අග්‍රගණ්‍ය කවියකු , නවකතාකරුවකු, කලා ඉතිහාසඥයකු ,කලා විචාරකයකු ආදී නේකවිධ කලා ක්ෂේත්‍රවල මාහැඟි සමාර්ථතාවක් සුවිශද කළ සිරි ගුණසිංහයෝ 1925 පෙබරවාරි 18 වැනි දින උපත ලැබූවෝය.
ඔවුහු නිදහස් සිංහල කවියේ නිර්මාණාත්මක බව ඔප් නංවනු වස් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළහ .ඒ 1956 දී පළ කළ 'මස් ලේ නැති ඇට' කාව්‍ය සංග්‍රහය පාඨකයා වෙත තිළිණ කරමිනි. මූර්ධජ 'ණ' සහ 'ළ' අක්ෂර ඉවතලමින් ලේඛනයේ නිමග්න ව මෙරට කලා කෙත වෙනුවෙන් අග්‍රගණ්‍ය මෙහෙවරක් ඉටු කළ අය අතරට සිරි ගුණසිංහයෝ ද ඇතුළත් වෙති.
සිරි ගුණසිංහ ප්‍රධාන වශයෙන් ම සැලකෙන්නේ කවියකු වශයෙනි. මේ රටේ ආරම්භයේ සිට පැවත ආ කාව්‍ය ක්‍රමය විප්ලවීය වෙනසකට භාජනය කළ කවියකු ලෙස ද ඔහු හැඳින්විය හැකිය. අපට තිබුණේ විරිත මුල්කොටගත් කාව්‍ය සම්ප්‍රදායයකි. එතැනින් වෙනස් මඟක යාමට ජී .බී සේනානායක වෑයම් කළ නමුත් ,වඩාත් ප්‍රබල ලෙස විරිතෙන් තොර කාව්‍ය නිර්මාණයකට යොමු වූයේ සිරි ගුණසිංහයන් ය .
එපමණක් ද නොව අන්තර්ගතය පවා වඩාත් වෙනස් අතකට යොමු කළ කවියකු ලෙස ඔහු සැලකිය හැකිය.
සිරි ගුණසිංහයන්ගේ කාව්‍ය නිර්මාණවල අපට දක්නට ලැබෙන ලක්ෂණයක විරිතෙන් තොර වීමයි. එය හැඳින්වූයේ නිසඳැස් යනුවෙනි. ඔහු හඳුන්වා දුන් එකී වෙනස අද වන විට කවියේ ප්‍රමුඛතම සාධකයකි. වර්තමානයේ කවි ලියන කවීන් බහුතරයකගේ නිර්මාණයේ දී විරිත මුල් කොට නොගනී .
ඔහුගේ කවියේ වැදගත් ලක්ෂණය එය පමණක් නොවේ . 'මස් ලේ නැති ඇට'කාව්‍යයේ සිට 'රතු කැකුළ' වැනි කාව්‍ය දක්වා එන විට ඔහුගේ කවියේ අන්තර්ගතයේ ඇති වෙනස හොඳින් හඳුනාගත හැකිය.
වෙනදා කවියකුගෙන් අප දකින තේමාවන්ගෙන් බොහෝ සේ බැහැර වූ තේමා ඔස්සේ ඔවුහු තම කවි රචනා කළහ.
'මී හරකා' වැනි කවියක් ඊට හොඳ නිදසුනකි.'පොඩි ළමයෝ බත් ඉවරද කාලා'ආදී වශයෙන් සඳහන් කවිය ද එලෙසය.මෙලෙස සඳහන් කළේ කවි කිහිපයක් පමණි.අනෙක් කවි ද එසේමය .
අන්තර්ගතය මෙන් ම කාව්‍ය උපක්‍රම අතින්ද ඒ කවිවල විශේෂත්වයක් විය .මීට පෙර භාවිත වූ කාව්‍ය උපක්‍රමවල වැඩි වශයෙන් දක්නට තිබුණේ උපමා - උපමේය යෙදීම ය .එහෙත් පළමු වතාවට අපේ කවියට චිත්තරූප හඳුන්වා දුන්නේ ඔහු විය යුතුය .
