IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර

සාමීචිය - 11

 

 

 

අද මෙරට සිටින ජ්‍යෙෂ්ඨත ම ජීවමාන සාහිත්‍යසූරීහු වන්නේ ගුණදාස අමරසේකරයෝය.ඔවුහු සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන්  පිරිපැසුණු අපේ ජාතියට පාදුර්භූත වූ මහා කවියෙක් ද වෙති. රටක අප්‍රමාණ මහා පුරුෂයන් සිටිනුයේ   අතළොස්සක් තරම් වූ ප්‍රමාණයකි. යටලමත්තේ දෙණි බඩ වැටි ඔස්සේ ජීවන සුවඳ විඳිමින් පසු කාලීනව ලාංකේය සාහිත්‍ය කෙත එම සුවඳින් අස්වැද්දු  වූ අපේ සාහිත්‍ය ලෝකයට විසල් වනස්පතියක් වූ ගුණදාස අමරසේකර නමැති බුහුටි සාහිත්‍යධරයා ද එබඳු මහා පුරුෂයෙකි.අමරසේකරගේ අභිනව සාහිත්‍ය ව්‍යායාමය වූයේ ගමනක මුල සිට ගමනක අවසානය දක්වා වූ මහා ප්‍රබන්ධ මාලාව  රචනා කිරීමය.යළි

උපන්නෙමි,කරුමක්කාරයෝ,ගන්ධබ්බ ආපදානය,දෙපා නොලද්දෝ වැනි විශිෂ්ට නවකතා ද රතු රෝසමල,ජීවන සුවඳ, එක්ටැමෙන් පොළොවට,කතා පහක්,ගල් පිළිමය සහ බොල් පිළිමය වැනි උසස් කෙටිකතා ද භාව ගීත,උයනක හිඳ ලියූ කවි,අමල්බිසෝ,ගුරුළුවත,ආවර්ජනා ආදී කාව්‍ය සංග්‍රහ ද අමරසේකරයන්ගේ නිර්මාණශීලි සාහිත්‍ය ව්‍යායාමයට දෙස් දෙයි.නූතන සාහිත්‍ය හා ඔහුගේ නිර්මාණවල රුවගුණ විර්ශනය කරමින් ප්‍රාමාණික සාහිත්‍ය කලාවක අවශ්‍යතාව අරබයා අමරසේකර සමග කළ සංවාදයකි මෙි.


මම

ඔබ නූතන නවකතාව සහ  කෙටිකතාව කෙරෙන් යුගකාරක මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ සාහිත්‍යධරයෙක්. එහෙත් ඔබගේ වත්මන් සාහිත්‍ය නිමැවුම් අතිශය දේශපාලනීකරණයකට නතුවීම නිසා කිසියම් වාර්තාකාරී මෙන්ම ප්‍රචාරකවාදී ස්වරූපයක්  උසුලනවා. ප්‍රතිභාපූර්ණ ලේඛකයකු  හැටියට ඔබගේ ආස්ථානය පිළිබඳව ඔබට ගැටලුවක් මතුවී නැද්ද?


අමරසේකර 

නවකතාකරුවා කියන්නේ සමාජය විග්‍රහ කිරීමට අවශ්‍ය ප්‍රඥාව තිබිය යුතු දාර්ශනිකයෙක්. නවකතාවකින් සමාජ විග්‍රහයක් කරන්න හැකි වන්නේ දේශපාලනය, සංස්කෘතිය, ආර්ථිකය පිළිබඳ දැක්මක් ඇති දාර්ශනයක් ඇති නිර්මාණකරුවකුට විතරයි.මතුපිට පෙනෙන දේවල් අල්ලගෙන ඒවායින් මනෝ ලෝක මවාගෙන නවකතා ලියන්න බැහැ. අද සමහරු පශ්චාත් නූතනවාදය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන නම්වලින් බොරු ලේබල් ගහගෙන බොරුවළක වැටිලා ඉන්නවා. උසස් සාහිත්‍යයක් බිහි වන්නේ යම් සමාජයක් තුළ දේශපාලන සංවාදයක් තිබුණොත්  පමණයි. සමාජ දේශපාලනයෙන් වියුක්ත වූ සාහිත්‍යයක් අපට බිහි කරන්න බැහැ.මිනිසා දේශපාලන සත්වයෙක් කියලා ඇරිස්ටෝටල් පවා කිව්වා.ප්‍රබල දේශපාලන පසුබිමක් සහිත සමාජයක සාහිත්‍යකරුවන් එයින් ආභාසය ලබමින් උසස් සාහිත්‍ය කෘති බිහිකරනවා. නමුත් මෙි තත්වය අපේ රටෙි දක්නට නැහැ.

