෙහෙවින්ම දක්ෂතා තිබුණු කෙනෙක්. ඔහුගේ තනු නිර්මාණයේ තිබුණු විශේෂත්වය තමයි එකකින් එකට වෙනස් විදියේ නාද රටා තුළින් විවිධ මාදිලියේ ගී තනු ඉතා විශාල සංඛ්‍යාවක් මෙරට බොහෝ ගායක ගායිකාවන්ට නිර්මාණය කර දීම. එය ඉතාම නිර්ලෝභීව තමයි ඔහු ඉටුකර දුන්නෙ.

මටත් ඔහු නිර්මාණ කිහිපයක්ම කරලා දීලා තියෙනවා. ඉතින් මම ඔහුට සුබපැතුම් එකතු  කරනවා තවත් නිර්මාණ රැසක් බිහි කිරීමට ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබෙන්න කියලා.


                                                            

 අදටත් මම ගයන්නෙ ඔහුගේ ගීත
ප්‍රවීණ ගායන ශිල්පිනී 
චන්ද්‍රලේඛා පෙරේරා

1983 අවුරුද්දේ දි රෝහණ අයියාව මට මුලින්ම මුණ ගැහෙන්නේ ගීත 12කුත් එක්ක.  ඒ තමයි මගේ "මට මුළු ලොවම ඔබයි"  කැසට් එකේ ගීත 12 එක්ක.  මාර ලස්සනම ගීත 12ක්. අදටත් මම ගායනා කරන්නේ ඒ ගීත. ඒ වගේ තමයි රසිකයෝ ඉල්ලන්නෙත් ඒ ගීතමයි.  

ඊට පස්සේ මට රේඛා ටෙලිනාට්‍යයේ දිත් රෝහණ අයියා එක්ක වැඩ කරන්න ලැබුණා. ඒ ටෙලි නාට්‍යයෙත්  ගීත 12ක් තිබුණා එහිත් සංගීත අධ්‍යක්ෂණය කරේ රෝහණ අයියා. එහි මම ප්‍රධාන චරිතයෙන් රංගනයට දායක වුණත් ටෙලි නාට්‍යයේ ගීත 12ත් ගායනා කිරීමේ වාසනාවත් මටම තමයි ලැබුණේ. ඩී. බී.  නිහාල්සිංහ මහත්මයා රෝහණ අයියාට රේඛා ටෙලිනාට්‍යයේ රඟපාන්නත් ආරාධනා කළා. නමුත් රෝහණ අයියා රඟපාන්න කැමති වුණේ නැහැ.

ඒ විදිහට රෝහණ අයියා මගේ ජීවිතේ  වෙනස් කරපු ගීත බොහොමයක් තියෙනවා. වනසිවුපාවුන්, ගතින් ඉන්නට නැතත් ළං වී, නීලනුවන් යුග, මනලෝලි මනමාලියේ, ඔබ දෙපා දොවා වගේ රෝහණ අයියා අතින් මට ගීත ගොඩාක් සංගීතවත් වුණා. මං හිතන්නේ රෝහණ අයියා අතින් සංගීතවත් වූ ගීත අතුරින් ලස්සනම ගීත ටික තියෙන්නේ මට කියලා.

ඒ විදිහට මගේ ගායන ජීවිතෙත් රෝහණ අයියා නිසා සිදු වෙච්ච සංධිස්ථාන ගොඩාක් තියෙනවා.  රෝහණ අයියා කියන්නේ ගී උල්පතක්.

ඒ උල්පත නොසිඳේවා තවත් චිරාත් කාලයක් වැජඹෙන්නට තවතවත් ලස්සන ගී තනු ලංකාවේ රසිකයන්ට ලබාදෙන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනය කරනවා.


