IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්

සාමීචිය - 13

 

 

ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයෝ මෙරට සිටින විශිෂ්ටත ම කවීන් අතළොස්ස අතර ප්‍රමුඛයෙක් වෙති. ඔවුහු සිංහල කවිය නව මානයකට ඔසවා තැබීමට ගත් වෙහෙස අප්‍රමාණ වෙති.සොබාදහම සහ මානව සංස්පර්ශය ඇසුරෙන් වාච්‍යාර්ථය ඉක්මවා යන ඉගැඹුරු වූත් ඉසියුම් වූත් ව්‍යංග්‍යාර්ථ  දනවන පද්‍යාවලියක් සහෘද පාඨක ප්‍රජාවට ප්‍රදානය කොට ඇති ඔවුහු කවිය කෙරෙන්   සාමාන්‍ය ජන ජීවිතයේ  දෛනික සමාජ අනුභූති දාර්ශනික තලයක් වෙත ඔසවා තැබූහ.සිවුවරක් ම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබූ වීරසිංහයෝ විද්වත් පර්ෂදවල විවිධ ඇගැයීම්වලට ද පාත්‍ර වූහ.

එළැඹෙන ජුලි මස 10 වැනි බදාදා සවස 2.30 ට කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී නන්දනගේ සතළිස් වසක් කවි නිමැවූම් පිළිබඳ "ප්‍රතිමානන" නමින්  උත්තමාභිනන්දන උළෙලක් ද පැවැත්වෙි. නන්දන වීරසිංහයන් සමඟ ලංකාදීප මතුමහලේ මෙි කතාබහ ඒ නිමිත්තෙනි.

 

මම

ඔබ ඉතා ඉවසීමෙන් දුර ගමනක් ආ රාජ්‍ය සම්මානිත  සුකීර්තිමත්  කවියෙක්.වසර හතළිහක් අඛණ්ඩව කවීත්වය පළ කිරීම වස් ඔබට පිදෙන මෙි "ප්‍රතිමානන" උත්තමාභිනන්දන උළෙල පිළිබඳ මුලින්ම අපි කතා කරමු.

නන්දන 

මෙය උපහාර උළෙලක්  ම නොවෙයි.නිර්මාණ ජීවිතයේ වසර 40ක් සපිරීම වෙනුවෙන් සිදු කරන යම් අනුස්මරණයක් ය කීම වඩාත් නිවැරැදි යි.ලංකා ලේඛක සංවිධානයත්,තවත් බාහිර රසික පිරිසක ගේත් එකමුතුවෙන් තමයි මේ උළෙල පැවැත්වෙන්නේ.මෙහි දී මගේ කවි නිමැවුම් ගැන විද්වතුන්  ලියූ ලිපි සංග්‍රහයක් ,"ප්‍රතිමානන" නමින් නිකුත් වෙනවා.මගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය "ගිං ගඟේ විලාපය "හා දෙවැනි කවි එකතුව වන "කිරි සුවඳැති රාත්‍රිය" මෙහි දී යළි තුන් වැනි වර මුද්‍රණ ලෙස එළිදකිනවා."මහත් සඳ පිනි බිඳෙක "නම් කාව්‍ය සංග්‍රහයේ ඉංග්‍රිසි පරිවර්තනය Massive moon in a dew drop නමින් ප්‍රකාශයට පත් වීමටත් නියමිතයි.මේ උළෙලේ ප්‍රධාන දේශනය පවත්වන්නේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතායි.

 

මම

කාව්‍ය බීජයක් පහළවීම සහ කාව්‍යයක් නිර්මාණය වීම අතර කලාත්මක ශ්‍රම වෙනස හඳුනා නොගත් කවියකුට සිය නිමැවුම් කෙරෙන් නව්‍ය වින්දනයක් සහ ගැඹුරු චින්තනයක් සුවිශද කිරීමට  අපහසුයි. එමෙන්ම උසස් ගණයේ කාව්‍ය නිමැවුමක් කිරීම සඳහා කවියකුට දැඩි කාව්‍ය සාංකාවක්( Poetical Anxiety ) ද තිබිය යුතුයි. කිසියම් කවියකුගේ කාව්‍ය පෞරුෂය ශක්තිමත් වීමට නම් මෙකී දැ ඉවහල් විය යුතු යැයි ඔබ කල්පනා කරනවද?

