පසුගිය නොවැම්බර් 5 සහ 6 යන දෙදින නව දිල්ලියට මෙන්ම නව දිල්ලියේ ඇති අශෝක් හෝටලයට සුවිශේෂී දිනයන් වූයේ ලොව පළමු වතාවට ආසියානු බොදු සමුළුව පැවැති නිසාය. දිල්ලියට ගාම්භීර හැඩයක් දුන් අශෝක් හෝටල සංකීර්ණය සරසා තිබුණේ වෙසක් සමයක සිරි ගන්වමිනි. ඊට අමතරව රට රටවලට අයත් ජාතික ධජ හෝටල පරිශ්‍රය දෙපස නංවා තිබිණ. මුළු අශෝක් හෝටල සංකීර්ණය දිස් වූයේ බෞද්ධ සිරි ගැන් වූ සිද්ධස්ථානයක් මෙනි. විවිධ රටවල විවිධ ජාතීන්ට අයත්, විශේෂ ආරාධිතයන් මෙන්ම මහ සංඝ රත්නය සහභාගී වූ මෙම බොදු සමුළුවේ සමාරම්භය සනිටුහන් කළේ ඉන්දීය ජනපතිනිය ශ්‍රීමතී ද්‍රෟපදී මුර්මු විසිනි.
මෙම බොදු සමුළුවේ තේමාව වූයේ ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ ධර්මයේ කාර්යභාරය යනුවෙනි. ඉන්දීය සංස්කෘතික අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර බෞද්ධ සම්මේලනය (IBC) ඒකාබද්ධව සංවිධානය කළ මෙම සමුළුව පැවැතියේ දහසකට වැඩි පිරිසකට ඉඩකඩ ඇති අශෝක් හෝටලයේ සුවිසල් ශාලාවකදීය. එහි ප්‍රධාන වේදිකාවේ දකුණු පසට වන්නට බුදු පිළිමයක් තැන්පත් කර තිබිණ. ජනපතිනියගේ සපැමිණීමත් සමග ඉන්දීය ජාතික ගීය ගැයුණු අතර, ඉනික්බිතිව ඇය කළේ මල් පහන් පුදා බුදුන් වන්දනා කිරීමය. ඉන් අනතුරුව සමුළුව අමතා කළ කතාව කාගේත් පැසසුමට ලක්විණි.
බොදු සමුළුව විවෘත කළ අවස්ථාව
“මෙහි බුදුරදුන්ට පූජා කළ මේ මල්වලින් අපගේ සුහදත්වයේ සුවඳ සෑම දිශාවකටම පැතිරේවා. අප මෙහි දැල් වූ පහන විහිදුවන්නේ ප්‍රඥාවේ ආලෝකයයි. විවිධ දේශාන්තරවලින් වැඩ සිටින මහ සංඝ රත්නය දැකීම මට සතුටක්. ඈත දුර බැහැර ගෙවා විවිධ දේශාන්තර වලින්, විවිධ භාෂා කතා කරන විවිධත්වයෙන් හැඩවී සිටින, විවිධ ජාතීන්ට අයත් බොහෝ දෙනෙක් මෙතැනට රැස්ව සිටිනවා. එලෙසින් ඔබ සියලු දෙනා රැස්ව සිටින්නේ බුදුන් වහන්සේ පෙන්වාදුන් මාර්ගයේ ගමන් කරන අතරේ ඒ දහමට අදාළව පැවැත්වෙන සමුළුවේ දේශනාවලට සවන් දීමටයි. මෙම සමුළුවට පැමිණි ඔබ සියලු දෙනා පිළිගැනීමට ලැබීම මටත් සමස්ත ඉන්දියාවටත් ගරුත්වයක් සේ සලකමි.” යැයි ඇය සිය කතාවේ සඳහන් කළාය.
