සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහු පිළිබඳ මාගේ මතකය ඈතට දිව යයි. දෙතුන් වතාවක් පමණ මුණගැසී කතාබහ කොට තිබුණ ද මා ඔහුගේ කලා නිමැවුම්වලින් ලද ඉගැඹුරු විඳුම් අපමණය. සොඳුරු ආඥාදායකයා අනුහතේ සිට රෝගාතුර විය. ඔහුට අංශභාග රෝගය වැලඳී තිබිණි. එහෙත් ඒ ගත සිත දුබල වූයේ නැත. වෙව්ලන ඇඟිලි තුඩු මත පන්හිඳ රුවාගත් හේ ශ්‍යාම් සෙල්වදෝර් ගේ Funny Boy නමැති නවකතාව" අමුතු ඉලන්දාරියා '' නමින් සිංහලයට නැඟුවේ ය. අවුරුදු 74ක් පරම ආයුෂ විඳ නිහඬව අප අතරින් සමුගත් සුගත් උත්තරිතර සමාජවාදය උදාවෙන තුරු මග බලාගෙන හිටපු කලාකරුවෙකි. එහෙත් මේ රටේ ව්‍යාජ සමාජවාදියෝ ඔහු ජීවත්ව සිටියදීම උත්තරීතර වූහ. වම දකුණ සොයා ගන්නට නොහැකිව ව්‍යාකූලත්වයට පත් වූ රටක ඔහු තනිවම නිහඬව හුදෙකලා බුද්ධිමය අරගලයක නියැළුණේ ය. චින්තන විප්ලවයකට මුල පිරූ හේ නව කල්පනා සිහින දැකුම් සමාජය හමුවේ කියා පෑවේ ය. 1972 වසරේ දී '' අනේ දෙව්දත් නොදුටි මොක්පුර " නමැති කාව්‍ය සංග්‍රහය රචනා කරමින් සුගත් ස්වකීය බුද්ධිමය අරගලය මොනවට පැහැදිලි කෙළේ ය. නිදසුනක් හැටියට එකවී සපුවෙහි නිමැවුමක් පහත හකුළා දක්වමි.
මොළ නෙලූ එකෙක්
රාක්ක මොළවලින් පුරවා
පොත් ගුලක හිර වී
කාවන් සමඟ සටනක
මොළ ගසා කෑ එකෙක්
සේප්පු කාසිවලින් පුරවා
රිදි යතුරු කැරැල්ල විල්ලුද
කොට්ටය යට සඟවා
නොමැරෙන බේත් සොයන සටනක
"අනේ දෙව්දත් නොදුටි මොක්පුර" - 17 පිට
පූර්වෝක්ත කාව්‍ය නිමැවුමෙන් එදා සුගත් පැවසූ පරිදි අද තිබෙනුයේද මොළ ගසා කන්නන්ගෙන් ගහන කුණු වී ගිය සමාජයකි. මේ සමාජයේ නිල අල්ලා මොළ සූරා කන්නන් මිසක මොළ නෙළන්නන් දක්නට නැත. ජීවිතයේ රිද්මය සිය කාව්‍ය නිමැවුම්වලින් විමසූ සුගත් පුද්ගලයාගේ ධීසවිය පිළිබඳ අනවරතයෙන් ම කතා කෙළේ ය. ගතානුගතික වැඩවසම් වහල් චින්තනයෙන් වියුක්ත වී සිය සාහිත්‍ය කලාංග සමාජ සංවාදය සමඟ සම්මිශ්‍රණය කිරීමට ඔහු ගත් ප්‍රයත්නය සුළු පටු නො වේ. නාට්‍ය. නවකතාව, කවිය වැනි නිර්මාණ මාර්ගයන්හි මෙන් ම විචාර මාර්ගයෙහි ද සුගතපාල ද සිල්වා නායකත්වය දී තිබෙණුයේ මෙකී බුද්ධිමය අරගලයකට ය.
ජිවිතය
කෙළ පිඩකි
අලුයම ලූ
මේ කෙළ පිඩ
බුද්ධියේ
අනුදක්නයෙන් අල්ලා
ජීවිතේ රෝග නිධානය සොයව්!