ඔහු එම ආදර්ශය ලැබුවේ ප්‍රංශ කවි බෙහෙවින් ආශ්‍රය කළ නිසා විය යුතුය. මන්දයත් සිරි ගුණසිංහයන් ප්‍රංශ භාෂාව හොඳින් උගත් විද්වතෙකු වීමයි. බෝදලයා,ලාමීර්,රම්බෝ වැනි ප්‍රංශ කවීන්ගේ කවිවල තිබූ එම චිත්ත රූපී ගුණය සිංහල කවියට හඳුන්වා දුන්නේ සිරි ගුනසිංහ විසිනි .බොහෝ විට ඔහු හඳුන්වා දෙන්නේ විරිතෙන් තොර කවි ලියූ කවියා වශයෙන් වුවද , එපමණකින් නොනැවතී කවියේ ස්වරූපය වෙනස් කිරීමට ද නොබියව ඉදිරිපත් වූ කවියකු ලෙස ඔහු හඳුනාගත හැකිය.
ඔහු එක්වරම නිසඳැස් කවිය හඳුන්වා දුන්නා නොවේ.කාලයක් තිස්සේ අපේ සාම්ප්‍රදායික කවිය අධ්‍යයනය කරමින් එහි තිබූ අඩු ලුහුඩුකම් හඳුනාගෙන අධ්‍යයනය කරමින් ඔවුහු මේ කාර්යයට අවතීර්ණ වූහ. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය නිකුත් වීමටත් පෙරාතුව ම ඩේලිනිවුස් පුවත්පතට සැපයූ ලිපියක එම කාරණය සඳහන්ව ඇත .ඒ වනවිටත් විදේශ කාව්‍යවල ,විශේෂයෙන් ප්‍රංශ කවියේ එම වෙනස සිදුව තිබුණි.අප ඒ වෙනස අවුරුදු අවුරුදු 50 -60 ප්‍රමාද වී සිදු කරයි .එලෙස සිදු කිරීමට ද හැකියාව ලැබෙනුයේ සිරි ගුණසිංහයන්ගේ හැකියාව නිසාම ය. එම වෙනස කරන්නට පෙලඹවූයේ කොළඹ යුගයේ කවිවල තිබූ ඒකාකාරී ස්වභාවය, එම කවීන් යොදාගත් ජීවිත අත්දැකීම්වල තිබූ පටු බව හා එබැවින් එම කවිවල පැවති සීමිත බව නිසා මනා අවබෝධයෙන් යුතුව මෙම වෙනස සිදු කරන්නට විය .
ඔහුගේ අවසන් කාව්‍ය සංග්‍රහය වන ආලකමන්දාවට 'සිංහල කාව්‍ය සම්ප්‍රදාය සොයා යාම සිරි ගුණසිංහ සමඟ' යනුවෙන් විචාරාත්මක හැඳින්වීමක් ලියූ පරාක්‍රම කොඩිතුවක්කු කිවිඳුන් මේ ආකාරයට සඳහන් කර ඇත .
"තවමත් බිඳ නැති බිත්තර මෙන් සිරි ගුණසිංහයන්ගේ අසාමාන්‍ය කවි කැඳැල්ලෙහි ජීවයෙන් ගැහෙමින් උණුසුම්ව ඇත යනු මගේ ස්නායුවලට දැනෙන දෙයකි. සිංහල කවියේ සිරි ගුණසිංහ සංකීර්ණ ගැන නැවතත් සිතීමට අවස්ථාව දැන් එළැඹ තිබේ "
සිරි ගුණසිංහයන්ගේ අසාමාන්‍ය කවි අධ්‍යයනයෙන් නූතන සිංහල කවියට ලබාගත හැකි ප්‍රභාව ඉමහත්ය.ඔහුගේ කාව්‍ය චින්තනය තුළ ඇත්තේ නිදහස්, නිවහල් අදීන බවකි. ඔහුගේ කාව්‍යාවලිය තුළින් ව්‍යාජ ආගම් භක්තිය ,අධ්‍යාපනයේ නිස්සාරත්වය, අතීතයට දැඩිව ආකස්මික වීම දැඩි සේ ප්‍රශ්න කරයි.
