IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


හතරවැනි තට්ටුවට ගිය කැරැලිකාර ලේඛකයා

සාමීචිය - 9

 

 

සමාජයේ සාම්ප්‍රදායික මතවාද පොඩිපට්ටම් කරමින් නූතනයට ඔබින අදීන මිනිසකු නිර්මාණය කරගැනීමට සාහිත්‍ය වෙනුවෙන් මුළු ජීවිතය ම කැප කළ  ටෙනිසන් පෙරේරා මෙරට සිටින අද්විතීය ලේඛකයෙකි.

නවකතා,කෙටිකතා,පරිවර්තිත සාහිත්‍ය පතපොත සිය ගණනක් ඔහු විසින්  ලියා පළ කොට ඇත.ටෙනිසන් සාහිත්‍ය ලෝකයේ කැරලිකාරයෙක් ද වෙයි.ඔහු තරමක් ආන්දෝලනයට තුඩුදුන් කෙටිකතා,නවකතා කිහිපයක් ම ලියූවෙිය."දැතිරෝදෙන් උපන් බුදුන්"නමැති කෙටිකතාව නිසා ඔහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හතරවැනි තට්ටුවට ද යෑමට සිදුවිය.මෙනයින් ටෙනිසන් පෙරේරා යනු ස්වකීය සාහිත්‍ය නිර්මාණ තුළින් පාඨකයා බුද්ධිවාදී එළැඹුකට රැගෙන යාමට ප්‍රමුඛ වූ ලේඛකයෙකි.දේශපාලන අාඛ්‍යානයක් වූ ඔහුගේ සාහිත්‍ය නිර්මාණ කියවා බැලිය යුත්තේ නිශ්චිත සන්දර්භයක පිහිටුවා  තබාය. ප්‍රවීණ ලේඛක කමල් පෙරේරා සහ මහාචාර්ය කුලතිලක කුමාරසිංහ විසින් සංස්කරණය කළ "පරිකල්පන" නමැති   ටෙනිසන් පෙරේරා  උපහාර කලාපයෙන් මෙම සම්මුඛ සාකච්ඡාව උපුටා ගන්නා ලදී.

 

මුලින්ම අපි ඔබේ සාහිත්‍ය ජීවිතය ඇරඹුණු ආකාරය ගැන කතා කරමු ද?

ටෙනිසන් පෙරේරා ලේඛකයා සාහිත්‍ය කරළියට පිවිසුණු අන්දම විමසීමේ නොඉවසිල්ලෙන් පසු වූ මම ඊට මග පාදා ගතිමි.

" මම රජයේ මුද්‍රණාලයට බැඳෙන කාලයේ කතා ලිවීමේ ආසාවක් තිබුණා. ඒ වෙන කොට බහුල වශයෙන් පොත් කියවලා හොඳ පන්නරයක් මට ලැබී තිබුණා. මුද්‍රණාලයේ පරිපාලන අංශයේ සේවය කරපු විමලසේන විතානපතිරණ මට දැන හැඳින ගන්න ලැබුණේ ඔය අතරතුරෙයි. ඔහු ලේඛන කලාවට නැඹුරු කෙනෙක්. කෙටිකතාවක් ලියන ලෙස ඔහු මට ආරාධනය කළා. මට මතක හැටියට මගේ මුල්ම කෙටිකතාව ලියැවුණේ නවසිය හැට ගණන්වල ඒ කතාව බලලා විතානපතිරණ මහතා එහි ගුණදොස් දක්වලා සටහනක් දමා දුන්නා. ඒ උපදෙස් අනුව මම දිගට ම ලිව්වා. මේ විදිහට කතා සීයක් විතර ලියන්න ඇති. හැම කතාවක් ම බලා ගුණදොස් පෙන්වා දීම එතුමා ඉතා කැමැත්තෙන් ම කළා.

වැල්ලම්පිටියේ සාහිත්‍යකාමීන් පිරිසක් හඳුනා ගන්න ලැබුණෙත් ඔය අතරතුරයි. නිමල් සරත් චන්ද්‍ර කියලා තරමක් ප්‍රසිද්ධ ලේඛකයන් ඒ කණ්ඩායමේ හිටියා. දීප්ති නමින් සඟරාවක් ඔවුන් පළ කළා. නිමල් මහත්තයා මට ආරාධනා කළා ඒකට කවියක් ලියන්න කියා. මුද්‍රිත ප්‍රකාශනයක පළ වුණු මගේ මුල් නිර්මාණය තමා ඒ කවිය. ප්‍රවීණ ලේඛක ධර්මසිරි ගමගේ මහතා පදිංචි වෙලා උන්නෙත් වැල්ලම්පිටියේ. එතුමා ඒ කාලේ සිංහල බෞද්ධයා පත්තරේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක්. ගමගේ මහත්තය ගෙනුත් මට ලොකු රුකුලක් ලැබුණා. ඉඩක් ලැබුණු හැම වෙලාවක ම උන්නැහෙගෙ ගෙදරට ගිහින් සාහිත්‍ය ගැන කතාබහ කරන්න මම පුරුදු වෙලා හිටියා.'

ටෙනිසන් පෙරේරා සූරින් තවදුරටත් විස්තර කළ පරිදි ධර්ම සිරි ගමගේ මහතා ලංකාදීපයට එක් වූ පසුව ප්‍රසිද්ධ ලේඛකයන් රැසක් ම හඳුනා ගැනීමේ භාග්‍යය අප මිතුරාට හිමි විය. එකල ප්‍රසිද්ධ සඟරාවක් වූ රසවාහිනිය සංස්කරණය කළ ප්‍රවීණ ලේඛක මහානාම දිසානායක, එහි උප කර්තෘ කීර්ති කලහේ වැනි ජ්‍යෙෂ්ඨයන් ඇසුරු කිරීමට ටෙනිසන්නට වරම් ලැබිණි. ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ මලක මහිම නම් කෙටිකතාවක් රචනා කොට රසවාහිනියේ පළ කෙරිණි. එය ටෙනිසන් පෙරේරාගේ ප්‍රථම මුද්‍රිත කෙටිකතාවයි.


