විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි ඇදුරකු ලෙස ද ඔවුහු ශාස්ත්‍රාලයීය අධ්‍යාපනය තුළ ද සුවිශේෂ සේවාවක් ඉටු කළහ. සාම්ප්‍රදායික ඇකඩමික් බුද්ධිමතුන් ගෙන් ඔබ්බට ගිය විජේසිරිවර්ධනයෝ නිදහස්,ලිබරල්වාදී අදහස් සමාජගත කරන චින්තකයෙක් ද වෙති.සමාජ,දේශපාලන,ආර්ථිකය පිළිබඳ ඔහුගේ ගැඹුරු කියැවීම් සංස්කෘතික කාන්තාරයක අතර මං වී සිටින ලාංකේය ප්‍රජාවට අතිශයින් ම ප්‍රයෝජනවත් වෙයි.ජාතික චින්තනය මෙන්ම පශ්චාත් නූතනවාදය වැනි බටහිර චින්තන සම්ප්‍රදායන් පිළිබඳ ගැඹුරු හැදෑම් කළ විජේසිරිවර්ධනයන් මා සමග කලකට ඉහතදී කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙි ලිපිය ලංකාදීප මතුමහලේ පළ කෙරේ.
මම
ලංකාව ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි. මානසික වශයෙනුත් ඌන සංවර්ධිත රටක්. අද ජීවත්වෙන බොහෝ තරුණ තරුණියන්ගේ කඳ නිව්යෝර්ක් වල තිබුණට ඔළුව තියෙන්නේ ඉතියෝපියාවේ. ජනප්‍රිය සංස්කෘතිය නමැති කැරට් අලය පිටුපස දුවන ලාංකේය තරුණ පරපුර පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?
විජේසිරිවර්ධන
අද මේ රටේ මහා ව්‍යසනයක් සිදුවෙමින් පවතිනවා. මනුෂ්‍යයා නමැති සත්වයා නැතිවී යන තත්වයකට අද සමාජය පත්වෙලා. සීමිත වුවමනාවන් තියෙන පිටින් පාලනය කළ හැකි යම්කිසි රූකඩ රංචුවක් අද නිර්මාණය වෙලා තියෙනවා. මෙහිදී ජනප්‍රිය සංස්කෘතිය කියන ප්‍රපංචය නරක දෙයක් හැටියට සලකන්න බැහැ.සංස්කෘතිය නමින් අදහස් කරන්නේ සාමාන්‍ය ජනතාව ආස්වාදය ලබා ගන්න දෙයකට. නමුත් අද මේ ජනප්‍රිය සංස්කෘතිය තුළ ක්‍රියා කරන්නේ අර රූකඩ රංචුව.මාධ්‍ය හා වාණිජ ප්‍රාග්ධනයෙන් ඒකරාශී වූ වේදිකාගත කරන ලද ජනප්‍රිය සංස්කෘතියක් තමයි අද තියෙන්නේ.
මම
නූතන ලාංකේය බුද්ධිමය සංස්කෘතියට පශ්චාත් නූතනවාදය සහ විසංයෝජනය උපයුක්ත කිරීමේහිලා පුරෝගාමී මෙහෙවරක් කළ ඔබ අද භාවනා කරන්න පටන් අරන්. අද මේ නව බුද්ධි ප්‍රවණතා පිළිබඳ සමාජයට විධිමත් විග්‍රහයක් විශ්ලේෂණයක් සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ.පශ්චාත් නූතනවාදීන් ලෙස බොරු ලේබල් අලවා ගත් චණ්ඩි ටිකක් නම් පාළු ගෙවල්වල වළං බිඳින බව පෙනෙනවා. මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?
