දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. එසේ පැමිණි ක්‍රීඩකයින් මේ වෙනවිට ටී10 තරගාවලියකටත් ක්‍රීඩා කරමින් සිටිති. මේ ආකාරයෙන් දවසින් දවස ක්‍රීඩාවේ ස්වභාවය වෙනස්වීම, ක්‍රීඩකයන්ට එතරම් සුදුසු තත්ත්වයක් දැයි විශේෂඥයන් විමසා බැලිය යුතු කරුණක්ව තිබේ.
දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගයෙන් දරුණු පරාජයක් ලැබීමෙන් පසු, කුඹුරේ ක්‍රිකට් ගැසීමේ චෝදනාව නැවතත් එල්ල වෙමින් පවතී. තමන්ගේ රටේ තමන්ට ගැලපෙන තණතිලි සාදාගැනීම, ඕනෑම රටක් කරන කාර්යයකි. එහිදී, සංචාරක කණ්ඩායම් අපහසුවට ලක්වීම නිතර දැක ගත හැකිය. හේතුව, අනෙක් ක්‍රීඩාවලදී මෙන් නොව, ක්‍රිකට් ක්‍රීඩාවේ දී තණතිල්ල සහ කාළගුණය අතිශය වැදගත් වෙන හෙයිනි. කෙසේ වුවද, සංචාරක කණ්ඩායම් දැන් දැන් එම තත්ත්වයන්ට ගැලපෙන ක්‍රීඩකයන් සමග විදෙස් සංචාර සඳහා සහභාගී වීමට පටන්ගෙන තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ, කාලයක් ක්‍රීඩා නොකළ ආකාරයේ තණතිලිවල ක්‍රීඩා කරන්නට සිදුවීමය. දකුණු අප්‍රිකාවේ දී සාර්ථක වෙන්නට නම්, පළමු ඉණිමකදී පිතිකරුවන් යම් මට්ටමක ලකුණු ප්‍රමාණයක් රැස් කළ යුතුය. ඒ සඳහා අවම වශයෙන් සුළු හෝ පුහුණුවක් අවශ්‍යය. දැන් බොහෝ සංචාරක කණ්ඩායම්වලට පුහුණු තරග ලබා නොදීමේ ප්‍රවණතාවක් තිබේ. ඒ අනුව, සතුරාගේ භූමියට කෙළින්ම අත්හැරීම සිදුවෙයි. ශ්‍රී ලංකාවට සිදුවූයේද මෙයයි. 2019 දී ඩර්බන් හි තරගය ජයග්‍රහණය කරන්නේ සිව්වැනි ඉණිමේ විප්ලවයෙනි. එය මේ තරගයේ දී කර ගැනීමට නම් සිව්වැනි ඉණිමේ ලකුණු 300 සීමාවේ ඉලක්කයක් හඹායෑම අවශ්‍යව තිබුණි. එහෙත් පළමු ඉණිමේ පන්දුවට පහර දුන් ආකාරය අනුව, එය 500 සීමාවට ගියේය. එතැනින් පසුව කතා නැත.
තරගයෙන් පසුව දිනේෂ් චන්දිමාල් කියා තිබුණේ, සිදුවූ දෙය සිතා ගැනීමට නොහැකි බවය. එවැනි දේ විය හැකිය. එහෙත් නිශ්ශංක, දිමුත්, මැතිව්ස්, කමිදු, ධනංජය මේ සෑම පිතිකරුවෙකුම ශ්‍රී ලංකාවේ දී ක්‍රීඩා කරන ආකාරයෙන් පහරවල් කරා යෑමට උත්සාහයක යෙදුනාහ. වැරැද්ද සිදුවූයේ මෙතැනයි. අප පසුගිය සතියේදීත් කියූවේ මැතිව්ස්, දිමුත් සහ චන්දිමාල් වැඩි වගකීම ගත යුතු බවයි. එය සිදුවූයේ නැත. මේ තිදෙනාම අනවශ්‍ය පහරවල් කරා ගියහ. ඒවා තණතිල්ල හුරු නැතිකමේ ප්‍රශ්නම නොවේ. මේ තිදෙනාම අත්දැකීම් ඇති පිතිකරුවන්ය. ටෙස්ට් පමණක් ක්‍රීඩා කරන පිතිකරුවන්ය. ඔවුන් කුමක් දෝ අනවශ්‍ය කලබලයක සිටියහ. දෙවැනි ඉණිමේ දී ලකුණු 280 කට එහා රැස් කළද, එය පීඩනයක් නොමැති ලකුණු රැස්කිරීමකී. පළමු ඉණිමේ ක්‍රීඩා කළ ආකාරය අනුව, පීඩනය යටතේ 180 ක් වැනි ලකුණු ප්‍රමාණයකට වඩා ශ්‍රී ලංකාව රැස් නොකරන්නට තිබුණි.