මින් දිරිමත් වූ අප ලේඛකයා දිගටම කෙටිකතා ලිවිය. අරලිය සුවඳ හා මා ඔබාමා පසුව නමින් තවත් කෙටිකතා දෙකක් රසවාහිනියේ පළ විය. මා මළාට පසුව කෙටිකතාව ටෙනිසන් පෙරේරා නම් කැරලිකාර ලේඛකයාගේ සාහිත්‍යාවතරණය වසන් කරන පෙරළිකාර නිර්මාණය බවට පත් විණ. පාඨක විචාරක දෙපාර්ශ්වයේ ම අවධානය ඔහු වෙත යොමු වන්නට වූයේ මෙම නිර්මාණය රසවාහිනියේ පළ වීමෙන් ඉක්බිති ව ය.

" ඒ පොත කියවපු හුඟදෙනෙක් මට යෝජනා කළා පොතක් අච්චු ගහන්න කියලා. කව්ද ඉතින් මං වගේ මිනිහෙක් ගෙ පොත් ගහන්නේ. ඒ කාලෙ ජගත් කියලා යාළුවෙක් මට හිටියා. මිනිහ අතමිට ටිකක් සරු හෘදයෙක්. ජගත් කිව්වා පොතක් ගහන්න එයා වියදම් කරන්නම් කියලා. "මිනිසා" කියල කෙටිකතා එකතුවකුත් හදා ගෙන අපි දෙන්නා ප්‍රෙස් එකක් හොයා ගෙන ගියා. එක ප්‍රෙස් එකක් එක්ක කතා කර ගෙන රුපියල් 500 ක ඇඩ්වාන්ස් එකකුත් දිලා පොත බාර දුන්නා. ටික දවසකට පස්සේ ප්‍රෙස් එක පැත්තේ ගියහම තමයි දැන ගත්තේ ප්‍රෙස් එකත් වහලා මිනිස්සු අතුරු දහන් වෙලා ඇති බව. අන්තිමට පොතත් නැහැ. ජගත්ගෙ සල්ලිත් වතුරේ.

මේ සිද්ධියෙන් පසු සාහිත්‍ය කටයුතුවලට මඳක් සමු දුන් ටෙනිසන් නාට්‍ය කලාව දෙසට යොමු විය. ඔහුගේ මිතුරකු වන ලීලාරත්න කංකානම්ගේ "අලුත්" පාර නමින් නාට්‍යයක් නිෂ්පාදනය කළේය. අප ලේඛකයා ලීලාරත්න සමග එක් වී නාට්‍යයත් අරගෙන තැන් තැන්වල ගියේ ය. එකල තරුණ නාට්‍යකරුවන් වූ සුමන ආලෝක බණ්ඩාර හා රෝහණ කස්තුරි සමඟ ද ටෙනිසන් මිතුදම් වඩා ගත්තේ ය. රෝහණ කස්තුරිගේ නාට්‍ය පිටපතක් වූ පරසක්වළ අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරනු ලැබුවේ ටෙනිසන් පෙරේරා විසිනි. එතැනින් නොනැවතුණු ටෙනිසන් නාට්‍ය වේදිකාවේ තවත් පිය සටහනක් තබමින් ටෙලිෆෝන් කණු නමින් ස්වතන්ත්‍ර නාට්‍යයක් නිර්මාණය කළේය. එය කොට උඩ ගියේ ය. එතැනින් ටෙනිසන්ට නාට්‍ය කලාව ද තිත්ත විය.

නාට්‍ය කරපු කාලෙ හුඟක් දවස්වලට ලුම්බිණියේ ඉඳලා ගෙදර එන්ඩ වුණේ පයින්. සමහර දවසකට වරාය රෑ බස් එක අල්ලා ගත්තා. රෑ දෙකට තුනට ගෙදර ඇවිත් තාත්තගෙන් හොඳට ම බැණුම් අහලා පෙළක් දවසට නින්දට වැටුණෙ රෑට කන්ඩත් නැතුව.' නාට්‍යකාරයකු වීම සඳහා විඳින්නට වූ ගැහැට සිහිපත් කරමින් ටෙනිසන් පැවසීය.

ටෙනිසන් පෙරේරා යනු ගවේෂණාත්මක චරිතයකි. නව මංපෙත් සොයා යාම ඔහුගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයක් විය. බුදු දහම ද ඔහුගේ ගවේෂණ චාරිකාවේ එක් ඉසව්වකි. කලක් ඔහු බුදු දහමට තදින්ම නැඹුරුව සිටියේ ය. ටෙනිසන්ගේ වචන වලින් ම අපි ඒ පිළිබඳ වැඩිමනත් තතු දැනගනිමු.

* අපිට ගමේ සිරිසුනන්දාරාම දහම් පාසලේ දී ගැඹුරු යථාවබෝධයක් ලැබුණු බව මම කලිනුත් කිව්වනේ. බාරොන් මහත්තයා තමා අපිට අභිධර්මය ඉගැන්නුවේ. විනය පිටකය. අංගුත්තර නිකාය වගේ පොත්වල කරුණු කට පාඩමින් දැන හිටියා ඒ කාලේ. මේ හින්ද ම මම බාහිර උපාධියට බෞද්ධ දර්ශනයත් එක් කර ගත්තා. නමුත් සිලබස් එකේ බෞද්ධ දර්ශනයට ලොකු ඉඩක් තිබුණේ නැහැ. හැබැයි හින්දු දහම වගේ ආගම් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා. භගවත් ගීතාව හඳුනා ගත්තා.

" පස්සෙ කාලයක දී ගමේ පන්සලේ හිටපු උගත් ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුරු හැර යද්දී උන්වහන්සේ සතුව තිබුණු පොත් ගොඩක් මට දුන්නා. රජයේ මුද්‍රණාලයේ ප්‍රබල බෞද්ධ සංගමයකුත් තිබුණා. ඒකෙන් පළ කරපු "නිවන් මඟ" සඟරාවට ලිපි ලියන්නත් මට අවස්ථාවක් ලැබුණා. ටික කාලෙකට පස්සෙ නිවන් මඟ සඟරාවේ සංස්කාරකකම මට පැවරුණා. එහි මුහුණුවර වෙනස් කරලා ගැඹුරු ආගමික කරුණු අළලා ලිපි පෙළක් මා පළ කළා. පුනරුත්පත්තිය, පංචශීල ප්‍රතිපත්ති, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය හා බෞද්ධ මනෝ විද්‍යාව වගේ ගැඹුරු විෂයන් නිවන් මඟ සඟරාව ඔස්සේ විමසුමට ලක් කළා.