සාහිත්‍යකරුවා සාහිත්‍ය කෘති නිර්මාණයේදී කළ යුත්තේ මිනිසා සමාජ දේශපාලන සත්වයෙක් විදියට නිර්මාණය කිරීමයි. සාහිත්‍යයෙන් යම් කිසි සමාජයකට ප්‍රගතියක් අත් වන්නේ එවිටයි. එහෙත් මේ දේ අද අපේ රටේවත් බටහිරවත් සිදු නොවීම කනගාටුවට කරුණක්.අද බටහිර රටවල ලියැවෙන සාහිත්‍ය කෘතිවලින් වුණත් ඒ සමාජයට කිසිම වැඩක් වෙන්නේ නැහැ. අද බටහිර රටවල තිබෙන්නේ ඒ සමාජයෙන් වියෝ වූ පුද්ගලයන් තමාගේ ප්‍රතිබිම්බය දිහා බලලා ලියන සාහිත්‍යයක්. සාහිත්‍යයට මුළු මිනිසාම විෂය විය යුතුයි. මගේ වත්මන් සාහිත්‍ය කෘති ප්‍රචාරකවාදී දේශපාලන රාමුවකට සිරවී ඇති බව පවසන බොහෝ දෙනෙක් ජාතික චින්තනය නම් වූ මාහැඟී දෘෂ්ටිවාදය ජීර්ණය කර ගැනීමට නොහැකිව ළතැවෙන පිරිසක් හැටියටයි මට නම් පෙනෙන්නේ. අමරසේකර දේශපාලන දෘෂ්ටිවාදියෙක් ය යන පුහු තර්කය ඔවුන් ගොඩනගන්නේ ඒ නිසයි. මේවා විචාර විදූෂකයන් නඟන ඊනියා අඳෝනා.

 


යළි උපන්නෙමි " කියන්නේ සමාජ සත්තාව ග්‍රහණය නොකර මතුපිටින් බලලා ලියපු එක්තරා අනුකාරකවාදී නවකතාවක්. වික්ටෝරියානු කුහකත්වය කොදෙව් මානසිකත්වය වැනි දේවල් විවේචනය කරමින් මම "යළි උපන්නෙමි" සාධාරණීකරණය කිරීමට උත්සාහ කළා.




මම

ලාංකේය සමාජයේ බුද්ධිමය අවශ්‍යතා සපුරාලීමට ජාතිකවාදී චින්තන ධාරාව අපොහොසත් වී ඇති බව  පෙනෙනවා. බුද්ධි ප්‍රවාහයක් හැටියට වුවද ජාතිකවාදය ගමන් කරන්නේ අති සරල ඥාන මීමංසාමය පොළෝ තලයකයි.එහෙත් බුද්ධි නිර්මිතයේ මේ හිදැස පිරවීමට ඔබ නවකතා සහ කෙටිකතා  ඇතුළු සාහිත්‍යාංග කෙරෙන් ගනු ලබන ප්‍රයත්නය අසාර්ථක වී ඇති බවයි  පෙනෙන්නේ. අප එදා දුටු බහුටි නිර්මාණකරුවා යටපත් වී දේශපාලන මතවාදියා ඉස්මතු වීම මේ සන්තෑසියට හේතු වූ බවයි මට නම් පෙනෙන්නේ?


