අද්‍යතන සිංහල සාහිත්‍යයෙහි ප්‍රබන්ධ කතාව සහ නාට්‍ය ආදී වූ කලාංග ශීඝ්‍රයෙන් උසස් තලයකට අවතීර්ණ වී තිබුණ ද කාව්‍ය කලාව එබඳු තලයකට පිවිසියේ ඉතා මන්දගාමී ස්වරූපයෙනි. එහෙන් ලාංකේය නූතන කාව්‍ය කලාව උසස් තත්වයකට පත් කිරීමෙහි ලා මහඟු දායකත්වයක් සැපයූ බුහුටි කිවිඳියක මෙයට දිගු කලකට පෙර අප අතර සිටියා ය. නොකල්හි අප අතරින් වියෝ වුව ද මොනිකා රුවන් පතිරණ නමැති එම අග්‍රගණ්‍ය, ප්‍රතිභාපුර්ණ කිවිඳිය තවමත් සහෘද පාඨක හදවත්හි ගැඹුරු ම තැනක නිදන්ගත වී හිඳින්නීය. මොනිකා මෙරට විදග්ධ සාහිත්‍ය රසිකයන්ට සිටි එකම කිවිලිය යයි කීම අතිශයෝක්තියක් නොවේ. මෙරට ඇතැම් විචාරකයෝ ඇය ගජමන් නොනාගෙන් පසු බිහි වූ හොඳ ම කිවිඳිය යැයි කීහ.
ලාංකේය සමාජයේ ඇතැම් සූක්ෂම අවස්ථා තම සියුම් සංවේදනයට හසුකර ගනිමින් ඒ තුළින් ස්වකීය ජීවිතානුභූතීන් ව්‍යක්ත ලෙස පළ කිරීමේ ශක්‍යතාව මොනිකාට නො අඩුව තිබිණි. කාව්‍ය නිර්මාණයට අවැසි ප්‍රබල කවි ශකිත්යක් සහ ප්‍රශස්ත කාව්‍ය භාෂාවක් ද ඇය සතු වූවාය. අප ගේ සාම්ප්‍රදායානුකූල ඉපැරැණි වියත් කවි බසින් ද ජන කවිවලට අයත් වූ ජනකවි අතරින් ද සංකලනය කරගත් තමන්ට අවැසි කාව්‍ය භාෂාවක් ගොඩනංවා ගැනීමට මොනිකා අනවරතයෙන් මු උත්සුක වූ බව මොනවට පැහැදිලි වේ. ඇය විසින් විරචිත '' දිසාපති කාමරයේදී සහ පියසේන ඇසූ ප්‍රශ්නයක් ආදී වූ කාව්‍ය නිර්මාණවලින් සුවිශද වුනයේ අපට උරුම එකී ව්‍යක්ත කවි බස නො වේ ද? කවියකු සතු මූලික ම කාර්ය නම් විපරිණාමයට පත්වන සමාජ පරිසරයට අනුව නව අනුභූතීන් ප්‍රකාශමාන කිරීමට යෝග්‍ය කාව්‍ය භාෂාවක් නිපදවීම යි. අනවරතයෙන් වෙනස් වන සමාජයක කාව්‍ය භාෂාව පමණක් ස්ථිර විය නොහැකිය. එය ද සියලු සමාජීය වෙනස් වීමවලට සමගාමීව විපරිවර්තනයට ලක්විය යුතු ය. ප්‍රතිහාන්විත කවීන් භාෂාව සමඟ සනාතන අරගලයක යෙදෙනුයේ මෙ නිසාය. මොනිකා රුවන් පතිරණ විසින් මුල් යුගයේ පළ කළ නිර්මාණ අතර පූර්වෝක්ත ගුණයෙන් පොහොණි වූ කාව්‍ය නිර්මාණ රාශියක් තිබිණි. නිදසුනක් හැටියට ඉන් එක් කවක් පහත හකුළා දක්වමි.