වසර කිහිපයක් තුළ නිවන් මඟ සඟරාවේ කලාප 15ක් පමණ සංස්කරණය කිරීමට ටෙනිසන් සමත් විය. ඒ කාලය අතරතුර ගැඹුරු දහම් අවබෝධයක් ලැබීමට මෙන්ම කන්නිමහර සුමංගල හිමි හා බලංගොඩ පඤ්ඤාවංස හිමි වැනි වියත් භික්ෂුන් වහන්සේගේ ඇසුර ලබන්නට ද ඔහුට වාසනාව හිමි විණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප මිතුරා කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයට ගොස් භාවනා අභ්‍යාස වලද නිරත විය. භාවනාවෙන් සෑහීමකට පත් නොවූ ඔහු හැව්ලොක් ටවුමේ ස්වාමි විවේකානන්දන් යෝගි ආශ්‍රමයට ඇතුළු වී යෝගි අභ්‍යාස ද ප්‍රගුණ කළේ ය

මේ කාලයේ මට දැනුණා මාව කාන්දමකට ඇදිලා යනවා වගේ. ඒත් එක්කම නොයෙක් විදිහේ ප්‍රශ්න මගේ හිතේ වැඩ කරන්න පටන් ගත්තා. කොටින්ම කියනවා නම් මනුෂ්‍ය ජීවිතයේ යථාර්ථය පිළිබඳව දෙගිඩියාවක් හිතේ මතු වුණා. මෙය ටිකෙන් ටික වැඩි දියුණු වෙලා මානසික ව්‍යාකූල භාවයට පත්වුණා. මේ තත්වය තවත් මෝරා එනකොට මට මානසික ප්‍රතිකාර ලබන්න සිද්ධ වුණා. මනෝවිද්‍යාත්මක උපදෙස් ලබා ගත්තා. සිංහල බෙහෙත් බිව්වා. මම නැවතත් යථා තත්වයට පත්වුණේ මාස හතරකට පහකට විතර පසුවයි."

මිනිස් චෛතසිකය විග්‍රහ කරන වෙනත් දර්ශනවාද වෙත එබී බැලීමේ කුහුලත් ටෙනිසන්ගේ සිතේ වැඩෙන්නට වූයේ ඇද වැටී සිටි මානසික ව්‍යාකුලත්වයෙන් පූර්ණ ලෙස මිදුණු පසුව ය. එතෙක් කල් පෙරදිග දහම් හා දර්ශනවාදවලට ආසක්ත ව සිටි ටෙනිසන් බටහිර දර්ශනවාද කෙරෙහි අවධානය යොමු කරන්නට පටන් ගත්තේ ය.

"සුගතපාල ද සිල්වා ප්‍රමුඛ කලාක කරුවන් කණ්ඩායමක් භවසත්තාවාදය පිළිබඳ සංවාදයක් ආරම්භ කළේ මේ කාලේ. ලෞකිකත්වය ඇසුරෙන් මතු වන ගැටලුවලට ප්‍රායෝගික විසඳුම් සපයන දර්ශනවාදයක් හැටියට භවසත්තාවාදය මාගේ සිත් ගත්තා. සාත්‍රේලාගේ ආදේවවාදී දර්ශනයට මම ආකර්ශනය වුණා. ඔවුන් ජීවිතයට සහනයක් යෝජනා කරන්නේ ජීවිතය විඳවීම තුළින් කලාවේ නිරත වීම නිසා මිනිසාගේ අභ්‍යන්තරික පීඩනය තනුක වෙනවා. එය වැදගත් ලක්ෂණයක්. කැමූ නිෂ්ටාව පිළිබඳ ව කරන යෝජනා මෙසේ කැටි කර දක්වන්න පුළුවන්. 1. දිවිනසා ගැනීම. 2. විඳවීම තුළ දිගට ම නිතර වීම. මම කැමති දෙවැනි යෝජනාවට.

ඒත් එක්කම හදාරපු ඩෙකාට්ගේ බුද්ධිවාදය, කැමූගේ දර්ශනය තවදුරටත් තේරුම් ගැනීමට රුකුලක් වුණා. ඩේවිඩ් හියුම්ගේ අනුභූතිවාදය කියවීම තුළ පීඩනය පිළිබඳ ගැඹුරු සත්තාව අවබෝධ කර ගත්තා. කලාකරුවාගේ පරිකල්පනය ගැඹුරු ව ප්‍රකාශ කළ හැකි මෙවලම් රැසක් මෙම දාර්ශනික සංකල්ප හරහා මට ලැබුණා.

අප මිතුරාගේ මනස බටහිර දර්ශනවාද කෙරෙහි නැඹුරු වෙමින් පැවති මේ කාලය වන විට මාර්ටින් වික්‍රමසිංහ, ඩබ්ලියු. ඒ. සිල්වා, හේමපාල මුනිදාස හා ගුණදාස අමරසේකර ආදී පුරෝගාමීන් කිහිදෙනෙක් ම හිටියා.

සාහිත්‍යයේ මං සලකුණු තැබූ ලේඛකයන් ලෙස සැලකෙන එඩ්ගා ඇලන් පෝ, ගී ද මෝපසාං, ඕ. හෙන්රි, චෙකෝෆ් හා පියදෝර් දොස්තෙව්ස්කි වැන්නන්ගේ සිට නූතනවාදී ප්‍රවණතා නියෝජනය කරන ජේම්ස් ජොයිස් හා ෆ්‍රාන්ස් කෆ්කා බඳු ලේඛකයන් දක්වා ටෙනිසන්ගේ සාහිත්‍ය අධ්‍යයනය පැතිරී ගොස් තිබිණ.

විශ්ව සාහිත්‍යයේ හැදෑරීම් එසේ සිදුවෙද්දී බුදුදහම, හින්දු දහම වැනි ලෝකෝත්තර දහම් සමග සාත්‍රෙ, ඩෙකාට්, හියුම් හා මාක්ස් ප්‍රමුඛ ලෞකික දර්ශනවාදීන්ගේ මතවාද ද ටෙනිසන් පෙරේරා ලේඛකයාගේ ජීවන දෘෂ්ටිය කෙරෙහි බලපාමින් තිබිණ. දේශීය සාහිත්‍යය ව්‍යාපාරය නව දිසානතියකට යොමු කළ යුතු යයි ඔහුගේ යටි සිත බලපෑම් කරන්නට පටන් ගත්තේය.

