IMG-LOGO

2025 ජනවාරි මස 04 වන සෙනසුරාදා


2025 ඔබට කොහොමද ?

මෙම ජනවාරි මස පළමුවැනි බදාදා දින උදාවන නව වසරේ මුල් සිව් මස තුළ හෙවත් අප්‍රේල් මස 15 තෙක්, ඉදිරි කාලය තුළ ග්‍රහගමනේ හැසිරීම් රටාව ඔබේ අධ්‍යාපන - ආර්ථික - රැකියා - ව්‍යාපාරයන්ට මෙන්ම විවාහ ආදී කාර්යයන්ට බලපාන අයුරු පහත සඳහන් වේ.


ජ්‍යෝතීර්වේදී | බෙන්තොට හේමන්ත

ඔබගේ ලග්නයට අනුව යෝගකාරක ග්‍රහයින්ගේ ගමන මෙම නව වසර තුළ බලයෙන් යුක්ත බැවින්, 2025 වසරේ මැයි මාසය තෙක් කාලය තුළ සිතට සතුට දනවන දේවල් රැසක් සිදුවන්නේය. එසේම මෙය අත මිට සරුවන වසරකි. කෙසේ නමුත් - ඉපැයීම් ක්ෂේත්‍රයේ අර්ථවත් දෙයකට අමතර වියදමක් දැරීමට සිදුවේ. 

එසේම රැකියා හෝ ව්‍යාපාරික කටයුතුවල දියුණුවක් පෙන්වයි. ඥාතීන් මෙන්ම හිතවතුන් අතරත් සබඳතා වර්ධනය වේ. අධ්‍යාපන - රැකියා කටයුතුවල යෙදෙන ඔබගේ දෛනික සැලසුම් ඉටුවීමෙන් හිතේ සැනසීම ඇතිවේ. එසේම ඔබට මෙම වසරේ මුල් මාස පහේ දී කලකින් නොදුටු හිතවතෙකු හදිසියේ මෙන් හමුවෙයි. පොදුවේ මෙය සිතට නිදහස තෘප්තිය අවශ්‍ය පරිදි ලැබෙන මාස කිහිපයක් ද වේ. එම කාලය තුළ තම කාර්ය කටයුතු බාධාවකින් තොරව කෙරෙනු ඇත. 

ඥාති මිත්‍රයන් සමගත්, උසස් අය සමගත්, ආශ්‍රය ඇති වේ. වැදගත් අයගේ සැලකිලි ලැබීම් විශේෂයි. (රැකී රක්ෂා තනතුරු ආදිය සඳහා කැඳවීම් ලැබෙන වසරක්) මුදල් ලාභද ලැබෙනවා ඇත. ප්‍රසිද්ධ වීමට කරුණු යෙදෙයි. දේව භක්තිය ද වැඩිවේ. 

ගුරුවරුන් බැලීමට යාමට සිතෙයි. යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ගුණවත් සාධාරණ හොඳ අදහස් ඇති වේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. වැඩකටයුතු දියුණු වේ. භවභෝගවලින් ලාභ ලැබේ. ආදායමද වැඩිවේ. ගෙදර දොර වාසනාව ඇතිවීම ද පෙන්වයි. 

එසේම මේ කාලයේදී ඔබ ද ත්‍යාගිවන්තවීම, ආදර බන්ධන ඇතිවීම, සැපපහසු ඇතිවීම, ශරීරසැප ලැබීම, සමහරවිට සුදුසු වයස නම් විවාහවීම, මංගල යෝජනා ඇතිවීම, අලංකාර වස්තු ලැබීම ආදී සුබපලත් හිමිකරයි. කෙසේ වෙතත් ඔබ මෙම වසරේ අවසන් මාස 6 දී නිෂ්ඵල දෙයට හෝ කැඩීබිඳී යන දෙයට හෝ යන්ත්‍ර සූත්‍රාදියේ ලෝභවලට වියදම් කිරීමෙන් වළකින්න. ඒවායින් ඇතැම් අලාභ පාඩු ඇතිකරයි.


වෘෂභ ලග්නයෙන් උපන් ඔබට මෙම වසර තුළ තම අනාගත දියුණුව උදෙසා සාර්ථක, ප්‍රයෝජනවත් තීන්දු තීරණයන් ගැනීමට මෙන්ම - සැලසුමක් ක්‍රියාවට නැංවීමට හැකිවනු ඇත. ලාභ බලාපොරොත්තුවෙන් වියදම් කරන දෙයකින් නිසි ඵල ලැබේ. රැකියා අපේක්ෂා ඉටුවන ව්‍යාපාරික ස්ථාන මාරුවකට කටයුතු පිළියෙළ වන, නිවසට අලුත් සාමාජිකයෙක් එක්වෙන වසරක් ද වේ. දේපළ ආරවුලක් නිරවුල් කර ගැනීමටත් හැකි වේ. 

සිතේ සමාදානය සතුට ඇති වේ. තත්ත්වය උසස් වේ. වැඩ කටයුතු දියුණු වේ. කරගෙන ආ කටයුතු මෙන්ම අමුතුවෙන් ආරම්භ කරන කටයුතු ද වැඩිදියුණුවට පත්වන වසරකි. ආදායම වැඩිවේ. 

එසේම මෙය රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට එම අදහස් ඉෂ්ට වන වසරක් ද වේ. උනන්දුවේ උත්සාහයේ තරමට ප්‍රතිඵල අත්වන සුභදායී දේවල් සැකසෙන සිතට සතුට දනවන යම් යම් දෑ සිදුවන වසරක් බවටත් මෙම 2025 වසර පත්වේ. 

ගතවූ වසරට වඩා ගතට, සිතට, සතුට, සැපත ගෙනදෙන අයුරින් ගතවෙයි. ඔබගේ ක්‍රියාශූරත්වය ඥාති හිතමිතුරන් වෙතින් හඳුනා ගනිමින් ප්‍රධානියකු හෝ ස්වාධීන බලයෙන් යුතු අයකු ලෙස මෙම වසරෙහිදී ඔබ කටයුතු කරනු ඇත. අනුන් සමග කටයුතු කිරීම වාසිසහගත වනු ඇත.