අමරසේකර 

මේ රටේ තවමත් ජාතික චින්තන ධාරාව  මහජන සම්භාෂණයට ලක්වී  නැහැ. එහෙත් මහාචාර්ය නලින්ද සිල්වා වැනි බුද්ධිමතුන් විසින් ගොඩනඟන ලද ප්‍රවාද අපේ දේශපාලන ක්ෂේත්‍රයට පවා කාන්දු වී තිබෙනවා.බටහිරකරණයත් සමග බිහිවුණු  අනුකාරකවාදී චින්තනය මුදුනින් පිළිගන්නා පිරිසක් තවමත් අප අතර ඉන්නවා. මේක උත්තරාරෝපිත සමාජයක්. බටහිර සමාජය අනුකරණය කිරීමේ හිණිපෙත්තටම සමහරු ගිහින්  තිබෙනවා. මේ අනුව පශ්චාත් යටත් විජිතවාදය තවම අපේ ඔළු ගෙවිවල හොල්මන් කරන බව පෙනෙනවා.අපේ ජනතාව මාක්ස්වාදය, ලිබරල් වාදය වැනි මතවාද දේව භාෂිත ලෙස පිළිගන්නවා. එහෙත් තමන්ගේ ජාතිකත්වය පිළිබිඹු කරන ජාතිකවාදී චින්තන ධාරාව වැළඳ ගන්නට මැලි වෙනවා. මගේ සාහිත්‍ය නිර්මාණවලට දේශපාලන මතවාද බලෙන් ආරෝපණය කිරීමට මා කවදාවත් උත්සාහ කොට නැහැ. එය නිර්මාණකරණයේ අභ්‍යන්තරයෙන් මතුවන දෙයක්.

 

 

මම

සාහිත්‍යකරුවකු ලෙස ඔබට අඩසිය වසකට වැඩි අත්දැකීම් සම්භාරයක් තිබෙනවා. එහෙත් "ගමනක මුල" නමැති නවකතාවේ සිට "ගමනක අවසානය" දක්වා ඔබ පළ කළ මේ නවකතා මාලාව තුළ කිසියම් වාර්තාකාරී ස්වරූපයක් දක්නට ලැබෙනවා 1930 මුල් භාගයේ සිට  1970 දශකයේ අග භාගය තෙක් ලියැවුණු මෙි නවකතා මාලාවේ   විශේෂත්වය  කුමක්ද?


අමරසේකර 

පසුගිය කාලය තුළ මේ රටේ සිදුවූ සමාජ ආර්ථික දේශපාලනික හා සංස්කෘතික පෙරළිවල ස්වරූපය නවකතාව සහ කෙටිකතාව කෙරෙන් නිර්මාණාත්මක ඉදිරිපත් කිරීමට මා උත්සාහ කළා.

19 වැනි සියවසේ අග භාගයේ සිට මේ රටේ ගම් නියම්ගම් තුළින් බිහි වී 20 වැනි සියවස තුළ ශීඝ්‍රයෙන් වැඩුණු සිංහල මැද පන්තියේ පරිණාමය ගැන මෙතෙක් කිසිදු ලේඛකයකු ලියා නැහැ. මේ සමාජස්තරය ඉතා වැදගත් කොටසක් හැටියටයි මා සලකන්නේ. මේ අය සෘජුවම දේශපාලනයට සම්බන්ධ නොවුණත් රටේ ඉදිරි ගමන් මග නියෝජනය කළා. ඔවුන්ට මේ සමාජයේ විශාල ආධිපත්‍යක් තිබුණා. ඇත්තටම මගේ අලුත් නවකතා සහ කෙටි කතා කෙරෙන්  ඉදිරිපත් කළ සමාජ පන්තිය සහ දේශපාලන මතවාදය අපේ අනාගත පරම්පරාව පවා හඳුනාගත යුතුයි.මේ නව නිර්මාණ මා කිසියම් විදර්ශනාවකින් යුතුව අනාගතය පිළිබඳ හැඟීමකින් ලියපු දේවල්. එහෙත් පශ්චාත් නූතනවාදය වැනි මඩගොහුරුවල එරී සිටින ප්‍රතිගාමී දෘෂ්ටිවාදීන්ට මෙි නවකතා සහ කෙටිකතා නීරස ප්‍රචාරකවාදී නිර්මාණ හැටියට පෙනෙන්න පුළුවන්.

