රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාමුවකින්.
ජවනිකාව 01
ඇතුළත
රජයේ රෝහලක ශල්‍යාගාරයක්.
කාන්තාවකගේ දරු ප්‍රසූතිය සිදුවන අවස්ථාව කෝණ කිහිපයකින් කැමරාවට හසුවෙනවා. ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරිය, මනෝරාණි සරවණමුත්තු සිය රාජකාරි කටයුත්ත හමාර කර මුව ආවරණය ඉවත් කළ වහාම, නළලේ රතුපාටින් පොට්ටුවක් තියාගන්නවා.
එතැන් සිට අපි චිත්‍රපටිය කියවන්න පටන් ගන්නවා.
කෘත්‍රිම පොට්ටුවක් වුණත්, ස්වාභාවික කුංකුමම්, චන්දනම්, විභූති වුණත්, අප දන්නා දෙමළ ගෑනු පොට්ටුව තියන්නේ වෙදැඟිල්ලෙන්. ඒක චාරිත්‍රයක්. ඒ, එය ප්‍රඥාව, අන්තර් ඥානය සහ මානසික පවිත්‍රතාව සමඟ සංගත “ආජ්නා චක්‍රය” සමග බැඳුණු ක්‍රියා පටිපාටියක් නිසා. ඒ දර්ශනය දැකීමෙන් අනතුරුව චිත්‍රපටියේ යෙදෙන සියුම් කරුණු කාරණා අපේ විමර්ශනට හසුවෙන්න පටන් ගන්නවා.
චිත්‍රපටි බලන්න ඕනේ එහෙම තමයි. ප්‍රබන්ධයක් වුණත්, සත්‍ය කතාවක් ඇසුරෙන් ගොඩනැගුණු සිනමා කෘතියක් වුණත්, උඩින් පල්ලෙන් බලලා, කතාවයි, සින්දුයි, සටන් ජවනිකයි ගැන විතරක් කතා කරලා වැඩක් නැහැ. පිටපත, දෙබස්, කලා අධ්‍යක්ෂණය, කැමරාව, ආලෝකය හැසිරවීම්, සංගීතය ආදී මෙකී නොකී කලා අංගයන්ගේ සම්මිශ්‍රණයකටයි අපි චිත්‍රපටියක් කියන්නේ. හොඳ චිත්‍රපටියක් ලෙස ජනගත වෙන්න නම් මේ සියලු අංග සමෝධානික වෙන්ඩ ඕනෑ. එතකොටයි චිත්‍රපටියක්
“සිනමාත්මක අත්දැකීම්ක්” බවට පරිවර්තනය වෙන්නේ.
සාමාන්‍ය ප්‍රකේෂකයන්ට කෙසේ වෙතත් සිනමා විචාරකයන්ට නම්, ඒ රූපරාමු හසුකරගන්නට භාවිත කළ කැමරා කාචය මිලි මීටර 35, 50, 85, 110 ද කියලත්, ඒ කාච, ඒ ඒ රූපරාමු සඳහා භාවිත කරන්නට හේතු පාදක ප්‍රස්තූතයත්, චිත්‍රපටියේ සමස්ත තේමාවට ඒවායින් ඇති කරන බලපෑම ගැනත් කියවාගන්න දැනීමක් තියෙන්න ඕනෑ. සංගීත රචනයේදී භාවිත රාග, තාල, ශ්‍රැති, ලය, සහ සංගීත භාණ්ඩ පිළිබඳවත් යම් හෝ අවබෝධයක් තිබුණොත් තමයි ඒ චිත්‍රපටිය පිළිබඳව නිසි කියැවීමක් කරගන්නට හැකි වෙන්නේ. සිනමා විචාරකයන් සහ ප්‍රෙක්ෂකයන් කියන දෙපාර්ශ්වයම චිත්‍රපටියක් කියවා ගන්නේ කෙසේද How to read a film කියන විෂයය පිළිබඳව අවබෝධයෙන් කෘති දිහා බැලුවානම්, වඩාත් සමීපව සහ මහත් ආනන්දයෙන් යුතුව, සිනමා කෘතියක් රසවිඳීමේ හැකියාව ලැබෙනවා. ශ්‍රී ලංකාව තුළ සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය වෙනවා.
