පිස්සකුට පොත් ලියන්න පුළුවන්ද? පොඩ්ඩක් ඉන්න, සටහන ආරම්භයෙ ම පිහියකින් ඇන්න වගේ එහෙම ප‍්‍රශ්නයක් ඇහුව ම මට දැනෙනවා නිකං මොකද්දෝ නොගැළපෙන ගතියක්. මං හිතන්නෙ මට තිබුණ වෙන විදියකට මේක පටන් ගන්න. හරියට මේ වගේ. මානසික රෝහලක අවුරුදු තුනක් ගත කළ පුද්ගලයකුට ලේඛකයෙක් වෙන්න පුළුවන්ද? ඔව්, එහෙම අහන එක වැඩිය හොඳයි. එතකොට පොඩි ශිෂ්ට ගතියක් වගේ ම ලේඛනයකට ගැළපෙන බවකුත් තියෙනවා. ඒත් ඉතිං එක අතකට සම්මත නීති - රීති, සම්ප‍්‍රදායන් පයිසෙකට මායිම් නොකර ලියපු මිනිහෙක් ගැන ලියන්න ආයෙ අමුතුවෙන් ශිෂ්ට ගතියක්, ගැළපෙන බවක් මොකටද? හරි, කමක් නෑ ! ඕනෙ එකක්. කොහොම හරි ඉතින් ඇත්තට ම මානසික රෝහලක අවුරුදු තුනක් ගත කළ පුද්ගලයකුට ලේඛකයෙක් වෙන්න පුළුවන්ද?
ඔව්, පුළුවන් ! ඔය වෙලා තියෙන්නෙ; ඔය ලියල තියෙන්නෙ; තාමත් ලියන්නෙ ! අන්න ඒක නිසා, වෙන මොකක් නැතත් මට බය නැතුව 'පාවුලෝ කොයියෝ' පෙන්නලා ඕනෙ කෙනකුට කියන්න පුළුවන් පිස්සකුටත් පොත් ලියන්න පුළුවන් කියලා. අන්න මං ආයිත් වරද්ද ගත්තා. ඇත්තට ම මම අදහස් කළේ මානසික රෝහලක අවුරුදු තුනක් - ඊට වැඩි හෝ අඩු කාලයක් හරි - ගත කළ පුද්ගලයකුට වුණත් ලේඛකයෙක් වෙන්න පුළුවන් කියලා.
පාවුලෝට පුංචි කාලෙ ඉඳල ම ඕනෙ වෙලා තිබුණෙ ලේඛකයෙක් වෙන්න. නමුත් ඉංජිනේරුවෙක් වුණ කොයියෝ මහත්මයට කවදාවත් තමන්ගෙ පුතා ලේඛකයෙක් වෙනව දකින්න අවශ්‍ය වුණේ නැහැ. ඔහුගේ කැමැත්ත තිබුණේ පාවුලෝ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් එහෙමත් නැත්නම් නීතිඥයෙක් විදියට වැඩ කරනවා දකින්න. ඒ ආසාව ගැන ඔහුට දොසක් කියන්නෙ කොහොමද? මොන තාත්තද අකැමැති තමන්ගේ පුතා හොඳට කාල, ඇඳල ඉන්න පුළුවන් රස්සාවක් කරනවට ! නමුත් පුතා නෙවෙයි තාත්ත කියන දේ කනකටවත් ගත්තෙ. මේ සදාතනික පිය - පුතු ගැටුම උච්ඡස්ථානයකට පැමිණි වෙලාවක පාවුලෝගෙ අම්මගෙන් ඔහුට ලැබෙනවා උපදේශයක්.
"ඔයාගේ තාත්තා ඉංජිනේරුවෙක්. ඔහු යමක් තාර්කිකව දකින, පැහැදිලි දැක්මක් ඇති පුද්ගලයෙක්. ඔයා ඇත්තටම දන්නවද ලේඛකයෙක් වෙනවා කියන්නේ මොකක්ද කියලා?"
කාටද දැනගන්න ඕනෙ ලේඛකයෙක් වෙනව කියන්නෙ මොකක්ද කියලා? එහෙම දැනගෙන ලේඛකයෙක් වෙන්න පුළුවන්ද? පාවුලෝට ඒ කිසිම දෙයක් අදාළ වුණේ නැහැ. එන්න එන්නම ඔහුගේ හැසිරීම් රටාව අසාමාන්‍ය වෙන්න පටන් ගත්තා. අසම්මත වෙන්න පටන් ගත්තා කියල කිව්වත් හරි මං හිතන්නෙ. එ්කෙ ප‍්‍රතිඵලයක් විදියට අවසානයේ සිද්ධ වෙන්න නියමිත වෙලා තිබුණ දේ ඒ විදියටම සිද්ධ වුණා.