මිතුරන් අසල්වාසීන් සමග සමාජශීලී ව ආශ්වාද විඳියි. ඔබට ගරු සරු ලැබෙනු ඇත. එහෙත් අන්‍යයන් නොරවටන්න. පිළිගැන්ම හා සහයෝගය ලබාගැනීම සඳහා ඔබගේ පෙලඹීම්, කුසලතා හා කටයුතු පෙන්විය හැකිවේ. අනුන්ගේ සහයෝගය ලබාගැනීමට, උද්‍යෝගී හැඟීමෙන් සතුටු වීමට හොඳ වසරකි. 

වෙහෙසී කරන කටයුතුවල ඵල ලැබෙනු ඇත. වැඩකටයුතු ව්‍යාප්ත කිරීමට විවේක ගැනීමට හා උනන්දුව ඇතිකර ගැනීමටත් මෙය ශුභදායක වසරකි. විනෝද ක්‍රීඩාවල යෙදෙයි. සතුරන් පරදවයි. ප්‍රධානීන් සමග සබඳතා සුහද වේ. ඔබගේ කටයුතුවලට ඔවුන්ගේ උපකාර ලැබෙනු ඇත. අඩපනව පැවති ආදායම ඉපැයීම් මාර්ගද ශක්තිමත් වේ.


අලුත් අවුරුද්ද උදාවන දිනයේ ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා යෝගකාරක ග්‍රහයින්ගේ හැසිරීම පරිදි ඔබට මෙම අලුත් අවුරුද්ද වැඩිවශයෙන් ශුභඵලදායි බවක් පෙන්නුම් කරන්නේය. ජනවාරි - මැයි අතර  මාසවලදී  ඔබට තම කටයුතු නිසියාකාරව කර ගැනීමේ ඥාන ශක්තිය පහළ වෙයි. මිලමුදල් අතින් අගහිඟ වන්නේ නැත. අප්‍රසිද්ධ වශයෙන් නොව ප්‍රසිද්ධ වශයෙන් කටයුතු කර මුදල් උපයා ගැනීමට හැකි වෙයි. 

ඔබව සමාජයට ප්‍රිය වෙයි. පවුලේ වැඩිමල් සහෝදරාදීන් සමග ද පෙරට වඩා හොඳින් සම්බන්ධකම් පවත්වා ගනිමින් බලාපොරොත්තු කඩකර නොගෙන තත්ත්වය උසස් කර ගතහැක. විශේෂයෙන් මෙම වසරේ අප්‍රේල් - ඔක්තෝබර් අතර කාලපරිච්ඡේදය දේපළ ඉඩකඩම්වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත්වේ. තම බලය වැඩි වේ.

සැනසිලිදායක ප්‍රීතිමත් කාලයක් ලෙසට ගතවේ. කරන කියන සියලු කටයුතුවලින්ම දියුණුවත් ලාභත් ලැබෙනු ඇත. ගෞරව සැලකිලි ද වැඩි වේ. තමා යෙදෙන වෙළඳ ව්‍යාපාරවලින්ද පසුගිය කාලයට වඩා ලාභ ලැබෙනවා ඇත. ශරීර සැප පහසුවද ගෙදර දොර සැනසිලිදායක තත්ත්වයද ඇති වේ. ආදායම ක්‍රමයෙන් වැඩිවේ. එබැවින් මෙය පවුලේ වාසනාවන්ත ප්‍රීතිදායක වසරක් වේ. 
මෙම වසර තුළ ඔබගේ අධ්‍යාපනය, ආර්ථික හා රැකියා ව්‍යාපාරාදී කාර්යයන්හි මෙන්ම භවභෝග සම්පත්හි ප්‍රමාණවත් ප්‍රගතියක් මෙම වසර අවසන් වීමට පෙර සිදුවනු ඇත. ඉගෙනීම් කටයුතු අවහිර බාධාවකින් තොරව හා උනන්දුවෙන් උද්‌යෝගයෙන් යුතුව කරගෙන යා හැක. 

මෙම වසරේ මැයි - දෙසැම්බර් අතර ශරීර සුවතාව කෙරෙහි සැලකිලිමත් විය යුතුයි. අන්‍යොන්‍ය යහපත සඳහා අන්‍යයන් සමග පවතින ගැටලුවක් මෙම කාලයේදී ගැටීමකට පෙරැළිය හැකි බැවින් එයින් වළකින්න. සිත් තැවුල්, කැලඹීම් හා සංකා ඇති කරවමින් ප්‍රධානීන් සමග සබඳතා පලුදු විය හැක. එවැනි සබඳතා රැකගත යුතුය. 

අන්‍යයන් සමග හවුලේ කටයුතු කිරීමට සතුටුදායක කාලයක් නොවේ. ඔබට කලකිරීම්, අවනීතිය, පාඩු ඇතිවන ආරවුල් එයින් ඇතිවිය හැක. ළබැඳි අය, මිතුරන් හා නෑයන් සමග ඇති වියහැකි මතභේද වළක්වනු සඳහා මෙම කාලය තුළ ආවේගී ලෙස කටයුතු නොකරන්න. කෙසේ නමුත් ඔබගේ විරුද්ධවාදීන් ජයගැනීම සඳහා වඩාත් උපායශීලීව කටයුතු කරන්න.



ඔබට මෙම උදාවන නව වසර සුබාසුබ මිශ්‍රපල ඇතිකරයි. වරින් වර ප්‍රීතිමත් ගමන් යෙදුණත් යම් යම් අවස්ථාවල ගරු සැලකිළි ලැබුණත්  විනෝදයට සිත නොයොදන්න. ඔබ මෙම වසරේදී  තරග වාද විවාද ප්‍රිය කරයි. එනමුදු තමා කරන කියන කටයුතුවලින් සිත් සතුට ගෙන නොදෙයි. බලාපොරොත්තු අතපසු වන මනසට වද දෙන දෑ සිදු වේ. 