 

 

මම

ඔබේ "රතු රෝස මල" නමැති මුල් කෙටි කතා සංග්‍රහය තුළ ඇන්ටන් චෙකොෆ්,  ගීද මෝපසාං මෙන්ම මාර්ටින් වික්‍රමසිංහ ජී,බී සේනානායක වැනි ලේඛකයන්ගේ සෙවණැල්ල දකින්නට ලැබෙනවා. යළි උපන්නෙමි ගන්ධබ්බ ආපදානය, දෙපා නොලද්දෝ, කරුමක්කාරයෝ වැනි නවකතා ඔබ විවිධ සමාජ සංසිද්ධි සහ අත්දැකීම් ඇසුරෙන් නිර්මාණය කොට ඇති බව පෙනෙනවා.එහෙත් මෙි වන විට ඔබෙි නිර්මාණ  කෙත පුරන් වී ඇති බවයි මට පෙනෙන්නේ?

අමරසේකර 

නිර්මාණය කියන්නේ ජීවත් වීම කොටසක්. ජීවත්වීම තුළින් ඇතිවන්නාවූ ක්‍රියාදාමයේ ම පහළ වන දෙයක්. යම්කිසි සාහිත්‍යකරුවෙක් නූතන සමාජය පිළිබඳ අවදියෙන් සිටිනවා නම් ඔහුගේ නිර්මාණ කෙත පුරන් වීමට හේතුවක් නැහැ. මගේ මුල්ම යුගයේ කෘතිවල මිනිසා සහ සමාජය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් තිබුණේ නැහැ. නමුත් පසු කාලීනව "අසත්‍ය කතාවක්" "ප්‍රේමයේ සත්‍ය කතාවක්" ගල් පිළිමය සහ බොල් පිළිමය ආදී කෘතිවලින්  මේ රටේ සමාජ පසුබිම පිළිබඳ කිසියම් දුරකට කතාබහ කළා.එහෙත් අද අපේ රටේ බොහෝ නවකතා ලියැවෙන්නේ විවිධ මොඩලයන්ට අනුවයි.සල්මන් රුෂ්ඩි,මාර්කේස්,කුන්දේරා වැනි ලේඛකයන් අනුකරණය කරමින් ඇතැමුන් හරසුන් නීරස නවකතා ලියනවා. එහෙත් එක්ටැම් ගෙවල්වල ඉඳගෙන නවකතා ලියන්න බැහැ.මනසින් ගැටගහන බොරු මනස්ගාතවලින් මේ ව්‍යසනයට පිළියම් හොයන්න බැහැ. සාහිත්‍ය කෘතියකින් අපි සමාජ සත්තාව පිළිබඳ කිසියම් විනිශ්චයක් ලබා දෙනවා. එහෙත් සාහිත්‍යකරුවකුට මේ සඳහා පැහැදිලි දැක්මක් තිබිය යුතුයි. අද ඉන්න සාහිත්‍යකරුවන්ට කිසිදු දාර්ශනික පදනමක් නැහැ. සිංහල නවකතාවේ විකාශනයත් සමග එයට හොඳ පදනමක් වැටී තිබෙනවා.අපට දැන් මෝස්තරකාරයන් වෙන්න ඕනෑ නැහැ. මේ පදනම මත ඉඳගෙන ගැඹුරු නිර්මාණ කිරීමට අපට හැකියාව තිබෙනවා.