"අනේ දෙව්දත් නොදුටි මොක්පුර" - 14 පිට
සමාජ විඥානය ග්‍රහණය කරගත් විශිෂ්ට කලාකරුවන් අප අතර සිටිනුයේ අතළොස්සකි. එයිනුත් සුගතපාල ද සිල්වා ඉසියුම් කලාකරුවකු බව මම කියමි. ශෛලිගත සම්ප්‍රදාය තුළ සිර වූ සිංහල නාට්‍ය කලාව ඉන් පරාරෝපිත කොට ඊට තවත් රූපයක් තිබෙන බව තිරසර ලෙස භාවිතයෙන්ම සාක්ෂාත් පළ නාට්‍යවේදියා සුගතපාල ද සිල්වා යැයි කීම අතිශයෝක්තියක් නො වේ. සිංහල නාට්‍ය කලාව පෝෂණය කිරීම සඳහා බටහිර සම්භාව්‍ය නාට්‍ය කලාව පරිශීලනය කළ සුගත් සිය අසමසම කලා ප්‍රතිභාවෙන් ද ඉසියුම් ඉගැඹුරු ප්‍රඥාවෙන් ද උතුම් මනුෂ්‍ය
ධර්මයෙන් ද පොහොණි වූ අප්‍රමාණ කලාකරුවෙකි. ඔහුගේ විස්මිත කලා මෙහෙවර සිංහල නාට්‍ය,නවකතාව, කවිය මතු නොව ගුවන් විදුලිය ආදි ක්‍ෂේත්‍ර ගණනාවක් ඔස්සේ විහිදී ගිය මහා ප්‍රවාහයකි. ගුවන් විදුලිය තුළ සුගත් කළ විප්ලවයක් ලෙස ගුවන් විදුලි නාට්‍ය හා කෙටිකතාව ප්‍රමුඛ තන්හි ලා ගිණිය හැකි ය. කෙටිකතාව වූ කලී වචන පෙළකින් ඔබ්බට ගිය රස පද්ධතියක් බව ඔහු භාවිතයෙන් ම පෙන්නා දුන්නේ ය. ජාතක පොත, සම්භාව්‍ය සාහිත්‍ය මෙන්ම මාක්ස්වාදය පිළිබඳ චිරපරිචිත අවබෝධයකින් යුතු දුර්ලභ ප්‍රාඥයකු ලෙස ද ඔහු සිය රංග කලා හා සාහිත්‍ය භුමිකාව තුළ කැපී පෙනේ. සුගත්ගේ නාට්‍ය නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය අරම්බයා වූ පුළුල් දැනුවත් භාවය සහ අවබෝධය ඔහු විසින් 1988 පළ කළ සොඳුරු ආඥාදායකයා හෙවත් නාට්‍ය නිෂ්පාදක නමැති කෘතියෙන් වටහා ගත හැකි ය. ඒ හැරුණු විට "මරාසාද් වැනි දැවැන්ත පරිවර්තන නාට්‍ය නිෂ්පාදන හරහාත් හැටේ දශකයේ මුල් භාගයේ ඔහු විසින් නාට්‍ය සාහිත්‍යයට දායාද කළ ඇතැම් නාට්‍ය හරහාත් සුගත් ගේ නාට්‍ය සම්පාදන කලාව මොනවට පැහැදිලි වේ. පීටර් වයිස්ගේ (Peter Weiss) මරාසාද් (Maral-Sade) නාට්‍ය දුෂ්කර පිටපතකි. එහෙත් නව වාමාවාදි කතිකාව නිරූපණය කිරීමට ඔහු මේ දැවැන්න නාට්‍ය කෘතිය පරිවර්තනය කොට වේදිකාගත කෙළේය. සුගතපාල ද සිල්වාගේ විශිෂ්ටතම ස්වත්‍රන්ත නාට්‍ය දුන්න දුනුගමුවේ නාට්‍ය යැයි කීවොත් එය අතිශයෝක්තියක් නො වේ. දුන්න දුනුගමුවේ පුරා දශකයක් තුළ මෙරට නගර උප නහර ගම් නියංගම් සිසාරා ගමන් කළ දැවැන්ත නාට්‍යයකි. ගැමි රඟමඬලින් ඔබ්බට ගිය නව නාට්‍ය සම්ප්‍රදායක් සඳහා පුරෝගාමී වූ දුන්න දුනු ගමුවේ සමාජ සංවාදය කැටුව අවතීර්ණ වූ මහාර්ඝ නිර්මාණයකි. කම්කරු සමිති නායකයකු ස්වකීය පන්ති සටන හා අසරණ වූ සිය බිරිය - දරුවා අතර මැදි වී කරන සන්ත්‍රාස ජනක විඳවිල්ල මෙන් ම ලාංකේය කාන්තාවන්ගේ කැපවීම පිළිබඳ පණිවිඩය ද රැගෙන ආ මේ නාට්‍ය එවකට සමාජයේ මතු වූ කැකැරිල්ල ද සුවිශද කෙළේ ය. සුගතපාල ද සිල්වා ස්වකීය කලා නිමැවුම් තුළින් ලාංකේය කාන්තාවන්ගේ ආධ්‍යාත්මය විනිවිද දුටු මා හැඟි කලාකරුවෙකි. ඔහු විසින් නිෂ්පාදනය කළ " හිත හොඳ අම්මණ්ඩි '' නමැති නාට්‍යයේ එන බර්ටෝ බ්‍රෙෂ්ට් ගේ කාව්‍ය නිමැවුම පූර්වෝක්ත කරුණු කාරණා සනාථ කරන ආකාරය බලන්න.