මුල් මාස හතර තුළ අනවශ්‍ය ගමන් බිමන් නිසා කරදර ඇති වෙයි. එසේම ඇසුරු කරන අය නිසා බලාපොරොත්තු රහිත ගැටලු මතු වෙයි. වියදම් ගෙන දෙන නමුත්, මුදල් යොදවා කරනු ලබන කටයුතුවලින් ප්‍රතිඵල අඩුවෙයි. අඹුසැමි මත ගැටුම් ඇතිවීමේ අවදානමක්ද පවතින නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.

සමස්තයක් වශයෙන් බලන කල ඔබට මෙම වසරේ අවසන් මාස හය තුළ ආර්ථික රැකියා වැනි අංශ තුළ ප්‍රගතියක් ගොඩනැගේ. පසුගිය දිනවල අතපසුවූ වැඩ එම කාලය තුළ අවසන් කරගැනීමට හැකි වේ. ඉගෙනීමේ කටයුතුවලින් ජයග්‍රහණ මෙන්ම, පවුලේ සමගිය සමාදානය ගොඩනැගෙන යමක් ද සිදුවේ. හදිසි වාසනා හිමිවන මාස හයක්ද බැවින්, ලොතරැයි වැනි දෑ මිලදී ගැනීම වඩාත් යෙහෙකි. උත්සාහයේ ඵල ලැබේ. තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියෙන් ජයග්‍රහණ අත්වේ. උනන්දු වුවහොත් විරැකියාවට කිසියම් පිළියමක්ද - ඔබට මෙම කාලයේදී ලබා ගත හැකි වන්නේය. ආර්ථික රැකියා ආදියේ තෘප්තියක් ඇති වන විදියකට කටයුතු සිදුවේ. ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කිරීමෙන් ප්‍රගතියක් අත්පත්කර ගැනීමටත් හැකිවෙයි. විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කළහොත් රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසාගත හැක. 

ඔබට එම කාලය තුළ ආලය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථීර තහවුරු කර ගැනීමට බාධාවක් ඉවත් වේ. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහිදී හැකිවන්නේය. පොදුවේ බැලීමේදී අවිවාහක ඔබට තම අනාගත සහකරු/සහකාරිය මෙම වසර තුළ ලැබෙනු ඇත.


සිංහ ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරකයින් මෙන්ම ලග්න නැකත් අධිපතින් සුබාසුබ මිශ්‍රව වසර පුරාවටම ගමන්කිරීම මත ඔබට මෙම උදාවන අලුත් අවුරුද්ද ශුභඵල මෙන්ම අශුභඵල ද මිශ්‍රව ගෙන දෙනු ඇත. මෙම වසරේ මුල්මාස පහ තුළ ඔබේ කටයුතු නිසියාකාරව කරගැනීමේ ඥාන ශක්තිය පහළ වෙයි. සතුරු කරදර පහව යයි. කාර්ය ශූරත්වය ඔබ වෙත ඇතිවන නිසා සාර්ථකත්වයට එම කාලය තුළ පත්වෙයි.

ඔබගේ පෞද්ගලික දියුණුවට අදාළ කවර කටයුත්තකට වුවද එම මාස කිහිපය යහපත්ය. නීරෝගී සුවය, පුද්ගල දියුණුව,  වගකීම් හා සේවය මෙමගින් දැක්වේ. ඉහත අංශයන්හි ප්‍රගතිය ඇති වේ. බලාපොරොත්තු පැතුම් ඉටුවීම, රැකියා කටයුතු දියුණුවීම හෝ වඩා හොඳ වැටුප් සහිත නව රැකියා ලැබීම මෙහිදී සිදුවේ. ප්‍රධානීන්ගේ සහ යටතෙහි වැඩකරන අයගේ අනුග්‍රහය නිසා, ඔබ යහපත් තත්ත්වයකට පත්වනු ඇත. සුවතාව ජීව ශක්තිය උද්‌යෝගය සඳහා විශිෂ්ට වසරකි. ආහාර ගැන විමසිලිමත් වන්න. කවර ආකාර හෝ පමණ ඉක්මවා යාමකට ඉඩ නොතබන්න. වසර පුරාවට ගුරු ග්‍රහයාගේ ගමන බලවත්ව යෙදෙන නිසා වසරේ දී ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්ය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවීමක් සිදුවෙයි. ආදායම් හොඳ වේ. වෙ​ෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දියුණුවට මග සැලසේ.

එහෙත් ශනිගේ ගමන පීඩිත බැවින් - මෙම වසර තුළ ඇතැම් අවස්ථාවලදී  ගෘහ ජීවිතයෙහි කවර ගැටලුවක් වුවද, එය බරපතළ විය හැකි බැවින් - ඉවසිලිමත්ව සන්සුන්ව විසඳාගන්න. ගෘහ ජීවිතයෙහි සබඳතා යළි සකසා එකලස් කර ගනිමින් ලොකු අවුල් වළක්වා ගැනීමට එය හේතු වනු ඇත. ආපසු ගෙවීම් අලුත්වැඩියා ආදිය නිසා නිවාසය මහත් කරදරයක් වනු ඇත. කලින් නොවිසඳුණු අතීත සිදුවීම් යළි මතුවී එනු ඇත. කෙසේ වෙතත් මෙය ඒවා විසඳාගැනීමට විශේෂයෙන් හොඳ වසරකි. ප්‍රයෝජන ලබමින් දියුණුවීම සඳහා ප්‍රමාණවත් අයුරින් අරඹන්න. සේවයෙහිදී ඔබගේ ප්‍රධානීන්ගේ අවශ්‍යතා හා අපේක්ෂා අනුව කටයුතු කිරීමෙන් ඔබට ප්‍රයෝජන ලැබෙනු ඇත.