විජේසිරිවර්ධන
කොළඹ කේන්ද්‍රිය කරගත් සමාජය තුළ නොයෙකුත් බුද්ධිමය කණ්ඩායම් වරින් වර ඇතිවී නැතිවී ගියා. පනහ දශකයේ අගභාගයේ ඉඳලා කලා ක්ෂේත්‍රයේ හා ශාස්ත්‍රාලයීය ක්ෂේත්‍රයේ මෙබඳු කණ්ඩායම් ඉඳලා තියෙනවා. අපි වගේ අය බිහිවන්නේ බටහිරෙන් ලැබුණු මනුෂ්‍යයාගේ විමුක්තිය පිළිබඳ ඉදිරිපත් කෙරෙන සාරදර්ශනය නිසයි. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වැනි දේවල් පිළිබඳ කතිකාවක් දක්නට ලැබෙනවා.මෙයට අමතරව සමාජ ක්‍රමය පිළිබඳ විවෙිචනයකුත් ඇති වෙනවා.සමාජවාදී සහ මාක්ස්වාදී ව්‍යාපාර මූලික වශයෙන් ඒ විවෙිචනයට හසුවෙනවා.තරමක් ඉදිරියට යන කොට අපි ඒ සම්ප්‍රදායන් ඇතුළේ විසම්මුතික පුද්ගලයන් බවට පත්වෙනවා. මෙහිදී තමන් ඉන්න තැන නැවත සලකා බලමින් නව සම්ප්‍රදායකට මුල පුරන්න පුළුවන්ද?කියන එක තමයි බොහෝවිට චින්තකයෙක් කල්පනා කරන්නේ? මහාචාර්යය නලින්ද සිල්වා හෝ X කණ්ඩායම පිළිබඳ ප්‍රබල නිෂේධාත්මක අදහසක් මා තුළ නැහැ. පශ්චා නූතනවාදය කියන බටහිර චින්තන සම්ප්‍රදායේ ප්‍රභවය හඳුන්වා දීමට එක්ස් කණ්ඩායම පුරෝගාමී වුණා. ඔවුන් පශ්චාත් නූතනවාදය ඔස්සේ විවිධ සමාජ ක්ෂේත්‍ර හඳුන්වා දුන්නා. නමුත් X කණ්ඩායම පරණ වමේ විදියටම මේ රටේ ඉන්න සියලුම සිවිල් පුරවැසියන්ට ගහන්න පටන් ගත්තා.දැන් තියෙන සමාජයට ඔවුන්ගේ වැඩපිළිවෙල හොඳට ගැළපෙනවා. එකිනෙකා මරා ගන්නා අද සමාජයට ඔවුන් ප්‍රශ්නයක් නොවේ. ජාතික චින්තනය තුළත් ඔය ප්‍රශ්නෙමයි තියෙන්නේ. ජාතික චින්තකයන් ලෝකයේ නැති මිනිසුන්ට බනිමින් ඉන්නවා.මෙයින් කොහොමද යහපත් මනුෂ්‍යයෙක් ගොඩ නගන්නේ? නමුත් සතුරා පරාජය කිරීමෙන් ඔබ්බට අපේ බුද්ධිමය සංවාදය ගෙනයා යුතුයි.
මම
පශ්චාත් නූතනවාදය යනුවෙන් ප්‍රවර්ග කෙරෙන චින්තන ධාරාවේ ප්‍රභවය ඊට බලපෑ වාස්තවික තතු හා එහි විකාශනය පිළිබඳ යමක් පැහැදිලි කරන්න පුළුවන් ද?