මෙවැනි සමුළුවක් සංවිධානය කිරීමට මුල් වූ ජාත්‍යන්තර බෞද්ධ සම්ම්ලනය (IBC) පැසසිය යුතුවේ. භාරතය යනු සද්ධර්මයේ ආශීර්වාදලත් දේශයයි. මිනිසුන්ට ජීවිතයේ ආධ්‍යාත්මය සහ ඇතුලාන්තය සොයා යාම වෙනුවෙන් විවිධ දේශනා සහ දර්ශනයන් ගැන කියාදුන් ශ්‍රේෂ්ඨ ශාස්තෘවරුන්, විද්‍යාඥයන්, ප්‍රාඥයන් සිට ඇත. ඒ අතරින් මාර්ග ඵල ලාභීන් අතර බුදුරදුන්ට හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. බුද්ධගයාවේ බෝධිය හෙවණේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත් වූ සිදුවීම ඉතිහාසයේ සිදු වූ අසමසම සිදුවීමයි. උන් වහන්සේ සමාජගත කළේ ‘බහුජන හිතාය බහුජන සුඛාය’ වෙනුවෙන් සැම සෙත සුව පිණිසයි. බුදුන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ දර්ශනය පසුව එක් රැල්ලක් මෙන් ශ්‍රී ලංකාව, මියැන්මාරය, කාම්බෝජය, ඉන්දුනීසියාව මෙන්ම අග්නිදිග ආසියානු කලාපය හරහා සම්ප්‍රේෂණය වීම එදා සිදු වුණා. ඉනික්බිතිව චීනය, මොන්ගෝලියාව, ටිබෙටය, ජපානය කොරියාව, වියට්නාමය වැනි රටවල විහිදී ගියේ ප්‍රඥාවේ රැල්ලක් මෙනි.
ඉන්දීය අගමැති මෝදි සභාව අමතයි
ථේරවාද, මහායාන, වජ්‍රයාන සම්ප්‍රදායයන් මෙන්ම ඒ ඒ වර්ගීකරණයන් අනුව නිකායන් ද ඇත. තථාගතයන්ගේ පණිවුඩය ඔවුන් අතර වෙනස් වූව ද ප්‍රතිවිරෝධතාවක් නොමැත. උතුරු දකුණු ලෙස පැතිරී විහිදී ගිය ඒ ශ්‍රේෂ්ඨ බුදු දහම බටහිර ලෙසද පැතිර ඇති වග දක්නට ලැබෙයි. එනම් ගෝලීය වශයෙන් බුදු දහමේ හරයට ලෝකය නතු වී ඇති වග අපට පසක් වන්නකි. මිත්‍රවරුනි අද ලෝකයට අවශ්‍ය වන්නේ කරුණාව සහ මෛත්‍රීයයි. බුදු දහමේ එක් පණිවුඩයකින් එය ප්‍රකාශ වෙයි. අද මානවයාගේ පැවැත්ම පිළිබඳව ලෝකය කාරනා කීපයක් ඔස්සේ මුහුණ දී සිටින වග පැහැදිලියි. අවිහිංසාව පෙරදැරිව කටයුතු කළොත් ඒ සියල්ලට විසඳුම් ලබාගත හැකිය. එනිසා ආසියාව ශක්තිමත් කිරීමෙහිලා මෙම බොදු සමුළුව ඔස්සේ එය සාකච්ඡාවට ගැනීම වැදගත් වන්නකි.
