(සුකීර්තිමත් කිවිසුරු,ගේයපද රචක මහගම සේකරයන් නොකල්හි මියගොස් අදට වසර පනහකි.සේකරයන්ගේ කාව්‍ය කෘතිවල අග්‍රඵල ලෙස ගිණිය හැකි නොමියෙමි සහ ප්‍රබුද්ධ ඇසුරින් මෙි වියමන ලංකාදීප මතුමහල වෙනුවෙන් සැකසිණි. )
සිටියෝය විසිත්ත කාමරයෙහි
කළුකබා මහත ටයි
තරබාරු ප්‍රභූවරු
ගරුතර මැති ඇමැතිවරු
පිටකර රැළි වැටුණු
කඳ බඩ හොඳින් ආරපු
සංස්ථා ලොක්කෝ
සහ පෙරකදෝරුවෝ
පීරා ඈතින් කෙස් ගෙනත්
තට්ටය යාන්තමින් වසාගත්
රජයේ වර ලැබූ
ව්‍යාපාර හිමිකරුවෝ
ජාතික බැනියම් අඳින
ඡන්දයට සල්ලිත් දෙන
සිටියෝය මෝරපු ගැහැනු
බැන්ද උස් කොණ්ඩා හා
ගන දෙතොල් උල් නිය ඇති
අඩවන් තඩිස්සි ඇස්
ඉඟ දෙපසින් එල්ලෙන මස්
විජිනිපත් ගෙන පවන් සලමින්
බලමින් නෙත් කොනින් ගර්වයෙන්
මැකෙන රූසිරියට මුක්කු ගසමින්
- ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය
යශෝධාගේ උපන්දින සාදයේ විසූක දස්සනවලින් අන්ද මන්ද වී සිටින ප්‍රබුද්ධ ඉහළ සමාජයේ කූල්ටූර් ජීවිත දෙස ස්වරාලංකාරයෙන් දය උපහාසයෙන් බලයි.නිර්ධන පන්තියේ ජනතාවගේ ශ්‍රමය සූරාකමින් ඇතැම් ධනපතියෝ මුදල් අට්ටි ගසමින් නාස්තිකාර ජීවිත ගත කරති.ඔවුන්ගේ ජීවිතයම සාදයකි. එහෙත් ඔවුහු අපරාධකාරයෝය මේ ව්‍යාජ ජීවිතවල ඇතුළාන්තය දැකීමට තරම් ප්‍රබුද්ධගේ මනස පොහොසත්ය.ඔහුට සම්‍යඥානය ඇත.
පාවුණා යශෝධා උන් මැදට
දියට බසින හංස ධෙිනුවක් විලසට එහෙත් අමුත්තක් එවිටම දැනිණ ඔහුට පැතිර ගියෙන් අවට කසුකුසු හඬ හීනමානයක් හා චකිතයක්
ඔහු සිතෙයි පහළ විය
යෝධයන් අතර අඟුටමිට්ටකු සේ ය
නාඳුනන දුරුරටක අතර මං වූවා සේ ය
- ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය
ආරංචියි ආර්ටිස්ට් කෙනෙක් කියලා කියන්නකෝ සින්දුවක්!
ප්‍රබුද්ධ පියානෝව වෙතට ගියේ
ඈත රටක තනිවී සිටින විටක
හිත මිතුරකු දුටුවා මෙනි.
ජගන් මෝහිනී මධුර භාෂිණී
චාරු දේහනී කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ
සරස්වතී දේවී
නොදන්නා බසකින්
නොදන්නා කිසිවක් කියන විට මෙන්
බලා සිටියෝ ඔවුහු නොසතුටින්. නොමිහිරිද මේ වෙණ?
ඇසුහුද මින් වැඩි වෙණ ?
නැතහොත් නැත නුවණ
කියව නොසතුටු වෙන්න කාරණ?
පොප් ගීයක්
පොප් ගියක්
සියල්ලෝම හඬ නැගූහ.
සිය පෙම්වතිය වන යශෝධාගේ උපන්දින ප්‍රිය සම්භාෂණයට පැමිණ සිටින ආරාධිතයෝ ප්‍රබුද්ධට ගීයක් ගයන්නට ඇරියුම් කරති. සබකෝලයෙන් වටපිට බලන ප්‍රබුද්ධ ගයන්නේ කුමක් දැයි කල්පනා කරයි.