විජේසිරිවර්ධන
පශ්චාත් නූතනවාදය බටහිර සමාජය තුළ බිහිවෙන්නේ ගෝලීය ධනවාදයට සමගාමීවයි. ඉතා ප්‍රබල කේන්ද්‍රීය රටවල මනුෂ්‍ය ජීවිතය පුදුමාකාර අභ්‍යන්තර විපර්යාසයකට බඳුන් වෙනවා.මෙම තත්වය හඳුනා ගැනීමට බටහිර සමාජය විශාල ප්‍රයත්නයක් ගත්තා. අපේ සමාජයට වඩා සියලු දේ සම්පූර්ණයෙන්ම බිඳිලා පුද්ගලයා පරමාණුකරණයට පත්වීම මෙහිදී දක්නට ලැබෙනවා. මේ වාතාවරණය තුළ සමාජ සංස්කෘතික දේශපාලනික ගතිකය මැද්දේ චූල සත්වයෙක් බිහිවෙනවා. පශ්චාත් නූතනවාද තත්වය තුළ තීරණ ගන්න බැහැ.එයට ප්‍රතිචාර දක්වන්නත් අපහසුයි. මෙසේ කෑලිවලට කැඩී ගිය ජීවිතය විවරණය කර ගැනීමේ ව්‍යායාමයක් පශ්චාත් නූතන තත්වය තුළ තියෙනවා. ඒත් මේ විවරණය තුළ විශාල අනතුරක් තියෙනවා. සමහරු මෙම පුපුරායාම සාධාරණීකරණය කර ගනිමින් එය පිළිගන්නා තත්වයකට පත්වෙනවා. ගෝලීය ධනවාදයේ සංස්කෘතික තර්කණය කියා ෆෙඩ්‍රික් ජෙම්සන් වැනි චින්තකයන් පශ්චාත් නූතනවාදය හැඳින්වූයේ ඒ නිසයි.ඉවසුම් සහගත තත්වයකින් ලෝකය දෙස බැලීමට පශ්චාත් නූතනවාදය උත්සාහ කරනවා. මේක ඇත්තටම ධනේශ්වර ක්‍රමය විසින්ම නිර්මාණය කරන ලද බුද්ධිමය කතිකාවක්. පශ්චාත් නූතනවාදය පශ්චාත් ව්‍යුහවාදය නමින් එක එක බෝඩ් එන්න පුළුවන්. ඒත් අපි එකිනෙකා කතාබහ කරන පශ්චාත් නූතනවාදය එකිනෙකට පරස්පරයි.සමාජය තුළ එකට මුණ නොගැසෙන භාෂණයකයි අපි ඉන්නේ ඉන්නේ. අපි හිතුවට එකිනෙකාට තේරෙනවා කියලා සමහර විට එකිනෙකාට තේරෙන භාෂණයක නෙවෙයි අපි ඉන්නේ. එදා තිබුණු එම තිරස් සන්ධානය නැවත සමාජය තුළ ස්ථාපිත කළ යුතුයි. අනෙක් සම්ප්‍රදාය ඉවසනසුලු කුමාරතුංග මුනිදාසයන්ගෙන් පටන් ගත්ත නූතන චින්තන සම්ප්‍රදාය තුළයි මා ජීවත් වෙන්නේ.මං සාමාන්‍යයෙන් සොයන්නෙක්.
මම
ලාංකේය සමාජයේ බුද්ධිමය අවශ්‍යතා සපුරාලීමට කිසිදු ජාතිකවාදී චින්තන ධාරාවකට නොහැකි වී තිබෙනවා.බුද්ධි ප්‍රවාහයක් හැටියට වුවද ජාතිකවාදය ගමන් කරන්නේ අතිසරල ඥාන මීමංසාමය පොළෝ තලයකයි. බුද්ධි නිර්මිතයේ මේ හිඩැස පිරවීමට කළ හැක්කේ කුමක්ද?
විජේසිරිවර්ධන