නන්දන 
 
අපහසු යමක් ඉටු කරගැනීමේ දැඩි ඇල්මකින් පෙරට යෑමක් තමයි ඔබ ඔය කියන කාව්‍ය සාංකාව.සමහර බටහිර විචාරකයෝ කියනව මේ සාංකාව,ගොඩබිමක් නොදැක සාගරයේ පිහිනායෑමක් වගේ කියලා.ඒ වගෙ ම ජනාකීර්ණ අවන්හලක ඇති වන සියලු කතාබහ කටපාඩම් කිරීමක් වගෙයි කියලා.කවියා කියන්නෙ ගවේෂණයක යෙදෙන්නෙක්.ප්‍රශ්න කිරීමක යෙදෙන්නෙක්.තමා සොයන දේට හැඩයක් ලබාදෙන්න ගවේෂණය කිරීමක් ,සාංකාවක් කවියකුට තියෙනවා .ඩබ්.බී.යේට්ස්,එලියට්,රිල්ක,ෆ්‍රොස්ට් ඇතුළු  තවත්  කවීන්ගේ නිමැවුම් ඇසුරේ මේ තත්වය අපට දකින්න පුළුවන්.අද අපේ සමාජයේ කොතරම් කවි ලියැවුණත්,ලෝ තතුව පිළිබඳ  සූක්ෂ්ම සෙවීම දකින්න නැහැ.ඔබ කියන කාව්‍ය පෞරුෂය කෙසේ වෙතත්,කවිය ම පවා අතිසරල ලෙස ගැනීමක් අද දකින්න පුළුවන් .හැම අතීත යුගයක දී ම කවිය විකල්ප විනෝද මාර්ගයක් ලෙස භාවිත වී නැහැ.මිනිසා ගේ පැවැත්මට කේන්ද්‍රීය වූ පහළ වීමක් ලෙස එමඟින් ආත්මීය වූ යමක් සපිරුණා.කවිය ඒකාන්තයෙන් ම මිනිසා  ආත්මික දරිද්‍රතාවට පත් වීමේ අවකාශය පටුකිරීමේ මෙහෙවරක යෙදෙන්නක්.එනිසා කවර සමාජයක් වුවත් කවිය භාවිත කළ යුත්තේ භාෂාවේත්,අධ්‍යාත්මයෙත් පුළුල් වීමට බලපාන සාහිත්‍යාංගයක් ලෙසයි.

 


මම

අපේ සාම්ප්‍රදායික මූලයන් සහිත කාව්‍ය ධාරාව ජනතා අතරින් මතු වූ එකක්. එහෙත්  බටහිරින් පැමිණි විවිධ කාව්‍ය දෘෂ්ටිවාද අපේ රසවින්දනය වෙනස් මඟකට යොමු කළ බව පෙනෙනවා. මෙහිදී වත්මන් කවිය කෙරෙන් සෞන්දර්ය විෂය අවභාවිතයට ගිය ආකාරයක්ද දක්නට ලැබෙනවා. අද ලියැවෙන බොහෝ නිසදැස් කවි හිතට බලකර ලියන ඒවා බවයි ඇතැමුන් කියන්නේ?

නන්දන 

ජනසාහිත්‍යය හැරුණු   කොට, සාම්ප්‍රදායික මූලයන් සහිත අතීතයට පවා කලාපීය සාහිත්‍යයික මාර්ග,ක්‍රමෝපායයන් බලපෑවා.සංස්කෘත සාහිත්‍යයේ වගෙ ම භාරතීය සංස්කෘතියේ ම ආනුභාවය දිගු කලක සිට ම අපේ සමාජයට පතිත වුණා.අපේ රටේ ලියැවුණු ජානකීහරණ මහා කාව්‍යයට මූලාශ්‍ර වුණේ රාමායණය.මේඝදූතය තනි පද්‍යයක් තුළට සාරාංශ කළා වගේ කවියක් සීගිරි කැටපත් පවුරෙ තිබෙනව (134 වැනි ගීය)කියල සුචරිත ගම්ලත් පඬිවරයා පවසනවා.සීගිරි පද්‍යයන්හි පවා සංස්කෘත සාහිත්‍යයේ ආභාසයෙන් නිර්මාණය කරගත් බොහෝ යෙදුම් තිබෙනවා.විවිධ ආකාරයෙන් සමස්ත රසවින්දනයේ වෙනස්කම් ඇති වෙනවා.ඒක ලෝ දහමක්.යහපත් ආභාසයයි අවශ්‍ය.බටහිරින්,නැගෙනහිරින් ගතයුතු මහා උරුමයක් කවියකුට කලාකරුවකුට තියෙනවා .මොන යහපත් සම්ප්‍රදායයන් ගෙ ආභාසය ලැබුවත් අවභාවිතයට යෑම්    වළක්වන්න බැහැ.මම නම් අවශ්‍ය සංවේදනය හටගත්ත ම හිතට බලකිරීමකුත් කරල නිර්මාණයේ යෙදෙනවා. 