හැබැයි දැන් හිතෙනවා අපරාදේ මම රාණි දිහාවේ එහෙම ඇහැකින් බැලුවේ කියලත්. එහෙම නොබලා හිටියානම්, අර ලලිත් ඇතුලත්මුදලිට බෝම්බයක් වැදිච්ච ආරංචියෙන් කම්පනයට පත්වුනු රාණි, තමන්ගේ නිදන කාමරයේ බිම වාඩිවෙලා, දණිස් දෙකේ ඔළුව ගහගෙන ඉකි ගසමින් හඬන දර්ශනය ආවේදනය නොවෙන්නට ඉඩ තිබුණා. එතැන විස්කි වීදුරුව අසලම Ashtray එක. අපේ අප්පච්චි එකක් නිවෙන්ඩ ඉස්සර ඒකෙන්ම අනිත් එක පත්තු කරගත්තු 555 සිගරට් ලෝලියා. ඒ වුණාට මං නම් ජීවිතේට දැකලා නැහැ එයා සිගරැට් එකේ පත්තු වෙන පැත්ත Ashtray එකේ ඇතුලට මිසක් එළියට පැත්තට හරවලා තියනවා.
ලංකාවේ දර්ශනතලවල රාජකාරි කරන බහුතරය පිරිමි. හොඳට කන බොන කට්ටිය. පුදුමේ කියන්නේ ඒ කාටවත්ම අහුවෙලා නැහැනේ මනෝරාණි සිගරැට් උරනකොට ප්‍රේක්ෂකයන්ට හිනා යන තරමටම කෘත්‍රිමයි කියලා. අලුත නයිට් ක්ලබ් යන්න පටන් ගත්තු ටෙලි නාට්‍ය නිළියෝ සිගරැට් බොනවා ඔයිට වඩා ලස්සනට.
අප දන්නා මනෝරාණිලාගේ සමාජ ස්ථරයට අයත් පිරිසගේ නිවෙස්වල, බිත්ති සැරැසිල්ලේ සිට පීරිසි කෝප්ප දක්වා තෝරාගැනීම් ටිකක් වෙනස්. ඒගොල්ලෝ නොමනා අලංකාරයට රුචි පිරිසක් නෙවෙයි. චිත්‍රපටියක කලා අධ්‍යක්ෂණය කරන අය, ඒ ඒ චරිත සහ අවකාශයන්ට අදාළ බඩු බාහිරාදිය පිළිබඳව හොඳ අධ්‍යයනයක යෙදෙන්ඩ ඕනෑ. එහෙම නොකළ නිසාදෝ මේ සමස්ත චිත්‍රපටිය තුළම කලා අධ්‍යක්ෂකට අතපසු වෙච්ච රාජකාරි ලැයිස්තුවක්ම තියෙනවා. හැබැයි ඒ වුණාට කවුද දන්නේ ලංකාවේ සිගරැට් බොන අය Ashtray එක පාවිච්චි කරන්නේ එහෙමද කියලා. කවුද දන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධ චිත්‍රපටියේ පෙන්වන මනෝරාණි නොමනා අලංකාරයට රුචි කෙනෙක්ද කියලා. අපරාදේ ඔව්වා දිහා බලන් හිටියේ.
අපි දන්නා විදියට මේ චිත්‍රපටිය අයිති වෙන්නේ චරිතාපදාන සිනමාව කියන ශානරයට. ඉංගිරිසියෙන් Biopic. (පොදු හෝ ඓතිහාසික චරිතයක් වන විශේෂිත පුද්ගලයකුගේ ජීවිතය නාට්‍යමය ලෙස නිරූපණය කරන චිත්‍රපටයක්) ඒ වුණාට ඉතින් මේකේ පළමු රූප රාමුවෙන්ම කියනවානේ “සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි” කියලා. ඉතිං ඒ නිසා මේ චිත්‍රපටියේ එන රිචඩ් සහ එයාගේ අම්මා වෙන දෙන්නෙක් කියලා හිතාගෙන, 88- 89 භීෂණ සමය වෙනත් රටක වෙච්ච සිද්ධි දාමයක් කියලා හිතාගෙන තමයි අපිට චිත්‍රපටිය බලන්න වෙන්නේ. හැබැයි එහෙම වුණාට චිත්‍රපටියේ එන නම් ගම්, වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු, රිචඩ්, ලලිත්, ශ්‍රීමනී, මහින්ද, මංගල, කරූ, ප්‍රේමදාස වාගේ, ඒ අතීත කාලපරාසයට අපව සෘජුවම සම්බන්ධ කළේ ඇයි කියලා පිටපත ලියාපු අය උත්තර බඳිනවානම් තමයි හොඳ.