ලාංකේය සිංහල සමාජය තුළ අධිපතිවාදී චින්තන ධාරා දෙකක් තියෙනවා. ඉන් පළමුවැන්න යටත් විජිත සමයේ සිට ක්‍රමානුකූලව වර්ධනය වෙන බටහිර ධනේෂ්වර ක්‍රමයට අදාළ චින්තන ධාරාවයි. මෙය නූතන විද්‍යාව, කාර්මිකකරණය, ආර්ථිකය, යුද්ධය,ප්‍රචණ්ඩත්වය හේතුඵල ධර්මය වැනි ක්‍රියාවලීන් රාශියකට සම්බන්ධයි.මීට අමතරව විකල්ප ලෙස අප හඳුනා ගන්නා ජාතික චින්තනය යන කුලකය තුළ මහාචාර්ය නලින් ද සිල්වා, ගුණදාස අමරසේකර, ඇල්ලේ ගුණවංශ හිමියන් වැනි විවිධ වර්ණ සහිත නොයෙකුත් මත පළකරන පිරිසකුත් ඉන්නවා.මෙහිදී X කණ්ඩායම බටහිර චින්තන ධාරාව නියෝජනය කරමින් පෙනී සිටිනවා. ඒත් මහජන සම්භාෂණයට ලක්වුණු චින්තන ධාරාවක් තවම අපට දකින්නට නැහැ. යටත්විජිත සමයේදීත් මේ ලක්ෂණය ඒ විදියටම පැවතුණා.එහිදී ප්‍රධාන චින්තන ධාරා දෙකක් දක්නට ලැබුණා. ඉන් එකක් තමයි බටහිරකරණයත් සමග බිහිවුණු අනුකාරකවාදී චින්තනය.අනෙක යටත්විජිතවාදීන් තම රාජ්‍ය ස්ථාපනය කරන විට ඒවා රාජ්‍ය ක්‍රියාවලිය තුළ පිළිපන්න සමහර ශ්‍රේණි මෙහිදී ලංකාවේ ධනපතින්ගේ වර්ධනයත් එක්ක ප්‍රභූන් යම්තාක් දුරට පරිණත රටේ ධනපතින් සහ මධ්‍යම පාන්තික කොටස් බවට පත්වුණා.විශේෂයෙන්ම රාජ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ වුණු රාජ්‍ය නිලධාරීත්වය දිසාපතිගේ සිට ලියන්නන් දක්වා ඉංග්‍රීසි අධ්‍යාපනය ආධාරයෙන් යම් ස්ථාවරයකට පත්වී තිබුණා. මෙයට කළු සුද්දන්ගේ ආගමනයද බලපානවා. මේ මහා ධාරාවන්ට ප්‍රතිපක්ෂව අපේ රටෙි බිහිවුණු අනෙක් චින්තන ධාරාව හැටියට සැලකෙන්නේ අනගාරික ධර්මපාලතුමන්ගෙන් පසුව බිහිවෙන දේශප්‍රේමී චින්තන ධාරාවයි.මෙහිදී බටහිරකරණයට ලක්වුණු චින්තන ධාරාව ඔස්සේ පැමිණි පිරිස මිනිසුන්ගේ ප්‍රගතිය පිළිබඳ දැඩි විශ්වසිනත්වයකින් කටයුතු කළා. ධනේශ්වර ක්‍රමයේ දියුණුව සමාජ ක්‍රමය වෙන්වීම ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉහළම තත්වයකින් පැවතීම සහ ශිෂ්ටත්වය යන්න මානව හිමිකම් මත පදනම් වුණු දෙයක් බවත් ඔවුන් පැවසුවා. මේ නිසා ශිෂ්ටත්වය පිළිබඳ යම්කිසි සංකල්පනාවලියක් අනගාරික ධර්මපාලතුමා නියෝජනය කළ චින්තන ධාරාවෙි තිබුණා.
මම
අනගාරික ධර්මාපාලතුමා ශිෂ්ටත්වය නමැති සංකල්පයට වඩාත් ගැඹුරින් අභියෝග කළ බවක් පෙනෙන්නේ නැහැ නේද?
විජේසිරිවර්ධන
අනගාරික ධර්මපාලතුමා බටහිර ප්‍රමිතීන් තත්ත්වාකාරයෙන්ම බාරගන්නවා. ඒත් සිංහල ගැමි සමාජයට මෙය පරාරෝපණය කිරීමට ඔහුට අපහසු වෙනවා. මේ නිසා තමයි ඔහු සිංහල ගැමි සමාජයට ඉතා රළුපරළු ආකාරයෙන් කතා කරන්නේ. බටහිර ශිෂ්‍ටත්වයට සමීපවීමට ඔහු ජනතාවට ආයාචනා කරනවා. වික්ටෝරියානු සංකල්ප සමග බිහිවුණු ධනපති ආර්ථිකයට ආවඩන ඔහු ඊට හැඩගැසීමට ද බලකර සිටිනවා.