" ඒ වෙන කොට යථාර්ථවාදී ආඛ්‍යාන රීතිය තමා වික්‍රමසිංහ ප්‍රමුඛ හැම ලේඛකයෙක්ම වගේ අනුගමනය කරමින් හිටියේ. ඒ අයගේ පොත්පත් කියවන කොට මට හිතුණා වෙනත් ශෛලියක් අත්හදා බලන්න ඕනෑ කියලා. රසවාහිනියට ලියපු කෙටිකතාවලට ලැබුණු ධනාත්මක ප්‍රතිචාරත් මේකට උත්තේජනයක් වුණා. මගේ 'මිනිසා' කියන නැති වුණ කෙටිකතා අත්පිටපත මුද්‍රණය කරගන්න පුළුවන් වුණා නම් නව ශෛලියක් ගොඩනගන්න මම දරපු උත්සාහය ගැන හොඳ සාක්ෂියක් වෙනවා. නමුත් අවාසනාවකට ඒ පොතේ කටු සටහනක්වත් පස්සෙ මට හොයාගන්න බැරි වුණා."

 

ඔබට හතරවෙනි තට්ටුවෙ තපින්න සිද්ධ වුණෙත් ඔය කියන නව ශෛලිය අත්හදා බලන්න ගිහින් නේද? 

 පොතක් ලිවීමේ වරදට රහස් පොලිස් අත්අඩංගුවට පත් ශ්‍රී ලංකාවේ ප්‍රථම ලේඛකයා වන ටෙනිසන් පෙරේරා ලද ඒ බිහිසුණු අත්දැකීම පාඨක ප්‍රජාව හමුවේ මුදාහරින ලෙස මම ඔහුට ඇරයුම් කළෙමි.

" මගේ දෙවැනි කෙටිකතා සංග්‍රහය "දැති රෝදෙන් උපන් බුදුන්" ප්‍රකාශයට පත් වෙන්නේ 1967 දී. ජන සමාජය වගේ ම ශාසනයත් පරිහානියට පත්වෙමින් පැවති ඒ කාලයේ. යුග අවශ්‍යතාවලට ගැළපෙන බුදුවරයෙක් අවශ්‍යය කියන කාරණය තමා මම ඒ පොතෙන් මතු කරන්න උත්සාහ කළේ. තණ්හා ආශා පලවා හැරීම වැනි සාම්ප්‍රදායික බණ දහම්වලට වඩා සමාජයේ ඕනෑ එපාකම් අනුව හැඩ ගැහුණු හරවත් දහමක අවශ්‍යතාවත් මම මතු කළා. මේක සාහිත්‍යකරුවෙක් ආගමික මතවාදයක් නැවත 
පරිකල්පනයකට ලක් කිරීමක් හැටියට දියුණු පාඨක විචාරක ප්‍රජාව භාර ගනියි කියන සිතුවිල්ලත් මගේ යටි හිතේ තිබුණා.

" ඒත් බෞද්ධ සම්මේලනය ඇතුළු ප්‍රභූ භික්ෂුන් පිරිසක් මේක බෞද්ධ විරෝධී, නාස්තිකවාදී වැඩක් හැටියට හංවඩු ගහලා මට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. මිහිරි හඬින් ධර්ම දේශනා කරන ප්‍රසිද්ධ හිමිනමක් ගැනත් මගේ පොතේ කියවෙනවා. සමහර භික්ෂූන් එවැනි දේවල් තමන්ට ආදේශ කර ගත්තු බවකුත් දකින්න ලැබුණා. ද්වේශ සහගත චේතනාවෙන් බුදුදහම සමව්වලයට ලක් කිරීම යන චෝදනාව යටතේ රහස් පොලීසියෙන් ඇවිත් මා හතරවැනි තට්ටුවට අරන් ගියේ මම රජයේ මුද්‍රණාලයේ වැඩ කරමින් ඉද්දි.''

 

අප ජ්‍යෙෂ්ඨ ලේඛකයාගේම වචනවලින් විස්තර කරන්නේ නම් එතැන් සිට සිද්ධිය දිග හැරුණේ මෙසේය.

 ඔහු රැගෙන ගියේ කොතැනට දැයි කිසිවකුත් දැන සිටියේ නැත. උදේ 9 සිට පැය 5 ක පමණ කාලයක් සහකාර පොලිස් අධිකාරිවරයෙක් ටෙනි සන්ගෙන් ප්‍රශ්න කළේ ය. පොලිස් නිලධාරියා උපාධිධාරියකු මෙන්ම සාහිත්‍ය කලාවන්ට රුචි කරන පුද්ගලයකු බව ඒ ප්‍රශ්න කිරීම තුළ ටෙනිසන්ට වැටහිණි.
 

උසාවියේ නිරුවත ප්‍රදර්ශනය කිරීම, භික්ෂුවක් තරුණියක දූෂණය කිරීම වැනි සිද්ධි පොතකට ඇතුළු කළහම බෞද්ධයන් කැලඹෙනවා නේද? පොලිස් නිලධාරියා විමසීය.

කවුද කැලඹෙන්නේ කියන එක ගැන සිතීම ලේඛකයාගේ කාර්යභාරය නෙවේ.' ටෙනිසන් පැකිළීමකින් තොර ව පොලිස් නිලධාරියාට උත්තර බැන්දේය.

කට උත්තරයක් ගැනීමට අමතරව, නිවෙසේ හා වෙළෙඳසල්වල තිබූ සියලු පොත් ආපසු එකතු කර ගැනීම සඳහා පොලිස් නිලධාරීහු ටෙනිසන්ව තැනින් තැනට කැඳවාගෙන ගියහ. නැවත පොත අලෙවි නොකිරීමට හා මුද්‍රණය නොකිරීමට එකඟ කරවා ගෙන පොලීසිය ටෙනිසන් නිදහස් කරන විට රාත්‍රිය 9ත් පසු වී තිබිණ.

එවකට රටේ ජීවත් වූ ප්‍රකට ලේඛකයන් හෝ ජන නායකයන් කිසිවකුත් ටෙනිසන් පෙරේරාට සිදු වූ කරදර හිරිහැර පිළිබඳ ව වචනයකුදු කතා කළේ නැත.
අනවසරයෙන් පොත් පළ කළ රාජ්‍ය සේවකයකු ලෙස සලකා මුද්‍රණාල පාලකයෝ ටෙනිසන්ට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළහ. ඔහුගේ උසස් වීම් හා වැටුප් වර්ධකවලට පවා එය බලපෑවේ ය.