ප්‍රබුද්ධ පොප් ගීතයක් ගායනා කරනු ඇතැයි ඔවුහු කල්පන කළහ. එහෙත් ඔහු මෙහිදී ගායනා කළේ තමා උගත් ශාස්ත්‍ර ඥානයට මෙන්ම සමිභාව්‍ය රසික හදවත් සුපෝෂණය කළ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ලියූ සරස්වති අභිනන්දන ගීතයයි. එහෙත් ඉහළ සමාජයේ බොහෝ පිරිසක් එබඳු ශාස්ත්‍රීය ගීත ප්‍රිය නොකරති.ඔවුහු කර්ණරසායන ගීත වෙනුවට කර්ණකටුක බයිලා ඇසීමට ප්‍රිය කරති.රාත්‍රි සමාජශාලාවල,ප්‍රිය සම්භාෂණවල නිතර ඇසෙනුයේ එබඳු ගීත පමණි.
හා එන්න ! ප්‍රීති වෙන්න
ගී කියන්න පෙම්බරෝ
මේ වගේ සැපක් තවත් ලොවේ
තියේද සුන්දරෝ
හැම් බේකන් කන්න සල්ලි
ජින් ෂැම්පේන් බොන්න සල්ලි
බල්ලෝ මරලා හරි සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා
නැඟෙන මඳ සංගීත රාවය
පුබුදුවයි හද නිදන රාගය
උඩුමහලේ තැන තැන අහුමුලුවල
පළිඟු මිණි විත් තුළ
හිමකැට අතර සීතල
රත් නුරා නගා සුදු පෙණ බුබුළු
පණ පොවයි නො පිරිපුන් ආසා
පොහොසතුන් කන බොන ආකාරය මෙන්ම ඔවුන් ජීවිතය විඳින විදිය පූර්වෝක්ත පැදි පෙළෙන් මොනවට පැහැදිලි වේ. බල්ලන් මරලා හරි සල්ලි හොයන සමාජයක නොවේද අද අපි ජිවත් වෙන්නේ? සංකේත ප්‍රාග්ධනයට ලොබ බඳින සමාජයක තතු එසේ නම් ප්‍රබුද්ධලා වැනි කුදු මිනිසුන් කුමක් කරන්නද? ඔවුහු අහිංසක, දුප්පත් කලාකාරයෝය. එහෙත් මේ දුෂ්ට මරිමෝඩ මිනිසුන්ගේ නිස්සාර ජීවිතයේ හිස්කම, තනිකම ප්‍රබුද්ධලා දකිති.
ප්‍රබුද්ධ
හිස්ය මේ ජීවිතය
බොල්ය මේ ජීවිතය
බලව!
රන් දුහුල් යට සුවඳ විලවුන් අතර
අතට අතදෙන ඇඟිලිකරු අතර
නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම
මහා රැවටිල්ලකට
හසුවුණ මෙන් හැඟිණ ඔහුට
ජීවිතය පිළිබඳ කලකිරෙන ප්‍රබුද්ධ අවසානයේදී යශෝධාගේ සත්මහල් ප්‍රාසදයේ තරප්පු පෙළ බැහැගෙන බීමතින් එළියට එයි. ඔහු නැවතත් ඔහුට හිමි දුප්පතුන්ගේ ලෝකය වෙත පලා යයි. යා දෙක නොරත රත එකට පෑහීමක් නැත කියන ආප්තය ඔහු හිස් මුදුනින් පිළිගනී.
"නුතන කවිය දියුණු කිරීමට අවංකව වෙහෙසෙන කවියකුට ගමන් කිරීමට සිදුවී ඇත්තේ දුෂ්කර මාර්ගයකය. සාහිත්‍ය පිළිබඳ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් පළවන ඇතැම් දුර්මත ප්‍රතික්ෂේප කිරීමට තියුණු ඇසකුත්, කීර්තිය හෝ වෙනත් ලාභාපේක්ෂාවන් කෙරෙහි ගිජු නොවන අපිස් සිතකුත්, ඇනුම් බැණුම් මැද නව මං සොයා යා හැකි තරම් ආත්ම ශක්තියකුත් එවැන්නකුට වුවමනාය".