කර්මාන්තවල ආයෝජනය කිරීම, හොඳ වෙළෙඳ ව්‍යාපාර ආරම්භ කිරීම, සුද්දන් මෙන් සකසුරුවම් කිරීම වැනි ධනේශ්වර ආර්ථික ක්‍රමය තුළ සිංහලයාට ආධිපත්‍යය ගැනීමට ඔහු සිය චින්තනය යොදාගෙන ඇති බව පෙනෙනවා. මේ අනුව ජාතික චින්තනය කියන සංකල්පයට අනගාරික ධර්මපාලතුමා ළඟ කිසිදු විකල්ප ක්‍රියාමාර්ගයක් නොතිබුණු බව අපට සක්සුදස්සේ පැහැදිලි වෙනවා. ඔහු බටහිර සංකල්ප උත්තරාරෝපිත කිරීමට උත්සාහ කළා මිසක් බෞද්ධ දර්ශනය ගැඹුරින් පුරුද්දලා ප්‍රජාතන්ත්‍රවාදී විකල්ප සෙවීමට උත්සාහ කළේ නැහැ.බුදුහාමුදුරුවන් ඉදිරිපත් කළ සංකල්ප ආශ්‍රයෙන් ජාතික චින්තනයට විශාල විකල්ප ක්‍රියාමාර්ග සෙවීමට තිබුණා. මිනිසුන් අතර යම් මට්ටමකට බලය රැඳුණු අධිපත්‍යධාරී නැත්නම් රජ්ජුරුවන් හෝ වෙනත් සිරස් අක්ෂයේ වැඩ කරන බල අක්ෂයක් නැති තිරස් අතට ක්‍රියා කරන බල සන්ධානයක් හෙවත් ජනපදයක් ගැන ඔහුට හිතන්නට තිබුණා. අනගාරික ධර්මපාලතුමාගේ දේශපාලනය තුළ පවා දැඩි අධිපතිවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී අදහස් උදහස් මාලාවක් දක්නට තිබුණා.මේ නිසා දේශපාලනික වශයෙන් හෝ ආර්ථිකමය වශයෙන් කිසිම විකල්පයක් ඉදිරිපත් කිරීමට ඔහුට පුළුවන්කමක් තිබුණේ නැහැ.
මම
ජාතික චින්තනය පිළිබඳ විවිධ මතවාද ඉදිරිපත් කරන ඇතැම් විද්වතුන් ජාතික ආර්ථිකයක්, ජාතික අධ්‍යාපනයක් සහ ජාතික කර්මාන්ත පිළිබඳ චිරාගත ව්‍යාපෘතියක් හෝ පැහැදිලි විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්නේ නැහැ. අද තිබෙන පරිභෝජනවාදී සංස්කෘතිය පොඩිපට්ටම් කරගෙන ජාතික චින්තනය ඔස්සේ රට තුළ නව නැම්මක් ඇතිකළ හැකි ද?
විජේසිරිවර්ධන
ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ජාතික ආර්ථික අධ්‍යාපනික හා දේශපාලනික ක්‍රියාවලියක් තුළින් නව නැම්මක් ඇති කිරීමට පුළුවන්. අප ආර්ථික විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බැලිය යුතුයි. ආර්ථිකය ක්‍රියා කියන්නේ රටෙි සම්පත් නිෂ්පාදන ක්‍රමවේදයකට. බෞද්ධ දර්ශනය ඇසුරින් වුණත් මෙය ගොඩනඟා ගන්න පුළුවන්. අපේ ජන සමාජයේ භාවිතය තුළ අපට දක්නට පුළුවන් සාර්ථක දේවල් රාශියක් තියෙනවා.ආර්ථික ක්‍රමය තියන්නේ සන්දර්භයක් මැද්දේ. ඉපැරණි ගමේ දේශපාලනය බල අක්ෂ දෙකකට විහිදී තිබුණා.එයින් එකක් තමයි සිරස් බල අක්ෂය.