 


මතුපිට පෙනෙන දේවල් අල්ලගෙන ඒවායින් මනෝ ලෝක මවාගෙන නවකතා ලියන්න බැහැ. අද සමහරු පශ්චාත් නූතනවාදය ඉන්ද්‍රජාලික යථාර්ථවාදය යන නම්වලින් බොරු ලේබල් ගහගෙන බොරුවළක වැටිලා ඉන්නවා. උසස් සාහිත්‍යයක් බිහි වන්නේ යම් සමාජයක් තුළ දේශපාලන සංවාදයක් තිබුණොත්  පමණයි.




මම

කෙටිකතාව නාට්‍ය මෙන්ම නවකතාවද කැපවුණු  සාහිත්‍යාංගයක් (  Literature Engage )ලෙස ගිණිය හැකියි. අද්‍යතන නවකතාකරුවන් විවිධ ඉසව් සොයා ගියත් නවකතාව එක තැන පල් වෙන ගතියක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් ම සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ විවිධ න්‍යායන් සහ මතවාදයන් බිහිවූවත් එහි ව්‍යුහය අද බිඳවැටී තිබෙනවා. අද්භූතවාදය,ස්වාභාවිකවාදය,යථාර්ථවාදය,අධියථාර්ථවාදය,මයා යථාර්ථවාදය,නූතනවාදය, පශ්චාත් නූතනවාදය ආදී න්‍යායික මතවාද තුට්ටුවකටවත් මායිම් නොකරන ඔබට මෙි තත්වය ගෝචර වන්නේ කොහොමද?


අමරසේකර 

නවකතාවක් මූලික වශයෙන් ගොඩනැගෙන්නේ ඓතිහාසික සමාජය පදනම් කරගෙනයි. එය එක්තරා ආකාරයක ඓතිහාසික සමාජ වාර්තාවක්.  එහෙත් න්‍යායික මතවාදවල එල්බගෙන නවකතා ලිවීම විගඩමක්.යථාර්ථවාදය කියන එකත් සම්පූර්ණයෙන්ම කෙප්පයක්. බටහිර සමාජයේ පවා අද නවකතා පිරිහිලා. පශ්චාත් ධනවාදී යුගයට සරිලන  ආකාරයේ නවකතා තමයි අද බහුල වශයෙන් ලියවෙන්නේ.මේ අතර බැරෑරුම් නවකතා ලියන පිරිසක් මෙන්ම ජනප්‍රිය නවකතා ලියන පිරිසකුත් ඉන්නවා. එහෙත් සමාජ දේශපාලන සංස්කෘතික ආදී වූ බුද්ධිමය අරගල කෙරෙන් පහළවන්නා වූ නවකතා අද දක්නට නැහැ.

 

 

මම

මිලාන් කුන්දේරාට අනුව නවකතාවේ පරමාර්ථය විය යුත්තේ ලෝකය තුළ මිනිසාගේ පැවැත්ම ගවේෂණය කිරීමයි. ඔහු අද්‍යයතන මිනිසාගේ පැවැත්ම ගවේෂණය කිරීම උදෙසා නූතන ලෝකය තේරුම් ගැනීමට උත්සුක වන නවකතාකරුවෙක්. පූර්ව යුගයේ යුරෝපීය නවකතා නිමාවක්, සීමාවක් නොමැති ලෝකයක් තුළ කෙරුණු රොමෑන්තික වාර්තා ලෙස කුන්දේරා දකිනවා. නූතන නවකතාව පිළිබඳ කුන්දේරා විසින් පළ කළ නව සංකල්පවල නිරවද්‍ය භාවයක් නැද්ද?

