අද්‍යතන සාහිත්‍යය විසම චක්‍රයක සිරවී ඇති බව කීම අතිශයෝක්තියක් නොවේ.දරිද්‍රතාවෙන් මිරිකී සිටින කම්කරු පන්තියට පොතපත මිලදී ගැනීමේ හැකියාවක් නැත. අද පළවන ස්වයං නිර්මාණ ද නීරසය. එබඳු පොත් කියවීමෙන් කෙනකුට අමුතුවෙන් ලබාගත හැකි දැනුමක් ද නැත.නිර්මාණකරුවන්ගේ පරිඥානය, පර්යාලෝකය ද පටුය. මෙනයින් පොත් ප්‍රකාශනය කිරීමට ප්‍රකාශකයෝ ද මැලිවෙති.ප්‍රකාශකයන් හිඟවන විට ලේඛකයෝ ද ලිවීමට නොපෙලඹෙති.යටකී විසම චක්‍රය කඩා බිඳ දැමීමට අප කළ යුත්තේ කුමක්ද?කලාවෙන් හා සාහිත්‍යයෙන් වියුක්ත වූ මිනිසා මනුෂ්‍යත්වයෙන් පිරිහී සිත්පිත් නැති යන්ත්‍රයක් බවට පත්වනු නො අනුමානය.ගෝලීය ධනවාදයේ ගොදුරු බවට පත් වූ මෙරට පාඨකයෝ ක්‍රමයෙන් ග්‍රන්ථ සේවනයෙන් විකර්ෂණය වූහ.අද බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනුයේ වැඩි වාණිජ වටිනාකමක් ඇති විෂයන් කෙරෙහිය.පොතපතින් වියුක්ත වූ ඔවුහු එෆ්.එම් නාලිකාවලට, රූපවාහිනියට, කැසට් පටයට, වීඩියෝ පටයට,අන්තර්ජාලයට ආදී මෙකී නොකී සරල විනෝද මාධ්‍යවලට ආසක්ත වූහ.
පොතපත කියවීමට තරම් විවේක බුද්ධිය හෝ වේලාව නැති බව ද ඇතැම්හු කියති. එහෙත් බොහෝ දෙනකුට විවේක බුද්ධිය හෝ වේලාව නැති වී තිබෙනුයේ මුදල් හම්බකිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති නිසාය. නමුත් ආපසු හැරී බලන විට හම්බ කරගත් දෙයක් ද නැත. පොතපත කියවීම ද කළේ නැත. යාන්තම් ජීවිතය ගැට ගසා ගැනීමට සොච්චමක් උපයා ගත්තා පමණි.ලාංකේය ජනතාවට මේ සන්තෑසිය සිදුවූයේ අද ඊයෙක නොවේ. 1977 පිළිපන් විවෘත ආර්ථික වෙළෙඳපොළත් සමග සාහිත්‍ය කලාව පමණක් නොව මෙරට සංස්කෘතිය පවා උඩුයටිකුරු විය. බටහිර පාරිභෝගික රටාවට අනුව හැඩ ගැසුණු ජනතාව සුඛෝපභෝගී ජීවන රටාවකට නිරායාසයෙන් ම ඇබ්බැහි වූහ. මේ වෙළෙඳ අර්ථ ක්‍රමය තුළ සාහිත්‍ය කන්නදැයි ඇසූ දේශපාලනඥයෝ පවා සිටියහ. මේ කතාව ඇත්තක් ද? ඔවුන් මෙසේ අසන්නේ සාහිත්‍ය වැඩකට නැති දෙයක් නිසාද?එසේ නැතිනම් එය යහමින් මුදල් හම්බ කර ගන්නට පුළුවන් ව්‍යාපෘතියක් නොවන නිසාද? කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයකු වූ ජේ.ආර් ජයවර්ධන මහතා එදා ප්‍රසිද්ධ සභාවක් අමතමින් කළ යටකී ප්‍රකාශයේ මහාර්ඝ සත්‍යයක් ගැබ් වී තිබුණු බව අද අපට ප්‍රත්‍යක්ෂ වේ.ලෝකයේ වෙනත් රටවල් සමග සසඳන විට ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවලට තවමත් ආර්ථික දරිද්‍රතාවෙන් ඉන්තේරුවෙන් ම මිදීමට නොහැකි වී තිබේ. දිනෙන් දින ඉහළ යන ජීවන වියදමෙන් බැටකන ජනතාවකට රුපියල් දාහක් දෙදහක් දී නවකතාවක් හෝ වෙනයම් සාහිත්‍ය කෘතියක් මිලදී ගැනීමට වඩා ඒ මුදලෙන් ඉටුකර ගත හැකි වෙනත් පාරිභෝගික අභිලාෂ ඇත.
