- මහාචාර්ය ජේ,බී දිසානායක -
මහාචාර්ය ජේ.බී දිසානායකයෝ මෙරට සිටින කීර්තිමත් වාග්විද්‍යාඥයෙක් වෙති.භාෂා අධ්‍යයනය පිළිබඳ ඇමෙරිකානු හා බ්‍රිතාන්‍ය ගුරුකුල ද්වයෙන් ම ලත් ශික්‍ෂණයක් ද වසර හතළිහකට අධික කාලයක් විශ්වවිද්‍යාල විද්‍යාර්ථින්ට භාෂා විෂයක ග්‍රන්ථකරණයෙන් ලත් පරිචයක් ද ඔවුහු සතු වෙති. මෙරට විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් අතර ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ දිසානායකයෝ සාහිත්‍යසූරී ගෞරව උපාධියෙනුත් සම්මානිත මහාචාර්යවරයකු ලෙසත් පිදුම් ලැබූහ.ඔවුහු සිංහල භාෂාවෙි උන්නතිය වෙනුවෙන් ග්‍රන්ථ රැසක් ම රචනා කළහ.ඒ සියලු කෘති මෙරට භාෂා ප්‍රේමීන්ගේ පමණක් නොව විද්වතුන්ගේ ද ගෞරවාදරයට පත් වී ඇත.
සිංහල භාෂාවෙි නව මුහුණුවරත් හැම්බර්ග් මාධ්‍ය සංස්කෘතියේ භාෂා සංහාරයත් පිළිබඳ මහාචාර්ය ජේ.බී දිසානායකයන් මතුකළ කරුණු කාරණා අතරින් පෙළගස්වා ගත් සංවාද සටහනකි මෙි.
මම
මිනිසාගේ ජීවන ක්‍රියාවලිය සහ භාෂාව අතර පවතිනුයේ අවියෝජනීය බැඳීමක්. මානව ජීවිතය හා සමාජය පිළිබඳ අන්තර්ඥානයක් ලබා ගැනීමට ද අනෙකුත් විෂය ක්ෂෙත්‍ර අධ්‍යයනයට ද භාෂාව ප්‍රධාන මෙවලමක් බවට පත්වී තිබෙනවා.මෙි සන්දර්භය තුළ සිංහල භාෂාවෙි මානවීය ගුණය පිළිබඳ කතා කළොත් ?
ජේ.බී
මානව වර්ගයාගේ විශිෂ්ටත ම නිර්මාණය වන්නේ භාෂාවයි.මේ නිසා ජීවිතය නම් වූ සිද්ධිදාමය තුළ භාෂාවට සුවිශේෂී අාස්ථානයක් හිමිවෙනවා.මෙහිදී අප භාවිත කරන සිංහල භාෂාව මානව භාෂා අතුරින් එකක් හැටියට ගිණිය හැකියි. මිනිසා භාෂාව නිර්මාණය කොට ගත්තේ කවදා දැයි හෝ කෙසේ දැයි කිසිවකුට නිශ්චිතව ම කියන්න බැහැ. නමුත් මෙකී භාෂාව නිසා මානව වර්ගයාට තිරිසන් සතුන් අභිබවා යමින් ශිෂ්ඨාචාරයක් ගොඩනගා ගැනීමෙහි ශක්‍යතාව ලැබුණා.
මානව වර්ගයාට පමණක් සුවිශේෂී වූ මේ ශක්තිය "හාෂා ශක්‍යතාව" යනුවෙන් හැඳින්වීමට පුළුවන්.සාමාන්‍ය මිනිසකු සතු ඥානය තවත් මිනිසකුට දිය හැක්කේ භාෂාව මාධ්‍ය කොටගෙන පමණයි. මේ නිසා දවසින් දවස අලුත් අලුත් දේ නිර්මාණය කිරීමටත් විවිධ මානව නිර්මාණ කිරීමට අවැසි ශිල්පීය ඥානය ලබා ගැනීමටත් භාෂාව සුවිශාල පිටිවහලක් වෙනවා.
