IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


අද ඉන්න පඬිනැට්ටන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ

සාමීචිය - 5

 

 

ස්වර්ණමය යුගයක් නිශ්චිතව ම අවසන් වී ඇත.එළැඹුණේ නව යුගයක් දැයි අපි නොදනිමු.මහාචාර්ය නලින්ද සිල්වා මිය ගොසිනි.ඔහු පිළිබඳ මේ සටහන ලිවීමට යෙදුණු මොහොත සංවේදී ජනකය. ඒ ඔහුගේ කාබනික සිරුර අප හැරගොස් ඇති බැවිනි.කෙනකු සිතන ආකාරයට බලපෑම් කිරීම ලේසි පහසු කටයුත්තක් නොවේ.ප්‍රඥ සම්පන්න භාවය පමණක් නොව භාෂාව අතික්‍රමණය කළ හැකි අදීන පෞරුෂයක් ද ඊට අවශ්‍යය.ගණිතඥයකු,චින්තකයකු විශ්වවිද්‍යාල මහැදුරකු,පීඨාධිපතිවරයකු නිදහස් ලේඛකයකු වශයෙන් මහැදුරු නලින් ද සිල්වා දැල්වූ ප්‍රඥා ප්‍රදීපය මෙරට සමාජය මොහාන්ධකාරයෙන් මුදාගැනීමට අංශුමාත්‍රයක හෝ බලපෑමක් සිදුවී ඇතැයි කීම අතිශයෝක්තියක් නොවෙි.නලින්ගේ චින්තන විප්ලවයේ දිග පළල ඔහු විසින් රචිත "මගේ ලෝකය" නමැති කෘතිය කියැවූ ඔිනෑම කෙනකුට සිතා ගත හැකිය.

ජාතික චින්තනය ඔස්සේ ඔහු පළකළ ඇතැම් මතවාද පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුය.මහැදුරු නලින් එල්ල කළ ජාතික චින්තනය නමැති බෝම්බය මෙරට සමාජයට කළ හානිය සුළුපටු නොවෙි.ඊට ගොදුරුවූවෝ බරපතළ තුවාල ලැබූවෝය.ඇතැමෙක් උම්මන්තකයන් වූහ.එපමණක් නොව රාජපක්ෂ රෙජිමය ස්ථාපිත කර තාවර කිරීමට ද ඔවුහු විශාල ප්‍රයත්නයක් ගත්හ.එහි ජුගුප්සිත ආනිසංස අද අපි බුක්ති විඳින්නෙමු.මහැදුරු නලින් ජාතික චින්තනය නමැති පැළය මෙරට රෝපණය කළ ද එහි ඵල බුක්ති විඳින්නෝ කවරහුද?ඔවුහු විජාතික බලවෙිග කරපින්නා ගත් දීන අනුකාරකයෝය.එපමණක් නොව මෙහි හාස්‍යජනක කරුණ වනුයේ ඔහුගේ අවසන් කටයුතු ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ සිදුවීමය. කලක් ඇමෙරිකාව පතුරු ගැසූ නලින්ට අද දින එම මහපොළොවෙි මිහිදන් වීමට සිදුවීම දෛවයේ කුරිරු සරදමක් නොවෙිද? තමා පසමිතුරකු සේ සැලකු රාජ්‍යක ඔවුහු අද ගන්ධබ්යකු වී සිටිති.එහෙත් ලාංකේය දේශපාලන කියැවීම් ක්ෂිතිජය පුළුල් කිරීමට වැර දැරූ මෙි සුදුර්ලභ බුද්ධිමතා පිළිබඳ පුළුල් සංවාදයක් අද හෙට ම ඇරඹීය යුතුය.

මහැදුරු නලින් මට මුල්වරට මුණගැසුණේ කැලණිය සරසවියේදීය.එවකට මම ලේක්හවුස් ආයතනයේ දිනමිණ මංසල සාහිත්‍ය අතිරේකයේ සංස්කාරකවරයා වීමි.මහැදුරු නලින් ද සිල්වා සමග සම්මුඛ සාකච්ඡාවක් කිරීමට මම කැලණිය සරසවියට ගියෙමි.මට මතක හැටියට එය 2003 වසර විය යුතුය.දේශනයකට ගොස් සිටි මහැදුරු නලින් පැය කාලකට පසු මා ඉදිරියේ ඉද්ද ගැහුවාක් මෙන් හිට ගත්තේය.ආරෝහපරිනාහ දේහයක් නොතිබුණ ද මහාචාර්යවරයාට ප්‍රතාපවත් පෞරුෂයක් තිබිණි.