මාක්ස්වාදයට අනුව සමාජ නිෂ්පාදනයේ උපරිම ව්‍යූහය වනුයේ සාහිත්‍ය හා කලාවය. නිෂ්පාදන ක්‍රියාවලියේ උත්තරීතර ස්ථරයක පවතින එය නිර්මාණය කරන්නෝ සහ සේවනය කරන්නෝ මූලික වශයෙන් ම මධ්‍යම පාන්තිකයෝය.විප්ලවය සඳහා අවශ්‍ය දෘෂ්ටිවාදය මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේ උපරි ව්‍යුහය සමන්විත වනුයේ ද මැද පන්තියෙනි.මෙනයින් මැද පන්තියෙන් වියුක්ත වූ දේශපාලනයක්, දර්ශනවාදයක් නීතියක්, ආගමක් හෝ සාහිත්‍ය කලාවක් පැවතිය නොහැකිය.එහෙත් වෙනත් දියුණු රටවලට සාපේක්ෂව ලාංකේය මැද පන්තිය මහත් අකර්මණ්‍ය, නිද්‍රාශීලී පසුගාමී තලයක පවතින බව කීම අතිශයෝක්තියක් නොවේ.ප්‍රංශය වැනි දියුණු සාහිත්‍යකාමී රටවල දේශපාලනඥයෝ, සිවිල් නිලධාරීහු, ව්‍යාපාරිකයෝ සාහිත්‍ය හා කලාව අත්‍යන්තයෙන්ම සේවනය කරති.එරට ජනතාව සාහිත්‍ය කලාව සිනමාව නාට්‍ය සංගීතය, නර්තනය,චිත්‍රය ආදී කලාංග රස විඳීමට තමන්ට ඇති අයිතිය ජීවිකාව උපයා ගැනීමට කෙනකුට ඇති අයිතිය තරමට ම අගය කරති.එහෙත් ලාංකේය සම්භාව්‍ය වෘත්තිකයන් වන නීතිඥයන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීන්, ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් සහ දේශපාලනඥයන් සාහිත්‍ය කලාව සේවනය කරනුයේ උසස් වින්දනය සඳහා නොව පුහුආටෝපයටය.
ලංකාව උසස් සංස්කෘතියකට උරුමකම් කියන රටක් යැයි පුන පුනා පැවසුවද අද එය ගෝලීය ධනවාදයේ වේරම්බ වාතයෙන් සුනුවිසුනු වී ගොස් සංස්කෘතික කාන්තාරයක අතරමං වී සිටී. එහෙත් මේ සංස්කෘතික කාන්තාරයේ බුද්ධිමය පිරමිඩ තැනීමට උත්සුක වන කොදෙව් මානසිකත්වයෙන් පරාරෝපිත දියුණු කියවීම්වලින් සහ හැදෑරීම්වලින් සන්නද්ධ පිරිසක් ද සිටිති. මෙනයින් වත්මන් රජයේ අනුග්‍රහයකත්වය සහ මධ්‍යම පාන්තිකයන්ගේ දායකත්වය ඇතිව අප මේ සාහිත්‍ය ක්ෂේත්‍රය තිරිහන් කළ යුතුය.සාහිත්‍ය කලාවට කවර බරක් දිය යුතුදැයි නිගමනය වනුයේ රටක ජනතාව හා ඔවුන්ගේ පාලකයන් විසින් ගනු ලබන තීන්දු තීරණ මතය.එහෙත් සාහිත්‍යය කලාව රැකීම වර්ධනය හා ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් පැවති ආණ්ඩු කටයුතු කර තිබෙනුයේ මහත් අවුල් සහගත ආකාරයෙනි.