එක් යුගයක ජීවිතයේ සරතස නිවූ මා සුමිතුර
දුර හිඳිනා ඔබ දකින්න ආවෙමි දිගු කලකට පසු
බමන විදුලි පංකාවෙන් වා ගැබ කැලඹෙන හඬ මිස
එසඳ ඔබේ මුව 'ග නැගුණු සාද තෙපුල් නෑසේ මට
මේසය මත ලිපිගොනු රැස සුළඟේ නොයා දී රකිමින්
ඒ මත හිඳිනා ගල සේ මා අබියස නිහඬය ඔබ
බිත්තියේ ඇති රූ සේයා එකි නෙක එබි එබී බලයි
නැතියෙන් ඔබේ වත හසරැලි මදෙස බලා සිනා නඟයි
බාලේ අපි ගම් දොර කෙළිමඩුලු මැදින් ආ ගමනේ
මහදේ ඇඳී ඔබේ සිතුවම කොහි සැඟවිණි දැයි නොදැනේ
එක යුගයක ජීවිතයේ සරතැස නිවු මා සුමිතුර
ඔබ අසලින් බැහැරව යමි කුමට ද ඔබගේ අවසර?
(දිසාපති කාමරයේදී)
චිරත්තන සාහිත්‍ය මෙන් ම ජීව ව්‍යවහාරය ද ඇසුරු කොට ගෙන ධ්වනිථාර්ථවත් බසක් නිර්මාණය කිරීමට මොනිකා දරා ඇති වෑයම මෙබඳු පද්‍යවලින් සුවිශද නො වෙි ද? ඇය යටකී
කවියෙන් පන්ති සංක්‍රමණය පිළිබඳ ගැඹුරු චිත්‍රයක් අඳියි.වැලිකෙළියේ සිට එකට කාබී වැඩුණු මිතුරන් දෙදෙනකු වැඩිවියට පත්වීමෙන් පසු සමායෝජනය වී සිටින ආකාරය දිසාපති කාමරයේදී නමැති කවියෙන් ගෙනහැර පෑමට කිවිඳිය මෙහිදී උත්සුක වන්නීය.එකෙකු උසස් අධ්‍යාපනය ලබා සරසවියට ගොස් හොඳින් ඉගෙන ගෙන පරිපාලන විභාගය ද සමත්වී දිසාපතිවරයෙකු වී ඇත.අනෙකා සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නෙකි.එහෙත් දිනක් තම මිතුරා බැහැදැකීමට පැමිණෙන කවියේ කථකාව මුහුණ දෙන්නේ නොසිතු විපර්යාසයකටය.එදා එක බත්පත කා ජීවත් වූ මිතුරා අද ඉණිමගේ ඉහහළට ම ගොස් අතීතය අමතක කර නැග්ග ඉණිමගට ද පයින් ගසා ඇත. පැටිවියේ සිට දැන හඳුනගෙන සිටි මිතුරා තමා තඹ සතෙකට ගණන් නොගෙන සිටින ආකාරය ඇයට අදහා ගැනීමට නොහැකි වෙයි.තාන්න මාන්නවලින් හිස උදුම්වගෙන තනතුරු අංතට්ටු පැළඳගෙන සිටිනා මිනිසුන් දෙස මෙහිදී කිවිඳිය සදය උපහාසයෙන් බලන්නීය. මෙනයින් බලන කල දෘඪතර ආත්ම විශ්වාසයකින් යුතු ව කාව්‍ය භාෂාවක් සකස් කර ගැනීමෙහි ලා වෙසෙසි පරිශ්‍රමයක් ගත් මොනිකාට චමත්කාරය දනවන කාව්‍ය චින්තාවක් ද තිබූ බව නොරහසකි.
