කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය. ‘ගම්පෙරළියේ’ පියල් හා නන්දා, ‘ගොළු හදවතේ’ දම්මි හා සුගත් සම්බන්ධයෙන් මෙන්ම මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ හා එහි දෙවැනි කොටස වන ‘මළවුන්ගේ් අවුරුදු දා’ නම් වූ නවකතා යුගළය කියවන විට ද පාඨකයන්ට එබඳු ප්‍රශ්නයක් මතුවනු නිසැකය.
’මළගිය ඇත්තෝ’ කතුවර මහාචාර්ය සරච්චන්ද්‍රයන් ජපානයේ අත්දැකීම් ඇත්තෙකි. ඔහු දෙවතාවක්ම ජපානයට ගොස් ඇත. (ඒ 1955 දී හා 1962 දීය) එහෙත් ‘මළගිය ඇත්තෝ’ පළවන්නේ 1959 දීය. කෙසේ වෙතත් මේ නවකතාවේ එන දෙවොන්දරා සං යනු මහාචාර්ය සරච්චන්ද්‍රම නොවිය හැකිද යන ප්‍රශ්නය පාඨක සිතට නැඟෙනු ඇත. මේ නවකතාව කියවූ මුල් අවස්ථාවේ දෙවොන්දරා සං ගේ චරිතය නිර්මාණය කිරීමට ප්‍රවීණ චිත්‍රශිල්පි මංජු ශ්‍රී ද බලපා ඇති බව මට සිතිණි. ඒ මංජු ශ්‍රී කලක් පැවිදි වී සිටි බැවිනි.
දෙවොන්දරා සං කෙසේ වෙතත් නොරිකෝ? ඇය ජපානයේදී මහාචාර්ය සරච්චන්ද්‍රට මුණගැසුණු, ඔහු පෙම් කළ සැබෑ යුවතියක් ද?
මෙබඳු අදහස් - මෙවන් ප්‍රශ්න මා සිතේ මතුවූයේ පසුගිය දිනෙක අප (ලේක්හවුස්) පුස්තකාලයේ තිබී හමුවූ එක්තරා ඡායාරූපයක් දැකීමෙනි. එහි මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ ජපන් තරුණියක සිටිනු පෙනේ. ඇය කවුදැයි මම හරිහැටි නොදනිමි. ඒ ඇත්ත ‘නොරිකෝ’ විය හැකිද? එසේ වුවද, නොවූවද ඇය නොරිකෝ වන්ට පුළුවනැයි යන උපකල්පනයක මම සිටිමි.
මම මහාචාර්ය සරච්චන්ද්‍ර ලියූ ‘පින් ඇති සරසවි වරමක් දෙන්නේ’ (1985) නම් වූ ස්වයං ලිඛිත චරිත සටහන් කෘතිය පෙරළා බැලුවෙමි. එහි එක් තැනක මෙසේ සඳහන් වෙයි.
”ඇත්ත වශයෙන් කියතොත් මා විසින් නිර්මාණය කරන ලද නොරිකෝ ගේ් චරිතය මා හැඳින සිටි ජපන් ස්ත්‍රීන් දෙදෙනකු ඇසුරෙන් ගොඩනඟන ලද්දකි.”
එහෙත් ඔවුන් දෙදෙනා කවුදැයි මහාචාර්ය සරච්චන්ද්‍ර එහිලා හෙළිදරව් නොකරයි.
මහාචාර්ය සරච්චන්ද්‍ර මියගිය 1996 වසරේදී එතුමාගේ පළමු විවාහයේ දෙවැනි දියණිය වූ සුනේත්‍රා සරච්චන්ද්‍ර පුවත්පතකට කර තිබූ එක්තරා ප්‍රකාශයක් මා සිහියට ආවේය.
”නොරිකෝ ඇත්තටම ජීවමානව හිටියා. තාත්තා, අම්මයි මායි අරගෙන නිවාඩුවකට ජපානයට ගියා. අපි නැවතුණේ ලීවලින් හදපු පුංචි සාම්ප්‍රදායික ජපන් ගෙදරක – අපිට ජපන් කෑම උයලා පිහලා දෙන්න, අපිව ඇවිදින්න එක්ක යන්න ජපන් තරුණියක් හිටියා. ඇගේ නම ‘ඔකෙ උචි සං’. ඒ චරිතය පදනම් කරගෙන තමයි තාත්තා නොරිකො සං මැව්වේ. තාත්තා පොතක් ලියන බව අපි දැනගෙන හිටියා. ඒත් පොත කියවන කොටයි අපි දැනගත්තේ තාත්තා නොරිකො සං හැටියට අරගෙන තියෙන්නෙ මෙයාගේ චරිතය කියලා” (ඉරිදා ලක්බිම 1996 සැප්තැම්බර් 8)
ප්‍රකට කවියකු හා ඡායාරූප ශිල්පියකු වන ලාල් හෑගොඩ මීට තෙවසරකට ඉහතදී (ඒත් ‘ඉරිදා ලක්බිම’ පත්තරේට) ලියූ ලිපියකින් ද ඇත්ත නොරිකෝ කෙරෙහි අවධානයක් යොමුකර තිබිණි. ඔහුට ජපානයේ දී හමුවූ අකිකෝ සං නමැති ගැහැනිය නොරිකෝ විය හැකි යැයි එම ලිපිය කියවන විට අපට සිතේ.
කෙසේ වෙතත් පූර්වෝක්ත ලිපියෙහි මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ප්‍රිය බිරිය ලලිතාවන් කියන්නේ නොරිකෝ සං ගේ හැබෑ නම ‘කිමිකෝ’ කියාය.