"ආ මෙි හාදයද? මහාචාර්යවරයා මදෙස බලා අවඥවෙන් සිනාසුණේය"

තරහා පුපුරමින් රෞද්‍ර මුහුණකින් යුතුව සිටි ඔහු මෙසේ කීය.

"ඇත්තටම අයිසේ! ඔය ලේක්හවුස් කියන පචමෝලට මං ඉන්ටර්විව් දෙන්නේ නැහැ.එහෙත් තමුසේ ගැන මගේ හිතේ පොඩි පැහැදීමක් තියෙනවා.තමුසේ ලියන සමහර ආර්ටිකල් මං කියවනවා.මොකද තමුන්නැහැලා කරන ඔය සාහිත්‍ය අතිරේකය නම් පංකාදුයි.ඒ පැහැදීම උඩයි මං මෙි සාකච්ඡාවට කැමති වුණේ.ඇරත් තමුසෙට හොඳ උන්නතිකාමයයක් තියෙන බව පේනවා.හැබැයි අර පශ්චාත් නූතනවාදීන් කියමින් බොරු කයිවාරු ගහන පඬිනැට්ටන්ට නම් අහුවෙන්න එපා.ඔය යක්කු දන්න ඉටිගෙඩියක් නැහැ.ඩෙරීඩලා,ෆුකොලා ගගා බොරුවට නන්දොඩවනවා."

එසේ කියා මහාචාර්යවරයා මහ හඬින් සිනාසුණේය.මම තරමක් චකිතයෙන් කතාව වෙන පැත්තකට හැරවීමට මාන බැලුවෙමි.එහෙත් මහාචාර්යවරයා දිගින් දිගටම X කණ්ඩායම (එවකට සිටි ප්‍රබල දේශපාලන මතවාදී අදහස් දැරූ කණ්ඩායමකි)පතුරු ගැහුවෙිය. මහැදුරු නලින් සමග එදා මා විසින් කළ සම්මුඛ සාකච්ඡාවෙි කොටසක් මතුමහල සුධීමතුන් වෙනුවෙන් මෙසේ නැවත සංස්කරණය කොට පළ කරමි.

 

මම

අද සමස්ත මිනිස් ප්‍රජාවම පරිභෝජනය මූලික කරගත් ජන සමාජයක් බවට පත්වෙලා.මිනිස් සමාජයේ ආධ්‍යාත්මික හා සංස්කෘතික හරයන්ට මෙයින් සිදුවන බලපෑම ගැන ඔබේ විග්‍රහය කුමක්ද?