මෙයට දශක හතරකට පෙර මහගම සේකර විසින් කරන ලද පූර්වෝක්ත ප්‍රකාශය ඔහුගේම ප්‍රතිහාපූර්ණ කාව්‍ය චින්තනයට ද සම්පාත කළ හැකිය. සේකර මෙි නොකියා කියන්නේ ඔහු ගැනම නො වේ ද? විශිෂ්ට කවියකුට තිබිය යුතු එකී ගුණාංග සියල්ලක්ම මහගම සේකරයන්ට ද නො අඩුව තිබුණි.
අද්‍යතන සිංහල කවියෙහි විශාලතම කම්පන ධාරාවක් ඇති කළ ජි.බී සේනානායක සහ මහාචාර්ය සිරි ගුනසිංහ සංකීර්ණයට සමගාමීව මහගම සේකර සංකීර්ණය ද මෙරට සාහිත්‍ය සමාජය තුළ මහත් විලෝභනයක් ඇති කළ බව කීම අතිශයෝක්තියක් නොවේ. පූර්වෝක්ත කවීන්ගේ නිසඳැස් මුල්කොට ගෙන බිහි වූ අභිනව කවි සමය ලාංකේය කාව්‍ය ඉතිහාසයේ පැන නැගුණු වැදගත් විප්ලවීය ජයග්‍රහණයකි. කාව්‍ය රචනය වූ කලි පැරැණි ඡන්දස් ශාස්ත්‍රානුගත රචනාය පමණක්ය යන මතය සෛද්ධාන්තිකව පිළිගත් සමාජයක නිසඳැස් රචනා කාව්‍ය ලෙස ස්ථාපිත කළ මෙකී කවින් අතර මහගම සේකර භූමිකාව ද අපට ලෙහෙසියෙන් පහසුවෙන් අමතක කළ නොහැකිය.
නොකල්හි අප අතරින් වියෝ වුවද කවියකු, ගේයපද රචකයකු, චිත්‍ර ශිල්පියකු, සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ඔහු සුවිශද කළ ප්‍රතිභාව තවමත් සහෘද පාඨක රසික හදවත්හි ගැඹුරු තැනක නිදන්ගතව සිටී. සාම්ප්‍රදායික සිංහල කවිය සමතික්‍රමණය කරමින් ඊට අැවැසි උසස් ප්‍රමිතිය ද දෙමින් නුතන නිදහස් කවි සමය දියුණු තියුණු කිරීමෙහි ලා අවංකව වෙහෙසුණු ප්‍රතිභාපූර්ණ කවියකු වූ මහගම සේකරගේ කාව්‍ය චින්තනය සහෘද පාඨක ප්‍රජාව තුළ මේ සා චලනයක් ඇති කිරීමට හේතුභූත වූ කරුණු කවරේද? ඔහුගේ කාව්‍ය චින්තනයේ අර්ථසාරය කුමක්ද? හැටේ දශකයේ පුරෝගාමී කවියකු වෙමින් ලාංකේය සාහිත කෙතේ අර්ථ සෞන්දර්ය සොයායාමට පූර්ණ කාලීනව මැදහත් වූ සේකරයෝ සිංහල කාව්‍ය ව්‍යාපාරය මෙන්ම සිංහල ගීත සාහිත්‍යයේ ද පුළුල් විපරිවර්තනයක් ඇති කළෝය.