සිරි ගුණසිංහයන්ගේ කාව්‍යකරණය දෙස අවධානය යොමු කළහොත්,
"මස් ලේ නැති ඇට" කාව්‍ය සංග්‍රහයේ මුල් කව වනුයේ 'නොපෙනෙන එළිය' යි. ගතානුගතික ජීවිතයක් ගත කරන්නෙක් එම ජීවිතය තුළ ඇති නිස්සාර බව දැක ඒ පිළිබඳ උපන් කලකිරිමෙන් කෝපය හා ශෝකය ප්‍රකට කිරීම සඳහා යොදා ගන්නා බස් වහර මෙතෙක් සිංහල කවිය අනුදත් මඟකට පරිබාහිර වූවකි . ඒ බව සනාථ කිරීමට මේ කවිය ගෙන හැර පෑ හැකිය.
"අඳුර සුනුවිසනු කර
ඊයේ වගෙ
ඇයි තවමත් නොනගින්නේ
මගෙ දෛනික ඇස් රුදාව
නද දෙවමින් මදුරු රෑනෙ
ගොලුබෙලි කටුව තුළ මෙන්
අඳුර පෙරව ගෙන හිටියේ
ගලා වැටෙන තෙක්ම තමයි
මහ පොළොවෙහි දෙවෙනි දවස"
මෙහිදී කවියා විසින් යොදා ගන්නා උපමා රූපකයන්හි ඇත්තේ නව්‍ය බවකි.' මගෙ දෛනික ඇස් රුදාව' 'ගොලුබෙලි කටුවක තුළ මෙන්' නව උපමා රූපක ලෙස හඳුනා ගත හැකිය. හිරු බුද්ධිය ලෙසත් අඳුර අවිද්‍යාව ලෙසත් දක්වමින් බුද්ධිය රුදාව ගෙන එන බව දක්වයි. මේ කවිය අවසන් කරනුයේ කෝපය මුසු වෙිදයිතයන් ජනිත කරවමිනි .
"වෙලාගන්න වෙලාගන්න
අනේ මා වෙලාගන්
අඳුර මගෙ එකම එක
සොඳුර මා වෙලාගන්"
"ඊයේ සොඳුර "මෙහි එන සාර්ථක පද්‍ය පන්තියකි.
"රුවැතිය,ඇය ලපටිය,ලලිතය
දැඩි පලස් ගනඳුර යට සෙලුව ලද
දැන් ඇය නීරසය"
වයසට ගිය කල්හි තමන් ඇසුරු කළ ප්‍රේමවන්ත ගැහැනුන්ගෙන් ලද කාමාස්වාදය සිහිපත් කරමින් රචිත මෙම පද්‍ය පන්තියෙහි ඇත්තේ කාමය,රතිය කුළු ගන්වන බස් වහරකි.
'මතක වස්තුව' තුළින් කියැවෙන්නේ සිය පෙම්වතිය තමන් අතහැර යාමෙන් පසු තරුණ පෙම්වතා අසරණ බවට පත් වී ඈ ගැන සිහි කිරීමෙන් ප්‍රකමිපා වීමයි.
"මා හැරදා
දරදඬු කොටදමා අත් පා
ඈ යන්න ගියා මැකිලා
ඈ යන්න ගියා මැකිලා
සැමරුම් වග වලසුන් රෑනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී"
මෙහිදී රිද්මයානුකූල බස් වහර හා අලුත් යෙදුම් නිසා හැඟීම් තීව්‍ර වීමෙන් මනා චිත්තරූප ජනිත වෙයි.
"අභිනික්මන" සිරි ගුණසිංහගේ දෙවැනි කාව්‍ය සංග්‍රහය යි.මෙහි එන 'දිවා භෝජනය' කාව්‍යමය රචනාව තුළින් කියවෙන්නේ කුඩා දරුවකු දිවා භෝජනය අනුභව කළ ආකාරය යි. මෙහිදී පන්ති විසමතාව නිසා දිළිඳු දරුවකු මුහුණපාන සැබෑ යථාර්ථය මැනවින් විශද වන අයුරු කාව්‍යයේ සන්දර්භය ගොඩනැඟීමට කවියා සමත් වී ඇත.