අමරසේකර 

අද බටහිර රටවල ඉන්න පශ්චාත් නූතනවාදින් හුඟදෙනෙක් කලින් මාක්ස්වාදීන් ලෙස හිඳිමින් එය ප්‍රතික්ෂේප කළ අයයි. මිලාන් කුන්දේරාත් මාක්ස්වාදය ගැන කලකිරුණු නවකතාකරුවෙක්. කුන්දේරා අලුත් න්‍යායක් ඉදිරිපත් කළත් ඒ කෙරෙන් බටහිර මුහුකුරා යන උග්‍ර  ධනවාදයට එරෙහිව දර්ශනයක් ගොඩනැගීමට නොහැකිව අතරමං වී තිබෙනවා.කුන්දේරා කරන්නේ ඔළුව වැල්ලේ  හංගාගන්න එක. The art of the novel  නම් වූ ප්‍රබන්ධයෙන් නවකතාකරුවා ගැන වෙනම විශ්ලේෂණයක් ඉදිරිපත් කොට තිබෙනවා.
ඔහුට අනුව අද්‍යයතන නවකතාකරුවා භවසත්තාව සොයාගෙන යන ගවේෂකයෙක්. ලෝකය වෙනස් වෙද්දී මිනිසාගේ පැවැත්මත් විනාශ වන බව ඔහු පවසනවා. එහෙත් භවසත්තාව කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මෙය ආර්ථික සත්තාව සංස්කෘතික සත්තාව දේශපාලන සත්තාව ආදී වූ විෂය කේෂ්ත්‍රයන්ගෙන් පහළ වන්නාවූ දෙයක්.ෆ්රාන්ස් කෆ්කාගේ ප්‍රවණතාව තමයි කුන්දේරා තුළත් තිබෙන්නේ.පුද්ගලයා මහමෙරක් බවට පත්කරලා ඔහුගේ අනන්‍යතාව ගවේෂණය කිරීමට හැම විටම උත්සාහ කරනවා. අද අපට බටහිර නවකතාවෙන් ගත හැකි ආභාසයක් නැහැ.

 


මම

ඔබ එසේ කිව්වත් අද බටහිර රටවල ඉන්න ඇතැම් නවකතාකරුවන් ගුණාත්මක බවින් පිරිපුන් ඉතා දියුණු ප්‍රබන්ධ සාහිත්‍යයක් ගොඩනගමින්  සිටිනවා. මේ අතර සල්මන් රුෂ්ඩි,ගබ්රියෙල් ගාර්ෂියා මාර්කේස්, මිලාන් කුන්දරා, ඉසෙබෙල් අයියන්දේ, ඇල්බර්ටෝ මොරවියා වැනි ලේඛකයන්  ඉදිරියෙන් ම ඉන්නවා.එහෙත් මේ නවකතාකරුවන් කිසිවකු පශ්චාත් නූතනවාදය හෝ ඉන්ද්‍රජාලික යථාර්ථවාදය හෝ වෙනත් මොඩලයකට කොටුවී නිර්මාණ ඉදිරිපත් කරන බවක් දක්නට නැහැ. මේ ලේඛකයන්ට ලේබල් අලවන්නෙ කොදෙව් මානසිකත්වයෙන් අපේ ලේඛකයන්ම යි.පශ්චාත් නූතනවාදය වැනි නව මතවාද සමග ඔබට තියෙන අරෝව මොකක්ද?