 
කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුධ හා ලග්න නැකත් අධිපතින් ශූභාශූභ මිශ්‍ර බලයෙන් සිටින මොහොතේ උදාවන නව වසරේ අවසන් මාස හය තුළ බාධා මධ්‍යයේ නමුදු, ක්‍රමක්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කර ගතහැක. මැයි තෙක් කාලය පැහැදිළි  සුබපල රැසක් ගෙන නොදෙනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල මෙම වසර පුරාවට ඔබගේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද ශූභා ශූභමිශ්‍ර බවක් ඇති කරයි. 
 
නව වසරේ මුල් මාස හතර තුළ - ඉගෙනීම් කටයුතුවලට අවහිර බාධාවන් ඇති කරයි. පොතපතට ඇති උනන්දුව යොමුවීම අඩුවී, විනෝදයට බරවන බැවින් - එවැනි දෙයට නතු නොවී සිය අධ්‍යාපනික කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරන්න. 
 
ධන අය භාවාධිපතීන් ශුභා ශුභ මිශ්‍ර බලයෙන් යුක්ත බැවින්, ඔබට මෙම වසර තුළ අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙන දේ. ණය ගනු දෙනු බලාපොරොත්තු කල් යයි. ගමන් බිමන් වලට අමතර මුදල් වැය වේ. කල්පනාවෙන් සැලසුම් සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න.  
 
කෙසේ  නමුත් නව වසරේ  මැදභාගයෙන් පසු යම් යම් ආර්ථික ලාභ ලැබෙන මංපෙත් විවර වේ. අධ්‍යාපනය,  ආර්ථික, රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියටත් 2025 මැයිවලින් පසු කාලය සුබදායි වෙයි. තමා නිරත රැකීරක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල ඔබට මෙම වසර තුළ උනන්දුවෙන් නිරතවීමට වාතාවරණය සැකසෙන්නේ නමුදු, රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් විවිධ ප්‍රශ්නකාරී දෑ හටගනි. 
 

සතුරු කුමන්ත්‍රණ විරුද්ධවාදිකම් නිසා සිතේ සහනයෙන් තෘප්තිමත්ව මේවායේ නිරතවිමට අසීරු වන හෙයින් උපේක්‍ෂාවෙන් සිතා අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. කෙසේ නමුත් දක්‍ෂතාවට තැන ලැබෙන වසරකි. මෙම වසර තුළ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ පරිදි ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුනොවීම නිසා සිතේ සහනය සතුට පහව යයි. අවිවාහක අයට ඇතැම් හිතවතුන් හිතවතියන්  මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනාවන් ද ගෙන දේ. කෙසේ වෙතත් මෙම වසර පුරාවටම මෙන් ආදර සබඳතා හා විවාහ කටයුතුවලට යම් යම් ප්‍රශ්නකාරී ගති මතු වන නිසා - තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාට දෙන පොරොන්දු කෙරේ සැලකිලිමත් වන්න. විරුද්ධවාදීකම් හා ප්‍රශ්නකාරී දෑ වුව මේවාට බලපානු ඇත.


තුලා ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරකයින් මෙන්ම ලග්න නැකත් අධිපතින් පීඩාවකින් තොරව වසර පුරාවටම ගමන් කිරීම මත ඔබ මෙම වසරේදී සමාජයට මුහුණදීම සඳහා ඔබගේ ආත්ම විශ්වාසය අලුත් කරමින් හදිසි උනන්දුවක් හා උත්සාහයක් ඔබ තුළින් ජනිත වේ. පල ප්‍රයෝජන සැලසෙන කාර්යයකට හැඩගැසීමට ඉඩප්‍රස්ථා සැලසෙනු ඇත. මෙම වසර දිවියෙහි නව ආරම්භයක් පෙන්නුම් කරන බැවින් ඉහත උපදෙස් අනුව වැඩ කරන්න. 

ඔබට අනුකූල වනු ඇති නෑ හිත මිතුරු හා විරුද්ධ ලිංගිකයන් සමග සමීප ඇසුර ඇතිවේ. එම සබඳතා බලවත් විය හැක. පලුදු වූ සබඳතා ඇති අය සමග මුදුමොළොක් ලෙස කතා කිරීමෙන් ඒවා යළි සැකසෙනු ඇත. කණ්ඩායම් කටයුතු, ජනතාව ඉදිරියෙහි පෙනී සිටීම හා කටයුතු කිරීම සඳහාද ඔවුන්ගේ සහයෝගය ලබාගැනීම සඳහාද හොඳ වසරකි. අන්‍යයන් සමග සබඳතා සුහද වනු ඇත. 

ඔබ ගැඹුරු අවබෝධයෙන් අනුන්ට උපකාරි වේ. විරුද්ධ ලිංගිකයන් සමග සුහද ප්‍රයෝජනවත් හා ආශ්වාදනීය සබඳතා ගොඩනැගෙනු ඇත. ඔවුන්ද සමාන ප්‍රතිචාර දක්වනු ඇත. මිතුරන්, විරුද්ධ ලිංගිකයන් හා පොදු කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ඇති වේ. ඇඳුම් පැලඳුම් හා වස්ත්‍ර ලැබේ. ශරීර සනීපය ඉතා හොඳ වේ. දේව භක්තියද වැඩිවේ. ගුරුවරුන් බැලීමට යාමට සිතෙයි. යහපත් කටයුතුවලින් ලාභ ප්‍රයෝජන ලැබේ. ඔබ තුළ ගුණවත් සාධාරණ හොඳ අදහස් ඇතිවේ. කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. වැඩකටයුතු දියුණු වේ. තමා නියැළෙන කෘෂි කටයුතුවලින් ගොවිතැනින් ලාභ ලැබේ. ආදායම ද වැඩිවේ. ගෙදර දොර වාසනාව ඇතිවීමට ද නියමයි. 