අනෙක තමයි තිරස් බල අක්ෂය.මෙයින් සහජීවනය සාමූහිකත්වය වැනි දේවල් නිරූපණය වුණා. ඒ ජාතික චින්තනය තුළ තිරස් බලඅක්ෂය රොමෑන්තිකත්වයකට භාජනය වෙනවා. ඇත්ත ගම තිබුණේ මේ අක්ෂ දෙක මධ්‍යයේ. මෙහි සංකලනය තමයි ජීවිතය කියන්නේ. බුදුන්වහන්සේගේ සිට එන සම්ප්‍රදාය ඒ තිරස් බල අක්ෂය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ ගත්තා.මා කලින් කිව්ව ප්‍රධාන චින්තන ධාරා දෙක මැද්දේ කුඩා දිය කඳුරු ටිකක් ගැලුවා. මෙහිදී ජාතික චින්තනය සම්බන්ධයෙන් කුමාරතුංග මුනිදාස නිරූපණය කළ භූමිකාව ඉතා වැදගත් කොට සලකන්න පුළුවන්. අවාසනාවකට වගේ ඔහුගේ භාෂාමය ප්‍රවාද පිළිබඳ විතරයි අපි කතා කරන්නේ. අපි කුමාරතුංග මුනිදාස නමැති චින්තකයා හළලා තියෙනවා.ඔහු බටහිරත් පෙරදිගත් මධ්‍යයේ ඉඳගෙන තාගෝර්ට සමගාමීව මේ දෙකෙහිම යහපත් මානවවාදී ලක්ෂණ උකහා ගනිමින් බෞද්ධ දර්ශනයද පදනම් කරගෙන ජාතිකත්වය පිළිබඳ යම්කිසි කතිකාවක් ගොඩනැගීමට පෙලඹුණා.ලක්මිණි පහනට ඔහු ලියූ කතු වැකි ටික කියවන කෙනකුට ඔහුගේ චින්තනය තුළ තිබුණු අදීනත්වය වටහා ගන්න පුළුවන්.ඔහු දෙයාකාරයකින් සිය විවේචනය ඉදිරිපත් කළා. තමන් ජීවිත් වන සමාජය පිළිබඳ ඔහු තුළ ප්‍රබල විවේචන මෙන්ම විචාර ද තිබුණා. අභ්‍යන්තර වශයෙන් කුල ප්‍රශ්නය කාන්තාව ද්විතයීක තත්වයට පත්වීම අනෙකාගේ මත නොඉවසීම උඩට දිගාවී වැඳීම වැනි දේවල් සම්බන්ධයෙන් අනගාරික ධර්මපාලතුමාට විවේචනයක් හෝ විචාරයක් තිබුණේ නැහැ. නමුත් කුමාරතුංග මුනිදාසට තම අභ්‍යන්තරය පිළිබඳ බටහිර අර්ධයට වගේම අභ්‍යන්තර අර්ධයටද විවේචනයක් හෝ විචාරයක් තිබුණා.කළු සුද්දන් ළඟ තිබුණේ අභ්‍යන්තරය පිළිබඳ සාවද්‍ය විවේචනයක් විතරයි. ඔවුන්ට X කණ්ඩායම වගේ බටහිර අර්ධය ඉතා හොඳයි. ඔවුන්ට අනුව ලන්ඩන්වල තමයි ශිෂ්ටත්වය තියෙන්නේ. මේක තමයි කළු සුද්දන්ට තියෙන ව්‍යාධිය. අනගාරික ධර්මපාලතුමාට අනුව බටහිර අර්ධය තුළ සිටින සෑම දෙනාම නරකයි. නමුත් කුමාරතුංග මුනිදාසට මේ දෙවර්ගය ම සමතික්‍රමණය කිරීමේ චින්තන ධාරාවක් තිබුණා.ආර්ථිකයට, දේශපාලනයට අධ්‍යාපනයට අද මෙවැනි චින්තන ධාරාවක අවස්ථාවේ දැඩිව දැනෙනවා.
මම
ලාංකේය ජාතික චින්තනය වික්ටෝරියානුවාදයේ සහ ප්‍රාචීනවාදී පරිසරවේදයේ උත්තරාරෝපිත අච්චාරුවක් බවට පත් වී තිබෙනවා. ලාංකිකත්වය වටහා නොගෙන මේ අච්චාරුව අනුභව කිරීමෙන් අපට වෙන සෙත මොකක්ද?