 

මම

අද පළවන බොහෝ කවිවල කාව්‍ය ශ්‍රමය(Labour of poetry ) නැහැ.කාව්‍ය ශ්‍රමය නැති කවියක ආයුෂ කෙටියි නේද?

නන්දන 

අප කලින් කතා කළ කාව්‍ය සාංකාවට ම මේකත් අදාළ කරගන්න පුළුවන්.ලෝකය කෙමෙන් රේඛීය බවට පත් වන කොට,කාව්‍යය එහි අර්ථය අපට අහිමි කරනව ය කිව්වෙ මහා ආධ්‍යාත්මික චින්තක ඕෂෝතුමා.මේ වගෙ වියවුල් සමාජවල කාව්‍යයේ භාෂාව අන්තර්ධාන වෙනවා.බසේ එදිනෙදා භාවිතය මුඛරි ලෙස යොදාගන්නවා.අතීතයෙන් ගතයුත්ත අරගෙන නැහැ .ලොවින් ගතයුතු මාහැඟි දේ ගෙන නැහැ.මේවා නොසලකා යන සමාජයක් අතිශය දිළිඳුයි.විශාල රසික පිරිසකගේ අත්පොළසන් නෙවෙයි අවශ්‍ය.තමා ගේ සාහිත්‍යාංගයේ අපේක්ෂා අනුව කටයුතු කිරීම.

 

මම

ඕනෑම රටක කොයි කවර කාලෙකවත් කවියන් බුරුතු පිටින් බිහිවන්නේ නැහැ. එහෙත් අපේ රටේ පඳුරකට පයින් ගැහුවහම  කවියෝ හැට හුටාමාරක් විතර එළියට විසි වෙනවා.අද කවියන්ට වඩා කවි ලියන පිරිස වැඩියි.එහෙත් ආප්ප බානවා වගේ කවි ලියන්න පුළුවන්ද?

නන්දන 

කවිය වැනි ඉමහත් දුෂ්කර සාහිත්‍යාංගයක් අතිසරල ලෙස ගැනීමක් සිදු ව තිබෙනවා.ඉතා පහසුවෙන් කවියන් කිවිඳියන් වීමේ මාධ්‍යය ලෙසයි කවිය භාවිත වන්නේ.ඒත් මේ දුෂ්කර ව්‍යායාමයේ දශක පහක් පමණ යෙදුණත්, අදත් මා නම් කවිය අලුතින් වටහාගන්නා ස්වභාවයකයි ඉන්නේ.කවිය සරල කටයුත්තක් ය කියා වටහාගෙන  ඉන්න අය, එය වගකීමක් ඇති විෂයයක් ලෙස සලකා කටයුතු කරන තැනට එන්න අවශ්‍ය යි.හැඟීම් සංවේදනා බවට පත් වෙලා ,ඒ සංවේදනයන්ට චින්තාව මුසු වීම අවශ්‍ය යි.චින්තාවට ඊට නිසි බස මුණගැස්වීමත් අවශ්‍ය යි.කවිය බිහි වන්නෙ එවිටයි.

 


මම

ගුණදාස අමරසේකර මුල් කාලයේදී නිසඳැස් කවිය පතුරු ගැහුවා.ඔහුට අනුව නිසඳැස් කවිය ලංකාවෙි මුල් බැසගත් වල් පැළෑටියක්.එහෙත්  අන්තිමට අමරසේකරත් නිසඳැස්  ආරේ කවි ලිව්වා.මෙබඳු ඊනියා අඳෝනා ගැන ඔබට මොකද හිතෙන්නේ?