" මේ සිද්ධිය වෙනකොට මම විවාහ වෙලා වැඩි කාලයක් නැහැ. ඒ නිසා මේක දරුණු විදියට ජීවිතේට බලපෑවා. සුළු දෙනෙක් මාව වීරයෙක් හැටියට සැලකුවත් උත්තේජනයට වඩා පීඩාවක් තමා මට වැඩිපුර දැනුණේ. "දැති රෝදෙන් උපන් බුදුන්" පොත ඉක්මවා යන නිර්මාණයක් මිස ඊට දෙවැනි පොතක් ලියන්න බැරි නිසා ටික කාලයක් නිහඬව ඉන්න කල්පනා කළා. හැබැයි පොත් කියවීම හා අභ්‍යාසයේ යෙදීම නතර කළේ නැහැ."

1971 කැරැල්ල ඇරඹෙනුයේ මේ පසුබිමේ ය. ටෙනිසන්ගේ වාමවාදී අදහස් හා විරෝධාකල්ප ලේඛන කලාව නොඉවසූ පිරිසක් ඔහු ජේ. වී. පී.කාරයකු ලෙස හංවඩු ගසා පෙත්සමක් ගැසූහ. හමුදා සෙබළු පිට පිට දෙවරක් ඔහු පදිංචිව සිටි කොටිකාවත්තේ නිවෙසට කඩා වැදුණෝ ය.එක් වරෙක හමුදාවට බිය වූ තුන් හැවිරිදි උදේනි පුතා, නිවෙසින් පිටතට දිව ගොස් වැසිකිළියක සැඟ වී සිටියේය.

පොඩි එකාව හොයා ගන්න අපිට පැය දෙක තුනක් ගත වුණා. එයා බයේ ගුළිවෙලා හිටපු දර්ශනය මට තවමත් මැවිලා පේනවා. හමුදාවේ අය මාව කොල්ලුපිටියෙ තැනකට අරන් ගිහින් කට උත්තරයක් ගත්තා. පින්තූර. ඇඟිලි සලකුණු ගත්තා. සාහිත්‍ය කටයුතු කළා මිසක, කැරලි ගහන්න ගියේ නැහැ කියලා මම කිව්වා."

හමුදාව ටෙනිසන් මුදාහැරිය ද රජයේ මුද්‍රණාලයේ ලොක්කෝ ඔහු දඬුකඳේ ගැසීමට මේ සිද්ධිය දඩමීමා කර ගත්හ. කැරැල්ලට සම්බන්ධ අයකු වශයෙන් චෝදනා කොට ඔහුගේ රැකියාව අහිමි කෙරිණි.

" මම රෑ මුරයේ වැඩ කරමින් ඉන්න කොට තමා මේ තීන්දුව දැනුම් දුන්නේ. එක ම චෝදනාව යටතේ අපි අට දෙනෙකු රෑ 12ට විතර අච්චු කන්තෝරුවෙන් එළියට දැම්මා. අපි හැමෝ ම රජයේ මුද්‍රණ ශිල්පීන්ගේ සංගමයේ නායකයෝ. අපි එදා එළිවෙන කල් රෑගත කළේ කැම්බල් පිට්ටනියේ."

රැකියාව අහිමි ව සිටි කාලය තුළ ටෙනිසන් පෙරේරා කුටුම්බ රක්ෂණය පිණිස ටියුෂන් පන්තියක් පවත්වා ගෙන ගියේ ය. ඉංග්‍රීසි හා ආර්ථික විද්‍යාව ඉගෙන ගැනීමට සිසු සිසුවියෝ ඔහු වෙත පැමිණියහ. වසරකට පමණ පසුව යළි රැකියාව ලැබුණත් ඔවුන්ගේ වරප්‍රසාද අහිමි කර තිබිණි.

 

" ඔබේ දීර්ඝ සාහිත්‍ය චාරිකාවේ දී ඔබ වඩාත් තෘප්තිමත් වූ ඔබේ ම නිර්මාණ නම් කරන ලෙස යෝජනා කළොත් ඔබ නම් කරන්නේ කවර කෘතිද? ටෙනිසන් පෙරේරා නම් ලේඛකයා නැවතත් සිය සාහිත්‍ය ලෝකය වෙත කැඳවමින් මම අලුත් පැනයක් නැඟිමි.

මා අතින් ලියවුණු පොත් වර්ග විවිධයි. විවිධ ශානර හා රීතීන් යටතේ මා පොත් ලියනවා ශානර වශයෙන් ගත්තොත් ඓතිහාසික. දිනපොත් ආදි ශානර කිහිපයක් ම භාවිත කර තිබෙනවා. ආඛ්‍යාන රීතීන් වශයෙන් ගත්තොත් යථාර්ථවාදය. අධියථාර්ථ වාදය, ඉන්ද්‍රජාලික යථාර්ථවාදය වැනි කතා විලාස අනුගමනය කර තිබෙනවා. ඒ වගේම පරිවර්තන හා ප්‍රතිකථන කෘති රැසක් ද පාඨකයන් අතට පත් කර තිබෙනවා.

"මගේ මුල්කාලීන පොත් අතරින් "දැති රෝදෙන් උපන් බුදුන් " පොත තමයි ලේඛකයෙක් හැටියට මගේ අනන්‍යතාව සටහන් කරපු කෘතිය. මට කලින් කියන්න අමතක වුණා එය තහනම් කිරීමට පෙර යම් යම් විචාරකයන් ඒ ගැන අදහස් පළකර තිබුණු බව. ඒ විචාරකයන් අතරින් මට මතක දෙදෙනෙක් තමා ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර හා සිරිල් බී. පෙරේරා. සාම්ප්‍රදායික කතා ධාරාවෙන් බැහැර වී නව ඉසව් සොයා යාමක් හැටියටයි ඔවුන් මගේ උත්සාහය හඳුන්වා දී තිබුණේ.

" දුට්ඨ ගාමිණි නොමළ වගයි" නවකතාව රචනා කිරීම මගින් මම කළේ දැති රෝදෙන් උපන් බුදුන් පොතෙන් අරඹපු ගමන ඉදිරියට ම යාමයි. කිසි ම ප්‍රකාශකයෙක් ඒ පොත මුද්‍රණය කරන්න කැමති වුණේ නැහැ. ඒ නිසා කර්තෘ ප්‍රකාශනයක් හැටියටයි ඒක පළ කළේ. පසුව කේ. ජයතිලක මහත්තයා ඒකෙ බෙදාහැරීම බාර ගත්තා. අපරාදෙ කියන්න බැහැ එතුමා පොත් 600 ක් විතර විකුණලා දුන්නා.