මහගම සේකර වැනි පැසුණු කවිකමක් උරුම කරගත් කවියකුට මෙරට සාහිත්‍ය විචාරකයන්ගෙන් සාධාරණයක් ඉෂ්ට වූවා දැයි නැවත සිතා බැලිය යුතුය. ඇතැම් කදෝපැණි විචාරකයෝ ඔහුගේ කාර්යභාරය අවප්‍රමාණය කිරීමට ද උත්සුක වූහ. සාහිත්‍ය කලා විචාරකයන්ගේ කාර්යභාරය අතිශයින්ම වැදගත් වුවද මෙරට සිංහල කවිය සහ ගීතය අරබයා විචාරකයන්ගෙන් මෙතෙක් සිදු වී නොමැත්තේ ද මෙකී අගනා මෙහෙවරය. ලාංකේය කවිය පිළිබඳ විචාර ඌනතා සංක්ෂිප්ත වශයෙන් හෝ කතා කිරීමට වුවමනාව තිබුණ ද මේ ඊට අවස්ථාව නොවේ. ලාංකේය සමාජයේ ඇතැම් සූක්ෂ්ම සංසිද්ධි තම සියුම් සංවේදනයට හසු කර ගනිමින් ඒ කෙරෙන් ස්වකීය ජීවිතානුභූතින් ව්‍යක්ත ලෙස පළ කිරීමේ ශක්‍යතාව මහගම සේකරට නොඅඩුව තිබිණි. කාව්‍ය නිමැවුම්වලට අැවැසි ප්‍රබල කවි ශක්තියක් මෙන්ම ප්‍රශස්ත කාව්‍ය භාෂාවක් ද ඔවුහු සතු වූහ. අපගේ සාම්ප්‍රදායානුකූල ඉපැරැණි වියත් කවි බසින් ද ජනකවිවලට අයත් වූ ජනකවි අතරින් ද සංකලනය කරගත් තමන්ට රිසි කාව්‍ය භාෂාවක් ගොඩනවා ගැනීමට මහගමසේකරයෝ අනවරතයෙන්ම උත්සුක වූහ.
සාම්ප්‍රදාය හා නූතනත්වය මැනවින් හඳුනාගෙන අනනුකරණිය කවි මගක ගිය ඔහුගේ ඉගැඹුරු කාව්‍යානුභූතික සංවේදිත්වය මෙන්ම ව්‍යංජන ගුණයෙන් පරිමිත භාෂා ප්‍රාගුණ්‍ය ද අගය කළ යුතුය. සක්වාලිහිණි කාව්‍ය සංග්‍රහයෙන් ඇරැඹුණු මහගම සේකරගේ කාව්‍ය නිමැවුම් ප්‍රවාහය මක්නිසාදයත්, හෙට ඉරක් පායයි. රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත, බෝඩිම. නොමියෙමි, ප්‍රබුද්ධ ආදී කෘතිවලින් සංගෘහිතය. මහගමසේකරගේ කවිය සමාජ සංවාදයෙන් වියෝ වූ ඕපපාතික විලාස වාදයක් හෝ ව්‍යාජ පුද්ගලාත්ම ගවේෂණයක් හෝ නොවේ. සමාජ රිද්මය හඹා ගිය අව්‍යාජ කවියකු වූ ඔවුහු ඉගැඹුරු ප්‍රජානුභූති සහ විදර්ශනා ඇති කවියකු ලෙස තමාගේම අනන්‍යතාවක් මුද්‍රාවක් තැබීමට සමත් වූහ.
මහගම සේකරගේ කවිය සහ ගීතය මෙරට සාහිත ඉඩෝරයට පිළිපන් සිහිල් දියත්තක් බඳුය. ඔහුගේ සෑම කාව්‍ය සංග්‍රහයකම අපූර්ව වාග් චිත්‍ර තිබේ.
කවියකුට අවට ඇති විද්‍යාත්මක විෂයයන්ගෙන් මිදීමට නොහැකිවන්නාක් මෙන්ම සමාජ සම්මත පුරාණෝක්ති ආගම්, ඇදහිලි, විශ්වාසවලින් ද සම්පූර්ණයෙන්ම වියුක්ත වීමට නොහැකිය. මහගම සේකරගේ "නොමියෙමි " නමැති කාව්‍ය සංග්‍රහයෙහි එන රමණීය පදවැලකි මේ.
" අනන්ත අපරිමාණ විශ්වය තුළ
සෙමෙන් සෙමෙන්
විසිරී යන
පුළුන් වලා රොදක්මි මම
ක්ලාන්තයි ආනන්ද
පිපාසයි ආනන්ද
වේසාලිය රමණීයයි
වේළුවනය රමණියයි
නුඹලාගෙන් එක් කෙනෙක් මා පාවා දෙන්නේය"
" ඉසිගිලි කන්ද අසල
කළුගල රමණීයයි
බරබ්බස් ද
ක්‍රිස්තුස් කියන යේසුස්ද?"