මාතර පාලටුව ගමේ උපන් මොනිකා ගාල්ලේ සංඝමිත්තා විද්‍යාලයෙන් සාර්ථකව මූලික අධ්‍යාපනය හමාර කොට උසස් අධ්‍යාපනය හැදෑරීමේ අභිලාෂයෙන් 1964 දී කොළඹ විශ්වවිද්‍යාලයට පිවිසියාය. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කාලයේ සිට ම කවියට පෙම් බැඳි ඇය නිතර පොඩි පොඩි කවි ලීවා ය. පසුකාලීනව මොනිකා අතින් සුවිශිෂ්ට කාව්‍ය නිර්මාණ බිහි වූයේ තරුණ වියේ සිට ම තිබූ මේ වෙසෙස් උනන්දුව නිසාම ය. මොනිකාගේ බොහෝ කාව්‍ය නිර්මාණවලට සමාජ අත්දැකීම් පදනම් වී ඇත. සමාජයේ පීඩිත
පන්තිවලට අයත් වූවන්ට විඳින්නට සිදුවන තාඩන පීඩන යනාදිය කෙරෙහි ස්වකීය නිර්මාණාක්ෂිය යොමු කළ මොනිකා පියසේන ඇසූ ප්‍රශ්නයක් නමැති කාව්‍ය නිර්මාණය තුළින් එය ප්‍රත්‍යක්ෂ කළාය.
පසුගිය නත්තල් කාලේ නිවාඩුවෙයි මම ආවේ
පුංචි බේබි එක්කළ පාසල් යන්නයි මෙහි ආවේ
හතේ අටේ චක්කරයෙන් ගණන් හදා සමත් වෙලා
පොතේ තියෙන කතා කියා පාඩමේ දී සමත් වෙලා
ලේනා ගැන පූසා ගැන කවි කියලා සමත් වෙලා
ගමේ ඉඳන් ආවේ මම දෙකෙන් තුනට සමත් වෙලා
බේබිගේ අත අල්ලාගෙන උදේට පාසල් යනවා
බේබ්ගේ අත අල්ලා ගෙන හවසට ගෙදරට එනවා
බේබිගේ පන්තිය අයිනේ ගල් බැමේ වාඩි වෙන්නේ
බේබිලාට කියන කතා එතන ඉඳන් අහන් ඉන්නේ
භවසට අත්වැල් බැදගෙන කවි කියන්නේ අපි දෙන්නා
ගැමුණු කුමරුගේ කතාව ඉගෙන ගන්නේ අපි දෙන්නා
එහෙම වුණත් මා නොදන්න දෙයක් තියෙනවා අහන්න
දන්න කෙනෙක් හොයා බලා මට මේ ගැන කියා දෙන්න
තුනේ ඉඳපු පුංචි බේබි හතරේ පන්තියට ගිහින්
තුනේ ඉඳපු මම හතරට යන්නේ කවදා ද ඉතින්
මෙහි දී මොනිකා සමාජ විසමතාව ප්‍රශ්න කරන හැටි අපූරු ය. අද්‍යතන සිංහල පද්‍යයේ ක්‍රම විකාශනය පිරික්සන විට මෙය අභිනව තේමාවන් නො වේ. එහෙත් කිවිඳිය වාර්තාකාරී ස්වරූපයෙන් මිදී ස්වකීය හැඟීම් සුචනය කරනුයේ දැඩි ආත්ම සංයමයකින් යුතුව ය. කාව්‍යෝචිත භාෂා මාධ්‍යයක් තුළින් සමාජයේ පහළ පන්තියක ජීවත්වන පියසේන නමැති කුඩා මෙහෙකාර දරුවාගේ අධ්‍යාපනය බිඳ වැටීමෙන් ඇති වූ මානසික පීඩනය හා ළමා සිතුවිලි ඇය අපට සන්නිවේදනය කරන ආකාරය මොන තරම් හැඟීම් දනවනසුලුද?