මේ දවස්වල සමාජ මාධ්‍යවල සොයිසා පවුලේ අය ගැන ඇති තරම් ලිපි පළවෙන නිසා ඒ අය ගැන අටුවා ටීකා නොලියා ඉන්නවා. ඒ වුණාට අපේ සමකාලීන මිත්‍ර සමාගමේ අතිශය ආදරණීය සාමාජිකයකු වූ රිචඩ් ගැනත්, අප සියලු දෙනාට සමසේ දයා කරුණාව පෑ මනෝරාණි මැතිණිය ගැනත් අපගේ මතක ආවර්ජනයෙන් වචනයක් දෙකක් ලියන්නම වෙනවා.
රිචඩ් සහ මනෝරාණි අයත් වංශවත් කුල සරණියේ අය ඉංග්‍රිසි සාහිත්‍ය සමීපව පරිශීලනය කළා. ඒ අයගේ සීමිත මිත්‍ර සමාගමත්, ඒ අය වාගේම ශාස්ත්‍රීය පසුබිමක් සහිත චරිත. ඔවුන් මුණගැසුණු විට Zubin Mehta, Oscar Wilde, Marilyn Monroe, Picasso, Royal Ballet and Opera ගැන විතරක් නෙවෙයි, සම්මාන දිනූ සූපවේදී Marco Pierre, විශිෂ්ට වාස්තුවේදී Frank Gehry වැනි සුවිශාල පරාසයක පුද්ගලයින් සහ විෂයයන් පිළිබඳව සංවාද කළා. රිචඩ්ට ෂේක්ස්පියර්ගේ සියලු නාට්‍ය දෙබස් කට පාඩම් තරම්. අම්මයි පුතයි දෙපලත්, රිචඩ්ගේ තාත්තා ලූෂන් ඩි සොයිසාත් භාවිත ඉංග්‍රිසි අහගෙන ඉන්න ආසයි. හරියටම කවි වගෙයි.
දවසක් රාත්‍රියේ, රිචඩ්ගේ තාත්තා, ලූෂන් ඩි සොයිසා සහ වින්සන්ට් සේරසිංහ දෙපලත් සමග අපි තරුණ කිහිප දෙනෙක්, ලයනල් වෙන්ට්ඩ් Art Centre එකේ රොද බැන්දා. මධු විතක රස බලමින් ඒ අයගේ කතා අහගෙන හිටියා. ඒ සුන්දර හමුවට සමුදෙන්න සූදානමින් අපි කට්ටිය පහළට ආවා. ලූෂන් ඩි සොයිසාට ඒ කාලේ තිබුණේ ටිකක් පරණ කාර් එකක්. එයා වාහනයට අතින් තට්ටුවක් දාලා අපිට කියනවා
My car is falling into senile decay - just like its owner.
මගේ කාර් එකත් වයෝවෘද්ධව දිරාපත්වෙන්න පටන් අරන්. අයිතිකාරයා වාගේම.
ඒ ගොල්ලෝ කතා කළ ඉංග්‍රිසි එහෙමයි. ලස්සනයි. හරි හැඩයි. කවි වගෙයි.
මේ චිත්‍රපටියේ දෙබස් ලියාපු අයට ඒ සරණියේ අය ඉංග්‍රිසි සහ සිංහල සම්මිශ්‍රණයෙන් කතා කරන භාෂා විලාසය පිළිබඳව කිසිම අවබෝධයක් තිබී නැති වග සහතිකයි. දෙබස් රචනයේදී, ඔවුන් භාවිත වචන, වචන උච්චාරණය, ප්‍රකාශනයේදී මුහුණේ ඉරියව් ආදී විස්තර පිළිබඳව, අබමල් රේණුවක සැලකිල්ලක් දක්වපු වගක් පේන්න නැහැ. මනෝරාණි සහ රිචඩ් ලවා කතා කරවන වාක්‍ය පෙළගැස්ම සමකාලික නැහැ.