කෙසේ නමුත් මෙම වසරේ මුල් මාස හතර එතරම් සුබදායි බවක් පෙන්නුම් නොකරන හෙයින්, ඔබගේ අදහස් රැගෙන එහෙ මෙහෙ කලබලයෙන් දුව පැන යාමට හෝ ඒවා ගැන අන්‍යයන් සමග වාද විවාදයට හෝ නොයන්න. එයින් ඔබේ සිත පීඩාවට හා කලබලයට පත්ව අන්‍යයන් සමග සබඳතා දූරස්ථ විය හැකි බැවිනි. ඔබේ කටයුතු කෙරෙහි පරීක්ෂාකාරී වන්න. කොන්ත්‍රාත් සහ ගිවිසුම් සඳහා සතුටුදායක නොවේ.


අලුත් අවුරුද්ද උදාවන මොහොතට ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා යෝගකාරක ග්‍රහයින්ගේ හැසිරීම මිශ්‍රබලයෙන් යුක්ත හෙයින් ඔබට මෙම අලුත් අවුරුද්ද සුබා සුබ මිශ්‍ර ප්‍රතිඵලදායි බවක් පෙන්නුම් කරන්නේය. මෙම මස මුල් මාස පහට වඩා අවසන් මාස හත තුළ අදහස් හුවමාරු, කතා බහ ලිපි හෝ දුරකථන ඇමතුම් ඔස්සේ අන්‍යයන් දක්වන ප්‍රතික්‍රියා නිසා ඔබ කලබලයට අවුලට පත්විය හැක. 

ඔබ මෙම තත්ත්වයෙහිදී නම්‍යශීලීව සිටීමෙන් මෙමගින් ඇතිකරන සිත් තැවුල් හා කලබගෑනි ජයගත හැකි වනු ඇත. ව්‍යාපාර සඳහා ඇතිකර ගන්නා සම්මුති ගිවිසුම් හා එකඟතා ඉටු නොවනු හැකි බැවින්, ඒවාට එළඹිය යුත්තේ සුපරීක්ෂාකාරීවය. වැරදි අවබෝධය සහ සැකසහිත ස්වභාව මගහරවනු පිණිස හුදකලාවීමට උත්සාහ කරන්න. කීමට ඇති දෙය කරුණට අදාළව පවසන්න. කථාව අදහස් හුවමාරුව හා හැඟීම් එකට මිශ්‍රවී පටලැවී යාහැකි බැවින් ඒගැන විශේෂයෙන් පරීක්ෂාකාරී වන්න. විරුද්ධ ලිංගිකයන් - විශේෂයෙන් ස්ත්‍රීන් සමග කතාබහේදී ඔබ මෙම වසර තුළ වඩාත් පරීක්ෂාකාරී විය යුතුව ඇත. 

වසරේ ආරම්භක මාස හතරේදී ගෙදර දොර කටයුතු පිළිබඳව ප්‍රීතියට කරුණු සැලසේ. විශේෂයෙන් ගෙවල් පිළිබඳ ලාභ හෝ ගෙදර දොර බඩු මුට්ටු ආදිය පිළිබඳ ලාභයක් හෝ ලැබෙනවා ඇත. අලංකාර වස්තු ලැබෙන කාලයකි. හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් උදව් උපකාර ලාභ ප්‍රයෝජන ලැබෙන අවස්ථා යෙදේ. මුදල් ලාභ ලැබේ. හිතවතුන් හිතවතියන්ගේ ආශ්‍රය ඇතිවේ. ආදර බන්ධන වැඩිදියුණු වේ. පුරුෂයන්ට ස්ත්‍රීන් සමගද, ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද, හොඳ හිතවත්කම් පවත්වන්ට ඉඩ ලැබේ. සමාජයෙහි ප්‍රසිද්ධියක් සමාජයට ප්‍රියවීමත් මේ කාලයෙහි ඇතිවෙන විශේෂ ලක්ෂණයකි. සිත මෙහෙයවා කරන කටයුතු හා සැලසුම්  වාසි සහගත වේ. සිත නිරවුල්ව පැහැදිලි නිසා අදහස් හුවමාරුව හා කතා බහ තුළින් ද ප්‍රයෝජන ගතහැක. ව්‍යාපාර සඳහා සම්මුති හෝ ගිවිසුම්වලට ඔබට එළඹිය හැක.


ධනු ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා ලග්න නැකත් අධිපතින් ශූභා ශූභ මිශ්‍ර බලයෙන් සිටින මොහොතේ උදාවන නව වසරේ අවසන් මාස හය තුළ බාධා මධ්‍යයේ නමුදු, ක්‍රමක්‍රමයෙන් අරමුණු සැලසුම් සාර්ථක කරගත හැක. මැයි තෙක් කාලය පැහැදිලි සුබපල රැසක් ගෙනනොදෙනු ඇත. සමස්තයක් වශයෙන් ගත් කල මෙම වසර පුරාවට ඔබගේ අත්‍යාවශ්‍ය කාර්යය කටයුතු කෙරෙන් ද ශුභා ශුභ මිශ්‍ර බවක් ඇති කරයි. 

පොදුවේ ඔබට මෙම වසරේ මුල් මාස හතර එතරම් යහපත් නොවේ. ඉතා ඉවසිලිවන්තව බුද්ධිමත්ව තීන්දු තීරණවලට එළැඹිය යුතු මාස කිහිපයකි. ඔබ මෙහිදී තමන්ට කරන්නට තිබෙන මූලික අවශ්‍යතා අමතක කරමින් කිසිදු වැදගත්කමකට නැති කරුණුවලට මුදල් වියදම් කරමින්, ඒ පිළිබඳ සිතමින් සිත්තැවුලෙන් පසුවීමටත් ඉඩ යෙදෙන නිසා එවැනි දේට නතු නොවන්න. මෙහිදී ඔබට තමන්ගේ කටයුතු අතපසු කරමින් අන් අයගේ කටයුතු පිළිබඳව වෙහෙසී, අවසානයේ අවනම්බු, අපහාස හෝ අමනාපවලින් මෙන්ම පාඩුකර ගැනීම්වලින් ඒවා කෙළවර වනු ඇත. ප්‍රේමය ආදරය සම්බන්ධ බලාපොරොත්තු ආදියේ අනපේක්ෂිත ලෙස අවුල් මතුවේ. අදහස් කළ ඕනෑම කටයුත්තක් ක්‍රියාත්මක කිරීමට පෙර වරක් දෙවරක් නොව කීප වරක් සිතාබලා කළ යුතු වේ. එසේම හැඟීම්වලට වහල් නොවී කටයුතු කළ යුතුද වේ.