මම
නූතන වාග්විද්‍යාවේ සංකල්ප සහ ආකල්ප සරල සුගම ආකාරයෙන් පැහැදිලි කෙරෙන කෘති අද අපේ රටේ නැහැ. මේ කේෂ්ත්‍රය අළලා ලියැවෙන සියලු කෘති පළ වන්නේ ඉංග්‍රීසියෙන්. විශේෂයෙන් ම වාග් විද්‍යාව හදාරන විද්‍යාර්ථියකුට මෙය විශාල ගැටලුවක්. පූර්වෝක්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වයට පැමිණි ඔබට මේ ගැන මොකද හිතෙන්නේ?
ජේ.බී
නූතන වාග් විද්‍යාව හා ව්‍යාකරණ ශාස්ත්‍රය යන අධ්‍යයන ක්ෂේත්‍ර දෙකටම වස්තු විෂය තවමත් අලුත් විෂයක්. මේ ක්ෂේත්‍රය හා බැඳුණු පත පොත බොහොමයක් ම පළ කරන්නේ බටහිර රටවල විද්වතුන්.විශේෂයෙන්ම ඇමෙරිකාව සහ එංගලන්තය මේ සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබෙනවා. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් පළවෙන මේ පෙළ පොත් සියල්ල අපට සිංහලයට පරිවර්තනය කොට ගත හැකියි. එමෙන්ම ඉංග්‍රීසි බසින් ලියැවී තිබෙන මෙකී කෘතිවල වැදගත් සංකල්ප අභ්‍යාස කොටගෙන අපගේ විද්‍යාර්ථින්ට යෝග්‍ය පතපොත පළ කිරීමට මා පෙළඹුණේ මේ අඩුපාඩුව නිසයි. කොළඹ විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යනාංශය පිහිටුවීමෙන් මා මේ විෂය ක්ෂේත්‍රය අධ්‍යයනයට ඇති ඉඩකඩ තව තවත් පුළුල් කළා.
මම
සාමාන්‍යයෙන් භාෂා අධ්‍යයනයටත් භාෂා විමර්ශනයටත් නිසි මග සැලසෙන්නේ වියරණ ඇදුරාත් වාග්විද්‍යාඥයාත් අන්‍යෝන්‍ය සහයෝගයෙන් කටයුතු කළහොත් විතරයි. භාෂාවක භාවිතය හා විග්‍රහය කෙරෙහි අවධානය යොමු කරන විට මේ දෙපාර්ශ්වය අපට වැදගත් වන්නේ කුමන ආකාරයටද?
ජේ.බී
භාෂාවක භාවිතය පිළිබඳ නිතරම අවධානය යොමු කරන්නේ වියරණ ඇදුරායි. නමුත් වාග්විද්‍යාඥයා භාෂාවක විග්‍රහය කෙරෙහි මූලික වශයෙන් සැලකිලිමත් වෙනවා. මේ අනුව වියරණ ඇදුරා ව්‍යවහාරික ශික්‍ෂණයක ද අනිවාර්යෙන්ම පිහිටිය යුතුයි.මෙහිදී ඔවුන් දෙදෙනා අතර තිබෙන අන්‍යෝන්‍ය සහයෝගය ඉතා වැදගත්. වාග් විද්‍යාඥයාගේ අරමුණ වනුයේ භාෂාවේ ස්වාභාවය තත්වාකාර ලෙස විග්‍රහ කොට දැක්වීමයි. නිදසුනක් හැටියට භාෂාව සකස් වී ඇති ආකාරය එය කලින් කලට වෙනස් වන හැටි,එය ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වී ඇති ආකාරය වැනි කරුණු සමුදායක් සඳහා ඔහුගේ අවධානය යොමු වෙනවා.