                                                          

මගේ සංගීත දිවිය වෙනස්කළ 
යුග පුරුෂයෙක්

ප්‍රවීණ ගායන ශිල්පි  
චන්දන ලියනආරච්චි

මගේ ගායන ජීවිතේ සිහින ටිකක් තිබුණා. 1999 දි ඒ එක හිනයක් සැබෑ වුණා. ඒ තමයි ලියතඹරා මල ගී එකතුව වෙනුවෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීත නිර්මාණ දායකත්වය ලබාගැනීමට හැකිවීම. අනෙත් එක තමයි මට ඒ නිර්මාණ ගැයීමට ලැබීම.ඒක මගේ ගායන දිවියේ මා ලද භාග්‍යක්.

රත්නශ්‍රි විජේසිංහ මහත්මා ලිවූ රෝහණ වීරසිංහයන් තනු නිර්මාණය කළ සුවඳ තියා මා ළඟ ගීතයත්, යමුනා මාලනිය ලිවූ ප්‍රේමය ලොව හැම තැනම ඇති ගීතයත්, ලලිත් වසන්ත මහත්මා ලිවූ සසල වුණත් සිත නම් වූ ගීතයත් යන ගීත රෝහණයන් අතින් සංගීත නිර්මාණය කර ලියතඹරා මල කියන ගීත එකතුවට  එක් කරන්නට ලැබෙන්නේ ගායන ශිල්පිණයකු ලෙස මගේ තවත් සිහිනයක් සැබෑ කරමින් වගේම මගේ ගායන දිවිය සුවිශාල ආලෝකයක් එක්රමින්.

විශේෂයෙන් ඒ කාලේ සුවඳ තියා මා ළග ගීතය අතිශය ජනප්‍රිය වුණා. ලංකාවේ රසික ප්‍රජාව මාව අඳුරගත්තේ ඒ ගීතයෙන් පස්සේ.

මගේ දෙවන ගීත එකතුව වුණ කඩුපුල් මල ගීත එකතුව වෙනුවෙන් නිර්මාණය වු යමුනා මාලනි පෙරේරා මහත්මිය ලිවූ සුවඳ මට දී කියන ගීතයත්, රත්නශ්‍රි විජේසිංහයන් සඳ හාදු දිදි ගීතයත් මගේ ගමන් මගට තවත් වටිනාකම් එකතු කළ ගීතයන් බවට පත් වුණා.

ගී තනුවල රසවත් බව නිසාම අදටත් රසික ප්‍රජාව ඒ ගීත වලට දක්වන්නේ විශාල කැමැත්තක්. ඒ විදිහට ඔහු විසින් මධුර ගි තනු 50 කට අධික සංඛ්‍යාවක් මා හට නිර්මාණය කරලා තියෙනවා. ආදරණීය රෝහණ ඔබ මගේ සංගීත දිවිය වෙනස් කළ යුග පුරුෂයෙක්. ඔබට චිරං ජයතු.

 ධනු විජේරත්න
 නදීශා අතුකෝරළ


 
 
 



අදහස් (0)

රෝහණයන් ගැන තරු කියන කතා

ඔබේ අදහස් එවන්න

Recommended News

රට හදන තැන වැඩ කෙරෙන්නේ මෙහෙමයි
2024 දෙසැම්බර් මස 18 23 0

ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම


සජබ ගමන් මග
2024 දෙසැම්බර් මස 18 33 0

ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව


කොයි පක්ෂයෙන් අර්බුදයට ගිය ජාතික ලැයිස්තුව
2024 දෙසැම්බර් මස 18 22 0

පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.


මැතිසබෙන් රස කතා
2024 දෙසැම්බර් මස 18 49 0

චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.


ක්‍රීඩා අමාත්‍යංශයේ දැක්ම සාකච්ඡාව සැලසුම් : තහනම් වචනය මුදල්
2024 දෙසැම්බර් මස 18 12 0

ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්‍රශ්නකාරීවී තිබේ.


සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු
2024 දෙසැම්බර් මස 18 15 0

දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21402 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13862 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 68 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 2 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 333 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

Our Group Site