ඉඩක් කෝ?
තැනක් කෝ?
දස්ස මිනිහට රටේ
වාසනා ගුණ සිඳුණු
පිදිය යුත්තන් නොදත්
දස්කම් විස්කම් ඔප්පු කරන්නට
අනුබල අනුභය තල්ලුව ඕනෑ
දස්කම් විස්කම් ඔප්පු කරන්නට
විලක්කු පාලිය රඟන්න ඕනෑ
අනේ දෙව්දත් නොදුටු මොක්පුර -20 සිට
නිස්සන් සුදුස්සන් නොව පුස්සන් ගැත්තත් රජයන සමාජයක දක්ෂයන්ට වැඩ කිරීමට අවස්ථාවක් කොහින්ද? දක්ෂයාට අද සමාජයේ ඉඩක් නැත ඔහුට කිසියම් ආස්ථානයකට අවතීර්ණ වීමට නම් දූෂණයෙන් වංචාවෙන් ජීවත්වන අමනෝඥයන්ගේ ඕනෑ එපකම් ඉටුකළ යුතු ය. කාන්තාවකට නම් ඊට වඩා බොහෝ දේ පරිත්‍යාග කිරීමට සිදු වේ. උඩු යටිකුරු වී ගිය සමාජය දෙසට සුගත් ගේ විමංශනාක්ෂිය යොමු වන ආකාරය කෙතරම් නම් අගනේද? සුගත්ගේ නාට්‍ය මෙන් ම කවිය ද මනුෂ්‍යත්ත්වයේ පැහැයන් සමාජයේ රිද්මයන් මුසුකොට සුපුෂ්පිත කළ පුෂ්පයක් බඳු ය. සංවේදී මනුෂ්‍ය හදවතට අනවරතයෙන් ම පෙම් බැඳි සුගත් මිනිස්කම අලුක්කාලත් නැති ජරාජීර්ණ වූ සමාජ සංස්ථාවට අතුල් පහරක් එල්ල කරන තවත් අපූරු කාව්‍ය නිමැවුමකි මේ.
අහම්බෙන් මෙන්
විශ්වයේ කොහේ දෝ තැනක
මොකක් දෝ පෙරළියක් වූ
අමාවක පෝ දාක
කිරි බැබළෙන හඳ එළියේ
ඇහින්දෙමි මම
උණුවෙන හදවතක්
" කාටද ඕනෑ උණුවෙන හදවතක්
කවුද ආශා උණුවෙන හදවතක් "
කෑ ගෑවෙමි මම
හදවත් නැත්තෝ නහුතක් දෙනා
'එපා එපා' මුරදෙති
අහක බලාගෙන
අනේ දෙව්දත් නොදුටි මොක්පුර 40-47 පිටු
අද්‍යතන සමාජයේ හදවත් ගැනීම මෙන්ම පිදුම ද ගනුදෙනුවකි. පුද්ගලයා මූලික කර ගත් ආත්මාර්ථකාමී මිනිසුන් රජයන සමාජයක හදවත් ඇත්තෝ කවරහුද? උණුවෙන හදවතකින් මේ ගොරතොර සමාජයට කුමන නම් පලක් ද? මේ අරාජික සමාජයට ඇවැසි වනුයේ රළු පරළු ගොරහැඬි හදවත් ම පමණි. හේ හදවතින් ම අපූරු සිහිනයක් දකියි. ඒ වූ කලී සංවේදී මිනිස් ප්‍රාණයක ජීව වායුවයි. ඔහු ස්වකීය කලා නිමැවුම් තුළින් විමැසුම් කෙළේ ද එකී මනරම් ජීවිතය යි. මෙනයින් ජීවිතයේ යථාර්ථය සොයන පුද්ගලයන්ට සුගත්ගේ මාහැඟි කලා නිමැවුම් සත්‍යයේ කැටපතක් බඳු නො වෙි ද?
ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .
Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝපිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇමෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විස
සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී
කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.
සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහ
.ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සොඳුරු ආඥාදායකයකුගේ චින්තන විප්ලවය