ඉන්දීය ජනපතිනිය කළ කතාවේ සාරාංශයකි. ඊට අමතරව එරට මධ්‍යම සංස්කෘතික කටයුතු අමාත්‍ය ශ්‍රී ගජේන්ද්‍ර සිං ෂෙකාවන්, පාර්ලිමේන්තු සහ සුළුතර කටයුතු පිළිබඳ අමාත්‍ය ශ්‍රී කිරන් රිජිජු සහ අති පූජ්‍ය දලයි ලාමා වහන්සේ නියෝජනය කරමින් මධ්‍යම ටිබෙට් පරිපාලනයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නිල ප්‍රකාශක අතිරේක ලේකම් ටෙන්සින් ලෙක්ෂායි මෙන්ම අති පූජ්‍ය හිමිවරුන්ගේ දේශනා පැමිණ සිටි පිරිසගේ අධ්‍යාත්මය හරවත් කළ බව කිව හැකිය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් අති පූජ්‍ය මහානායක වස්කඩුවේ මහින්දවංශ නාහිමිගේ දේශනාවේ දී උන්වහන්සේ පවසා සිටියේ වත්මන් ලෝකය තුවක්කු සහ අවි වලින් විනාශ වන බැවින් අවිහිංසාවේ ශක්තිය මගින් එය පරාජය කිරීමට සියලු දෙනා හට වගකීමක් ඇති මෙන්ම ප්‍රායෝගිකව ආයුධ අබිබවා අවිහිංසාවේ ශක්තියෙන් කටයුතු කළ හොත් නිසැකවම එය ජය ගත හැකි බවය. එය බුදු දහමේ හරය සමග බැඳී කටයුතු කරන සියලු දෙනා හට ආයුද අබිබවා අවිහිංසාවෙන් අනිවාර්යයෙන් ජය ගත හැකි යැයි උන්වහන්සේ සපත කළහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ නියෝජ්‍ය මහ ලේකම් ධූරය හොබවන, ආචාර්ය දමෙන්ද පෝරගේ ප්‍රකාශ කළේ, මෙම ආසියානු බොදු සමුළුව පැවැත්වීම මගින් මුළු ආසියාවටම ආලෝකයක් වනු ඇති බවයි.
“අපට බෞද්ධ දර්ශනය ලැබුණෙ ඉන්දියාවෙන්. ඒ නිසා අප ඉතා වාසනාවන්තයි. අශෝක අධිරාජ්‍යයා එදා තම පුතු සහ දියණිය ශ්‍රී ලංකාවට බුදු දහම එව්වේ අමිල වූ ත්‍යාගයක් ලෙසයි. ඒ දහමේ හරයන් අප වඩාත් ප්‍රායෝගික කර තිබෙනවා. එමෙන්ම බුදු දහම ඉන්දියාව සහ ශ්‍රී ලංකාවෙ අතර ශක්තිමත් පාලමක් ඇති කර තිබෙනවා. ”
ආචාර්ය දමෙන්ද පෝරගේට අමතරව මෙම සමුළුව අමතා ස්තුති කතාව ඉදිරිපත් කළේ ජාත්‍යන්තර බෞද්ධ මහා සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් අභිජිත් හෙල්ඩර් විසිනි. සමුළුව අවසන දිල්ලි ප්‍රකාශය සම්මත වූ අතර, අභිජිත් හෙල්ඩර් ඊට ඇතුළත් ප්‍රධාන කාරනා කීපයක් ගැන මෙන්ම මෙම සමුළුවේ පරමාර්ථයන් ගැන සහ බුදු දහමේ වත්මන් විකාශය ගැනද පැහැදිලි කළේය.
ඒ අනුව දිල්ලි ප්‍රකාශයට ඇතුළත් ප්‍රධාන කාරණා අටක් ගැනද ඔහු පැහැදිලි කළ අතර බුද්ධ ධර්මයේ මූලධර්ම මත පදනම්ව ආසියානු ජාතීන් අතර බැඳීම් ශක්තිමත් කිරීම, බෞද්ධ කලාවේ සහ උරුමය ආරක්ෂා කිරීම බෞද්ධ සාහිත්‍ය මූලික කර ගෙන වැඩ කිරීම, බුද්ධ වචනය සහ දර්ශනය මෙන්ම පාලි භාෂාව ව්‍යාප්ත කිරීම යන කාරනා ඉන් කීපයකි. සමුළුව අමතා තව දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ, “පසුගිය කාල වකවානුවේ දී ලෝකය ආර්ථික ආර්බුදයකට මුහුණ දුන්නා. එහිදී ආසියාකරයේ, වෙසෙසින්ම දකුණු සහ අග්නිදිග ආසියානුවන් ඊට මුහුණ දුන්නේ උපේක්ෂාවෙන්. ඊට හේතුව අප බොදු සමාජය භෞතික දේට සහ ආර්ථිකයට වඩා මානව හර පද්ධතීන් සහ සාර ධර්මවලට මෙන්ම මනුෂ්‍යත්වයට මුල් තැන දීම නිසයි. එනිසාම අපට ඒ අර්බුදය ජයගත හැකි වුණා.” යනුවෙනි.