සෙසු මාස 8 තුළ ඔබගේ යටි සිතේ බලපැවැත්වූ වැදගත් ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට පහසුකම් සැලසෙනු ඇත. ගේ දොර හා තම ව්‍යාපාරික ස්ථානවල අලංකාරයට පියවර ගනී. ස්වයං ව්‍යාපාරවල නිරත අයට නොසිතූ වාසි ඇති වේ. එසේම පසුගිය දිනවල සිතට වදයක්ව පැවැති ප්‍රශ්නයක් ද විසඳෙයි. එසේම මෙම කාලය තුළ තරගකාරී කටයුතුවලින් ජය අත් වේ. අලුත් වැඩපිළිවෙළකට අත ගසයි. බිරිඳ, ස්වාමියා හා සමගිය නැවත ගොඩ නැගේ.

නව රැකියා අපේක්ෂාවක් ද සඵල වන තැනට කටයුතු පිළිවෙළ වේ. බලාපොරොත්තු වන ක්‍රියාමාර්ග අන්‍යයන් සමග සැලැසුම් කිරීමට එම කාලය සුදුසුය. අනුරාගයද, බුද්ධියද එකට සංයුක්ත වීමෙන් සෞන්දර්ය චිත්‍රය සංගීතය හෝ කවිය පිළිබඳ උනන්දුවක් ප්‍රබෝධයක් ඔබ තුළ ඇති කරයි. බුද්ධිමතුන් සමග කතාබහ කිරීම හා ඒ අය වෙතින් ඉගෙනීම ප්‍රයෝජනවත් වනු ඇත. ඔවුන් ඔබගේ අදහස් හුවමාරුව වඩාත් හොඳින් තේරුම් ගනු ඇත. එහෙත් මෙම වසරේ ජනවාරි - අප්‍රේල් අතර කාලයේදී අනපේක්ෂිත මුදල් ලාභයක් හිමිවන සැටියක් පෙන්නුම් කරයි.


මකර ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලය ද ලබන්නාවූ නව වසරේ මුල් මාස හතර තුළ බලයෙන් යුක්තව පවතින හෙයින්, උදාවන නව වසර ඔබේ වැඩ කටයුතුවලට යම් යම් අයගේ සහයෝගය, උදව් උපකාර ලැබෙයි. එබැවින් 2025 මුල් මාස 4 තුළ විදෙස්ගතවීමේ බලාපොරොත්තු සාර්ථක වන අතර, ඊට බලපෑ බාධක අවහිර පහව යයි. අනාගත යහපත උදෙසා කාර්යයන් කිහිපයක් ගොඩනැගෙන්නේ ය.

විශේෂයෙන් ඔබ අරඹන හා නිරතවන වැඩ කටයුතුවලින් දියුණුවක් පෙන්නුම් කරයි. වටිනා දේ මිලට ගැනීමට අවස්ථාව උදාවේ. රැකියාවෙන් උසස්වීමට කටයුතු පිළිවෙළ වේ. තරග විභාගවලින් ජයග්‍රහණ ද අත් වේ. දුර බැහැර ගමන් බිමන්වලින්ද යම් යම් ලාභ ප්‍රයෝජනත් අත්වන මාස කිහිපයකි.

ඔබට මෙම වසරේ සෙසු මාස 8 දී විවිධ අවහිර බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ තම කාර්යය කටයුතු කර ගැනීමට සිදුවන පසුබිමක් යෙදේ. සතුරු කරදරයක් නිසා මිල මුදල් වියදම් කිරීමට හෝ ණයකරුවන් ඇත්නම් ඔවුන්ගෙන් කරදර ගෙනදීම වැනි ප්‍රශ්න මතුවීමේ ප්‍රවණතාවක් පවතී. රාජකාරිය කෙරෙහි මෙන්ම රැකී රක්ෂා ආයතනය තුළ වුව සිතේ කැලඹිලි ස්වභාවයක් ඇති කරයි. ව්‍යාපාරයට අදාළ වැඩ කටයුතුවල ප්‍රමාදතාවක් මතු කරයි. එමෙන්ම ලාභ ප්‍රයෝජන අඩුවීමක්ද පෙන්නුම් කරයි. ඉගෙනීම් කටයුතුවලට පෙර දිනවල පැවැති ස්වභාවයට වඩා උනන්දුව උද්‌යෝගය බෙහෙවින් අඩුවී යයි. පහසුවෙන් විරුද්ධ ලිංගික සබඳතා ගොඩනැගුණත්, හැඟීම්වලට මුල්තැන දී ඊට වහල් වී ක්‍රියා නොකරන්න. විටෙක මෙවැනි දෑ හේතු කොටගෙන තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාගේ විවේචනයට වුව ලක්විය හැක. 

තද ලෙස සිත් නරක්වීමට කරුණක් යෙදෙයි. ගින්නෙන් පාඩුවක් විඳීමට ද ඉඩ තිබේ. නොයෙක් දෙයට නිෂ්ඵල ලෙස වියදම් කිරීමට සිදුවේ. අවුල් වියවුල්වලට මුහුණපාන්නටවීම ද නියමයි. එය සිදුවන්නේ රහස් සතුරන් ඇතිවීම නිසාය. ඇස්වල ආබාධ, පිත්කෝප රෝග, ලේ රෝග, හදිසි වැටීම්වලින් කකුල්වල තුවාල කැපුම් කෙටුම් තුවාල යන මේවායින් ඉතා ප්‍රවේසම් විය යුතුයි. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා ද තමාගේ වැඩවලට විරුද්ධවන්ට පුළුවන. නොයෙක් ක්‍රමයෙන් කරදර හිරිහැර පැටලිලි මතුවන නිසා හානි අවමවන අයුරින් කටයුතු කරන්න.