දුට්ඨ ගාමිණි නොමළ වගයි පොතටත් විවිධ චෝදනා අවලාද නැගුණා. බෞද්ධ සම්මේලනය බඳු ආයතන විරෝධය පෑවා. මෙහි දී ගිහි පැවිදි බෞද්ධ ප්‍රභූන් වෙතටයි මගේ අවධානය යොමු වුණේ. ඔවුන්ගේ පීඩනය හමුවේ අසරණ ජනයා සංකේතවත් කරන දියසේන' නම් චරිතය තැළී පොඩි වී යන ආකාරය රූපණය කිරීමයි මා මෙහි දී සිදු කළේ මා එම උත්සාහය අදටත් හඳුන් වන්නේ සාහිත්‍ය කරුවකුට ආගමික මතවාදයක් හෝ වෙනත් සමාජ සංස්ථාවක් නැවත පරිකල්පනයට ලක් කිරීමට තිබෙන අයිතිය හැටියටයි.

ථෙරවාදී දර්ශනය තුළ මිනිසාගේ පැවැත්ම පිළිබඳ ආකල්පය ඉතා සංයුක්තවයි ඉදිරිපත් වෙන්නේ. එය තමා ලේඛකයෙක් හැටියට මම මුහුණ දී සිටි ගැටලුව. මට එයට බටහිර දර්ශනය තුළින් පිළිතුරක් ලැබුණා. මගේ සාහිත්‍ය නිර්මාණ ලෞකික පැත්තට යොමු වන්නේ බටහිර දර්ශනයේ ආභාසය ඔස්සේයි. මිනිසාගේ පැවැත්ම තුළ රාගය හා කාමය බඳු හැඟීම් මිනිසත් බවේ ම ලක්ෂණයක්. ලෞකික බව, ගතික බව කියන්නේ ඒකටයි. මගේ සාහිත්‍යයෙන් කියවෙන්නේ එය ම තමා ඉන්පසුව ලියවුණු පොත්වලටත් අඩු වැඩි වශයෙන් මේ දැක්ම බලපෑවා.

" අනන්‍යතාව කියන්නේ ඉතා සංකීර්ණ ප්‍රපංචයක්. පිටතින් බැලූ පමණින් කෙනෙකුට ඒක පෙනෙන්නේ නැහැ. විවිධ ශානර හා රීතීන් ඔස්සේ ලියන ලේඛකයකුගේ භාවිතාව තුළ මෙවැනි ලක්ෂණ මතු වීම අරුමයක් නෙවේ. ලේඛකයකුගේ නිර්මාණ ගැන කතා කරන කොට ඒවා නිසි වර්ගීකරණයකට ලක් කිරීම වැදගත්ය කියා මට හිතෙනවා.

"මගේ ඓතිහාසික කෘති ගැන වැඩි අවධානයක් යොමු වුණේ නැහැ. ඒ වගේ ම යථාර්ථවාදී රීතියෙන් ලියවුණු නවකතා පිළිබඳ ව වුණත් එතරම් ලොකු කතාබහක් කෙරුණේ නැහැ. ඔබ ඉහතින් සඳහන් කළ ආකාරයේ චෝදනා මතු වීම කෙරෙහි එවැනි හේතුත් බලපෑවා වෙන්න පුළුවන්.

"රාජාභරණ, මම චක්‍රවර්ති, ගින්නෙන් නැගෙන දුම් යන නවකතා තුන මා අතින් ලියවුණු ඓතිහාසික නවකතා අතර තිබෙනවා. ඒවා කියවපු අය දැන් මගෙන් අහනවා ඇයි ඓතිහාසික නවකතා ලියන්නේ නැත්තේ කියලා. ඉතිහාසයම ප්‍රතිනිරූපණය කිරීම මගින් මගේ දාර්ශනික ආස්ථානය නිරූපණය වෙනව ද කියන ගැටලුව පසු කලෙක මතු වුණා. සාහිත්‍ය ශානරයක් හැටියට මම ඓතිහාසික නවකතාව පිළිගන්නවා. නමුත් එහි ඇති ඓතිහාසික වර්ණය චිත්‍රණය කිරීම ඉතා ම බැරෑරුම් වැඩක්. ලංකාවේ බොහොමයක් ඓතිහාසික නවකතා අසාර්ථක වීමට හේතුව මේ කාරණය කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකිරීමයි.

"ජින් ලුකාස් නමැති රුසියන් විචාරකයා තමා ඓතිහාසික වර්ණයේ අවශ්‍යතාව මුලින් ම පෙන්වා දුන්නේ. ඓතිහාසික නවකතාවක් ලිවීමට මම පෙළඹෙන්නේ සමකාලීන සමාජ පරිසරය හා පුද්ගලයන්ගෙන් ලැබෙන උත්තේජනය තුළිනුයි. ඒත් එය නිරන්තරයෙන් කරන්න බැහැ. මම චක්‍රවර්ති නම් නවකතාව තුළින්  කාලීන යථාර්ථය සිතුවම් කිරීමට උත්සාහ කළා, ඉතිහාසයේ ජීවත් වූ ප්‍රචාරකවාදයට නැඹුරු වූ රජෙකුගේ චරිතය අපේ යුගයේ දේශපාලනඥයකුගේ චරිතයට ආරූඪ කරමින් තමයි මම කාලීන යථාර්ථය නිරූපණය කිරීමට තැත් කළේ.

" සදා මෙලෙස පුර දෙරණේ" නමැති ඓතිහාසික නවකතාව ලිවීමට පාදක වූ හේතුව විස්තර කරමින් මහාචාර්ය ඒ. වී. සුරවීර කීවේ නව පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඉදිකරන සමයේ හටගත් සිතුවිල්ලක් ඊට බලපෑ බවයි. මේකෙන් පැහැදිලි වෙනවා සමකාලීන අත්දැකීම් හැම එකකින් ම පාහේ ඓතිහාසික නවකතාවක් ලිවීමට අසීරු බව."