රටවල් 32 ක් නියෝජනය කරමින් මහ සංඝ රත්නයට අමතරව විද්වතුන්, ආචාර්ය මහාචාර්යවරු සහ විවිධ ක්ෂේත්‍රවලට අයත් ගිහි පැවිදි පිරිස්වලට අමතරව විවිධ රටවලින් පැමිණ සිටි මෙහෙණින් වහන්සේලා ද වූ මෙම සමුළුව වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් අගමැති නරේන්ද්‍රසිං මෝදි විසින් එවා තිබිණ. ඒ අනුව භාරත රාජ්‍යයේ ඇති සියලුම සිද්ධස්ථාන සංරක්ෂණය කෙරෙන වග එතුමා සඳහන් කර ඇත. මහා භාරතය බුදු දහම හර පද්ධතීන් වෙනුවෙන් සහ බුදු දහමේ විකාශය උදෙසා සුවිශාල මෙහෙවරක් කිරීමට තැබූ අර්ථාන්විත පියවරක් ලෙස මෙම සමුළුව පැවැත්වීම මගින් සපථ වන්නකි. එමෙන්ම කලාපයේ සහජීවනය උදෙසා ඉන්දියාව කටයුතු කිරීම පැසසිය යුතු දෙයකි. ලෝක මානවයා අතර සහජීවනය මෙන්ම තිරසාර සාමය මෙන්ම පරිසරය රැක ගැනීම උදෙසා බුදු දහම අනුව ක්‍රියාත්මක වීම ගැන ද සමුළුවේ දී මහ සංඝයා වහන්සේලා විසින් පෙන්වාදුන් ප්‍රධාන කාරණා අතරට
සටහන-ඡායාරූප
සඳුන් ගමගේ
පසුගිය නොවැම්බර් 5 සහ 6 යන දෙදින නව දිල්ලියට මෙන්ම නව දිල්ලියේ ඇති අශෝක් හෝටලයට සුවිශේෂී දිනයන් වූයේ ලොව පළමු වතාවට ආසියානු බොදු සමුළුව පැවැති නිසාය. දි
මොරවැව ක්‍රියාන්විත පරිසරයේ දිවි ගෙවීම වඩා පීඩාකාරී වූයේ කුමුදුට වඩා ඇගේ දියණියට ය. රට වෙනුවෙන් තම සැමියා සදාකාලිකවම ජීවිතය පූජා කොට තිබූ තත්ත්වයක් ත
ජාතික ජන බලවේගය රජයේ ක්‍රීඩා ඇමැතිවරයෙකු නිදහසින් පසුව වසර 70 කට පසුව වැඩ බාර ගෙන තිබේ. ඔහු මීට පෙර මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ අවධානයකට ලක් නොවුණු පුද්ගලයෙ
ශ්රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායමට නවසීලන්තය හමුවේ තරගාවලි ජයක් ලැබීමට සමත් විය. ශ්‍රී ලංකාවේ දී හෝ ඉන් පිටතදී නවසීලන්තය පරදා එක්දින තරගාවලි ජයක් ශ්
පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබාගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙ
රටම ඉතා උනන්දුවෙන් බලා සිටි මහ මැතිවරණය ඉකුත් සති අන්තයේ අවසන් විය. ඒ කිසිවකුත් අපේක්ෂා නොකළ, විශේෂයෙන් ජාතික ජන බලවේගයවත් අපේක්ෂා නොකළ, අතිවිශාල ජයග්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව ප්‍රථම ආසියානු බොදු සමුළුව