නලින්

මිනිසා අනෙක් සත්වයන්ගෙන් වියුක්ත වන්නේ ඔහු සතු බුද්ධි මහිමය නිසා. ඒත් මිනිසාට සතුන්ට තරම් ඉවක් නැහැ. සතුන්ට තමන් සතු ඉවෙන් යම් ප්‍රමාණයකට පැවැත්ම තහවුරු කර ගැනීමේ හැකියාව තිබුණත් මිනිසුන්ට ඒ දේ කරන්න බැහැ.මිනිස් සිරුර පවා වර්ධනය වෙලා තියෙන්නේ මිනිසාට සම්පූර්ණයෙන්ම අහිතකර විදියට. මිනිසා තුළ නිසඟයෙන්ම වෛරය, ක්‍රෝධය, ලිංගික මාත්සර්ය ඉන්ද්‍රියයන් සන්තර්පණය කිරීමේ ආසාව තියෙනවා.මෙික තමයි මිනිසාගේ ප්‍රකෘතිය. ඒත් මිනිසාගේ ප්‍රකෘතිය තුළ ඔහුගේ පැවැත්ම අහෝසි වී ගොස් තිබෙනවා.මිනිසා ප්‍රකෘතියෙන් වියුක්ත වීමට තමයි සංස්කෘතියක් නිර්මාණය කර ගත්තේ. සතුන්ටත් යම් ප්‍රමාණයක සංස්කෘතියක් තියෙනවා. නමුත් උන්ට ඉව තියෙනවා. උන්ට ඉව තියෙන නිසා පැවැත්ම තහවුරු කරගන්න පුළුවන්. සතෙක් කවදාවත් වස විෂ කන්නේ නෑ.ඒත් පුංචි ළමයි වස කුප්පියක් වුණත් කටේ දාගන්නවා.ඒක නවත්වන්න නම් අපි ඒ ළමයින් දැනුවත් කරන්න ඕනෑ. මේවා තමයි සංස්කෘතියකින් කෙරෙන්නේ? මිනිසා සතු බුද්ධිය උපයෝගී කරගෙන යම් ප්‍රමාණයකට පරිසරයේ ස්වභාවය පාලනය කරනවා.බටහිර සංස්කෘතිය මිනිසාගේ ප්‍රකෘතිය ඉස්මතු කිරීමට විශාල උත්තේජනයක් ලබා දෙනවා. අද මුළු මිනිස් සංහිතියම පරිභෝජනයට ලක්වී තිබෙනවා. අද ඇමෙරිකා නායකත්වය තුළ ඉඳුරන් පිනවීමේ ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. මෙය අවුරුදු හාර පන්සීයක් තිස්සේ විපරිණාමය වෙමින් ආපු දෙයක්. ක්‍රිස්තියානි සංස්කෘතිය ව්‍යාප්ත කිරීමෙන් මිනිසාගේ ඉන්ද්‍රීයය පීනනයට විශාල තල්ලුවක් ලැබී තිබෙනවා.මුස්ලිම් හින්දු බෞද්ධාදී සංස්කෘතීන්ට වඩා ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ ඉන්ද්‍රිය පීනනයට ලැබී තිබෙන අවකාශය විශාලයි.1500 වර්ෂයේ දී මාර්ටින් ලූතර් කිං ගෙන් පස්සේ ආරම්භවුණු මේ ක්‍රියාදාමය අද ඇමෙරිකානුවන් විසින් නොකඩවා ඉදිරියට ගෙන යනවා.

 

මම

ඔබ ලෝක ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ නිශේධනාත්මක අර්ථයෙන් කතා කළත් ධනවාදී පරිභෝජන රටාවෙන් මිදෙන්න නූතන මිනිසාට බැහැ.ඔබ ඇතුළු අමරසේකරලා වැන්නන් හදන්නේ ඔරලෝසුව ආපස්සට කරකවන්නද?

නලින්

ඔරලෝසුව ආපස්සට කරකවන්න අපි කාටවත් බැහැ.කාලය ඉදිරියට මිසක් ආපස්සට ගමන් කරන්නේ නැහැ.එහෙත් ලෝක තත්වය භාරගෙන අපිට ඒ විදියටම ඉන්න බැහැ.මේ සංස්කෘතික ආක්‍රමණයට එරෙහිව අපි උඩුගම් බලා පිහිනිය යුතුයි.

අද ඇමෙරිකාව සංවර්ධනය කියා කතා කරන්නේ මොකක් ගැනද? ඒක පුද්ගල ශක්තිය පරිභෝජනය වැඩිවීම තමයි ඔවුන් සංවර්ධනය හැටියට හඳුන්වන්නේ. මොකක්ද ශක්තිය කියලා කියන්නේ? සොබා දහම තුළ තිබෙන දේවල් සියල්ල මිනිසා වෙනුවෙන් පරිභෝජනයට ගැනීම. ඇතමුන් මේ තත්වය ධනවාදය ලෙස හඳුන්වා ගෙන තිබෙනවා. නමුත් මේක ධනවාදය නෙවෙයි. ධනවාදය නැති වුණත්, වෙනත් ආර්ථික රටාවක් තුළ මෙබඳු පරිභෝජන රටාවක් ඇති වෙන්න පුළුවන්.පරිභෝජන රටාව කියන දේ තමයි මුඛ්‍යාර්ථය වන්නේ. ධනවාදය නෙවෙයි. ඒත් ධනවාදය පරිභෝජන රටාව ඉෂ්ට කර ගැනීම සඳහා යොදා ගන්නා වූ ආර්ථික ක්‍රමයක් හැටියට පත්වෙලා තියෙනවා. කාල් මාක්ස්වත් මේක හරියට විවරණය කරන්නේ නැහැ. මාක්ස් පරිභෝජනයට විරුද්ධ මිනිහෙක් නෙවෙයි. මාක්ස්ටත් ඕනෑ වුණේ පරිභෝජන රටාවට අනුගත වෙන්න. ඔහු මුළු මහත් සමාජයම තව තවත් පරිභෝජනය නමැති උගුලේ සිරකරන්න වැඩ කරපු මිනිහෙක්.ඔහු පරිභෝජනය සඳහා වෙනත් ආර්ථික මතයක් ඉදිරිපත් කළා පමණයි. ඒ මාර්ගය තුළ පරිභෝජනය ඇති වෙනවාද?