"අට වයස් නොදරුවා
හැට පිරුණු කළු සමින්
වැසුණු ඇටසැකිල්ලකි
එහෙත් ඔහු සිනාසෙයි
දත් පුරා සිනාසෙයි
කටපුරා සිනාසෙයි "
පවත්නා සමාජ ආර්ථික ප්‍රපංචය තුළ දරුවා පෙළන දරිද්‍රතාවත් ඒ නිසාම දරුවාගේ ස්වරූපය මැනවින් නිරූපිත ය.
"වමතේ පොල් කටුවෙ සිට
කට ළඟට ගොස් වැටෙන
ලී කැබැල්ලකි සුරත
බට්ටෙක් මෙන් ඔරලෝසුවෙ
ගණන් බලා තුන් විඩයක්
උඩහට පහළට ගිය අත
හිස් පොල්කටුවේ
එකවර නැවතුන"
කෙසඟ සිරුරකින් යුත් මේ දරුවාට ප්‍රමාණවත් ආහාර නොවූ බවත්, තිබූ ආහාර ප්‍රමාණය ආහාරයට ගත් අයුරු චිත්‍රණය කරන ලද මේ කවිය තුළ ඇති 'ලී කැබැල්ලකි සුරත ' යනු මනා වූ රූපකයකි. 'බට්ටෙක් මෙන් ඔරලෝසුවේ' යනු කදිම උපමාවකි.
මේ කවි පෙළ 'දිවා ආහාරය' වෙනුවට 'දිවා භෝජනය ' ලෙසින් දක්වා ඇත්තේ උත්ප්‍රාසයෙනි.එම දිවා ආහාරය දරුවාට දිව්‍ය භෝජනයක් වූවාය. ඉතාමත් සංවේදීත්වයෙන් යුතු වස්තු විෂයක් සහෘද සිත් තුළට අපූරු අයුරින් ජනනය කිරීමට මෙම කාව්‍යය සමර්ථ විය.
"බල්ලගේ මරණය" කවි පන්තියෙහි බල්ලාත් මිනිසාත් අතර පැවති සබඳතාව මැනවින් කුළුගැන්වෙන පරිදි රචනා කර ඇත.
"මරණය නොසැලී හිමාලයක් මෙන්" කාව්‍යයේ මරණය පිළිබඳ අපූර්ව චිත්ත රූප මවමින් රිද්මයානුකූල බස් වහරක් උපයෝගී කර ගෙන ඇත.
"රතු කැකුළ" සිරි ගුනසිංහගේ තෙවැනි කාව්‍ය සංග්‍රහයයි. එහි එන සීගිරිය ,ඊයේ පෙරේදා පළමුදා, බලා සිටි වැස්ස, මහා ගස ආදී කාව්‍ය රිද්මයානුකූල බස් වහරකින් රචනා වී ඇත .
එයින් පසු වසර තිස් හයකට පසු ඔහු "ආලකමන්දාව" කාව්‍ය සංග්‍රහය රචනා කර ඇත.
චිරන්තන කාව්‍ය සම්ප්‍රදාය තුළින් අත්දැකීම් සූචනය කිරීම සඳහා යොදාගත් සාම්ප්‍රදායික එළිසමය වෙනුවට වස්තු විෂයට ගෝචර කාව්‍යෝචිත භාෂාවක් මෙන්ම උචිත රිද්මයක් ද යොදා ගත යුතු බැව් තරයේ ඇදහූ සිරි ගුනසිංහයෝ කාව්‍ය නිර්මාණය සඳහා දෘෂ්ටිගෝචර ශ්‍රව්‍ය ගෝචර ආකෘතියක් නිපදවීමට උත්සුක වූහ.
සිරි ගුණසිංහයන් විසින් නිර්මිත නිසඳැස් කාව්‍ය සංග්‍රහ තුළින් ඇති කළ නව කාව්‍ය සම්ප්‍රදාය සිංහල කවි කෙතෙහි නිම් වළලු ප්‍රසාරණය කිරීමටත්, නව කවි පරපුරක් බිහි කිරීමටත් ඉවහල් විය. එසේ හෙයින් සිරි ගුණසිංහ යනු නූතන සිංහල කවියේ යුග පෙරළියක් ඇති කළ විප්ලවීය කවියා ලෙසින් හැඳින්වීම නිරවද්‍ය වේ.
මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා
මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස
මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාම
නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නූතන විප්ලවීය කවියා මහැදුරු සිරි ගුණසිංහ