කිසිවක් ලිවිය යුත්තේ මෙසේ යැයි නිර්දේශ කිරීම වාක්‍ය විද්‍යාඥයාගේ අරමුණ නෙවෙයි. භාෂා ගුරුවරයා මෙන්ම වියරණ ඇදුරා භාෂාව පරිහරණය කරන ආකාරය කියා දෙන්නේ ව්‍යවහාරික ශික්‍ෂණයක් හැටියටයි.මේ අනුව දුහුනනට ව්‍යක්ත භාෂාවෙහි ප්‍රභූත්වයක් ලැබීමට අවශ්‍ය සතතාභ්‍යාසය වියරණ ඇදුරාගේ උපදේශ අනුව ලැබිය යුත්තක්. භාෂාවක ව්‍යක්ත ව්‍යවහාරය කුමක්දැයි තීරණය කරනු ලබන්නේ සමකාලීන ලේඛකයන්. ඔවුන්ගේ බහුසම්මතය මේ සඳහා උපයෝගී කොට ගන්නවා. මෙහිදී වියරණ ඇදුරාට මෙකී බහුසම්මතය විමසා බලා එසේ ලිවීමට අවශ්‍ය ගුරු උපදේශ වඩා විධිමත් ආකාරයෙන් ලබාදිය හැකියි. රටක භාෂාවේ උන්නතිය සඳහා වියරණ ඇදුරා සහ වාග් විද්‍යාඥයාගේ කාර්යභාරය වැදගත් වන්නේ මේ නිසයි.
මම
භාෂාව සංකේත සමුදායකින් ගහන මෙවලමක්. මෙහිදී විවිධ රටවල භාෂාව භාවිත කරන පිරිස කිසියම් සම්මත ක්‍රමයක් ගොඩනගාගෙන තිබෙනවා. නමුත් පරිණාමය සහ යුග පෙරළියත් සමග ව්‍යවහාරික භාෂාව එබඳු සම්මත රාමුවක් තුළ සිරගත කොට තැබිය හැකිද?
ජේ.බී
භාෂාවත් එයින් ප්‍රකාශ කෙරෙන අර්ථත් අතර ඇති සම්බන්ධතාව සමාජ සම්මතයන් මගින් ඇති කරගෙන තිබීම සත්‍යයක්.භාෂාවට අයත් පද, වචන, වාක්‍ය වැනි කොටසුත් එම සමාජ සම්මතයට අනුකූලව ගොඩනැගී තිබෙනවා. මිනිසාගේ භාෂා ශක්‍යතාව දෙයාකාරයකින් ඉස්මතු වෙනවා. මෙය මූලික වශයෙන් සිදුවන්නේ ශබ්ද සහ රූප මාධ්‍යයෙන්. මේ අනුව ශබ්ද මාධ්‍යයෙන් මතුවන භාෂාව හැඳින්වීමට භාෂණය ( Speech ) යන පදයත් රූප මාධ්‍ය භාවිත වන භාෂා හැඳින්වීමට ලේඛනය ( Writing )යන පදයත් යොදාගන්නවා.සාමාන්‍යයෙන් භාෂාවක ඇත්තේ පරණ වාක්‍ය සමුදායක් පමණක් නම් ජීවිතයේ අලුත් අත්දැකීමට මුහුණ දීමට එය විශාල බාධාවක්.ජීවිතයේදී අලුත් අලුත් අත්දැකීම්වලට මොහොතින් මොහොත මුහුණ දීමට අපට සිදුවෙනවා. නමුත් ඒ අලුත් අත්දැකීම්වලට සාර්ථක ලෙස මුහුණ දීමට භාෂාව අනුසාරයෙන් අලුත් වාක්‍ය නිර්මාණය කොට ගත යුතුයි. මේ නිසා භාෂාව සම්මත රාමුවක කොටු කර තබන්න බැහැ.
මම
මිනිසාගේ චින්තනය විස්තාරණය කිරීමටත් භාෂාව සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරනවා. භාෂාව හා චින්තනය අතර තිබෙන බලය පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?