කාව්‍ය නිර්මාණය සඳහා මොනිකා භාවිත කළ භාෂා ශෛලිය සැලළිහිණි සන්දේශය, ගුත්තිලය වැනි ඉපැරැණි ප්‍රශස්ත කාව්‍යයන්හි භාෂා ශෛලියට ද යම් සාම්‍යයක් දක්ව යි. ගුණදාස අමරසේකර ගේ ප්‍රශස්ත භාෂා ශෛලියෙහි ආභාසය ද ඒ අතර තිබේ. කවියක කිසිදු සාධු සම්මත පද මාලාවක් නොතිබිය යුතුය. ඇතැම් කවීහු සාධු සම්මත වචනවලට ලඝු වී, කොටු වී වහල් වී එමෙන්ම විවිධ සෙවණැලිවලට ද මැදි වී කාව්‍ය රචනා කිරීමට යාමෙන් ස්වකීය කාව්‍ය නිර්මාණ නීරස කර ගනිති. නමුත් මොනිකා රුවන් පතිරණ නමැති කිවිඳිය ස්වකීය ප්‍රකාශනයෙහි ලා බස අභීත ලෙස හැසිරවූවාය.
මගේ ළඟින් ඉඳගෙන උඹ රෑට කියන පුංචි කතා
මල් වැට අයිනේ හිඳිනා මට සිහි වෙනවාය ලිසී
උඹේ කතාවල ඉන්නා රජ කුමරුන් කුමාරියන්
මහ පාරේ යනවා දැයි බලා හිඳින්නෙමිය ලිසී
සන්තෝසෙන් පියඹා යන රන් සමනලයන් වාගේ
කුමාරයන් කුමාරියන් මා දුටුවේ නැතිය
ලිසී
බඩු පොදි මලු හිසින් අරන් තෙල් බෝතල් අතින් අරන්
උඹ වාගේ අය විතරයි මහ පාරේ යන්නේ ලිසී
ගාට ගාට අඩි තියමින් යන මඟ වට පිට බලමින්
උඹ වාගේ අය විතරයි මහ පාරේ යන්නේ ලිසී
කුමර කුමරියන්ගේ කතා මින්පසු නොකියන්න ලිසී
පුංචි කතාවක් උඹ ගැන අදම කියා
දෙන්න ලිසී
( ලොකු බෙිබී කියයි )
පූර්වෝක්ත කවියට ඇය පාදක කරගෙන තිබෙන බස ඉතා සරල, සුගම එකක් වුව ද එහි කිසියම් විශේෂත්වයක් ඇත. චමත්කාරය දනවන කාව්‍ය චින්තාවක් මෙහි ගැබ්ව තිබේ. සාහිත්‍ය විෂයෙහි වැදගත් සංකල්ප දෙකක් දක්නට ලැබේ. ඒ නම් පුද්ගලානුභූතිය සහ කාව්‍යානුභූතිය යි. කවියා ලද අත්දැකීම් පුද්ගලානුභූතිය නමින් හැඳින්වෙි. එහෙත් කාව්‍යානුභූතිය යනු කවියෙන් පොදු පාඨක ලෝකයා ලබන අත්දැකීම යි. යථෝක්ත කවියෙන් කිවිඳිය පොදු පාඨකයාට කොතරම් සමීප වී තිබේ ද? කවියට හැඟීම් මෙන්ම චින්තනය ද අවශ්‍යය. ලොකු බෙිබි කියයි ' නමැති කවියේ ඉතා ම සරල වාක්‍යයක පවා මෙය දක්නට ලැබේ.