නන්දන 

කවිය අන්තගාමීන්ගේ රණ්ඩු සරුවල් මැද්දෙ ම ස්වකීය මඟ සොයාගැනීම හැම විට ම සිදු කළා.අවශ්‍ය වන්නෙ එකඑක ප්‍රවාද නෙවෙයි .කවියේ ආභ්‍යන්තරික ස්වභාවයේ  වැඩීමට අවශ්‍ය අවබෝධය සඳහා මඟ පෙන්නන සංකථනයි.ඔහු කියූ ඒ වල් පැළෑටිය අද සුහුඹුල් පලබර තුරක් සේ මුල් අල්ලා අවසන්.

 

මම

චිත්තරූපික ගුණය රැකගෙන කාව්‍යෝක්ති ගොඩනගන කවීන් අපට ඉන්නේ අතළොස්සක් තරම් ප්‍රමාණයක්.ඒ පිරිස හැමවිටම තමන් ලියන කවියේ ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් වෙනවා.එහෙත් තරුණ පරපුරේ කවීන්ට මෙි ගැන නිනව්වක් නැහැ.ඔවුන්ගේ බොහෝ කවිවල දීපක ගුණය නැහැ.එහෙත් දැල් නොවන කවියකින් පලක් තිබෙිද?

නන්දන 

චිත්තරූප කියන අත්‍යවශ්‍ය අංශය ගැන එතරම් ලොකු අවධානයක් ‍යොමු නො වූ බවයි මගේ හැඟීම.කවියේ චින්තාව දොඩමලු බවින් තොර ව දැනැවීමෙදි චිත්ත රූප නොහොත් ඉන්ද්‍රීය රූප තමයි ප්‍රමුඛ වන්නෙ.සංවේදනාවත්,බුද්ධි විෂයක ගුණයත් එකවර දරා සිටීමෙ නියෝජිතයෝ  තමයි චිත්තරූප.මේවා ගැන අද කිසිදු අවධානයක් නැති බවකුයි පෙනී යන්නෙ.රණවීර කවියගේ කාර්යාල කාර්ය සහායකගේ මරණය කියන කවිය වත් කියවන්න කියල අපේ අභිනව කවි කිවිඳියන් ගෙන් ඉල්ලා සිටින්න මම කැමති යි.මැරුණු තැනැත්තා ගැන කිසි විස්තරයක්,ඔහු ගේ මරණයට හේතු වූ කාරණ කිසිවක් ඒ කවියේ නැහැ.එහෙත් ච්ත්තරූපික ඇඟැවීම් මඟින් සියල්ල අපට කාන්දු වෙනවා.ඒ කවියේදී අවට පරිසරයේ නියං ස්වභාවය ගැන එන ඉඟිලෑම් කාකාස ගේ ජීවිත තතුව ම අඟවන්න සමත් වෙනවා.

 

මම

ඔබ මුල් අවදියේ ලියු ගිං ගඟේ විලාපය,කිරි සුවඳැති රාත්‍රියක් වැනි කාව්‍ය කෘති කෙරෙන් බොහෝවිට කතා කළේ රටෙි පවතින සාමාජ ආර්ථික සහ මානුෂික  ගැටලු ගැන.දුම්මල ගලට ගිය අම්මා,නියං රකුසා වැනි නිර්මාණ ඊට උදාහරණ ලෙස ගිණිය හැකියි.එහෙත් පසුකාලීනව ඔබ සංක්ෂිප්ත කාව්‍ය එක්ක ගැඹුරු ගනුදෙනුවකට යනවා.හයිකු කාව්‍ය සම්ප්‍රදාය හදාරමින් ගැඹුරු නිමැවූම් බිහි කරනවා.මහත් සඳ පිනි බිඳෙක,ගිරග,චන්ද්‍රබිම්බ,රැය කරා ගමන,ක්ෂණ නියාම,වැනි කාව්‍ය කෘති ඔස්සේ ඔබ කාව්‍ය කූටයට ළඟා වී ඇති බව පෙනෙනවා.ඔබ ආ ගමන් මඟ ගැන අතීතාවලෝකනයක යෙදුණොත්?