තමන්ගෙ පුතාගේ මේ සම්ප‍්‍රදායෙන් බැහැර, අසම්මත හැසිරීම් රටාව නිසා කොයියෝ යුවළ තීරණය කරනවා ඔහුව මානසික රෝහලකට ඇතුළත් කරන්න. සමාජය ඉස්සරහ මුල්ම වතාවට පාවුලෝ 'පිස්සෙක්' විදියට හංවඩු ගැහෙන්නෙ එහෙමයි. අවුරුදු දාහතේ දී මානසික රෝහලට ඇතුළත් කෙරෙන පාවුලෝට අවුරුදු විස්ස වෙනකම් ඒකෙ නේවාසිකව ප‍්‍රතිකාර ලබා ගන්න සිද්ධ වෙනවා. ඒ අවුරුදු තුන ඇතුළත ඔහු තුන් වතාවක් ම රෝහලෙන් පැන ගොස් තිබුණා. 'පිස්සෙකුගේ' හිතේ ඇති වන 'නිදහස්' සිතුවිලිවලට සීමා දාලා කොටු කරන්න මානසික රෝහලක හතර මායිම්වලට පුළුවන්ද? පස්සෙ කාලෙක තමා සම්බන්ධව තමන්ගේ මවුපියන් ගත්ත තීරණය ගැන පාවුලෝ කියන්නෙ මේ වගේ අදහසක්.
"ඔවුන්ට මා රිදවන්න වුවමනා වුණේ නැහැ. නමුත් එයාලත් දැනගෙන හිටියෙ නැහැ කුමක් කළ යුතුද කියලා."
කොහොම වුණත් මානසික රෝහලෙන් නිදහස් වෙලා ගෙදර ආවට පස්සෙ පාවුලෝ තීරණය කරනවා තමන්ගේ තාත්තගේ අදහසටත් ටිකක් ඉඩ දෙන්න. ඒ අනුව ඔහු නීති විද්‍යාලයට ඇතුළත් වෙලා ඉන් වසර කීපයකට පස්සෙ නීතිඥයෙක් වශයෙන් දිවුරුම් දෙනවා. එදා නම් කොයියෝ මහත්මයා තමන්ගේ පුතා ගැන ඔහුගේ කෝණයෙන් බොහොම ආඩම්බර වෙන්න ඇති. සතුටු වෙන්නත් ඇති. නමුත් තාත්තගේ 'සතුට' රැඳිලා තිබුණෙ බොහොම ටික කාලයයි. දළ වශයෙන් අවුරුද්දක් විතර !
නම්බුකාර නීතිඥ ජීවිතේ කළු කබාය පැත්තකට වීසි කරන පාවුලෝ 'හිපියෙක්' විදියට ජීවිතේ ගත කරන්න පටන් ගන්නවා. ඒ කාලේ අතරතුර තමයි ඔහු උතුරු අමෙරිකාවේ, දකුණු අමෙරිකාවේ, මෙක්සිකෝවේ සහ යුරෝපයේ දීර්ඝ සංචාරවල නිරත වෙන්නෙ. ඒ වගේ ම ඔහු ඒ කාලේ - මේ කියන්නේ එක්දහස් නවසිය හැට ගණන් ගැන - ඉතාම තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමත් කැපී පෙනුණා.
කොහොම හරි තමන්ගෙ දීර්ඝ සංචාර අවසන් කරල පෙරළා බ‍්‍රසීලයට පැමිණෙන පාවුලෝ ගීත රචකයෙක් විදියට ජීවිතය ගොඩනගා ගන්න උත්සාහ කරනවා. ඊට අමතරව නළුවෙක්, මාධ්‍යවේදියෙක් සහ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙක් විදියටත් කටයුතු කරනවා. නමුත් මේ කිසි දෙයක් ඒ තරම් සාර්ථක වෙන්නෙ නැහැ. ඒ වෙද්දි ඔහුගේ අර අසම්මත ජීවිතයේ ඒ තරම් වෙනසක් වෙලා තිබුණෙත් නැහැ. ඒ නිසාම 1974 දී පාවුලෝට හමුදා පාලනය යටතේ අත්අඩංගුවට පත් වෙන්න පවා සිද්ධ වෙනවා. ඔහුට එරෙහිව එල්ල වන චෝදනාව තමයි කඩාකප්පල්කාරී ක්‍රියා සඳහා සම්බන්ධ වීම. මේ වෙනකොට තමන්ගේ ජීවිතේ ගමන් කරමින් තියෙන්නෙ මොන අතටද කියල කිසිම පැහැදිලි වැටහීමක් පාවුලෝ තුළ තිබුණෙ නැහැ. ඇත්තට ම ඉතිං මිනිහෙකුට එහෙම වැටහීමක් තියෙන්න ඕනෙත් නැහැනෙ !