ටෙනිසන්ගේ රාජාභරණ නම් ඓතිහාසික නවකතාවට පාදක වන්නේ දුටුගැමුණු චරිතයයි. දුටුගැමුණු රජු තුළ පැවති දැඩි ශාසනාලය මෙන්ම රණකාමීත්වයත්, මහා විහාර භික්ෂූන් වෙතින් රජතුමා වත එල්ල වූ දැඩි බලපෑමත් මෙම නවකතාව පසුබිමේ විස්තර වෙයි. රාජාභරණ නවකතාවේ වර්තමානයට ඇති නෑ සබඳකම කුමක්දැයි පහදා දෙන ලෙස කළ ඇරියුමට ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසිනි.

" දුටුගැමුණු චරිතය අළලා වීර චරිතාපදානයක් ගොඩනඟන්න මට කිසි ම වුවමනාවක් තිබුණේ නැහැ. මට අවශ්‍ය වුණේ ඒ ආශ්‍රය කර ගෙන යුද්ධයේ බිහිසුණුකම හා ඉන් මනුෂ්‍ය ජීවිතවලට සිදුවන හානිය කියාපාන්නයි. සොළීන්ට විරුද්ධ ව කළ යුද්ධයෙනුත් විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා. යුද්ධයෙන් පසුව දුටුගැමුණු රජතුමාට ඒ බව තදින්ම දැනුණා. ඔහු පශ්චාත් යුද පසුබිම ගැන විමසා බැලුවා. එවිට ඔහුට වැටහුණා යුද්ධයේ භයානකකම.

හිතේ හටගත් කම්පනය තුනී කරගන්න ඔහු එළාරගේ සොහොන බැන්දා. වෙහෙර විහාර ගොඩනැඟුවා. රජතුමා සිත් තැවුලෙන් පසුවන බව දැනුණු එක්තරා රහතන් වහන්සේ නමක් කනගාටු වෙන්න එපා යුද්ධයෙන් මියගියේ මිනිස්සු එකහමාරක් පමණයි' කියා කීවාලු. අනික් සියලු දෙනා පව්කාරයන් බවයි එහි යටි අරුත වුණේ.

" මගේ රාජාභරණ නවකතාවේ දී මේ අවස්ථාව වඩාත් යථාර්ථවාදී විදිහට සිතුවම් කරන්න උත්සාහ කළා දුටුගැමුණු රජතුමා යුද බිම නරඹන්න යනවා. එහි දී ඔහුට දකින්න ලැබෙන්නේ දහස් ගණන් මළ කඳන්. ඊළඟට ඔහු ගඟට නාන්න යනවා. ගඟ මිනිස් ලේ වලින් රත් පැහැ ගැන්විලා, රජතුමාගේ හිතට මහත් කම්පනයක් ඇති වුණේ මේ පසුබිමේදියි. '

 

දුටුගැමුණු චරිතයේ ගම්භීරත්වය හා රණකාමීත්වය හීන කොට ඔහු දුර්වලයකු කිරීමට ටෙනිසන් විසින් රාජාභරණ නම් මේ කෘතිය සම්පාදනය කරනු ලැබුවේ යයි එකල ඇතැම්හු චෝදනා කළහ. මෑත ඉතිහාසයේ අප මුහුණ දුන් තවත් යුද ගැටුම් සමයක් නිමා වුවද එහි ඇතැම් ආනිසංස පිළිබඳව කතා බහ තවමත් අවසන්ව නැති පසුබිමක රාජාභරණ ගැන සිතෙන්නේ කුමක්දයි මම ඇසීමි.

" දුටුගැමුණු චරිතය වීරයකු හෝ දුර්වලයකු කිරීමට නෙවේ. ඓතිහාසික නවකතා රචකයකු ලෙස මට අවශ්‍ය වුණේ. යුද්ධය උත්කර්ෂයට නංවමින් සිටි පාලකයන්ට හා සෙසු කොටස්වලට එහි ඵල විපාක ඒත්තු ගැන්වීමටයි මම උත්සාහ කළේ. ඓතිහාසික නවකතා රචකයකුට එවැනි දේ කිරීමේ අයිතියක් තියෙනවා. ඓතිහාසික නවකතාවක් ඉතිහාසයට පමණක්ම සීමා කිරීම තුළින් එය හුදු ඉතිහාස කතාවක් බවට පත්වෙනවා. කාලීන යථාර්ථය සමඟ එය ගැලප්පීම තමා වඩාත් සුදුසු. හැබැයි මේ සම්බන්ධය ගොඩනැඟීමේ දී ලේඛකයා අභියෝග රැසකට මුහුණ පානවා. ඒවා ජයගත හැක්කේ ඉතිහාසය වගේ ම වර්තමානය පිළිබඳවත් පුළුල් අධ්‍යයනයක් කළ මනා පරිකල්පන ශක්තියකින් යුතු ලේඛකයකුට පමණයි.

 

මෑතක දී මම විජයබා සමය පසුබිම් කර ගෙන ඓතිහාසික නවකතාවක් ලියන්න මුල පිරුවා නේද?

නූතන සමාජ යථාර්ථය තුළ ඓතිහාසික නවකතාවේ සබඳතාව ස්ථානගත කිරීමේ දී මතු වූ පරිකල්පනීය ගැටලුවක් නිසා මම ඒ කටයුත්ත තාවකාලික ව අත්හිටෙව්වා. මම තවමත් ඒ අභියෝගය ජයගන්න මගක් හදාරමින් ඉන්නවා.

දෙවෙනි දිනයේ ද අපේ සාකච්ඡාව ඇරඹී දැන් හෝරා කිහිපයක් ගතව ඇත. අද අප රටේ සිටින ජ්‍යෙෂ්ඨතම ලේඛකයන් කිහිප දෙනා අතරින් කෙනකු වන ටෙනිසන් පෙරේරාගේ සාහිත චාරිකාවේ තවත් අතුරු මංපෙත් ගණනාවක් ගැන අපට කතා කිරීමට ඉතිරි ව ඇති බවක් මට හැඟිණ. පරිවර්තකයකු සේ ම ප්‍රතිකථන ලේඛකයකු ලෙස ද ටෙනිසන් විසින් ඉටු කරනු ලබන මෙහෙවර සුළුපටු නොවේ. එම ක්ෂේත්‍ර දෙසට ඔහුගේ අවධානය යොමු කිරීම මැනවයි මට සිතිණ.