චිත්‍රපටියේ එක් ජවනිකාවක මනෝරාණි හදිසියේ රිචඩ්ගේ කාමරයට ගොඩවෙනවා. ඇය දකිනවා තම පුත්‍රයාත් ඔහුගේ මිතුරාත් වැලඳගෙන සිටිනවා. ඇය වහාම කාමරයේ දොර වසා පිට වෙනවා. ඒක තත්පර හතරක විතර පුංචි රූප රාමුවක්. අපට නම් ඒ දර්ශනය හරිම සාමාන්‍ය එකක්. මිත්‍රයන් එහෙම වැලඳ ගන්නා එක ස්වාභාවික නියමයට එකඟයි. ඒ සිදුවීමෙන් පසු ජවනිකාවකදී, අම්මයි පුතයි තනිවූ නිමේෂයක, අම්මා පුතාගෙන් අහනවා Did you rape him (ඔබ ඔහු දූෂණය කළාද?) කියලා. දෙයි හාමුදුරුවණේ. එවැනි ප්‍රාථමික දෙබස් රිචඩ්ලා අයිති සංස්කෘතියට නොගැළපෙයි. Rape කියන වචනයේ තේරුමට ද සාධාරණයක් ඉෂ්ට නොවෙයි.
අප දන්නා මනෝරාණි කවමදාකවත් සිල්ලර කඩේකට ගිහින් සිගරැට් මිලදී ගත්තේ නැහැ. ඒ මනෝරාණි කිසිම අවස්ථාවක තමන්ගේ ආවතේවකාරයන්ට විස්කි වත්කරලා දුන්නේ නැහැ. ඒ නිවෙස්වල සේවකයන් කවමදාකවත් විස්කි වීදුරු අතේ තියාගෙන ඒ ගොල්ලන්ගේ කාමරවලට වැදිලා ඒ අයගේ පුද්ගලික ජීවිතය වීඩියෝ ගතකළේ නැහැ.
හැබැයි ඉතින් මේ චිත්‍රපටිය පටන් ගන්නේ “සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි” කියලනේ. ඒ නිසා අපිට මෙව්වා ගැන විචාරන්නට ලොකු අයිතියකුත් නැහැ. අපරාදේ. ඔව්වා මෙව්වා හිතන්නැතිව ඔහේ බලාගෙන ඉන්ඩ තිබ්බේ.
ජවනිකාව XYZ
මනෝරාණි මහත්මිය මවුවරුන්නේ පෙරමුණේ රැස්වීමක් අමතනවා.
පටන් ගන්නේ මෙහෙම වාක්‍යයකින්.
මට හොඳ සිංහලෙන් කතා කරන්ඩ අමාරුයි.
ඔය පෙලම නොවුණත් ඔය අදහස එන වාක්‍යයක් කියනවා.
ඒක හරිම පුදුම දෙබසක්. චිත්‍රපටිය ආරම්භයේ සිට මෙතෙක් හොඳ සිංහලෙන් කතා කරපු රාණිට කොහොමද එහෙම දෙබසක් වැටුණේ. පුදුමේ කියන්නේ ඒ වාක්‍ය කියලා එතැන් සිට, ළිඳ ළඟ සංගමේ ලලනාවක් වාගේ බස බස ගාලා සුද්ධ සිංහලෙන් සභාව අමතනවා.
දෙබස් දෙබස් දෙබස්
මේ චිත්‍රපටිය ඇස් වහගෙන වුණත් බලන්න පුළුවන්. මේකේ ඒ තරමටම දෙබස්. හිස් තැනක් හොයාගන්න අමාරුයි. අපරාදේ මහන්සි වුණේ. මේ පිටපතෙන් Episode පහක හයක හොඳ ගුවන් විදුලි රඟමඩලක් කරන්න තිබුණා. එහෙම වුණානම් හැම රූප රාමුවකම මනෝරාණිගේ, ලලිත්ගේ, මංගලගේ, මහින්දගේ, ඉස්මුරුත්තේ ගිය රඟපෑම් නොපෙනෙන නිසා අපට වඩාත් විනෝදයෙන් කතාව රස විඳින්න තිබුණා. ස්වර්ණා කියන විදියට එයාට මනෝරාණි හම්බ වෙලා තියෙනවා. අවාසනාවට එයාට මනෝරාණි මැතිණියගේ සංයමය, ආත්ම දමනය සහ ශික්ෂණයෙන් යුතු හැසිරීම ආවේදනය වූ වගක් පෙනෙන්නට නැහැ.