රටක සාහිත්‍ය පෝෂණය හා ප්‍රවර්ධනය පිණිස ශක්තිමත් හා ජාතික මෙහෙවරක් ඉටුකර ගතහැකි වනුයේ රජයකටය. ජාතික ප්‍රතිපත්තියක් හා ප්‍රමිතිකරණයක් සහිත සාහිත්‍යය උන්නතිය වෙනුවෙන් රජයකට පූර්ණ මැදිහත්වීමක් කළ හැකිය. එහෙත් පසුගිය වකවානුව තුළ මේ රටේ පාසල් මට්ටමේ සිට සිදුවූ සාහිත්‍ය කප්පාදුව අපට තවම අමතක කළ නොහැකිය.මෙි තත්වයට වගකිවයුත්තේ එවකට සිටි අමනෝඥ දේශපාලනඥයන් සහ අධ්‍යාපනික ඔස්තාර්ලාය.කිසියම් පුද්ගලයකුට චින්තන වින්දන ශක්තිය දියුණු තියුණු කිරීමෙහිලා පොත පතින් ලැබෙන පිටිවහල මෙපමණ යැයි කිව නොහැකිය. එහෙත් පසුගිය වකවානුවේ මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයට සිදු වූ යටකී සන්තෑසිය නිසාම පාසල් දරුවන්ගේ විවේක බුද්ධිය,කියවීමේ රුචිකත්වය හා දැනුම් පිපාසය ද පෙර නොවූ විරූ ආකාරයට සිඳී බිඳී ගිය අයුරු අපි දුටුවෙමු.මේ අභාග්‍ය සම්පන්න තත්වයෙන් මිදීමට රජයට උපකාරී විය හැක්කේ කෙසේද? සංස්කෘතික අමාත්‍යාංශය සහ සාහිත්‍ය අනුමණ්ඩලය වාර්ෂික සම්මාන උළෙලක් පැවැත්වූව ද මේ අර්බුදකාරී තත්වයෙන් ගොඩඒමට එය විසඳුමක් නොවේ. මේ සා දීර්ඝ කාලීන රාජ්‍ය මට්ටමේ වැඩපිළිවෙළක් අවශ්‍යය ය. නිදසුනක් වශයෙන් යෝජනා කීපයක් පහත හකුළා දක්වමු.
01. ප්‍රංශය ඉන්දියාව වැනි රටවල් මෙන් සාහිත්‍ය ඇකඩමියක් ආරම්භ කිරීම (මෙය පිහිට විය යුත්තේ සාහිත්‍යයේ ප්‍රගතියට රාජ්‍ය අනුග්‍රහය දක්වන ආයතනයක් ලෙසිනි)
02. උසස් ප්‍රමිතිකරණයෙන් යුත් සාහිත්‍ය කෘති පළ කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදීම
03. රජය සතුව පවතින රූපවාහිනී, ගුවන් විදුලි සහ ජාතික පුවත්පත් වැනි මාධ්‍ය උපයෝගී කොටගෙන විවිධ සාහිත්‍ය වැඩසටහන් නිර්මාණය කිරීම ( මේ සඳහා දේශපාලන පක්ෂපාතීකම්වලින් තොරව බුද්ධිමත් විචාරකයන්ගේ ශාස්ත්‍රඥයන්ගේ ලේඛකයන්ගේ සහයෝගය ලබාගත හැකිය.)