 

 

මම

භෞතිකවාදය පදනම් කරගෙන මිනිසාගේ පන්ති ඉතිහාසය ගැන තාර්කික දෘෂ්ටිවාදයක් ඉදිරිපත් කළ කාල් මාක්ස් වැනි චින්තකයකු පිළිබඳ ඔබ අඩු ලංසුවකින් කතා කරනවා.එහෙත් මාක්ස්වාදය වැනි සමාජ විවරණ න්‍යායක්,මහප්‍රවාහයක් තවම කවුරුවත් ඉදිරිපත් කර නැහැ නේද?

නලින්

ප්‍රායෝගිකත්වයෙන් තොර න්‍යාය වඳයි.සමාජවාදය මහ පොළොවේ ක්‍රියාත්මක කරලා දියුණු වෙච්ච රටක් නැහැ.මාක්ස් පරිභෝජනයට විරුද්ධ නැහැයි කියලා මම කියන්නේ නිකම්ම නෙමෙයි. ආර්ථික මතයක් ඉදිරිපත් කළ පමණින් සමාජ චලනයක් වෙනවද?සමාජවාදය අසාර්ථකයි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් ඒක ඔප්පු වුණා.

 

 

මම

වර්තමාන දේශපාලන සම්භාෂණය තුළ උණ හෙම්බිරිස්සාව මෙන් කතිකා කෙරෙන "පශ්චාත් නූතනවාදය" කසායක අනුපාන ගානට අද පත්වී තිබෙනවා.පශ්චාත් නූතනවාදය හා පශ්චාත් ධනවාදය ඔස්සේ සමාජ විවරණ න්‍යායන් ඉදිරිපත් කිරීමටත් ඇතැමුන් පෙළඹෙනවා.මේ ගැන ඔබට මොකද හිතෙන්නේ?