චිත්‍රපටියේ චරිත ගොඩනැගීමේ අඩපණ බව නිර්මාණය පුරාම පැතිරිලා තියෙනවා. ජවනිකා අතර පෙළගැස්මත් නියාලුයි. ඇතැම් චරිත කවුද කියලාවත් අපිට නොදැනෙයි. ගිහාන් ප්‍රනාන්දු සහ සම්පත් ජයවීර කාගේ කවුදැයි අපිට නොදන්වයි. ලලිත් ඇතුලත්මුදලිගේ චරිතය නිරූපණය කරන සනත් ගැන නොලියා ඉන්න එක ඇඟට ගුණයි. එයා කවදත් රඟපාපු නළුවෙකුත් නෙවෙයි. ඔව්වා ගැන ලියනවානම් මාගලක් ඕනෑ වෙයි.
20 වැනි සියවසේ බිහිවූ අති විශිෂ්ට සංධ්වනි මෙහෙයවන්නකු වූ Leonard Bernstein ලෙනාඩ් බර්න්ස්ටයින්ගේ චරිතය පාදක කරගනිමින් 2023 අවුරුද්දේ නිකුත් වූ Maestro සිනමා කෘතියේ ප්‍රධාන චරිතය රඟපෑවේ බ්‍රැඩ්ලි කූපර්. ඔහු ඒ චරිතය නිරූපණය කරන්නට වසර හයක කාලයක් පුහුණුවීම් කටයුතුවල යෙදුණා. බර්න්ස්ටයින්ටම සුවිශේෂ ඔහුගේ අද්විතීය කතා විලාසය හදාරන්නට මාස හයක කාලයක්, කථන චිකිත්සකයකු Speech Therapist සමග අභ්‍යාස කළා. බර්න්ස්ටයින්ගේ දරුවන්, මිතුරන් සහ සහාකාරයන් සමග ඔහුගේ ජීවන තොරතුරු විමසමින් දින, සති, මාස ගණන් ඔහුගේ නිවසේ ජීවත් වුණා.
1979 අවුරුද්දේ නිකුත්වූ බාසු චැටර්ජි අධ්‍යක්ෂණය කළ මන්සිල් Manzil නැමැති චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟපෑවේ අමිතාබ් බච්චන්. තිරපිටපතට අනුව, අජේ චන්ද්‍රා නමැති සංගීතඥයකුගේ චරිතයයි බච්චන් රඟපෑවේ. චිත්‍රපටියේ ඉතා කුඩා කොටසක යෙදෙන ප්‍රධාන නළුවා සිතාරයක් වාදනය කරන කොටස පුහුණුවන්නට, බච්චන්, විශිෂ්ට සිතාර් වාදක, උස්තාද් රයිස් ඛාන්ගේ ගුරුකුලයේ තෙමසක් ගතකළා. ගම්භීර අධ්‍යක්ෂකවරු, පිටපත් සහ දෙබස් රචකයන් සහ නළු නිළියන් චිත්‍රපටි නිර්මාණයට පෙර සූදානම් වෙන්නේ එහෙමයි.
අපි දන්නා රිචඩ් මනා පෞරුෂයකින් යුක්ත සුන්දර මිනිහෙක්. ඒ චරිතය ගැන පොතක් ලියන්නට තරම් කරුණු කාරණා තියෙනවා. රිචඩ්ගේ චරිතයත් මනෝරාණිගේ චරිතයත් නිරූපණය සියුම් ගවේෂණයකින් පසුව කළ යුතුව තිබුණා.
චිත්‍රපටියක සංගීත නිර්මාණය සිනමා සංගීත විෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් අතිව කළ යුතු කටයුත්තක්. සිනමා විෂයය පිළිබඳව සුවිශාල අධ්‍යයනයක් කළ සංගීත අධ්‍යක්ෂවරයකුට පමණයි තම සංගීත රචනය හරහා චිත්‍රපටියේ එන රූපරාමුවලට පණ දෙන්න හැකිවෙන්නේ. ජවනිකාවක මනෝභාවය, ධ්වනිය සහ අන්තරීක්ෂය Mood, Tone, and Atmosphere පවත්වාගෙන යන්නටත්, වචනවලින් ඔබ්බට හැඟීම් ප්‍රකාශනයටත්, කාලය සහ අවකාශයේ සමබරතාව රැකගන්නටත් සංගීත රචනය සහ Sound Design බලපෑම ඉහළයි. අවාසනාවට මේ චිත්‍රපටියේ සංගීත රචනය සහ Sound Design තේමාවකින් තොරයි. අතිශය සාම්ප්‍රදායිකයි. අපේ ප්‍රාථමික දැනීමට අනුව වුණත් සිංහල සිනමා සංගීතය තවමත් පටන් ගත්තු තැනමයි. පරිණාමය වීමකින් තොරයි. අතිශයින්ම දුර්වල රාණි පිටපතට සංගීත රචනයෙන් හෝ Sound Design මගින් සාධාරණයක් ඉටුවී ඇති වගක් ගම්‍ය නොවෙයි.