04. ජාතික පුස්තකාල මණ්ඩලයේ ග්‍රන්ථ ව්‍යාපෘතිය තවත් කාර්යක්ෂම කොට එයට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම
05. දැනට පවතින රාජ්‍ය සාහිත්‍ය උළෙල මෙයට වඩා විධිමත් ආකාරයෙන් පැවැත්වීම (සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති ඇතුළු කාර්ය මණ්ඩලයට සුදුස්සන් පත්කිරීම සහ කෘති තෝරාගැනීමේදී පාරදෘෂ්‍යභාවයක් අනුගමනය කිරීම
යටකී යෝජනාවලියට රාජ්‍ය අනුග්‍රහය ලැබුණහොත් නොකියවන සමාජය කියවන සමාජයක් බවට පරිවර්තනය කිරීමට පුළුවන. ජනතාව නිවැරදි මග යැවීම පිණිස කලාවේ දී එක්තරා ආකාරයක යොමු කිරීමක්ද තිබිය යුතුය. රාජ්‍ය අනුබලය මෙයට ලැබිය යුතු වන්නේ ඒ නිසාය. සමාජ සන්නිවේදන මාධ්‍යයක් ලෙස සාහිත්‍ය හා කලාවට විශාල මෙහෙවරක් ඉටු කළ හැකි යැයි විශ්වාස කරන සාහිත්‍යාභිලාෂීන් වශයෙන් එබඳු අනුග්‍රහයක් අපි වත්මන් රජයෙන් ද බලාපොරොත්තු වෙමු.ලංකාදීප මතුමහල සයිබර් සාහිත්‍යය අවකාශය ඔස්සේ අප අපේක්ෂා කරනුයේ ද සාහිත්‍ය කලා විහීන,නිර්වින්දිත සමාජය තුරන් කර සහකම්පනය ඇති අනාගත පරපුරක් බිහිකිරීමටය.
ඒ අපූර්වතම අනභිභවනීය වූ කවියා නම් මහගම සේකරයන්ම ය .
Acoustic image නැමැති සංකල්පය ධරණීය සංකල්පයක්. 19 වැනි ශතවර්ෂයේදි බටහිර යුරෝපිය රටවල් තුළ වු සහ වෙනම තනිවම ඇමෙරිකාව තුළ වු සංස්කෘතින් තුළ ජිවත්වු මිනිසුන් විස
සාහිත්‍ය මාසයත් රඹුටන් සහ අන්නාසි වාරය මෙනි. අවුරුද්දේ අනෙක් කාලවල ඒවා දුර්ලභ ය. එහෙත් වාරයේ දී ඒවා සුලබ ය. ලාබ ය. අපේ සාහිත්‍යයත් එසේ ය. සැප්තැම්බරයේ දී
කිසියම් නවකතාවක් කියවන කල්හි ඒ නවකතාවේ එන චරිත සමාජයේ විසූ හෝ තවමත් වෙසෙන සත්‍ය පුද්ගලයන් ද යන ප්‍රශ්නය පාඨක සිත්හි පැනනැඟීම ස්වභාවිකය.
සුගත් ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා කියා ඇත. එහෙත් මේ සකල කලා වල්ලභයා ගේ කලා නිමැවුම් පිළිබඳ තව ම ප්‍රාමාණික ශාස්ත්‍රීය විචාරයක් ලිය වී ඇතැයි මම නො සිතමි, ඔහ
.ජැමෙයිකා ගායක බොබ්මාලේ ගයන මෙි ජනප්‍රිය ගීතය අපි වැඩි හරියක් දෙනා අහල තියෙන ගීතයක්. ගීතය තමයි ‘Get Up Stand Up…Stand up for your rights…..’
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සාහිත්‍ය බඩට ද ඔළුවට ද ?