පළමු ටෙස්ට් තරගයේ පරාජයට ප්‍රධාන හේතුව වූයේ පන්දුවට පහරදීමේ දුර්වලතාවය සහ පන්දු රැකීමේ දුර්වලතාවයයි. පරාජයේ එක් එක් කොටසක් වූ පන්දු රැකීම නිවැරදි කර ගැනීම දෙවැනි ටෙස්ට් තරගයේදීත් සිදුවූයේ නැත. අනෙක් අතින්, ශ්‍රී ලංකාව තරගය ඉතා ඉක්මනින් ග්‍රහණය අත්හරින තත්ත්වයක් දැක ගත හැකි විය. මෙයින් පළමු අවස්ථාව, දකුණු අප්‍රිකානු පළමු ඉණිමේ අවසන් කොටසයි. පළමු දිනය අවසානයේ දී ඉතාමත් හොඳින් තරගයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම, දෙවැනි දිනය ආරම්භයේ දීම මහරාජ්ගේ කඩුල්ල දවාගත්හ. එහෙත් රබාඩා පිටියට පිවිසි පසු ඔහුට ආක්‍රමණය දියත් නොකොට, පන්දු රකින්නන් ඈතින් රඳවා ඔහුට ලකුණු ලබා ගැනීමට ඉඩ දුන්නේය. මෙහිදී සිදුවූ විශාලම වැරැද්ද ලකුණු 56 ක සබඳතාවයකට ඉඩ සැලසීමයි. මෙය ටෙස්ට් තරගයේ ඉතිරි කොටසේ දී ශ්‍රී ලංකාවට දැඩි බලපෑම් කළේය. එයින් පසුව අවසන් කඩුල්ලට ලකුණු 33 ක් එක් කිරීමට වරේන් සමත් විය.
ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙද්දී මෙහි අනෙක් පැත්ත සිදුවිය. ලකුණු 261 දී සිව්වැනි කඩුල්ල දැවී ගියේ, ලකුණු 67 ක් තුළ කඩුළු 7 ක් වැටෙන්නට ඉඩ දෙමිනි. මෙය සම්පූර්ණයෙන්ම දකුණු අප්‍රිකාව පහර දුන් ඉණිමේ අනෙක් පැත්තයි. මේ කඩුළු වැටීම නතර කිරීමට ශ්‍රී ලංකාවට හොඳින්ම අවස්ථාව තිබුණි. එහෙත් එය සිදුවූයේ නැත. අනෙක් අතින්, මේ කඩුළු දුන්නේ අධිවේගයෙන් පන්දු යවන පන්දු යවන්නෙකුට නොවේ. පැයට කි.මී. 120-130 අතර වේගයෙන් පන්දු යවන පීටර්සන්ටය. ඒ අනුව දෙවැනි තරගයද ශ්‍රී ලංකාව පූර්ණ වශයෙන් වැරදි ආකාරයෙන් කියවාගත් බව පෙනේ.