බෞද්ධ දේශනාවලින් ද ක්‍රිස්තු චරිතයෙන් ද පූර්වෝක්ත කාව්‍යයට උචිත පරිදි පාඨ උපුටාගත් මහගම සේකරයෝ ඇතැම් විට උපනිෂද්, වෛද්‍ය විද්‍යාව, ඉතිහාසය, ජාතක කතා ආදියෙහි ද ආභාසය ලබති. විද්‍යාත්මක දියුණුවත් දර්ශනය පිළිබඳ බුද්ධිය මුහුකුරා යාමත් සමගම බිහිවුණු නවීන කවි බොහොමයක භාවාත්මක පක්ෂය මෙන්ම තාර්කික පක්ෂය ද අන්තර්ගත වි ඇත. මහගමසේකරගේ පහත සඳහන් කවියෙන් එකී කාරණය මොනවට පැහැදිලි වේ.
"මිනිස් ලොවේ දුක දැකලා
ඉස්සර උඹ ආවා
සයිලාසන උණු කරගෙන
එක එක වෙස් අරගෙන
ඒ වාගේ අදත් වරෙන්
රතු තිරයක් අස්සේ වසන් වෙලා
මිනිසුන් මුළා නොකර
එදාටත් වඩා
ලෝකය අද නරකයි"
" දෙව් පිළිමය අබියස සිට
තෙවිටක් හඬ නගා කියමි
උඹ බොරුවක්
උඹ බොරුවක්
උඹ බොරුවක්
ඒ බසට දෙවියා මා හා උරණ විය"
රෑ හීනෙන් පෙනිලා
ඔහු මට සාප කළා
මොහු කවියෙක් වේවා
නොමියෙමි - 94 පිට
කවියේ කථකයා ජිවිත රිද්මය පිළිබඳ මෙන්ම ජීවිතාවබෝධය ලබන ආකාරයද අපූර්වට විචිත්‍රණය කරයි. කවියකු සතු මූලිකම කාර්ය නම් විපරිණාමයට පත්වන සමාජ පරිසරයට අනුව අභිනව අනුභූතින් ප්‍රකාශමාන කිරීමට යෝග්‍ය නව්‍ය භාෂාවක් නිපදවීමය. අනවරතයෙන් වෙනස් වන සමාජයක කාව්‍ය භාෂාව පමණක් ස්ථිර විය නොහැකිය. එයද සියලු සමාජීය වෙනස්වීම්වලට සමගාමීව විපරිවර්තනයට ලක්විය යුතුය. ප්‍රතිභාන්විත කවීන් භාෂාව සමග සනාතන අරගලයක යෙදෙණුයේ මෙනිසාය. මහගම සේකරයෝ ද යටකී රුව ගුණින් අනුන කවියෙක් වෙති. එළිවැටට වහල් වූ ව්‍යාජ කවින්ගේ මනෝ මන්දිරවල කෞතුක භාණ්ඩයක් බවට පත්වී තිබුණු සම්මත විරිත් කවිය මහගම සේකරයන්ට බුද්ධි ගෝචර නො වී ය. නිසඳැස් කාව්‍ය රීතිය ස්වකීය ප්‍රකාශන මාධ්‍ය ලෙස තෝරාගත් ඔවුහු මුහුකුරා ගිය බුද්ධිමත් සහෘදයාට එමගින් අභිනව ජීවිත වර්ණයක් සහ හැඩයක් සොයා පාදා දීමට අනවරතයෙන්ම යත්න දැරූහ.
ව්‍යංජන ශක්තියෙන් පරිමිත ප්‍රකාශන මාර්ගයක ගමන් නොකර කිසිවකුට උසස් කවියකු වීමට නොහැකිය. මහගමසේකර කවියා ඒ මාර්ගය ස්වකීය අධ්‍යාශයෙන්ම සොයා පාදා ගත්තෙකි.
මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා
මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස
මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාම
නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නොමියෙන සේකර