නලින්

පශ්චාත් නූතනවාදය කියන්නේ මහ බොරුවක්. පශ්චාත් ධනවාදය කියා දෙයකුත් නැහැ. බටහිර සමාජ විද්‍යාව කවරදාකවත් ශාස්ත්‍රීය විෂයක් විදියට පැවතුණේ නැහැ. බටහිර සමාජ විද්‍යාව යාන්තමින් හෝ ගැටගහගෙන යන්නේ බටහිර භෞතික විද්‍යාව. රසායනික විද්‍යාව. ජීව විද්‍යාව වැනි විෂයන්ට පින් සිදුවෙන්න. මේ විෂයන්වලින් තමයි ඔවුන් බැබළෙන්න හදන්නේ.බටහිර දර්ශනයට පෙරදිග දර්ශනය එක්ක හැප්පෙන්න බැහැ. මේගොල්ලන් බටහිර විද්‍යාව සහ ඒ මත පදනම් වූ තාක්ෂණය හේතු කොටගෙන කිසියම් සංස්කෘතික ආධිපත්‍යයක් දරනවා. ඉන් එක් කොටසක් තමයි අධ්‍යාපනික ශස්ත්‍රීය ආධිපත්‍යය.ඒ ආධිපත්‍යය මත සමාජ විද්‍යාව පටලනවා විනා අපිට ගත යුතු අබමල් රේණුවක හරයක් බටහිර සමාජ විද්‍යාවෙි නැහැ. සාමාන්‍යයෙන් කියන්න පුළුවන් ඇතැම් සරල දේවල් ඔවුන් පාරිභාෂික වචනවලින් කියනවා. මේ සියල්ල වචන හරඹ හැටියටයි මා දකින්නේ. පශ්චාත් ධනවාදය කොහේ තියෙන දෙයක්ද?මේ එදා පටන් ගත්ත කාලකණ්ණිකම තාම තියෙනවා. අද සමහරුන් ඒ කාලකණ්ණි කමේ ඇලී ගැලී නන්දොඩවනවා. ධනවාදය ( Capitalism )කියන දේ ඇතිවුණේත් 1500න් පස්සේ පටන් ගත්ත චින්තන රටාව තුළ දී යි.ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මෙහි මූලාරම්භය වශයෙන් සලකන්න පුළුවන්. ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙලා තමයි මේ ලෝකේ තාම දුවන්නේ. මේක ඒ තරම් වැදගත් දෙයක් නෙවෙයි. මෙහි තිබෙන සියලු දුබලකම් අපි හොඳින් දන්නවා. මාක්ස්වාදය කියන්නේ, මේ චින්තන රටාව තුළ බිහිවුණු තවත් දෙයක් විතරයි. පශ්චාත් ධනවාදය ( post Capitalism ) තියෙන්න නම් පශ්චාත් ප්‍රාග්ධනයක් තිබිය යුතුයි.ප්‍රාග්ධනය මෙහිදී වැදගත් වෙන්නේ නැහැ නැහැ. ප්‍රාග්ධනය වැදගත් වන්නේ මාක්ස්වාදීන්ට සහ පශ්චාත් නූතනවාදීන්ට විතරයි. ප්‍රාග්ධනය ගැන විශාල තර්ක ඉදිරිපත් කරනවා. ඒත් ප්‍රාග්ධනය ඇතිවීමට හේතු කවුරුවත් විග්‍රහ කරන්නේ නැහැ.කාල්මාක්ස්වත් මෙයට නිවැරදි අර්ථකථනයක් දීලා නැහැ. ඒත් බටහිර රටවල මිනිසුන් මේක පිළිගන්න කැමති නැහැ.ප්‍රාග්ධනයේ මුහුවීමත් සමග තාක්ෂණය බිහිකර ගත්තේ එකම අරමුණක් ඇතිව. දෙවියන් වහන්සේ ස්වභාවධර්මය මවලා තියෙන්නේ මිනිසුන් වෙනුවෙන්. මාලිමා යන්ත්‍රය, වෙඩි බෙහෙත්, මුද්‍රණ ශිල්පය වැනි දේවල් සොයා ගැනීමත් සමගම ලෝකය දියුණු වූ බව යුරෝපය කියනවා. නමුත් ඊට කලින් ඔය සියල්ල චීනයේ මිනිස්සු සොයාගෙන තිබුණා. චීනුන් මේවා දැනගෙන හිටියට දෙවැනි වර්ධනයක් තිබුණේ නැහැ.

 

 

මම

හොඳයි. දැන් අපි ක්‍රමයෙන් අපිව වටහා ගනිමින් ඉන්නේ. ඔබ කියන ආකාරයට 1500 වර්ෂයෙන් පසුව ලෝකයට ඇතුළු වුණු කාලකණ්ණිකම තාමත් තුරන් වෙලා නැහැ. ඔබට අනුව පශ්චාත් නූතනවාදය සහ පශ්චාත් ධනවාදය ලෝක විහිළුවක්. ඒත් බටහිර සමාජ විද්‍යාව ලෝක සමාජ ආර්ථික දේශපාලනයට විශාල බලපෑමක් කර ඇති බවට යමකු තර්ක කළහොත්?

නලින්

මිනිහකුට මහන්සිවෙලා ඉගෙන ඉගෙන ගන්න දෙයක් බටහිර සමාජ විද්‍යාව තුළ නැහැ. බටහිර සමාජ විද්‍යාව සම්බන්ධයෙන් පොතපත ලක්ෂ ගණන් ලියැවී තිබෙන්න පුළුවන්. ඒත් ඒ පොත් ලක්ෂ ගණනෙම තියෙන්නේ බොහෝම ටිකයි. ගත යුත්තක් ඇත්තෙම නැහැ. මේ තියෙන සමාජ විද්‍යාපීඨ ටික වහලා දැම්මොත් කාටවත් කිසිම වැරැද්දක් සිද්ධ වෙන්නේ නැහැ. වෙන එකම දේ ඒ සමාජ විද්‍යා පීඨවල වැඩ කරන පිරිසගේ රස්සා නැති වෙන එක විතරයි. මට අනුව බටහිර සමාජ විද්‍යාවෙන් සමාජ,ආර්ථික දේශපාලනයට කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

 

 

මම

ඇතමුන් කියන්නේ ඔබ ශාස්ත්‍රීය දේශපාලන කටයුතුවලදී ජාතික චින්තකයකු තරම්වත් ශිෂ්ට නැති බවයි. ඔවුන්ට අනුව ඔබ චණ්ඩි මල්ලි කෙනෙක්.අන්‍ය මතවාද ඉවසීමටත් අපි පුරුදු පුහුණු විය යුතුයි නේද?