රාණි තිරපිටපත ස්වර්ණා අතට පත්වෙන්නේ අදක ඊයෙක නෙවෙයි. අපේ මතකය හරිනම්, ඉස්සරවෙලාම නිලේන්ද්‍ර දේශප්‍රිය ලියූ පිටපත, අනතුරුව සුදත් මහදිවුල්වැව ලියූ පිටපත. අප දන්නා තරමට සුදත් ලියූ පිටපත අවුරුද්දකට කිට්ටු කාලයක් එයා සන්තකේ තිබුණා. අවශ්‍යතාවක් තිබුණානම් රිචඩ් ගේ අම්මා, වෛද්‍ය මනෝරාණි සරවණමුත්තු පිළිබඳව හොඳ අධ්‍යයනයක් කරන්නට එයාට ඇති තරම් කාලය තිබුණා. අවාසනාවට එයා එහෙම අධ්‍යයනයක් නොකළ වග පැහැදිලියි.
අපේ සරල ප්‍රෙක්ෂක විඥානයට අනුව නම් රාණි අතිශය දුර්වල චිත්‍රපටියක්. සිනමා ශාලා House Full වුණු තරමට, සම්මත විචාරකයන් චිත්‍රපටිය ඔසවා තැබුවාට, සිනමා කෘතියේ සාර්ථකත්වය හෝ නිර්මාණයේ සිනමාත්මක බව තීරණය කරන්න බැහැ. ලංකාවේ නම් දැරූ සිනමා විචාරකයන් සහ ප්‍රෙක්ෂකයන් දෙපිරිසම සිනමා කෘතියක් නිවැරදිව කියවන්නට ඉගෙන ගත්ත දවසක සිනමාව කර්මාන්තයක් ලෙස දියුණු වෙයි.
චිත්‍රපටියේ දුර්වල තැන් ගොන්න “සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියන රූපරාමුවට මුවාවෙලා පවාරණය කරගන්න බැහැ කියන සත්‍යය, නිර්මාණයට සම්මාදන්වූ සියල්ලන්ටම දැනෙනවානම් තමයි හොඳ.
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස
මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාම
නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හි
ලෝක සාහිත්‍යයේ විශිෂ්ට කෘති සිංහලයට නැඟීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු වන්නකි. සිංහලයට නැඟුණ කෘතිවල ආභාසය ලැබීමෙන් සිංහල සාහිත්‍යය පෝෂණය වූ බව අමුතුවෙන්
සුකීර්තිමත් කිවිසුරු,ගේයපද රචක මහගම සේකරයන් නොකල්හි මියගොස් අදට වසර පනහකි.සේකරයන්ගේ කාව්‍ය කෘතිවල අග්‍රඵල ලෙස ගිණිය හැකි නොමියෙමි සහ ප්‍රබුද්ධ ඇසුර
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
’’රාණි ’’ දුර්වල සිනමා සිත්තමක්
M.G.Chithrananda Tuesday, 18 February 2025 05:57 AM
සිල්ලර විවේචන
Sam Tuesday, 18 February 2025 03:48 PM
මා තවම රාණි නොබැලුවත්, මේ විචාරය අගය කරමි. වෙනත් කිසිම විචාරකයෙකුට වඩා මොහුගේ ප්‍රවේශය පෘථුලයි. වෙනස්. අසම සමයි. ආකර්ශනියයි.
Pradeep Kumara Saturday, 22 February 2025 12:12 PM
රාණි නරඹන්න කලින්ම මෙවැනි විචාරයක් කියවන්න ලැබීම භාග්‍යයක්. Sam සමඟ එකඟයි. අගයකළ යුතු විචාරයක්. අධ්‍යක්ෂක වරුන්ටත් හසු නොවූ ඉතා සියුම් තැන් මොහු ඉතා හොඳින් නිරීක්ෂණය කරලා තියනවා.