අමරසේකර 

පශ්චාත් නූතනවාදය කියන්නේ පශ්චාත් ධනවාදයේ (post Capitalism ) වහලෙක්.ධනවාදය විසින් හසුරුවණු ලබන සමාජ ආර්ථික රටාව පශ්චාත් නූතනවාදය කෙරෙන් ඉස්මතු වෙනවා. පශ්චාත් ධනවාදයේ මූලික සාධනීය හරය කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා කියන අර්ථය යි. පශ්චාත් නූතනවාදය පශ්චාත් ධනවාදයේ සේවකයෙක් බවට පත් වන්නේ ඉහත සංකල්පය මතයි. මේ සේවකයාට නැති ප්‍රධානතම අංගය තමයි සමාජ විවරණ න්‍යාය( Social Critical Theory )බටහිර රටවල චින්තකයන් කියන්නේ අද ලොව පත්ව ඇත්තේ නූතනවාදයේ ඊළඟ අවස්ථාව වෙත කියලයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඔය චින්තකයන්ටවත් අද සමාජය ගිලගෙන තිබෙන ධනවාදයෙන් මිදෙන්නට ක්‍රමයක් නැති එකයි.මාක්ස්වාදය වැනි මහා ප්‍රවාහයක් ඔවුන් තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. අද තුන්වැනි ලෝකය වගේම බටහිර ලෝකය පාලනය කරන්නේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි බහුජාතික සමාගම්. මොවුන්ගේ බලසම්පන්නකම උඩ බටහිර චින්තනය අද බෙලහීන තත්වයට පත්වෙලා. ‍අද මෙි බටහිර ලෝකයේ සාහිත්‍ය  ඒජන්තලා ඉන්නවා. පොත් ප්‍රකාශකයෝ ඉන්නවා. මේ කාලයේ ලෝකයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යකාරයෝ බිහිකරන්නේ ඒගොල්ලොයි.විද්‍යාඥයෝ ප්‍රාඥයෝ කියලා කොටසකුත් අද බටහිර නැහැ. මේ කුණු වූ අවදිය මනුෂ්‍ය පරිණාමයේ අවසන් අදියර ලෙසයි අද ඒ රටවල උගතුන් දකින්නේ.ෆැන්සිස් ෆුකුයාමාගේ ( End of the history and last man )  කියන පොතෙන් එය හොඳට විග්‍රහ  කෙරෙනවා. පශ්චාත් නූතනවාදය හෝ පශ්චාත් නූතනවාදීන් සමග මට කිසිම අරෝවක් නෑ.මේ ප්‍රතිගාමී දෘෂ්ටිවාදීන්ට අනුව අපට කරන්න තියෙන්නේ අද ලෝකයේ තත්වය භාරගෙන කාලා බීලා ජොලි කරන එකයි.

 

 

මම

ඔබ පේරාදෙණි ගුරුකුලයේ ප්‍රබලයකු ලෙස සිටිමින් එය මනස් පුතුන්ගේ සාහිත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කළා.ගුරුකුල න්‍යෂ්ටිවාදියකු ලෙස පේරාදෙණියට එරෙහිව ගැසූ ඒ කැරැල්ල අර්ථවත් වූවා යැයි ඔබ සිතනවාද?

අමරසේකර 

පේරාදෙණිය සාහිත්‍යයෙන් කතා කළේ සමාජයෙන් වියුක්ත  වූ පුද්ගලයන්ගේ මනස ගැනයි. ඒක මනස් පුතුන්ගේ සාහිත්‍යයක් කියා මා කිව්වේ ඒ නිසයි. මං හිතන්නේ එදා මා පේරාදෙණිය සාහිත්‍යය එක්ටැම්ගත සාහිත්‍යයක් ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීමත් සමඟ සමාජයේ කිසියම් ඇස් ඇරීමක් සිද්ධ වුණා.අපේ රටේ ප්‍රබල සමාජ ප්‍රශ්න සාකච්ඡා කරන පුළුල් සමාජ ව්‍යාපාරයක් බවට පත්වන සාහිත්‍ය ධාරාවක් ගැනයි මා කතා කළේ. නමුත් එදා පේරාදෙණි සාහිත්‍යයට විරුද්ධව මා ගෙනගිය කැරැල්ල සාර්ථක වූවා යැයි කියන්න අමාරුයි. මේ රටේ මිනිස් ජීවිත ගැඹුරින් විග්‍රහ කෙරෙන විශ්ලේෂණාත්මක හරවත් සාහිත්‍යයක් බිහිකර ගන්න තවම අපට බැරි වුණා.