නලින්

ප්‍රවාදවලින් වගේම අනෙක් ඕනෑම විදියකින් සටන් කිරීමේ ශක්තිය මා ළඟ තියෙනවා.අඟුටුමිටි බුද්ධිමතුන්ගේ අසාරදෘෂ්ටිවාද මා පිළිකුලෙන් යුතුව බැහැර කරනවා.එහෙත් මං පොර මානසිකත්වයක් මට නැහැ.ඔය වචාලකමට නන්දොඩවන පඬිනැට්ටන්ට සිංහලත් බැහැ.ඉංග්‍රීසිත් බැහැ.මෙි රටෙි මාධ්‍ය සංස්කෘතිය තුළ පමණයි මෙි අය පොරවල් බවට පත්වෙලා තියෙන්නේ.



අදහස් (6)

අද ඉන්න පඬිනැට්ටන්ට සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ

Samantha yahampath Tuesday, 07 May 2024 07:41 AM

ඉතාම හොඳ ලිපියක්... ශශී ඔබ හොඳින් මහැදුරු නලීන් මහතා සමග සංවාදය කර තිබෙනවා. භාෂාව හරිම නිරවුල්. මෙය හැමෝම කියවිය යුතු සටහනක්.

:       2       5

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 07 May 2024 12:27 PM

එතකොට ඒ දෙකම පුළුවන් අයට කළහැකි එකම කාර්ය රාජපක්ෂලාගේ වැසිකිලි ශුද්ධ පවිත්‍ර කිරීමද?

:       4       1

Mangala Tuesday, 07 May 2024 05:17 PM

අපරාදේ නලින් ද සිල්වා ආචාර්යතුමා තව ටික කාලයක් ජීවත්වෙන්න ඕන කෙනෙක්. ඇත්ත කතා කල කෙනෙක්.

:       1       9

nihal Wednesday, 08 May 2024 07:22 AM

අන්තිමේදී එතුමා ලංකාවේදී මැරෙන්නවත් කැමැති නෑ කියලා මැරෙන්න ගියෙත් ඔහු විසින්ම පතුරු ගහපු ඇමෙර්කාවටමයි. ඔහුගේ ජාතික චින්තනය පුතාටවත් ලබාදෙන්න බැරිවුණා. ඔහු නැවතුනේ අමෙරිකානුවන්ට සේවය කරන්නෙක් ලෙස ඇමෙරිකාවේ. ඔහුගේ අනුගාමිකයින් රැවටුණා...

:       6       6

සෙනෙවිරත්න Wednesday, 08 May 2024 02:34 PM

හාහ්හා, තමන්ගෙ ඇටකටු පවා පොහොර කලේ හැමදාම දොස් කියපු ඇමරිකාවෙ, වෙන කුමන කතාද?

:       5       3

ෂර්මිලා දංවත්ත Wednesday, 08 May 2024 08:27 PM

එතුමන් මහා පඬිරුවනකි... ජාතියක වස්තුවකි.. එහෙත් තමන්ටම පිහිටා සිටිය නොහැකි අදහස් ගොන්නක එල්බ සිටීමෙන් එතුමන්ටම සිදුවූයේ අගතියකි...

:       3       3

ඔබේ අදහස් එවන්න

සාමීචිය

මම දෘෂ්ටිවාදී කඳවුරක විචාරකයෙක් නෙවෙයි
2024 ජුලි මස 23 875 0

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා


මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ
2024 ජුලි මස 16 1024 0

විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ
2024 ජුලි මස 09 968 1

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර


එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්
2024 ජුලි මස 02 859 0

ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයෝ මෙරට සිටින විශිෂ්ටත ම කවීන් අතළොස්ස අතර ප්‍රමුඛයෙක් වෙති.


එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර
2024 ජුනි මස 18 667 0

අද මෙරට සිටින ජ්‍යෙෂ්ඨත ම ජීවමාන සාහිත්‍යසූරීහු වන්නේ ගුණදාස අමරසේකරයෝය.ඔවුහු සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ


මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !
2024 ජුනි මස 11 818 2

සංගීතයේ විශ්වභාෂී ගුණය සුවිශද කරමින් අගනා නිමැවූම් රාශියක් රසික ප්‍රජාවට දායාද කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ සිංහල ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site