’මළගිය ඇත්තෝ’ ගද්‍ය කාව්‍යයක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ හඳුන්වා ඇත. සැබැවින්ම එය අතිසුන්දර ගද්‍ය කාව්‍යයකි. නවකතාවක් ලෙස ගතහොත් එසේත් නැත්නම් මනුෂ්‍ය ජීවිතයේ සංකීර්ණත්වය නිරූපණය කිරීම හා සම්බන්ධයෙන් ගතහොත් ‘මළගිය ඇත්තෝ’ වික්‍රමසිංහයන්ගේ ‘විරාගය’ තරම් ශ්‍රේෂ්ඨ නොවූව ද ප්‍රේමය අත්දැකීම් කොටගත් නවකතාවක් ලෙස ගත් කල්හි එය විශිෂ්ට කෘතියකි.
එය කිසිසේත්ම බොළඳ ප්‍රේම කතාවක් නොවේ. ‘මළගිය ඇත්තෝ’ මෑතදි අ.පො.ස. උසස් පෙළ සිංහල විෂයයට නිර්දේශ කළ අවස්ථාවේ ගුණදාස අමරසේකර ප්‍රමුඛ සාහිත්‍යධරයන් කීපදෙනකු ‘මළගිය ඇත්තෝ’ අවප්‍රමාණයට ලක් කරමින් කතා කළද ඔවුන්ගේ මතවාද සමඟ අපට නම් එකඟ විය නොහැකිය.
’මළගිය ඇත්තෝ’ හා ‘මළවුන්ගේ අවුරුදු දා’ යන නවකතා යුගලතය ගැන නොයෙක් විචාර ලියැවී තිබුණ ද එම නවකතාවල අන්තර්ගතය ගැඹුරින්ම විග්‍රහ කළ වඩාත්ම ශාස්ත්‍රිය වූ විචාරය ලෙස මා දකින්නේ සේපාල් අමරසිංහගේ ‘මළගිය ඇත්තෝ විචාර විමංසනය’ නම්වූ ග්‍රන්ථයයි. එහි දෙවොන්දරා සංගේ ප්‍රේමය ප්ලෙටෝනියානු ප්‍රේමයක් (PLATONIC LOVE) ලෙස ගෙන තම විග්‍රහය කරයි. ප්ලෙටෝනියානු ප්‍රේමය යන්නෙන් ඔහු අදහස් කරන්නේ කායික බැඳීමකින් තොර ආධ්‍යාත්මික ප්‍රේමයකි.
දෙවොන්දරා සං නොරිකෝටත් නොරිකෝ දෙවොන්දරා සංටත් අවංකව ප්‍රේමකළත් දෙවොන්දරාගේ ජීවිතයේ තිබෙන සංකීර්ණ, ප්‍රතිවිරෝධි මානසිකත්වය හේතුකොටගෙන දෙදෙනා එක් නොවෙති. නවකතාවේ දෙවැනි කොටස වන ‘මළවුන්ගේ අවුරුදු දා’ කෙළවර වන්නේ දෙවොන්දරා සං ගේ මරණයෙනි.
නවකතාවේ එක් තැනක දෙවොන්දරා සං නිදිපෙති බී දිවි නසාගැනීමේ උත්සාහයක යෙදේ. ඒ ප්‍රේමයෙන් හටගන්නා අපරිමිත ශෝකය ඔහුට දරාගත නොහැකි හෙයිනි. මහාචාර්ය සරච්චන්ද්‍ර ද වරක් දිවිතොර කර ගැනීමට තැත් දැරූ බව මම අසා ඇත්තෙමි. මහගමසේකරයන් කියූ දෙයක් ප්‍රවීණ ලේඛක කරුණාරත්න අමරසිංහ වරක් ලියා තිබුණේ මෙපරිද්දෙනි.
”නිදි පෙති වැඩිය අරන් හොඳටම අමාරුවෙලා ඉන්නකොට මං ගියා දොස්තර බලන්න. ඒක හුඟදෙනෙක් දන්නේ නෑ. එයා ළඟින්ම හිටිය අය විතරයි ඒක දැනගෙන හිටියේ”
මෙහිදී සේකර ‘දොස්තර’ යනුවෙන් සඳහන් කළේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටය.
ඉහත කරුණු කවරාකාර වුවද කිසියම් ප්‍රබන්ධ කෘතියක හැබෑ චරිත සොයන්ට යෑම අර්ථවත් ක්‍රියාවක් ද? නවකතාවක චරිත ගෙන අසවලා කවුද, අසවලා කවුදැයි සෙවීම රසවින්දන මාර්ගයක් නොව රසවින්දනයට බාධාවක් විය හැකිය ඒ ව්‍යාපෘතියට පරිබාහිරව කෙරෙන්නක් බව මහාචාර්ය සරච්චන්ද්‍ර ම කියයි. (පින් ඇති සරසවි වරමක් දෙන්නේ)
එසේ වුවත් පෘතග්ජන පාඨකයන් වන අපට මහාචාර්ය සරච්චන්ද්‍රයන් ‘නොරිකෝ’ යන චරිත නාමයෙන් හැඳින්වුණු ජපන් යුවතියටත් ඒ යුවතිය මහාචාර්ය සරච්චන්ද්‍රයන්ටත්, හදවතේ ගැඹුරුම තැනින් පෙම්කළා වැනි විචිත්‍රවාදී උපකල්පනයක් ඇතිවනු වැළැක්විය හැකිද?
( මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ වියෝවෙන් වසර 14 කට පසු නැසීගිය සිනමා ලේඛක,මාධ්‍යවේදී සුනිල් මිහිඳුකුලයන් විසින් සිළුමිණ පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි)
මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා
මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස
මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාම
නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නොරිකො සං සරච්චන්ද්‍රගේ සැබෑ පෙම්වතිය ද?