ජේ.බී
භාෂාව අනූපම ශක්ති ප්‍රවාහයක් හැටියට ගිණිය හැකියි. භාෂාවක් භාවිත කිරීමට මිනිසාට සුවිශේෂ කාශ්‍යතාවක් තිබෙනවා. නමුත් මේ හැකියාව ඇසට පෙනෙන දෙයක් නෙවෙයි. මිනිසා සතු භාෂා ශක්‍යතාව විදුලි බලයට සම කළ හැකියි. විදුලි රැහැනක ඇති විදුලි බලය මෙන් එය අදෘෂ්‍යමානව පවතින්නක්. විදුලි පහනක් දැල්වීමට විද්‍යුත් ශක්තිය අවශ්‍යය යි.එමෙන්ම මිනිසා සතු භාෂා ශක්‍යතාව පෙනෙන්නේත් ඔහු කතා කරන විට.මේ නිසා භාෂාව හා චින්තන ශක්තිය අතර අවියෝජනීය බැඳීමක් පවතිනවා.
මම
සිංහල ලේඛනයේදී "කව් ලැකිය" සහ "ලෙව් ලැකිය" යනුවෙන් ප්‍රභේදයක් දක්නට ලැබෙනවා. පසුගිය කාලේ මේ සම්බන්ධයෙන් පැන නැගුන අර්බුදයක් නිසා ඔබ සහ වෙනත් කණ්ඩායමක් අතර ශාස්ත්‍රීය සංවාදයක් ද පැවතුණා. මේ දෙවෑදරුම් ව්‍යවහාරය පිළිබඳ යම් විග්‍රහයක් කළහොත්?
ජේ.බී
"ලැකිය" යන්නෙන් අදහස් කරන්නේ ව්‍යවහාරයයි. මෙහිදී කවි ලැකිය පද්‍ය රචනයෙහිලා යොදා ගැනෙන ව්‍යවහාරයයි. කව් ලැකිය ගද්‍ය ග්‍රන්ථවලට යොදා ගැනීමට පුළුවන්. නමුත් ලෙව් ලැකිය පද්‍ය ග්‍රන්ථ සඳහා යොදා ගන්න බැහැ. සිදත් සඟරාව පරිශීලනය කරන අයකුට මේ දෙවෑදරුම් ව්‍යවහාරය දැක බලා ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙනවා. මෙයට අමතරව සිංහල හෝඩියේ අක්ෂර මාලාව නිසා කව් ලැකිය ලෙව් ලැකියෙන් මූලික වශයෙන් වෙනස් වෙනවා.කව් ලැකිය සඳහා යොදාගත හැක්කේ සිංහල අක්ෂර මාලාවේ ඇති අක්ෂර අතුරින් අකුරු තිහක් පමණයි.ඉන් 10 ක් පණකුරු හෙවත් ප්‍රාණාක්ෂර ලෙස හඳුන්වන අතර,සෙසු අක්ෂර 20 ගතකුරු හෙවත් ග්‍රාතක්ෂර ලෙස හැඳින්වෙනවා.එමෙන්ම සංස්කෘත පද කව් ලැකියේ දක්නට ලැබෙන්නේ නැහැ.නිදසුනක් වශයෙන් ලෙව් ලැකියේ 'මෘත' යන නමින් හඳුන්වන වචනය කව් ලැකියේ හඳුන්වනු ලබන්නේ 'මළ' යන නමිනුයි.මහාප්‍රාණ අක්ෂර ලෙව් ලැකියේ යෙදුවත් එය කව් ලැකියේ දී යොදා ගන්න බැහැ.