1977  බිහි වූ විවෘත ආර්ථිකයත් සමඟ අපි සම්පූර්ණයෙන්ම විජාතිකකරණයට නතුවුණා. විවෘත ආර්ථිකයත් සමඟ ආ පරිභෝජන සංස්කෘතිය සමඟ අර සියල්ල නැත්තටම නැති වුණා. අදටත් පේරාදෙණි සාහිත්‍ය නිසා අපි වෙච්ච වල්මත් වීම නතර වී නැහැ.

 


මගේ මුල්ම යුගයේ කෘතිවල මිනිසා සහ සමාජය පිළිබඳ ගැඹුරු විග්‍රහයක් තිබුණේ නැහැ. නමුත් පසු කාලීනව "අසත්‍ය කතාවක්" "ප්‍රේමයේ සත්‍ය කතාවක්" ගල් පිළිමය සහ බොල් පිළිමය ආදී කෘතිවලින්  මේ රටේ සමාජ පසුබිම පිළිබඳ කිසියම් දුරකට කතාබහ කළා


 

මම

"යළි උපන්නෙමි"  ඔබේ අවිඥානය කෙරෙන් ලියැවුණු නවකතාවක් හැටියටයි මට පෙනෙන්නේ. ඒ කෙරෙන් විද්‍යමාන වන්නේ ඔබ තුළ තිබූ අතීත කාමය(Nostalgia )යි. එහෙත් අද ඔබ "යළි උපන්නෙමි" පිළිබඳ කතා කිරීමට පවා කිසියම් මැලිකමක්  දක්වනවා.ඒ ඇයි?

අමරසේකර 

"යළි උපන්නෙමි " කියන්නේ සමාජ සත්තාව ග්‍රහණය නොකර මතුපිටින් බලලා ලියපු එක්තරා අනුකාරකවාදී නවකතාවක්. වික්ටෝරියානු කුහකත්වය කොදෙව් මානසිකත්වය වැනි දේවල් විවේචනය කරමින් මම "යළි උපන්නෙමි" සාධාරණීකරණය කිරීමට උත්සාහ කළා.   ඒත් මිනිස්සුන්ට සත්‍ය අවබෝධ වෙන්න ටිකක් කල් යනවා. අපේ රටේ ප්‍රබුද්ධ විචාර කලාවක් ගොඩනැගී තිබුණා නම් මෙබඳු අර්බුද මතු වන්නේ නැහැ.එදා යළි උපන්නෙමි කියවපු සමාජය නෙවෙයි අද තියෙන්නේ. අද යළි  උපන්නෙමි වගේ නවකතාවක් නැවත මුද්‍රණය කළොත් පනින රිළවුන්ට ඉණි මං තිබ්බා වගෙ වෙයි.සංස්කෘතික ආක්‍රමණය විසින් අපේ විඥානය ඒ තරමට ම මොට කරලා තියෙන්නේ.



අදහස් (0)

එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර

ඔබේ අදහස් එවන්න

සාමීචිය

මම දෘෂ්ටිවාදී කඳවුරක විචාරකයෙක් නෙවෙයි
2024 ජුලි මස 23 875 0

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා


මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ
2024 ජුලි මස 16 1024 0

විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ
2024 ජුලි මස 09 968 1

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර


එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්
2024 ජුලි මස 02 859 0

ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයෝ මෙරට සිටින විශිෂ්ටත ම කවීන් අතළොස්ස අතර ප්‍රමුඛයෙක් වෙති.


එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර
2024 ජුනි මස 18 667 0

අද මෙරට සිටින ජ්‍යෙෂ්ඨත ම ජීවමාන සාහිත්‍යසූරීහු වන්නේ ගුණදාස අමරසේකරයෝය.ඔවුහු සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ


මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !
2024 ජුනි මස 11 818 2

සංගීතයේ විශ්වභාෂී ගුණය සුවිශද කරමින් අගනා නිමැවූම් රාශියක් රසික ප්‍රජාවට දායාද කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ සිංහල ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site