ඔහොම ගිහින් 1986 තමයි පාවුලෝට තමන්ගෙ ජීවිතේ තීරණාත්මක අවුරුද්ද බවට පත් වෙන්නෙ. අසූ හයේ දී ඔහු තීරණය කරනවා තමන්ගෙ මේ නිශ්චිත නවාතැන් පොළක් නැති නන්නත්තාර ජීවිතේ තවත් එක අලුත් සංචාරයක් ආරම්භ කරන්න. මග ලකුණු වැටෙන්නෙ වයඹදිග ස්පාඤ්ඤයේ මයිල 500කට වඩා වැඩි දුරක් හරහා. ඒ සංචාරය ඔහුට බෙහෙවින්ම තෘප්තිමත් එකක් වුණා වගේම ජීවිතේ තීරණාත්මක සංධිස්ථානයකුත් වුණ බව පසු කාලෙක පාවුලෝ ඒ සම්බන්ධව කළ නොයෙක් ප‍්‍රකාශවලින් පැහැදිලි වෙනවා.
"මම මං කළ දේවල් ගැන ඉතාම සතුටු වුණා. ඒ දේවල් මට ආහාර සහ ජලය වගේ වුණා."
"ඒ වගේම මම වැඩ කළා. මට මං ආදරය කළ කෙනා හිටියා. මට සල්ලි තිබුණා. නමුත් මම මගේ සිහිනය සැබෑ කරගෙන නොවෙයි හිටියේ. මගේ සිහිනය වුණේ, අදටත් මගේ සිහිනය වන්නේ ලේඛකයෙක් වෙන එක."
පස්සෙ කාලයක ගීත රචනය අත හැර දමන පාවුලෝ තමන්ගෙ මුළු ශක්තිය සහ ජවය ඒ සිහිනය සැබෑ කර ගැනීම වෙනුවෙන් වැය කරන්න තීරණය කරනවා. ඔහු අතින් මුලින්ම ප‍්‍රකාශයට පත් වෙන්නෙ Hell Archives නම් කෘතියක්. නමුත් එය ඒ තරම් සාර්ථකත්වයක් පෙන්නුම් කළේ නැහැ. ඒ පොතේ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් පාවුලෝ පහු කාලෙක මොන තරම් කලකිරීමට පත් වුණාද කිව්වොත් ඔහු උත්සාහ කළා පොත පොත් සාප්පුවල රාක්කවලින් ඉවත් කරගන්න.
The Alchemist කෘතිය පාවුලෝ අතින් ලියැවෙන්නේ ඉන් අනතුරුව. බ‍්‍රසීලයේ කුඩා ප‍්‍රකාශන ආයතනයක් මඟින් ප‍්‍රකාශයට පත් කරපු The Alchemist මුද්‍රණය වුණේ පිටපත් 900ක් විතරයි. ඒ පිටපත් 900වත් හරියට අලෙවි වුණේ නැහැ. ප‍්‍රකාශන සමාගම තීරණය කළා නැවත පොත මුද්‍රණය නොකර ඉන්න. 1994 දී අමෙරිකාවේ දැවැන්ත ම පොත් ප‍්‍රකාශන සමාගමක් වුණ Harper Collings සමාගම The Alchemist නැවත ප‍්‍රකාශනයට පත් කරන්න භාර ගන්නවා. පොත නැවත මුද්‍රණය කරලා එළියට දැම්ම විතරයි, ඔන්න පාවුලෝගේ බඹරේ වැල්ලෙත් කැරකෙන කාලෙ උදා වෙනවා. මුලින්ම The Alchemist බ‍්‍රසීලය තුළ වැඩිම අලෙවියක් සිදු වුණ කෘතිය ලෙස වාර්තා අතරට එකතු වුණා. ඉන් අනතුරුව එය ලෝකය පුරාම ශීඝ‍්‍රයෙන් අලෙවි වෙන්න පටන් ගත්තෙ හරියටම උන්මාදයක් වගේ. පොත භාෂා 80කට අධික ප‍්‍රමාණයකට පරිවර්තනය වුණා. එය සිංහලයට පරිවර්තනය වුණේ 'සන්තියාගෝ නම් සැරිසරන්නා' නමින්. කර්තෘ ජීවතුන් අතර සිටිය දී ඔහුගේ පොතක් වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වීමේ වාර්තාවත් පාවුලෝ නමට හිමි වුණා. විල් ස්මිත්, මැඩෝනා වගේ කලා ලෝකයේ සුප‍්‍රසිද්ධ චරිත වගේම හිටපු අමෙරිකා ජනාධිපති බිල් ක්ලින්ටනුත් The Alchemist තමන්ගේ ප්‍රියතම නවකතාව ලෙස ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත් කළා. ඔන්න ඔහොමයි වැඩේ පත්තු වුණේ !