සමස්ථ තරගාවලිය පුරා දිමුත් කරුණාරත්න අසාර්ථකය. ඔහු ඉණිම් 4 කදී ලබාගත්තේ ලකුණු 27 ක් පමණි. මෙය කිසිසේත්ම ආරම්භක පිතිකරුවෙකුට ගැළපෙන තත්ත්වයක් නොවේ. මේ නිසාම අංක 03 පිතිකරු වූ චන්දිමාල්ට වැඩි බරක් පැටවුණු අතර ඔහු හොඳින් ඒ පීඩනය දරා ගත්තේය. ටෙස්ට් තරගවලදී කරුණාරත්නගේ අසාර්ථකම රටක් ලෙස දකුණු අප්‍රිකාව දැක්විය හැකිය. එහෙත් අවම වශයෙන් සෑම ඉණිමකම ලකුණු 20 ක්වත් ලබා දීම ජ්‍යෙෂ්ඨයෙකුගේ වගකීමයි. පසුගිය වසරේ අප්‍රේල් මාසයේ දී අයර්ලන්තයට එරෙහිව ලැබූ ශතකයෙන් පසුව තරග 12 කදී කරුණාරත්නගෙන් ශතකයක් ලැබී නැත. මෙය ජ්‍යෙෂ්ඨයෙකුට පීඩනයක් මෙන්ම කණ්ඩායමටද පීඩනයකි.
ඇන්ජලෝ මැතිව්ස් සහ කමිදු මෙන්ඩිස්ගෙන් හොඳ ඉණිම් දෙකක් දැක ගත හැකි වුවද ඒවා තරගයක් ජයගැනීමට තරම් ඒවා වූයේ නැත. මේ නිසා සමස්ථ තරගාවලියේ පරාජයට හේතුව පන්දුවට පහර දීම සහ පන්දු රැකීමේ දැක්වූ දුර්වලතාව බව තීරණය කළ හැකිව තිබේ.
තරගාවලිය පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තමන්ගේ උපරිමයෙන් පන්දු යැවූහ. එහෙත් පසුගිය සතියේ දීත් අප කියූවේ, ළහිරු කුමාර කඩුළු දවා ගත්තද ඔහු පිතිකරුවන්ට පීඩනයෙන් නිදහස් වීමට ලකුණු ලබා දීම ප්‍රශ්නයක් බවයි. මෙය ඉක්මනින්ම විසඳාගත යුත්තේ ළහිරු සහ අසිත යන දෙදෙනාගෙන්ම ලකුණු ලබා ගැනීම පහසු වී තිබීම නිසාය. ඩැන් පීටර්සන් පෙන්වා දුන්නේ, මේ තණතිලිවල අධිවේගී වීම අත්‍යාවශ්‍ය සාධකයක් නොවන බවය. එහෙයින් පන්දු යැවීමේ දී තරගයකට පන්දු යවන්නන් තෝරා ගැනීමේ ප්රශ්නය ශ්‍රී ලංකාවට ඉතිරි බව පෙනෙන්නට තිබේ.
19 පළ කණ්ඩායම ආසියානු කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීම ධනාත්මක තත්ත්වයකි. එහෙත් ඉන්දියාව හමුවේ ලැබූ දරුණු පරාජයත් සමග ශ්‍රී ලංකාවට අවසන් තරගය අහිමිවිය. තරගාවලිය ජයගත්තේ පළමු වටයේ දී ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත්වූ බංග්ලාදේශයයි. මේ නිසා තරගාවලියෙන් ඉවතට විසිවීම ගැන යම් ආකාරයක පසුතැවීමක් ශ්‍රී ලංකා තරුණ කණ්ඩායමට ඇති බව පැහැදිලිය. කෙසේ වුවද, ඔවුන් සටන් කරන කණ්ඩායමක් බව පෙනෙන්නට තිබේ.
දැන් බොහෝ දෙනාගේ අවධානය ටී10 තරගාවලිය දෙසට යොමුව ඇති බව පෙනේ. මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මුදල් උපයන හොඳ තරගාවලියක් බව පැහැදිලිය. ඒ හරහා ක්‍රීඩාවේ දියුණුවට මෙම මුදල් යෙදවිය හැකිය. එහෙත් ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ටී10 මගින් දැඩි වාසියක් අත්වෙන්නේ නැත. එය විනෝදය සඳහාම පැවැත්වෙන තරගාවලියකි.