1971 දී " අපි දෙන්නා සහ තවත් කිහිප දෙනෙක් " නමැති කාව්‍ය සංග්‍රහය ප්‍රකාශයට පත් කරමින් කාව්‍ය ලෝකයට අවතීර්ණ වූ මොනිකා, විසිවසක ශේෂ පත්‍රය, අංගුලිමාල ගේ සිහිනය,ඔබේ යෙහෙළිය ඇය ගැහැනිය, තහනම් දේශයකින් ආදී වූ කාව්‍ය කෘති රාශියක්ම ලියා පළ කළාය. රාජ්‍ය සම්මාන දිනූ හිපොක්‍රටීස් සහ රෝගිනිය නම් කාව්‍ය සංග්‍රහය මොනිකා රචනා කෙළේ තම සිරුර වැළඳගත් ව්‍යාධියේ වේදනාවෙන් පෙළෙමින් සිටිය දී ය. එහෙත් මුල සිට ම විදග්ධ සාහිත්‍ය රසිකයන්ගේ අවධානය දිනාගත් මොනිකා පසුකාලීනව නිර්මාණ අතින් කිසියම් අසාර්ථකත්වයකට පත් වී සිටියාය. අසන් පත්තිනි දේවතාවිය, හිපොක්‍රටිස් සහ රෝගීනිය අලුත් සිහිනය ආදී වූ කාව්‍ය නිර්මාණ රසයෙන් හීන ප්‍රචාරාත්මකවාදී කෘතීන් ලෙස ගිණිය හැකි ය.
සිංහල කාව්‍ය කලාවට හරවත් විචාරයක් නොතිබීම නිසාවෙන් ඇයට මෙබඳු අඩියකට වැටීමට සිදු වූවා යයි අපි සිතමු. මෙය මොනිකා ගැන ලියැවෙන නිර්දය විචාරයක් නොවේ. එහෙත් පසුකාලීනව ඇය ස්ත්‍රීවාදය නමැති සිපිරිගෙට කොටුවීමත් ස්ත්‍රී චින්තනය, කාත්තා විමුක්තිය වැනි රාජ්‍ය නො වන සංවිධාන වල මෝස්තරවාදයට නතු වීමත් නිසා ප්‍රචාරාත්මක අසාර්ථක කාව්‍ය නිර්මාණ පළ කළා ය. ඒ තුළ වුව ද ඇය මුල සිටම රැකගෙන ආ ප්‍රශස්ත භාෂා ශෛලිය නො අඩුව තිබිණි. අප එය අවංකවම අගය කළ යුතු නො වෙි ද?
මහාචාර්ය ගණනාථ ඔබෙිසේකරගේ කාබනික සිරුර දැන් අප අතර නැත. එහෙත් ගණනාථ ඔබේසේකර යනු ලංකාව බිහි කළ විශිෂ්ටත ම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ මතුගම දර්ගා
මේ වසරේ ජනවාරි 25 සිට මහජන ප්‍රදර්ශනය සදහා නිකුත් කෙරුණු රාණි සිනමාපටය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ දරුණුතම භීෂණ සමයේ මවුවරුන්ගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරී
ප්‍රවීණ ගීත රචක අභාවප්‍රාප්ත ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ සත්වැනි ගුණ සමරුව නිමිත්තෙන් පළවන ලිපියකි. සුකීර්තිමත් සුගේය පද රචක ආචාර්ය අජන්තා රණසිංහයෝ ස
මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය.
රාණි බැලුවා. ඊයේ. One Galle Face එකේ. ශාලාව පිරෙන්න සෙනඟ. චිත්‍රපටිය ආරම්භ වෙන්නේ සත්‍ය සිදුවීම් පාදක කරගත් ප්‍රබන්ධයකි Fiction based on true events කියලා මාතෘකාවක් සහිත රූප රාම
නූතන සාහිත්‍ය විචාරය සම්බන්ධයෙන් න්‍යායික මැදිහත්වීමක් ලෙසින් අපට මුලින්ම හඳුනාගන්නට ලැබෙන්නේ, ‘සාහිත්‍යය හා සමාජය’ මැයෙන් කොටහේනේ පඤ්ඤාකිත්ති හි
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
හෙළ කවි කෙතෙන් නික්ම ගිය නූතන ගජමන් කිවිලිය