විජේසිරිවර්ධන
මේක උත්තරාරෝපිත සමාජයක්. බටහිර සමාජය අනුකරණය කිරීමේ හිණිපෙත්තටම සමහරු ගිහින් තිබෙනවා.මේ අනුව පශ්චාත් යටත් විජිතවාදය තවමත් අපේ ඔළු ගෙඩිවල තියෙන බව පෙනෙනවා. ලාංකේය මනස යටත්විතහරණයට භාජනය වෙලා නැහැ. මේ නිසා පශ්චාත් යටත් විජිත තත්වය තුළ අපේ ගමන පිළිබඳ නිශ්චිත අරමුණක් ඇතිකර ගැනීමට අපහසුයි.අපි ලිබරල් ආර්ථික ක්‍රියාවලියකට ඇබ්බැහි වෙලා තියෙනවා.අපේ රටෙි මනුෂ්‍යයන්,පුරවැසියන් නැහැ.පාරිභෝගිකයන්,යටත් වැසියන් විතරයි ඉන්නේ.මොවුන් වෙනුවට මනුෂ්‍යයෙක් නිර්මාණය කරගත යුතුයි. ඒත් මේ දේ කරන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නය. ජාතිය ගොඩනගන්න කුඩු මුදලාලිලාට වුණත් පුළුවන්. ජන මාධ්‍යයට වුණත් මේ දායක වෙන්න පුළුවන්. නමුත් මනුෂ්‍යයෙක් නිර්මාණය කර ගැනීම මොනතරම් සංකීර්ණ ක්‍රියාවලියක්ද? අපේ රටේ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ගැඹුරින් සාකච්ඡා වෙන්නේ නැහැ. අපි රටක් ලෙස කතා කරන්නේ ඇමෙරිකාව ගැන විතරයි.අපි හැම විටම එළියේ සිටින සතුරා සමග සටනට යනවා. ඒත් අභ්‍යන්තරය පිළිසකර කර ගැනීමට උත්සාහ කරන්නේ නැහැ. පුද්ගලයාගේ සිට සෑම තලයකටම අභ්‍යන්තර පරිවර්තනයක් සිද්ධ කළ යුතුයි. මේ කතාව සමහරුන්ට විඥානවාදී සහ මනෝරාජික වැඩක් වෙන්න පුළුවන්. අද ඉන්න පාරිභෝගිකයා සකස් කරන ලද කෙනෙක්.මෙය මිනිසාගේ ප්‍රකෘතිය ඉස්මතු කිරීමක් හැටියට සමහරු හඳුන්වනවා. ඒත් දෛනික ජීවිතයට අනුව තමයි අප පුරුදු පුහුණු වී ඉන්නේ.මෙය තේරුම් අරගෙන නැවත අපි අප සකස් කරගත යුතුයි.අපට තවම තියෙන්නේ ධර්මපාල සම්ප්‍රදායක්.
මම
ධනවාදයෙන් සමාජවාදයටත් එතැනින් කොමියුනිස්ට්වාදයටත් සමාජය ප්‍රවේශ කිරීමේ මාර්ගෝපදේශය වශයෙන් "කොමියුනිස්ට් ප්‍රකාශනය" මාක්ස් සහ එංගල්ස් විසින් ඉදිරිපත් කළා.එහෙත් සමාජ පරිණාමය පිළිබඳ ඔවුන්ගේ විග්‍රහයන්වලදී ආසියාතික සමාජය ගැන හුදු තනි සඳහනක් වත් නැහැ.පුරාතන, මධ්‍යතන, අද්‍යතන යනුවෙන් සඳහන් කරන ඓතිහාසික අවදි තුන බටහිර සමාජයට පමණක් සීමා වී තිබෙනවා. මේ ගැන යමක් පැහැදිලි කළොත්?
විජේසිරිවර්ධන
මාක්ස් සහ එංගල යුරෝපය කේන්ද්‍රීය කර ගත් වැඩපිළිවෙලක් තමයි මෙහි ඉදිරිපත් කර තිබෙන්නේ. ලංකාවට ප්‍රවේශවුණු විමුක්ති ව්‍යාපාර සහ දර්ශන වියුක්තව අරගන්න බැහැ. මේ ව්‍යාපාර සහ දර්ශන ඇතිවුණු සන්දර්භයත් මුලින්ම තේරුම් ගත යුතුයි. මේවා මූලික වශයෙන් යුරෝපීය කොන්දේසි සාධක හා කතිකාවක් ඇතුළේ බිහිවුණු දේවල් හැටියටයි පෙනෙන්නේ. අපේ ශාස්ත්‍රිය කතිකාව අදටත් පදනම්වෙලා තියෙන්නේ ඇමෙරිකා ආධිපත්‍යයට සමගාමීවයි.
මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞර
ඇන්තනී සුරේන්ද්‍ර නම ඇසූ පමණින් දන්න සංගීතඥයෙක්.සංගීත කණ්ඩායමක නයුවෙක්.ලස්සන සින්දු හදපු ස්වරාලංකාරිකයෙක්.ඒ ඔක්කොටම වැඩිය හෘද සාක්ෂියක් තියෙන මිනි
මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා
විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි
කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