මේ තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට නවසීලන්තයට යෑමට සිදුවෙයි. ඒ විස්සයි20 තරග 3 ක් සහ එක්දින තරග 3 කට ක්‍රීඩා කිරීම සඳහාය. එහෙයින් ටී10 තරගාවලිය දැඩි හානියක් ක්‍රීඩකයන්ට කරන්නේ නැත. එහෙත් නවසීලන්ත සංචාරයට නිවැරදි සූදානමක් අවශ්‍ය බව නම් ලියා තැබිය යුතුව තිබේ. එසේ නොවුවහොත් විස්සයි20 සහ එක්දින තරගවලදී ශ්‍රී ලංකාවේ වර්ධනය බාල වෙනු ඇත. අවසන්වරට නිකුත් වූ අයි.සී.සී.ශ්‍රේණිගත කිරීම් අතර පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් ඉදිරියට පැමිණීමට සමත් වී සිටිති. කමිඳු ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අතර 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. මෙය ශ්‍රී ලංකාව පැත්තෙන් හොඳ ආරංචියකි. එහෙත් අවශ්‍ය වෙන්නේ මෙය ආරක්ෂා කර ගැනීමයි. ඒ සඳහා දැඩි කැපවීමක් අවශ්‍යය. ප්‍රභාත් ජයසූරිය ටෙස්ට් පන්දු යවන්නන් අතර 8 වැනි ස්ථානයේ සිටියි. පැතුම් නිස්සංක සහ අසලංකා හොඳම එක්දින පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණ තිබේ. තීක්ෂණ, පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානයේ සිටියි. විස්සයි20 පිතිකරුවන් අතර 9 වැනි ස්ථානයේ පැතුම් නිස්සංක සිටින අතර වනිඳු හසරංග දෙවැනි ස්ථානයේ සිටියි. තීක්ෂණ 5 වැනි ස්ථානයේ සිටියි. විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර හසරංග සිටින්නේ 4 වැනි ස්ථානයේය.
මේ ආකාරයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියට එන්නේ පසුගිය සමයේ දැක්වූ දක්ෂතා නිසාය. එහෙත් දකුණු අප්‍රිකාවේ දී රතු පන්දුවෙන් අසාර්ථක වූ ආකාරයට නවසීලන්තයේ දී සුදු පන්දුවෙන් අසාර්ථක වුවහොත් මේ ඉහළට පැමිණීම් යළිත් පහළට යනු ඇත. වැදගත් වෙන්නේ තමන් පැමිණි ස්ථානය රැක ගැනීම සහ තවත් ඉහළට ගමන් කිරීම බව මතකතබාගත යුතුව තිබේ.
- කාංචන දසනායක
ශ්‍රී ලංකාවේ පාලනය විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණ යන කුලුනු තුන මත රඳා පවතී. සමානුපාතික ඡන්ද ක්‍රමය හඳුන්වා දීමෙන් පසුව පැවැත්වෙන දස වන මහ මැතිවරණය ම
ක්ෂයේ දේශපාලන පක්ෂ බිමට සමතලා කරමින් මෙරට මහමැතිවරණ ඉතිහාසයේ විශිෂ්ටතම ජයග්‍රහණය ලැබීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලව
පසුගිය කාලයේ ඡන්ද ප්‍රතිඵල සේම සමාජ අවධානයට ලක්වූ තවත් කාරණාවක් නම් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරවලට පත්වන්නේ කවුරුන්ද යන කාරණාවයි.
චරාස්... යන හඬ නංවමින් මිරිස් කුඩු වතුර ප්‍රහාරයක් මැතිසබය පුරා එකවරම එල්ල වූයේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ මොහොතකය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ ගිණුම් හිස්වීමෙන් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම් බහුතරයකට අඩු තරමින් එදිනෙදා කටයුතු පවත්වාගෙන යාමත් ප්රශ්නකාරීවී තිබේ.
දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගාවලිය 2-0 කින් පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම, මේ වනවිටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
සුදු පන්දුවේ සාර්ථකත්වය සොයායමු