මම
වත්මන් විද්‍යුත් මාධ්‍ය නාලිකාවල භාවිත කෙරෙන භාෂාවට එරෙහිව ඇතමුන් විවිධ චෝදනා, විවේචන එල්ල කරනවා. අද තියෙන්නේ ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියක්. මෙහිදී අනවරතයෙන්ම භාෂාවත් අනුභව කරනවා. විශේෂයෙන්ම ඇතැම් එෆ්.එම් නාලිකා ඔස්සේ සිදුවන මෙකී භාෂා සංහාරය පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?
ජේ. බී
අපේ රටේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය නාලිකාවල භාවිත කරන භාෂාව ඉතා අශ්ශීල යි. බස නොදන්නාකමින් ඇතැමුන් අතරමං වෙලා.මෙහි දී එෆ් එම් නාලිකා හරහා සිදුවන විනාශය අති විශාලයි. වැඩසටහන ඉදිරිපත් කරන නිවේදක නිවේදිකාවන්ට නිසි මග පෙන්වීමට එම මාධ්‍ය ආයතනවල හිමිකරුවන් පවා අපොහොසත් වී තිබෙනවා. ඔවුන් මේ භාෂා සංහාරයට අනුබල දෙන බවක් ද දක්නට ලැබෙනවා.මෙි විනාශය අවම කරගැනීමට කිසිවකු උත්සාහ කරන්නේ නැහැ.මෙි සඳහා එම නිවෙිදක නිවේදිකාවන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ගෙදර දොරේ යාළු මිත්‍රාදීන්ට කතා කරන භාෂාව රූපවාහිනිය සහ ගුවන් විදුලිය වැනි ජනමාධ්‍ය ආයතනයකදී භාවිත කරන්න බැහැ. භාෂාව තැනට සුදුසු ආකාරයට භාවිත කළ යුතුයි.සිංහල භාෂාව විනාශ වෙනවා යැයි කෑගෝ ගසන කිසිවකු මේ ක්ෂේත්‍රයට අංශු මාත්‍රයකවත් සේවයක් කරපු අය නෙවෙයි. තමන්ගේ දරුවන් ඉංග්‍රීසි ටියුෂන් පන්තිවලට යවන සිංහල පුවත්පතක් ගේ අහලකටවත් නොගන්න මේ අය භාෂාව පිළිබඳ පෙර නොවූ විරූ කැක්කුමකින් කතා කරනවා. ඇත්තටම මෙි රටෙි භාෂාව අංගවිකල කරන්නේ විචාර විදූෂකයෝ.නිවැරදි භාෂා භාවිතය පිළිබඳ ජන මාධ්‍යවේදීන් දැනුවත් කළ යුතුයි.ඒ කාලේ මේ සඳහා වෙනම ව්‍යාපෘති තිබුණා. අද ඇහැට කනට පේන ඕනෑම අයකුට මාධ්‍ය ආයතනවල දොරවල් විවෘත වී තිබෙනවා.
මහාචාර්ය සුවරිත ගම්ලත්, කීර්ති බාලසූරිය ඇතුළු කණ්ඩායමේ ප්‍රබල මාක්ස්වාදී විචාරිකාවක් වූ පියසීලි විජේගුණසිංහ මෙරට ශාස්ත්‍රාලයීය පද්ධතියේ ද නොමඳ ගෞර
ඇන්තනී සුරේන්ද්‍ර නම ඇසූ පමණින් දන්න සංගීතඥයෙක්.සංගීත කණ්ඩායමක නයුවෙක්.ලස්සන සින්දු හදපු ස්වරාලංකාරිකයෙක්.ඒ ඔක්කොටම වැඩිය හෘද සාක්ෂියක් තියෙන මිනි
මහාචාර්ය සුචරිත ගම්ලත්හු ලාංකේය බුද්ධමය සංස්කෘතිය තුළ ප්‍රබල භූමිකාවක් නිරූපණය කළ අද්විතීය ප්‍රාඥායෙක් වෙති.
මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා
විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි
කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
සිංහල භාෂාව අංගවිකල කරන්නෝ විචාර විදූෂකයෝ