සමස්තයක් වශයෙන් බලන කල ඔබගේ ග්‍රහ ගමන බලවත්ව පවතින මොහොතේ උදාවන නව වසර සැලසුම් සාර්ථක කර ගනිමින් ප්‍රයෝජනවත් දෑ ඇරඹීමටත් හැකි වන්නේය. 2025 වසරේ අවසන් මාස හය තුළ වැදගත් කටයුතූ කිහිපයක් සාර්ථක කරගැනීමට පිළිවන. පොදුවේ ඔබට එම කාලය පැහැදිලි ශුභඵල රැසක් ගොඩනැඟේ. 

උපක්‍රමශීලීව කටයුතු කිරීමේ හැකියාව ඇති බැවින්, කෙසේ හෝ තම අරමුණු ඉටුකර ගැනීමට හැකි වන්නේය. ලාභ බලාගෙන වියදම් කරන ඔබට එම කාලය ශුභදායක වේ. විශේෂයෙන් විනෝද ක්‍රීඩාවන්ට හා ප්‍රීති උත්සව ආදියටත් සහභාගි වන්නටත් ඉඩප්‍රස්ථා ලැබෙන සයමසක් වන අතර, සමාජයෙහි තමාට හොඳ තැනක් හොඳ සැලකිල්ලක් ලැබෙනවා ඇත. මිත්‍රයන්ගෙන් මිතුරියන්ගෙන් ස්ත්‍රීන්ගෙන් උපකාර ලාභප්‍රයෝජන තෑගි භෝගාදිය ද ලැබෙනු ඇත. හිතවතුන් සමග විනෝද ගමන් යාමට ද අවස්ථා සැලසේ. සිතට ප්‍රීතිය සැනසීම ලැබෙනවා ඇත. එසේම මෙය කරන කියන රැකී රක්ෂාවලින් ද වෙ​ෙළඳ ව්‍යාපාරවලින් ද ලාභ ලැබෙන වසරක් ද වේ. වැඩ කටයුතු සිද්ධ වේ. නැවතී තිබුණ කටයුතු නැවත පටන් ගැනේ. නොයෙක් කටයුතුවලින් ලාභ ලැබේ. යහපත් උසස් දරු ශිෂ්‍යයන් ලැබේ. උසස් නිලතලවලට රැකී රක්ෂාවලට පත්වේ. ශරීර සෞඛ්‍ය යහපත් වේ. 

ශරීරය පුෂ්ටිමත් වේ. ධන ලාභ ලැබේ. ආදායම් හොඳ වේ. වෙෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දියුණුවට මඟ සැලසේ. බලාපොරොත්තු වූ දේ ලැබේ. සතුරන් පරාජය වේ. සතුරන්ට වඩා තම තත්ත්වය උසස් වේ. තනතුරුවලින් උසස් වේ. තමා නිරත රාජකාරිය පහසුකරගැනීම සඳහා යහපත් වැඩකරුවන්ද, හිතවත් ආධාරකරුවන්ද ලැබේ. 

එමගින් අනාගත දියුණුවට හේතු වන වැඩපිළිවෙළක් සැකසේ. ගෙදර වාසනාවන්ත ප්‍රීති උත්සව පවත්වන්ට ලැබේ. අලුත් ස්ථානවලට යාමට ලැබේ. සිතේ සතුටට හේතුවන දේ ලැබේ. එසේම වසර පුරාවටම වැඩිහිටියන්ගෙන් හා උසස් අයගෙන් උපකාර ලැබේ.


ඔබට මෙම උදාවන නව වසර ශුභඵල මෙන්ම අශුභඵල ද මිශ්‍රව ගෙනදෙනු ඇත . ගුරු-ශනි ග්‍රහයින්ගේ ගෝචර ගමන සුබාසුබ මිශ්‍රව ගතවන නිසා, ඔබට උදාවන 2025 වසර සිතට සතුට දනවන දේත් සමගම සිතට අසතුට දනවන දේත් එලෙසම ගොඩනැගෙයි. පොදුවේ මෙම නව වසරේ දී ඔබ ඔබ සමග මෙන්ම ලෝකය සමග කරන කටයුතුවලදී ද හැකිතාක් අවංකවන්න. 

ඔබේ වැරදි මෙන්ම යහගුණ ද පිළිගනිමින් ඒ අනුව සකස්වීමට සූදානම් වන්න. ඔබට එරෙහි අය ගැන කුතුහලයෙන් පරීක්ෂාකාරී විය යුතුය. ඔවුන් සිදුකරන පාඩු හා ඇති කරන සිත් කලබල ඔබ නොදන්නා බැවිනි. එසේම මෙම වසරේ මුල් මාස 8  කරදර කනස්සලු ඇති වේ. සෞඛ්‍යය පීඩා වී උසස් අයගෙන් රජයෙන් අප්‍රසාදය හිමි වේ. ඇස්රෝග, උදරාබාධ වැලඳේ. 

ණය ගනුදෙනුවලදීත් සිත් තැවුල් හා භය ඇති වේ. වියදම් අධික වේ. ආරවුල් සහිතය. පවුලේ අයගේ අසනීපාදියට වෙහෙසෙන්ට ද සිදුවේ. නඩු හබවලින් බේරෙන්ට වැඩකිරීම සඳහා නීතියේ ලියකියවිලිවලට බලපත්‍රවලට අත්සන් තබන්ට සිතුවේ. සතුරන්ගෙන් ප්‍රවේසම් විය යුතුයි. ධනහානි ද ඇතිවේ. දුක් විපත් ඇතිකළ හැකියි. ස්ත්‍රීන් නිසා සිත් අසතුටක් ඇතිවේ. බලාපොරොත්තු රහිත වියදම් දරන්ට සිදුවේ. අසනීපයක් වැලඳුණහොත් ඉතා අමාරු වේ. 