නන්දන 

කවියා එක ම සුපුරුදු මඟක යා යුතු නැහැ.අතුරු අඩිපාරවලත් යා යුතුයි.ගිං ගඟේ විලාපයේ කවිවලට අදත් රසිකයන් කැමැති වුණත්,එතැන ඉක්මවා යන්න අවශ්‍ය යි.ලෝක කාව්‍යයේ හැඩරුව නැණ පමණින් විමසා බැලීම අත්‍යවශ්‍ය යි.උස් ගසක් පොළොවට මුල් අදිනව වගේ ම,අහසටත් අතු විදාලන්න ඕන.දේශීය කාව්‍ය උරුමය වගේ ම අන් ලෝක නිර්මාණකරුවන් ගෙනුත් යමක් ලබාගනිමින් යා යුතුයි කියන අදහසේ මා කටයුතු කළා.කවියේ ස්වභාවය වටහාගනිමින් ,වැරැදීම් මඟින් නිසි මඟ සොයාගනිමින් දශක හතරක් ම,වෙන කිසිදු බැබළෙන කලාවක නිරත නො වී කවියේ ම නිමග්න වෙමින් ආ ගමනක් මේ..!

 

මම

නූතන නිසඳැස් කවිය දියුණු තියුණු කිරීමෙහිලා වෙහෙසෙන කවියකුට බොල් පුද්ගල මතවාද හමුවේ නොසැලී,නොබියව ගමන් කිරීමට අවශ්‍ය සම්‍යඥානය තිබිය යුතුයි.එහෙත් ව්‍යාජතේජසට නතු වූ  ඇතැම් තරුණ කවීන් සබන්පෙණ බුබුළු මෙන් පිම්බෙනවා.දුර ගමනක් යන කවියකුට මෙි ව්‍යාධිය හැදුණොත් මොකද වෙන්නේ?

නන්දන 

ඔව්,මේ කවියේ ගමන්පථය පහසු නැහැ.බොහොම වේගයෙන්  කවියන් වෙන්න බැහැ.කවිය වගේ ම ඊට පිටුදෙන විවිධ ක්ෂේත්‍ර එනම් ආගම,දර්ශනය,ජනවේදය ඇතුළු  සමස්ත කලාවේ හැසිරීම ගැනත් සොයන්න වෙනව කවියකුට.මා වෙසෙසින් කැමැත්ත දක්වන්නෙ,චීන හා ජපන් කාව්‍යය හා ඊට පිටුදෙන තාඕ,සෙන් චින්තාවන්ටයි.පැරැණි ඉන්දීය විචාරවාද,උපනිෂද් ආදි මහා උරුමයන් ගෙන් කවියකුට ලබාගත හැකිදේ බොහොම යි.ථෙර ථෙරි ගාථා,ධම්මපදය අත් හරින්න බැහැ.දිගු ගමනක් යන්න කැමැති කවියකුට,හයිකු කාව්‍යයේ ස්වභාවය මනා ව වටහාගැනීමෙන් සරුඵල ලබාගත හැකියි.මා ආ ගමන බාධක,ගැරැහුම් ආදි‍යෙනුත් යුක්ත වුණා.ජයග්‍රහණත් තිබුණා.ඒත් තව දු‍රටත් වැඩ කළ යුතුයි.පරිපූර්ණ වීම යන්න ජීවිත කාලය තුළ කළ හැක්කක් නොවෙයි.කවිය ගෞරවයෙන් වටහාගනිමින් මෙතෙක් ඒමට ලැබීම ගැන නම් සතුටක් තිබෙනවා .



අදහස් (0)

එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්

ඔබේ අදහස් එවන්න

සාමීචිය

මම දෘෂ්ටිවාදී කඳවුරක විචාරකයෙක් නෙවෙයි
2024 ජුලි මස 23 875 0

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා


මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ
2024 ජුලි මස 16 1024 0

විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ
2024 ජුලි මස 09 968 1

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර


එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්
2024 ජුලි මස 02 859 0

ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයෝ මෙරට සිටින විශිෂ්ටත ම කවීන් අතළොස්ස අතර ප්‍රමුඛයෙක් වෙති.


එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර
2024 ජුනි මස 18 667 0

අද මෙරට සිටින ජ්‍යෙෂ්ඨත ම ජීවමාන සාහිත්‍යසූරීහු වන්නේ ගුණදාස අමරසේකරයෝය.ඔවුහු සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ


මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !
2024 ජුනි මස 11 818 2

සංගීතයේ විශ්වභාෂී ගුණය සුවිශද කරමින් අගනා නිමැවූම් රාශියක් රසික ප්‍රජාවට දායාද කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ සිංහල ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site