ඉන් පසුව පාවුලෝ අතින් රචනා වුණ Veronika Decides to Die, The Fifth Mountain, The Devil and Miss Prym, Eleven Minutes, Like the Flowing River ආදී කෘති ලොව පුරා අතිශයින් ජනාදරයට පත් වුණා. ඒ අතරින් Veronika Decides to Die කෘතියට මං පෞද්ගලිකවත් ඉතාම කැමැතියි. අපි හැමෝම ඇතුළේ එක එක ජාතියේ පිස්සො ඉන්නවා. පාවුලෝ තමන් තුළ ඉන්න පිස්සා වගේ ම තමා අවුරුදු තුනක් මානසික රෝහලක ගත කළ අත්දැකීමුත් හරිම අපූරුවට වෙරෝනිකා හරහා එළියට දානවා. වෙරෝනිකා මැරෙන්න තීරණය කරද්දී අපිට නොමැරී ජීවත් වෙන්න හිතෙන්නෙ ඒකයි. ඒ වගේම The Alchemistහි සන්තියාගෝ නමින් පෙනී සිටිමින් පොත පුරා සැරිසරන්නෙත් පාවුලෝ ම බව කියවන්නෙකුට දැනුනොත් ඒක ඒ තරම් ලොකු අරුමයක් නෙවෙයි.
ඉතිං කලබැගෑනි ගොඩකට පස්සෙ සහ කලබැගෑනි ගොඩක් අස්සෙ පාවුලෝ තවමත් ලියමින් ඉන්නවා. ඔහුගේ හැසිරීමෙන් සහ කතා බහෙන් ඔහු තවමත් තමාගේ සිහිනය වෙත ළඟා වුණ බවක් පෙනෙන්නට නැහැ. ඇත්ත ! තමාගේ ලියැවිලි පිළිබඳ අතෘප්තිමත් නොවී කිසිම මිනිහකුට තෘප්තිමත් ලේඛකයෙක් වෙන්න බැහැ. කොහොම වුණත් කොයියෝ මහත්මයා පස්සේ කාලෙක තමන්ගේ පුතා ගැන සෑහෙන තරම් ආඩම්බර සහ සතුටු වුණ බවට නම් මට කිසිම සැකයක් නැහැ. නීතිඥයෙක් වෙනව වගේද ලේඛකයෙක් වෙන එක !
මේ හැම දෙයක් ම අතරෙ පාවුලෝ තමන්ගේ ජීවිතයෙන් අපේ ජීවිත ආමන්ත‍්‍රණය කරල කියන කතාවක් තියෙනවා. බොහොම සැකෙවින්, ඔහු වෙනුවෙන් මං ඒ කතාව මෙන්න මෙහෙම ඔබට කියන්නම්.
ඔබට අවශ්‍ය ලේඛකයෙක් වෙන්නද? හොඳයි ! එහෙම නම් ලියන්න ඔබ ගැන, ඔබේ ජීවිතය ගැන !! හොඳට මතක තියා ගන්න, වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි. ලියන්න ඔබ සහ ඔබේ ජීවිතය ගැන !!!
ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .
Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝපිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇමෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විස
සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී
කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.
සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහ
.ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාවුලෝ කොයියෝ හෙවත් පිස්සෙකුගේ කතාව
කළුපහන පියරතන හිමි Tuesday, 23 July 2024 09:45 AM
පාවුලෝ කොයියෝගෙ සන්තියාගෝ සංචාරය නිකම්ම රස්තියාදුවක් නෙවෙයි. ඒක තනිකරම කතෝලික ආධ්‍යාත්මික වැඩක්. පාවුලෝ පැහැදිලිවම තමන්ගෙ ඒ ආධ්‍යාත්මික නැඹුරුව ලෝකයට කියල තියෙනව. ඔහුගෙ හැම පොතකම ප්‍රසිද්ධියේමත් පෙළට යටිනුත් ඒ බව පේනවා. සම්මුඛ සාකච්ඡා ගණනාවකම ඔහු ඒ බව කියල තියෙනව. එසේ තිබියදීත් ලාංකික ලේඛකයන් විචාරකයන් ඒ සන්තියාගෝ ගමන් පෙන්වන්න හදන්නෙ නිකම්ම රස්තියාදුවක් හැටියට. ඔහුව ඒ ගමනට යොමුකරවන්නෙත් ආධ්‍යාත්මික සම්ප්‍රදායක නියෝජිතයෙක්. RAM නමින් ඒ සම්ප්‍රදාය හඳුන්වනව.