තම ආදායම අඩුවන බැවින්, ණයතුරස් ද වැඩිවිය හැකියි. සිතේ තීන්දුවකට බැසීමට නොහැකි කරුණු ඇතිවේ. තිබුණ ගෞරවය නැති වේ. වියදම් අධික කරයි. සමහරවිට ස්ථානවල හෝ කරගෙන ආ කටයුතුවල වෙනසක්ද ඇතිකළ හැකියි. නොතේරුම්කමින් හෝ තමා නොදැනම හෝ වැරදි සිදුවේ. ධන හානියක් ඇතිවන වසරකි. නෑයන්ගෙන් දුක් කරදර මතු වේ. කරගෙන ආ කටයුතු බිඳ වැටේ. රැකීරක්ෂා හානිවිය හැකියි. බලාපොරොත්තු අදහස් සුන්වේ. දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටේ. ඔවුන් නිසා අලාභ හානිද සිදුවේ. 

වරෙක ගෙදර වාසය අප්‍රිය වේ. පැමිණිවිට නැවත පිටවී යාමට ද සිතේ. තිබුණ කඩිසර ගතිය ප්‍රාණවත් ගතිය නැති වේ. ගමන් බිමන්වලින් කරදර හා අනතුරුද ඇති කරයි. ඥාතීන් සමග අවුල් වියවුල් මතු වේ. වැඩක් නැතිව නිකරුණේ කාලය ගෙවී යයි. සමහරවිට රක්ෂාවෙන් අස්වීමට හෝ විශ්‍රාම ගැනීමටද සිදුවන දේත් ඇතිකරයි. ගොවිතැන්වලින් ආදායම් අඩු වේ. දේපළ පිළිබඳ පැටලිලි මතු වේ. සමහරවිට නඩුහබ පවා පැටලෙන්නට ඉඩ තිබේ. 

ශරීරාබාධයක්ද මතුවිය හැකියි. රැවටීමකට අසුවේ. හොඳින් ආශ්‍රය කළ තමාගෙන් උදව් උපකාරගත් කෙනෙක්ම තමාව මුලාවකට දමනවා ඇත. සිටි තැනින් බටහිරට හෝ නැගෙනහිරට යාමට සිදුවේ. ගෙදර පදිංචිව පිළිබඳ කරදර ඇති වේ. එනිසා ඔබ ඔබෙන් වැරදි නොවෙන්නට වගබලා ගන්න. නිරත රාජකාරිය සේම වගකීම් බැඳීම් නිසිලෙස තේරුම් ගෙන වගකීම් සහගතවම කටයුතු - ක්‍රියාවන්හි නිරතවන්න. එනිසා ඔබ මෙම වසර පුරාවටම මෙන් හික්මීමෙන්, සකසුරුවමෙන්, අනුන්ගේ දේට ඇඟිලි නොගසා - තමාට අයත් දේ නිවැරදිව ක්‍රමවත්ව කරන්න උත්සාහ ගන්න.



අදහස් (0)

2025 ඔබට කොහොමද ?

ඔබේ අදහස් එවන්න

Recommended News

ඈත රන් විමනකට පියා සැලූ ලිහිණියා - ප්‍රියා සූරියසේන
2025 ජනවාරි මස 02 24 0

හැත්තෑව දශකයේ ආරම්භයේ සිට මේ දක්වාම එක සේ ජනප්‍රිය ගීත රැසක හිමි කරුවා වූ ප්‍රියා සූරියසේන ගැන සිය මතකය අවදි කළේ ප්‍රවීණ ගීත රචක ධර්මරත්න පෙරේරාය.


මගේ ඉලක්කයට යන්නයි උත්සාහ කරන්නේ - රවීන් තාරුක
2025 ජනවාරි මස 02 21 0

අහම්බයෙන් තම කටහඩෙහි මිහිර සොයා ගත් ඔහු ලොවක් දැනහැදින ගන්නේ රියැලිටි තරුවක් ලෙසිනි. සුන්දර සිනහවත් තරුණියන් මන බන්දන කඩවසම් පෙනුමකුත් හිමි ඔහු දැන්


දහිරියයි - කැපවීමයි තමයි මගේ දියුණුවේ අංක එක - චරිත් නිපුණ
2025 ජනවාරි මස 02 40 0

කොවිඩ් වසංගතය නිසා රට – ලෝකය ලොක් ඩවුන් විණි. ඒ සමගම හෙට දවස පිළිබඳව ඇතිවූයේ අනපේක්ෂිත බවකි. ඒ අනපේක්ෂිත පරිසරය හමුවේ බොහෝ දෙනා ජීවිතයේ බලාපොරොත්තු ඇති


කැපකිරීම් වැඩි තරමට ස්ථාවරත්වය ළඟා වෙනවා
2025 ජනවාරි මස 02 26 0

ක්‍රිකට් ක්‍රීඩකයකු හැටියට තමාට පෙර, රට පෙරට තබා ක්‍රීඩා කරන ක්‍රීඩකයකු ලෙස දසුන් ශානක බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ ආදරය දිනාගත් ක්‍රිකට් තරුවකි.


2025 ට ජීවිතේ සතුටින් යන්න
2025 ජනවාරි මස 02 18 0

වසරක් අවසන් වී තවත් දෙදිනකින් සනිටුහන් වන්නේ තවත් වසරකි. නැවුම් ආරම්භයකි. අපේක්ෂාවන් සහ බලාපොරොත්තු අලුත්ය.


සුබවාදීව සිතීමයි වැදගත්ම - හිරුෂි ජයසේන
2025 ජනවාරි මස 02 32 0

වෛද්‍ය අංශයේ අධ්‍යාපනයෙන් පටන්ගෙන, පසුව වාණිජ අංශයේ අධ්‍යාපනය ලබා, උපාධිය ලබාගත් ඇය, ඉනික්බිතිව කලා අංශයේ විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය සහ හැදෑරීම් කර


මේවාටත් කැමතිවනු ඇති

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 414 1
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 210 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 200 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

Our Group Site