පරිවර්තන හා ප්‍රතිකථන (Retold) කියා පරිවර්තන ක්‍රම දෙකක් තිබෙනවා. පූර්ණ පරිවර්තනයක් යනුවෙන් මා අදහස් කරන්නේ, මුල් කෘතියේ ඇති හැම වගන්තියක ම අරුත හා පරිකල්පන ධාරාව අපේ වගන්තිය තුළ සම්පූර්ණයෙන්ම ඇතුළත් කිරිමයි. ලෝක ප්‍රකට බොහෝ ලේඛකයන්ගේ කෘතිවල පඨිතයේ ස්වභාවය ඉතා වැදගත්. උදාහරණයක් වශයෙන් ෆ්‍රාන්ස් කෆ්කාගේ වැකියක් පරිවර්තනය කරන විට අපිට වැටහෙනවා ඔහුගේ පරිකල්පන ධාරාව තුළ ගැබ්ව ඇති බව. සමහර වෙලාවට කෆ්කා වැනි ලේඛකයකුගේ එක වගන්තියක් දෙකඩ කැඩීම මගින් මුල් වැකියේ අරුත සපුරාම වෙනස් විය හැකියි. කෆ්කා චරිත හසුරුවන්නේත්, ඒවායේ කතාබහ අන්තර්ගත කරන්නේත් පඨිතය තුළමයි. සමහර පරිවර්තකයන් ඒවා කඩා වෙන් කර දක්වන්න හදනවා.එවිට කෆ්කා අදහස් කළ දේ කියවෙන්නේ නැහැ.

ජේම්ස් ජොයිස්ගේ ආඛ්‍යාන රටාව අයත් වන්නේ විඥාන ධාරා සන්දර්භයටයි. ඒ රීතිය තේරුම් ගෙන පරිවර්තනයත් ඒ ආකාරයට ම නොදැක්කුවොත් එහි තේරුම වෙනස් වෙනවා. "යුලිසිස්" වැනි ජොයිස්ගේ නවකතාවක් පරිවර්තනය කිරීම අසීරු වන්නේ ඒ නිසයි. වෙනත් විදියකින් කියනවා නම් ටොල්ස්ටෝයි වැනි ලේඛකයකුගේ පොතක් පරිවර්තනය කරනවා වගේ ඒක කරන්න බැහැ. ටෝල්ස්ටෝයිගේ වගන්තිවල බොහෝ විට තිබෙන්නේ වාස්තවික ස්වරූපයක්. නමුත් ජොයිස් වැනි ලේඛකයන්ගේ විවිධ ආඛ්‍යාන රටාවන් යටතේ ලියවුණු කෘති පරිවර්තනය කිරීම වාස්තවික ස්වරූපයේ පොත් පරිවර්තනය කරනවාට වඩා අසීරුයි.

මගේ අලුත් ම පරිවර්තනය වන කෆ්කාගේ The Castle කියන පොතට නම දැම්මේ "බලකොටු මාලිගය" කියලා. නම යෙදීමේ දී පවා කෆ්කාගේ මුල් බස ගැන සැලකිලිමත් වීමට මට සිදුවුණා. පරිවර්තනයේ දී මා කරන දෙයක් තමා මුල් කෘතියේ ඉංග්‍රීසි පරිවර්තන කිහිපය ම අධ්‍යයනය කිරීම. බලකොටු මාලිගයේ ඇමෙරිකන් හා පෙන්ගුයින් පරිවර්තන දෙකක් තියෙනවා. මුල් කෘතිය තියෙන්නේ ජර්මන් බසින්, සීරුවෙන් කියවන විට ඒ පරිවර්තන දෙකේ ම සමාන ලක්ෂණ දකින්න ලැබුණා. 



අදහස් (0)

හතරවැනි තට්ටුවට ගිය කැරැලිකාර ලේඛකයා

ඔබේ අදහස් එවන්න

සාමීචිය

මම දෘෂ්ටිවාදී කඳවුරක විචාරකයෙක් නෙවෙයි
2024 ජුලි මස 23 875 0

මහාචාර්ය ලියනගේ අමරකීර්ති ලාංකේය නිර්මාණ සාහිත්‍යයේ වපසරිය පුළුල් කිරීමට දායක වූ සුදුර්ලභ ලේඛකයෙකි.විචාරකයෙකි.විද්වතෙකි. මහකන්ද පාමුල නමැති නවකතා


මෙි රටෙි පුරවැසියෝ යටත්වැසියෝ
2024 ජුලි මස 16 1024 0

විභවි සංස්කෘතික ඇකඩමියේ පුරෝගාමී ක්‍රියාකාරයකු වූ ආචාර්ය සුනිල් විජේසිරි වර්ධනයෝ මෙරට බුද්ධිමය සංස්කෘතියේ කැපී පෙනෙන බුද්ධිමතෙක් වෙති.කලක් සරසවි


සාහිත්‍ය කප්පාදුවෙන් අසංවෙිදී සමාජයක් බිහිවුණා - කරුණාරත්න අමරසිංහ
2024 ජුලි මස 09 968 1

කරුණාරත්න අමරසිංහ බොහෝ දෙනා හඳුන්නන්නේ කවුරුන් හැටියට ද? ගුවන්විදුලි හඬනළුවකු,සිංහල සංස්කෘත,පාලි භාෂා විශාරදයකු, ගරුවරයකු, දේශකයකු, පරිවර්තකයකු, තිර


එදා අමරසේකර දුටු වල්පැළෑටිය අද පලබර තුරක්
2024 ජුලි මස 02 859 0

ප්‍රවීණ කිවිවර නන්දන වීරසිංහයෝ මෙරට සිටින විශිෂ්ටත ම කවීන් අතළොස්ස අතර ප්‍රමුඛයෙක් වෙති.


එක්ටැම් ගෙවල්වල ඉඳන් නවකතා ලියන්න බැහැ - ගුණදාස අමරසේකර
2024 ජුනි මස 18 667 0

අද මෙරට සිටින ජ්‍යෙෂ්ඨත ම ජීවමාන සාහිත්‍යසූරීහු වන්නේ ගුණදාස අමරසේකරයෝය.ඔවුහු සැබෑ උගත්කමින් මෙන්ම නිසර්ග සිද්ධ ප්‍රතිභා ශක්තියෙන් පිරිපැසුණු අපේ


මාස්ටර් මට සින්දුු නැති කැසට් එකක් දෙන්න !
2024 ජුනි මස 11 818 2

සංගීතයේ විශ්වභාෂී ගුණය සුවිශද කරමින් අගනා නිමැවූම් රාශියක් රසික ප්‍රජාවට දායාද කළ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයෝ සිංහල ගීතයේ සාම්ප්‍රදායික ආකෘතිය වෙනස


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site